Saturday, July 06, 2024

බූරුවන් සමඟ තර්ක කිරීම නවත්වන්න












බූරුවන් සමඟ තර්ක කිරීම නවත්වන්න
දිනක් බූරුවෙක් කොටියෙකුට මෙසේ කීවේය.
"තණකොළ නිල්".
කොටියා මෙසේ පිළිතුරු දුන්නේය.
"නෑ, තණකොළ කොළ පාටයි."
කතාව උණුසුම් වූ අතර, එය විසදීමට කැලෑවේ රජු වන සිංහයා ඉදිරියට යාමට දෙදෙනාම තීරණය කලේය.
සිංහයා තම සිංහාසනය මත හිඳගෙන කතා කරන්නට පටන්ගන්නට පෙරදීම බූරුවා කෑගැසීමට පටන් ගත්තේය:
"උතුමාණනි, තණකොළ නිල් බව ඇත්තද?".
සිංහයා මෙසේ පිළිතුරු දුන්නේය.
"ඇත්ත, තණකොළ නිල් පාටයි."
බූරුවා ඉක්මන් වී දිගටම මෙසේ කීවේය.
"කොටියා මා සමඟ එකඟ නොවන අතර, තණකොළ කොළ පාට බව කියමින් මට කරදර කරයි, කරුණාකර ඔහුට දඬුවම් කරන්න."
එවිට රජු මෙසේ ප්‍රකාශ කළේය.
"කොටියාට වසර 5 කට පසු ඔබත් සමඟ තර්කයට නොයන ලෙස දඬුවම් ලැබෙනු ඇත."
බූරුවා සතුටු සිතින් පැන හැරී යන්නට ගියේය.
"තණකොළ නිල් පාටයි"...
කොටියා ඔහුගේ දඬුවම පිළිගත්තේය, නමුත් ඔහු සිංහයාගෙන් මෙසේ ඇසුවේය.
"රජතුමනි, ඔබ මට දඬුවම් කළේ ඇයි?, තණකොළ කොළ පාටයි."
සිංහයා මෙසේ පිළිතුරු දුන්නේය.
"ඇත්ත වශයෙන්ම, තණකොළ කොළ පාටයි."
කොටියා මෙසේ ඇසීය.
"ඉතින් ඇයි ඔයා මට දඬුවම් කරන්නේ?".
සිංහයා මෙසේ පිළිතුරු දුන්නේය.
"තණකොළ නිල් ද කොළ ද යන ප්‍රශ්නයට එහි කිසිදු සම්බන්ධයක් නැත".
බූරුවෙකු සමඟ වාද කරමින් කාලය නාස්ති කිරීමට ඔබ වැනි නිර්භීත බුද්ධිමත් සත්වයෙකුට නොගැලපෙන නිසා දඩුවමක් ලබා දීමට තීරණය කළෙමි.
කාල නාස්තිය යනු සත්‍යය හෝ යථාර්ථය ගැන නොතකන, නමුත් ඔහුගේ විශ්වාසයන් සහ මිත්‍යාවන්ගේ ජයග්‍රහණය පමණක් නොසලකන මෝඩයා සහ උමතුවාදීන් සමඟ වාද කිරීමයි. කිසිම තේරුමක් නැති තර්ක වලට කාලය නාස්ති කරන්න එපා...
අපි කොයිතරම් සාක්‍ෂි ඉදිරිපත් කළත් තේරුම් ගැනීමේ හැකියාවක් නැති අය ඉන්නවා. තවත් අය මමත්වයෙන්, ද්වේශයෙන්, අන්ධ වෙලා, තමන්ට අවශ්‍ය වෙන්නේ බුද්ධියක් නැති වුණත් හරි වෙන්න විතරයි.
අවිද්‍යාව කෑගසන විට බුද්ධිය නිහඬය. ඔබේ සාමය සහ නිශ්ශබ්දතාවය හැම දේකටම වඩා වටිනවා. එය රැකගන්න.

❤️
පූර්නිමා හේරත් ( පරිවර්තනයකි)




A day in the life

Friday, July 05, 2024

කපා කොටා ඉරා දමපු දේශයක්








 

ආදරේ..
කපා කොටා ඉරා දමපු දේශයක්
දුර ඈතට ඉගිල්ලෙන්න හීන දැකපු
ලිහිණියන්ගෙ හීන බිඳපු දේශයක්..
සකියණේ......
මල් පිපුණු බිමක් මුඩු බිමක් කළ වෘකයන්
උල් තියුණු දත් වලින් බිඳිණු හැක පරපුරක්
දහවලෙහි හිරු කඩා හංගාපු
රෑ යමේ සඳත් නිරුවත් කරපු
තාරකාවන් බිමට විසි කරපු
වෘකයෙනි.. වෘකයෙනි ..වෘකයෙනි..
අපේ උන් බියෙන් ගලවා ගනිමි
නු⁣ඹේ ඔය තියුණු දත් මොට කරමි
රත්තරං දතක් පා වැඩදාපු
ඉස්තරම් හිනාවකි දවටාපු
කස්තිරම් ගසා අප රවටාපු
වෘකයෙනි ..වෘකයෙනි..වෘකයෙනි
රැහැනකින් ගැට ගසා සිරකරමි
චණ්ඩ රළු රළ මතට විසිකරමි
සකියණේ...
මුඩු බිමක යළිත් මල් පුබුදුවමි
සත්තමයි ප්‍රේමයේ දිය ඉහිමි
සෝමලතා හේරත් මැණිකේ




A day in the life

Thursday, July 04, 2024

හිතලා බලන්න.




 

පහුගිය කාලේ අවුරුදු 14-18 දරුවො එක්ක විවිධ වැඩසටහන් සහ හමුවීම් ඇතුළෙ කතා කරද්දි නීරික්ෂණය වුණු පොදු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව සිදුවීම් දෙකකින් ලියන්න පුළුවන්.
පළවෙනි සිදුවීමේ ඉන්න ගැහැනු දරුවට වයස අවුරුදු 15යි. ඇය සාමාන්‍ය පවුලක දුවෙක්. අවුරුදු 14දි තමයි ඇයට ඇයගෙ පෙම්වතාව මුණගැහෙන්නෙ. ඔහුත් ඇයගේ සමවයස් කෙනෙක්. එකම පාසලේ දෙන්නම ඉගෙනගන්නෙ. මේ දැරියගෙ ගෙදරට මේ සම්බන්ධෙ අහුවෙලා ඇය අසීමාන්තිකව ගුටි කාලා තියෙනවා. ඇගේ අම්මට, ඇගේ පෙම්වතාගෙ අම්මා බැනපු දවසෙ ( "දුවව හරියට හදාගත්තනම් දුව කොල්ලො එක්ක යාළුවෙයිද? වයසටද ඔයාගෙ දුවගෙ වැඩ" කියන වචන තමා ඇය කියන්නෙ) අම්මා ඇයව ගෙදර ඇදන් ඇවිත් දැඩි ලෙස පහර දෙනවා. දැන් ඒ සිදුවීමට මාස නමයක් වෙනවා. අම්මා තවමත් ඇය එක්ක කතා කරන්නෙ නැහැ. ඇයට උවමනා වුණේ අම්මව කොහොමද තමන් එක්ක ආයෙත් යාළු කරගන්නෙ කියලා අහගන්නයි. ඇගේ කතාව කියන අතරෙ ඇය තමන්ගෙ පෙම්වතා ගැන විස්තර කරේ මෙහෙමයි.
" එයා හරිම හොඳයි. අනිත් පිරිමි ළමයි වගේ අනවශ්‍ය දේවල් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එයා හොඳට එයාගෙ වැඩත් කරගන්නවා. අනික මට දැන් ඉතුරුවෙලා ඉන්නෙ එයා විතරයි. මොකද අම්මා කියන දේ අහලා තාත්තයි මල්ලියි මාත් එක්ක කතා කරන්නෙත් නෑ දැන්. ඉතින් මම සම්බන්ධෙ නැවැත්තුවොත් මට කවුරුත්ම නැති වෙනවා. මම වරදක් හැටියට කරේ කෙනෙක්ට කැමති වුණ එක විතරයි. කොහේවත් ගිහිල්ලා අහුවෙලා හෝ වෙන දෙයක් කරේ නැහැ. ඒත් මට අම්මා බැන්නෙ මම මහා පවුකාරකමක් කරා වගේ. අම්මා නැන්දලට, පුංචිලට පවා මං ගැන කිය කිය මට ඇහෙන්න බනිනවා. මට ලැජ්ජයි හුඟක්. එහෙම බනිද්දි මට හිතෙනවා මට ඇත්තටම ඉන්නෙ මගේ බෝයිෆ්‍රෙන්ඩ් විතරමයි කියලා.
ඒත් සමහර වෙලාවට මට දුකයි. අම්මා මට කවදාවත් මම ආස ඇඳුමක් අඳින්න අවසර දීලා නැහැ. කලිසමක් ඇන්දත් මට බනිනවා. මගේ බෝයිෆ්‍රෙන්ඩුත් එහෙමයි. සමහර දාට මට හිතෙනවා එයත් මගේ ගෙදර අය වගේමයි කියලා. එයා මට කලිසම් අඳින්න තහනම් කරලා තියෙන්නෙ. එයා මට ගිය අවුරුද්දෙදිම කිව්වා මට ජොබ් එකක් කරන්න තහනම් කියලා. මම පන්තියේ තුන්වෙනියා. මම ආසයි කැම්පස් යන්න. ඒත් එයා එපා කියලා දැන්මම කියලා තියෙන්නෙ. මට බස් එකේ යන්නත් තහනම් අනිත් Boys Schoolවල අය යන නිසා. කෝච්චියේ තමයි මම යන්න ඕනේ. ඒකත් එයා දුර ඉඳන් බලන් ඉන්නවා. එයා මාව පරිස්සම් කරනවා කියලයි එයා කියන්නෙ. ඒත් මට දැන් මහන්සියි. අම්මත් මට ගහන්නෙ මාව පරිස්සම් කරගන්න බැරි වුණා කියලා. මෙයා මට නීති දාන්නෙ මාව පරිස්සම් කරන්න කියලයි. මට දැන් හිතෙනවා පරිස්සම් වෙනවා ඇරෙන්න මට කවදාවත් ජීවත්වෙන්න නම් බැරි වෙයි කියලා"
දෙවෙනි සිදුවීමේ ඉන්නෙ අවුරුදු 17ක ගැහැනු දරුවෙක්. කීර්තිමත් පවුලකට අයිති දුවෙක්. Gender ගැන පැවැත්වෙන දේශනයකට පස්සෙ අපි එක්ක කතා කරන්න බලන් හිටපු අය අතරෙ වඩාත් දක්ෂම කතාකාරිය මේ දුව. ඇය හිටියෙ ලොකු කලබලේකින්. ඇගේ කලබලේට හේතුව ගැන එයා කිව්වෙ මෙහෙමයි
" මේ සෙෂන් එක අසාධාරණයි. මේකට අනුව, අක්කට අනුව මගේ බෝයිෆ්‍රෙන්ඩ් හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමෙයි. එයා මට බස් එකේවත් වෙන පිරිමි ළඟ ඉඳන් යන එක තහනම් කරලා තියෙන්නෙ. එයා කියනවා එයා දන්නවා කියලා පිරිමි හිතන හැටි. මට ක්ලාස් එකේ හෝ පල්ලියේ දහම් පාසලේ පිරිමි යාළුවො ඉන්න ඕනේ නැහැ කියලා එයා කියනවා. මට එයත්, එයාට මමත් ඉන්නවනෙ කියලයි එයා කියන්නෙ. අපිට අපි දෙන්නා ඇතිලු. ගෑනු යාළුවො අලුතෙන් හොයාගත්තට කමක්නැහැ. ඒත් පිරිමි යාළුවො මොකටද? කියලා එයා අහනවා. කොටට අඳින කෙල්ලො ගැන කොල්ලො කියන ඒවා එයා දන්නවලු ඒ නිසා මම ඇඟ සම්පූර්ණයෙන් වැහෙන්න අඳින්න ඕනේ කියලා එයා කියනවා. ඒකෙන් වෙන්නෙ මාව ආරක්ෂා වෙන එකලු. මම ගමනක් යන්න කළින් අඳින ඇඳුම තීරණය කරලා ඒකේ ෆොටෝ එකක් එයාට මම අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. එයා එපා කිව්වොත් ඒ ඇඳුම මට අඳින්න බැහැ. එයා එක්ක අෆෙයාර් එක පටන් අරන් තාම මාස හයයි. මට දැන් හුස්ම ගන්නත් බැහැ වගේ. එයා නරක කෙනෙක් නෙමෙයි. එයා හොඳයි. එයත් කතෝලික. ආගම්වලිනුත් අපි ගැළපෙනවා. පවුල්වලිනුත් එහෙමයි. ඒත් මට තේරෙනවා මම වැඩියෙන් ආස ඉස්කෝලේ එන්න කියලා. ගෙදර ගිය වෙලේ ඉඳන් ෆෝන් එකෙන් අපි රණ්ඩු වෙනවා. මුකුත් නැත්‍තම් එයා මට මගේ වට්සැප් චැට් එකේ ස්ක්‍රීන් ශෙයාර් කරන්න කියලා ඒක හරි චෙක් කරනවා. මට එයාගෙන් හංගන්න මුකුත් තිබිලා නැහැ. එයා මට කරන නිසා මාත් දැන් එයාට තහනම් කරලා තියෙන්නෙ වෙන ගෑනු ළමයි එක්ක කතා කරන්න. අයියෝ මටම ලැජ්ජයි දැන්. මට එහෙම මනුස්සයෙක් වෙන්න ඕනේ නැහැ. මට ලැජ්ජයි මං ගැනම. මාත් දැන් එයා වගේම රණ්ඩු වෙනවා. මට හිතාගන්න බැහැ. මට මහන්සියි වගේ. මගේ තාත්ති හරිම ආසයි මට එක එක ඇඳුම් අරන් දෙන්න. මට දැන් තාත්තිව දැක්කම දුක හිතෙනවා. අද ගෙදරින් එද්දි මට හිතුණා තාත්ති දන්නවනම් මම එයා ගෙනත් දෙන ඇඳුම් අඳින්නෙත් වෙන කෙනෙක්ගෙන් අවසර අරන් කියලා, එයා අඬයි කියලා. මට ඒ වෙලේ හිතුණා දැන් ඇති මේ පිස්සුව කියලා. මම මොකද්ද කරන්න ඕනේ?"
මේ සිදුවීම් දෙකේ ඉන්නෙ දුවලා දෙන්නෙක් විතරක් නෙමෙයි. පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. දෙමව්පියොත් ඉන්නවා.
නව යොවුන් වියේ දරුවොන්ගෙ සම්බන්ධතා අහුවුණාම ඒ දරුවොන්ව අපරාධකාරයො හැටියට සලකන, ගෑනු ළමයින්ට නම් ' නැට්ටිච්චියො, විසේ, කුලප්පුව' වගේ කතා කියන දෙමව්පියො, නෑදෑයෝ සහ ගුරුවරු මේ කුඩා දූපත පුරාම ඉන්නවා. තමන්ගෙ පොඩි දුවගෙ/පුතාගෙ සම්බන්ධයක් ගැන දැනගත්තම අම්මෙක්/තාත්තෙක්/ වැඩිහිටියෙක් මෙහෙම හැසිරෙන ගෙදරක් ගැන හිතලා බලන්න.
- දරුවා එක්ක ඉඳගෙන කතා කරන ගෙදරක්
- දරුවට කෑ ගහලා, ගහනවා වෙනුවට "පුතා/ දූ ඇත්තටම ඒ දරුවට කැමතිද? ඇයි කැමති වුණේ" කියලා අහන ගෙදරක්
- පුතා/දූ හිතනවද ඔය තීරණේ ගන්න ඕන කරන ඔක්කොම විස්තර එයා ගැන ඔයා දන්නවා කියලා?
- පුතා/දූ සතුටෙන්ද?
- පුතා/දූ පාර්ට්නර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා හිතලා තියෙනවද? හිතුවෙ නැද්ද? එහෙනම් දැන් හිතන්න. මේ කෙනා ගැළපෙනවද කියලා හොයාගන්න වෙනවනෙ
- පුතා/දූ එයා එක්ක කතා කරන්නෙ ෆෝන් එකෙන්ද? පුතාට/දූට පුළුවන්ද පාඩම් වැඩයි, ෆෝන් එකයි බැලන්ස් කරගන්න? ක්‍රමයක් ගැන හිතුවද?
සබඳතා ගැන මෙහෙම කතා කරන දෙමව්පියො සහ ගුරුවරු ඉන්න දූපතක් කොහොම තැනක් වෙන්න පුළුවන්ද?
මාත් දැන් ඒක නිතරම හිතනවා.
ඊළඟ කොටස.
අවුරුදු 14-19 පිරිමි දරුවො සැලකිය යුතු ප්‍රමාණයක් අතිශය බරපතල ලෙස තමන්ගෙ පෙම්වතියව ඉතා දැඩි ලෙස නීති දාලා පාලනය කරන්න හදන මානසිකත්වය කොහෙන් ආපු එකක්ද? කවුද ඔවුන්ට මේ ක්‍රමය ඉගැන්නුවෙ? කවුද ඔවුන්ට කියලා දුන්නෙ ආදරේ කරන්නෙ මේ විදිහටයි කියලා? කවුද ඔවුන්ට කිව්වෙ මේ බලහත්කාරය තමයි ප්‍රේමයක් හැටියට වර්ධනය වෙන්නෙ කියලා?
මේවට උත්තරත් මම නිතරම හිතනවා. අපි සාමුහිකව කල්පනා කළ යුතු ප්‍රශ්න නෙමෙයිද මේවා?
මීට මාස දෙකකට කළින් අපිට මුණගැහුණා අවුරුදු 18ක ගෑනු ළමයෙක්ව. ඇගේ පෙම්වතාට කේන්ති යන ඕනම වෙලාවක මේ දරුවගෙ මූණටමයි ඔහු පහර දෙන්නෙ. ඇය එක්ක කෙරුණු දීර්ඝ සංවාදයකට පස්සෙ ඇය මේ සම්බන්ධය දිගටම ගෙනියන්න හේතු ඇය බිම බලාගෙන පැහැදිලි කරා.
" මේක නවත්තනවා කිව්ව ගමන් එයා කියනවා එයා මැරෙනවා කියලා. මට බයයි. මම දන්නවා එයා මැරෙන්නෙ නෑ කියලා. ඒත් මං බයයි. අනික මං වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ. අම්මා මට සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම ඇති මාව මරන්න. (දීර්ඝ නිහඬතාවයකට පස්සෙ) එයා ළඟ මගේ ෆොටෝස් තියෙනවා. මම එයාව අත ඇරියොත් එයා ඒවා ෆේස්බුක් එකටයි, ටෙලිග්‍රෑම් ගෘප්ස්වලටයි දානවා කියලා තියෙන්නෙ. මාව බේරගන්න කවුරුත්ම නෑ"
ඇයගෙ මේ විස්තරය අහන් ඉඳලා අපේ කණ්ඩායමේ හිටපු නීතිඥ මිත්‍රයෙක් කියනවා " මට දැන් මගේ පොඩි කෙල්ල ගැනත් බයයි බං. ඒකිටත් දවසක හිතුණොත් අපි ළඟට ඇවිත් කිසි දෙයක් කියන්න බෑ කියලා? මේ කිසිදේකින් වැඩක් නැහැ නේද බං?" කියලා.
මේ රටේ දරුවොන්ට ආරක්ෂාවක් දෙන්න පුළුවන් ගෙවල්, පාසල්, ආගමික ආයතන, පොදු ප්‍රවාහන සේවා හෝ කිසිවක් නිර්මාණය කරන්න අසමත් වුණු වැඩිහිටියො තමන්ටම කියාගන්න ඕනේ නේද මේ කතාව?
'මේ රටේ පොඩි එවුන්ට හිතෙනවනම් අපි ළඟට ඇවිත් කිසි දෙයක් කියන්න බෑ කියලා? අපි තේරුම්ගන්නෙ නෑ කියලා? අපි කරුණාවන්ත හෝ ගෞරවණීය නැහැ කියලා? මේ කිසිදේකින් වැඩක් නැහැ නේද බං?'

 

ජූනි 26, 2024Shenu Perera

 A day in the life

Wednesday, July 03, 2024

රටා පැදුරු






ඉඳුරුවේ රටා පැදුරු....
ඉඳුරුව අපේ ගම් පළාත. දකුණු පළාතටයි අයිති. බස්නාහිර පළාතෙ මායිමට වෙන්න පිහිටි ගමක්. රටා පැදුරු විවීම අතින් ඉඳුරුව දුම්බරට දෙවෙනි නැහැ. මෙහි විශේෂත්වය වන්නේ පැදුරු විවීම හස්ත කර්මාන්න්තයක් ලෙස පවත්වාගෙන යාමයි.
පැදුරු වියන්නෙ අතින්. බිම වාඩිවෙලා. එය ගැහැනු අයගෙ කර්මාන්තයක්. සෑම ගෙදරකම ඒ කාලෙ වැඩිහිටි ගැහැනු අයට පැදුරු වියන්න පුලුවන්. සමහර තරුණියන්ද මේ වැඩේට දක්ෂයි. එය ඔවුන්ගෙ අතිරේක ආදායම් මාර්ගයක්.
සමහර අය පැදුරු වලට අමතරව මලුත් වියනව. ඉස්සර කඩේ ගෙනියන්නෙ පන් මලු. පාසල් ළමුන් පොත් බෑග් වෙනුවට පාවිච්චි කරන්නෙත් පන් මල්ල. අපිත් ප්රාථමික පන්ති වලදි පොත් දාගෙන ගියේ පන් මල්ලක. මේක පරිසර හිතකාමී කර්මාන්තයක්.
පැදුරු මලු වියන්නෙ පන් වලින්. පන් වර්ග තුනක් ඒ පැත්තෙ පාවිච්චි වෙනව. බොරු පන්, ගල්ලැහැ, සහ තුන්හිරියා කියන වර්ග. බොරු පන් හා තුන් හිරියා කුඹුරු ඉඩම් වල ඉබේ හැදෙනවා. ගල්ලැහැ පන් ඕවිටිවල වගා කරනවා. ඒ වර්ගය ටිකක් ඉහලයි. මිල අධිකයි. ශක්තියෙන් වැඩියි. ගල්ලැහැ පන් බොහෝ විට වගා කරුවන්ගෙන් මිලට ගන්න ඕන.
පන් වගාවත් හොඳ ආදායම් මාර්ගයක්. අපේ ගෙවල් ලඟ හිටිය නෑයෙක් වූ පන් මුදලාලි කෙනෙක්. අක්කර දෙකක විතර ගල්ලැහැ පන් කොටුවක් තිබුන එයාට. එයා තමයි වැලිකඩ සිරගෙදරට ඒ කාලෙ පන් සහ බොරුපන් පැදුරු සැපයුවෙ. හොඳට හම්බ කළා එයා.
පැදුරු වියන ගෙවල් වල ආච්චිල , අම්මල , දූල ඔක්කොම ඒක තරඟෙට කරනව. පාසල් යන තරුණ ගැහැනු ළමයිද බොහෝ විට විවේක කාලෙට පැදුරු වියනව. ඒක ඔවුන්ටත් ආදායම් මාර්ගයක්.
පැදුරු වෙලෙන්දො ගෙවල් වලටම එනව. පැදුරු වල තරම, ශක්තිය, නිමාව හා රටාව අනුව මිළ නියම වෙනවා. අමාරු රටාවක් නම්, යොදල තියෙන වර්ණ සංයෝගය කදිම නම්, හොඳ මිලක් ලැබෙනව. සමහර කපටි වෙලෙන්දො පැදුරුවල නොයෙක් අඩුපාඩු කියමින් ලාබෙට ගන්න කේවල් කරනව. පැදුරු අහසට අල්ලල සිදුරු පේනවද බලනව. ඒත් ඉඳුරුවෙ ගෑනු ඒ වෙළඳ ගැට වලට අහුවෙන්නෙ නැහැ. පාසල් ළමුන්ගෙ පැදුරු ඉහල ප්රමිතියෙන් නැහැ. ඒ නිසා ඔවුන්ට ලැබෙන්නෙ අඩු මුදලක්. ආච්චිල තමයි දුර්ලභ ලස්සන රටා වියන්නෙ. ඒවට එක එක නම් තියෙනව. පත්තෑය, මොනරා, තාරකා, කිරිබත් කෑල්ල , ආදී වශයෙන්. සමහර පැදුරු රටා ඒ ඒ පවුල් වලට ආවේනිකයි. ඒ මෝස්තරය වෙන අයට වියන්න බැහැ.
ඈත ගම් වල ගැහැනුත් අපේ හරියෙ වෙල්යායට එනව පන් උදුරන්න. උදේ ඉඳල උදුරපු පන් විශාල මිටි බැඳල ඔළුව උඩ තියාගෙන හවසට පෝලිමේ යනව පෙරහැර වගේ. ජෝති අයිය කියල කෙනෙක් එහෙම එන ලස්සන අම්මණ්ඩි කෙනෙකුට පන්මිටි උස්සන්න උදවු කරල අන්තිමේ ඒ ගෑනු කෙනාව කසාද බැන්දා.
පැදුරු විකුණන්න ඉඳුරුව හා තදාසන්න ප්රදේශ වල අයගෙ වෙළඳපොල තිබුනෙ ගෝනගල. ඒක තරමක කඩ මණ්ඩියක්. පොළ තියෙන්නෙ අඟහරුවාදා. ලංකාවෙ හතර දිග්බාගෙන් එන පැදුරු වෙලෙන්දො එක්ක හෙට්ටු කර කර පැදුරු විකුණන ගැහැනු බලන්න ලස්සනයි එදාට. ඉතින් බොහෝ අය ඒ මුදල් වලින් සියලුම දේවල් ඒ පොළෙන්ම මිළට අරන් ගෙදර එන්නෙ රටක් රාජ්යයක් ලැබුන වගේ සතුටින්. ඒක හරියට ඒ පැත්තෙ සංස්කෘතියක් වගෙයි.
ඉඳුරුවෙ බොහෝ ගම් වල පැදුරු වියන්නන්ගේ සමූපකාර සමිතිය නමින් සමිති ශාලාවක් තිබුන. ඔවුන්ගේ පොදු ගැටලු හා සුභ සාධනය එහි අරමුණ වුනා.
පැදුරු එකතු කරන තවත් වෙලෙන්දො කීප දෙනෙක් අපේ ගමේම හිටිය. ඒ අය පැදුරු අරන් කෝච්චියෙන් යනව ඒ ඒ කාලවල උත්සව පවත්වන තැන් වලට. හලාවත මුන්නේශ්වරම, කතරගම, අනුරාධපුරේ , නුවර දළදා මාලිගාව ආදී තැන් වල ඉඳුරුවෙ පැදුරු හොඳට අළෙවි වෙනවා.
පැදුරු වියන ගැහැණු ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් කැප කිරීමක් කරනව. ගෙදර වැඩ අවසන් කරල රෑ එක දෙක වෙනකම් කුප්පි ලාම්පු එළියෙන් පැදුරු වියනව. දවල් කාලෙදි සමහර නැන්දල එක ගෙදරකට රොක් වෙල තේ කහට බිබී බුලත් හපමින් , රටේම ආගත නාගත දොඩමින් පැදුරු වියන අවස්ථාද නැතුවා නොවෙයි.
ඒක ඒ අයගෙ නිල නොවන රස්සාව.
ගල්ලැහැ පන් විවීමට පෙර තලා පැතලි කරගත යුතුය. ඒ සඳහා පන් මෝල් තිබේ. අතින් කරකවන මේ පන් මෝල යකඩ රෝලර් දෙකක් එකිනෙකට යාව කැරකෙන පරිදි සකසා තිබේ. මේ බර යකඩ රෝලර් දෙක අතරින් යන පන් ගස් සුමටව තැලී පැතලි වීයයි. කුඩා අපි ඒ කාලෙ මේ පන් මෝල කැරැකැවීමෙන් ලොකු විනෝදයක් ලැබුවා.
බොරු පන් හා තුන්හිරියා පන් සුමට කිරීමට මෝල අවශ්ය නොවේ. ඒවා මිටියක් බැඳ පයින් පාගා ගැනීම ප්රමාණවත් වේ.
පන් ගස් වර්ණ ගැන්වීමද කලාවක්. ඒ සඳහා කුකුළු සායම් කඩෙන් මිළට ගතයුතුයි. ඒවා කහ, නිල්, කොල, දම් හා රතු පැහැයෙන් ලබා ගත හැක.
ලොකු තඹ මුට්ටියක වතුර නටවා ඊට සායම් කුඩු දමා කුඩාවට ඔතන ලද පන් මිටි එහි දමා තම්බා අනතුරුව අව්වේ දමා හොඳට වේලා ගනු ලැබේ. මේ විවිධ වර්ණ සංයෝජන මනා ලෙස යොදමින් රටාවන් එන ලෙස පැදුරු විවීම ඒ අයට ආවේනික කලාවක්.
පැදුරක් විවීමේ ආරම්භය "පැදුර පිරීමයි". එහි අවසානය " මෝටි දැමීමයි". ලිහෙන්නෙ නැති ලෙස පැදුරේ වාටිය ගෙතීමයි එයින් අදහස් කරන්නේ. මෝටි දැමීම ළමුන්ට කළ හැකි දෙයක් නොවන බැවින් ඒවාට වැඩිහිටියන් උදව් කරනවා.
ඉඳුරුව පැත්තේ අය පිට පළාත්වල නෑ මිත්රාදීන්ට තෑගි ලෙස දෙන්නේද ලස්සන රටා පැදුරකි. එය ඔවුන්ට වටිනා තෑග්ගකි. පන්සල් වල පිරිකරටත් බොහෝවිට පැදුරු පූජා කරති.
කොහොම නමුත් එකක් කියන්න ඕන. ඉඳුරුවෙ පැදුරු ඇඟට හරිම සනීපයි . පැදුර පෑගුනත් ඇති නිකම්ම නින්ද යනව.
කෙසේ නමුත් දැනට එම පළාතේ එම සුප්රකට පැදුරු කර්මාන්තය තවම තිබේදැයි මා හරි හැටි නොදනියි. ලංකාවෙ කොහු කර්මාන්තයට ආනයනික ප්ලාස්ටික් බඩු නිසා හෙනහුරා වැහුව වගේ චීනෙන් ආනයනය කරන ලාබ ප්ලාස්ටික් පැදුරු හා කාපට් නිසා මේ වටිනා කලාවත් අභාවයට ගිහින් වගෙයි.

ජයකුමාර රංචා ගොඩ - අඩයාලමට වියමන් කල වියමනකි.

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon