Tuesday, July 01, 2014

ලන්ච් ටයිම් කතාවක්.

විශ්‍රාමිකයෙක් වගේ මුණුපුරත් එක්ක ගත කල දවසේ කාල සටහන වෙනස් වුනා. අවුරුදු තුනකට විතර පස්සේ කරමින් සිටි සේවා කටයුතු සදහා නැවතත් එකතු වුනා .ඒ නිසා දැන් මම විශ්‍රාමිකයෙක් නෙමෙයි. දැන් මගේ පැරණි සේවාදායකයෝ එක්කෙනා දෙන්නා නැවත මුණ ගැහෙන්න පටන් අරන් . පලමු දිනදීම හමුවුන සේවාදායකයෙක් මට දීලා තියෙන්නේ බාල්දියක්. ඒකෙන් මට වුනේ හොදට නාගන්න. සාජන්ට් මහත්තය (සාජ් ) දැන් මට නිතර නිතර හමුවෙන එක්කෙනෙක්.
සමහර විවේක කාලයේදී එයාගේ කතාවලට ඇහුම්කන් දෙන එකත් පුරුද්දක් වෙලා. ඒකට එක් හේතුවක් වෙන්නේ සාජ් පැමිනෙන “ ලන්ච් ටයිම් “ එක බොහෝ වෙලාවල් ම‍ටත් ටිකක් විවේක වෙලාවක්. සාජ් එක එක කතා කියනවා.
ඊයෙත් අදත් කතා දෙක ගම්මිරිස් හොරු තුන්දෙනෙක් අල්ලා ගත්ත හැටිත්. අනවසර මත්පැන් වැටලීමක් ගැනත් ඒ ගමන් කීවා.

අනවසර මත්පැන් වැටලීම් සුරා බදු දෙපාර්තමේන්තුවත් කරනවා. පොලිසියත් කරනවා. ආයාතන කාර්ය මණ්ඩල වෙනස් වීමත් සමගම කරන මේ වැටලීම් මාසයක් දෙකක් යන කොට අධිකරණ දඩ වෙනුවට මාස්පතා බදු මුදල් ගෙවීමක් බවට පත්වෙලා සාමාන්‍යකයකරණය වෙනවා. දෙපාර්ශවය හදුනා ගත්තම වැටලීම් ඕන වෙන්නේ නෑ. අනවසර මත්පැන් ස්කාගාර වලටත් තම නිෂ්පාදන අවහිරයකින් තොරව නිෂ්පාදනය කරගෙන යා හැකි තත්වයක් ඇතිවනවා. මේ දෙගොල්ල ගැනම මට අවබෝධයක් තිබෙන නිසා අමුත්තක් ඇති වික්‍රමයක් නැහැ.

මේ දිනවල ගම්මිරිස් වෙළදපලේ කිලොව රු 1180/= විතරත් අමු ගම්මිරිස් කිලෝව රු. 360/= විතර තොග වෙළද පලේ අලවි වෙනවා. ඉතින් අමු ගම්මිරිස් වතුවලින් හොරෙන් නෙලා ගැණීමත් පලදායි කාර්යයක්. සාජ්ගේ පොලිස් පොතේ සටහන් වෙනවා හොරෙන් ගම්මිරිස් නෙලා ගෙන ගියා කියන පැමිණිලි කිහිපයක්. කතාව ආරම්භ වන්නේ එහෙමයි.

අද කෑම විවේකයට පොඩ්ඩක් රත්වෙලා යන්න හුටු හුටු දඩුකජ්ජට නගින සාජ්ට මෙට්ට විකුණන්න යන බට්ටෙක් ( කුඩා ලොරියක් ) මුණ ගැහෙනවා . අහම්බෙන් මුණ ගැහෙන බට්ට ලොරිය පරීක්ෂා කරන්න ඕනි කියලා සාජ්ජට අදහසක් පහලවෙනවා. සාජ් කෑමට පෙර එන කාරෙනටත් පොඩි වියදමක් යනවනේ.

 සාජ්ට අමු ගම්මිරිස් ගෝණි කිහිපයක් මෙට්ට ලොරිය තුලදී හමුවෙනවා. පොලිස් පොතේ තියෙන පැමිණිලි කිහිපයත් මතකයට එනවා. ‍ලොරියේ හිටපු තුන් දෙනා පොලිස් භාරයට අරගෙන සාජ් බට්ටා ලොරිය පොලිසියට ගෙනියනවා. සාජ්ගේ අරමුන කෑමට පෙර රාජකාරිය නිම කරන්න. දෙපැත්තෙන් කොයිපැත්තකින් හරි සාජ් ගොඩ යනවා කියලා දන්නවා.
 පැමිණිලි දාලා හිටපු ‍කිහිපදෙනා කැන්දා ගෙන එන්න වහාම රාජකාරි ගමනක් පිටත් වුන සාජ් මුණ ගැහෙන්නේ පැමිණිලි කාරයනුත් සමග පොලිසියට යන අතරමගදී පැමිණිලිකාරයෝ කෑමට ගන්න ගමන්.

 නිවසියන් හට මෙට්ට විකුනන්න කතා කරලා අලවි කරගන්න කැමැත්ත ගන්න බැරිවුනාට වත්ත පිටිය ගැන ඔත්තු බලලා දෙන්නෙක් එක්ක ගම්මිරිස් වත්තට බැහැලා ගම්මිරිස් නෙලා ගෙන ලොරියේ බෑග් පුරවගෙන .මේ විධියට වතු කිහිපයක හොරට ගම්මිරිස් නෙලලා. අන්තිමට පොලිසියේදී පැමිණිලිකාරයෝ හොරු අදුනා ගෙන. මේ මේට්ට විකුනන්න තමන්ගේ ගෙවල් වලට ගිය තුන් දෙනානේ ! ගම්මිරිස් නෙලා ගෙනත් තියෙන්නෙත් කියලා .

අන්තිමේදී ගම්මිරිස් බට්ටයි අර තුන්දෙනාටයි අධිකරනයට යන්න වුනා කියලා.සාජ් වාර්තා කලා.

 notes of imaginary

Saturday, June 28, 2014

හේරත්හාමිට බණක් .

සාජන්ට් මහත්තයා. අපේ පොලිසියට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. මොකක්දෝ හේතුවකට එතුමා පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථානයකට මාරු කරන්නෙත් නැහැ. සාජන්ට් මහත්තයා වැයික්කියේ ඉන්න හැම දෙනාගෙම පැටිකිරිය දන්නවා. වාසගමත් එක්ක නමත් කියලා පවුලේ ඉන්න සාමාජිකයෝ ගානත් කියයි මතකයෙන්. එතුමා මට පසුගිය දවස් ටිකේ කෑම විවේකයේදී නැත්නම් ඕෆ් වෙලා යන ගමන් දිනපතාම වගේ මුණ ගැහුනා.මේ හැම දවසේම එතුමාට කියන්න කතාවක් තිබුනා.
මටත් හූ මිටිතිත තිය අහගෙන ඉන්න විවේකයකුත් තිබුනා.
බියර් බෝතලෙකුත් අති විශේෂ මිමි 200කුත් හිස්කර.න ගමන් කතාවට වැටෙන සාජන්ට් මහත්තයා ඒ ටික හිස්කරගත්ත ගමන්ම හුටු හුටු දඩු කජ්ජට නැගලා යන්නම් .............මහත්තයා කියලා වාෂ්ප වෙනවා.
ඊට පස්සේ මම සාජන්ට් මහත්තයාගේ කතා අවර්ජනය කරන්න පටන් ගන්නවා.


මේ දවස් වල හාමුදුරු හුට පට. මාදුළුවාවේ ලොකු හාමුදුරුවෝ පොදු අපේක්‍ෂකයා වෙලා ජනාධිපතිවරණයට එනවා. හාමුදුරුවෝ හිතන්නේ සිංහල බෞද්ධ ඡණ්ද එයාට ලැබෙයි කියපා වෙන්න ඇති. සේනා වල හාමුදුරුවරු පාරම්බානවා. තමන්ටම ගහ ගන්නවා. කරු මහත්තයාත් ඒ ගොල්ල කරන වැඩ සංඝාධිකරනයකින් මිසක් ඔය ගිහි අධිකරණ වලට යොමු කරන්න එපා කියනවා.
මට මතක් වෙනවා බණ්ඩාරණායක නඩුව නම් විසදුවේ ගිහි අධිකරණයක. සෝමාරාමට මරණ දඩුවම ලැබුනෙත් බුද්ධරක්ඛිත හිර ගෙට ගියෙත් සංඝාධිකරණයකින් නෙමෙයි කියලා සිහිපත් වුනාම වයසට යන කොට කියන කතා ගැන අපි කලබල වෙන්නේ නෑ කියලා කරු මහත්තයට කියන්න හිතෙනවා.
මේ පුර්විකාව මතක් වුනේ සාජන්ට් මහත්තයාගේ බණ කතාවක් අහලා.
හේරත්හාමි උපාසක මහත්තයා කට්ට කෛරාටි‍කයෙක්. පන්සල පැත්තේ යන්නේ කලාතුරකින්. දවසක් බණක් දවසේ පන්සලට ගිය හේරත්හාමිව “ අද කාලෙකට පස්සේ උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ වාඩි වෙමුකො මං ලගින්ම ” බණ පටන් ගන්න කොට හාමුදුරුවෝ ලගට කතා කර ගෙන වාඩි කර ගන්නවා.
හාමුදුරුවෝ බණ පටන් ගන්නවා .
හේරත්හාමි උපාසක මහත්තයා එහෙයි කියනවා. හාමුදුරුවෝ කැමති ඒකටනේ !.
හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.
එහෙමයි හාමුදුරුවනේ ! එහෙමයි හාමුදුරුවනේ !!!, යටගිය දවස කියන්නේ මොකක්ද හාමුදුරුවනේ ?
හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ - හුගාක් ඈත අතීතයේ
ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේ තරමද ?
හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.
හේරත්හාමි උපාසක මහත්තයාගේ ප්‍රශ්න වලට හාමුදුරුවන්ගේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න වෙනවා. ඒත් මොනවා කරන්නද ? දැළි පිහිය දුන්නේ හාමුදුරුවෝමයිනේ.
හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් ගැන මන් මේ කියන්නේ.
හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?
හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. මම කියනදේ අහන එකයි.
ඔච්චර විස්තර දැන ගන්න ඕන නෑ. මේ බණට
මං අහල තියෙනවා හාමුදුරුවනේ හැම ජාතක කතාවකම වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල තමයි පටන් ගන්නේ . මං අහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද? කියලයි.
මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .
හාමුදුරුවෝ හේරත්හාමි ගැන අවධානය යොමු කරන්නේ නැතිව දේශනාව කරනවා. මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් බිසෝවරු.
මගේ බුදු අම්මෝ !
හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක් පත්තෑයෙක්වත් කැවද ?
නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි රජවරුන්ට .
හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ
හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.
මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේද කොහේද තියෙන්නේ ?
එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකා බිසව කියල හොඳ ගැනියෙක්ද ?
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...
දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක් පරිස්සම් කරගත්තද ?
වෙන වැඩ තිබුනේ නැතිවටද ?.
ඇයි හාමුදුරුවනේ උන් සන්තෝෂ කරනවා තියා මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට වෙලාව තිබුනද?
හාමුදුරුවනේ ! .
ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට තවත් වේලා තිබුනද රට පාලනය කරන්න? හේරත්හාමිට ප්‍රශ්න වැලයි.
හාමුදුරුවෝ රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.
කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල ?
හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.
අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?
හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .
එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගෑනු. හාමුදුරුවනේ - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් රජ කළා කියල. ? ඒක සාධාරනද ?
හාමුදුරුවෝ - දැන් අපි බණ....................................
හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?
හාමුදුරුවෝ - මම වතාවක් කිව්වනේ අපි දැන් බණ කතාව අහමු කියලා
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල උත්තර දෙන්න විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නෙමේ. මොකක්ද මේ කරන විකාරය ?
එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්න වෙලාවක් තිබුන කියල මං කොහොමද එකඟ වෙන්නේ.
හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?
අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ? කාලෙන් කාලෙට අඩු වැඩි වුනේ එහෙම නැද්ද ?.
හාමුදුරුවෝ රතු කට්ටටත් එහාට වැඩමෙව්වා...............
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය තියන්නේ නෑ. ඇහුණද ?
එහෙයි හාමුදුරුවනේ. මම යන්නම්. මට ඔය බොරු වලින් වැඩක් නෑ..............
දැන් කාලේත් ඔය වේදිකා වල බණ කියන හාමුදුරුවෝ ඔක්කොම හිතන්නේ එහෙයි කිය කියා ඉන්න ඔනී කියලා. එත් කියන ඔක්කෝටම එහෙයි කියන අය නෑනේ මහත්තයෝ.
සාජන්ට් මහත්තයා යන්න පිටත් වෙන ගමන් මට කියනවා.

notes of imaginary

Friday, June 27, 2014

සදකඩපහන THE HALF MOON STONE


අර්ධ වෘත්තාකාර ශෛලමය නිර්මාණයක් වූ සදකඩපහන පූජනීය ස්ථානයන්ට පිවිසෙන දොරටුවේ පියගැට පාමුල කර ඇති නිර්මාණයකි.  වර්තමානයේ අප යොදන පාපිස්නක් ආකාරයට පිහිටුවා තිබෙන කලාත්මක නිර්මානය කර ඇත. 
පුරාන ප්‍රභූ මාලිගාවන්ට පිවිසෙන ප්‍රධාන දොරටුවේ පාමුලද සදකඩ පහනක් සකස් කර තිබු බව සමහරක් මාලිගා නටබුන් අතර නිරීක්ෂණය කලහැකිය. සදකඩපහනක දෙපසින් මුරගල් දෙකක් සමග ආරක්‍ෂක බැම්මක්ද ඉදිකර ඇත.
සදකඩපහනක වැදගත් කම ඇත්තේ එහි නිර්මානත්මක තේමාව තුලය. අර්ධ වෘත්තය කොටස් පහකට වෘත්තාකාරව බෙදා ඇත.

1. පිටත සිට පලමු කවාකාරයේ පලා පෙති / ගිණිදැල් නෙලා ඇත.
2.
දෙවෙනි කවාකාරයේ ඇත්,ගව,සිංහ,සහ අශ්ව යන සතුන් එකිනෙකා පරයමින් දිවයන ආකාරයක් නිරූපනය කරයි.
3.
තුන්වන කවාකාරයේ ලිය වැලකි.
4.
හතරවන කවාකාරයේ නෙළුම් කැකුලක් හොටින් ගත් හංසයින් පේලියකි.
5.
අවසාන කුඩා අර්ධ වෘත්තාකාර කොටස පද්මයකින් ( නෙළුම් මලකින්) සම්පූර්නවේ.
මෙ අකාරයෙන් වෙන් වන කොටස් පහ නිරූපනය කරන අරුත ආචාර්ය සෙනරත් පරණවිතානයෝ දකින්නේ පහත ආකාරයටය.
1. ගිණිදැල් තෘෂ්නාවෙන් දැල්වෙන බව .
2.
සත්ව රූප ජාති ජරා වයාධි ,මරණ .
3.
ලිය වැල තෘෂ්නාවෙන් වෙලි සිටීම.
4.
හංස කැටයම ඉහත කරුනු වලින් මිදී ශාන්තිය සොයා යාම.
5.
පද්මය පාරිශුද්ධවූ නිර්වාණය.
අනුරාධපුරයේ ථුපාරාමය,මහසෙන්මාලිගය,දළදාමැදුර,බිසෝමාළිගයසහ පොලොන්නරුවේ වටදාගෙය,වටදා ගෙය උතුරු දොරටුවේ ඇති සදකඩපහන අපට ඉතාමත් පැහැදිලිව දක්නට ලැබෙන නිර්මානයෝ වෙති.

පොලොන්නරුවේ සදකඩපහන තුල හින්දු ආභාසය දක්නට ලැබෙන අතර ගොන් රූපය ඉවත් කර ඇත.ගවයා හින්දූන් ගේ පුජණිය සත්වයෙකු  වු නිසා මෙසේ සිදුවන්නට ඇත.

මේ ලිපිය මා 2010 අප්රේල් 13 වෙනිදා  කඩුල්ලට ලියුවකි. දැන් කලක සිට මට කඩුල්ලට යා නොහැක.කිසියම් පරිඝණක අවහිරයක් විසින් මා කඩුල්ලෙන් ඈත් කර ඇත.ඔබටත් එසේ විය හැකි නම් මෙවැනි ලිපි කියවිය නොහැකි බැවින් මීදුමේ නැවත පලකිරීමෙන් යම් සේවයක් විය හැකියයි සිතුවෙමි.
notes of imaginary

Friday, June 06, 2014

ප්‍රවාහණය.







notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon