Thursday, July 04, 2024

හිතලා බලන්න.




 

පහුගිය කාලේ අවුරුදු 14-18 දරුවො එක්ක විවිධ වැඩසටහන් සහ හමුවීම් ඇතුළෙ කතා කරද්දි නීරික්ෂණය වුණු පොදු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව සිදුවීම් දෙකකින් ලියන්න පුළුවන්.
පළවෙනි සිදුවීමේ ඉන්න ගැහැනු දරුවට වයස අවුරුදු 15යි. ඇය සාමාන්‍ය පවුලක දුවෙක්. අවුරුදු 14දි තමයි ඇයට ඇයගෙ පෙම්වතාව මුණගැහෙන්නෙ. ඔහුත් ඇයගේ සමවයස් කෙනෙක්. එකම පාසලේ දෙන්නම ඉගෙනගන්නෙ. මේ දැරියගෙ ගෙදරට මේ සම්බන්ධෙ අහුවෙලා ඇය අසීමාන්තිකව ගුටි කාලා තියෙනවා. ඇගේ අම්මට, ඇගේ පෙම්වතාගෙ අම්මා බැනපු දවසෙ ( "දුවව හරියට හදාගත්තනම් දුව කොල්ලො එක්ක යාළුවෙයිද? වයසටද ඔයාගෙ දුවගෙ වැඩ" කියන වචන තමා ඇය කියන්නෙ) අම්මා ඇයව ගෙදර ඇදන් ඇවිත් දැඩි ලෙස පහර දෙනවා. දැන් ඒ සිදුවීමට මාස නමයක් වෙනවා. අම්මා තවමත් ඇය එක්ක කතා කරන්නෙ නැහැ. ඇයට උවමනා වුණේ අම්මව කොහොමද තමන් එක්ක ආයෙත් යාළු කරගන්නෙ කියලා අහගන්නයි. ඇගේ කතාව කියන අතරෙ ඇය තමන්ගෙ පෙම්වතා ගැන විස්තර කරේ මෙහෙමයි.
" එයා හරිම හොඳයි. අනිත් පිරිමි ළමයි වගේ අනවශ්‍ය දේවල් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එයා හොඳට එයාගෙ වැඩත් කරගන්නවා. අනික මට දැන් ඉතුරුවෙලා ඉන්නෙ එයා විතරයි. මොකද අම්මා කියන දේ අහලා තාත්තයි මල්ලියි මාත් එක්ක කතා කරන්නෙත් නෑ දැන්. ඉතින් මම සම්බන්ධෙ නැවැත්තුවොත් මට කවුරුත්ම නැති වෙනවා. මම වරදක් හැටියට කරේ කෙනෙක්ට කැමති වුණ එක විතරයි. කොහේවත් ගිහිල්ලා අහුවෙලා හෝ වෙන දෙයක් කරේ නැහැ. ඒත් මට අම්මා බැන්නෙ මම මහා පවුකාරකමක් කරා වගේ. අම්මා නැන්දලට, පුංචිලට පවා මං ගැන කිය කිය මට ඇහෙන්න බනිනවා. මට ලැජ්ජයි හුඟක්. එහෙම බනිද්දි මට හිතෙනවා මට ඇත්තටම ඉන්නෙ මගේ බෝයිෆ්‍රෙන්ඩ් විතරමයි කියලා.
ඒත් සමහර වෙලාවට මට දුකයි. අම්මා මට කවදාවත් මම ආස ඇඳුමක් අඳින්න අවසර දීලා නැහැ. කලිසමක් ඇන්දත් මට බනිනවා. මගේ බෝයිෆ්‍රෙන්ඩුත් එහෙමයි. සමහර දාට මට හිතෙනවා එයත් මගේ ගෙදර අය වගේමයි කියලා. එයා මට කලිසම් අඳින්න තහනම් කරලා තියෙන්නෙ. එයා මට ගිය අවුරුද්දෙදිම කිව්වා මට ජොබ් එකක් කරන්න තහනම් කියලා. මම පන්තියේ තුන්වෙනියා. මම ආසයි කැම්පස් යන්න. ඒත් එයා එපා කියලා දැන්මම කියලා තියෙන්නෙ. මට බස් එකේ යන්නත් තහනම් අනිත් Boys Schoolවල අය යන නිසා. කෝච්චියේ තමයි මම යන්න ඕනේ. ඒකත් එයා දුර ඉඳන් බලන් ඉන්නවා. එයා මාව පරිස්සම් කරනවා කියලයි එයා කියන්නෙ. ඒත් මට දැන් මහන්සියි. අම්මත් මට ගහන්නෙ මාව පරිස්සම් කරගන්න බැරි වුණා කියලා. මෙයා මට නීති දාන්නෙ මාව පරිස්සම් කරන්න කියලයි. මට දැන් හිතෙනවා පරිස්සම් වෙනවා ඇරෙන්න මට කවදාවත් ජීවත්වෙන්න නම් බැරි වෙයි කියලා"
දෙවෙනි සිදුවීමේ ඉන්නෙ අවුරුදු 17ක ගැහැනු දරුවෙක්. කීර්තිමත් පවුලකට අයිති දුවෙක්. Gender ගැන පැවැත්වෙන දේශනයකට පස්සෙ අපි එක්ක කතා කරන්න බලන් හිටපු අය අතරෙ වඩාත් දක්ෂම කතාකාරිය මේ දුව. ඇය හිටියෙ ලොකු කලබලේකින්. ඇගේ කලබලේට හේතුව ගැන එයා කිව්වෙ මෙහෙමයි
" මේ සෙෂන් එක අසාධාරණයි. මේකට අනුව, අක්කට අනුව මගේ බෝයිෆ්‍රෙන්ඩ් හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමෙයි. එයා මට බස් එකේවත් වෙන පිරිමි ළඟ ඉඳන් යන එක තහනම් කරලා තියෙන්නෙ. එයා කියනවා එයා දන්නවා කියලා පිරිමි හිතන හැටි. මට ක්ලාස් එකේ හෝ පල්ලියේ දහම් පාසලේ පිරිමි යාළුවො ඉන්න ඕනේ නැහැ කියලා එයා කියනවා. මට එයත්, එයාට මමත් ඉන්නවනෙ කියලයි එයා කියන්නෙ. අපිට අපි දෙන්නා ඇතිලු. ගෑනු යාළුවො අලුතෙන් හොයාගත්තට කමක්නැහැ. ඒත් පිරිමි යාළුවො මොකටද? කියලා එයා අහනවා. කොටට අඳින කෙල්ලො ගැන කොල්ලො කියන ඒවා එයා දන්නවලු ඒ නිසා මම ඇඟ සම්පූර්ණයෙන් වැහෙන්න අඳින්න ඕනේ කියලා එයා කියනවා. ඒකෙන් වෙන්නෙ මාව ආරක්ෂා වෙන එකලු. මම ගමනක් යන්න කළින් අඳින ඇඳුම තීරණය කරලා ඒකේ ෆොටෝ එකක් එයාට මම අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. එයා එපා කිව්වොත් ඒ ඇඳුම මට අඳින්න බැහැ. එයා එක්ක අෆෙයාර් එක පටන් අරන් තාම මාස හයයි. මට දැන් හුස්ම ගන්නත් බැහැ වගේ. එයා නරක කෙනෙක් නෙමෙයි. එයා හොඳයි. එයත් කතෝලික. ආගම්වලිනුත් අපි ගැළපෙනවා. පවුල්වලිනුත් එහෙමයි. ඒත් මට තේරෙනවා මම වැඩියෙන් ආස ඉස්කෝලේ එන්න කියලා. ගෙදර ගිය වෙලේ ඉඳන් ෆෝන් එකෙන් අපි රණ්ඩු වෙනවා. මුකුත් නැත්‍තම් එයා මට මගේ වට්සැප් චැට් එකේ ස්ක්‍රීන් ශෙයාර් කරන්න කියලා ඒක හරි චෙක් කරනවා. මට එයාගෙන් හංගන්න මුකුත් තිබිලා නැහැ. එයා මට කරන නිසා මාත් දැන් එයාට තහනම් කරලා තියෙන්නෙ වෙන ගෑනු ළමයි එක්ක කතා කරන්න. අයියෝ මටම ලැජ්ජයි දැන්. මට එහෙම මනුස්සයෙක් වෙන්න ඕනේ නැහැ. මට ලැජ්ජයි මං ගැනම. මාත් දැන් එයා වගේම රණ්ඩු වෙනවා. මට හිතාගන්න බැහැ. මට මහන්සියි වගේ. මගේ තාත්ති හරිම ආසයි මට එක එක ඇඳුම් අරන් දෙන්න. මට දැන් තාත්තිව දැක්කම දුක හිතෙනවා. අද ගෙදරින් එද්දි මට හිතුණා තාත්ති දන්නවනම් මම එයා ගෙනත් දෙන ඇඳුම් අඳින්නෙත් වෙන කෙනෙක්ගෙන් අවසර අරන් කියලා, එයා අඬයි කියලා. මට ඒ වෙලේ හිතුණා දැන් ඇති මේ පිස්සුව කියලා. මම මොකද්ද කරන්න ඕනේ?"
මේ සිදුවීම් දෙකේ ඉන්නෙ දුවලා දෙන්නෙක් විතරක් නෙමෙයි. පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. දෙමව්පියොත් ඉන්නවා.
නව යොවුන් වියේ දරුවොන්ගෙ සම්බන්ධතා අහුවුණාම ඒ දරුවොන්ව අපරාධකාරයො හැටියට සලකන, ගෑනු ළමයින්ට නම් ' නැට්ටිච්චියො, විසේ, කුලප්පුව' වගේ කතා කියන දෙමව්පියො, නෑදෑයෝ සහ ගුරුවරු මේ කුඩා දූපත පුරාම ඉන්නවා. තමන්ගෙ පොඩි දුවගෙ/පුතාගෙ සම්බන්ධයක් ගැන දැනගත්තම අම්මෙක්/තාත්තෙක්/ වැඩිහිටියෙක් මෙහෙම හැසිරෙන ගෙදරක් ගැන හිතලා බලන්න.
- දරුවා එක්ක ඉඳගෙන කතා කරන ගෙදරක්
- දරුවට කෑ ගහලා, ගහනවා වෙනුවට "පුතා/ දූ ඇත්තටම ඒ දරුවට කැමතිද? ඇයි කැමති වුණේ" කියලා අහන ගෙදරක්
- පුතා/දූ හිතනවද ඔය තීරණේ ගන්න ඕන කරන ඔක්කොම විස්තර එයා ගැන ඔයා දන්නවා කියලා?
- පුතා/දූ සතුටෙන්ද?
- පුතා/දූ පාර්ට්නර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා හිතලා තියෙනවද? හිතුවෙ නැද්ද? එහෙනම් දැන් හිතන්න. මේ කෙනා ගැළපෙනවද කියලා හොයාගන්න වෙනවනෙ
- පුතා/දූ එයා එක්ක කතා කරන්නෙ ෆෝන් එකෙන්ද? පුතාට/දූට පුළුවන්ද පාඩම් වැඩයි, ෆෝන් එකයි බැලන්ස් කරගන්න? ක්‍රමයක් ගැන හිතුවද?
සබඳතා ගැන මෙහෙම කතා කරන දෙමව්පියො සහ ගුරුවරු ඉන්න දූපතක් කොහොම තැනක් වෙන්න පුළුවන්ද?
මාත් දැන් ඒක නිතරම හිතනවා.
ඊළඟ කොටස.
අවුරුදු 14-19 පිරිමි දරුවො සැලකිය යුතු ප්‍රමාණයක් අතිශය බරපතල ලෙස තමන්ගෙ පෙම්වතියව ඉතා දැඩි ලෙස නීති දාලා පාලනය කරන්න හදන මානසිකත්වය කොහෙන් ආපු එකක්ද? කවුද ඔවුන්ට මේ ක්‍රමය ඉගැන්නුවෙ? කවුද ඔවුන්ට කියලා දුන්නෙ ආදරේ කරන්නෙ මේ විදිහටයි කියලා? කවුද ඔවුන්ට කිව්වෙ මේ බලහත්කාරය තමයි ප්‍රේමයක් හැටියට වර්ධනය වෙන්නෙ කියලා?
මේවට උත්තරත් මම නිතරම හිතනවා. අපි සාමුහිකව කල්පනා කළ යුතු ප්‍රශ්න නෙමෙයිද මේවා?
මීට මාස දෙකකට කළින් අපිට මුණගැහුණා අවුරුදු 18ක ගෑනු ළමයෙක්ව. ඇගේ පෙම්වතාට කේන්ති යන ඕනම වෙලාවක මේ දරුවගෙ මූණටමයි ඔහු පහර දෙන්නෙ. ඇය එක්ක කෙරුණු දීර්ඝ සංවාදයකට පස්සෙ ඇය මේ සම්බන්ධය දිගටම ගෙනියන්න හේතු ඇය බිම බලාගෙන පැහැදිලි කරා.
" මේක නවත්තනවා කිව්ව ගමන් එයා කියනවා එයා මැරෙනවා කියලා. මට බයයි. මම දන්නවා එයා මැරෙන්නෙ නෑ කියලා. ඒත් මං බයයි. අනික මං වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ. අම්මා මට සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම ඇති මාව මරන්න. (දීර්ඝ නිහඬතාවයකට පස්සෙ) එයා ළඟ මගේ ෆොටෝස් තියෙනවා. මම එයාව අත ඇරියොත් එයා ඒවා ෆේස්බුක් එකටයි, ටෙලිග්‍රෑම් ගෘප්ස්වලටයි දානවා කියලා තියෙන්නෙ. මාව බේරගන්න කවුරුත්ම නෑ"
ඇයගෙ මේ විස්තරය අහන් ඉඳලා අපේ කණ්ඩායමේ හිටපු නීතිඥ මිත්‍රයෙක් කියනවා " මට දැන් මගේ පොඩි කෙල්ල ගැනත් බයයි බං. ඒකිටත් දවසක හිතුණොත් අපි ළඟට ඇවිත් කිසි දෙයක් කියන්න බෑ කියලා? මේ කිසිදේකින් වැඩක් නැහැ නේද බං?" කියලා.
මේ රටේ දරුවොන්ට ආරක්ෂාවක් දෙන්න පුළුවන් ගෙවල්, පාසල්, ආගමික ආයතන, පොදු ප්‍රවාහන සේවා හෝ කිසිවක් නිර්මාණය කරන්න අසමත් වුණු වැඩිහිටියො තමන්ටම කියාගන්න ඕනේ නේද මේ කතාව?
'මේ රටේ පොඩි එවුන්ට හිතෙනවනම් අපි ළඟට ඇවිත් කිසි දෙයක් කියන්න බෑ කියලා? අපි තේරුම්ගන්නෙ නෑ කියලා? අපි කරුණාවන්ත හෝ ගෞරවණීය නැහැ කියලා? මේ කිසිදේකින් වැඩක් නැහැ නේද බං?'

 

ජූනි 26, 2024Shenu Perera

 A day in the life

Wednesday, July 03, 2024

රටා පැදුරු






ඉඳුරුවේ රටා පැදුරු....
ඉඳුරුව අපේ ගම් පළාත. දකුණු පළාතටයි අයිති. බස්නාහිර පළාතෙ මායිමට වෙන්න පිහිටි ගමක්. රටා පැදුරු විවීම අතින් ඉඳුරුව දුම්බරට දෙවෙනි නැහැ. මෙහි විශේෂත්වය වන්නේ පැදුරු විවීම හස්ත කර්මාන්න්තයක් ලෙස පවත්වාගෙන යාමයි.
පැදුරු වියන්නෙ අතින්. බිම වාඩිවෙලා. එය ගැහැනු අයගෙ කර්මාන්තයක්. සෑම ගෙදරකම ඒ කාලෙ වැඩිහිටි ගැහැනු අයට පැදුරු වියන්න පුලුවන්. සමහර තරුණියන්ද මේ වැඩේට දක්ෂයි. එය ඔවුන්ගෙ අතිරේක ආදායම් මාර්ගයක්.
සමහර අය පැදුරු වලට අමතරව මලුත් වියනව. ඉස්සර කඩේ ගෙනියන්නෙ පන් මලු. පාසල් ළමුන් පොත් බෑග් වෙනුවට පාවිච්චි කරන්නෙත් පන් මල්ල. අපිත් ප්රාථමික පන්ති වලදි පොත් දාගෙන ගියේ පන් මල්ලක. මේක පරිසර හිතකාමී කර්මාන්තයක්.
පැදුරු මලු වියන්නෙ පන් වලින්. පන් වර්ග තුනක් ඒ පැත්තෙ පාවිච්චි වෙනව. බොරු පන්, ගල්ලැහැ, සහ තුන්හිරියා කියන වර්ග. බොරු පන් හා තුන් හිරියා කුඹුරු ඉඩම් වල ඉබේ හැදෙනවා. ගල්ලැහැ පන් ඕවිටිවල වගා කරනවා. ඒ වර්ගය ටිකක් ඉහලයි. මිල අධිකයි. ශක්තියෙන් වැඩියි. ගල්ලැහැ පන් බොහෝ විට වගා කරුවන්ගෙන් මිලට ගන්න ඕන.
පන් වගාවත් හොඳ ආදායම් මාර්ගයක්. අපේ ගෙවල් ලඟ හිටිය නෑයෙක් වූ පන් මුදලාලි කෙනෙක්. අක්කර දෙකක විතර ගල්ලැහැ පන් කොටුවක් තිබුන එයාට. එයා තමයි වැලිකඩ සිරගෙදරට ඒ කාලෙ පන් සහ බොරුපන් පැදුරු සැපයුවෙ. හොඳට හම්බ කළා එයා.
පැදුරු වියන ගෙවල් වල ආච්චිල , අම්මල , දූල ඔක්කොම ඒක තරඟෙට කරනව. පාසල් යන තරුණ ගැහැනු ළමයිද බොහෝ විට විවේක කාලෙට පැදුරු වියනව. ඒක ඔවුන්ටත් ආදායම් මාර්ගයක්.
පැදුරු වෙලෙන්දො ගෙවල් වලටම එනව. පැදුරු වල තරම, ශක්තිය, නිමාව හා රටාව අනුව මිළ නියම වෙනවා. අමාරු රටාවක් නම්, යොදල තියෙන වර්ණ සංයෝගය කදිම නම්, හොඳ මිලක් ලැබෙනව. සමහර කපටි වෙලෙන්දො පැදුරුවල නොයෙක් අඩුපාඩු කියමින් ලාබෙට ගන්න කේවල් කරනව. පැදුරු අහසට අල්ලල සිදුරු පේනවද බලනව. ඒත් ඉඳුරුවෙ ගෑනු ඒ වෙළඳ ගැට වලට අහුවෙන්නෙ නැහැ. පාසල් ළමුන්ගෙ පැදුරු ඉහල ප්රමිතියෙන් නැහැ. ඒ නිසා ඔවුන්ට ලැබෙන්නෙ අඩු මුදලක්. ආච්චිල තමයි දුර්ලභ ලස්සන රටා වියන්නෙ. ඒවට එක එක නම් තියෙනව. පත්තෑය, මොනරා, තාරකා, කිරිබත් කෑල්ල , ආදී වශයෙන්. සමහර පැදුරු රටා ඒ ඒ පවුල් වලට ආවේනිකයි. ඒ මෝස්තරය වෙන අයට වියන්න බැහැ.
ඈත ගම් වල ගැහැනුත් අපේ හරියෙ වෙල්යායට එනව පන් උදුරන්න. උදේ ඉඳල උදුරපු පන් විශාල මිටි බැඳල ඔළුව උඩ තියාගෙන හවසට පෝලිමේ යනව පෙරහැර වගේ. ජෝති අයිය කියල කෙනෙක් එහෙම එන ලස්සන අම්මණ්ඩි කෙනෙකුට පන්මිටි උස්සන්න උදවු කරල අන්තිමේ ඒ ගෑනු කෙනාව කසාද බැන්දා.
පැදුරු විකුණන්න ඉඳුරුව හා තදාසන්න ප්රදේශ වල අයගෙ වෙළඳපොල තිබුනෙ ගෝනගල. ඒක තරමක කඩ මණ්ඩියක්. පොළ තියෙන්නෙ අඟහරුවාදා. ලංකාවෙ හතර දිග්බාගෙන් එන පැදුරු වෙලෙන්දො එක්ක හෙට්ටු කර කර පැදුරු විකුණන ගැහැනු බලන්න ලස්සනයි එදාට. ඉතින් බොහෝ අය ඒ මුදල් වලින් සියලුම දේවල් ඒ පොළෙන්ම මිළට අරන් ගෙදර එන්නෙ රටක් රාජ්යයක් ලැබුන වගේ සතුටින්. ඒක හරියට ඒ පැත්තෙ සංස්කෘතියක් වගෙයි.
ඉඳුරුවෙ බොහෝ ගම් වල පැදුරු වියන්නන්ගේ සමූපකාර සමිතිය නමින් සමිති ශාලාවක් තිබුන. ඔවුන්ගේ පොදු ගැටලු හා සුභ සාධනය එහි අරමුණ වුනා.
පැදුරු එකතු කරන තවත් වෙලෙන්දො කීප දෙනෙක් අපේ ගමේම හිටිය. ඒ අය පැදුරු අරන් කෝච්චියෙන් යනව ඒ ඒ කාලවල උත්සව පවත්වන තැන් වලට. හලාවත මුන්නේශ්වරම, කතරගම, අනුරාධපුරේ , නුවර දළදා මාලිගාව ආදී තැන් වල ඉඳුරුවෙ පැදුරු හොඳට අළෙවි වෙනවා.
පැදුරු වියන ගැහැණු ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් කැප කිරීමක් කරනව. ගෙදර වැඩ අවසන් කරල රෑ එක දෙක වෙනකම් කුප්පි ලාම්පු එළියෙන් පැදුරු වියනව. දවල් කාලෙදි සමහර නැන්දල එක ගෙදරකට රොක් වෙල තේ කහට බිබී බුලත් හපමින් , රටේම ආගත නාගත දොඩමින් පැදුරු වියන අවස්ථාද නැතුවා නොවෙයි.
ඒක ඒ අයගෙ නිල නොවන රස්සාව.
ගල්ලැහැ පන් විවීමට පෙර තලා පැතලි කරගත යුතුය. ඒ සඳහා පන් මෝල් තිබේ. අතින් කරකවන මේ පන් මෝල යකඩ රෝලර් දෙකක් එකිනෙකට යාව කැරකෙන පරිදි සකසා තිබේ. මේ බර යකඩ රෝලර් දෙක අතරින් යන පන් ගස් සුමටව තැලී පැතලි වීයයි. කුඩා අපි ඒ කාලෙ මේ පන් මෝල කැරැකැවීමෙන් ලොකු විනෝදයක් ලැබුවා.
බොරු පන් හා තුන්හිරියා පන් සුමට කිරීමට මෝල අවශ්ය නොවේ. ඒවා මිටියක් බැඳ පයින් පාගා ගැනීම ප්රමාණවත් වේ.
පන් ගස් වර්ණ ගැන්වීමද කලාවක්. ඒ සඳහා කුකුළු සායම් කඩෙන් මිළට ගතයුතුයි. ඒවා කහ, නිල්, කොල, දම් හා රතු පැහැයෙන් ලබා ගත හැක.
ලොකු තඹ මුට්ටියක වතුර නටවා ඊට සායම් කුඩු දමා කුඩාවට ඔතන ලද පන් මිටි එහි දමා තම්බා අනතුරුව අව්වේ දමා හොඳට වේලා ගනු ලැබේ. මේ විවිධ වර්ණ සංයෝජන මනා ලෙස යොදමින් රටාවන් එන ලෙස පැදුරු විවීම ඒ අයට ආවේනික කලාවක්.
පැදුරක් විවීමේ ආරම්භය "පැදුර පිරීමයි". එහි අවසානය " මෝටි දැමීමයි". ලිහෙන්නෙ නැති ලෙස පැදුරේ වාටිය ගෙතීමයි එයින් අදහස් කරන්නේ. මෝටි දැමීම ළමුන්ට කළ හැකි දෙයක් නොවන බැවින් ඒවාට වැඩිහිටියන් උදව් කරනවා.
ඉඳුරුව පැත්තේ අය පිට පළාත්වල නෑ මිත්රාදීන්ට තෑගි ලෙස දෙන්නේද ලස්සන රටා පැදුරකි. එය ඔවුන්ට වටිනා තෑග්ගකි. පන්සල් වල පිරිකරටත් බොහෝවිට පැදුරු පූජා කරති.
කොහොම නමුත් එකක් කියන්න ඕන. ඉඳුරුවෙ පැදුරු ඇඟට හරිම සනීපයි . පැදුර පෑගුනත් ඇති නිකම්ම නින්ද යනව.
කෙසේ නමුත් දැනට එම පළාතේ එම සුප්රකට පැදුරු කර්මාන්තය තවම තිබේදැයි මා හරි හැටි නොදනියි. ලංකාවෙ කොහු කර්මාන්තයට ආනයනික ප්ලාස්ටික් බඩු නිසා හෙනහුරා වැහුව වගේ චීනෙන් ආනයනය කරන ලාබ ප්ලාස්ටික් පැදුරු හා කාපට් නිසා මේ වටිනා කලාවත් අභාවයට ගිහින් වගෙයි.

ජයකුමාර රංචා ගොඩ - අඩයාලමට වියමන් කල වියමනකි.

A day in the life

Tuesday, July 02, 2024

රුහුණේ ආහාර.




යකුන්ටත් බය නැති රුහුණේ ආහාර...

දකුණු ලක රුහුණු රටට මා තුල ඇත්තේ අපමණ බැඳීමකි. එක පසෙකින් ලොව සුන්දරම මුහුදු තීරයන්ගෙන්ද , අනෙක් පසින් ජෛව විවිධත්වයෙන් අනුන සිංහරාජ වනාන්තරයෙන්ද වටවුණු රුහුණු පුරවරය තවදුරටත් අලංකාර වුයේ ආගන්තුක සත්කාරයෙන් සහ මුනිදස් කුමරතුඟු වැනි භාෂා පඬිවරුන් බිහි කල ඔවුන්ටම ආවේනික වූ සුන්දර දකුණේ බසිනි.
රජවාසල කවටයා අන්දරේගේ සිට ගජමන් නෝනා දක්වා සාහිත්යකරුවන්ද, මාටින් වික්රමසිංහ වැනි මෑත යුගයේ හෙළ සාහිත්ය ලේඛකයින්ද රටට දායාද කල දකුණු ලක, ගැමුණු රජුට යුධ කිරීමට මග පෙන්වීමේ සිට ත්රිවිධ කල්හිම රට එක් සේසත් කිරීමට දායකත්වයක් දැරූ දේශ මාමක විරයින්ගේද නිජ භූමියකි.
වැවුරු කන්නල- වෙහෙරහේන වැනි ඔවුන්ටම ආවේනික සිත්තරුන් සහ මුර්ති ශිල්පින්ගෙන් පෝෂණය වූ දකුණේ කලාව වඩා ඔප් නැංවුණේ සාම්ප්රධායික පහත රට යක් නැටුම්, බෙර වාදන සහ බලි තොවිල් කලාවෙනි. යක්කුන්ට බය නොවී ඔවුන් නම්මවා වැඩ ගැනීමට සමත් වූ දකුණේ ජනතාව ඒ නිසාමදෝ අන් පළාත් වලදී මෙන් සැර යයි සම්මත ආහාරයට බය වුනේද නැත.
බලමාලු සමඟ දෙල් වුව, දැල්ලෝ ,ඉස්සෝ සමඟ අච්චාරු එක් කරන්නටත් බිය නොවූ දකුණේ ආහාරය තරම් කටට සැර මිරිස් බහුල නමුත් රසයෙන් කිසිවකට සම කල නොහැකි ආහාර දකුණේදී හැර ලොව කොතනකදී වත් මා රසබලා නැත.. ඒ යකුන් නම්මන්නාක් සේ එම ආහාර නම්මාගෙන සැර මකා ගුණ පමණක් ගන්නට ඔවුන් තුල තිබු සියුම් ආහාර තාක්ෂණයට පින් සිදු වන්නටය.
මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ දකුණටම සුවිශේෂ වූ ආහාර සහ ආහාරයේ සැර මකන්නට ඔවුන් යොදා ගත් සියුම් තාක්ෂනය පිලිබඳ කෙටි සටහනකි.
රතු කැකුළු බත
රතු කැකුළු බත දකුණටම ආවේනික ආහාරයක්. පොදුවේ හැම කෙනෙකුම දන්නේ මේ බතේ පිෂ්ඨයට අමතරව විටමින් බි අඩංගු බව. අදවන විට සාමාන්ය රතු කැකුළු බත බවට පරිවර්තනය වී ඇතත් පෞරාණික රුහුණේ කැකුළු බත ලෙස හඳුන්වා ඇත්තේ
රතු මානික්කම් නැමැති දේශීය සහල් වර්ගය.
රතු කැකුළු සහල් නිවුඩ්ඩේ ගුණ අති විශාල ප්රමාණයක් ඇතත් දකුණේ ආහාරයේදී ඉස්මතුවී පෙනෙන්නේ මේ සහලේ ඇති ආසාත්මිකතා වලකන විශේෂ ගුණාංගයයි.
තුන් වේලටම බත් කෑ දකුණේ මිනිසුන්ට ඒ සමඟ මොන සැර කෑමක් ඇඟට වැටුනත් රුහුණු රට උපුල්වන් දෙවි පිහිටෙන් වගේ වගක් නොදැනුනේ ඔන්න ඔහොමයි.
කෑම මේසයට යැවෙන පොල් පලගාන
ආගන්තුක සත්කාරයට පරසිඳු දකුණේ ගෙදරක බත් මේසයේ නොවරදින පොල් පලඟාන ගැන නොකිය කොහොමෙයි? හත් අට වෑන්ජනයක් තිබුනත් කිරි සුදුවට එවෙලේ ගෑ පොල් නොතිබුනොත් එය නම් උගුරෙන් පහලට බත් නොගිලෙන
ගැටලුවකි.
පොල් අස්වැන්නෙන් අඩු පාඩුවක් නැති රුහුණු රටේ මිනිසුන් තුල අමු පොලේ ඇති විෂ නැසීමේ, භාශ්මියකරණයේ හැකියාව ගැන ඇත්තේ අචල විශ්වාසයක්..බලමාලු ඇඹුල සමඟ අමු පොල් කැකුළු බතට..ආයි මක්කටෙයි වෙන මොනවත්?
ජාඩි හොද්ද
රුහුණු රටේ වෙරලබඩට ආවේනික ආහාරයක් ජාඩි හොද්ද..ජාඩි දමන්න ගන්නෙත් අන් පලාත්වල බොහෝ විෂ යයි සම්මත කුම්බලා, හුරුල්ලෝ, අලගොඩු පැටව් වගේ මාළු වර්ග.
ජාඩි දැමීමේ මුලික සිද්ධාන්තය කරදියෙන් පමණක් සෝදා ලුණු කැට සහ ගොරකා මත අතුරා මාසයක් හමාරක් වසා තැබීම.




ධුලකහරණයට, ආසාත්මිකතා වැලක්වීමට සහ බැක්ටීරියා, දිලිර විනාශ කිරීමට ගොරකා වල ඇති හැකියාව විශ්මිත බවයි අද වෙනවිට පැවසෙන්නේ.. ඉතින් මේ ගොරකා වලට පින් සිදු වෙන්නට විස නැතිව හැදෙන ජාඩි කරවල තව දුරටත් විස නැසෙනවා පොල් කිරෙන් ඉව්වාම..ඉතිරි අඩුපාඩු මැකෙන්න පලඟානෙන් පොල් ටිකක් බෙදා ගමු..
විජහට පොලක් ඔයල ගෙනෙන් හිච්චි කෙල්ලේ ජාඩි හොද්දට කොස් එක්ක කන්න..
දෙහි ආනම:
මේක නම් හරිම අපූරු ආහාරයක්. ඉදුණු දෙහි කුඩා කැබලි කපා ඔවුන්ටම ආවේනික තෙම්පරාදුවක් සමඟ මිටිකිරි ඩිංගක් සමඟ රස අනුව සිනි ඩිංගක් දමා හිදෙන්නට පිසෙන මේ දෙහි මාළුව කෑම රුචිය වඩවන දිව්ය රස ඇති ව්යංජනයක්..ඕනෑම ආහාරයක් සමඟ බතට ගැලපෙනවා..දෙහි වෙනුවට ඉදුණු හීන් නාරං යොදා ගන්නත් පුළුවන්.
දෙහි ආනම ඇත්නම් බල මාළු ඇඹුල් තියල් කන්න ඔයැයිතු මක්කට බය වෙනවද ? ගැට කාලෙම ඔලුව වටේ තුන් වංගියක් කරකොල ගිරෙන් කපල ගත්තාම යක්කු පෙරේතයොත් බය වෙන දෙහි, හොදට පැහුනම බය වෙයිද හට්ටියේ ඉන්න මැරිච්ච බල මාළු කූරියට?
රුහුණු අච්චාරු:
අච්චාරු නම් රට පුරාම ඕන පදම්..නමුත් රුහුණු අච්චාරුව..කෑ කෙනෙක් නැවත වෙන අච්චාරු නොකන වෙනස්කම් ගොඩයි.
පුංචි රතුලූනු, ගස්ලබු, අමුමිරිස්/කොච්චි සමඟ විශේෂයෙන් බැදපු හාල් මැස්සන් එකතුවෙන මේ අච්චාරුවේ අබ විනාකිරි වල විස මැකෙන්නේ අලුත කපාගත් මුරුංගා පොත්තකින්.
සැර ඩිංගක් තිබුනත් කෑමට ගන්නේ පොල් එක්කනේ..සියලු දෝෂ නිවාරණයි..
හාල් පොල් බැඳි මාළු හොද්ද:
මාළු හොද්දට වැඩියෙන් ප්රසිද්ධ කොළඹ මිගමු පළාත්. නමුත් දකුණේ බල මාළු හොද්ද හැදෙන්නේ අපුරු ක්රමයකට..ඒ තමා පොල් කබලේ බැද අමුමිරිස්, වියලි මිරිස්, ගොරකා, කරපිංචා සමඟ මුරුංගා පොත්තක් අඹරාගෙන.
මුරුංගා පොත්තේ ඇති විස නැසීමේ බලේ ගොරකා, කරපිංචා සමඟ එක් වුනාම ඩබල් ට්රිබල් වෙනවා. මාතර දැල්ලෝ කියන ලොව රසවත්ම දැල්ලා පිසෙන්නෙත් මේ ආකාරයටමයි.
කැකුළු බතට රුහුණු මාළු හොදි සහ අමු පොල්.....ලොව වෙන කිසි තැනෙක නැති රස ගුලාව...


ඇඹුල් තියල් :
අනෙක් පලාත්වල මිනිසුන් බය කරන බල මාලුවෙන් සෑදෙන ඇඹුල් තියල් වල සිධ්ධාන්තයත් පෙර කි ගොරක සාස්තරේම තමා..ඊට අමතරව ඇඹුල් තියලේ ඇති ගම්මිරිස්, කරපිංචා යන සුසන්යෝගයත් ඕනෑම විසක් නැති කරන අපූරු ඖෂධ..
බල මාළුවාගේ ගණන් බස්සන්නේ ඕන් ඔහොමයි......
දෙවෙනි පාරටත් එහෙනම් බෙදා ගමු කැකුළු බත්, පොල් සම්බෝල සමඟ ඇඹුල්තියල්..ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ මෙහෙම රසක් ..
සුනු සාල් බත්:
උදේ කෑම වේලට රුහුණේ ගොවි ගෙවල් වල නොවරදින ආහාරයක්..සහල් කෙටීමෙන් ඉතිරිවන කුස්සියේ මුල්ලක ගබඩා වෙන කැකුළු සුනු සහල් බත ඉදිගෙන එන විට ඔයාගත් අමු පොලක් -දෙකක් අවශ්ය පමණ කලවම් කර ඉදෙන මේ බත ආහාරයට ගන්නේ රතුළූණු, දෙහි, උම්බලකඩ දැමු කට්ට සම්බෝලයක් සමඟ.
ගානට තෙතමනය රැදෙන මේ බතට උණු උණුවේ හොදි අවශ්ය වන්නේ නැහැ.. රස බැලුවෝ රස දනිති..
ආයේ නොදොඩා මොකෑ හිච්චි උන්ටත් බය නැතිව පිහ දෙන්න ඇහැකි බත....මද්දහනේ වෙනකන් බඩ ගෙඩිය පුරෝලා, පොල් නිසා දවල් බතට පිහෙන දැල්ලෝ, දෙල් වලට උදැහැනැක්කෙම ලේස්ති වෙලා..
උදේ කෑමට හීල් බත් කිරි හොදි සමඟ රතු ළුණු සම්බෝලය:
තුන් වේලට බත් බුදින රුහුණු රටේ උදේ ආහාරයට බත පිළියෙළ වන තවත් විධියක් මේ..කැකුළු බතට කිරි හොද්ද සමඟ කට්ට සම්බෝලය..දවස පුරා සිත ගත ප්රබෝදයෙන් තබන ආහාර රුචිය වඩන අපූරු සුසංයෝගයක්.
උදේට කන කිරි හොද්දයි, පදමට දෙහි වැටිච්ච රතු ළූනුයි මදෑ දවස පුරා කන කෑමේ විස නැසෙන්න..




අමු ගස්ලබු ව්යංජනය:
වෙනත් පළාත් වල නොදකින රුහුණේ නිතර බහුල ව්යංජනයක් පොල් හාල් ඇඹරු අමු ගස්ලබු .
අමු ගස්ලබු වල ඇති විෂ නැසීමේ ගුණය අනෙක් ආහාර වල ඇති සැර මකනවා පමණක් නොවේ. එය ඇඹුල්තියල් සහ කැකුළු බතට අපූරු රස එකතුවක්.
මි කිරි:
අතුරුපසට මි කිරි නැතිව රුහුණු කෑම වේල සම්පුර්ණ වෙන්නේ නැහැ..ශරීරය සිසිස්ල් කර විස නසා භාශ්මිකරණය කිරීමේ හැකියාව ඇති මි කිරි ප්රධාන ආහාර වේලේ සියලුම විස නසා අඩු පාඩුවක් නැතිව ගුණ පමණක් සිරුරට ලබා දෙන්නට උදව් කරනවා..
බත් කෑමෙන් පසු අන්තිම ඩිංග මීකිරි සහ කිතුල් පැණි සමඟ ආහාරයට ගැනීමත් රුහුනටම ආවේනිකයි.. කිතුල් පැණි තවත් විස නසන ඖෂධයක් නොවේද?
ජූල් කිරි සමඟ බත්:
දිවුල් රටපුරා තිබුනත් ජුල් කිරි සමඟ බත් කෑම නම් රුහුණට ආවේනිකයි. අමු පොල් කිරි සහ දිවුලේ ඇති විෂ නැසීම ආහාරයේ ආසාත්මිකතා නසා සිරුර සිසිල් කිරීම අහන්නත් දෙයක්ද?
කළු දොදොල්:
දකුණේ ඕනෑම උත්සවයකට නොවරදින,ඔවුන්ටම ආවේනික කළු දොදොල් වෙන මොන පලාතෙන් කෑවත් ඒ රස නම් ලැබෙන්නේ නැහැ. මුලින් සඳහන් කල කැකුළු හාල් දියේ දමා කොටා ලේස්ති කෙරෙන හාල් පිටි වලට පොල් දහ පාළොහක කිරි එක්කර පැය 3-4ක් මද ගින්දරේ පත්ත ගාලා හදාගන්න දොදොල එතනට වෙලා බකං නිලන් ඉන්න මං වගේ කෙනෙකුට නම් බර වැඩි ආහාරයක්..
නමුත් සකස් කරන පවුලේ උදවියට නම් සතියක් ජිම් ගියාට වඩා ඇඟ මහන්සි වෙලා, කෑමේ තහනම් කොයින්ද එතකොට? තෙල් බේරෙන දොදොලේ ඇති වාසියත් බර වැඩි කමම තමයි..අද වෙනකොට කියවෙන්නේ මෙවන් අවස්තාවක ආහාරයට පොල් කිරෙන් ඉබේම එකතුවෙන "කන්යා පොල් තෙල"(Virgin Coconut Oil) සියලු විස නැසෙන ඖෂධයක් බව..
බලමාලු බතට කෑවට..කහට කෝප්පයක් එක්ක අවුලක් නැතිව උගුරෙන් පහලට බහින දොදොලෙන් බල මාලුවෙ සැර මැකෙන්නේ ඔහොමලු..

රේණුකා විමලරත්න : දුටු ගැමුණු රජුට යුධ වදින්නට මග පෙන්වූ රුහුණු රට සිට (අප-රැකු -ගම)
Copied.

A day in the life

Monday, July 01, 2024

මැණික්‌ කථා









 

  යල මහා දෙකන්නයම යස අගේට ගොවිතැන් කළ අපේ ගමේ 1990 දශකයේ මුල් හරියේ නියඟයක් ආවා.දැන් ඉතිං වි වගාව කරන්න බැරි නිසා ගොඩක් අය කථා වෙලා ඒ කුඹුරු වල මැණික් හොයන්න ගත්තා. මේ අකුරැස්සේ නගරයේ ඉඳලා කිලෝ මීටර් 15 ක් විතර දෙනියාය පාරේ යන විට ඇතුලට වෙන්න තියන ලස්සන ගමක් ය.ඉහළ සිට පහළට කඳු පන්තිවලින් ගලා ආ ඇළවල් ආශ්‍රිතව මේ කුඹුරුයායවල් සාදා තිබුනා. විශාල වශයෙන් තේ හා රබර් වගාව ද තිබුන අතර ඒවා රජයේ වතුයායන් ය. ඉංග්‍රීසින් ඒ කියන්නේ රන් පවුම් වතු රජයට පවරා ගැනීමත් සමග ඒවායේ හතර මායිම් හොයන්න කෙනෙක් නැති තරම් ය. ඒ නිසා ගොවිතැන් කරන කන්නයක් කන්නයක් පාසා ගමේ ගොවි මහත්තුරු රජයේ ඉඩමෙන් ටික ටික අල්ලා ගනිමින් ඔහුගේ කුඹුරේ ඇතුලතින් ඉඩම් කපමින් කුඹුරේ වපසරිය පුළුල් කරති. ඉහලින් ගලා එන ජල පහරවල් නිසා වැඩේ ලෙහෙසි වුණා. මේ කුඹුරුවල අඩි 5 ක් 6 ක් විතර යටට හාරන් යන විට මැණික් ඉල්ලම් දක්නට ලැබෙනවා.
නියඟය වගේම තමයි ඒ කාලේ භීෂණය කියලා එකක් තිබුන නිසා ඉස්කෝලේ යන්නේ නැහැ.ඉතිං මමත් ගියා මැණික් ගරන්න.මැණික් නොවුනත් ලැබෙන ගල් කැට හරියටම මැෂින් වලින් කපලා වගේ හරිම ලස්සනට ස්වභාවිකව ම නිර්මාණය වෙලා. ඒ වගේම අඟුරු,දිරා පත් නොවුණු ගස් කඳන් අරටු මේ පොළව යට තිබුණා..
දැන් මේ මැණික් ගරන්න මූලික වෙච්ච කෙනා ගේ සිත කොහොමද කියනවා නම් ගරන්න එකතු වෙන හවුල් කාරයොන්ට බෙදන මුදල තව දුරටත් අඩුකරන්න බිම්කොටස ට එක පංගුවක්, ආයුධ වලට, තවත් පංගුවක්, වගේම පොඩි එකෙක් වුණ මගේ ජොබ් එක උල්පත් ජලය ඉවත් කිරීම ඒකට කොටසක් හැබැයි මට දෙන්නේ නැහැ. අනිත් අයට කියන්නේ දෙනවා කියලා.ඉතිං මේ මල පෙරේත ගතිය නිසාමද දන්නේ නැහැ ලැබෙන ලැබෙන මැණික් කැට වල පලදු ( damaged ) නැතිනම් මැණික් ගල මැරිලා ලු. පුවක් ගෙඩියක් විතර ආර්නුල් කෑල්ලක් හම්බ වෙනවා (ඒ පැත්තේ භාෂාවෙන් ) ගෙදර ගිහින් දැන් බිරිඳ එක්ක හිමිහිට කථාවෙනවා
" හොඳ ගානක් ගන්න පුළුවන් අපේ කුඹුරු නේ.. අපිට වැඩි ගාන ''
කියලා. ඔන්න ඉතිං මැණික් බලන්න මුස්ලිම් වෙළෙන්දෝ එනවා.
"" මාත්තියා මේක ලොකු ගානක් ගන්න තිබුණා ඒත් ගල මැරිලා 2000/= උපරිමයෙන් දෙන්නම් ""
කියලා.. ඔහොම ඔහොම කිහිප දෙනෙක් බලලා අන්තිමට ගමට ආවා මනි බඩුකාරයෙක් එයා ගෙනාපු සේරම බඩු ටික දීලා රුපියල් 2000 දීලා අර ගල සහ තවත් පොඩි ගල් කෑලි ටිකක් අරන් ගියා... විවිධ අවස්ථාවල ඔහොම දේවල් වුණා. තවත් රසවත් සිද්ධියක් තමයි පතලට තේ හරි කෑම හරි අරන් එන අහිංසක ගැහැණු කෙනාගේ පිටින් යැවීම.
" ගල් කෑල්ල හම්බවෙන කොට "" ...... අක්කා ආවා නේ එහම ගෑනු පතලට එබෙන්න හොඳ නැහැ දැක්කනේ හම්බවෙච්ච මැණික පුපුරලා ''...
ඔන්න වැදගත් විදියට ලියන්නම් මෙතැන් සිට.
පෙර අපරදිග ලෝකයේ ලංකාව බැබළවීමට තරම් අපේ මැණික් සම්පත සමත් වෙලා තියෙනවා. ඒක අපි හැමෝම දන්නවා. (බ්‍රිතාන්‍ය රජ මාලිගාව සහ අනෙකුත් රටවල් වල ) ඉතිං
ලංකාවේ මැණික්‌ කර්මාන්තය අද ඊයේක නොව ඈත අතීතයේ සිට තිබුන වග ඓතිහාසික කරුණු කාරණා මගින් තහවුරු කරගන්න පුළුවන්.ඒ වගේම
මැණික්‌ කිව්ව ගමන් ඉතිං මතක් වෙන්නේ සබරගමු පළාතේ රත්නපුරය නේ.රත්නපුරයේ සමන් දේවාලය ද ඉදිවන්නේ මැණික්‌ සඳහා වූ භාරයක් හේතුවෙන් ලු.රත්නපුරේ මැණික් පුරවරයක් නිසා ඒ නමින් හදුන්වනවා.හැබැයි ඉතිං රත්නපුරය හැරුනම තවත් තැන්වල මැණික් තිබෙනවා.ඉස්සර ඒ කියන්නේ 1970 දශකයෙන් පස්සේ වගේ අවිස්‌සාවේල්ල, අකුරැස්‌ස. බළංගොඩ මැණික්‌ ත්‍රිකෝණය විදිහට හඳුනාගෙන .
ලංකාව ලෝකේ රටවල් එක්ක බැලුවම වාසනාවන්තයි 20% මුළු භුමි ප්‍රමාණයෙන් මැණික් ඉල්ලම් තියෙනවා.ඒ වගේම අපේ රටෙන් ලැබිච්ච මැණික් කිහිපයක් නිසා ලංකාවේ නම ලෝකේ පුරා පැතිරුනා.මේවා නිසා ලැබෙන ප්‍රතිලාබ විස්තර කරන්න ඕනේ නැහැ
අපේ රටට විදේශ විනිමය ලැබී රටේ සංවර්ධනයට එයින් රුකුලක් ලැබෙනවා කියන එක
ඓතිහාසික වශයෙන් ලංකාවේ මැණික් භාවිතය ගැන කරුණු අපි අහලා තියෙනවා නේ. අපේ රට හඳුන්වන්නේ මැණික් උපදින රට හෙවත්
"" රත්නදීප ( දිව්‍යාවදානය හා මණිමේඛලායි කෘතීන්)
ඒ වගේම බුදුන්වහන්සේ ලංකාවට දෙවන වරට වැඩියේ චූලෝදර, මහෝදර යන නා රජුන් අතර මැණික්‌ පුටුවක් නිසා වුණා කියන ආරවුල විසදන්න.ඒ වගේම මහා භාරතේ එන සිදුවීමකට අනුව ලංකාවේ රජු වූ විභීෂණ විසින් යුධීෂ්ධීර රාජයාට පුද පඬුරු, ඉතා වටිනා මුතු මැණික්‌ රාශියක්‌ යවා තිබේ.ඒ වගේම මහාවංශය අනුවද විජය රජ්ජුරුවෝ මධුරා පුරයෙන් කුමරිය ගෙන්වා ගන්න වටිනා මුතු මැණික්, තුටු පඬුරු වශයෙන් යවලා.පැරණි රජවරුන් ගේ සූසැට ආභරණ වලින් වැඩිහරියක් මැණික් වලින් අලංකාර කර ඇත.එසේම වර්තමානයේ වුවද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න අනුව හැම රජ කෙනෙක්ම මැණික් සහිත ඔටුනු පළදින්න ට ඇතැයි සිතිය හැකිය. ජනප්‍රවාදයක් අනුව දළදා වහන්සේ ආරක්ෂාව සඳහා දෙල්ගමුව රජමහා විහාරයේ තියෙන කාලේ කුරුවිට ප්‍රදේශයෙන් විශාල මැණිකක් ලැබිලා ඒකෙන් කොපුවක් නිර්මාණය කර දළදා වහන්සේ තැබුවාලු.පස්සේ සොරුන් ගනීවි කියලා ඒකට උඩින් නැවතත් ඇත් දළින් නිර්මාණය කළ කොපුවක් සකස් කරාලු.
මේ විදියට රාජකිය භාණ්ඩාගරයේ වගේම පුජනීය ස්ථානවල එකතු කිරීම,රාජකීයන් අතර හුවමාරුව, ආභරණා ලෙස පැළඳවීම සඳහා මැණික් සුලභව භාවිතා කළ බව දැකගත හැකිය.තවත් තැනක දේවානම්පියතිස්‌ස රජු ද අශෝක රජතුමා වෙත ඉන්ද්‍රනීල, වෛදුර්ය, රතුකැට වගේ මැණික් තුටු පඬුරු වශයෙන් යවා තිබේන බැව් අසන්නට ලැබේ..
නුවර යුගයේදී සියළුම මැණික් රජුට අයිති වු අතර මැණික් ගැරීමට රජුගේ අවසරය අත්‍යවශ්‍ය විය.රජුගේ ඔටුන්න සිංහාසන, කඩුකස්‌ථාන ඇතුළු ස්‌වර්ණාභරණ මැණික්‌ වලින් අලංකාර කොට තිබුණි.ජෝන් ඩේව් පවසන විදියට මරකත, රතු මැණික්‌, දියමන්ති වලින් රජුගේ ඔටුන්න සරසා තිබුණි ඒ වගේම ලංකාවේ මැණික්‌ ලැබෙන ප්‍රදේශ සහ එම පළාත් වලින් ලැබෙන මැණික්‌ මොනවා දැයි දක්වා ඇත. පුෂ්පරාග, වෛරෝඩි , රතු තිරුවාන, පුෂ්පරාග, තෝරමල්ලි, දියමන්ති, පද්මරාග, කිරිංචි, නිල්මිණි, කොරන්ඩම්, ගෝමේද වගේ මිල අධික සහ වටිනා කමින් අඩු මැණික්‌ ලැබෙන බව ඔහු දක්වයි.
පෘතුගීසි සමයේ සියළුම මැණික් රාජසන්තක වස්තුන් විය.එහි තොරතුරු ද ඇත.ඒ සඳහා රජය විසින් පත් කරනලද නිලධාරීන් සිටිය අතර එහි ප්‍රධානියා
" විදානේ '' විය
ඔහුට උදව්වට
""මොහොට්‌ටාල ' ' කෙනෙකුත් පත් කර සෑම ගමකට මුලාදෑනියෙක්‌, කනකපුල්ලේ කෙනෙක්‌ වගේම මැණික්‌ ගරන්නන් කිහිපදෙනෙක්‌ යොදා තිබුණි. ලංකාවෙන් සොයා ගන්නා මැණික් විකුණා ඇත්තේ ගෝවේදී හෝ කොචින්වලදී ය. ඔවුන් එම අදායම් තම යටත් විජිත රටවලට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට යොදා ගෙන ඇත.
පැරණි පින්තුරයක් දැකලා ඒක හරියට උඹලා ගරලා අපිට දියන් වගේ සිතුන නිසා මේ සටහන ලිවුවේ.


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon