Tuesday, June 11, 2024

දකුණේ ඈයෝ




දකුණේ ඈයෝ ගැන කියද්දි එවුංගෙ කෑම ගැන නොකියාම බැරිය. දකුණේ බොහොමයක් එවුං රතු හාලේ බත්වලට වැඩි ප්‍රියක් දකවන අතර ඒ බත්පතට එකතු වන තවත් අඩුම කුඩුම රාසියකි.
බල මාළු මිරිසට හිංදා පොල් සමග කෑමට එකතු කර ගැනීම බළපිටිය, කොස්ගොඩ, තෙල්වත්ත, රත්ගම, බූස්ස, තොටගමුව ආදි ගම්වල එවුංගෙ සිරිතකි.
වම්බටු තෙළට සහ කිරට දෙවිදියකට හදන අතර පිට පළාත්වල මෑ කරල් දකුණේ ඇතැම් ප්‍රදේශවල ලීම කරල් බවට පත් වී වෑංජන ලෙස සාදයි.
මුහුදුබඩ පත්තුවේ පෙරකල යහමින් ජාඩි තිබුණද දැන් දැන් ජාඩි සොයා ගැනීම තරමක් අපහසුය.
ජාඩි හොද්දක් සමග කොස් තම්බා කෑම දකුණේ එවුංගෙ සිරිතකි. ජාඩි දැමීමෙන් එම හට්ටියේ මාළු ලේ සහ ලුණු මිශ්‍ර වීමෙන් හැදෙන ලුනිජ්ජ හොඳින් රත්කර පොල් මටුල්ලකින් පෙරා වීදුරු බෝතලයකට දමා එයට නයි කොච්චි කරල් කිහිපයක් දමා රසකාරකයක් ලෙස භාවිත කරයි. විශේෂයෙන්ම කළටි පොල්වලින් හදන පොල් මැල්ලුමට ලුනිජ්ජ ස්වල්පයක් එකතු කිරීමෙන් එහි රසය දෙගුණ තෙගුණ වේ.
මී කිරි සමග රතු බත්, ජූල් කිරි සමග රතුබත් දකුණට අනන්‍ය වූ කෑම වර්ග වේ.
මාළු ඇඹුල් තියල්, සිංහල අච්චාරුව, වට්ටක්කා වෑංජනය දකුණේ එවුංගෙම්ම කන්නට ඕනෑය. හාල් ටිකක් කබළක බැද යහමින් අබ සහ අනිකුත් පහේ වර්ග සමග කොටා වට්ටක්කා වෑංජනයට එකතු කිරීමෙන් දකුණේ රසය ස්මතු කර ගත හැක.
දෙල් කාලයට ඉදුණු හෝ හොඳින් පැසුණු දෙල් තම්බා බළ මාළු සහ පොල් සමඟ ආහාරයට ගැනීමද දකුණේ එවුංගෙ සිරිතකි. දෙල් මැල්ලුම, දෙල් බැදුම, පැනි දෙල්, අටු දෙල් ආදි බොහෝ දේවල් දෙල් සීසන් එකේ දකුණේ කෑ හැකිය.
දී කිරි පොල් ඇත්තේද දකුණු පළාතේ පමණක් වන අතර ඩොංගා පළතුරද බහුළව දැකිය හැක්කේ දකුණු පළාතේ වීම විශේෂත්වයකි.
දකුණේ එවුං උදේ කෑමට එකතු කර ගන්නා තවත් සුපිරි කෑමකි පොල් බත්. හුණුසාල් වලින් සාදා ගන්නා බතට කළටි පොල් එකතු කර සදා ගන්නා පොල්බත් කන්නට හදන ලුණුමිරිසද විශේෂය. හාල්මැස්සන්ගෙ ඔළු කබලෙ බැද නයි මිරිස් සහ බිළිං එකතු කර සාදා ගන්නා ඒ ලුණුමිරිස සමග පොල් බත් හට්ටියක් කෑ හැකිය.
දකුණේ එවුං බිලිං තීරු ලෙස කපා අව්වේ හොඳින් වේලා ගෙන කල් තබා ගන්නේ කරවල බැඳුමකට ජාඩි හොද්දකට එකතු කර ගැනීමටය.
වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්වන විට ආහාර මෙන්ම භාෂා විලාසයද යම් යම් වෙනස්කම්වලට බඳුන් වීමද අපූරුය.
"ඉස්ම" යන්න කෑවා, ඉස්ම යන්න දුන්නා යනු "අම්බානක" යන වචනයට සමානව ඉස්ම යන වචනය යොදාගනී. "අඹනවා" යනවා දුවනවා යන අදහස දෙන අතර "ඕකා අඹෝලා දාපං" කියන්නෙ එළවලා දාපං කියන අදහසිනි.
පොලොත්ත කියන්නෙ පොල් කටුවට වන අතර දණහිසට දණපොලොත්ද, ලුණු පොල්කටුවට ලුණු පොලොත්තද කියා හම්බන්තොට සමහර එව්වෝ කියනවා අසා ඇත්තෙමි.
දිගටම ලිව්වාහම ආතල් එකක් නැති නිසා ඉතිරිවා පස්සට ලියමි. 
කෝ බලන්න මේ කියපු කෑම කාල තියෙන දකුණේ ඈයෝ.... 
ගාල්ලෙ මයිනා

Galle Memes

 මීදුම මේ වගේය. 
දකුනේ එවුවන්ට බෙන්තරගගෙන් එහා කිව්වත් නම්බුය. මම නම් හයිබ්‍රිඩ්ය. තාත්තා දකුනේය. අම්මා සබරගමුවේය . මම ඉපදුනෙත් සබරගමුවේය. ඒත් ගම කොහේද කියලා ඇහුවොත් තාත්තාගේ ගම අහංගම මතක් වෙන්නේය.ඒ යටිහිත කියන්න උත්සහ ගන්නේ දකුනේ කියන්නය.
මේ  වියමන මෙටාවේ දැක්ක දිනුක දේශප්‍රිය මෙහෙම කියනවා.

“අපි බෙලිහුල් ඔය උනාට අපේ තාත්තා ගේ තාත්තා හක්මනය....අම්මා දෙනිපිටියේ නුග රුක අසලින් ඇති පාරේ මහ වත්තේය... අම්මාගේ තාත්තා ගන්දරය....අම්මා අහංගමය...තාත්තා ගේ අම්මා අත් අගට රේන්ද ඇල්ලු අත්දිග හැට්ටයට චීත්ත ඇන්දාය...දකුනේ මිනිස්සුන්ට අම්මාගේ හෝ තාත්තාගේ අම්මා ආත්තම්මාය...අපේ ආත්තම්මාගේ විලාසිතාවට හැට්ට චීත්ත ඇන්දේ බළන්ගොඩ නගරයේ විසූ පූජ්‍ය දාස සර්ගේ නැන්දම්මාය...බලමාලු ,,,කට්ට සම්බෝල සමග පොල් දැනුදු අපේගෙදර පිසේ...ජාඩි,,,ලුනිජ්ජ ,,,අපේ අම්මා තවම සාදන්නීය...තාත්තා ජීවත් සිටි කාලයේ ගෙදරට ගේන බඩු බිල් "කි" වලින් ඉවර විය...එනම් සීනී කිලෝ එකකි,,,පොල් දහයකි,,,,මිරිස් පන්සීයකි වශයෙනි.. අපි සබරගමුවේ ආරයට ඉදිරියේ සිටින කෙනා අමතන්නේ "ඔයා" යනුවෙනි....නමුත් "තද" වුවිට ඔයා ඉබේම "ඔහේ" වන්නේය...මෙහේ මිනිස්සුන්ට එය දිරවන්නේම නැති වචනයකි...එහේ මිනිස්සු නගරය අර්ථ ගන්වන්නේ "කඩේ" කියාය.. අපේ සීයා හිටි සමයේ මං බොහෝ අමාරුවෙන් ,,,රනිල් වික්‍රමසිංහ ට චන්දේ දීමට පොරොන්දු කරවාගෙන,,,ත්‍රී වීලරයක්ද හයර් කරගෙන අනදමෙත්ගම ප්‍රපා ශාලාවට එක්ක ගියෙමි...මේ වයසක මනුස්සයාගෙන් නිළධාරීන් ඇහුවේ ප්න්දය කාටද කියාය.. ඔහු කීවේ බෙලිඅත්ත කඩේ මහින්ද මහත්තයාට කියාය...අපේ ගෙදර සිටි සීයා පොඩි මාමට බාරදී මම බස් එහෙක නැගී ගෙදර ආවෙමි....අපි තවමත් එහෙම ලේසියෙන් අසාධාරණය හමුවේ නැවෙන්නේ නැත... අපේ තාත්තා නිතර කියූ පරිදි "අම්මා දෙනවා කීවොත් ,,තාත්තා ගස් බැද හෝ එසේ කිරීමට පසුබට නොවෙමු.. මේ නිසා නිතර නිතර තොප්පි වැටිමද අඩු නැත...ඕනෑම ජරමරයක් වූ තැනක නම ඇත ..
.
A day in the life

Monday, June 10, 2024

තුනු විළ බලාපිය "අම්මගේ" දවාලක


















  මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු.

රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ
ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ
වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් වුණේ
වානර මුව සේ නැබ මුළ සුරති ගති පෙනේ

සත්‍රී ලිංගය වඳුරු මූණකට සමාන කරමින් ඔහු මෙ,කව කීවේ ,
ගජමන්ට සරදම් පිණිස ය.

ඊට ගජමන් නෝනා දුන් පිළිතුරයි මේ !

කේසර එන්ට පෙරතුරු ගජතුගේ දක්සේ
වේ සර හට වුවොත් කුරැළුට වෙයි දුක්සේ
ඒ සැර ලියෝ ඇසවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනතුරු හොස්සේ

කෙතරම් කිවිඳියෝ බිහි වුණත් මට කම් කිවිඳියන් අතර
ලොවේ කිවි සිළුමිණ ",ගජමන් නෝනා!"
ඇය පුරුෂාධිපත්‍යය ඔටුණු පලන් දේශයක
ඊට මුණදුන් නිර්භීත ආකාරය.........
වරක් එක්තරා මුදළි කෙනෙක් ගජමන් නෝනාට මෙහෙම ආරාධනාවක් කරනවා.

පන්නා පත් තරිඳු රිවි උදය වේලක
දෙන්නා සමඟ ගොස් ඉඳ අරණ ගාලක
පන්නා වත් නොවී ඉඳ බිය නොවී සැක
පෙන්නාපන් ළඳේ තුනු විළ දවාලක

"සඳු පලවා හැර හිරු ආධිපත්‍යය පතුරවන උදය වෙලාවක
අරණ ගාලකට ගොස්
රෙදි ගලවා
අහවල්,එක පෙන්නාපන්"ය.

මෙම ආරාධනාවට ගජමන් පිළිතුරු දෙන්නෙ මෙහෙම.

තුනු විළ බලන්නට මුගේ සිත වෙලා දුක
තුනු විළ තලන්නට සිතිලා දවාලක
තුනු විළ මැකීලද අඹුවගෙ මුළාවක
තුනු විළ බලාපිය "අම්මගේ" දවාලක

“කමල් පි අලහකොන්  -විසින් මෙටාවේ පල කල වියමන් දෙකකින් මෙ පෙල උපුටා ගතිමි.
ස්තුතියි ඔහුට.
ඇැලපාත මුදලිත් ගජමන් නෝනාත් අතර අනියම් සම්බන්ධයක් පැවතුන වබ ප්‍රසිද්ධ කරුනක්.
ඇලපාත මුදලි,
මනහට නුඹෙ පවර සිරි පිරි වත තඹර
බොහොවරකින් නුදුටුයෙන් මා නෙත් බඹර
කරදර කර හඬන විට නලවන අයුර
නොවිසිර මට වහා දනවන්නේ විතර
ඇය:
ඔබ දැන්වූ විලස මා වෙත දිනක පෙර
එන මෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර
නැතියෙන් අවසරක් වැඩි බැවිනි කරදර
සතුටින් දැනුම් දෙමි යළි ඉඩ ලැබුනු වර
ඇලපාත මුදලි
මුලින් බැඳුණු මුත් දැඩි පේ‍්‍රමයක් හදේ
කෙමෙන් එය නැතිව නුඹ සිටි නිසා තදේ
මේ දැන් කියමි කරුණක් දැනගන්න හොඳේ
නිවන් දකින තුරු මට ඔබ එපා ලඳේ
ඇය.
මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම හදේ
කෙමෙන් එය දැඩිව අලි කළුගලක් ලෙදේ
මෙදැන් ඔබගේ බස් මොන පුදුමයද වදේ
නිවන් දකින තුරු මා හැර කවුද හොඳේ
පසු කාලයේ ගජමන් නෝනා ගෙල සිද ගෙන සියදිවි නසා ගන්නවා. මිය යාමට පෙර ඇය මෙසේ ලියු බව සදහන්.
සකවසිනෙක් දහස් සත්සිය සතිස් වස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස



A day in the life

Sunday, June 09, 2024

හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි



හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි
උදන් ප්‍රනාන්දු

 

'හැත්තෑ-එක' යනු අධ්‍යාත්මික අර්ථයෙන් සාධනීය වර්ධනයකට ස්වයං අවදිවීමකට හා සොයා ගැනීමකට හේතුපාදක වන අංකයකි. හැත්තෑ එක් වැනි දේවදූතයා ලෙස හඳුන්වන එම අධ්‍යාත්මික බලවේගය, පුද්ගලයෙකුගේ ජීවිතයේ සුභසාධනයට හා වර්ධනයට හේතුවන බව මෙවන් අධ්‍යාත්මිකවේදයන් වහරන අයගේ විශ්වාසය යි.
සමකාලීන ලංකාවේ 'හැත්තෑ-එක' යනු හුදු අංකයක් පමණක් නොව සමකාලීන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ද හැඟවුම් කරන සන්ධිස්ථානයකි. නිදහසින් පසු ලංකාවේ, හැත්ත එකට අමතර ව, සමාජයේ නිතර ම වැහැරෙන, වෙනත් මෙවැනි අංක සහිත සන්ධිස්ථාන වන්නේ පනස් හය හා අසූ තුන ය. 1971 කැරැල්ල, උතුර නැගෙනහිර සමාජයට කෙසේ වෙතත්, ලංකාවේ සෙසු සමාජයේ නොමැකෙන සලකුණක් තැබී ය. අඩ සියවසකට පසුවත් 1971 සාධකය වතුර යට සැඟ වූ රබර් බෝලයක් මෙන් වරින් වර ලාංකීය සමාජයේ උඩට ඒම දක්නට හැක.
පසුගිය සතියේ මැයි තිස් වැනිදා සමාජ මාධ්‍ය පරිශීලනය කරන විට ය මට දැන ගන්නට ලැබුණේ බොහෝ කලක් මා ඇසුරු කළ මානෙල් රත්නායක මහතාට එදින වයස අවුරුදු හැත්තෑ එකක් ලබන බව. ඒ වෙලාවේ ම බදුල්ලට මා දුරකථන ඇමතුමක් ගත් අතර, උදේ හතට පමණ මානෙල් සිටියේ තම මුණුබුරන් දෙදෙනා සමග කෙළිදෙළින්ය. ඒ අසල ම සිටියේ එකල රජයේ ආයතනයක ලිපිකාරිනියක ලෙස වැඩ කටයුතු කළ ඔහුගේ බිරිඳ රෝහිණී මහත්මිය ය. කුඩා කල සිට ම මා දන්නා මානෙල්-රෝහිණී යුවලගේ එක ම පුත්‍රයා වසන නිවසේ ම ඔවුන් සමග ඔවුන් දෙදෙනා තම විශ්රාම සුවය විඳිමින් සිටින්නේ.

 මානෙල් මාගේ කොලම කියවන හාඩ්-කෝර පාඨක කවයේ නිත්‍ය සාමාජිකයෙකි. ඔහු දැන් මිලදී ගන්නේ අනිද්දා පත්තරය පමණ ය. කලක තම විප්ලව සගයෙකු වූ මහැදුරු ජයදේව උයන්ගොඩගේ දීර්ඝ ලිපියත්, උයන්ගොඩගේ ඥාති සහෝදරයා වන ගාමිණී වියන්ගොඩගේ ලිපියත් මානෙල් නිතර ම කියවන අතර, ඊට අමතරව මාගේ කොලම ද නොවරදවා ඔහු කියවන බව කී විට මට යම් සතුටක් දැනෙන බව සැඟවිය යුතු කාරණයක් නොවේ. ගෙවීමක් රහිතව දැන් වසර පහක් තිස්සේ පමණ මේ ලියන කොලම හරහා ලැබෙන මෙවැනි පාඨක ප්රතිචාර අමිල ය.

මා මෙය ලියන්නේ මානෙල් මා දශක තුනහමාරක් තිස්සේ දන්නා හඳුනන කෙනෙකු නිසා ම නොවේ. මානෙල්ගේ පුද්ගලික ජීවිතයේ ට්‍රැජෙක්ටරිය හෙවත් ගලායෑම සමකාලීන ලාංකීය සමාජ දේශපාලන සන්දර්භයත් සමග වාත්තු කරනට දරන උත්සාහයක් ලෙසිණි. විශේෂයෙන් මා උනන්දුවන්නේ හැත්ත එක කැරැල්ලට සම්බන්ධ වූ පිරිසගේ පශ්චාත් 71 තෝරා ගැනීම් සමකාලීන ඉතිහාසයේ රටාවන් හෝ ප්‍රවණතාවයන් ලෙස අප හඳුනා ගන්නේ කෙසේ ද කියා විමසීමට ය. ඒ තුළින් සමාජයට යම් බලපෑමක් සිදුවුණා ද නැද්ද සහ එහි නෂ්ඨාවශේෂ තවමත් ඇද්ද කියා සිතන්නට පදනමක් දැමීමට ය.
1953 වසරේ උපන් මානෙල් රත්නායක, 1971 කැරැල්ලට සම්බන්ධ වන විට වයස අවුරුදු 18 කි. දකුණේ මාතර දිස්ත්‍රික්කයේ, මාවරල ප්‍රදේශයේ (වත්මන් පරිපාලන බෙදීම් අනුව, පස්ගොඩ ප්‍රැ.ලේ යටතේ) දරුවන් හය දෙනෙකුගේ පවුලක සාමාජිකයෙකු ලෙස ළමා කාලය ගත කළ මානෙල්, කැරැල්ලේ මුල් ම දිනවල මාවරල පොලිසිය අල්ලා ගත් මෙහෙයුමේ ක්‍රියාකාරී කැරලිකරුවෙක් විය. මානෙල්ට අමතර ව තම වැඩිමහල් සොයුරා ද සොයුරිය ද කැරැල්ලට සම්බන්ධ වූ හ. හමුදාවේ හා පොලිසියේ පීඩනය මැද දින කිහිපයකින් තමන් විසින් අල්ලා ගත් පොලිස් ස්ථානය අතහැර දමා පසුබසින්නට මානෙල් ඇතුළු කැරලිකරුවන් තීරණය කර ගත් අතර, දින කිහිපයකින් ඔවුන් තෝරා ගත්තේ සිංහරාජ වනය ඔස්සේ පසු බැසීමට යි. දින කිහිපයක් සැතපුම් සිය ගණනක් සිංහරාජයේ ගමන් කරමින් සිටිය දී හමුදාව හා පොලිසියෙන් එල්ල කළ ප්‍රාහාර හමුවේ සමහර කැරලිකරුවන් ජීවිතක්ෂයට පත් වූ අතර, මානෙල්ගේ ජීවිතය බේරුණේ, ඒ වෙඩි උණ්ඩයේ ඉලක්කය වැරදි ඔහුගේ පාදයට පමණක් වැදුණු නිසාවෙනි. එහෙත් එම පාදයේ ආබාධය, ඔහුගේ ජීවිතය පුරා ම මනා සේ ඇවිදින්නට බාධාවක් කළේ හැත්තෑ එකේ කුරිරු මතක සටහනක් ලෙසිණි.
මානෙල් ඇතුළු පවුලේ තවත් දෙදෙනෙකු සිරබාරයට ගත් අතර, සෙසු සහෝදර සහෝදරියන් තිදෙනා හා මව ජීවත්වූ මාවරල නිවස ගිනිබත් කළ නිසා, පවුල පාරට වැටී, තැන තැන ජීවිතය ගැට ගසා ගැසීමට ඌරුබොක්ක, මාතලේ හා මිනිපේ යන ප්‍රදේශයන්හි මව ඇතුළු සෙසු පවුල අවතැනට ලක් විය.
ඒ අතරතුරේ වසර හතක් තිස්සේ දකුණේ සිට උතුරේ ඇති විවිධ බන්ධනාගාරවල, වීරවිල සිට හැමන්හිල් හා ඒ අතරතුර ඇති තැන්වල මානෙල්ට සිරබත් කන්නට සිදු විය. පෙබරවාරියේ ඔහු නිදහස ලැබුවේ, පොදු සමාවෙන් විජේවීර-බෝපගේ ඇතුළු නායක පිරිස නිදහස ලැබීමට පෙර ය. මානෙල් ඇතුළු පිරිසක් සිරගෙදර සිටින කාලයේ ම ජවිපේ මතවාදයෙන් හා පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළ හ. කලින් නිදහස් වූ මානෙල් ඇතුළු පිරිස්, දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ව්යාපාරය නමින් තිබූ සංවිධානයට ද එකතු වූ හ. නායකයන්ගේ ද නිදහසින් පසු ව ජනතා සංගමය ලෙස දේශපාලන ව්යාපාරයක් ලෙස ඒකරාශි වූයේ සිරගෙදරදී ජවිපෙන් වෙන් වූ කොටස් ය.
''සලගොස ' ලෙස කෙටියෙන් හැඳින් වූ සමස්ත ලංකා ගොවි සම්මේලනය සමග ජනතා සංගමය සමීපව කටයුතු කළේ ය. අසූව දශකය ම මානෙල් ගත කළේ මෙවන් දේශපාලන අවකාශයක ය. ඒ අතර, මොනරාගල සීනි සමාගම්වලට එරෙහි ව දියත් කළ අරගලයේ මානෙල් ඉදිරිපෙළ නායකයෙක් විය.අනූව දශකය මානෙල් වැය කළේ මුලින් පස්සරින් අරඹා පසුව බදුල්ලට ගෙන ආ ඌව ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය නමින් රාජ්‍ය නොවන සංවිධාන පන්නයේ සංවිධානයක් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රිරික්ක තුළ දියත් කිරීමට ය. කුඩා පරිමාණයෙන් පටන් ගත් මේ ව්‍යායාමය, පසු කලෙකදී දිස්ත්‍රික්ක දෙක පුරා ම විහිදුණු ශක්තිමත් ජාලයක් හා බලවේගයක් බවට පත් විය.
සම්ප්‍රදායික එන්ජියෝ කප්පිත්තන්ගෙන් මානෙල් වෙනස් වූයේ ජනතාව ඒකරාශි කිරීමට හෙවත් මොබිලයිස් කිරීමට ඔහුට තිබූ විශේෂිත හැකියාව ඊට ගැලපෙන පෞරශය හා කැරිස්මාව නිසා ය. මේ විරල හැකියාව හඳුනාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය 1994 මැතිවරණයේදී පොදු පෙරමුණු ආණ්ඩුව ගොඩනැගීමට දියත් කළ ව්‍යායාමයේ මානෙල් ද ප්‍රධාන කොටස්කරුවෙකු කරවා ගත්තේ ය.
1999 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ මානෙල්, එම වසරේ සිට වාර තුනක් මන්ත්‍රීවරයකු ලෙස ඌව පළාත් සභාවේ කටයුතු කළ අතර, එක් වාරයක දී පළාත් සභා සභාපති තනතුර ද හෙබවී ය. 2014 වසරේ පැවැති පළාත් සභා ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට මානෙල් අපොහොසත් වූයේ දෙසීයක පමණ ඡන්ද හිඟයක් නිසාවෙනි. ඉන් අනතුරු ව මානෙල් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම සුවයෙන් ජීවිතය කල් ගෙවීමට තීරණය කළේ ය.
මානෙල්ගේ දේශපාලන ජීවිතය ගැන විවේචන නොතිබුනා නොවේ. මේ කොලමෙන් මා ඔහුට චරිත සහතික දීමක් නොකරන අතර මාගේ උනන්දුව වන්නේ මානෙල්ගේ වැඩිහිටි ජීවිතයේ දශක හතරක් විකාශනය වූ ආකාරය හා ඔහුගේ එම තෝරා ගැනීම් සඳහා පාදක වූ පුළුල් සමාජ දේශපාලන සන්දර්භීය කාරණා ය. හැත්තෑව දශකය ජවිපෙ වෙනුවෙන් කැරැල්ලටත් හිර ගෙදරටත් වැය විණ. අසූව දශකය ගෙවුණේ බහුජන සංවිධාන ලෙස විකාශනය වූ වාමාංශික ඌරුවක් සහිත ස්වේච්ඡා/පූර්ණකාලීන දේශපාලන ඇක්ටිවිසමානාත්මක ක්‍රියාකාරකම්වලට ය. අනූව දශකයේ මෙවැනි බහුජන දේශපාලන ව්‍යාපාර එන්ජීඕකරණය වීම දක්නට ලැබෙන අතර, මානෙල් ද එම ධාරාවට හසු වූ බව පෙනේ. මානෙල්ගේ ට්‍රැජෙක්ටර පරිණාමයේ විශේෂ ලක්ෂණයක් වන්නේ, නව සහශ්‍රයෙන් ඇරඹෙන දශකයේ ඔහු පූර්ණ කාලීන දේශපාලන වෘත්තිකයෙක් බවට පත්වීම යි.
අසූව දශකයේ ද මානෙල් රුපියල් 250 ක් වැනි යැපුම් දීමනාවක් සහිත ව පූර්ණකාලීන ව දේශපාලනය කළේ ය. එහෙත් එය විකල්ප ධාරාවේ දේශපාලනයකි. දශක දෙකකින් පසු ඔහු විකල්ප දේශපාලන ධාරාවෙන් විතැන් වී ස්ථාපිත දේශපාලන ධාරාවට මුසු වේ. හැත්තෑව දශකයේ මුල ද මානෙල් මාවරල පොලිසියට තුවක්කු බටයක් අමෝරා ගෙන සිටියේ රාජ්‍ය බලය ඩැහැ ගැනීමට ය. ඒ අර්ථයෙන් බලන විට දෙදහ වර්ෂයේ ඔහුගේ තීරණය අමුත්තක් නොවේ. එක ම වෙනස වූයේ ශොට්-ගන් එක බැලට්-පේපර් එක වීම ය.
හැත්තෑ එකේ - මානෙල් හැත්තෑ එකක් වන විට විශ්‍රාමික ය. මානෙල්ගේ හැත්තෑ එකේ සගයන්ගෙන් සමහර කොටස් මේ වන විට මිය පරලොව ගොස් ඇති අතර ඉතිරිය අර්ධ විශ්‍රාමික හෝ විශ්‍රාමික තත්ත්වයෙන් කාලය ගත කරති. සුළු පිරිසක් තවමත් ක්‍රියාකාරී දේශපාලන භූමිකා විවිධ මාධ්‍යයන් හා ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාත්මක වෙන බව දක්නට හැක. මේ පරපුර තවදුරටත් ලාංකීය දේශපාලනය තුල තීරණාත්මක සාධකයක්ද නැද්ද යන වග මට වඩා ඒ ගැන දැනුම් තේරුම් ඇති උදවිය විසින් කිව යුතු ය.


A day in the life

Saturday, June 08, 2024

පොඩ්ඩිගේ කථාව - නවවෙනි දිගහැරුම.








අම්මාට අනුුව නම් සමීර සම්බන්ධව මෙනෙහි කරමින් සිටීම නතර කරන්න කාලයයි.

ඒත් රබර් බෝලයක් දියේ ඔබා ගෙන ඉන්නා තාක් දිය යට තිබී එය අත හැරිය විට යලිත් උඩ එන්නාක් මෙන් ඉපිද ඉපිද මියයන සිතිවිලිද පාලනය කරගත නොහැකිව යලි යලි මතුවෙයි.

සේපාලි කීවාක් මෙන් අපි කාලයට ඉඩ දිය යුතුව තිබේ .

මම සාමාන්‍ය පරිදි දවසේ වැඩ කටයුතු කරගෙන යාම පටන් ගෙන තිබිනි. පරිගණක තිරය මගේ විවේකය උදුරා ගෙන ඇත. පස්වරු පහ පමන තෙක් එක දිගට වැඩ කරන මට කලාතුරකින් කාර්ය බහුලවේ. එසේ නොවුන හොත් පහෙන් පසු පරිගණකය මා මුදවා හරියි.

දිනපතා කාර්යාලයට යනවාට වඩා මගේ කාලය , විවේකය ඉතිරිව තිබේ. මගට ඇතිවන ගමන් බිමන් තෙහෙට්ටු ව නිසා ඇතිවන පීඩාවද දැන් නැත.

ජල,විදුලි, ගෙවල්කුලී වැනි ජීවන වියදම්ද නොමැති නිසා සෑහෙන මුදලක් තැන්පත් මුදල් බවට පත්වේ.

ජීවිතය මුදල් පමනක් නම් මා තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නියකි.

සමීරගෙන් කිසිදු හැලහොල්මනක් නැත.මා බලාපොරොත්තුවු කිසිදු ප්‍රතිචාරයක් මේ වනතුරු ඔහුු දක්වා තිබුනේ නැත.මට ඔහුගේ පැවත්ම පුදුමයකි.නීතිමය බැදීම් වලින් නිදහස් විය යුතුව ඇතත් , මා එයට පෙරමුණ ගත යුතු නැතැයි අම්මාගේ අදහසයි.

අම්මා සමග ඒ ගැන කතාබහක් ඇතිවු විටක “ උඹ දැන්මම වෙන කසාදයක් කරගන්නයයැ “ සමීර කරන දෙයක් බලමු. යයි කීවා මිසක මා ඒ පිලිබදව උනන්දු නොකලාය.

පහසු විටක නීතී උපදෙස් ගත යුතුයැයයි මම සිතුවෙමි.

මගේ දවස වෙනස් වෙමින් නැවුම් වෙමින් පැවතිනි. සමහරක් දිනවල අම්මාගේ වැඩ කටයුතු නිසා ද දවස වෙනස් විනි. පෝය දාට අම්මා සිල් සමාදන්වීමට පන්සල් යයි. ඈ සමග තනියට පන්සල් යාමට මට පුුරුද්දක් ඇතිවිනි.අම්මා අට සිල් සමාදන්ව උපාසිකාවෝ සමග එක්වු විට පන්සල් බිම පිරිසිදු කිරීමේ කටයුතු වලට දායකවී පෙරවරුවේම මම ආපසු එමි.

මෙසේ පන්සල හුරුවන විට තව තවත් සමාජ සම්බන්ධතාද ගොඩනැගෙන්නට විනි. විහාරස්ථානයේ නේවාසික ස්වාමීන් වහන්සේලා පනහක් පමන සිටි. පිටතින් පැමිනෙන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිරිවෙන පවත්වන දිනවලට පැමිනේ. ලොකු හාමුදුරුවන්ගේ ආගමික ජීවිතයට වඩා වැඩිසමාජ මෙහෙවරක් මගේ අවධානය ලබා ගනිමින් තිබිනි.

ලොකු හාමුදුරුවන් හා කල කතාබහකදී හතලිහක් පමන සාමනේර හාමුදුරුවන් පිලිබදව හෙලිවු කරුනු අනුවේදීනිය වුවාය. කෙනෙක් පියවරු නොමැතිව අසරනවු පවුලකය. තවකෙනෙක් මව සහ පියා දෙදෙනම නැත. තවත් කෙනෙක් නඩත්තු කර ගත නොහැකිව හාමුදුරුවන්ට බාර දුන් කෙනෙක්ය. සියල්ලටම පොදුවු එක් කරුනක් වුයේ දරිද්‍රතාවය නිසා නඩත්තු කර ගත නොහැකි දරුවන්ය. මේ සියල්ලෝ ලොකු හාමුදුරුවන් බාරයට පත්වී තිබීනි.

ලොකු හාමුදුරුවන්ගේ සුවිශේෂ ගුණයක් වුුයේ තම දායකයින්ට කරදර නොකරමින් මේ පිරිස නඩත්තු කිරීමය. පන්සල සතු කුඹුරු බත සැපයීමට තරම් ප්‍රමානවත් විනි. එළවළු සෑහෙන ප්‍රමානයක වගා බිමක් විය. ඉඩකඩම් බදු දීමෙන් මුදල්ද ලැබිනි.හාමුදුරුවන්ට ගෝල බාල පිරිස නඩත්තු කිරීමට ප්‍රමානවත් ආදායමක් ලැබිනි.

පියානන් සිටින අවධියේ පන්සලට උදව් උපකාර කරන පුරුද්දක් තිබිනි. එහෙත් ඔහුගේ වියෝවෙන් පසුව අප අතින් එම කටයුත්ත මග හැරී ඇති බව සිහිපත්වීනි.

අම්මා සමග කතා බහ කර හාමුදුරුවන්ගේ සමාජ සත්කාරකයට හවුල්වීම ඇරඹුවෙමි.

මේ සත්කාරයට මාසිකව හවුල්වීමෙන් පන්සල් සමාජයත් මාත් අතර නව සම්බන්ධතාවයක් ඇතිවිනි.

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon