Tuesday, June 04, 2024

සසර ගමන








 

සසර ගමන කියන්නේ කොහොමත් තනියම යන්න වෙන ගමනක්... අපි හැමෝම තනියම මේ ලෝකයට එනවා... තනියම මේ ලෝකයෙන් යනවා... ස්ථිර වශයෙන් ම හැමදෙයක් ම දාලා තනියම යන්න වෙන බව දැන දැනත් ඇතැම් විට අපි අසීමිතව සමහර මිනිසුන්ට ඇබ්බැහි වෙනවා... හරියට සදාකාලිව ඉන්න ආවා වගේ සමහර තැන් තදින් අල්ල ගන්නවා... මතක තියාගන්න පුද්ගලයන්ට ඇබ්බැහි වුණාම ඒ ඇබ්බැහි වීමෙන් පහසුවෙන් ගැළවෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ කියලා... ඉතිං අපි අපේ මනස තනිකමට හුරු කරගන්න ඕනි... තමන් වටා දහස් ගණන් පිරිවර රැඳී සිටියත්, ඒ කවුරුන් මත වත් තමන්ගේ පැවැත්ම රදා පවත්වන්නට තරම් අපි දුර්වල නොවිය යුතු ය... ' මට සීයක් එක්ක එකට වාඩි වෙලා ඉන්න පුළුවන්, ඒත් ඒ එක්කෙනකු එක්කවත් මගේ බැඳීමක්, තදින් අල්ලා ගැනීමක් නෑ ' කියන තැනට ⁣තමන් තුළ තමන් ම සොඳුරු හුදෙකලාවක් ගොඩනඟා ගන්න දක්ෂ වෙන්න ඕනි... මොකද ජීවිතයේ ඇතැම් අවස්ථා එනවා, තමන් දැඩිව බැඳිලා ඉන්න අය නිසා ම සමහර විට තනිකමක්, අසරණකමක් දැනෙන... ඒක නිසා ඔබ ඔබේ ආදරණීයන් සමඟ සුන්දරව සතුටින් ජීවිත්වෙන්න... නමුත් තමන් තුළ සොඳුරු වූ ද ශක්තිමත් වූ ද හුදෙකලාවක් ගොඩනඟා ගන්නත් අමතක කරන්න එපා... තමන් තුළ තමන් ම ගොඩනඟා ගන්නා ශක්තිමත් තනිකම තරම් තමන්ට සැනසීමක් ලබාදෙන වෙනත් කිසිම දෙයක් මේ ජීවිතයේ ඔබට තවත් නැහැ..."
| කන්දෙගෙදර සෝභිත ස්වාමින් වහන්සේ ]
උපුටා ගැනීමකි


A day in the life

Sunday, June 02, 2024

උපහාර පිණිසයි.


 

Chamila Shyamalie Gamage


එයා මුලින්ම පාසල් ගියේ 2009 වසරේ..
එතකොට එයාට කථන ආබාධ තිබුණා ..
එයා කතා කරපු වචන බොහොමයක් අනිත් අයට පහසුවෙන් තේරුම් ගන්න බැරි වුණා ..එයා නිවැරදිව උච්චාරණය කළේ අම්මා කියන වචනය විතරයි ..
පියවරෙන් පියවර කාලය අරගෙන සැකසිය යුතු උපත් දෝෂයක් එක්ක එයා ගොඩක් පීඩා වින්ඳා..
ඒ වෙද්දි එයාගෙ සැත්කම් තුනක් විතර තමයි අවසාන කරලා තිබුණෙ ..
ඉතිං , මේ කරදර එක්ක ගැටෙන එයාට අධ්‍යාපනය ගිලිහෙමින් තිබුණා ..පාසලේ එක ,දෙක වසර වල එයාගෙ ගුරුතුමිය ගෙන් එයාට උදව්වක් ලැබුණෙම නෑ..
පාසල් යන්න බෑ කියලා එයා බොහෝ දිනවල උදේට ඇඬුවා..
ඒ කාලෙ තමයි මටත් ,එයාගෙ තාත්තා ටත් ජීවිතේ ගෙවුණු නරකම දවස් ගෙවුණෙ ..
එයාගෙ පංතිය වෙනස් කරලා දෙන්න කියලා ඒ කාලෙ හිටපු විදුහල්පති ගෙන් ඉල්ලුවට වැඩක් වුණේ නෑ...
බොහොම ඉවසීමෙන් තමයි එයාගෙ පාසලේ ඒ වසර දෙක අපි ගෙවාගත්තෙ..
එයා ඉගෙනීමට දුර්වල දරුවෙක් විදියට ඒ ටීච එයාව හංවඩු ගැහුවා..
ඇත්තටම එයා හිටියෙ පංතියෙ අන්තිම වෙනියො පස්දෙනා අතරෙ..
සමහරවිට පංතියෙ ළමයි 47 ක් නම් එයා 46 වෙනියා වුණු වෙලාවල් තිබුණා ...
ලොකු පුතා ඉතාම හොඳින් තමන්ගෙ අධ්‍යාපන ප්‍රගතිය පෙන්වද්දි ,දෙවනි පුතා ගෙ ඒ තත්වය එක්ක එයාගෙ තාත්තා යි මම යි නොසෑහෙන්න දුක් වුණා ..
ඒත් අපි ඒ තත්වයට මුහුණ දෙන්න හිත හදාගත්තා ..
එයාගෙ සැත්කම් ටික හරියකට අවසාන කරලා අඩුපාඩු ටික හදලා හොඳ මනුස්සයෙක් විදියට එයාව සමාජගත කරන අරමුණ විතරයි අපි දෙන්නට තිබුණෙ ..
මාසෙකට වතාවක් හෝ දෙකක් රෝහල් සායන වල, අවුරුද්දකට වතාවක් මුහුණ දෙන සැත්කමක්,
ඒ විතරක් නෙවෙයි , වයස අවුරුදු නවයෙ විතර ඉඳන් දත් වලට කම්බි දැම්මා..
මේ වගේ බොහොමයක් කරදර විඳින එයාට ඉගෙනීම හොඳින් කරන්න කියලා බල කරන්න අපිට හිත හදාගන්න බැරි වුණා..
එයා පාඩම් කළේ නෑ..වාර විභාග වල ලැබෙන අඩු ලකුණු ගැන එයාට ගානක් වත් තිබුණෙ නෑ..
හැමදාම අඩු ලකුණු ..
ලොකු පුතා ගෙ දෙමව්පිය රැස්වීම් වලට ගිහින් ආඩම්බරෙන් ඔලුව උස්සගෙන සිංහ ධේනුවක් වගේ ඉන්න මම , එයාගෙ දෙමව්පිය රැස්වීම් වලට ගිහිං කොණකට වෙලා ඉඳලා එයාගෙ රිපෝට් එක බෑග් එකේ දාගෙන ගෙදර ආවා...
හැබැයි , කවදාවත් එයාගෙ ගුරුවරු එයාට දොසක් කියලා නෑ..එයාගෙ විෂයන් වල තියෙන දුර්වලතා කතා කරන්න මම ගුරුවරු හමුවෙන්න ගියාම ඒ ගුරුවරු කිවුවෙ එයාගෙ හොඳ ගතිගුණ ගැන විතරයි ..
"හරිම හොඳ දරුවා, ඕනෙ වැඩක් කිවුවොත් කවදාවත් නොකර ඉන්නෙ නෑ..ඉගෙනීමෙ වැඩ ටිකත් උනන්දුවෙන් කරනවා නම් කොච්චර හොඳද.."
එහෙම තමයි එයා ගැන ගුරුවරු කිවුවෙ..
ඇත්තටම කියනවා නම් ඒ කාලෙ එයා පණහට වැඩිය ලකුණු ගත්තෙ දෙමළ විෂයට විතරයි ...
"මේකා ගිය ආත්මෙ වෙඩි වැදිලා මැරිච්ච කොටියෙක්ද මංදා..."
එයාගෙ ප්‍රගති වාර්තා පොත බල බල මම තරහින් එහෙම කියපු දවස් පවා තිබුණා ..
නවයෙ පංතියට ආවට පස්සෙ එයාට අධ්‍යාපනය ගැන උනන්දුව ඇති වෙන්න ගත්තා ...
ඒත් මූලික දැනුම හරියට අරගෙන තිබුණෙ නැති නිසා ලොකු ප්‍රගතියක් පෙන්වන්න තරම් ඒ උනන්දුව ප්‍රමාණවත් වුණේ නෑ..
ඒත් එයා අතහැරියෙත් නෑ..එයාම ගුරුවරු හොයාගෙන සමහර විෂයන් වලට ටියුෂන් යන්න ගත්තා ..මට ලොකු විශ්වාසයක් නොතිබුණත් ඒ උනන්දුව වෙනුවෙන් මට දෙන්න පුළුවන් වුණු හැම සහයෝගයක් ම දුන්නා..
ගණිතය උගන්වපු Indika Rathnayaka සර් සහ දහයෙදි කොමස් උගන්වපු Rathnayaka Gunasekara සර් ගෙ හමුවීම තමයි එයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ වුණේ..
රත්නායක සර් ටික ටික එයාගෙ ගණිතය දුර්වලතා මගහැරෙන්න ඉගැන්වුවා..නවය වසරෙදි ගණිතය ට ලකුණු 36 ගත්ත එයා රත්නායක සර්ට පින්සිදු වෙන්න 11 වසරෙ අන්තිම වාර විභාගයට ලකුණු 91 ක් ගත්තා..
සාමාන්‍ය පෙල විභාගයට එයා සූදානම් වෙද්දි තමයි ලොකු පුතා උසස් පෙල සමත් වෙලා කැම්පස් යන්න සුදුසුකම් ලබන්නෙ..
"මටත් කැම්පස් යන්න ම ඕනෙ "
එයා දවසක් මට කිවුවා..
"හරි, ඔයා ලේස්ති නම් මම ලේස්ති යි.."
එයා ගැන එවෙලෙ ලොකු විශ්වාසයක් නොතිබුණත් මම එහෙම කිවුවා..
එයා සා පෙල විභාගයට ලේස්ති වෙන ගමන් තමයි උසස් පෙල කරන විදිය සැලසුම් කළේ..
උසස් පෙලට කොමස් කරන්න එයාට ඕනෙ කිවුවා..එකවුන්ටින් වලට රත්නායක සර් ට කියලා ගෲප් ක්ලාස් එකක් දාගන්න ඕනෙ කිවුවා..
අනිත් විෂයන් වලට හොඳ ගුරුවරු රත්නායක සර් ට කියලා හොයාගමු කිවුවා..
Ruwan Prasanga සර් BS වලටත්
නන්දසේන ලියනාරච්චි සර් ඉකෝන් වලටත් අපි තෝරාගත්තේ එකවුන්ටින් කරන රත්නායක සර් ගෙ උපදෙස් අනුව..
විභාගය කිට්ටු වෙද්දී පළවෙනි ප්‍රශ්න පත්‍රය කරන්න ඉකෝන් උගන්වන Kumara Rathnayake සර් තව දුරටත් උදව් කළා..(මේ ගුරුවරුන්ගේ නම් අහගෙන ලොකු පිරිසක් ඉන්බොක්ස් එනවා..ඒකයි මම නම් දැම්මෙ)
සා පෙල ඉවර වෙලා මාසයක් ඇතුළත අපි එයාගෙ උසස් පෙල පටන් ගත්තා ...විෂයන් තුනටම ගෲප් ක්ලාස් කළේ, ගාල්ලෙ වාණිජ විෂයන් උගන්වන හොඳම ගුරුවරු තුන්දෙනාගෙ තමයි එයා අමතර පංති ගියේ..
සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල එද්දී එයා උසස් පෙල විෂය නිර්දේශයේ සැලකිය යුතු ප්‍රමාණයක් කරලා ඉවරයි..
සා පෙල ප්‍රතිඵල ත් නරකම නැහැ.A 3, B 4 , C 2 ක් තිබුණා ..ගණිතය ට A තිබුණා ..
උසස් පෙල පංතිය ට ගියාට පස්සෙ පළවෙනි වාර විභාගයෙන්ම එයා පළවෙනියා වුණා ..
BS 100%,
Accounting 92% ,
Econ 88%
ඊට පස්සෙ මට එයා ගැන විශ්වාසය ඇතිවෙන්න පටන් ගත්තා..හැම වාර විභාගයකම ඉහලම ලකුණු තිබුණා ..කැපවීම කියන වචනය ට එයා උපරිම සාධාරණය කළා..
වෙලාව අවෙලාව නොබලා මහන්සි වුණා..පාඩම් කළා..මා එක්ක හැමදෙයක්ම සාකච්ඡා කළා..මම එයාගෙ හෙවනැල්ල වගේ ලඟින්ම හිටියා..ප්‍රශ්න නොතිබුණා නෙවෙයි ...ඒත් ඒ ප්‍රශ්න වලට එයාගෙ අරමුණ වට්ටන්න අපි ඉඩ දුන්නෙ නෑ..එයාගෙ ජීවිත කාලෙට කරපු ලොකුම සැත්කමට එයා මුහුණ දුන්නෙත් උසස් පෙල කරන කාල සීමාවෙමයි...
මගේ ජීවිතේ මට හමුවුණු සුන්දරම මිනිස්සු මම අඳුනගන්නෙ එයා නිසයි..එයාගෙ පාසලේ සහ අමතර පංති කළ ගුරුවරු , එයාගෙ පාසලේ එවකට විදුහල්පතිතුමා සහ උසස් පෙල අංශ භාර සහකාර විදුහල්පතිතුමිය, අපේ පවුලේ යහළු යෙහෙලියන් , එයාගෙ යහළුවො සහ ඒ යහළුවන්ගෙ දෙමාපියන් ..මේ වගේ දිග ලිස්ට් එකක් එයාට හදවතින්ම ආශිර්වාද කළ අය අතරෙ හිටියා..
මම පුතා ලා තුන්දෙනෙක් හැදුවා..ලොකු පුතා කැම්පස් අවුට් වෙන්න ලඟයි..එයා දැන් රැකියාවක..
බාලයා තවම නවයෙ.. මට එයා ගැන පොඩ්ඩක් වත් බය නෑ..එයා තමයි පවුලෙන් දක්ෂම..
අම්මා කෙනෙක් විදියට මට ලොකුම අභිමානයක් දැනෙන්නෙ මලිඳු (දෙවනියා) ලඟ ඉද්දි..හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නෑ..සාමාන්‍යයෙන් හැම අම්මා කෙනෙක් ම තමන්ගෙ දරුවන් හොඳින් ඇතිදැඩි කරනවා..ඔවුන්ගේ ජීවිත හදනවා..
ඒත් මලිඳු කියන්නෙ මම අමාරුවෙන් මහන්සි වෙලා පාස් කළ විභාගයක්...
මලිඳු තමයි මගේ දරුවන් අතරින් අති විශේෂම දරුවා... දරාගැනීමේ ශක්තිය මම තරමටම තිබුණු , උත්සාහවන්තම දරුවා..
දැන් ඇයි මම මේක ලිව්වෙ...??
ඔව්..තව දවස් කිහිපයක් ඇතුළත උසස් පෙල ප්‍රතිඵල එනවා..(2024.06.02 ලියමි)
එයාගෙ ප්‍රතිඵල ගැන අහලා මැසේජ් 100 ක් විතර ආවා.
ඒ නිසා අවසානයට මම ඒක මෙහි ලියන්නම්..
A 3 යි
දිස්ත්‍රික් රෑන්ක් එක 203 )


A day in the life

උපකාර පන්ති.








 

ඊයේ  මැයි 31 දා උසස් පෙල ප්‍රතිපල නිකුත් වුනා .උසස් අධ්‍යාපනය සදහා 64 % ක ප්‍රතිශතයක් සුදුසුකම් ලබනවා. රජයේ සරසවිවලට නම් මින් 10% කට පමන ඉඩකඩ තියේවි.
මේ විමසුම නම්  උපකාරක පන්ති ගැන.

කාලය වෙනස් වෙනවා මේ පනහේ දශකය නෙමෙයි. එදා අපේ ගමේ ස්කොලේ මතක් වෙනවා. ලොකු ස්කොල මහත්තයායි නෝන මහත්තයයි නවාතැන් ගෙන හිටියේ ස්කොලෙමයි . ගුරු නිවාසයක් කියලා කියන්නත් බැරි අක්‍රමවත් ගුරු නිවාසයක. ස්කෝලේ ගොඩනැගිලි දෙකක් තිබුනා. එක ගොඩනැගිල්ලක තමයි ඒතුමන්ලා පදිංචිව සිටියේ.පාසල් කාලයෙන් පස්සෙත් ගමේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන සොයන්න විධිමත් වගේම නොවිධිමත් ක්‍රියාන්විතයක් එතුමාලා අතින් ඉටුවුනා.දශකයෙන් දශකයට ජනගහනය පිපුරුනා. ගුරුවෘත්තියටද ඒ් පිපිරීම බලපෑවා. පන්තියේ් බැරිවු කොටස හවස නතර කරගෙන කරදුන්න ස්වේ්ච්චා අධ්‍යාපනය ටිකින් ටික වෙළදපලේ මිළක් නියම වෙන්න පටන් ගත්තා.අද වන විශ්ව විද්‍යාලත් අධ්‍යාපනය මිළදී ගන්න පූළුවන් තැනට ඇවිල්ලා. ඉතින් ප්‍රාථමික තලයේ ඉදන්ම අධ්‍යාපනය විකිනෙනවා.මැතිවරණ කාලේ බිත්ති පුරා හිටපු වාමනරූප වෙනූවට දැන් බිත්ති ලයිට් කනුවල එල්ලිලා ඉන්නේ අධ්‍යාපන මුදලාලිලා නැත්නම් අධ්‍යාපන තාරකා. විවිධවු තේමාත් සමග මේ විපරියාස විරෝධාකල්ප මනසින් දකින නිර්මාණකාරිණියක් මෙහෙම කියනවා.

“තාප්පය පුරා හිනැහෙන
පාප්පයෙන් ඇලී ඉන්න
නේක වර්ණ මන බන්දන
ආල වඩන රූ සිරි පිරි
ශිල්ප හොරුන්ගේ විස්තර
කියවපන් පුතේ .
ෆිසික්ස් ,බයෝ ,ඉංගිරිස් ද
කෙමිස්ට්‍රි ,සිංහල ,දෙමළ ද
එකී මෙකී නොකී ශිල්ප
(කඩුවෙන් නැත්නම් පොරොවෙන් .....)
තොරණ බලනවා වාගේ
බලා ගනිං වරුණනාව .
ටක් ටික් ටුක් ඇස් වහගෙන
ඇඟිල්ල තියපන් රූපෙට
තෝරගනින් උඹට ඕනෙ
හොඳම ශිල්ප හොරා කවුද!“
--------රෝ.සි.

අම්මලා තාත්තලා මේ තත්වය දකින්නේ විවිධාකාරයට. තමන්ගේ දරුවන්ගෙන් බැළුවොත් උපකාරක පන්ති පවත්වන එක හොදයි. චැනලින් එකේ දොස්තරයි - ටියුෂන් කරන ගුරුවරයයි වෙනසක් නැහැ. දෙන්නම එකම භූමිකාව එක විදියට රගපානවා.

මේ ඉහත නිර්මාණයට මෙටාවේ ලැබුන ප්‍රතිචාර කිහිපයක්.

““ඒත්..අද පවතින අධ්‍යාපනයේ තරඟය නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ. අපි කැමැති වුනත් අකමැති වුනත් අපේ දරුවෝ ටියුෂන් යවන්න වෙනවා.හැබැයි ඉතිං දෙමාපියන් බලෙන්ම වුනත් ඒවට ළමයි යවන්නෙ වැඩි හොඳට කියල !

Thursday, May 30, 2024

මල්වර නැකත මල් කැකුළක් හිසේ තියා




පසුගියදාක අපේ අසල්වැසි නිවසක මල්වර මංගල්‍යයක් පැවැත්විනි දවස පුරා ආරාධිතයන්ට පැමිණීමට පහසුකම තිබිනි.දෙතුන් සීයයක් එදින පැමිනෙන්නට ඇතියි මම සිතින් ගනනය කලෙමි.රාත්‍රිය නිමාවුයේ මධු සාදයක් සමග සංගීතමය රස සාගරයක් මවමිනි. එම දෙමව්පියන් වියදම් කර තිබු මුදල පුංචි ගෙයක් හදා ගන්නට තිබුනා නේදෑයි එදා මට සිතිනි.
අටවසර පන්තියේ පමණ අධ්‍යාපනය ලබන පුංචි දියණියකට ඒ් දවස වදයක් වෙන්න ඇතැයි සිතන්න තවත් එවන්ම පුංචි දැරිවියක් මට මගපෙන්වු බවද සටහනට එක් කරමි. ඈ අළුත් ඇදුමක් පවා පිලිකෙව් කල උත්සව ප්‍රතික්ෂෙප කර මෙය සාමාන්‍ය අවස්ථාවක් බව කීමට එඩිතරව සිටීම ගැන මම ආඩම්බර වුනෙමි.ඇගේ දෙමව්පියන්ද එම අදහසට එකගව ඇගේ උඩුගම් බලා යන ගමනට අත්වැලක් වී තිබිනි.
මේ උත්සව දෙකම සංවිධානය වී තිබුනේ එක්වන් අධ්‍යාපනයක් සහ වත් පොහොසත් කම් ඇති දෙමව්පිය පවුල් දෙකකිනි.
මතෘත්වය කාන්තාවකට හිමිවීමේ පලමු වරම ලෙස මල්වර වීම හැදින්විය හැකිය .කායික විද්‍යාණුකුලව මල්වරවීම කාන්තා සිරුරක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවයි.
මෙය අඩ බෙර ගසා රටට කිවයුතු කාරනාවක් නොවේ.එහෙත් අපේ සංස්කෘතිය විසින් යම් යම් සිරිත් විරිත් මල්වර වීමෙදී පෙර පටන් අනුගමනය කරන්නට පරිසරය සකස් කර තිබේ. ඒවා අඩු හො වැඩි වශයෙන් අනුගමනය කරන අතර දැනුම්වත් දෙමව්පියන් පවුලේ ඥාතීන් අතර පමනක් පවත්වන සරල උත්සවයක් බවට මල්වර උත්සවය පත්කර ගෙන සිටී.
අතීතයේ සිට පැවත එන සිරිත් අනුව දියණියක විසින් තම මවට මේ බව දැන්වු විට , මව ඇය අතට ලෝහමය ආයුධයක් අතට දී කිරි ගහක් ලගට ගොස් ගසට කිරි එනසේ කැපුමක් කරනු ලැබේ ලෝහමය ආයුධයෙන් ආරක්‍ෂාවත් කිරි ගහෙන් සෞභාග්‍යත් සංකේතවත් කරනු ලැබේ.
පෙර පැවති සමාජයේ සිරිත් විරිත් අතරට ශබ්ද නගා කතා නොකිරීම, දින තුනක්‌ ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්‌නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන සිරිත් විරිත් මල්වරය මංගල්ලය සම්බන්ධ සිරිත් විරිත්අතරටට ඇතුළත් වේ. නැවුම් මැටි බදුනක ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීමත් ,මෙම සිරිත්ම අනුගමනය කරන මල්වරවු දියණියකට තාවකාලික සිර දිවියක් ගතකිරීමටත් සිදුවේ.
සමහර ප්‍රදේශවල පස්‌ මොරු කුල්ල දීම නමින් සිරිතක් ‌තිබේ. මෙම සිරිතේදී හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක්‌ ආදිය ද, දියලබු, වට්‌ටක්‌කා වැනි එළවළු වර්ග කීපයක්‌ද කුල්ලක අතුරා පහනක්‌ තබනු ලැබේ
මල්වරවු දියණියක ස්නානයෙන් පසු නිවසට පිවිසෙන අවස්ථාවේ දොරකඩ හරහා පැදුරක් එලා වී,තල උදු මුං මෑ ඇට දමා ඒ මත තොලබෝ අත්තක් සහ මොල්ගහක් හරහට දමා ඒ උඩින් ඇවිද ගෙන යාමට සලස්වනු ලැබේ .
මේ අවස්ථාවේ රෙදි නැන්දා විසින් පොල් ගෙඩියක් බිම තබා දෙපළු වනසේ බිදිනු ලැබේ. මින් පසු ඈ කැදවා ගෙන යන්නේ නිවසේ මැද සකස් කර ඇති රන්, රිදී, මුතු, මැණික්‌ ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදි ද්‍රව්‍ය වලින් බිම පැදුරක අතුරා සකස් කර ඇති ස්‌ථානයටයි. මෙම ස්ථානය පැදකුණු කර පහන් දල්වා සිරිත් කරනු ලැබේ. වැඩිවියට පත්වන අවස්ථාවේ ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්‌ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම වැනි සිරිත්ද මෙයට ඇතුලත්වේ.
රෙදි නැන්දා අද වොසින් මැසින් එකවී ඇති බැවින් මව හෝ ඥාති නැන්දා කෙනෙක් මේ සිරිත් විරිත් සදහා මැදිහත්වේ. සිරිත් විරිත්ද වර්තමානය වන විට ලඝු වි ඇතත්, උත්සවශ්‍රීය නම් සංකීර්ණවී ඇති සෙයකි. මගේ අඅසල්වැසියාට සිදුව ඇත්තේ උත්සවශ්‍රීය සංකීර්ණවීමයි.


විජේසිරි ජයසේකර මෙටාවට එක් කල සිතිවිල්ලක්

මල්වර නැකත මල් කැකුළක් හිසේ තියා
නැන්දට වෙල්ලාව පොට්ටනි ලියා තියා
සිරිතට වරිගෙ වංශෙට මල පොතේ ලියා
කෙල්ලගෙ ජීවිතේ කනවා මගුල් කියා

ජීවයෙ නියම ගමනට පිළිපන් විටදී
කාටත් පොදුයි ලෝ දහමට රුකුල් දිදී
කය තුළ සිදුවෙනා වෙනසක් නැකතට දී
ලෝකෙට කෙල්ල විකුණනවා මගුල් යෙදී

ගහලා පොටෝ ඇල්බම් උඩ නැගල හිඳී
යහපත් ගුණ ධර්ම වෙනුවට බයිල වදී
ගමටම බොන්න දී රෑ පාටියට හිඳී
දරුවව නටවනව අම්මල අකුණු වදී

නැකතට කියන දේවල් ගුරු කොට රැගෙන
දරුවගෙ ජීවිතේ කනවා නැත සිතින
යහපත අයහපත ගැන කිසිවක් නොදැන
කොටහළු මගුල ජයටම කයි ණය රැගෙන

නැකතට වතුර කලයක් නාවා ඇතිද
පහනක් එක් දිනක් දල්වාගෙන කිමද
සුදු වත හැමදාම අඳිනට හිත නැතිද
කිරි ගහකට කෙටුම කුමකට එය හරිද

සතියක් හමාරක් ඉගෙනුම නෑ ඔට්ටූ
කෑමක් බීම නෑ හරියට වෙයි තට්ටූ
සෙල්ලම් කරන්නට මුත් හිත වෙයි මට්ටූ
මුල්ලක තනි කරන්නේ මොන කරුමද පිට්ටූ

අන්දල නේක වයිවාරණ ඇඳුම් රෙදී
ගමටම කියල කෙල්ලගෙ ගලවනව රෙදී
ණය වී තම්බලා බත් ගෙඩි එක්ක හොදී
මෙහෙමත් පිස්සු කෙළිණා අය කොහේ හිඳී

පොඩ්ඩක් හිතල මේ ගැන දැන් හැදෙන අය
විකුණනු එපා දරුවා මේ ලෙසින් කය
යහපත් ගුණ ධර්ම දරුවට දිදී ළය
මල් පූදින්න ඉඩ දෙනු එය තමයි පිරිය

 ස්තුතියි .


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon