Friday, October 04, 2024

විවාහය සෙරප්පු කුට්ටමකි




විවාහය සෙරප්පු කුට්ටමකි,මා පැළඳ ගත්තේ මට පහසු සෙරප්පු කුට්ටමයි !
මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක වත්කමකට හිමිකම් කියන ෆේස්බුක් හිමිකරු....
ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන් , ඇය චීන ජාතික කාන්තාවක් .
සකබර්ග් සිය ෆේස් බුක් පිටුවේ ඇය ගැන ලස්සන සටහනක් ලියනවා .
බොහෝ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ලොව ධනවත්ම පුද්ගලයෙක් වෙලත් ප්‍රිසිලා වගේ ලස්සන නැති කෙනෙක්ව විවාහ කර ගත්තේ ඇයි කියලා ? ඔවුන්ට අනුව මම වගේ ධනවත් පුද්ගලයෙක්ගේ බිරිඳ ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඕනේ .( මගේ ප්‍රිසිලා ට වඩා ලස්සන කෙනෙක් විය යුතුයි )
බොහෝ අයට ප්‍රශ්නයක් වුන ඒකට මම උත්තර දෙන්නම් .ලස්සන සහ අවලස්සන කියන්නෙ මොකක්ද කියලා මම පැහැදිළි කරන්නම් !!
මගේ ජීවිතේදී රූපරාජිණියෝ වගේ ලස්සන කාන්තාවො ඕන තරම් මුණගැහිලා තියනවා .බාහිරෙන් කොච්චර ලස්සනට පෙනුනත් ඒ කිසි කෙනෙක්ගේ හදවත මුහුණ තරම් ලස්සන වුනේ නෑ , ඒ හැමෝටම ඕන උනේ මගේ සල්ලි වලින් සැප විඳිමින් පුරාජේරුවට ජීවත් වෙන්න .ලෝකෙට ලස්සනට පෙන්නලා හදවත ලස්සන නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න මම කැමති නැහැ .
මගෙ ආදරණීය බිරිඳ ප්‍රිසිලා චෑන් ව මට මුලින්ම හමුවුනේ වොෂ් රූම් පෝලිමකදී , ඇය ඒ වනවිට මගේ ධනය ගැන දන්නේ නැහැ , නමුත් ඇයගේ සුන්දර හදවත , ආදරණීය නිරහංකාර බව , සරළ බව මම එදා අඳුරගත්තා .මට හරියටම ගැලපෙන කෙනා ප්‍රිසිලා බව මම ඒ වෙලාවේම තීරණය කළා .
හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිය ලත් වයිද්‍යවරියක් වුවත් , ලොව ධනවත්ම කෙනෙක්ගේ බිරිඳ වූවත් ඒ කිසිවක් නිසා ඇය කිසිම විටක උඩඟු වෙලා නැහැ .ඇය මන් වෙනුවෙන් බොහෝ දේවල් කැප කලා ,ඇයගේ පවුලේ අය එක්ක සම්බන්ධතාවය ලේසි වෙන්න මම චීන භාෂාව ඉගන ගත්තා .
බාහිර ලස්සන දවසින් දවස මොහොතින් මොහොත ක්ෂය වෙනවා , ඒත් අභ්‍යන්තර ලස්සන එහෙම ක්ෂය වෙන්නෙ නෑ ඒක දවසින් දවස වැඩිවෙනවා .
මුහුණ යනු හදවතේ කැඩපතයි ,ප්‍රසිලා ගේ සරළ බව , බුද්ධිමත් බව , ආදරණීය බව , ඇගේ පරාර්ථකාමී අවංක හදවතට මම ගොඩක් ආදරෙයි .දරුවෝ ලැබෙන්න ඉන්න කාලේ ඇගේ රූපය වෙනස් උනා ,නමුත් වෙනදා වගේම මට ඇයව ලස්සනට පෙනුණා .හැමදාම මට ප්‍රිසිලා ව එකවගේම ලස්සනයි .
ඔබට මගේ ප්‍රිසිලා ව ලස්සන නැතුව ඇති .නමුත් මට මේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව මගේ බිරිඳ ,ඇය තමයි මට හරියටම ගැලපෙන කෙනා ,
විවාහය පා යුගළක් වගේ , පිටත ඉන්න අයට කොහොම පෙනුනත් ඒ ගැන වද විය යුතු නැහැ ,ඒක කකුල් දෙකට දාන කෙනාට සැපට පහසුවට දැනුනම හොඳටම ඇති .
අපේ සරළත්වය අපිට සුන්දරයි මේ ලෝකෙ ආදරණීය ම යුවළ මමයි මගේ ප්‍රිසිලයි .
ඒක හැමදාම එහෙමම තමයි .
සත ගණන් වලින් ජීවත් වෙවී ඉඳලා මොණර කොළ අතගාන්න පටන් ගත්ත ගමන් ගොඩක් අයට ඉස්සල්ලාම අමතක වෙන්නෙ දුප්පත් කාලෙ තමන් ළඟ හිටපු ගෑණි ,
ෆුට් බයිසිකලේ පැදගෙන ගිය කාලෙ තමන් ළඟ හිටපු කෙල්ල තමන් කාර් එකක් ගත්ත ගමන් තමන්ට ගැළපෙන්නේ නෑ කියල හිතෙනවා ,
ලස්සනට තිබ්බ ෆිගර් එක ළමයි දෙතුන් දෙනෙක් හැදුවම කැත වෙලා ඇදිලා ගිය ගමන් ගෙදර ගෑණි කැත වෙලා මගදී දකින කෙල්ලො සුරංගනාවියෝ වගේ පේන්න ගන්නවා .
ඕකෙම අනිත් පැත්තත් වෙනවා ,ගමේ හිටපු ආදරණීය පෙම්වතා කැම්පස් ආපු ගමන් ගොඩයෙක් වෙලා පේනවා .
සල්ලි ඉස්සරහ , ලස්සන ඉස්සරහ බොහෝ විට ගැහැණුත් පිරිමිත් දෙගොල්ලොම වෙනස් වෙනවා .
සල්ලියි ලස්සනයි දෙකම තාවකාලිකයි .දවසක නැති වෙනවා , හැබැයි හදවතේ සුන්දරත්වයට ආදරේ කරන මිනිස්සු කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ .මැරෙනකන් ආදරෙන් ඉන්නවා .
කෙනෙක් විවාහ වෙන්න ඕනෙ ලෝකෙට ලස්සනට පෙන්නන්න පුළුවන් කෙනෙක් නෙමයි තමන්ට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව ,
මේ ආදර්ශමත් තරුණ ධනවතා මාර්ක් සකර්බරග් තව දෙයක් කියනවා ..
"ගැහැණු කිහිප දෙනෙක් කෙරෙහි අවධානය යොමු කරන එක නවතා සොඳුරු හදවතක් තියන එකම එක කාන්තාවකට පමණක් පරිපුර්ණව ආදරේ කරන්න ,ඇය ඔබව ජීවිතේ බොහෝ දුර ආදරෙන් රැගෙන යාවි ''
A day in the life

Thursday, October 03, 2024

බ්‍රෑන්ඩඩ් ඩොංකීස් !





Nalinda Bee II

උපුටා ගැනීම -----
"මචං අර අහවල් රටේ හැම එකාම අඳින්නෙ බ්‍රෑන්ඩඩ් බං, ලංකාවේ අපි ගැන මාර දුකයි. මුං අපේ සල්ලි හොරා කාලා අපට බ්‍රෑන්ඩඩ් ගන්න තියන චාන්ස් එක නැති කරලා.
ඔව් බං, රැල්ෆ් ලෝරන්, හියුගෝ බොස් වගේ බ්‍රෑන්ඩ් වල දේවල් ගන්න අපට බෑ. මාර අවුල් බං. කොහොම හරි මුං එලවන්න ඕන. එතකොට ලංකාවේ ඔක්කොටම බ්‍රෑන්ඩඩ් ගන්න පුළුවන්."
---- උපුටා ගැනීම අවසන්
බ්‍රෑන්ඩඩ් කියන එක ලංකාවේ හොට් ටොපික් එකක් වෙලා මේ දවස්වල.
කට්ටියක් උඩින් බ්‍රෑන්ඩඩ් ඇඳලා හිල් තියන යට ඇඳුම් අඳිනකොට, තවත් අය උඩින් යටින් තියා මොකෙන්වත් බ්‍රෑන්ඩඩ් අඳින්න බැරුව ලතවෙනවා.
මොනවාද මේ බ්‍රෑන්ඩ්ස්.
ලංකාවේ ජනප්‍රියව දන්න බ්‍රෑන්ඩ් තමයි, Ralph Lauren (RL), Tommy Hilfiger( TH ), Hugo Boss වගේ සන්නාම. මේ ගොඩක් බ්‍රෑන්ඩ් True Luxury brands නෙවෙයි. නම හදාගත්තට පස්සේ mass production වලට යොමු වෙච්ච ආයතන.
ඒ නිසා මේ වගේ බ්‍රෑන්ඩ් වල බඩු ගොඩක් අයට මිලදී ගන්න පුළුවන් මිල පරාසයක තියනවා.
True Luxury brands කියන්නේ ඉතාම උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා ගෙන එක් අයිතමයකින් කුඩා ප්‍රමාණයක් නිපදවන ආයතන. Louis Vuitton ( ලූඊ වහ්ටෝන්), Christian Dior ( ක්‍රිස්ටියන් ඩියෝ), Hermes ( හ මීස්) , Gucci ( ගූචි ) , Chanel ( ෂනේල් ), Cartier ( කා ටියේ ), Balenciaga ( බලෙන්සියාගා ) වගේ බ්‍රෑන්ඩ් True Luxury brands විදියට පවසන්න පුළුවන්.
RL men's dress shirt එකක් USD 125 ක් විතර වෙනකොට, Hermes dress shirt එකක් USD 1,100 ක් විතර වෙනවා.
මේ බ්‍රෑන්ඩ් අයිති විවිධ රටවල් වල සමාගම් වලට. ඒ රටවල් වල ඉන්න හැමෝම එකම ආදායම් මට්ටම තියන අය නෙවෙයි. ඒ වගේ රටවල් ලොවෙත් නෑ.
( පොඩ්ඩක් මාතෘකාවෙන් පිට ගිහින් සරල දෙයක් කියන්නම්. ආදායම අතින් හැමෝම සමාන කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කො හැමෝම පොහොසත් කරන්න ඕන, නැත්තං හැමෝම දුප්පත් කරන්න ඕන. ඉතුරු ටික හිතාගන්න. )
බ්‍රෑන්ඩ් වල focus එක expendable income නැත්තං පහසුවෙන් වියදම් කල හැකි ධනය වැඩියෙන් තියන ගැණුම්කරුවන්.
ඕනම රටක එහෙම අය ඉන්නෙ සීමිත පිරිසක්. වැඩි පිරිසක් ඉන්නෙ middle class නැත්තං මධ්‍යම පාන්තික අය.
සාමාන්‍යය මනුෂ්‍ය ස්වභාවය අනුව ඕනෑම කෙනෙක්, මේ ලියුම්කරු ද ඇතුලත්ව, කැමතියි උසස්ම තත්වයේ පාරිභෝගික භාණ්ඩ මිලදී ගෙන පරිහරණය කරන්න. ඒක ඉතාම ස්වාභාවික හැඟීමක්. හැබැයි එහෙම බැරිඋනා කියලා විස්සෝප වෙලා අනේ අපොයි කියන එක, නැත්තං ඒ දේවල් ගන්න හැකියාවක් තියන අයට ඊර්ෂ්‍යා කරන එක නං මානසික ව්‍යාධියක්.
දැන් මේක කියවන කාටහරි හිතෙනවා නං අනේ උඹ දන්න රෙද්ද කියලා, ඔව් මං දන්නෙ රෙද්ද තමයි. අවුරුදු 26 ක් තිස්සේ ලෝකයේ බොහෝ ප්‍රධාන ඇඟලුම් ගැණුම්කරුවන් සමග කෙලින්ම ඇණවුම් සපයන්නෙක් ලෙස කටයුතු කරලා තියන මම දන්නෙ රෙද්ද තමයි. In fact මම ඕනම රෙද්දක් දන්නවා. Basic fabric ඉඳං High performance fabric වෙනකං හැම රෙද්දක්ම දන්නවා.
ලෝකෙ top brands එක්ක වැඩ කරලා තියන මම, කැමතිම shirts තමයි ලංකාවේ නිෂ්පාදනයක් වන Emerald shirts. මම මාර ආසයි Emerald shirts වල cut and fit එකට. මගේ ලඟ තියන ඔක්කොම dress shirt Emerald නෙවෙයි, නමුත් මම කැමතිම Emerald වලට.
ඒ වගේම තමයි Signature. කවුරුන් දන්න Hameedias ලා කරන shirt brand එක.
ලංකාවේ තව company එකක් තියනවා Stripes and Checks කියලා. Bespoke tailored shirts නැත්තං පාරිභෝගිකයා ගේ මිම්මට ඇඳුම් මසන ආයතනයක්. ලෝකෙ හොඳම රෙදි භාවිතා කරලා තමයි මහන්නෙ. කැමති කෙනෙක්ට තමන්ගේ නමේ මුල් අකුරු නැත්තං තමන් කැමති ලෝගෝ එකක් ෂර්ට් එකේ මහගන්න ( Monogram කරගන්න ) පුළුවන්.
ඒ වගේම casual wear වලින් මම කැමතියි T Shirt Republic එක කරන T shirts වලට, Basic T shirts නං Bear Appeal එකේ ඒවත් ඉතා හොඳයි. තව ඉතා හොඳ තත්වයේ T Shirt brands කීපයක්ම තියෙනවා ලංකාවේ, Carnage , LCY වගේ.
ඒ වගේම ඉතාම හොඳ තත්වයේ sportswear නිපදවන ආයතන කීපයක්ම ලංකාවේ තියනවා. නම් වශයෙන් මට බොහෝ සඳහන් කරන්න පුළුවන්.
මේ ආයතන, තමන් මූණ දෙන හැම අභියෝගයක්ම නිර්භීතව නියම ලාංකිකයන් විදියට ජයගෙන අභීතව ඉදිරියට යන අය. මොන ආණ්ඩුව හිටියත් කවදාවත් සාධනීය උදව්වක් නොලැබුන ඇඟලුම් ක්ෂේත්‍රයේ ලාංකීය වෙළඳපොල වීරයෝ තමයි මේ !
මේ වගේ ලංකාවේ පාරිභෝගිකයන් සඳහා පිරිමි, කාන්තා සහ ළමුන් වෙනුවෙන් ඉතා හොඳ තත්වයේ ඇඟලුම් නිෂ්පාදනය කරන ආයතන වලින් මිලදී ගත්තම කෙලින්ම ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබ දායක වෙනවා.
එම ආයතන වල සේවකයින්ට ඔබේ මිලදී ගැනීම තමන්ගේ මාසික ආදායම සරුකර ගැනීමට පිටුවහලක් වෙනවා, එම ආයතනවලට භාණ්ඩ සපයන සැපයුම් කරුවන් ට ඔබේ මිලදී ගැනීම තුලින් මහත් ශක්තියක් ලැබෙනවා, මේ ආයතන හා සම්බන්ධ සෑම දෙනාටම ගොඩ එන්න ඔබ අත දෙනවා.
මේක නෙවෙයි ද පුතා සමාජවාදය ! තමන්ගේ රටේ උන් ගොඩ දාන්න පැකිලෙන උන්ට කියන්න වචන තියනවා, මෙතන කියන්න බෑ.
කවුරු හරි පිටරට බ්‍රෑන්ඩ් අඳින්න බැරුව කම්පා වෙන ආර්ථික විශේෂඥයෙක්ට පැහැදිලි කරන්න පුළුවන්ද බ්‍රෑන්ඩඩ් බඩු ගෙන්නන්න ඩොලර් පිටරට යවලා රට ගොඩ දාන විදිය?
කාටහරි, ඔය ෂෝ එකට කියන විදිහට, රට ගොඩ දාන්න ඕන නං, ඇත්තටම කරන්න ඕන, අපේ තියන quality බ්‍රෑන්ඩ් හොයලා අරගන්න එක.
රට හදන්න කිඹුල් කඳුළු හෙලන ගමන් බ්‍රෑන්ඩඩ් නෑ නෑ කියලා අඬන ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ අයට ගැලපෙනම යෙදුම තමයි මේ ලිපියෙ මාතෘකාව විදියට යොදාගෙන තියෙන්නේ.
ඉතිං ඔබ තව දුරටත් අනුන්ගෙ වස්ත්‍ර ගැන කම්පා නොවී ඇත්තටම රට ගැන කැක්කුමක් තියනවා නං, ගන්න අපේ දේ. හැම රෙද්දම නෙවෙයි, හොඳ quality දේ.
කුමා සංගක්කාර Oxford Union spirit of cricket speech එකකදී කියපු කතාවක් මම ඉතා අගය කරනවා.
ඔහු කියනවා, "I am today, and always, proudly Sri Lankan",( මම අද මෙන්ම සැමදාමත් අභිමානවත් ලාංකිකයෙක් මි). එය අපි හැමෝගෙම උදාන වාක්‍යය විය යුතුයි.
So be a proud Sri Lankan and not a branded donkey !

A day in the life

Wednesday, October 02, 2024

ලංකාවට මෙතැන් සිට දියුණු රාජ්‍යයක් විය හැකිද?







රටක් විදියට අපේ අතීතය දිහා බැලුවම පේන්නේ නිදහසෙන් පස්සේ ආර්ථිකය පැත්තෙන් ලොකු පිමමක් තියන්න golden opportunities අපිට හැම දශකයේම ලැබිලා තියනවා. නමුත් අවාසනාවකට විවිධ හේතූන් මත අපිට ඒ ඒ අවස්ථා capitalize කරලා ඉස්සරහට එන්න බැරිවුනා. අපිට මග හැරුණු ඒ අවස්තා බොහාමයක් අපේ කලාපයේ රටවල් (Malaysia, Thailand, Singapore, Vietnam, ...) ලබාගත්තා. මේ මොහොතේ වුනත් ලෝකය AI දෙසට යනකොට අපි ඉස්සරහින් ඉන්නවට වඩා ගොඩක් පස්සෙන් පටන් ගන්නේ. අපි 2000 විතර ඉදන් තාම digitalize වෙනවා කියන රටක්. අපි ලොකු පිමි ගොඩක් එකපාර තියන්න ඕන දියුණු රටක් වෙන්න නම්.
ලංකාව අතීතයේ සිංගප්පූරුවට සමාන ආර්ථික තත්ත්වයක් තිබුන රටක්ද? අපිට සිංගප්පූරුවක් වෙන්න කොතරම් කල් යනවද?
නැත. ඒක පුද්ගල ආදායමෙන් ගත්තම (GDP per Capita) නිදහසින් පස්සේ ලංකාව සිංගප්පූරුවට පිටිපස්සෙන් හැම විටම ඉදලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න පුලුවන් බ්‍රිතාන්‍යයන් සිංගප්පූරුව සහ ලංකාව ඔවුන්ගේ ආර්ථික කටයුතු වලට දායක කරගත්ත ආකාරය (අපේ එකල ආර්ථිකය තේ (Tea) නිශ්පාදනය එක්ක සෘජුවම බැදිලා තිබුනේ). අනිත් එක තමයි ලංකාවට සපේක්ෂව පොඩි රටක් වුන සිංගප්පූරුවට හිටපු තැන සිට එකවර ඉදිරියට එන්න තිබුන ඉඩ වැඩියි සහ පහසුයි.
ඒක පුද්ගල ආදායමෙන් (GDP per Capita) සිංගප්පුරුව අපිට ඉස්සරහින් හිටියත් දල දේශිය නිශ්පාදිතයෙන් (GDP) අපිව පහුකරන්නේ 1970/71 දී (ඩොලර් බිලියන 2 සීමාව). 1968/69 ලංකාවේ සහ සිංගප්පුරුවේ ආර්ථික වර්ධන වේගය ආසන්න වශයෙන් සමානයි. 1971 අපිව පාස් කරපු සිංගප්පූරුව ඒ පිම්මටම ඉස්සරහට ගිහින් 1987 Black Monday සහ 1988 election එකෙන් පස්සේ ඒ දියුනුව වඩාත් ශීග්‍ර වෙලා දැන් ඉන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා.
අද සිංගප්පුරුවේ GDP එක ඩොලර් බිලියන 500ක් 600ක්. අපේ බිලියන 80-90ක්. සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 88,000. අපේ 4,000ක් කිටුටුව දැන් ඇති. අපේ ඒක පුද්ගල ආදායම දැන් සිංගපුපුරුව මට්ටම ගේනන අවුරුදු 50 කට වඩා යනවා අපි හැම අවුරුද්දෙම 6% ගානේ වර්ධනය වුනත්.
සරලව කියනවා නම් අපිට ලංකාව සිංගප්පූරුව දැන් ඉන්න තත්වයට එන්න 2075 වෙනකන් වත් බෑ.
අපි එතකොට 1980 වගේ කාලේ මොනවගේ ආර්තිකයක් තිබුන රටක්ද?
ලංකාවේ GDP per Capita, GDP එක සහ ජනග්‍රහනය ගත්තම 1980දී ආසන්නව සමාන වෙන්නේ Sudan, Ethiopia සහ Mozambique වගේ රට වලට. ඒ වෙද්දිත් අපි ඉතා කුඩා ආරථිකයක් තිබුණ රටක්.
ඒත් අපේ හිත්වල ලංකාවේ අවුරුදු 2500ක ඉතිහාසය, අපේ රජ පරපුර ඒවා මේවා එක්ක ගත්තම අපිට හැම වෙලේම හිතෙන්නේ අපි ඉතා ඉස්සරහින් හිටියා කියලා. අවුරුදු 1000කට කලින් එහෙම වුනත් 1948න් පස්සේ නම් එහෙම වෙලා නෑ. නමුත් 1948 ඉදන් අපේ පිහිටීම, විදේශ බලපෑම සහ අනිකුත් කරුණු එක්ක ගත්තම මේ වෙද්දි එතනින් ඉස්සරහට සාපේක්ෂව හොද ගමනත් ඇවිල්ලා තියෙනවා අපේ මට්ටමේ තිබුන අනිත් රටවලට සාපේක්ෂව.
මේ කාලය තුලම චීනය සීඝ්‍ර දියුණවත් අරගෙන තියෙනවා අපේ වගේ GDP per Capita එකක ඉදන් මේ වෙද්දී $12,000 වෙනකන්.
අද ලංකාව මොන වගේ මට්ටමක තියෙන රටක්ද?
ලංකාවේ GDP per Capita, GDP එක සහ ජනග්‍රහනය ගත්තම අද ලංකාවට ආසන්න වශයෙන් සමාන රටවල් තමයි Guatemala, Angola සහ Morocco. ලංකාව මොන වගේද ඇහුවොත් "Guatemala" වගේ කියලා තමයි කියලා කියන්න පුලුවන්. (Note: රටවල් දෙකේ ආදායම් මාර්ග පිහිටීම එක්ක ගත්තම සෑහෙන්න වෙනස්)
ලංකාව වගේ ජනග්‍රහනයක් තියෙන අද අපිට වඩා ඉස්සරහින් සිටින රටවල් මොනවද? ඒ රටවල් දැන් ඉන්න මට්ටමට එන්න අපිට කොතරම් කල් යනවද?
-Taiwan: අවුරුදු 35
-Australia: අවුරුදු 50
-Netherlands: අවුරුදු 50
-Romania: අවුරුදු 29
-Chile: අවුරුදු 28
-Ecuador: අවුරුදු 11
ඇයි ලංකාවට දියුනු වෙන්න බැරි වුනේ?
ලංකාවට වුන ලොකුම වැරදි ඇවිල්ලා අපි කෙලින්ම දක්ශිනාංශික නම් United Kingdom වගේ රටවල සහ වාමාංශික නම් Russia, China වගේ රටවල ප්‍රතිපත්ති, 1948න් පස්සේ කෙලින්ම ලංකාවේ implement කරන්න ගියපු එක ඒ ඒ කාලවල ඒ ඒ රජයන් යටතේ. අවුරුදු 5න් 5ට 10න් 10ට රජය, රට පාලන කරන පක්ෂය සහ ප්‍රතිපත්ති මාරු කර කර, බලයට එන අයත් හැම වෙලාවෙම සහන දෙමින් ඉන්න එක අපි වගේ පුංචි රටකට absorb කරන් දියුණු රටක් වෙන්න බෑ.
United Kingdom කියන්නේ ඒකාලේ අදිරාජවාදයෙන් ධනවත් වුන රටක්. Russia කියන්නේ සම්පත් සෑහෙන්න තියන රටක්. China කියන්නේ ලොකු මානව සම්පතක් සහ බාහිර ආක්‍රමණ බලපෑම් අඩුවෙන් ඉස්සරහට ආපු රටක්.
ඒ දේවල් අධ්‍යනයකින් තොරව අපි වෙනස්කම් මේවා කරේ අපේ රටේ ජනග්‍රහණය, සම්පත්, මිනිස්සුන්ගේ capacity එක සහ අනෙක් සාධක ගැන හොයන්නේ බලන්නේ නැතිව. ඒ මුලදි වෙච්ච වැරැද්ද තමයි ඒ ඒ ආභාශයන් එක්ක දැන් දිගටම මේ වන තෙක් අපි ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට අපි සුබසාදනයට බර දුප්තත් මිනිස්සුන්ට අතනොදී හැමදාම දුප්පත්ව තියාගෙන ඉන්න සහ ඒ මිනිස්සු ඒ ජිවන රටාවට හුරු කරලා සහන වලින් නඩත්තු කරන vicious cycle එකක එකක යන රටක්.
අනිත් හේතුව තමයි මම කලින් කිව්වා වගේ රටක් විදියට අපේ අතීතය දිහා බලලා අපි තුල තිබුන අදිතක්සේරුව. සමහර විට නිදහසෙන් පස්සේ ලංකාව තනි පක්ෂයක් පාලනය කරානම් (Singapore වගේ), අනිත් දේවල් කෙසේ වෙතත් මිනිස්සු ආර්ථිකව මීට වඩා හොද තැනක ඉන්න තිබුනා (මෙහෙම වුනානම් හොදයි කියලා මම කියන්නේ නෑ.)
හේතු list කරනවා නම්;
-1948 සිට රජයේ වෙනස්කම් සමඟ නිතර ප්‍රතිපත්ති වෙනස්කම් (frequent shifts in policies with government changes since 1948)
-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැඩි වෙනස්කම් (radical changes to the constitution)
-ආදායමක් ජනනය නොකරන වැරදි ව්‍යවසාය ආයෝජන (miscalculated large investments with no revenue)
-දූෂණය (corruption)
-තිරසර නැති ණය (unsustainable debt)
-යුද්ධ සහ කැරලි (wars and riots)
අපි මෙතනින් ඉස්සරට යන්නේ කොහොමද?
මේ මොහොතේ අපේ රටේ ආර්තිකය bankrupt වුනාට පස්සේ යතා තත්වයට ඇවිල්ලා නෑ. තාම එන්න පටන් ගන්න පියවරකි තිව්වා විතරයි. තවම ඉතාම අමාරුවෙන් manage කරන් යන්නේ. මම දකින විදියට අපිට රටක් විදියට මේ වෙලාවේ ලොකු සහන දෙන්න, පඩි වැඩි කරන්න, සැලකිය යුතු ලෙස බදු අඩු කරන්න හැකියාවක් ණැ. මොකද ඒ කරන හැම දෙයකින්ම වෙන්නේ රට පස්සට යන එක. ලබන අවුරුද්ද ගත්තම අපේ අයවැය හිගයම රුපිලය් ට්‍රිලියන තුනක් විතර. 2028 ඉදන් අපි Bilateral Debt සහ ISB වලට ගෙවන්න ඕන. අපේ රටට තාම credit rating එකක් නෑ default වුනාට පස්සේ.
අපිට ඉස්සරහට යන්න හොද කෙටිකාලීන සහ දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති, හොද සැලැස්මක් තියෙන්න ඕන.
තවකත් වැදගත්ම දෙයක් තමයි කවුරු බලයට ආවත් ඔවුන්ට අඩුමගානේ අවුරුදු 10ක් 15ක් දීලා බලන්න ඕන කියලා අපේ ආකල්ප හදාගන්න ඕන. මොකද අවුරුදු 5න් මේ රට හදන්න බෑ. බලයට එන අය ඒක රැකගන්න කටයුතු කරන එක ඔවුනගේ වගකීම. මොන හේතුවකට හරි අවුරුදු 5න් 5ට ආණ්ඩු වෙනස් වෙවි ගියොත් ඒක රටේ අවාසනාව. නමුත් ජනතාව විදියට අපි පුරුදු වෙලා තියෙන්නේ අපිට අපි බලාපොරොත්තු වුන දේ ඉක්මනින් ලැබුනේ නැත්නම් අවුරුදු 5න් ගෙදර යවන්න. අපිට එහෙම බලාපොරොත්තු කන්දක් දෙන අයත් මේකෙට වග කින්න ඕන.
මේකෙන් මිදෙන්න අපේ ජනතාවට පෞද්ගලික හෝ දේශපාලන වාසි නොමැතිව, දීර්ඝකාලීනව රටේ දියුණුව ගැන හිතලා විශ්වාසවන්ත පුද්ගලයන් බලයට පත්කරන්න සංවිධානය වෙන්න පුලුවන් නම් රට හොද පාරකට ඒවි. එවිට බලය ඉල්ලන පුද්ගලයන් මේ වගේ සහන මලු එක්ක බලයට පැමිණීමට උත්සාහ නොකරාවි. කවදා හෝ මෙය සිදුවුනහොත්, එය අපේ රටට විශාල ජයග්‍රහණයක්.
රටක් දියුණු වෙන්න ස්තාවර ආණ්ඩුවක්, හොද ජාතික ප්‍රතිපත්ති, හැම රටක් එක්කම හොද විදේශ සබදතා, ආයෝජකයිනට හොද පසුබිමක්, ගැලපෙන කම්කරු නීති, ... තියෙන්න ඕන. විදුලිය, ඉන්දන, ජලය, සෞඛය සහ අධ්‍යාපනය තිරසරව තියෙන්න ඕන.
අපි කෙටි කාලීනව IT, Tourism, Apparels, Foreign Remittances තවත් දියුනු කරගන්න ගමන් අලුත් exports වලට ආයේජන කරන්න ඕන අවුරුදු 10 කින් 15 කින් ප්‍රථිලාභ බලාපොරොත්තුවෙන්. මොකද 2028/2030 වෙනකන් තියන ප්‍රශ්න විසදන්න එකපාර අලුත් ආදායම් මාර්ග හදන්න බෑ. තියන දේවල් දියුණු කිරීම සහ කාර්යක්ෂම කිරීම විතරයි කරන්න පුලුවන්.
අවසානයට කියනවා නම් දැනට තියන AI trend එකෙන් පස්සේ ලෝකේ එන trend එකන් අපේ quota එක වෙන් කරගන්න දැන්ම ඉදන් සූදානම් වෙන්න ඕන. AI trend එකටත් පුලුවන් වාදියට enter වෙන්න ඕන. මෙහෙම හොද පාරක ගියොත් අවුරුදු 20/30 ක් යද්දී අපේ Humans Development Index (HDI) එක දියුණු රටක මට්ටමට ඇවිල්ලා තියේවි. 2075 දී ලංකාව සිංගප්පූරුවක් වේවි.
Note: මෙය හුදෙක් දේශපාලන පක්ශයක් ප්‍රවර්දනය කරන පෝස්ටුවක් නොව අනාගතයේ දවසක මටම 2024 දී රට තිබුන තත්වය මතක් කරගැනීම සදහා දමන පෝස්ටුවක් පමණි.
Note: GPD සහ GDP per Capita මිනුම් දෙකෙන් විතරක්ම රටක ආර්ථිකය ගැන කියන්න බෑ. ඒත් ඒ දෙකම රටේ ආර්ථිකය සහ දිශානතිය ගැන අවබෝධයක් ගන්න හොද මිනුම් දඩු.
Note: මම ලංකාව සිංගප්පූරුවක්ම වියයුතු යැයි කියන්නේ නැත. ලංකාව වියයුත්තේ "දියුණු ලංකාවක්" ය. මම එය උදාහරණයකට ගත්තේ අපි හැමෝගෙම කණට ඇහුනු උදාහරණය "ලංකාව සිංගප්පූරුවක් කරනවා" කියන එක නිසා සිංගප්පූරුවේ දැන් තිබෙන ආර්ථික මට්ටමට අපිට එන්න කොතරම් අවුරුදු ප්‍රමාණයක් ගතවේදැයි කියන එක ගැන දළ අදහසක් ලබාදීමටයි. අවාසනාවකට ලංකාවේ ඒක පුද්ගල ආදායම එම මට්ටමට අපේ ජීවිත කාලය තුල ගෙන ඒම ඉතාමත් අසීරු කාර්යයක් බව පෙන්වාදීමටය. අපිට ඊලග අවුරුදු 20/30 ඇතුලට අපේ GDP එක තව ඩොලර් බිලියන 200ක් 250ක් වගේ ප්‍රමාණයකින් වැඩිකරගෙන, එයත් සමග අනෙකුත් ආර්ථික සහ සාමාජීය සාධකත් ප්‍රවර්ධනය වෙනවා නම් ලිපියේ ඉහල පවසා ඇති පරිදි ලංකාවේ HDI එක දියුණු රටක් HDI එකක මට්ටමකට ගෙන එන්න හැකියාවක් තිබේ. අපිට ඩොලර් $12,000 ඒක පුද්ගල ආදායම පසුකරන්න පුලුවන්.

Chamika Sudusinghe


References:
https://data.worldbank.org/indicator/NY.GDP.PCAP.CD...
https://www.imf.org/.../Publi.../WEO/weo-database/2024/April
https://atlas.cid.harvard.edu/explore?country=128...
A day in the life

Tuesday, October 01, 2024

නොරිකො සං




නොරිකො සං සරච්චන්ද්‍රගේ සැබෑ පෙම්වතිය ද?

කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය. ‘ගම්පෙරළියේ’ පියල් හා නන්දා, ‘ගොළු හදවතේ’ දම්මි හා සුගත් සම්බන්ධයෙන් මෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ හා එහි දෙවැනි කොටස වන ‘මළවුන්ගේ් අවුරුදු දා’ නම් වූ නවකතා යුගළය කියවන විට ද පාඨකයන්ට එබඳු ප්‍රශ්නයක් මතුවනු නිසැකය.

’මළගිය ඇත්තෝ’ කතුවර මහාචාර්ය සරච්චන්ද්‍රයන් ජපානයේ අත්දැකීම් ඇත්තෙකි. ඔහු දෙවතාවක්ම ජපානයට ගොස් ඇත. (ඒ 1955 දී හා 1962 දීය) එහෙත් ‘මළගිය ඇත්තෝ’ පළවන්නේ 1959 දීය. කෙසේ වෙතත් මේ නවකතාවේ එන දෙවොන්දරා සං යනු මහාචාර්ය සරච්චන්ද්‍රම නොවිය හැකිද යන ප්‍රශ්නය පාඨක සිතට නැඟෙනු ඇත. මේ නවකතාව කියවූ මුල් අවස්ථාවේ දෙවොන්දරා සං ගේ චරිතය නිර්මාණය කිරීමට ප්‍රවීණ චිත්‍රශිල්පි මංජු ශ්‍රී ද බලපා ඇති බව මට සිතිණි. ඒ මංජු ශ්‍රී කලක් පැවිදි වී සිටි බැවිනි.
දෙවොන්දරා සං කෙසේ වෙතත් නොරිකෝ? ඇය ජපානයේදී මහාචාර්ය සරච්චන්ද්‍රට මුණගැසුණු, ඔහු පෙම් කළ සැබෑ යුවතියක් ද?
මෙබඳු අදහස් - මෙවන් ප්‍රශ්න මා සිතේ මතුවූයේ පසුගිය දිනෙක අප (ලේක්හවුස්) පුස්තකාලයේ තිබී හමුවූ එක්තරා ඡායාරූපයක් දැකීමෙනි. එහි මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ ජපන් තරුණියක සිටිනු පෙනේ. ඇය කවුදැයි මම හරිහැටි නොදනිමි. ඒ ඇත්ත ‘නොරිකෝ’ විය හැකිද? එසේ වුවද, නොවූවද ඇය නොරිකෝ වන්ට පුළුවනැයි යන උපකල්පනයක මම සිටිමි.
මම මහාචාර්ය සරච්චන්ද්‍ර ලියූ ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ (1985) නම් වූ ස්වයං ලිඛිත චරිත සටහන් කෘතිය පෙරළා බැලුවෙමි. එහි එක් තැනක මෙසේ සඳහන් වෙයි.
”ඇත්ත වශයෙන් කියතොත් මා විසින් නිර්මාණය කරන ලද නොරිකෝ ගේ් චරිතය මා හැඳින සිටි ජපන් ස්ත්‍රීන් දෙදෙනකු ඇසුරෙන් ගොඩනඟන ලද්දකි.”
එහෙත් ඔවුන් දෙදෙනා කවුදැයි මහාචාර්ය සරච්චන්ද්‍ර එහිලා හෙළිදරව් නොකරයි.
මහාචාර්ය සරච්චන්ද්‍ර මියගිය 1996 වසරේදී එතුමාගේ පළමු විවාහයේ දෙවැනි දියණිය වූ සුනේත්‍රා සරච්චන්ද්‍ර පුවත්පතකට කර තිබූ එක්තරා ප්‍රකාශයක් මා සිහියට ආවේය.
”නොරිකෝ ඇත්තටම ජීවමානව හිටියා. තාත්තා, අම්මයි මායි අරගෙන නිවාඩුවකට ජපානයට ගියා. අපි නැවතුණේ ලීවලින් හදපු පුංචි සාම්ප්‍රදායික ජපන් ගෙදරක – අපිට ජපන් කෑම උයලා පිහලා දෙන්න, අපිව ඇවිදින්න එක්ක යන්න ජපන් තරුණියක් හිටියා. ඇගේ නම ‘ඔකෙ උචි සං’. ඒ චරිතය පදනම් කරගෙන තමයි තාත්තා නොරිකො සං මැව්වේ. තාත්තා පොතක් ලියන බව අපි දැනගෙන හිටියා. ඒත් පොත කියවන කොටයි අපි දැනගත්තේ තාත්තා නොරිකො සං හැටියට අරගෙන තියෙන්නෙ මෙයාගේ චරිතය කියලා” (ඉරිදා ලක්බිම 1996 සැප්තැම්බර්
ප්‍රකට කවියකු හා ඡායාරූප ශිල්පියකු වන ලාල් හෑගොඩ මීට තෙවසරකට ඉහතදී (ඒත් ‘ඉරිදා ලක්බිම’ පත්තරේට) ලියූ ලිපියකින් ද ඇත්ත නොරිකෝ කෙරෙහි අවධානයක් යොමුකර තිබිණි. ඔහුට ජපානයේ දී හමුවූ අකිකෝ සං නමැති ගැහැනිය නොරිකෝ විය හැකි යැයි එම ලිපිය කියවන විට අපට සිතේ.
කෙසේ වෙතත් පූර්වෝක්ත ලිපියෙහි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ප්‍රිය බිරිය ලලිතාවන් කියන්නේ නොරිකෝ සං ගේ හැබෑ නම ‘කිමිකෝ’ කියාය.
’මළගිය ඇත්තෝ’ ගද්‍ය කාව්‍යයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ හඳුන්වා ඇත. සැබැවින්ම එය අතිසුන්දර ගද්‍ය කාව්‍යයකි. නවකතාවක් ලෙස ගතහොත් එසේත් නැත්නම් මනුෂ්‍ය ජීවිතයේ සංකීර්ණත්වය නිරූපණය කිරීම හා සම්බන්ධයෙන් ගතහොත් ‘මළගිය ඇත්තෝ’ වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ තරම් ශ්‍රේෂ්ඨ නොවූව ද ප්‍රේමය අත්දැකීම් කොටගත් නවකතාවක් ලෙස ගත් කල්හි එය විශිෂ්ට කෘතියකි.
එය කිසිසේත්ම බොළඳ ප්‍රේම කතාවක් නොවේ. ‘මළගිය ඇත්තෝ’ මෑතදි අ.පො.ස. උසස් පෙළ සිංහල විෂයයට නිර්දේශ කළ අවස්ථාවේ ගුණදාස අමරසේකර ප්‍රමුඛ සාහිත්‍යධරයන් කීපදෙනකු ‘මළගිය ඇත්තෝ’ අවප්‍රමාණයට ලක් කරමින් කතා කළද ඔවුන්ගේ මතවාද සමඟ අපට නම් එකඟ විය නොහැකිය.
’මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’ යන නවකතා යුගලතය ගැන නොයෙක් විචාර ලියැවී තිබුණ ද එම නවකතාවල අන්තර්ගතය ගැඹුරින්ම විග්‍රහ කළ වඩාත්ම ශාස්ත්‍රිය වූ විචාරය ලෙස මා දකින්නේ සේපාල් අමරසිංහගේ ‘මළගිය ඇත්තෝ විචාර විමංසනය’ නම්වූ ග්‍රන්ථයයි. එහි දෙවොන්දරා සංගේ ප්‍රේමය ප්ලෙටෝනියානු ප්‍රේමයක් (PLATONIC LOVE) ලෙස ගෙන තම විග්‍රහය කරයි. ප්ලෙටෝනියානු ප්‍රේමය යන්නෙන් ඔහු අදහස් කරන්නේ කායික බැඳීමකින් තොර ආධ්‍යාත්මික ප්‍රේමයකි.
දෙවොන්දරා සං නොරිකෝටත් නොරිකෝ දෙවොන්දරා සංටත් අවංකව ප්‍රේමකළත් දෙවොන්දරාගේ ජීවිතයේ තිබෙන සංකීර්ණ, ප්‍රතිවිරෝධි මානසිකත්වය හේතුකොටගෙන දෙදෙනා එක් නොවෙති. නවකතාවේ දෙවැනි කොටස වන ‘මළවුන්ගේ අවුරුදු දා’ කෙළවර වන්නේ දෙවොන්දරා සං ගේ මරණයෙනි.
නවකතාවේ එක් තැනක දෙවොන්දරා සං නිදිපෙති බී දිවි නසාගැනීමේ උත්සාහයක යෙදේ. ඒ ප්‍රේමයෙන් හටගන්නා අපරිමිත ශෝකය ඔහුට දරාගත නොහැකි හෙයිනි. මහාචාර්ය සරච්චන්ද්‍ර ද වරක් දිවිතොර කර ගැනීමට තැත් දැරූ බව මම අසා ඇත්තෙමි. මහගමසේකරයන් කියූ දෙයක් ප්‍රවීණ ලේඛක කරුණාරත්න අමරසිංහ වරක් ලියා තිබුණේ මෙපරිද්දෙනි.
”නිදි පෙති වැඩිය අරන් හොඳටම අමාරුවෙලා ඉන්නකොට මං ගියා දොස්තර බලන්න. ඒක හුඟදෙනෙක් දන්නේ නෑ. එයා ළඟින්ම හිටිය අය විතරයි ඒක දැනගෙන හිටියේ”
මෙහිදී සේකර ‘දොස්තර’ යනුවෙන් සඳහන් කළේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටය.
ඉහත කරුණු කවරාකාර වුවද කිසියම් ප්‍රබන්ධ කෘතියක හැබෑ චරිත සොයන්ට යෑම අර්ථවත් ක්‍රියාවක් ද? නවකතාවක චරිත ගෙන අසවලා කවුද, අසවලා කවුදැයි සෙවීම රසවින්දන මාර්ගයක් නොව රසවින්දනයට බාධාවක් විය හැකිය ඒ ව්‍යාපෘතියට පරිබාහිරව කෙරෙන්නක් බව මහාචාර්ය සරච්චන්ද්‍ර ම කියයි. (පින් ඇති සරසවි වරමක් දෙන්නේ)
එසේ වුවත් පෘතග්ජන පාඨකයන් වන අපට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ‘නොරිකෝ’ යන චරිත නාමයෙන් හැඳින්වුණු ජපන් යුවතියටත් ඒ යුවතිය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටත්, හදවතේ ගැඹුරුම තැනින් පෙම්කළා වැනි විචිත්‍රවාදී උපකල්පනයක් ඇතිවනු වැළැක්විය හැකිද?
( මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වියෝවෙන් වසර 14 කට පසු නැසීගිය සිනමා ලේඛක,මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුලයන් විසින් සිළුමිණ පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි)
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon