Sunday, January 26, 2014

නිදිමරන්නාට - රාත්‍රීය දිගය 2.





නිදිමරන්නාට -  රාත්‍රීය දිගය
ගමන් ගොස් වෙහෙසුනට - යොදුන දිගය
සද්ධර්මය නොදන්නාවු  - මෝඩයිනට සසර දිගය

දීඝා ජාගරතො රත්තී - දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලනං සංසාරෙ - සද්ධම්ම අවිජානත

ධමම පදය - බාල වග්ගය.


මේ විකාර පිරි අව - මංගල්‍ය  පිළිබද සටහන් දැන් අවසන් කලයුතුය.

 අව - මංගල්‍ය ලෙස මෙ විකාරය හැදින්වුයේ  මංගල්‍යයක් ලෙස මළ ගෙයක කටයුතු පවත්වන නිසාවෙනි. අගහරුවාදා   , සිකුරාදා අවසන් කටයුතු සිදුකිරීම බෞද්ධයන් අකමැතිය. සතියේ ඕනෑ දවසක උපදින්නට වරම් ඇති අපිට අවසන් කටයුතු සදහා මේ දවස් දෙක සුබ නැත.  මෙලෙස සිතන්නේ හිණ්දු අභාසයෙන් විය යුතුය. 

සමහර උදවියට සිරුර දින දෙක තුනක් නිවසේ තබා ගත යුතුය. නැත්නම් එය මදි කමකි . මළ ගෙවල් වල සංග්‍රහ කටයුතුද  බෞද්ධ අභාසයක් නොවේ. එයත් වෙනත් ආභාසයක්ය.

අව - මංගල්‍ය උත්සව සදහා දැන් ඇඳුම් මෝස්තර ද තිබේ. බෞද්ධයන් ට නම් ඇදුම් සුදු පාට ය.  ඒ අනුව, සුදු සාරි, සාය - හැට්ට, කමිස කලිසම් ඇඳ, ඒවාට ගැලපෙන සුදු සපත්තු - සෙරෙප්පු, හෑන්ඩ් බෑග් හා මාල - වළලු - කරාබු ආදිය ද පැලද යායුතුය. අනෙක් ආගමිකයෝ තම ආගම් අනුගමනය කරන ඇදුම් සකස් කර ගනු ලැබේ.

එමෙන්ම තවත් අළුත් මෝස්තරයක් වී ඇත්තේ බැනර්ය . ඒ නිසා මරණ ගෙදරට සහභාගි වනවා සේ ම බැනර් ගැසීමත් සිදු විය යුතු ය.  "බැනර් එක ගෙනාවාද?" කියා  නිවසියන් වුණත් අසන්නට ඉඩ තිබෙන නිසා ඒය නම් අමතක නො කළ යුතුය.   දැන් දැන් සමහර පුද්ගලයේ තම සංවේගය පලකරන බැනර් දෙක තුනක් නිවසේ තබා ගෙන තිබෙනවා වියමන් කරු දැක ඇත.  ඔවුන් මළ ගෙදර ගියත් නොගියත්  බැනර් එක ප්‍රදර්ශණයට යවීම නම් අනිවාර්යෙන්ම සිදු කරන්නේය.  බැනර් එකක් ගසා ගන්නට ඉඩක් නැති තරමට මළනිවසේ පරිසරය බැනර් වලින් විචිත්‍රවත්ව ඇත්නම්  , එයින් ප්‍රකාශිත වන්නේ මැරුණු පුද්ගලයා හා ඔහුගේ දරුවන් සතුව සැලකිය යුතු මහජන සම්බන්ධකම් ප්‍රමාණයක් ඇති බවය.  

ඒවායේ තිබෙන පාඨ ද කියවීම රසවත් ය. අවසන තඩි අකුරෙන් සංවේගය ප්‍රකාශණය කරන පුද්ගලයින් ගේ නම් සදහන්ය.


අවසන් කටයුතු  සිදුකරන අවස්ථාවේ  ස්තුති කතාව සමග හෝ ඊට පෙර .  මියගිය අය ජීවත්ව සිටියදී කරන ලද සමාජ සහ ආගමික සේවාවන්  සහ  උපන්දිනය  අධ්‍යාපනය ලැබු ආයාතන  රැකියාව , නිවේදනයක් ලෙස කියවන්නේ හමුදා භටයෙකු ගේ අවසන් කටයුතු වලදී කරන කියවන නිවේදනක් පරිද්දෙනි. මෙය අළුතින් එක්වු අංගයකි.  ඉන් පසු ආගමික කටයුතු පවත්වා පැවිදි අනුශාසනා ගිහි කතා අවසන් වන විට  මළහිරු බැස යන හැන්දෑයාම   ය එළඹි ඇත.

මේ හැම අනුශාසනා සහ ගිහි කතා ඉතාමත් කෙටියෙන්  පවත්වන බව පවසමින් ආරම්භ කරන අතර ඒවා පැය භාගයක් වත් දිගට ඇදී යන්නේය. 

සභාව ස්තුති කතාවට  යොමු වී එම  කතාවේ  අනිවාර්යෙන්ම  ආ ගිය දේශපාලන තක්කඩියන්ට  තැනක් හිමිය. සමහර විට සියළු කටයුතු වලට සහය දී මළ නිවසේ රැදී සිටි අසල්වාසීන් මේ කතාවෙන් නොදෑනිම හැලී ගොස් ඇත.

අපට මෙන්ම මේ කතා අසා සිටින විට මලවුනටද සිනහා පහල නොවන්නේ නම් පුදුම විය යුතුය.





notes of imaginary

Saturday, January 25, 2014

මළ ගෙදරක සිතිවිලි 1





නාගරික සමාජය තුල වර්තමාණයේ අවමංගල අධ්‍යක්‍ෂවරු බිහිවී තිබේ. ඹවුන් ඉදිරිපත් කරන මිළගනන් හදුන්වන්නේ පැකේජයන් වශයෙනි. මේ පැකේජයන් මළසිරුර සැකසීම යොදන බහාලනය, අමුත්තනට  ලබා දෙන සංග්‍රහ සුසානාගාරයේ සිදුවිය යුතු  කටයුතු ආදී සියළු මළගෙදරක සිදුවිය යුතු සේවවාන් සදහා විවිධ මට්ටමේ මිළ නියමවේ. තෝරාගන්නා පැකේජය අනුව මළගෙදර කටයුතු සියල්ල ඔවුන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුවේ . මළවුන්ගේ සමීප ඥාතීන්ට සිදුකිරිමට ඇත්තේ  පැමිනෙන්නන් පිළිගැණිම පමණි. මිහිදන්වන්නට හෝ අළුවි යන්නට යන ගමනේ සිරුරට කලින් ටයි කෝට් ඇදි අධ්‍යක්‍ෂවරයා ශොකාකූල මුණින් පිරිසට මග පෙන්වමින් යන බැවින් අවසන් ගමනට උදාරත්‍වයක්ද නොමිලේ ලැබේ.

තවමත් ගමට මේ සියළු අංග පැමිණ නැතත් මල්ශාලාකරුගේ භුමිකාව අවසන්ව නිවසේ ශාලයේ ප්‍රදර්ශණ භාණ්ඩයක්ව තැන්පත්වන සිරුර  නැරඹිමට ( මට එසේ සිතේ) පැමිනෙන්නන්ට අහාර පානාදියෙන් සංග්‍රහ කිරිමේ ක්‍රමවේදයක් නිවසේ සිටින අව- මංගල්‍ය අධ්‍යක්‍ෂවරුන් ලහි ලහියේ සකස් කල යුතුවේ. පලතුරු බීම, තේ කෝෆි, බිස්කට් , දිවා රාත්‍රී අහාර-පාන ඇතුළු දෑ දින තුනහතරක් තිස්සේ සැපයීමේ ක්‍රමවේදයන් ගමින් ගමට වෙනස්වේ. බොහෝ ගම්වල මේ කටයුතු සදහා ස්වේච්චාවෙන් කටයුතු කරන පුද්ගලයෝ සිටිති. සමහර ගම්වල අවමංගල්‍ය සමිති සාමාජිකයන්  මේ කටයුත්තට දායක වෙති. ඹවුන් මූලික ආයෝජනය කර ස්වේඡාවෙන් දායක වන පිරිස අතර වියදම සමසේ බෙදාගෙන මළගෙදර නිවසියන් එම බරපැනෙන් නිදහස් කර හරී.
ඒත් ඉහත කී සමාජ සම්බන්‍ධතා නැති ස්ථානවල තමන්ම ආහාර පිලිවෙල කර සංග්‍රහ කටයුතු කරයි, නැත්තම් සමීප ඥාතීන් එක් එක් ආහාරවේල සපයාදී දායක වෙති. සාමාන්‍ය සංග්‍රහ කටයුතු නිවසයෝම සංවිධාණය කර ගනී.. දැන් දැන් කොෆි බ්ලෙන්ඩරය, ජූස් එක්ස්ලේටරය වැනි උපකරණ සමග ආහාර පාන සැපයීමේ  Out door Caterings service  මේ කටයුත්ත සදහා දායකවන අයුරු ගම් වලද දක්නට ලැබේ. අවසන බිල්පත පමණක් ගෙවීමෙන් මේ අසීරු කටයුත්තෙන් සංවේගාප්‍රාප්ත නිවසියන්ට සැහැල්ලුවට පත්විය හැකිවේ.

දැන් ඒ කටයුත්ත සම්පූර්ණය. ප්‍රදර්ශණයේ ඊලග අංගය බැරැරෑම්ය. 

අව - මංගල්‍ය උත්සවය අවසානයේ අසල්වාසීන්ගේ තක්සේරු වාර්තාවක් ඇතිවන බැවින් ඒ සදහා මුහුණ දීමට  නිවසියන්ට සිදුවේ. මෙය මැරෙන්නට කලින්ම තමන් විසින්මත් නිවසියන් විසින්මත් කළ යුතු දෙයකි. තැනක් නොතැනක් බලා මළ ගෙවල ගොස් මුහුණ පෙන්වා ඇත්නම්  මළ ගෙදර පැමිනෙන පිරිස වැඩිය. එ බැවින් එම කටයුත්ත ජීවත්ව සිටියදී පූරණය කල යුතුය. අහවල් දේශපාලනඥයා ජනාධිපති අගමැති සිරුරට මූහුණ දා අචාර කර ගියොත් එය ශ්‍රේෂ්ඨ ගනයට අයත් වී ලැබෙන ලකුණු වැඩිය.  ප්‍රාදේශිය සභාවේ සභාපති  හෝ මන්ත්‍රී කට්ටෙක් ආවොත් ආවොත් එයට ලැබෙන ලකුණු ප්‍රමාණය ඉතාමත් අඩුය . 

අනෙක් අව - මංගල්‍ය උත්සව කටයුතු ගැන හෙටත්  කතා කරමු.


 






notes of imaginary

Friday, January 24, 2014

මා මළ පසු...................



වියමනක් පල  නොවු පසුගිය සති දෙක ගෙවුනේ මරණය පිලිබද අත්දැකීම් සමග එකතුව කාලය ගෙවා දැමීමටය. සීතල දේශගුණය වැඩිහිටි මරණ වැඩියක් අසන්නට ලැබුනේදැයි  මට සිතුනේ  දවසක් හැර එක් දවසකට දෙකක් අසල්වාසී මළගෙවල රැදී සිටිමට සිදුවීම නිසාය. වර්ෂයේ දෙසැම්බර් සහ ජනවාරිත් අප්රේල් මාසයත් වඩාත් මළ ගෙවල් ඇතිවෙන මාස බවට  පෞද්ගලික නිරීක්‍ෂණයක් මට ඇතිවී තිබිණි. මේ සති දෙකේ සහභාගිවු මළ ගෙවල් අතරින් සමීපතම ඥාතිවරයෙකු වියෝවීම වෙනුවෙන් සතියක්ම   කාලය වෙන්කිරීමට මට  සිදුවිය.
මැරෙන එකත් ජීවත්ව සිටින මරණකරුගේ කිට්ටුම ඥාතීන්ට පණයන වැඩක් ලෙස  මා එන යන අය අතර තනිවී සිටින විට මගේ සිතට දැනෙන්නට විය.  මරණයත් දැන් විවෘත වෙළද පලට විත් ඇතිවා සෙයකි. යාන්තම් හුස්ම පොද වා තලයට එක්ව සිරුරේ උනුසුම පහව යන්නත් මත්තෙන් හැඩවෙන්නෙ මල් ශාලාකරුගේ මොබයිල් දුරකතනයි. වහා පැමිනෙන මල්ශාලා කරු මළසිරුර සැරසිලි කටයුතු කිරීම කරා ඔහුගේ රූපලාවන්‍යාගාරයට ගෙන යයි.
එතැන් සිට ප්‍රභූත්‍වය  ඉහල නන්වන්නට පෙට්ටියේ මිල ගනන් තරග කරන්නට පටන් ගනී. මල්ශාලාකරු එකම බාල ලීයෙන් ( පන්තියක් මේ ලී වලට  නැත.) තැනු පෙට්ටියට ලන්සු තබයි.  පහලොස් දහයි විසිදාහයි මෙලෙස ගොස් මේක නම් හැට දාහයි................... ආදී වශයෙන් ඉහලට යන්නේ මරණකරුගේ ඥාතීන්ගේ තරා තිරම අදුනාගන්නට මල්ශාලාකරුවන්ගේ ඉව  පුරුදු පුහුණ වී ඇති නිසාය. ‍ඒත් පෙට්ටිය වෙනස් වන්නේ ස්ප්‍රෙ කර ඇති තීන්ත කෝර්ඩ් ගාන අනුව බව මිළදී ගන්නෝ නොදති. මල්ශාලාකරුගේ මල්වඩමත් උපකරණ කට්ටලයත් සමග නිවසේ විසිත්ත කාමරයේ ගරු සරුවට  තැන්පත්වන සිරුර දැන්  ප්‍රදර්ශණයට සුදානම්ය.
මට අදිකාරම් මහතා ලියු පොතක සටහනක්   අපැහැදිලි ලෙස සිහිපත්වේ.  එතුමාගේ අදහස නම්  අපි ට ඇති බලාපොරොත්තු කොටස් දෙකකි. එකක් මානසික සුවයවේ. අනෙක ගත පිනවන සැප පහසුකම් වලින් පිරුණ ජීවිතයක් ගත කිරීමයි. මිනිසුන් තුල මේ කාරනා දෙක සාර්ථක කරගැණිම සදහා තෘප්තිමත් සීමාවක් මේ ඇතියයි හැගීමක් නැති බැවින් සැමදා අතෘප්තිකරව ජීවත්වේ. මියගියවුන්ට හැගීමක් දැණිමක් ඇති නොවු වත් ජීවත්ව සිටින්නන්ට තමන්ගේ තත්වය විදහා පාන්නට මරණය මගුලක් වන්නේ මේ නිසායයි මම සිතිවිලි ගලපා ගත්තෙමි.
අපි මරණයට සූදානම්ව සිටී නම් අපේ මරණය විසිතුරු අව - මංගල්‍ය උත්සවයකට බදුන් නොවී නිවසේ විසිත්ත කාමරයේ  ප්‍රදර්ශණ භාණ්ඩයක්  නොවී නෑ හිතවතුන්ගේ සතුටු සාමීචී මැද අළුවි යන්නට හෝ  මිහිදන් නොවන්නට කටයුතු සම්පාදන කර ගත හැකිවේයයි මට සිතුනි.  සරල පෙට්ටියක අවම කාලයකින් අවම වියදමකින් මගේ ඥාතියාගේ  අවසන් කටයුතු අවසන් කරගන්නට සැලසුම් කිරීම මට නොහැකිවුවත් මා මලපසු මේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට ජීවත්ව සිටින මගේ අනුප්‍රාප්තික භාරකරුවන්ට  විධාණයක් දී තිබිය හැකිවේ. මම එසේ කරමි යයි තරයේ සිතා ගත්තේ මේ විකාරය කඩා බිද දැමීමට  මට හෝ  ආදර්ශයක්  විය හැකි බැවිනි.
මීලග වියමනෙන් මළ ගෙදරක සිරිත් විරිත් විකෘතිවී ඇති   අයුරු ගැන මට හිතෙන දේ පලකරමි.


notes of imaginary

Monday, January 13, 2014

පත්තරේත් බ්ලොග් !.




දිණමින සිකුරාදාට බ්ලොග් උපුටා පලකරනව කියලා බ්ලොග් බ්ලොග් අස්සේ පුංචි සද්දයක් . පත්තරේ විකුණා ගන්න බැරිව ඉන්න ලේක්හවුසියේ නඩේ බ්ලොග්වල පල වෙන නිදහස් අදහස්  වියමන් අරගෙන ප්‍රමෝෂන් එකකට සෙට් වෙන් හදනවා වෙන්න ඇති.
මොන පිස්සුද ? මේක දිගට යන වැඩක් වෙන්නේ නෑ  පත්තරේ පලකරන්න බ්ලොග් තෝරා ගන්න බැරිව වැඩේ අතරමග නතරවේවි.
දේශපාලන කළමනාකාරිත්‍වයට යටවෙලා ඉන්න දිනමිණ වගේ පත්තර බ්ලොග්වල පල වෙන නිදහස් අදහස් පලකරයිද ?.  දිනමිණ විතරක් නෙමෙයි හැම පත්තරේම නිදාගන්නේ ඔවුන්ගේ ස්වාමියන්ගේ මේසේ යට. හැම පත්තරයකටම අයිතිකාරයෙක් ඉන්නවා . නිදහස් අදහස්වලට වඩා අයිතිකාරයන්ගේ ඕනා එපාකම් තමයි පත්තරේ මනස තුල තියෙන්නේ .
දිනමිණේ  පලකරගන්න වියමන් කරනවා නම්  මේ කාලේ චින්තනයට කඩේ යන්න වෙයි. වෙනත් කාලයක් ආවොත් ඒ කාලේ බිහිවන  බින්නයකට කඩේ යන්න සිද්ධ වෙයි.
පත්තරයක පලකරගන්න බැරි නිදහස් අදහස් අත්දැකීම්, විවිධාකාර වැදගත් අදහස් වගේම නොවැදගත් අදහස් ලේඛණ කිසිදු කැපිල්ලකින්  කෙටිල්ලකින් තොරව  උපන් හැටියේ බ්ලොග් අවකාශයේ පැතිරෙනවා.
සමහරු නම් එන්ජීඕ වලට කඩේ යනවළු. කොයි කයි කතන්දර වියමන් වුනත් කැමති කැමති අයුරින් මේවා තෝරාගෙන කියවන කණ්ඩායම් , කල්ලි ඇතිවෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
මමත් මගේ විවේකය ගෙවන්න 2009 තරම් කාලයේ ඉදන් වියමන් දෙකක් කරනවා. එකක් කඩුල්ල අනෙක මීදුම. මෑතක ඉදන් විවේකය සීමාවෙලා නිසා බ්ලොග් දෙකේම පල කරන්නනේ එකම ලිපිය. කියවන්නෝ වෙන වෙනම word press හරහා තවත් සමහරු bloggers ඇවිත් මාව කියවනවා. මගේ කල්පනා මේ වෙන කොට  අන්කල් ටයිප් එකේ ඉදන්  සීයා ටයිප් එකට මාරුවෙලා. අවුරුදු පහකට ඉස්සර තිබුන වේගය අද උපේක්‍ෂා සහිත මන්දගාමීත්වයකට පත්වෙලා.
මම කරන ලද වියමන් ආපහු හැරිලා කියවන කොට මටම හිතෙනවා වෙනස. දේශපාලනේ ගැන සමාජයෙන් ගලා එන ක්‍රියාකාරකම් ගැන මට දැනෙන විවේචනය  අවුරුදු පහකට ඉස්සර දැනුන ආවේගයෙන් නෙමෙයි දැන් දැනෙන්නේ.  
මම කාගේවත් උවමනාවට වියමන් නොකරන නිසා  ආවේගයන් අවුරුදු පහකට කලින් හිටපු තැන පවත්වා ගෙන යන්න උත්සහායක් ගන්න ඕන කමක් නැහැ.
මේ හින්දා ඉතින් මම කියවපු ඇත්තෝ මාව අතහැර යනවා.
මම වගේම ජීවිතයේ  හයි - ස්පීඩ් එකෙන්  කොට කොටා යන ගමනට මාරුවෙන උදවිය මාත් එක්ක රැදෙනවා. ඒ අය සීමිතයි පරිගණකයත් එක්ක ඔට්ටු අල්ලන සීයලා බොහෝම අඩුයිනේ.
මට කියලා පාඨකයෝ මහ රොත්තක් නෑ දවසකට හැට හැත්තෑවක් විතර මාව කියවනවා. ඔය පත්තර මාව උපුටා දක්වනවාට වඩා ඔය කියවන උදවිය මට මදෑ  කියලයි මම හිතන්නේ.
කොහොම උනත් ප්‍රවීනයයි කියා ගන්නා පත්‍තර පොරවල්වලටත් තමන්ගේ පැවත්මට  බ්ලොග් ඕන උනා කියලා හිතෙන කොට වියමන් කරන්නනෙක් හැටියට මට සතුටුත් හිතෙනවා. මේ ලිපියට අදාල නැතිවුනත් රජරට ලේඛිකාවක වන ශාන්තිනී දිසානායක ඊයේ ඉරිදා දිවයින හා කල සාකච්ඡාවක් පලවෙනවා. ඒක මෙතනින් කියවන්න. කොළඹත් අපිත් අතර වෙනස හොදින් ඈ පැහැදිලි කරනවා. බ්ලොග් ලියන්නන් මේ අන්තර දෙකේ සිටින්නන්. ඔවුන්ගේ අදහස් පත්තර කාරයින්ට වඩා නිදහස්.
ඈ මෙහෙම කියනවා. ...............................මම ගොවි ජනපදයක ජීවත් වෙන ගැහැනියක්‌, මවක්‌, බිරිඳක්‌ ලෙස මා වෙත පැවැරී තිබෙන අති විශාල කාර්යභාරය තුළ අත්පිටපත ප්‍රකාශකයන් වෙත තැපැල් කර යෑවීමෙන් පසු සාහිත්‍යය සම්බන්ධයෙන් මගේ භූමිකාව තාවකාලිකව නිමා වෙනවා. සෝදුපත් බැලීමත්, මුද්‍රිත පොත් දහය තැපෑලෙන් ලද විට දරුවෙකු ප්‍රසූතියට පසු බිළි¹ නරඹන මවක්‌ මෙන් නරඹා සතුටු වීමත් පමණයි, මට කළ හැක්‌කේ. මා ලද කිසිදු සම්මානයක්‌ මා අපේක්‌ෂා කළ ඒවා නොවේ. අනෙක්‌ අතට කෘතිය නිමකිරීමෙන් පසු එය ජනගත වෙනවා. කර්තෘ සම්මාන කලකෝල හල ආදියට මැදිහත් විය යුතු නෑ. මම සැමවිටම වගබලා ගන්නෙ මගේ නිර්මාණයට උපරිම සාධාරණත්වය ඉටුකිරීමටයි. එහිදී මා අන් කිසිදු කරුණක්‌ හෝ කිසිදු පුද්ගලයෙක්‌ පිළිබඳව සැලකිලිමත් වන්නේම නෑ. එසේ කළහොත් එය මගේ කෘතියට මා කරන බලවත් අසාධාරණයක්‌. ඉතින් බ්ලොග් ලියන අපිත් ඈත් අතර වෙනසක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද ?


notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon