Friday, January 24, 2014

මා මළ පසු...................



වියමනක් පල  නොවු පසුගිය සති දෙක ගෙවුනේ මරණය පිලිබද අත්දැකීම් සමග එකතුව කාලය ගෙවා දැමීමටය. සීතල දේශගුණය වැඩිහිටි මරණ වැඩියක් අසන්නට ලැබුනේදැයි  මට සිතුනේ  දවසක් හැර එක් දවසකට දෙකක් අසල්වාසී මළගෙවල රැදී සිටිමට සිදුවීම නිසාය. වර්ෂයේ දෙසැම්බර් සහ ජනවාරිත් අප්රේල් මාසයත් වඩාත් මළ ගෙවල් ඇතිවෙන මාස බවට  පෞද්ගලික නිරීක්‍ෂණයක් මට ඇතිවී තිබිණි. මේ සති දෙකේ සහභාගිවු මළ ගෙවල් අතරින් සමීපතම ඥාතිවරයෙකු වියෝවීම වෙනුවෙන් සතියක්ම   කාලය වෙන්කිරීමට මට  සිදුවිය.
මැරෙන එකත් ජීවත්ව සිටින මරණකරුගේ කිට්ටුම ඥාතීන්ට පණයන වැඩක් ලෙස  මා එන යන අය අතර තනිවී සිටින විට මගේ සිතට දැනෙන්නට විය.  මරණයත් දැන් විවෘත වෙළද පලට විත් ඇතිවා සෙයකි. යාන්තම් හුස්ම පොද වා තලයට එක්ව සිරුරේ උනුසුම පහව යන්නත් මත්තෙන් හැඩවෙන්නෙ මල් ශාලාකරුගේ මොබයිල් දුරකතනයි. වහා පැමිනෙන මල්ශාලා කරු මළසිරුර සැරසිලි කටයුතු කිරීම කරා ඔහුගේ රූපලාවන්‍යාගාරයට ගෙන යයි.
එතැන් සිට ප්‍රභූත්‍වය  ඉහල නන්වන්නට පෙට්ටියේ මිල ගනන් තරග කරන්නට පටන් ගනී. මල්ශාලාකරු එකම බාල ලීයෙන් ( පන්තියක් මේ ලී වලට  නැත.) තැනු පෙට්ටියට ලන්සු තබයි.  පහලොස් දහයි විසිදාහයි මෙලෙස ගොස් මේක නම් හැට දාහයි................... ආදී වශයෙන් ඉහලට යන්නේ මරණකරුගේ ඥාතීන්ගේ තරා තිරම අදුනාගන්නට මල්ශාලාකරුවන්ගේ ඉව  පුරුදු පුහුණ වී ඇති නිසාය. ‍ඒත් පෙට්ටිය වෙනස් වන්නේ ස්ප්‍රෙ කර ඇති තීන්ත කෝර්ඩ් ගාන අනුව බව මිළදී ගන්නෝ නොදති. මල්ශාලාකරුගේ මල්වඩමත් උපකරණ කට්ටලයත් සමග නිවසේ විසිත්ත කාමරයේ ගරු සරුවට  තැන්පත්වන සිරුර දැන්  ප්‍රදර්ශණයට සුදානම්ය.
මට අදිකාරම් මහතා ලියු පොතක සටහනක්   අපැහැදිලි ලෙස සිහිපත්වේ.  එතුමාගේ අදහස නම්  අපි ට ඇති බලාපොරොත්තු කොටස් දෙකකි. එකක් මානසික සුවයවේ. අනෙක ගත පිනවන සැප පහසුකම් වලින් පිරුණ ජීවිතයක් ගත කිරීමයි. මිනිසුන් තුල මේ කාරනා දෙක සාර්ථක කරගැණිම සදහා තෘප්තිමත් සීමාවක් මේ ඇතියයි හැගීමක් නැති බැවින් සැමදා අතෘප්තිකරව ජීවත්වේ. මියගියවුන්ට හැගීමක් දැණිමක් ඇති නොවු වත් ජීවත්ව සිටින්නන්ට තමන්ගේ තත්වය විදහා පාන්නට මරණය මගුලක් වන්නේ මේ නිසායයි මම සිතිවිලි ගලපා ගත්තෙමි.
අපි මරණයට සූදානම්ව සිටී නම් අපේ මරණය විසිතුරු අව - මංගල්‍ය උත්සවයකට බදුන් නොවී නිවසේ විසිත්ත කාමරයේ  ප්‍රදර්ශණ භාණ්ඩයක්  නොවී නෑ හිතවතුන්ගේ සතුටු සාමීචී මැද අළුවි යන්නට හෝ  මිහිදන් නොවන්නට කටයුතු සම්පාදන කර ගත හැකිවේයයි මට සිතුනි.  සරල පෙට්ටියක අවම කාලයකින් අවම වියදමකින් මගේ ඥාතියාගේ  අවසන් කටයුතු අවසන් කරගන්නට සැලසුම් කිරීම මට නොහැකිවුවත් මා මලපසු මේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට ජීවත්ව සිටින මගේ අනුප්‍රාප්තික භාරකරුවන්ට  විධාණයක් දී තිබිය හැකිවේ. මම එසේ කරමි යයි තරයේ සිතා ගත්තේ මේ විකාරය කඩා බිද දැමීමට  මට හෝ  ආදර්ශයක්  විය හැකි බැවිනි.
මීලග වියමනෙන් මළ ගෙදරක සිරිත් විරිත් විකෘතිවී ඇති   අයුරු ගැන මට හිතෙන දේ පලකරමි.


notes of imaginary

Monday, January 13, 2014

පත්තරේත් බ්ලොග් !.




දිණමින සිකුරාදාට බ්ලොග් උපුටා පලකරනව කියලා බ්ලොග් බ්ලොග් අස්සේ පුංචි සද්දයක් . පත්තරේ විකුණා ගන්න බැරිව ඉන්න ලේක්හවුසියේ නඩේ බ්ලොග්වල පල වෙන නිදහස් අදහස්  වියමන් අරගෙන ප්‍රමෝෂන් එකකට සෙට් වෙන් හදනවා වෙන්න ඇති.
මොන පිස්සුද ? මේක දිගට යන වැඩක් වෙන්නේ නෑ  පත්තරේ පලකරන්න බ්ලොග් තෝරා ගන්න බැරිව වැඩේ අතරමග නතරවේවි.
දේශපාලන කළමනාකාරිත්‍වයට යටවෙලා ඉන්න දිනමිණ වගේ පත්තර බ්ලොග්වල පල වෙන නිදහස් අදහස් පලකරයිද ?.  දිනමිණ විතරක් නෙමෙයි හැම පත්තරේම නිදාගන්නේ ඔවුන්ගේ ස්වාමියන්ගේ මේසේ යට. හැම පත්තරයකටම අයිතිකාරයෙක් ඉන්නවා . නිදහස් අදහස්වලට වඩා අයිතිකාරයන්ගේ ඕනා එපාකම් තමයි පත්තරේ මනස තුල තියෙන්නේ .
දිනමිණේ  පලකරගන්න වියමන් කරනවා නම්  මේ කාලේ චින්තනයට කඩේ යන්න වෙයි. වෙනත් කාලයක් ආවොත් ඒ කාලේ බිහිවන  බින්නයකට කඩේ යන්න සිද්ධ වෙයි.
පත්තරයක පලකරගන්න බැරි නිදහස් අදහස් අත්දැකීම්, විවිධාකාර වැදගත් අදහස් වගේම නොවැදගත් අදහස් ලේඛණ කිසිදු කැපිල්ලකින්  කෙටිල්ලකින් තොරව  උපන් හැටියේ බ්ලොග් අවකාශයේ පැතිරෙනවා.
සමහරු නම් එන්ජීඕ වලට කඩේ යනවළු. කොයි කයි කතන්දර වියමන් වුනත් කැමති කැමති අයුරින් මේවා තෝරාගෙන කියවන කණ්ඩායම් , කල්ලි ඇතිවෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
මමත් මගේ විවේකය ගෙවන්න 2009 තරම් කාලයේ ඉදන් වියමන් දෙකක් කරනවා. එකක් කඩුල්ල අනෙක මීදුම. මෑතක ඉදන් විවේකය සීමාවෙලා නිසා බ්ලොග් දෙකේම පල කරන්නනේ එකම ලිපිය. කියවන්නෝ වෙන වෙනම word press හරහා තවත් සමහරු bloggers ඇවිත් මාව කියවනවා. මගේ කල්පනා මේ වෙන කොට  අන්කල් ටයිප් එකේ ඉදන්  සීයා ටයිප් එකට මාරුවෙලා. අවුරුදු පහකට ඉස්සර තිබුන වේගය අද උපේක්‍ෂා සහිත මන්දගාමීත්වයකට පත්වෙලා.
මම කරන ලද වියමන් ආපහු හැරිලා කියවන කොට මටම හිතෙනවා වෙනස. දේශපාලනේ ගැන සමාජයෙන් ගලා එන ක්‍රියාකාරකම් ගැන මට දැනෙන විවේචනය  අවුරුදු පහකට ඉස්සර දැනුන ආවේගයෙන් නෙමෙයි දැන් දැනෙන්නේ.  
මම කාගේවත් උවමනාවට වියමන් නොකරන නිසා  ආවේගයන් අවුරුදු පහකට කලින් හිටපු තැන පවත්වා ගෙන යන්න උත්සහායක් ගන්න ඕන කමක් නැහැ.
මේ හින්දා ඉතින් මම කියවපු ඇත්තෝ මාව අතහැර යනවා.
මම වගේම ජීවිතයේ  හයි - ස්පීඩ් එකෙන්  කොට කොටා යන ගමනට මාරුවෙන උදවිය මාත් එක්ක රැදෙනවා. ඒ අය සීමිතයි පරිගණකයත් එක්ක ඔට්ටු අල්ලන සීයලා බොහෝම අඩුයිනේ.
මට කියලා පාඨකයෝ මහ රොත්තක් නෑ දවසකට හැට හැත්තෑවක් විතර මාව කියවනවා. ඔය පත්තර මාව උපුටා දක්වනවාට වඩා ඔය කියවන උදවිය මට මදෑ  කියලයි මම හිතන්නේ.
කොහොම උනත් ප්‍රවීනයයි කියා ගන්නා පත්‍තර පොරවල්වලටත් තමන්ගේ පැවත්මට  බ්ලොග් ඕන උනා කියලා හිතෙන කොට වියමන් කරන්නනෙක් හැටියට මට සතුටුත් හිතෙනවා. මේ ලිපියට අදාල නැතිවුනත් රජරට ලේඛිකාවක වන ශාන්තිනී දිසානායක ඊයේ ඉරිදා දිවයින හා කල සාකච්ඡාවක් පලවෙනවා. ඒක මෙතනින් කියවන්න. කොළඹත් අපිත් අතර වෙනස හොදින් ඈ පැහැදිලි කරනවා. බ්ලොග් ලියන්නන් මේ අන්තර දෙකේ සිටින්නන්. ඔවුන්ගේ අදහස් පත්තර කාරයින්ට වඩා නිදහස්.
ඈ මෙහෙම කියනවා. ...............................මම ගොවි ජනපදයක ජීවත් වෙන ගැහැනියක්‌, මවක්‌, බිරිඳක්‌ ලෙස මා වෙත පැවැරී තිබෙන අති විශාල කාර්යභාරය තුළ අත්පිටපත ප්‍රකාශකයන් වෙත තැපැල් කර යෑවීමෙන් පසු සාහිත්‍යය සම්බන්ධයෙන් මගේ භූමිකාව තාවකාලිකව නිමා වෙනවා. සෝදුපත් බැලීමත්, මුද්‍රිත පොත් දහය තැපෑලෙන් ලද විට දරුවෙකු ප්‍රසූතියට පසු බිළි¹ නරඹන මවක්‌ මෙන් නරඹා සතුටු වීමත් පමණයි, මට කළ හැක්‌කේ. මා ලද කිසිදු සම්මානයක්‌ මා අපේක්‌ෂා කළ ඒවා නොවේ. අනෙක්‌ අතට කෘතිය නිමකිරීමෙන් පසු එය ජනගත වෙනවා. කර්තෘ සම්මාන කලකෝල හල ආදියට මැදිහත් විය යුතු නෑ. මම සැමවිටම වගබලා ගන්නෙ මගේ නිර්මාණයට උපරිම සාධාරණත්වය ඉටුකිරීමටයි. එහිදී මා අන් කිසිදු කරුණක්‌ හෝ කිසිදු පුද්ගලයෙක්‌ පිළිබඳව සැලකිලිමත් වන්නේම නෑ. එසේ කළහොත් එය මගේ කෘතියට මා කරන බලවත් අසාධාරණයක්‌. ඉතින් බ්ලොග් ලියන අපිත් ඈත් අතර වෙනසක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද ?


notes of imaginary

Tuesday, January 07, 2014

රටකට යන එන මං තිබිය හැකිද ?




ජනතා විමුක්ති පෙරමුන  - දේශපාලන මණ්ඩලය  පහේ ශිෂ්‍යත්‍ව විභාගය පිලිබදව දරන අදහස පිලිබදව නිකුත් කර ඇති නිවේදනයක මෙසේ සදහන් විය.
…………………………………………………………..අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පසුගිය 19වැනි දින මාධ්‍ය හමුවක් පවත්වා 2016 වසරේ සිට 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බව ප‍්‍රකාශයට පත්කිරීමත් සමග රට තුළ විශේෂයෙන් කුඩා දරුවන් සිටින දෙමව්පියන් තුළ බරපතළ ගැටලූකාරී තත්වයක් උද්ගත වී තිබේ.
අමාත්‍යවරයා විසින් මෙම ප‍්‍රකාශය සිදුකිරීමට පදනම් කරගනු ලැබ ඇත්තේ, පසුගිය කාලයේ පවත්වන ලද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් සහ අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගෙන් එල්ල වූ විවේචනයන්ය. කෙසේ වුවද මෙම කණ්ඩායම්වලින් විවේචන එල්ල වූයේ විභාගය අතිශය තරඟකාරී වීම, විභාගය පවත්වන ආකාරය සහ ප‍්‍රශ්න පත‍්‍රවල ආරක්ෂාව සහතික කිරීමට ආණ්ඩුව අසමත්වීම යන කරුණු පිළිබඳවය. නැතහොත් පහසුකම් සහිත පාසලකට සිසු සිසුවියන්ට ඇතුළත් වීමට අවස්ථාව ලබා නොදිය යුතුය යන්න හෝ විභාගය සමත් අඩු ආදායම්ලාභී සිසුන්ට ශිෂ්‍යාධාර පහසුකම් ලබා නොදිය යුතුය යන්න පිළිබඳව නොවේ.
ආණ්ඩුව කළ යුතු වන්නේ, දිළිඳු හා අඩු පහසුකම් සහිතව අධ්‍යාපනය ලබන දක්‍ෂ සිසුන්ට වැඩි පහසුකම් සහිත පාසැල්වලට ඇතුල්වීමට ඇති අවස්ථාව අහිමි කිරීම නොව දැන් පවතින ශිෂ්‍යත්ව ක‍්‍රමයේ වැරදි රටාවන් නිවැරදි කිරීමය. ඒ සඳහා දෙමව්පියන් ඇතුළු විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ගෙන ඒ අනුව කටයුතු කිරීමය.
පාසල්වල පහසුකම් අතර විෂමතා එලෙසම තිබියෙදී ජනප‍්‍රිය පාසල් යනුවෙන් පාසල් කොටසක් තවදුරටත් නොමැති බවට ආණ්ඩුව විසින් ප‍්‍රකාශ කිරීම වැල්ලේ හිස සඟවාගැනීමට වැඩි දෙයක් නොවන අතරම ජනප‍්‍රිය පහසුකම් සහිත පාසල් අතළොස්ස වරප‍්‍රසාද ලත් කොටසකගේ භුක්තියට සවිකර ගැනීමේ තක්කඩි පියවරක්ද වේ.
මේ තත්වය තුළ, මහජනතාවගේ අදහස් ලබාගන්නා වූ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නිර්දේශ කරනු ලබන විද්‍යාත්මක විසඳුමක් ලබාගත යුතු බවට අවධාරණය කරන අපි එය දිළිඳු හා අඩු පහසුකම් මැද ඉගෙන ගන්නා දක්‍ෂ දරුවන්ට පහසුකම් සහිත පාසලක ඉගෙනීමට ඇති අවස්ථාව අහිමි කරන්නක් නොවිය යුතු බවද අවධාරණය කරමු. එසේම සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිතවලට බලපාන මෙම හිතුවක්කාරී තීන්දුව වහා අහෝසි කරන ලෙස අපි ආණ්ඩුවට දැඩිව බලකර සිටිමු.
අමාත්‍යතුමා පවසන්නේ මෙවැනි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවයි
  1. 2014 වසරේ සහ 2015 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණය පැයක කාලයකට සීමාවූ එක් ප්‍රශ්න පත්‍රයක් පමණක් ලබාදිය යුතු බවට ජාතික අධ්‍යාපන කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.
  2. ශිෂ්‍යත්ව සඳහා වූ නව නිර්දේශ එම කොමිසම මගින් ජනාධිපති ‍ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලිය තුළ මෙම නිර්දේශය ද ඇතුළත්ව තිබේ.
  3. මෙම නිර්දේශවලට අනුව නව ශිෂ්‍යත්ව විභාගය පැවැත්විය යුත්තේ 2014 – 2015 වර්ෂවල පමණකි
  4. 2015 න් පසුව මෙම පරීක්ෂණය තවදුරටත් පැවැත්විය යුතුද යන්න පිළිබඳව එම වර්ෂයේදී පවත්වනු ලබන ශිෂ්‍යත්ව පරීක්ෂණය අවසන් වූ පසුව තවත් නිර්දේශයක් ඉදිරිපත් කරන බවටද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ජනාධිපති ‍ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් වෙයි.
  5. * මෙම ශිෂ්‍යත්ව පරීක්ෂණය එක් පැයක කාලයකට සීමා වන එක් ප්‍රශ්න පත්‍රයක් විය යුතුය.
  6. මේ වන විට සෑම වර්ෂයකම අගෝස්තු මාසයේ විශේෂ වශයෙන් පවත්වන ශිෂ්‍යත්ව පරීක්ෂණය වර්ෂයේ අවසන් වාර විභාගය සමග පවත්වන පරීක්ෂණයක් බවට පත්කළ යුතුය.
  7. එය අ.‍පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ස්වරූපයේ පරීක්ෂණයක් නොවී ස්වභාවයෙන් හා අගයෙන් වර්ෂ අවසානයේ පවත්වනු ලබන සාමාන්‍ය පරීක්ෂණයකට වැඩියමක් නොවන බව දරුවන්ට හැඟී යන පරිදි සංවිධානය විය යුතුය.
දැනට පවත්නා ශිෂ්‍යත්ව පරීක්ෂණයේදී භාවිත කරන අන්තර්ගතය වෙනුවට පහත දැක්වෙන අන්තර්ගතයෙන් යුතු පරීක්ෂණ පත්‍රයක් නිර්දේශ කෙරේ.
  1. ශිෂ්‍යයාගේ තදාසන්න පරිසරය ඇසුරු කොට ගත් සරල මාතෘකාවක් හෝ විස්තරයකට අදාළව කෙටි රචනාවක ප්‍රධාන කොටස් විය හැකි වගන්ති කිහිපයක් නිර්මාණය කරන්නට දරුවා යොමුකිරීම.
  2. පරීක්ෂණ පත්‍රයෙහි මුද්‍රිතව ඉදිරිපත් කරන සරල සිද්ධියක් අධ්‍යයනය කරමින් පිළිතුර වශයෙන් නිවැරදි වූත්, සාධාරණ වූත්, තර්කානුකූල වූත් ප්‍රායෝගික ඵලදායිතාවයෙන් යුක්ත වූත් තීරණයක් ගන්නට දරුවා යොමුකිරීම.
  3. මෙම සිද්ධිය අවුරුදු 9-11 වයස් සීමාවේ සිටින දරුවකු ශ්‍රී ලාංකීය සංස්කෘතික වපසරිය තුළ මුහුණ දෙන එම වයසේ දරුවකුට පහසුවෙන් වටහාගත හැකි සිද්ධියක් විය යුතුය. යම් කාර්යයක ක්‍රියා පිළිවෙළ පිළිබඳ අවුරුදු 9-11 වයසේ සිටින දරුවකුගෙන් තර්කානුකූලව අපේක්ෂා කළ හැකි මට්ටමේ තීරණයක් ලබාගත හැකි සිද්ධියක් වීම වඩා වැදගත්ය.
  4. සරල ලිඛිත ජේදයක් පැහැදිලි කරමින් වාචිකව (තමාගේ වචනවලින්) පවසන ආකාරයට ලියා දැක්වීමට දරුවා යොමු කිරීම සහ (ආ) ජේදයක් පමණ වන වාචික ප්‍රකාශයක් ගද්‍ය ‍ලේඛන ෙශෙලියෙන් ඉදිරිපත් කරන්නට දරුවා යොමුකිරීම.
  5. මෙහිදී පැවරෙන ලිඛිත ජේදය ද වාචික ප්‍රකාශනයද විෂයානුබද්ධ නොවන මෙන්ම එදිනෙදා ප්‍රායෝගික ජීවිතය සමග අත්‍යන්තයෙන් බැඳුනු අන්තර්ගතයකින් සමන්විත විය යුතුය.
  6. අදාළ වයස් කාණ්ඩයේ දරුවකුට හුරු පුරුදු වචන මාලාවක් භාවිත කිරීම කෙරෙහිද අවධානය යොමු විය යුතුය.
  7. 1.3.4 තේරීම, කාණ්ඩ කිරීම, ගණිත රටා හා ප්‍රායෝගිග ජීවිතයේදී අදාළ වන මිනුම්ද දෘශ්‍ය රටාවන්ද හඳුනාගැනීම් පිළිබඳ නිපුණතාවන් මැන බැලෙන සරල දක්ෂතා පරීක්ෂණයක් මගින් සම්බන්ධතා වටහා ගන්නට දරුවා යොමුකිරීම.
  8. 2014-2015 වර්ෂවල පරීක්ෂණය පැවැත්වෙන ආකාරය හා අපේක්ෂිත සාධනය ළඟාකර ගැනීම පිළිබඳ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සුපරීක්ෂාකාරීව සිටීමට අපේක්ෂා කරයි.
  9. 1.5 මෙම පරීක්ෂණයේ අරමුණ විය යුත්තේ අනාගත ජීවිතයේදී ඉගෙනීම සඳහා දරුවා තුළ ඇති විභවතාව ඇගයීමයි.
  10. වයස අවුරුදු 9-11 පරාසයේ සිටින දරුවකු තුළ පැවැතිය යුතු මට්ටමින් පහත දැක්වෙන නිපුණතාවන් ප්‍රධාන කොටගත් කාර්ය සාධනයක් ඇගයීමට ලක්කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.
  11. නිවැරදි භාෂා භාවිත හැකියාව, සංදේශනය තුළින් අවබෝධයක් ලැබාගැනීමේ හැකියාව, අවකාශ චින්තනය ´විශ්‍ලේෂණ හා සංස්‍ලේෂණ හැකියාව, රටා හඳුනාගැනීමේ හැකියාව, අනුවර්තන හැකියාව, අනුයෝජන හැකියාව, පරිසර හඳුනා ගැනීම හා පරිසරයට සංවේදී වීම, පරිකල්පන හැකියාව.
මෙම පරීක්ෂණ ක්‍රමවේදය සිංහල හා ද්‍රවිඩ භාෂා මාධ්‍ය දෙකම සඳහා භාවිත කළ හැකිය.

පහ ශිෂ්‍යත්‍ව විභාගය දෙමවුපියන් සහ දරුවන් බලවත් පීඩනයකට පත්තරන විබාගයකි. විභාග ක්‍රමයන් නිසා යාන්ත්‍රික දරුවන් බිහිවන බව නිරූපනය කරන බව සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍යයේ තේමාව වන බැවින් “ විභාගේ අභාගේ “ ගීතය වියමනට පෙර පලකලෙමු.
සෑම දේශපාලන පක්‍ෂයක්ම විරෝධය පලකරනු විනා විකල්ප යෝජනා ඉදිරිපත් කරන  බවක් දක්නට නොලැබේ. විරෝධයත් සමග විකල්ප යෝජනාත් ඇත්නම් විරෝධය අපට හදුනා ගත හැක.
පාසල් දහසක් සංවර්ධණය කරන බව පවසන රජය එම පාසල් දහස සංවර්ධණය කර පහ වසර විභාගයෙන් සමත්වන දරුවන් එම පාසල් වලට යොමු කරන තැනකට විත් විභාගය පිලිබද තීරණයකට එළබිය යුතුය. එසේ නැතිව දෙමව්පියන්ට අනාගතයේ ඇතිවන ජනප්‍රිය පාසල් පෙන්වා වර්තමානයේ කොකා පෙන්වීමට යාම සුබ නැත.
ඉදිකරනවායයි පවසන පාසල් තුල ජනප්‍රිය යයි කියා ගන්නා පාසල්වල පහසුකම් ඇතිවීමට තවත් ශත වර්ෂයක්ම යා හැකිය..
එය පසක්වීදෝ ආණ්ඩුව වෙන දෙයක් වෙද්දාවේ බාල්දියක් පෙරලා ගන්නේ මොනවටද යන ස්ථාවරයෙන් පහ වසර විභාගය හකුලා ගත්තේය. මෙවැනි මඩේ හිටවු ඉන්නක් මෙන් වැනෙන ප්‍රතිපත්ති තුලින් රටකට යන එන මං තිබිය හැකිද ?

notes of imaginary

Monday, January 06, 2014

විභාගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ 
විභාගේ තමයි අපේ අභාගේ//
විභාගෙ විභාගේ ..
[විහිලුවකට හිනාවකට
විනෝදෙකට වෙන වැඩකට]//
නෑ වෙලාව විභාගේ//
එකේ ඉඳන් දොලහ දක්ව
ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගේ//
ඉරක් හඳක් ගහක් කොළක්
මනිස්සයෙක් පේන්නෙ නෑ
ඔහු සැපදුක අහන්නෙ නෑ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ
විභාගේ…
අම්ම තාත්ත අයිය අක්ක
නංඟි මල්ලි විතරක්යැ
නැන්ද මාමා බාප්ප මහප්ප
යහළු යෙහෙළියො අහල පහල අය//
‘කොහොමද ලමයො විභාගේ?’
‘තව සුමානෙකින් ප්‍රතිපල එයි’
කොහොමද විභාගෙ ප්‍රතිපල
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
[බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල]//
විභාග ප්‍රතිපල වසංගතේ
ඒ විතරක්යැ
විද්‍යා‍ විෂයද කලාවද
කලාව කිව්වොත් මලා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න
කව්ද උඹ දිහා බලන්නෙ ?
වි‍ද්‍යා‍ව‍යි‍ ගනන් ගන්නෙ
අඩු ගනනේ වාණිජවත්
‘ඉතින් පුතේ නම්බුවක්නෙ
පේල් උනත් වි‍ද්‍යා‍වෙ‍න්‍ විභාගෙ කොරල’
විභාගෙ විභාගේ ..//
නා‍ට්‍ය‍ය‍ -සෝමලතා සුබසිංහගේ  විකෘති

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon