යමන් කලුවේ ගෙදර යන්න, කන්ද උඩින් අදුර එනව
උඹට වගේ මගේ ඇඟටත් හරිම විඩාවක් දැනෙනව
අදුර තමයි අපේ ඇගපත, නිවන්න දෙවියන් එව්වේ
හනික යමන් ගාල් වෙන්න, පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ
උදේ හිටන් අව්කට්ටේ, උඹව තියන් මැඩෙව්වට
උඹේ හිතට අමාරුදැයි, කියාපන්කෝ දැන්වත් මට
කරුමේ තමයි පලිසන් දෙන්නේ අප ගේ මේ විදියට
බුදු හාමුදුරුවෝ කිව්වේ ඒක තමයි දුක නිමන්න
ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණකොළ ටිකක් උඹට
හනික යමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පෙරවගන්ට
මගේ කකුලේ කටු ඇනිලා, ඉවසන්නට බැහැ රිදෙවි
අන්දකාරෙ තෙල් ගාලා, ඒ විසකටු ඇද දමාවි
හැන්දෑවට උඹ ඉඳගෙන, තලු ගහනවා මට ඇහෙනව
උඹට කලුවෙ, හුඟක් හොරද හැන්දෑවට නින්ද යනව
අඳුර ඇවිත් මගේ නළලට නම් මන්තරයක් කියනව
ඒ එක්කම ඇහැ පියවෙල එළිවෙනතුරු නින්ද යනව
දෙයියෝ තමයි අඳුර දුන්නෙ, අපෙ ඇඟපත නිවාලන්න
යමන් කලුවෙ ගාල් වෙලා, එකට වැටී නිදාගන්න
තුනටිය මගේ කකියනවා බොහොම නො සැහෙන විදියට
අඳුර හැඳි තෙල් ගාලා අතගාවිය එය හිමිහිට
අඳුර රෙද්ද පෙරවාලා අපෙ ඇඟපත නිදි කරාවි
අඳුර අපෙ දුක නිවලා දාහක් ගින්දර නිවාවී
-----ගුණදාස අමරසේකර
අපේ උසස්පෙළ පන්තියේ සාහිත්‍ය විචාරය ට තිබුණු ලස්සණ කවි පන්තියක් ..අඳුර ..රූපකයක් විදිහට දුගීබව,අසරණ කම මෙන්ම සැනසීම දනවන බව අවස්ථානුකූලව පෙන්වා දෙන ගැමියා,තමාට ගොවිතැනේදී උපකාර කළ සගයාට මිතුරෙකු ට මෙන් කාරුණිකව ආමන්ත්‍රණය කරනව..කලුවාගේ වේදනාව තමාගේ වේදනාව සේ සලකා ,ලෙන්ගතු සිතින් කරන කතාව හරි අපූරු යි .චිත්තරූප නිරායාසයෙන් මැවෙනව. ඒ අවදියේ සඳැස් නිර්මාණය ,ව්‍යවහාරික බසට එක් කළ නිදහස් කවියෙක් ,ගුණදාස අමරසේකර .ව්‍යංගාර්ථය කවිය අතරින් ගලා යන්නෙ රසිකයා ට වටහාගෙන විඳින්න ඉඩ සලසමින් ..රසාස්වාදය කරන්න මොනතරම් කටුක , එහෙත් සරල සුන්දර ගැමි පරිසරය ක් එදා තිබුණ ද.......
අමරසේකර යන් ගෙ ශෘංගාරය පිරුණු කවි වලට වඩා ,මේ කවිය රසිකයා වැළඳ ගත්ත ආදරෙන්.
එතුමා ට අපේ ගෞරවය .
සටහන රෝ . සි
හක් ගින්දර නිවාවී