Monday, July 10, 2023

ණයචක්ක පවත්තන සූත්තරය


නලින් ද සිල්වා ගේ අදහසක්.
ජාමූල කරන්නේ අප තව තවත් ණයකාරයන් බවට පත් කිරීම මිස අනෙකක් නො වෙයි. එය කරන්නේත් තම කොන්දේසිවලට අප යටත් කිරීමෙන්. ඔවුන් පළමුව අප ලවා රට බංකොළොත් බව ප්රකාශ කෙරෙවුවා. එය කෙළේ මහා බැංකුවට අවුරුද්දකට පමණ පෙර අධිපති ලෙස පත් කෙරුණු නන්දලාල් වීරසිංහ. ඔහු ඒ තනතුරට පත් කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ විසින්. ගෝඨාභයට ඒ උපදෙස දුන්නේ කවුද කියන එක ප්රශ්නයක්.
නන්දලාල් වීරසිංහ මහා බැංකුවට අලුත් කෙනකු නො වෙයි. ඔහු එහි ඉහළ තනතුරු දැරූ අයෙක්. ආර්ථික අර්බුදයට හේතුව රාජපක්ෂලා ගසා කෑම යන පට්ටපල් බොරුව නිර්මාණය කෙළේ කවුරුන් වුවත් එයින් නන්දලාල් වීරසිංහ වැනි මහා බැංකුවේ උසස් තනතුරු දැරූ අයත් වගකීමෙන් නිදහස් කෙරුණා. ඒ අය මහා බැංකුවේ සිටිය දී ම තමයි ප්රශ්නය උග්ර වුණේ. අධි පොළියට ස්වෛරී බැඳුම්කර මගින් වැඩියෙන් ම ණය ලබා ගත්තේ රනිල් අගමැති ව සිටි ජඩපාලන ආණ්ඩුවෙන්. නන්දලාල්ලා එයට විරුද්ධ වුණු බවට ආරංචියක් නැහැ.
මා දන්නවා මා මෙසේ කියන විට මා රාජපක්ෂවාදියකු හා තවත් කතා කියමින් මට උපහාස අපහාස කරන පඬි නැට්ටන් ඉන්න බව. එය මට ප්රශ්නයක් නො වෙයි. මා වැඩ කරන්නේ මගේ මරණයෙන් පසුවවත් ගුණකථනයක් කියවා ගැනීමේ අරමුණකින් නො වෙයි. ඔය එක ගුණකථනයකින්වත් මගේ සසර ගමන කෙටි කෙරෙන්නේ නැහැ. මා රාජපක්ෂවාදියකු වීම නොව වී ඇත්තේ මහින්ද හා ගෝඨාභය රාජපක්ෂ ජාතිකත්වය වෙනුවෙන් නායකත්වය දීමට පත්වීමයි. මහින්ද එතැනට තල්ලු කෙරුණේ ජාතිකවාදීන් විසින්.
අද නන්දලාල්ලා කරන්නේ මධ්යම පංතිය තව තවත් හුරතල් කිරීමක් පමණයි. මා මධ්යම පංතිය කියන්නේ ආකල්පමය මධ්යම පංතියකට. ඔවුන් දුගියන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ට ඇත්තේ සමාජයේ ඉහළ නැගීමේ ආශාව. පඬි නැට්ටන්ටත් එහෙමයි. ඔවුන් තම උගත්කම ප්රදර්ශනය කරමින් හරි සමාජයේ ඉහළ වැජඹෙන්න උත්සාහ දරණවා. එය විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. සමාජයේ බොහෝ දෙනකුට මධ්යම පාංතික ආකල්ප තියෙනවා. කිසිවකු හරි කියනවා ද සමාජයීය විද්යා මානව ශාස්ත්ර උගතුන්ගේ දියණියන් විශ්වවිද්යාලයේ දී ඉංගිරිසි විශේෂ පාඨමාලා හැදෑරීමට ඇති සම්භාවිතාව වැඩිවන්නේ කෙසේ ද කියා.
මා කිසිවකුටවත් අපහාස උපහාස කරනවා නො වෙයි. මධ්යම පාංතික ආකල්ප සමාජයේ ඔඩු දුවා ගොස්. අපට අවශ්ය අප දන්නා හඳුනන අයට වඩා කිනම් ආකාරයකට හරි සමාජය උසස් යැයි සලකන දේ අත්පත් කර ගන්න. ලොකු ගෙයක් සුවපහසු මෝටර් රථයක් බටහිර දැනුම ගැන කියන්න හැකියාවක් ආදිය ඒ සඳහා උදාහරණ. ඒ අතර සමහරුන්ගේ මිතුරු සමාගම්වල එහෙමත් නැත්නම් කවවල සිංහල බෞද්ධ සංස්කෘතිය පාච්චල් කිරීම අපේ දැනුම මිථ්යා බව පැවසීම වැදගත්කමක් තත්වයක් ලබා ගැනීමට උදවු උපකාර වෙනවා.
ඒ මොනව වුනත් හොඳ සමාජ තත්වයක් කියන දේ ලබා ගැනීමට මුදල් අවශ්ය වෙනවා. එහෙත් අප මුදල් හොයන්නේ නැහැ. මුදල් හොයන්නේ නැහැ කියන එකෙන් මා අදහස් කරන්නේ රැකියාවක් නොකරන බව නො වෙයි. රැකියා කිරීමේ දී අප කරන්නේ වෙනත් අය හොයන මුදල් අප වැටුප් ලෙස ලබා ගැනීම. අප කරන නිෂ්පාදනයක් නැහැ. මධ්යම පංතිය නිෂ්පාදනයක් කරන්නේ නැති තරම්. මගේ ජීවිතයේ දී මා කළ නිෂ්පාදනයකුත් නැහැ. කොළඹ දී හා කැලණියේ දී උගන්වන්නේ නැතිවත් වැටුපක් ලබා ගත්තා. ජී එල් පීරිස් එයට කිවුවේ ජාතික චින්තනය උගන්වනවා කියා. ගුරුත්වාකර්ෂණ බලය නිවුටන්ගේ හිතළුවක් බව කී විට කැලණියේ ප්රබුද්ධ ආචාර්යවරු මට විරුද්ධ ව සිසුන්ට අත්පත්රිකා බෙදුවා රැස්වීම් තිබ්බා. ආසනික් ප්රහාරය මතක ද?
අද මේ මධ්යම පංතිය ප්රසාරණය වෙලා ජනගහණයෙන් විශාල බහුතරය බවට පත්වෙලා. ඔවුන්ගේ ඕනෑ එපාකම් පිරිමහන්න ඩොලර් ඕන. නන්දලාල් ණය ලබා ගන්න ජාමුලෙත් එක්ක වැඩ. රනිල් තව තවත් ණය ගන්න මිසක් ණය ගෙවන්න දන්නෙ නැහැ. අද රට ආණ්ඩු කරන්නෙ ජාමුලෙ. රනිල් එහි නියෝජිතයා පමණයි. පාර්ලිමේන්තුව අද ජාමලෙ රබර් මුද්රාව බවට පත්වෙලා. සමහරවිට පාර්ලිමේන්තු ඉතිහාසයෙ වෙනත් අයකු වෙනුවෙන් පාර්ලිමේන්තුව සෙනසුරාදා දිනයක පළමු වතාවට රැස්වෙන්නෙ අද වෙන්න පුළුවන්.
විදේශ ණය ප්රතිව්යුහගත කරන විට ණය හිමියා බලවත් වෙනවා. දේශීය ණය ප්රතිව්යුහගත කරන විට ණය කාරයා බලවත් වෙනවා. ඔය මොන කතා කිවුවත් අපේ අරමුදල්වලට ලැබෙන පොළිය අඩුවෙනවා. මධ්යම පංතියට ඉන් පාඩුවක් වෙනවා. තාවකාලික ව ඒක වහා ගන්න විදුලි බිල අඩු කරන්න පුළුවන්. එහෙම නැත්තන් වෙන මොකක් හරි උප්පරවැට්ටියක් කරන්න පුළුවන්.
ඒත් කෝ නිෂ්පාදනය. පොල්පොට් කළා වගේ මධ්යම පංතිය බලෙන් කුඹුරට යවන්න බැහැ. අපට ආයෝජකයන් එන්නෙ නැහැ. ආයෝජන මණ්ඩලය අවුරුදු තිහක හතළිහක කාලයක ආයෝජකයන් කීිදෙනකු ආනයනය කළා ද? පඳුරකට ගැහුවත් ආර්ථික විද්යාඥයන් කිහිප දෙනකු විසිවෙන රටක නිෂ්පාදනයක් කරන්නෙ කොහාමද කියල දන්න අයෙකු නැහැ. දන්න එකම දේ වැඳලා හරි තව තවත් ණය ගන්න එකයි උප්පරවැට්ටියක් කරන එකයි. මෙය ණය පවත්තන වැඩක්. අප චක්රයක යනවා. ණය පවත්තන චක්රයක්. ඒකත් සූත්තරයක්. - නලින් ද සිල්වා

notes of imaginary

Saturday, July 08, 2023

පැවිද්ද.

හාමුදුරුවරුන් පිලිබදව ලියවෙන පලවෙන දේවල් සුබදායක නොවන කටුක පුවත් වලින් යුක්තය.

මේවා බෞද්ධාගමිකයන්ගේ සිත් පාරන සුළුය.

දායකයින් ප්‍රතිචාර දක්වන්නේද පෙර මෙන් නිහඩව නොව ඉතාමත් ප්‍රචණ්ඩකාරීවය. බොහෝ විට උඩ බලා ගෙන කෙළ ගැසුවිට තම මුහුණට නොවැටෙන්නාක් මෙන් සිතාය.

සිදුහත් චරිතය කියවන විට අපට සිදුහත් බෞද්ධත්වය  ලබා ගන්නා තෙක් සසර සම්පත් අවබෝධයෙන් බැහැර කරමින් ගමන් කල අන්දම විවරණය වන්නේය. උන්වහන්සේ අඅවබෝධයෙන් ලෞකික සැප සම්පත් අත්හැරියේය. වර්තමාන සඝ පරපුර ඇතිවන්නේ එවැනි අල්පමාත්‍ර අවබෝධයක් දරා ගෙන නොව කිසියම් රැකියාවකට කෙනෙකු බදවා ගන්නා ආකාරයෙන් ය.

කුඩා කල මහණ කර ගන්නා පුංචි දරුවන් කෙමෙන් පන්සල තුල මුහුකුරා යන විට, සමහරුන් උපැවදිව ගිහි ගෙය ආක්‍රමණය කරන්නේය. තවත් සමහරුන් පන්සල තුල රැදෙන්නේය. ඔවුන් තම ජීවිත කාලය ගෙවන වයස් කාණ්ඩ තුල හැසිරෙන ආකාරය අප බලාපොරොත්තුවන භික්‍ෂුත්‍වයට නොගැලපෙන බව දක්නට ඇත. එය මම දකින්නේ අවබෝධයකින් තොරව පැවදිවන්නන් තම ජීවිතය සංඝ චරියාවත් සමග කරන චිත්ත අරගලයක් ලෙසය ක්‍රමයෙන් පැසුණු වයස තෙක් පැවදි දිවියේ සිටිය හොත් වස්තු තන්හාව බැහැර කල පැවිද්දන් තුල ගිහි අප බලාපොරොත්තුවන ස්වාමීන් වහන්සේලා වැඩ හිටින්නේය.

එදා ගමේ පන්සලේ හාමුදුරුවෝ ගමේ උපදේශකයා විය. ආදර්ශමත් චරිතයක් විය. දායකයන් ගෙන් යැපුණු උන්වහන්සේලා දායකයින්ටද කිසියම් බැදීමකින් යුතුවිය. කලාතුරකින් නින්දගම් රකින පවුල් රකින නායක උන්නාන්සේලාද මේ අතර ඉද හිට හමුවිය. ඒත් උන්නාන්සේලාත් අනාගත් ස්වරූපයෙන් නොව වැදගත් ස්වරුපයෙන් ගිහි සම්පත් විදිමින් සමාජයේද ඉහලින් වැජඹුනේය. පසුකාලිනව උසස් අධ්‍යාපනය සදහා විශ්ව විද්‍යාල වලට ගිහියන්  සමග යොමු වීමත් ,රජයේ රැකියා ලාභීන්වීමත්, නිසා ඔවුන්ගේ ආර්ථිකව ස්වාධීන විය.දායකයින්ට තිබු බැදීම අඩුවිය.

අද දේශපාලනය , ව්‍යාපාර,මුදල් අරමුණුකරගෙන කරනු ලබන නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදෙමින් ලෞකික  ජීවිතේ සැප සම්පත්වල ගිලෙමින් බුදුහාමුදුරුවන් ගේ ධර්මය දේශනා කරන්න උත්සහාකරන උන්වහන්සේලා පිලිබද ඇති ගෞරුත්‍වය බින්දුව කරා දක්කාගෙන යන්නේ උන්වන්සේලාමය.

මට නම් දැනෙන්නේ දුකක් සහ වේදනාවක්ය


notes of imaginary

Tuesday, June 20, 2023

කිරිකෝඩු



මාලිගාවෙ කප් හිටෝල
පෙරහැර මංගල්ලෙට ,අද
කිළි කුණු හෝදල දාලා
ගම්මානෙම එළිය වෙලා .
අලුත්ම ගොම අරං ඇවිත්
ගොම මැටි ගෑවා තනියම
සොපි නැන්දළ එක්ක ගෙහුං
දර මිටි බැඳගෙන ආවා.
දියකපලා ඉවරවෙලා
ආපහු කට්ටිය එනකං
පිලිහුඩුවක් උයන්නෙ නෑ
කිල්ලට අහුවේවි බයට.
දළදා මංගල්ලෙ වෙලේ
බෙර ගහන්න යන්නෙත් අපි
උඩ කරනම් ගහන්නෙ අපි
රජ කාලේ ඉඳලම එන
චාලිත්තරයක් ළු ඒක .
රතු තුප්පොට්ටිය බැඳලා
වෙස් ආයිත්තම් ඇඳලා
අපුච්චලා නටන රඟේ ...
කරඬුව නොවැ වඩම්මන්නෙ !.
ඉලංගමේ මහය වෙච්චි
මයෙ ලොකු අප්පුච්ච වෙච්චි
උඩවෙල නයිදේ කියලයි
හැමෝම ගරු සරු කොරන්නෙ.
දෙයියො බුදුන් අදහන අපි
අවසර ගන්නට ඕනිළු
කප් හිටෝපු දාට, ගමේ
සාන්ති කර්මය කරන්නෙ
ලොකු අපුච්චලා ගෙ ඉඩමෙ .
ගම්බාර දෙයියොත් එදාට
පාන් පැලට වඩිනවා ලු.
හැන්දෑවට මලය එක්ක
මහගෙදරට දුවල යන්නෙ
විලක්කු පන්දම් එළියෙන්
යාතිකාව බලා එන්ට.
කන්ද උඩින් හඳ පායල
රුක් අත්තන මල් සුවඳයි .
පන්දම් එළියෙන් බැබළෙන
මස්සිනාගෙ ඇස් දෙක ළඟ
මට ආසයි ටිකක් ඉන්ට .
පෙරහැර අහවර උණාම
මංගල්ලෙට නැකත් හදල
උජාරුවට මගුල් කන්න
අපුච්ච වචනේ දුන්නට
ළඟින් තුරුල්වෙලා ඉඳන්
පිල් කණ්ඩියෙ රටා පැදුරෙ
නිදාගන්න තියෙනවනම් ..
ආසයි නොවැ ඒත් බයයි...
රෝ.සි.

notes of imaginary

Saturday, June 17, 2023

යුරියා

මුණු පොතේ මිතුරාණන්  කෙනෙක් වු කමල් පී අලහකෝන් සොහොයුරානන් මහත්වු සත්කාරයයක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය .රටටම ආදර්ශයක්වු පුරන් වුකෙත් යායක්  නැවත අස්වැද්දීම  ඔහුගේ ව්‍යායාමය විය.

දැන් එතුමානන්  සිරියාවෙන් පිරි කෙත් යායක පින්තූර පල කරන්නේය.  බොහෝ දිනවල පල කරන ව්‍යාපෘති ප්‍රගතිය තවත් අයට ආදර්ශයට මනාය.

 

මේ  අතරවාරයේ පලකර තිබු        ප්‍රගති වාර්තාවක මගේ සිත් ගත් බැවින් උපුටා  සංරක්‍ෂණය කර ගතිමි .එය මෙසේය.

 

 

“................ඊයේ "කෘපනිස තුමා" ගොවිපොළට ආයේ ය.

(කෘෂිකර්ම පර්යේෂන සහකාර නිළධාරී)

"මහත්තයා ගොවි පොළේ ගොවි මහත්තුරුන්ට වුවමනා යූරියා දෙන්ට

ලැයිස්තුවක් වුවමනයි"

ඔහු කීය.

"අපිට යූරියා එපා!" මම කීමි.

කෘපනිසගේ ඇස් උඩ ගියේය.ය

"අපි වවන්නේ ස්වභාවික ක්රමයට.

ස්වභාව ධර්මය අපිට යූරියා දෙන තරම ඇති."

"යූරියා යනු නයිට්රජන් අම්ලය අඩංගු කෘතිම පොහොරකි.

නයිට්රජන් වලින් තොරව පොළව මත ජීවයක් පැවතිය නොහැක.

ප්රෝටීන සහ ඇමයිනෝඅමිල වලින් සියයට 18 ක් පමණ නයිට්රජන් ය.

මේ අත්‍යාවශ්‍යය රසායනික මූලද්‍රව්‍යය ප්‍රධාන කොට

පෘථිව් ගෝලයේ විසිරි පවතීන්නේ වායු ගෝලය තුළ ය.

ඒ සියයට 78 ක් වායු ගෝලය තුළත්,.

සියයට 0.4 ක් පොලොව තුළත්

අවශේෂය ජෛව ගෝලය තුළත් ය.

වායු ගෝලයෙන් නයිට්රජන් උකහා ගත හැකි ශාක සහ

බැක්ටීරියාවන් කිහිප දෙනෙකුට පමණය.

අනෙකුත්,ජීවින් එය ලබා ගනුයේ පසෙනි.

වායු ගෝලය තුළ නයිට්රජන් නිපදවෙන්නේ අකුණු කෙටීම් මඟිනි.

නැතහොත් හෙන සමඟිනි.

අප නොදුටුවත් අපට නෑසුනත් වායු ගෝලය තුළ

අකුණු කෙටීම් දිනකට තුන් දහසක් පමණ සිදුවේ.

මේවා මඟින් වායුගෝලීය සංයුතිය වෙනස් වේ.

වාතය විද්යුත්,ආරෝපනයකට ලක් කෙරේ.

එමඟින් රසායනික සංයෝග ගණනාවක් උපදී.

නයිට්රජන් ඔක්සයිඩ් එකකි.

එය වැසි ජලය සමඟ මිශ්ර වී,පොළවට පතිත වේ.

වර්ෂයකට වර්ග කිලෝ මීටරයකට මෙසේ නයිට්රජන් ටොන් 1.5 ක්

පතිත වන බව කියති.

ඒ නයිට්රජන් ප්රමාණය හොඳටෝම ඇත.

ආණ්ඩුව නොහොත් බහු,ජාතික සමාගම් දෙන නයිට්රජන් අපට වුවමනා නැත.

අතීතයේ අපේ ගොවීහු මෙම රහස දැන සිටියහ.

ඔවුන් කල් යල් බලා ගොවිතැන් කළේ එනිසා ය.

බක් මහ අකුණු අපට නයිට්රජන් දෙන ප්‍රධාන ආකාරයයි.

"හෙණ ගහපන් ගණන් බලාපන්" කීවේ එහෙයිනි.

හෙණ ගහන තරම බලා ගොවිතැනේ යෙදීමයි.

කෘතිම නයිට්රජන් පොළවට ලබා දීම ඇරඹුනේ 1956 දී ය.

එම වසරේ මහ පොළවට කෘතිම නයිට්රජන් ටොන් මිලියන 3.5 ක් ද,

1974 වසරේ ටොන් මිලියන 40ක්ද,

එකතු කරන ලදී.

දැන් පුමාණය ඒ අනුව සිතාගත හැක.

මෙලෙස කෘතිමව පොළවට එකතු කිරීම මඟින් සිදුවන හානි

ඉන් ලබන වාසි වලට වඩා වැඩි ය.

පසෙහි වසන ජීවින් හට මෙන්ම මනුෂ්යයනටද එය අහිතකර ය.

එනිසා අපි යූරියා නොඉල්ලමු.

හෙණ ඉල්ලමු.

,එමඟින් අපට නයිට්රජන් දෙන නිසා ය.

කෘතිම නයිටුජන් යොදා මහ පොළව විනාශ කළ එවුන්ට

ඒ"හෙණ "ම වදී වා කියා පතමු.




notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon