Saturday, March 22, 2025

'දේශබන්ධු තිර නාටකය'




පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ මෙතෙක් සිදුවූ සිඳුවීම් තුලින් සිනමා පටයකට, හෝ ටෙලිවෘත්තාන්තයකට සුදුසුයැයි මට හැඟුනද, ලබන වසරේ හෝ මෙම වසරේ අවසානයේ මා නිර්මාණය කරන 'The Colour Snakes' නම් චිත්‍රපටය තුළද මෙවන් චරිතයක් ඇති බව පසුව මට සිහිවිය. එය වෙනම කථාවකි.

මාතර මහේස්ත්‍රාත් විසින් දේශබන්ධුව වරෙන්තු කර දින 20 ක් යන තෙක් පොලිසියට ඔහුව සොයා ගැන්මට නොහැකිවූ බව කියන සිද්ධාන්තය තිර නාටකයට අයත් දෙයක් බව කව්රුත් දන්නා සත්‍යයකි. පොලිසිය විසින් තම වෘත්තීය, ප්‍රධානියාව එසේ පාවා දීම නොකෙරුවෙ, තමන්ගේම වරිගේ මහඑකාව පාවා දීමේ, කුණු ගොඩට අහුනොවී ඔහේ අහක බලා සිටීම, තම ජීවිතයටත්, වෘත්තියටත් හිතකර බැවිනි. පොලිසිය තුලින් එක 'ජූදස්' කෙනෙකුව සොයා ගැන්මට නොහැකි වූයේ ඒ නිසා විය හැක. ලංකාවේ නීතිය කෙතරම් ස්වාධීනයයි කීවද, ඔය නීතියේ චූටි හිලකින් හෝ රිංගන හැටි දේශබන්ධුලා හොදාකාරව දනී. අනිත් අතකට අනුරගේ ටීම් එක, විශේෂයෙන් නීතිය පිළිබද ඇමති හර්ෂණ නානායක්කාර පමණක් නොව පොලිස් ඇමති විජේපාලද තවම ට්‍රේනිං පීරියඩ් එකේ සිටින බව දේශබන්ධුලා, ටිරාන්ලා, රනිල්ලා හොඳටම දනී. එහෙයින් මේ ට්‍රේනිං පීරියඩ් එකේ සිටින අදාල අංශ ඇමැත්තන්ගේ දෑස් නොවසාම ඔවුන්ට පෙනී පෙනී නීතියේ හිල් අස්සෙන් රිංගන හැටි දේශබන්ධුලා දනියි. එවිට හර්ෂණ නානායක්කාර ට සිද්ධ වෙන්නේ අර ඉස්සර යොවුන් කාලයේ වාගේ නැවතත් ලාංකීය සිනමා ලෝකයට අවතීර්න වී, සංගීතා වීරරත්න සමඟ 'යසස' වැනි විත්‍රපටවල රඟපෑමටය. දැන් ඔවුන් එලෙස රඟපෑමට වයස වැඩිද කියන එක වෙනම ප්‍රශ්නයකි.

දේශබන්ධු භාර වීමට සති දෙකකට පෙර ඔහු ඔහුගේ නිතිඥ වරයෙකු අතේ ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා යැවූ රීට් පෙත්සම ගෙන ගිය එකී නිතිඥයවරයා දේශබන්ධු සිටින තැන දැනගත යුතුමය. නැත්නම් ඔහු ඒ රීට් පෙත්සම පිළියෙල කරන්නේ කෙසේද? දේශබන්ධු ව හොයා ගැන්මට අවශ්‍යව තිබුණා නම් පොලිසියට ඒ නිතිඥ වරයාගෙන් දැන ගන්නට ඉඩ තිබුණි. එහෙත් වෘත්තිමය ලෙස නිතිඥ ක්‍රේෂ්තය තුල තමසේවාදායකයාගේ රහස්‍ය භාවය රැකිය යුතුද කියන එක නම් මා දන්නෙ නැත. ඇතැම් විට එය එසේ විය හැක.

දේශබන්ධු සැඟවී සිටියා යැයි මා සිතන්නේ නැත. ඔහු කිසියම් ප්‍රභූවරයෙක් යටතේ ඉතාමත් සුඛෝපභෝගිව සිටින්නට ඇත. වෙනසකට වූයේ ඔහු වැඩිය එළිපෙහෙලියට නොයෑමය. දේශබන්ධු සිටින තැන, පොලිසියේ බොහෝ දෙනා දැනන් සිටියහ. එය වැඩ බලන පොලිස් පති තුමාද දැන සිටියේය. ඇතැම් විට , හර්ෂණද, විජයපාලද ඇතැම් විට අනුර සහෝදර ජනාධිපති තුමාද දැන සිටින්නට ඇත. නමුත් දේශබන්ධු එක දිගටම සුපුරුදු මිනිස් ආශ්‍රයෙන් තොරව සිටීමට නොහැකි නිසා ඔහු කවදා හෝ අධිකරණයට භාර වී, මේ නූල් බෝලය ඔහු විසින්ම ලිහා ගනු ඇතැයි ඔවුන් සිතා සිටින්නට ඇත. එසේ ලිහා ගැනීමට අපහසු වන තැන්, රනිල් හා ටිරාන්ද, ඒ සමඟ ආණ්ඩුවෙ ⁣විජේපාල හා හර්ෂණද, තවත් අපහසු වුවහොත් ජනපති අනුර සහෝදරයාද එක්වී ලිහා දෙනු ඇත. ඉන් පසු මෙතෙක් දේශබන්ධු වෙනුවෙන් දැඩි විරෝධයක් පාන සොලිසිටර් දිලීප පීරිස්ගේ පැත්තට නඩුව හැරීමටද පුළුවන. මහේස්ත්‍රාත් තුමාටද මාරුවක් ලැබීමේ හැකියාවද ඇත. ඒ තිරනාටකයට අයත් වන එක් සිනොප්සියකි.

දෙවැන්න සජීව සිදුවීමයි. එක්වරම හදිසියේම දේශබන්ධු අධිකරණය⁣ට භාරවීමය. එය මීඩියාව හදිසි භාරවීමක් ලෙස පෙන්වූවද, එය කිසිසේත්ම හදිසියේ සිඳුවීමක් නොවේ. එය, රනිල්, ටිරාන් ඇතැම් විට මහී,ගෝඨාභය මෙන්ම අනුර සහෝදරයාගෙද සැලැස්මක් විය හැක. දේශබන්ධු ටයි කෝට් පැලඳ ගෙන තම බෙන්ස් රථයෙන් කිසිදු බියක් නැතිව අධිකරණයට පැමිණ බංකුවෙ ඉඳගෙන සිටියේ තමාව වරෙන්තු කෙරුවෙකු හෝ තමන්ව දින 20 ක් තිස්සේ පොලිසිය රට පිර පීරා හොයන පුද්ගලයෙක් කියා වගේ වගක් නැතිවය. පොලිසිය පීර පීරා කිව්වට, පොලීසියට අනන්ත අප්‍රමාණ වාරයක් දේශබන්ධුව හමුවෙන්නට ඇත. සාමාන්‍ය වරන්තු කරුවන් ඉදිරියේ අතීශයින්ම අසංවර, අසංවේදී වන පොලිසිය, දේශබන්ධු ඉදිරියේදී අතීශයින්ම සංවේදි වී හොටු පෙරාගෙන හඬමින් 'අපි කොහොමද සර්, සර්ව අල්ලන්නේ. සර් කැමති කාලයක් ඉඳලා කැමති නම් විතරක් අධිකරණයට භාර වෙන්න. අපි දැක්කා නොදැක්කා වගේ ඉන්නම්' කියා කියන්නට ඇත. ඒ අතරේදී 'සර් ඔහොම ඉන්නගමන් අනුරයියටත් කෝල් එකක් දෙන්න. අනුරයියා ටීවී වල වැඩ දැම්මට, සර් කෝල් කරපු ගමන් සංවේදි වෙලා සර්ව ගොඩ දායි.. දැං බලන්න මහින්දව නිල නිවසින් එළියට දානවා කියලා ටීවී වල, ස්ටේජ් වල අඩ් හප්පලා කෑගහලා කිව්වට, ඔය මහින්ද අපූරුවට ඉන්නේ. ඒ වගේ තමා සර් අනුරයියට තමන් විඳින දුක් කන්දරාව කියන්න. අනුරයියගෙ හිත උණුවෙලා ඇහෙන් කඳුලු පැනලා නහයෙන් හොටු ටිකකුත් එන සයිස් එකටම කියන්න. එතකොට ඔක්කොම හරියනවා. දැනටමත් ඔය ඉල්ලීම් රනිලුයි ටිරානුයි අනුරයියට කියලා ඇති. ඒත් සර්ත් කෙලින් කිව්වොත් වැඩේ ගොඩ. වැඩිම වුනොත් කියයි පළාත්පාලන ඡන්දය ඉවර වෙනකල් රිමාන්ඩ් එකේ ඉන්න කියයි. මොකද අනුරයියට ඒක හොඳ තුරුම්පුවක් හින්ද?

සිනොප්සියේ තුන්වැන්න නිතිඥ වරුන් 50 ක් එක්වර අධිකරණයට ඒම. එය මාධ්‍ය විසින් හුවා දක්වන්නේ ඒ දිනම සිදුවූවක් ලෙසටය. එය කෙසේවත් සිදුවිය නොහැක. මෙම නීතිඥ වරුන් සමඟ දේශබන්ධු අවම සතියකට පමණ පෙර සිටම සම්බන්ධ වී ති⁣බිය යුතුය. ⁣නැත්නම් මෙම සැලැස්ම කළ නොහැක. මෙම නිතිඥ වරුන්ගේ විවිධ විවිධ නීතිමය දක්ෂතාවයන් මත දේශබන්ධු ට ඇප අරන් දීම ටොයිස් ය. ඔවුන් අනේක ලෙස දේශබන්ධුට තම වෘත්තිමය පුරාජේරුව කියන්නට ඇත. ඔවුන්ගේ උපදෙස් මතය දේශබන්ධු මඟුල් ගෙදරකට යනවාක් මෙනි ටයිකෝට් පැළද ගෙන අධිකරණයට පැමිණියේ. අධිකරණයට බඩගාගෙන ආ යුතු වරෙන්තුවෙක් විරාජමාණව පැමිණීමෙන් හෑල්ලු කළේ සමස්ත පොලීසියද, නැත්නම් අධිකරණය ද කියා නම් තෝරා බේරා ගැන්මට නොහැක.

නීතිඥ වරු 50 දෙනා සිතුවේ, 50 දෙනෙක් අධිකරණයට එක් වර කඩාවැටීමෙන් මහේස්ත්‍රාත් ගේ එනජිය බාල කිරීමටය. එසේ බාල කර දේශබන්ධු ට ඇප අරන් දී තම සේවාදායකයා ව සතුටු කිරීමටය. එය වරදක් නැත. ඒ ඔවුන්ගේ වෘත්තියය.

එහෙත් එම අවස්ථාවට සොලිසිටර් දිලීප පීරිස් පැමිණේයැයි නම් ඔවුන් කිසිවෙක් සිතුවේ නැත. දිලීප පීරිස්ව දුටු විටම වැඩේ ජෝන් බාස්ට යන විත්තිය ඔවුන්ට වැටහුණේ දිලීප පීරිස් යුක්තියට සාධාරණත්වයට දැඩිව කැපවෙන කෙනෙක් නිසාය.

නඩුව පටන් ගැණුනි. දිලීප ⁣පීරිස් වටේටම නෙළුවේය. නිතිඥ 50 දෙනාට මීක් නැතිවිය. දේශබන්ධු යනු මදූෂ්ටත්, හරක් කටාටත් වඩා සංවිධායක අපරාධකාරයෙක් බව දිලීප පීරිස් අඩි හප්පමින් කීවේය ,දේශබන්ධු ඇඳ සිටි ලන්කට්ටුවට චූ බින්දුව බින්දුව පෙරෙන්නට විය. ඔහු සිතුවේ මේ සියල්ල අද නිමවී ඇප ලබා අර නිතිඥ වරු 50 දෙනාම තම ඉස්කාගාරයට රැගෙන ගොස් මුලු දවසම, නැත්නම් දවස් දෙක තුනක්ම බී ගෙන කාගෙන ආතල් ගන්නටය.

දිලීප පීරිස්ගේ ඉදිරිපත් කිරීම තුලින් මහේස්ත්‍රාත් ගේ එනිජිය වැඩි විය.
'මෙම පුද්ගලයා ඔබ තුමාටත් දෝෂාරෝපණය කර පෙත්සමේ සඳහන් කර තිබුණා, ඔබ තුමා ගරු අධිකරණයේ දොර අගුල් දා මොහුට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවට' කියා දිලිප පීරිස් මහෙස්ත්‍රාත් ටත් දේශබන්ධු ගැන තව තවත් ඇරියස් වැඩි කළේය., එම කථාව අසන විටම 'දැන් නම් ගැලවීමක් නැතැයි දේශබන්ධු ට පමණක් නොව අර නිතිඥ වරුන් 50 දෙනාටම සිතෙන්නට ඇත.

දැන් දේශබන්ධු රිමාන්ඩ් භාරයේය. එහෙත් ඔහු තවම නීතිය ඉදිරියේ වැරදි කරුවෙකු නොවේ. ඔහු සැක කරුවෙකු පමණි. ඔහු වැරදි කරුවෙකුද, නිවැරදි කරුවෙකුද, ඔහුට ඇප ලබා දෙනවාද කියා තීරණය වන්නේ ඉදිරි නඩු වාරයන් වලදීය

සිනොප්සියේ අනෙක් කොටස මෙසේය. දැන් දේශබන්ධු සාමාන්‍ය කුටියක ගාල් කර ඇත. ඔහු දැන් කන්නෙත් නැත, බොන්නෙත් නැත. කිසිවෙක් සමඟ කථා කරන්නෙත් නැත. ඔහේ බලාගත් අත බලාගෙන සිටියි. මාධ්‍ය එසේ කියනු ඇත. නමුත් මෙයද නිතිඥ වරුන් 50 දෙනාගෙ සැලැස්මකි. ඔවුනුත් මේ පිළිබඳව කුමක් හෝ කල යුතු වේ. ඔවුන් තවමත් උත්සහා කරනුයේ දේශබන්ධු මානසිකව වැටුණු බවක් පෙන්වා ඇප ලබා ගැනීමටය. නොකා නොබී සිට ලෙඩ කර, නැවත නඩුවාරය එනතෙක් හෝ පුද්ගලීක රෝහලේ හෝ නැවැත්වීමටය. අවම ජාතික රෝහලේ හෝ නැවැත්වීමටය. මේ සියල්ලම කර ගත නොහැකි වුවහොත් අඩුම තරමේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමටය.

බොහෝ විට ඔහුට මෙම අප්‍රේල් 3 වනදා ඇප ලැබේවී. ඉන්පසු නඩුව ඇඳි ඇඳී යාවි. මහේස්ත්‍රාත් වරයාවත් කොහාට හෝ මාරුකරාවි. අනුරයියාටත් පලාත්පාලන ඡන්දය ගැන හිත යොමුකරන විට ඔය සිද්ධිය අමතක වේවි. රනිල්, ටිරාන්,මහින්ද, අනුරයියාට කරන්න ඕනෙ මොනවාද කියා උපදෙස් දේවී. අපි පොඩි කාලේ හිතුවේ ඩඩ්ලි සේනානායකයි, සිරිමාවෝ බණ්ඩාරනායක යි නයි වෛරයෙන් සිටිනවා කියාය. පසුව දැනුන් තේරුම් වයසට පැමිණෙන විට සිතුවේ මහින්ද රාජපක්ෂයි, රනිල් වික්‍රමසිංහයි නයි වෛරයි කියාය. ඉන්පස්සේ සිතුවේ ගෝඨාභය රාජපක්ෂ යි සජිත් ප්‍රේමදාසයි නයි වෛරයි කියාය. කෙතරම් මුහුකුරා ගියත් දැනුත් හිතෙන්නෙ ජනාධිපති අනුර කුමාරයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි නයි වෛරයි කියාය. ඇත්තටම අපි තවම කොච්චර චූටිද කියා සිතෙන්නෙ එවිටය. මා පාසැල් සඟයා වූ රන්ජන් රාමනායක 'උං ඔක්කොම යාලුයි මල්ලි' කියා කියපු කථාව සිහියට එන්නට විය.

දේශබන්ධු ට ඉදිරියේදි කෙරෙන්නේ මොනවාද කියා දන්නෝ දනිති. ⁣එය දැනට රහසේ පත්වී ඇති කොමිසම තීරණය කරාවි. එම කොමිසමට රනිල්, ගෝඨාභය, මහින්ද, ටිරාන්, පමණක් නොව අපි පත්කෙරු අපේ අනුරයියාද සිටින බව කව්රුත් දන්නා රහසකි. දේශබන්ධු වැන්නෙක් ව හිර ගෙයක ගාල් කල යුතු චරිතයක් නොවේ. ඔහු හොඳ ඡන්ද ගුණ්ඩුවකි. එහෙයින් එකී කොමිසම ඉතාමත් සුපරික්ෂාවෙන් දේශබන්ධු නාටකය රඟදක්වා එය ඔවුනට වාසිවන විදියට නිම කරනු ඇත.
හේතුව මේ හැම දේශපාලුවෙකුට දේශබන්ධු කෙනෙකුද අවශ්‍ය නිසාය.

දේශබන්ධු ගේ චරිතය මට විශේෂ වන්නේ ඒ තුලින් හොඳ තිරනාටකයක් ලියා චිත්‍රපටයක් කිරීමටය. හේතූව දේශබන්ධු ගේ කථාව තනිකර⁣ම නාටකයක් නිසාය.

මට ඇති විශාලම ප්‍රශ්නය, මේ තුලින් මා චිත්‍රපටයක් කරන්නේ නම් දේශබන්ධු තෙන්නකෝන් ගේ චරිතය⁣ට මා තෝරා ගන්නා නළුවා කව්ද කියාය.


-ශෝන් මැක්ස්මස් දිසානායක
A day in the life

Wednesday, March 19, 2025

ලුණු වලින් කලහැකි හපන්කම්




 
ඉඳුල් ගඳ ඇති ඕනෑම බඳුනක් ලුණු මිශ්‍ර
ජලයෙන් සෝදන්න. ඉඳුල් ගඳ නැතිවේ.
මල් පර නොවී දින කීපයක් තබා ගැනීමට එම
මල් බඳුනට ලුණු කැට ස්වල්පයක් දමන්න.
කට්ලට් බදිනවිට ඒවා කැඩීම නවතාලීමට
තෙල් තාච්චියට ලුණු කැටයක් දමන්න.
අකලට හිසකෙස් යන්නේනම් උණු වතුරට
ලුණු ස්වල්පයක්දමා හිස
සෝදන්න. හිසකෙස් යාම වලකී.
භූමිතෙල් ලාම්පුවේ ආලෝකය වැඩිකිරීමට
හා තෙල් පිරිමසා ගැනීමටත් එම ලාම්පුවේ
තෙල් අතරට ලුණු කැට කිහිපයක් දමන්න.
ඔබගේ පරිස්සමට හාල් තබන බඳුනේ හො
මිටි සහල් බඳුනේ ගුල්ලන් පනුවන් ඇතිවීම
කරදරකාරී දෙයකි.එය තුරන් කරගැනීමට
ලුණු ස්වල්පයක් කුඩු කර ඉසින්න නැතිනම්
කොහොඹ කොල, දෙහි කොල වුවත් සහල්
වලට දමන්න. කෘමීන්ගෙන් හානි නොවේ.
ලුණු ඉක්මනින් දියවීම වැලැක්වීමට සහල්
ඇට කිහිපයක් එක්කරන්න.ලුණු ඉක්මනින්
දිය නොවේ.
වළං පිලීගඳ නැතිවීමට නම් ලුණු වතුර
ස්වල්පයක් දමා සෝදන්න.
පහසුවෙන් මාළු පිලීගඳ නැතිකර ගැනීමට
මාළු සෝදනවිට ලුණු කැට ස්වල්පයක් දමා
සෝදන්න. මාළු පිලීගඳ නැතිවේ.
ලිපිය උපුටා ගැනීමකි
මුල් අයිතියට ස්තූතියි
ප්‍රියංකර මධුමාලි. 🙏


A day in the life

Tuesday, March 18, 2025

නීති වෘත්තිකයන් ගේ වගවීම.




චතුරංග අමරතුංග.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ.

ලෝයස්ල අපරාධකාරයො වෙනුවෙන් පෙනී ඉන්නව. අපරාධකාරයො බේරගන්නවා, කුඩුකාරයන්ගෙන් සල්ලි ගන්නවා , අපරාධකාරයන්ගෙන් සල්ලි ගන්නවා. කවුරුහරු ප්රසිද්ධ අයෙක් නිදහස් උනාම , ඇපයක් ගත්තම ඔය කතා ටික නිතරම කියවෙනවා. අනුරාධපුර වෛද්යවරියගේ නඩුවේ සැකකරු වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී ඉන්න ඉඩ තියෙනවා. ඔන්න එතකොට ආයෙත් ඔය බැනුම අලුත් වෙනවා..
එහෙම බනින්නෙ , චෝදනා කරන්නෙ නීතිය , චූදිතයෙකුට ඇති අයිතිවාසිකම් , මෙරට ක්රියාත්මක නීති ක්රමය , නීතිඥවරයෙකුගේ කාර්යභාරය හා අධිකරණ ක්රියාදාමය ගැන අවම දැනුමක්වක් නැති මිනිස්සු.. නීතිය පිළිබඳ මූලික දැනුමක් නැති මිනිස්සු කරන එවැනි චෝදනා අපි නොසලකා හරිනවා..ඔය චෝදනාවන්ට මේ සටහනෙන් කෙටි පිළිතුරක් ලබාදෙන්නම්..
නීතිඥ වෘත්තිකයෙක් තමන් ඉදිරියට එන ඕනෑම නඩුවක් භාරගත යුතුයි. එය ප්රතික්ෂේප නොකල යුතුයි. තමන්ට නිසි උද්යෝගයෙන් එම නඩුව කරගෙන යාමට නොහැකි නම් හා නඩුවට පෙනී සිටීමෙන් සම්බන්ධතා අතර ගැටුමක් ඇතිවන බව පෙනීයන්නෙ නම් පමණක් එය භාර නොගත යුතුයි. නීතිඥ වෘත්තිය පිළිබඳ ඔය සංකල්පය විශ්වීය එකක්. ලංකාවේ අපිට පමණක් අදාල දෙයක් නෙවෙයි. ඕකට කියන්නෙ Cab Rank Rule කියල. මෙයින් සරලවම කියන්නෙ නඩු තෝරා බේරාගෙන භාර ගැනීමෙන් සේවාදායකයන් වෙනස්කම්වලට භාජනය නොකල යුතුය යන්නයි..
ලෝකයේ ප්රධාන නීති ක්රම දෙකක් පවතිනවා. ඒ චෝදනාත්මක ක්රමය (Adversarial Legal System) හා විමර්ශනාත්මක ක්රමය ( Inquisitorial Legal System) ලංකාවේ අපරාධ නීතිය සම්බන්ධයෙන් ක්රියාත්මක වෙන්නෙ චෝදනාත්මක ක්රමය. මෙම ක්රමයේදී චෝදනා කරන පාර්ශ්වය (Prosecutor , පැමිණිල්ල) විසින් චූදිත හෝ චූදිතයන් අදාල වරද සිදුකල බව ඔප්පු කල යුතුයි. එය සාමාන්ය ඔප්පු කිරීමකින් එපිටට ගොස් සාධාරණ සැකයෙන් ඔබ්බට (Beyond the Reasonable Doubt) ඔප්පු කල යුතුයි. පැමිණිල්ල කියා සිටින වරද තමන් සිදු නොකල බව ඔප්පු කිරීමේ වගකීමක් චූදිතයන් වෙත පැවරෙන්නේ නෑ..
වරදක් (Offense) කියන්නෙ යම් නීතියකින් තහනම් කල ක්රියාවක් කිරීම හෝ යම් නොකර හැරීමක්. වරද සිවිල් හා අපරාධ වශයෙන් දෙයාකාරයි. අපි මෙහි අපරාධ වැරදි ගැන පමණක් කතා කරමු..
සෑම අපරාධ වරදක්ම සලකන්නෙ රජයට (State) එරෙහිව කරන වරදක් ලෙස. ඒ නිසා අපරාධ වැරදි සම්බන්ධයෙන් ගරු අධිකරණය ඉදිරියේ නඩු පවරන්නෙ රජය. රජය කිව්වම මේ ගැන නොදන්න ඔබට ගැටලුවක් මතුවෙන්න පුලුවන්. මහෙස්ත්රාත් අධිකරණයේ පොලිසිය , සුරාබදු , පාරිභෝගික අධිකාරිය වගෙ ආයතනනෙ නඩු පවරන්නෙ. ඉතින් කොහොමද රජය නඩු පවරනවා කියන්නෙ කියල..
පොලිසිය , සුරාබදු දෙපාර්තමේන්තුව , පාරිභෝගික අධිකාරිය , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වන ජීවි දෙපාර්තමේන්තුව , විදේශ සේවා නියුක්ති කාර්යාංශය , මහජන සෞඛ්ය පරීක්ෂක , කම්කරු දෙපාර්තමේන්තුව , ගොවිජන දෙපාර්තමේන්තුව වගෙ කිව නොහැකි තරම් ආයතන සංඛ්යාවක් මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරනවා. මේ සියලු ආයතන රාජ්ය ආයතන. අන්න ඒකයි රජය නඩු පවරනවා කියන්නෙ..
අපරාධ නඩු විධාන සංග්රහයේ 136 (1) අ වගන්තිය අනුව ඉතාමත් සීමිත අවස්ථාවදී පෞද්ගලිකව නඩු පවරන්න පුලුවන්. නමුත් එහෙම පවරන නඩු ලක්ෂකට එකක්වත් නෑ. පවරල දිනපු නඩුනම් එකක්වත් ගැන දැනුමක් නෑ..
පහුගිය දවස්වල නිතරම කතාබහට ලක්වුණු නීතිපතිවරයා (Attorney General) තමයි රජයේ ප්රධාන නීති නිලධාරියා. ඔහු පෙනි ඉන්නෙ රජය වෙනුවෙන්. සෑම අපරාධ වරදකදීම නීතිපතිවරයා නියෝජනය කරන්නෙ පැමිණිලි පාර්ශ්වය. නීතිපතිවරයාට ඔහුගෙ කටයුතු කරගෙන යාමට දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුව (Attorney general department) .
බරපතළ අපරාධ සම්බන්ධයෙන් නඩු පවරන්නෙ මහාධිකරණයේ (Criminal High Court). අධි චෝදනා (indictment) ගොනු කරනවා කියන්නෙ ඒ නඩු පැවරීමට. මහාධිකරණයේ ඉදිරියේ නඩු පවරන්න පුලුවන් නීතිපතිවරයාට හා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට පමණයි. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට පුලුවන් අල්ලස හා දූෂණය සම්බන්ධ වැරදි සඳහා පමණයි. එයත් කොළඹ මහාධිකරණයේ පමණයි. සාමාන්යයෙන් අල්ලස් කොමිසම වසරකට පවරන්නෙ නඩු 50 ක් විතර. ඉන් භාගයකට වඩා ඉල්ලා අස්කර ගන්නවා..
නීතිපතිවරයාට පුලුවන් රජය පවරන ඕනෑම නඩුවකට රජය වෙනුවෙන් පෙනී ඉන්න. ඒ වගෙම මහෙස්ත්රාත් අධිකරණයේ පවරා ඇති නඩුවල විමර්ශන සඳහා නිසි උපදෙස් ලබාදීම. නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩුවලදී පැමිණිල්ලෙ කාර්ය පමණක් කරන නිසා අපරාධ නඩු සම්බන්ධයෙන් ඔවුන්ට විශේෂ කුසතාවයක් තිබිය යුතුයි..
ජනතාව හිතාගෙන ඉන්නවා පොලිසිය කවුරුහරු යම් චෝදනාවකට අල්ලගෙන ගෙනාවම ඔහු වරදකාරයෙක් කියල. වර්තමාන ජඩ මාධ්ය උසාවි දාන්නත් කලින් මාධ්යයෙන් නඩු අහල වැරදිකරු කරල දඬුවම් කරකත් ඉවරයි. හොදට මතක තබාගන්න වැරැද්දකට මුලින් අල්ලල ඉදිරිපත් කරන්නෙ සැකකරුවෙක් (Suspect). ඔහුට නිශ්චිත චෝදනා ගොනු කරාම චූදිතයෙක් වෙනවා (Accused) . නඩු අහල අදාල චෝදනා ඔප්පු වුනොත් වැරදිකාරයෙක් වෙනවා..
අපේ රටේ මූලික නීතිය තමයි ආණ්ඩුක්රම ව්යවස්ථාව. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 ව්යවස්ථාවේ පැහැදිලිවම දක්වා තිබෙනවා අත්අඩංගුවට පත්වන සැකකරුවෙකුට , චූදිතයෙකුට හිමිවන නෛතික අයිතිවාසිකම් මොනවාද කියල. ඒවා මූලික අයිතිවාසිකම්. 13 (3) ව්යවස්ථාව අනුව චූදිතයෙකුට සාධාරණ නඩු විභාගයකදී පෞද්ගලිකව හෝ නීතිඥවරයෙකු මඟින් කරුණු කියාපෑමේ අයිතිවාසිකම පරම අයිතියක් බවට පත්කර තිබෙනවා..
ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්රහය (Criminal procedure Code) ඇතුළු අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් වූ ව්යවස්ථාපිත ප්රතිපාදනවල චූදිතයන්ගේ අයිතිවාසිකම් සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ සිවිල් අයිතිවාසිකම් ප්රඥප්තිය , මානව හිමිකම් ඇතුළු විශ්වීය සම්මුතිවල නීතිඥ නියෝජනයක් ලැබීමේ අවශ්යතාවය අවධාරණය කර තිබෙනවා.. චූදිතයන්ට ඔවුන්ට හිමි නෛතික අයිතිවාසිකම් ලබාදීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීමක්..
නීතිඥවරු උසාවියට බොරු කියනවා, අපරාධකාරයො බේරගන්නවා යන්නට පිළිතුරක් නඩු ඇසුරින්ම දෙන්නම්..
මම කිව්වනෙ අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් වැරදි හැර අනෙකුත් අපරාධ වැරදි සඳහා මහාධිකරණය ඉදිරියේ නඩුපන්න පුලුවන් නීතිපතිවරයාට කියල. අධිචෝදනා පත්රයෙ සඳහන් වෙන්නෙ ජනරජය එරෙහිව චූදිතගෙ නම. ඔය නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් අපරාධ නඩුවලදි සෑමවිටම පෙනී සිටින්නෙ පැමිණිල්ල (Prosecution) වෙනුවෙන් නිසා අපරාධ නඩුවල පැමිණිල්ල පිළිබඳව ඔවුන්ට විශේෂඥභාවයක් තියෙනවා. පොලිසිය විසින් හෝ මහේස්ත්රාත් අධිකරණයක් විසින් නීතිපතිවරයා වෙත යවන නඩු ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයන් කිහිප දෙනෙක් අධ්යනය කරනවා. ඒ නිසා වැරදීම් , මගහැරීම් දෝෂ වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි..
හැබැයි පසුගිය කාලෙ දැක්ක පවරපු නඩු නීතිපතිවරයා විසින් තාක්ෂණික දෝෂ මත ඉල්ලා අස් කරගැනීම. ඒ වගෙම සාමාන්ය තැනැත්තන් නොවන වරප්රසාදිත තැනැත්තන්ට එරෙහිව පවරන නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් වීම. ඇයි මෙහෙම වෙන්නෙ ? ඒකට එක හේතුවක් දැඩි නොසැලකිල්ල වෙන්න පුලුවන්. නමුත් ප්රධානම හේතුව තමයි යම් යම් සම්බන්ධතා මත ඉල්ලා අස්කර ගැනීමට හා චූදිතට ජයගත හැකිවන ලෙස දෝෂ සහිතව නඩු පැවරීම..
මහාධිකරණය ඉදිරියේ පවරන නඩුවලදී පැමිණිල්ල වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙක්. ඒ නිසා විත්තිය හා පැමිණිල්ල නියෝජනය අතින් සමානයි. කිසිම නීතිඥවරයෙකුට බොරු කියන්න බෑ. මොකද අනිත් පැත්තට නීතිඥවරයෙක් හා විනිසුරුවරයෙක් ඉන්නවා..
මහාධිකරණය ඉදිරියේ නඩුවලදී නීතිපතිවරයා , පොලිස් දෙපාර්තමේන්තුව , රජයේ රස පරීක්ෂකවරයා , අත් අකුරු විශේෂඥයන් , ඇඟිලි සලකුණු විශේෂඥයන් , අධිකරණ වෛද්ය නිලධාරීන් හා රජයේ වෛද්යවරුන් , පුපුරන ද්රව්ය විශේෂඥයන් ඇතුළු මුලු රාජ්ය සේවයම සමහර අවස්ථාවල පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉන්නවා. මුලු රජයක්ම පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉන්නකොට චූදිත වෙනුවෙන් ඉන්නෙ නීතිඥවරයෙක් ව්තරයි. මුලු රාජ්ය යාන්ත්රණයම එකතු වෙලා තමන් විසින්ම එල්ල කරන චෝදනාව පැමිණිල්ලට ඔප්පු කරන්න බැරි එකෙන් පේන්නෙ ඔවුන්ගේ අසමත්බව. සමහරවිට ඒවා බොරු චෝදනා වෙන්නත් පුලුවන්. චූදිත නිදොස් කොට නිදහස් වීමට පැමිණිල්ලෙ දුර්වලතාවයට වඩා චූදිතයා වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරයාගේ දක්ෂතාවයත් හේතුවක් වෙනවා..
මහාධිකරණයේදී සමහර චූදිතයන්ට නීතිඥ නියෝජනයක් නෑ. එවැනි අවස්ථාවල රජයෙන් නීතිඥවරයෙක් (Assigned Counsel) පත් කරනවා. රටේ මිනිස්සු කැමති උනත් නැතත් ඔහු කුමන අපරාධකාරයකට චෝදනා ලැබ තිබුනත් ඔහුට නීතිඥ නියෝජනයක් ලැබෙනවා. සේයා දියණිය දූෂණය කර ඝාතනය කල චූදිත වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් පෙනි සිටියෙ නෑ. නමුත් ඔහුට රජයෙන් නීතිඥවරයෙක් පත් කරා. රජ කාලෙ වගෙ නෙවෙයි සාධාරණ නඩු විභාගයකට (Fair Trial) දෙපාර්ශ්වයටම සවන් දීම අවශ්යයි. එය අපේ නීතියෙන් තහවුරු කර තිබෙනවා..
මහාධිකරණය ඉදිරියේ නඩුවකදී දෙපාර්ශ්වයම බලන්නෙ නඩුව දිනන්න. එතකොට දෙපාර්ශ්වයම නීතියේ ඇති හිඩැස් (Loopholes) හොයනවා. ඒවායින් රිංගන්න බලනවා. පැමිණිල්ලට වඩා ඒ හිඩැස් මොනවාද කියල හොයාගන්න තරම් චූදිතගේ නීතිඥවරයා දක්ෂයි. නීතියේ හිඩැස් වැසිය යුතුයි. හැබැයි ඒ හිඩැස් වහන්න නීතිඥවරුන්ට බෑ. විනිශ්චයකාරවරුන්ටත් බෑ. එය කල යුත්තේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව විසින්. ඇත්තටම ඇතැම් නීති යාවත්කාලීන නෑ..
මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ පවරන නඩු ගැන කියන්න තියෙන්නෙ නම් සාතිශය සංවේගයෙන්. එහි අපරාධ නඩුවලින් 90% පවරන්නෙ පොලිසිය. කණගාටුවට කරුණ නම් ඒ පවරන නඩුවලින් 1% වත් වැරදිකාරයෝ වෙන්නෙ නෑ. ඇත්තටම චූදිතයන් මහෙස්ත්රාත් අධිකරණයේ නඩුවලින් 99% ක්ම දිනන්නෙ පැමිණිල්ලෙ අසාර්ථකත්වය නිසා මිසක් විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ දක්ෂතාවය නිසා නෙවෙයි. කලාතුරකින් චුදිත නීතිඥවරයාගේ දක්ෂතාවයෙන් දිනන නඩුත් තියෙනවා. සමහර නඩු විත්තිය කිසිම දෙයක් නොකරත් දිනනවා. මහෙස්ත්රාත් අධිකරණයේ පවරන නඩු අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි පවරන නඩු බහුතරයක් සාවද්ය ඒවා වීම. පොලිසියට කරන්නෙ කවුරුහරු පැමිණිල්ලක් කරාම නිසි ලෙස විමර්ශනය නොකරන අල්ලගෙන උසාවි දැමීම. පොලිසියේ මූලික බලාපොරොත්තුව සැකකරු ඇප නොදී බන්ධනාගාරගත කිරීම. එතනින් එහාට නඩුව දිනන්න පුලුවන්ද හිතන්නෙ නෑ. ඒ වගෙම බහුතරයක් පොලිස් නිලධාරීන්ට පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳව පුහුණුවක් නෑ.. ඇත්තෙන්ම මහෙස්ත්රාත් අධිකරණය ඉදිරියේ පවරන නඩුවලින් මිනිස්සු යුක්තිය ඉටු කිරීමේ ක්රියාවලියෙන් ඈත් කරවනවා..
සැකකරුවන් හා චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරු කරන්නෙ අදාල නඩුවේ සිද්ධිමය කාරණා හා නෛතික තත්ත්වය ගරු අධිකරණයට ගෙනහැර දැක්වීම. විනිශ්චයකාරයා සියළු පාර්ශ්වයන්ට සවන් දී නියෝගයක් හෝ තීන්දුවක් ලබාදෙනවා. ඒ අර්ථයෙන් සැකකරුවෙකුට ඇප දෙන්නෙ, චුදිතයෙක් වැරදිකාරයෙක් හෝ නිවැරැදිකාරයෙක් කරන්නෙ ගරු විනිසුරුතුමන්ලා. හැබැයි ඔවුන් ඒක කරන්නෙ නීතියට අනුව , අධිකරණමය මනසින්. එය ඔවුන්ගේ කාර්ය භාරය. එයයි විය යුත්තේ..
සටහනේ අවසානයට තවත් යමක් එකතු කරනවා එඩිට් කරල. සාක්ෂි ආඥා පනතේ 126 වගන්තියට අනුව , සීමා කිරීම් දෙකකට යටත්ව යම් සේවාදායකයෙක් අප වෙත දෙන උපදෙස් එළි කරන්න බෑ. ඒක අධිකරණයටවත් ප්රශ්න කරන්න බෑ. එය ලොව විවිධ රටවල ක්රියාත්මක නෛතික තත්ත්වයක්..

  Chathuranga Amarathunga
මුණු පොතට ලියු ලිපියකි.
ස්තුතියි.

A day in the life

Friday, March 14, 2025

අනතුරක් මරණයක් උපතක්.


ඔබ මියයන විට ගෙදර යමිනුයි හිටියේ.
ඒක කාර් අනතුරක්, කිසි විශේෂත්වයක් නැති. හැබැයි මාරාන්තිකයි. ඔබ බිරිඳක් සහ දරුවන් දෙදෙනෙක්ව තනි කරලයි මැරුණේ. ඒක වේදනා රහිත මරණයක්. දැඩි සත්කාර ඒකකයේ වෛද්යවරු ඔවුන් ගේ උපරිම මහන්සිය දැරුවා ඔබව බේර ගන්න. නමුත් ඒ සියල්ල අපතේ.
විශ්වාස කරන්න, ඔබේ සිරුර සුණු විසුණු වෙලා තිබුණු හැටියට ඔබ මියගිය එකමයි හොඳ.
අන්න ඊට පස්සෙ තමයි ඔබට මාව මුණගැහෙන්නේ.
" මො..මො.. මොකද උනේ? " ඔබ ඇසුවා, " මං මේ කොහෙද ඉන්නේ? "
"ඔබ මැරුණා " මං කිව්වා කෙලින්ම, වෙච්ච දේ හංගන එකේ තේරුමක් නැහැ.
" ට්රක් එකක් කඩාගෙන බිඳගෙන මං දිහාට ආවා .. "
"ඔව්" මං කිව්වා.
" මං මැරුණා?"
" ඔව්!, හැබැයි ඒ ගැන කණගාටු වෙන්න එපා, හැමෝම මැරෙනවනේ " මං කිව්වා.
ඔබ වටපිට බැලුවා. වටේටම තිබුණෙ හිස් බව විතරයි, ඒ හැර ඔබයි මමයි විතරයි.
" මොකක්ද ⁣මේ තැන? " ඔබ ඇහුවා, " මේ පරලෝකෙ ද?"
" බොහෝ දුරට "
" ඔබ දෙවියන් වහන්සේ ද? " ඔබ ඇහුවා.
" ඔව්! " මං උත්තර දුන්නා, " මම දෙවියන් වහන්සේ ".
" මගේ දරුවෝ.. මගේ බිරිඳ? " ඔබ කලබල වුනා.
" මොනවද එයාලා ගැන දැන ගන්න ඕන?"
" එයාලට මුකුත් ප්රශ්නයක් වෙන එකක් නැද්ද ? "
" අන්න ඒක තමයි මං බලාපොරොත්තු වෙන්නේ " මං කිව්වා.
" ඔබට මැරිච්ච ගමනුත් මුලින්ම මතක් වෙන්නේ ඔබේ පවුල. අන්න ඒවා බො⁣හොම හොඳ දේවල්".
ඔබ වශීකෘත වෙලා වගේ මං දිහා බැලුවා. ඔබට මාව දෙවියන් වහන්සේ වගේ වං පෙනුනෙ නෑ. ඔබට මාව පෙනුනෙ නිකං සාමාන්ය මිනිහෙක් වගේ, හෝ ගැහැණියක් උනත් වෙන්න පුළුවන්. කවුරු හරි යම්කිසි බලයක් තියෙන පුද්ගලයෙක්, ඉස්කෝලෙක ගුරුවරයෙක් වගේ දෙවියන් වහන්සේ කෙසේ වෙතත්.
" ඒ ගැන වද වෙන්න එපා!" මං කිව්වා.
" ඒගොල්ලෝ හොඳින් ඉඳීවි. ඔබේ දරුවෝ ඔබව හැම අතින්ම පරිපූර්ණ කෙනෙක් විදිහට මතක තියා ගනීවි, එයාලට ඔබ ගැන වෛරයක් ඇති වෙන්න තරම් වයසක් උනේ නැහැනේ.
ඔබෙ බිරිඳ නම් අඬාවි ලෝකෙට පේන්න. හැබැයි හිත ඇතුලෙන් එයාට ලොකු සහනයක් දැනෙයි. ඇත්තම කිව්වොත් ඔබේ විවාහය බිඳවැටෙමිනුයි තිබුණේ. හැබැයි.. එහෙම හිත යටින් සහනයක් දැනුණු එක ගැන ඇයට යම් පසුතැවීමක් නං තියෙනවා, ඔබට ඒක සැනසිල්ලට කාරණයක් නම්!".
" ඕහ්!" ඔබ කිව්වා, " ඉතිං දැං මොකද වෙන්නේ? මම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනවා වගේ දෙයක් ද?"
" ඒ දෙකම ⁣නෙවෙයි " මං කිව්වා, " ඔබ පුනරුප්පත්තිය ලබනවා ඇති".
" ආහ් " ඔබ කිව්වා, " ඒ කියන්නේ හිංදු ආගමිකයෝ හරි!"
" හැම ආගමක්ම තම තමන්ගේ ක්රමයට හරි තමයි " මං කිව්වා, " මාත් එක්ක එන්න ".
ඔබ මගේ පසුපසින් ශූන්ය අවකාශයේ ඇවිදගෙන ආවා.
" කොහේද අපි මේ යන්නේ? "
" නිශ්චිත තැනකට ⁣නෙවෙයි " මං කිව්වා.
" ඇවිදින ගමන් කතාබහ කරන එක කදිම වැඩක් ".
" එහෙනං මොකක්ද මේකෙ තේරුම?" ඔබ ඇහුවා.
" ආයිත් උපදිනකොට මං නිකං හිස් ගල්ලෑල්ලක් වගේ වේවි නේද?, පොඩි බබෙක්. ඒ නිසා මේ ජීවිතයේ මම ලබපු හැම අත්දැකීමක්ම, මම කරපු හැම දෙයක්ම, ඊලඟ ජීවිතයට කිසිම බලපෑමක් නොකරාවි? "..
" එහෙම නෙවෙයි " මං කිව්වා.
" ඔබ පෙර ජීවිත වල ලබපු සියළුම දැනුම් සහ අත්දැකීම් ඔබ තුල තිබෙනවා, ඔබට දැනට ඒවා මතක නැතුවා පමණයි ".
මං ඇවිදින එක නවත්වලා ඔබේ උරහිසට අත තැබුවා.
" ඔබේ ආත්මය ඔබට සිතා ගැනීමට වත් නොහැකි තරම් බලගතු, විචිත්ර හා මහානුභාව සම්පන්න දෙයක්. මනුෂ්ය මනසකට දරාගත හැක්කේ ඉන් ඉතා ස්වල්ප ප්රමාණයක් පමණයි. ඒක හරියට වීදුරුවක ඇති වතුර උණුසුම් හෝ සිසිල් දැයි ඇඟිල්ලක් ඔබා පරීක්ෂා කිරීමට සමානයි. ඔබේ අල්ප මාත්ර වූ කොටසක් මහා යාත්රාවකට ඇතුල් කරනවා, ඔබ එය නැවත එළියට ගන්නකොට එයට ලැබුනු සියළුම අත්දැකීම් ඔබ සතු වෙනවා .
ඔබ ගෙවුනු වසර 48 පුරාවටම මනුෂ්යයෙක් වෙලායි හිටියේ. ඒනිසා ඔබ, ඔබේ අප්රමාණ විඥානයේ තරම අව⁣බෝධ කරගන්නා තෙක් තවම ව්යාප්ත වී නැහැ. අපි මෙතන අවශ්ය තරම් කාලයන් කතා කර කර හිටියොත්, ඔබට හැමදේම මතක් වෙන්ව පටන් ගනිවී. හැබැයි ඉතිං හැම උප්පත්තිය කට පෙරම එහෙම කරන එකේ තේරුමක් නැහැ. "
" එතකොට කොච්චර වාර ගාණක් මම පුනරුප්පත්තිය ලබලා තියෙනවාද ?"
" ඕහ්! සෑහෙන්න, වචනෙන් කියන්න බැරි තරම්, නොයෙක් වර්ගයේ ජීවිත වලට " මං කිව්වා,
" මේ පාර ඔබ ක්රිස්තු වර්ෂ 540 දි චීනයේ පිටිසර ගොවි පවුලක දියණියක්ව ඉපදේවි "
" මො..මො.. මොකක් ? " ඔබට ගොත ගැහුනා, " ඔබ මාව කාල⁣යේ ආපස්සට යවනවා?!".
" ඔව් මං හිතන්නේ , රීත්යානුකූලව.. කාලය ඔබ දන්නා පරිදි පවතින්නේ ඔබේ විශ්වයේ පමණයි. මම පැවතෙන දිහා තත්ත්වය තරමක් වෙනස්".
" කොහේද ඔබ පැවතෙන දිහාව?" ඔබ ඇහුවා.
" හරි!" මම පැහැදිලි කරා, " මං එන්නෙ යම් තැනකින්, එතන මං වගේ තව අය ඉන්නවා. මං දන්නවා ඔබට දැනගන්න ඕන බව ඒක මොනවගේ තැනක් ද කියලා. නමුත් අවංකවම ඔබට ඒක තේරෙන එකක් නැහැ. "
" ඕහ්! " ඔබ කිව්වා, බලාපොරොත්තු කඩවුනු ස්වරූපයකින්.
" හැබැයි, මම කාලයේ අනිත් තැන්වල පුනරුප්පත්තිය ලබනවා නම්, මට යම් මොහොතක මාවම හමුවෙලා ඇති? ".
" ඔව්! ඒක හැමතිස්සෙම වෙනවා. හැබැයි ඒ දෙදෙනාම දන්නෙ තම තමන් ගැන විතරක් නිසා, ඔබ එහෙම දෙයක් වෙනවා කියලාවත් දන්නෙ නෑ. "
" එහෙනං මේ හැමදේම තේරුම මොකක්ද ?"
" ඇත්තට!? " මං ඇහුවා, " හැබෑවටම ඔබ මගෙන් ජීවයේ තේරුම ගැන අහනවද? ඒ ප්රශ්නෙ බොහොම ගතානුගතිකයි වගේ හිතෙන්නෙ නැද්ද ?"
" ඒක සාධාරණ ප්රශ්නයක් ! " ඔබ මුරණ්ඩු වුනා.
මං කෙලින්ම ඔ⁣⁣බේ ඇස් දිහා බැලුවා.
" ජීවයේ තේරුම, මම මේ මුළුමහත් විශ්වයම ගොඩනගපු හේතුව, ඒ ඔබට පරිණත වෙන්නයි. "
" ඔබ අදහස් කරන්නේ මනුෂ්ය සංහතිය? ඔබට අවශ්යයි අපව පරිණත කරන්න? "
" නෑ.. ඔබ පමණයි. මම මේ මුළුමහත් විශ්වයම මැව්වේ ඔබට. හැම අළුත් ජීවිතයක් එක්කම ඔබ වර්ධනය වේවි, පරිණත වේවි, ඒ වගේම පෘථුල හා විශිෂ්ඨ බුද්ධිමතෙක් බවට පත්වේවි. "
" මම විතරයි ?! එතකොට අනිත් අය? "
" මෙතන වෙන කවුරුවත් නැහැ! " මං කිව්වා, " විශ්වයේ ඉන්නෙ ඔබයි මමයි විතරයි. "
ඔබ ව්යාකූල වෙලා මං දිහා බලාගෙන හිටියා.
" ඒත් පෘථිවිය මත ඉන්න මිනිස්සු.. "
" ඒ හැමෝම ඔබ, ඔබේම විවිධ උප්පත්තීන්. "
" මොකක් ?! මම හැමදෙනාම ?!! "
" අන්න දැං ඔබට වැටහෙන්න ගත්තා " මං කිව්වා ඔබේ පිටට හිමීට තට්ටුවක් දාන ගමන්.
" සදාකාලයටම ජීවත් වෙච්ච හැම මනුෂ්යයාම මම ?"
" සහ.. සදාකාලයටම ජීවත් වන. ඔව්! ".
" මම ඒබ්රහම් ලින්කන් ?"
" ඒ වගේම ජෝන් විල්කිස් බූත් ත් " මං එකතු කලා.
" මං හිට්ලර්!? " ඔබ ඇහුවා, පිළිකුලෙන්.
" ඒ වගේම ඔහු අතින් ඝාතනය වෙච්ච මිලියන ගණනත් ඔබ! ".
" මම ජීසස් ?! "
" ඒ වගේම ඔහුව අදහපු හැම දෙනාම! "
ඔබ අවසානයේදී නිහඬ වුනා.
" ඔබ යමෙක් තාඩන පීඩන වලට ලක්කරන හැම වෙලාවෙම.. " මම කිව්වා, " ඒ තාඩන පීඩන වලට ලක්වුනේ ඔබමයි. එදා මෙදා තුර සියළුම මනුෂ්යයන් විසින් අත්දක්නා ලද සුඛිත සහ දුක්ඛිත අත්දැකීම් සියල්ලම හෝ එසේ අත්දැකීමට නියමිත සියල්ලෙහි, අත්දකින්නා ඔබම වේවි. "
ඔබ බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියා..
" ඇයි?! " ඔබ මගෙන් ඇසුවා අවසානයේදී, " ඇයි මෙහෙම කරන්නේ ? මේ හැමදේම?! "
" මොකද, දවසක ඔබ මං වාගේම වේවි. ඔබ මගේ වර්ගයා ගේ කෙනෙක්. ඔබයි මගේ දරුවා! ".
" වෝහ්!! " ඔබට කෑගැසුනා, විශ්වාස නොකරන විදිහට.
" ඔබ කියන්නේ මාත් දෙවියන් වහන්සේ කෙනෙක් ?! "
" නෑ. තවම නෑ.. ඔබ තාම කළලයක්, ඔබ තාම වැඩෙනවා. කාලයේ සමන්ථය පුරාවටම ජීවත් වූ සියළුම මනුෂ්ය ජීවිත ඔබ ගෙවා නිමකලාට පස්සේ, ඉපදෙන්න සුදුසු විදිහට වර්ධනය වෙලා තියේවි. "
" ඒ කියන්නේ මුළු මහත් විශ්වයම.. " ඔබ කිව්වා, " ඒක හරියට.. "
" බිත්තරයක්! " මං උත්තර දුන්නා
" දැන් ඔබට ඊලඟ උපතට යන්න කාලය හරි! "
හං ඔබව ඔබේ ගමන යැව්වා.

ඇන්ඩි විය(ර්) ගේ කෙටි කතාවකි.
පරිවර්තනය :- කාන්චන බුද්ධි.
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon