Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Tuesday, January 06, 2015

FINAL CUT.




ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඉවරයි.
කන් දෙකට ඇස් දෙකට කන් කරච්චලය එවර වුනාම මනසට දැනෙන්නේ අප්‍රමාන විවේකයක්.මීදුම රූපවාහිණී ජාල අත්හැරලා දාලා මාස දෙකක් විතර වුනා. ප්‍රවෘත්ති බලාපු කාලයක් මතක නැහැ. කොයි මාධ්‍ය ජාලත් එක වගෙයි . ජාතික - ජාතක කියලා වෙනසක් නැහැ. සල්ලි වියදම් කර ගෙන විකාර බහුබූත - ටොම් පච , කෙබ්බ  අහන්න වෙලා තිබුනේ අපේ කරුමෙට වගේ.
ඔය චන්දේ ඉල්ලන කොයි කවුරුත් එකයි. යහ පාලනේ ගැන කතා කරන්න පුළුවන් කිසිම කෙනෙක් ඔය අතර නැහැ.
ඉතින් යහ පාලනේ තේමා කරගෙනඡණ්දේ ඉල්ලන  එකෙකුට වත් ඡණ්දේ දෙන්න බැහැ.
ඊට පස්සේ ඉතිරි වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනී කියන පරණ සටන් පාඨය !. ඒක වෙනස් කරන්න ආපු කවුරුවත් ඒක කලේ නෑ.
මේ කියන උන්දෑලත් බලතල අහිමි කරගන්න කැමැත්තක් තියෙන්න විදියක් නැහැ.පෘතග්ජනයෝ නෙව කවුරුත්.
මට මතක් වෙනවා සොවියට් රුසියාවේ ගොර්බචොව් කර ගත්ත වැඩේ. අපි ඒ කාලේ කිව්වේ මනුස්සයා වක්කඩේ යට ඉදලා වක්කඩේ කඩා ගන්නවා කියලා. එයා නැති වුනත් රුසියානු ජනතාව වක්කඩයෙන් නා ගන්නවා   බලා ගෙන අමරිකාව දැන් හිනා වෙනවා.
ව්‍යවස්ථාව වෙනස් කරගෙන අස්ථාවර පාර්ලිමේන්තුවක හකිම්ලටයි , තොන්ඩමන්ලටයි,සම්බන්ධන්ලටයි ඕන විදියට අපිට කේවල් වෙන්න ලැබුනොත් කොච්චර ජොලිද ?
දැන් වෙන කොට කියන්නේ ගොර්බචොව් සීඅයිඒ එකේ රැකියාවක් සෝවියට් සමුහාණ්ඩුවේ කලා කියලා.ශ්‍රී ලංකාවේත් ඔය නෝනලා මහත්තයලා තානාපති කාර්යාල වල රැකියාව කරන උන්දෑලාද කියලා කවුද දන්නේ ?. වැඩේ කෙලවිලා නා ගන්න කොට උනේ මොකක්ද කියලා දැන ගෙන වැඩක් නැහැනේ.
ඔය ව්‍යවස්ථාව වෙනස් කරන්න දින 100 කින් පුළුවන්ද ?.
අපේ ජේ ආර් මහත්තයා වැඩක් කලොත් තිතට කරන මනුස්සයා !. ඕක වෙනස් කරන්න බැරි වැට කඩොළු ව්‍යවස්ථාවෙම තියනවා.
කොයි උන්දැලත් අපිව ගොනාට අන්දන්නේ අන්දරේ කුඹුරේ තියෙන ගල ඉස්සුවා වගෙ! . හීනටි හාලේ බතුයී කුකුල් මසුයි කාලා  කොල පොතත් අරගෙන කුඹුරට ගිහින් උබලා ඔක්කොම එකතු වෙලා ඔය ගල උස්සලා මගේ කර උඩින් තියාපල්ලා කිව්වළු. ඔක්කොමටත් උස්සන්න බැරි ගල අන්දරේ උස්සන්නේ කොහොමද ?.
ඒ හින්දා නොකෙරෙන දීගයක යන්න බැහැ.
තවත් තේමාවක් තියෙනවා.
දූෂිත  රජ පවුල.
මට හොදට මතක තියෙන්නේ සිරිමාවෝ ( මම ගරු කටයුතු ලෙස සලකන කාන්තාවක් ) පාලන කාලේ ඉදන්. එතුමියගේ වටේ හිටියේ මුලින්ම නැදෑයෝ. චන්ද්‍රිකාට  වෙනකම් ඒක පැහැදිලිව පවත්වා ගෙන ගියා. ඒ කාලේ කාටුන් තිබුනා ලොකු  ගහක් ඇදලා මුල් වල ඉදන් අතු පතර  දක්වා විහිදිලා ගිය පවුලේ සාමාජික යන් ගේ නම් සදහන් කරලා.වර්තමාන ජනාධිපතිවරයාත් ඒක වෙනස් කරලා නැහැ. ජේ.ආර් වෙනස් කලෙත් නැහැ. රනිල් වෙනස් කලෙත් නැහැ. පක්‍ෂය තුලවත් වෙනස් කර ගන්න උත්සහායක් තිබුනම් මේ ව කොට සජිත් කියන චරිතෙට ඔයිට වඩා වටිනාකමක් ලැබිලා.
ඔය කියන පොදු අපේක්‍ෂකයා ඕක වෙනස් කරයිද ? . ඇමති කමේ ඉදගෙන සලකලා තියෙන්නේ නෑදෑයින්ට නෙමෙයි ?.
පෘථග්ජන කවුරුත් පවත්වා ගෙන යන ක්‍රමවේදයෙන් මිදෙන්න  , මාදුළුවාවෙත් අතුරලියත් කරන දේශනා වලින් ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතන්නේ නෑ.
ඔන්න ඔය කරුණු කාරනා සලකා බලලා මට ඡණ්දේ දෙන්න කවුරුත් නෑ කියලා මම හිතුවා.ඒත් ගෙදර තියෙන ආණ්ඩුව බලවත්.ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කරන්නනම් ඡණ්දේ පාවිච්චි කරන්නම ඕනී, රටකට නායකයෙක් ඕනී. රට ආයාලේ යන්න ඉඩ දෙන්න බැහැ.කාට හරි ඡණ්දේ දෙන්න ඕනී කියලා බලපෑම් කරන්න පටන් ගත්තා.
කාව බලයට පත් කලත් බලය ලැබුනට පස්සේ දූෂිත වෙනවා කියන එක පොදු මතයක්.ඔය කතාව 1970 ඉදන් (මට මතක කාලේ ) හැමදාම මැතිවරණයකදී සාකච්ඡා වෙනවා.ඒ කියලා අපි නිකම් හිටියේ නැහැ. දූෂිතයි කියාපු කෙනාට නැත්නම් අළුතෙන්  එක්කෙනෙක් දූෂිතයෙක්  කරන්න ඡණ්දේ දුන්නා. මේ පාර මම නිර්දුෂිතයෙක් කියා ගන්නා පුද්ගලයෙක්    - දුෂිතයෙක් කරන පාපෙට හවුල් වෙන්නත් කැමති නැහැ.

ඡණ්ද පොලට ගිහින් ආපහු ගෙදර ආවම මගේ ප්‍රශ්නේ විසද ගන්න පුළුවන් . එහෙම කරන්න තීරණය කරගෙන මේ වියමනට තිත තියනවා.
මම ඡ


notes of imaginary

Sunday, January 04, 2015

ඒකීය භාවයට තර්ජනයක්‌!


විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම
රටේ ඒකීය භාවයට තර්ජනයක්‌!

- ආචාර්ය දයාන් ජයතිලක

මුස්‌ලිම් කොංග්‍රසයත් ටී.එන්.ඒ. සංවිධානයත් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට ගත් තීරණය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

මේ පක්‍ෂ දෙක ගත් මේ තීරණය පිළිබඳ මීට මාස ගණනකට පමණ කලින් මංගල සමරවීර මහතා සන්ඩේ ටයිම්ස්‌ පුවත්පතට ලිපියක්‌ ලියා තිබුණා. ජනවාර්ගික හා ආගමික පදනම මත විපක්‍ෂයට සියයට 30 ක පමණ ඡන්ද ප්‍රමාණයක්‌ ලැබෙන බවත් එහි සඳහන් කර තිබුණා. සමරවීර මහතාගේ තක්‌සේරුව අනුව සුළුතරයේ අති බහුතරය ලබාගන්නේ නම් සිංහල බහුතරයේ සුළුතරය ලබාගැනීමෙන් මේ ජනපතිවරණය ජයග්‍රහණය කළ හැකි බව එයින් පැහැදිලි කර තිබුණා. එම ලිපියෙන් ඔහු කියා තිබෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ අත්තිවාරම් ඡන්දය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් පැමිණෙන විසංවාදී ඡන්ද මේ ඡන්දය ජයග්‍රහණය කිරීමට හොඳටම සෑහෙන බවයි. ටී.එන්.ඒ. සංවිධානය සහ මුස්‌ලිම් කොංග්‍රසය ගෙන ඇති මේ තීරණය මීට මාස කිහිපයකට පෙර මංගල සමරවීර මහතා ලියා ඇති එම ලිපියේ අන්තර්ගතය සමඟ හොඳින් සැසඳෙයි. ඒ අනුව මේ සියල්ල සිදුවනුයේ කිසියම් කාල සටහනකට අනුව බව පෙනේ.

ඔබ එයින් අදහස්‌ කරන්නෙ ටී.එන්.ඒ. සංවිධානය සහ මුස්‌ලිම් කොංග්‍රසය පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ රහස්‌ ගිවිසුමකට එළඹ සිටින බවද?

ඔවුන් අතර රහස්‌ ගිවිසුමක්‌ ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ. ඔවුන් ගත් මේ තීරණය මම විග්‍රහ කරන්නේ ටී.එන්.ඒ. සහ මුස්‌ලිම් කොංග්‍රසය පිළිබඳ නිල වශයෙන් පිළිගෙන ඇති විවෘත කරුණු කාරණා ඇසුරෙනුයි. ටී.එන්.ඒ. සහ මුස්‌ලිම් කොංග්‍රසය විපක්‍ෂයට සහයෝගය දැක්‌වීමට ගත් තීරණය තුළින් අපට එළඹිය හැකි නිගමනයන් කරා අප ළඟා විය යුත්තේ විපක්‍ෂයේ පොදු වැඩපිළිවෙළ ගැන යළිත් මතක්‌ කිරීම හරහාය. විපක්‍ෂයේ පොදු වැඩපිළිවෙළේ ප්‍රධාන අංගෝපාංගය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය දින සීයක්‌ ඇතුළත දී අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තුවට බලය දෙන දේශපාලන ක්‍රමයක්‌ ආරම්භ කිරීමයි. ටී.එන්.ඒ. සහ මුස්‌ලිම් කොංග්‍රසයේ සාධකයන් සැලකිල්කට ගත යුත්තේ ඒ විශාල දේශපාලන පෙරළිය තුළයි.

විධායක ජනාධිපති ක්‍රමය යනු රටේ සමස්‌තය නියෝජනය කරන ක්‍රමයකි. ජනාධිපතිවරයා තේරී පත්වන්නේ මුළු රටේම ඡන්දයෙනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් රටේ සමස්‌තය නියෝජනය කරන ශක්‌තිමත් ආයතනයක්‌ දේශපාලන ව්‍යqහයේ හා ක්‍රියාවලියේ නැත. ඉතුරුවන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තු ක්‍රමයකට යළිත් මාරුවන්නේ නම් එතනැදී ටී.එන්.ඒ. හා මුස්‌ලිම් කොංග්‍රසය වැනි සුළුතරවාදී සංවිධානවලට තීරක කටයුත්තක්‌ කිරීමට ඉඩකඩ ලැබේ. ටී.එන්.ඒ. සංවිධානය ඔවුන්ගේ දේශපාලන තීරණ ප්‍රකාශයට පත් කිරීමේදී සඳහන් කරන ප්‍රධාන කරුණු දෙකක්‌ තිබෙනවා. එකක්‌ වන්නේ රට ඒකාධිපතිත්වයක්‌ හා ආඥදායකත්වයක්‌ කරා යන බවයි. නමුත් ඒකාධිපතියකුට හෝ ආඥදායකයකුට තමුන්ගේ රැකියාව ජනවාරි 9 දා අහිමිවේයෑයි කියන්න බෑ. වත්මන් ජනාධිපතිවරයාට එවැන්නක්‌ වීමට හෝ නොවීමට පුළුවන්. යම් පාලකයකුට එසේ වීමට හෝ නොවීමට හැකිනම් ඔහු ඒකාධිපතියකු හෝ ආඥදායකයකු නොවේ. ලෝකෙ කිසිම රටක ඒකාධිපතියකු හෝ ආඥදායකයකු මහජන ඡන්දයෙන් ගෙදර යවල නෑ.

දෙවැන්න කොටි සංවිධානයේ වලිගය ලෙස කටයුතු කළ ටී.එන්.ඒ. සංවිධානය එහි ප්‍රභාකරන් ඒකාධිපතියකු ලෙස කටයුතුකරමින් තමුන්ගේ පක්‍ෂයේම නායකයන් ඝාතනය කරද්දී එක වචනයක්‌වත් ප්‍රකාශ කළේ නෑ. එම නිහැඬියාවට හේතුව භීතිකාව නම් පසුගිය වසරේ උතුරු පළාත් සභා ඡන්ද අවස්‌ථාවේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් මහා වීරයෙක්‌ යෑයි විග්නේෂ්වරන් මහ ඇමැතිතුමා ප්‍රකාශ කළේ ඇයි? ප්‍රභාකරන් නමැති පැසිස්‌ට්‌වාදී ඒකාධිපතියා මහා වීරයෙක්‌ වන්නටත් මහින්ද රාජපක්‍ෂ ඒකාධිපති ආඥදායකයකු වන්නේත් කෙසේද? මෙතැන තියෙන්නෙ කැත කුහකකමක්‌.

ඔවුන්ගේ මේ තීරණය පිළිබඳ තවදුරටත් ගැඹුරට යනවානම් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන හේතුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥවයි. එය ටී.එන්.ඒ. ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එයින් පෙනෙන්නේ ටී.එන්.ඒ. සංවිධානයට ඉතාමත් වාසි සහගත දෙයක්‌ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සිදුවන බවයි.

ටී.එන්.ඒ. සංවිධානය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූයේ අද ඊයේ නොවේ. 1987 දී 13 වැනි සංශෝධනය ගෙන ආ අවස්‌ථාවේ දී පවා ඔවුන් එය විවේචනයට ලක්‌කළා. ඔවුන්ගේ මතය වූයේ 13 වැනි සංශෝධනයේ බලතල විධායක ජනාධිපති ක්‍රමය විසින් කූඩුකර ඇති බවයි. දැන් මේ කූඩුව දකුණේ විපක්‍ෂය විසින් විනාශ කිරීමට ඉතාමත් ආසන්නය. කුඩුව විනාශ කළහොත් එය තුළ සිරගතව සිටින පක්‍ෂියාට නිදහසේ පියාසර කළ හැකිය. එමනිසා විධායක ජනාධිපති ක්‍රමය නමැති කූඩුව විනාශ වී යනු දැකීමට ටී.එන්.ඒ. සංවිධානය ඉතාමත් සතුටුය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු මධ්‍යම ආණ්‌ඩුව දුර්වල කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය නමැති පියන උතුරු පළාත් සභාවෙන් ඉවත් කළ විට ඇතිවිය හැකි තත්ත්වය කුමක්‌ද? අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව හා පළාත් සභාව අතර ඇතිවන බලසම්බන්ධකම ශක්‌තිමත් විධායක ජනාධිපති ක්‍රමය හා උතුරු පළාත් සභාව අතර තිබෙන බලසම්බන්ධකමට මුළුමනින්ම වෙනස්‌. ශක්‌තිමත් විධායකයකට කළ හැකි පාලනය හා පරිපාලනය පාර්ලිමේන්තුවකට කළ නොහැකියි. එය විශේෂයෙන්ම කැපී පෙනෙන්නෙ සභාග ආණ්‌ඩුවක්‌ සහිත පාර්ලිමේන්තුවකදීයි. එවැනි සභාග ආණ්‌ඩු ඇතිවීමේ ප්‍රතිඵල 1965 - 1970 සමයේ ඩඩ්ලි සේනානායක මහතාගේ පාලන සමයේ අපි අත්දුටුවෙමු.

මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුවහොත් දින 100 කින් ඔහු බල විරහිත ජනාධිපතිවරයෙක්‌ වන බවත් වඩාත් ශක්‌තිමත් පුද්ගලයන් දෙදෙනා වන්නේ අනාගත අගමැතිතුමා හා නියෝජ්‍ය අගමැතිතුමා බවත් ටී.එන්.ඒ. සංවිධානය හොඳින් දනී. ඒ චරිත දෙක අනිවාර්යයෙන්ම වන්නේ රනිල් හා චන්ද්‍රිකායි. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් තමුන්ට සිත් දිනාගත හැකි චරිත දෙකක්‌ රටේ ප්‍රධාන බලකේන්ද්‍රවීමට ඉඩ ඇති බව ටී.එන්.ඒ. සංවිධානය කල්පනා කර ඇත. රනිල් වික්‍රමසිංහ යනු ප්‍රභාකරන්ට පවා සහන සලසාදුන් ඊනියා සාම ගිවිසුම අත්සන් කළ පුද්ගලයායි. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග වනාහි කලාප සංගම් පැකේජය ගෙනා නායිකාවයි. එතුමියගේ පාලන කාලය ඇරඹුණේ කලාප සංගම් යෝජනාවෙන්. අවසන් වුණේ පශ්චාත් සුනාමි යාන්ත්‍රණයෙන්.

කලාප සංගම් යෝජනාවට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක්‌ නොව පළාත්වල හුදු එකතුවක්‌ පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් සිදුවන්නේත් එයමයි. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පළාත් සභාවලට හිමිවන බලතල ඒකීය රාමුව පසාරු කරගෙන නොයන්නේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන නිසා බව 1987 දී සුප්‍රීම් උසාවිය ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් එතැන ඇතිවන හිස්‌ තැන නිසා විග්නේෂ්වරන් වැන්නන්ට නීතිය තුළින්ම රටේ ඒකීය භාවයට අහිතකර යම් යම් තීන්දු ගැනීමටද හැකිවනු ඇත.

ඔබ මීට පෙර දිවයින සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මේ වර්තමාන අර්බුදයට හේතුව හැඳින්වූයේ රජ පවුල් වාදය ලෙසයි. එනම් එකම පවුලේ පුද්ගලයන් අතර රාජ්‍ය බලය බෙදීයැම නිසා රටතුළ ඇතිවන නොසන්සුන් තාවයයි.

අද රජ පවුල් වාදයක්‌ තිබෙනව. නමුත් එය මේ ජනාධිපති ක්‍රමය නිසා ඇතිවූවක්‌ නෙමෙයි. රජ පවුල්වාදය හා ජනාධිපති ක්‍රමය අතර සම්බන්ධයක්‌ නෑ. රජ පවුල් වාදය මුලින්ම අපි දැක්‌කේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ කාලයේ. පවුල් වාදය මුලින්ම මතුවුණේ සේනානායක පාලන සමයේ. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා සහ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා කැරලි ගැසුවේ ඒ පවුල්වාදයට එරෙහිවයි.

නමුත් පවුල්වාදය විශාල චෝදනාවක්‌ හැටියට මතුවී ආවේ හැත්තෑව දශකයේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ කාලයේ. ඒ සමයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවෙන් අදටත් වඩා විශාල පිරිසක්‌ ගැලවී ගියා. එදා ඒ කණ්‌ඩායමට නායකත්වය දුන්නේ ටී. බී. සුබසිංහ ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා. මේ සියල්ල සිදුවුණේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේයි.

ජනාධිපති ක්‍රමය යටතේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රට පාලනය කරනවිටත් විශාල පවුල් වාදයක්‌ තිබුණා. ඇය ජනාධිපතිනි, අම්මා අගමැතිනි, මල්ලි කථානායක, මාමා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති. එයම රාජපක්‍ෂලා කරන විට වැරදි වෙන්නත් බණ්‌ඩාරනායකලා කරන විට හරි වෙන්නත් විදිහක්‌ නෑ.

ඕනෑම රටක පවුල්වාදය පරාජය කළ යුතුයි. නමුත් ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය නමැති ශක්‌තිමත් බල මුළුව විනාශ කළ යුතු නෑ. පවුල් වාදය හෝ රජපවුල් වාදය පරාජය කිරීමට ඇති එකම මග පාර්ලිමේන්තු මහ මැතිවරණයකදී ජනතාව කල්පනාකාරීව ඡන්දය ප්‍රකාශ කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු පවුල්වාදය නොවේ. පවුල් වාදය නම් රාජපක්‍ෂලා විය යුතුය. රාජපක්‍ෂලා නමැති පවුල් වාදය ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තු ඡන්දයේ දී එය කළ හැකිය.


මේ මීදුම විසින් කරන ලද වියමනක් නොවේ.
එහෙත් දයාන් ජයතිලකයන්ගේ මතවාදය හා  මීදුම එකග වේ.
ජනාධිපති  ජේ.ආර් ජයවර්ධණ යන් විසින්  මෙම ව්‍යවස්ථාව ඇති කල පසු දුර්වල ආණ්ඩු ඇතිවන සම්බාවිතාවය අුවු බව අප පිලිගත යුතුය. එසේ වුවත් පාලකයා අන්තනෝමතිකව කටයුතු කිරීමේ සම්බාවිතාවය ඉහල ගියේය.

notes of imaginary

Wednesday, December 31, 2014

සුබ නවවසරක් වේවා !





සබද,
ඔබ සැමට සුබ නවවසරක් වේවා!

2015 නව වසර උදාවත් සමගම මීදුම ප්‍රාර්ථණය කරයි.




notes of imaginary

Monday, December 22, 2014

ඔක්කොම හොරු.


මීරිය බැද්දේ නාය ගියා. වැස්සා වැස්සා......... තාමත් වහිනවා.

වැස්ස ගැන  කරන කතා අතරට ජනාධිපතිවරණය ආවා . චැනල් වලින්   හැම  දෙනාම මඩ ගහගෙන අනිත් එක්කෙනාගේ   පැටිකිරිය දිගාහරින තම තමන්ගේ පැටිකිරිය නිකම්ම දිග ඇර ගන්නවා. ඒව බලා ඉන්න අපිට  ඡණ්දේ  දෙන්න එක් කෙනෙක්වත් ඉතිරි  වෙන්නේ නෑ.
අපේ අවසාන නිරීක්‍ෂණය වෙන්නේ ඔක්කොම හොරු කියලා.
අඩුවෙන් ම   හොරකම් කරලා තියෙන එක්කෙනා කියලත් තෝරා බේරා ගන්න බැහැ. හැමෝම තමන්ගේ බලයේ තරමට හොරු.
ඒ හින්දා ඡණ්දය ගැන සංකාවක් ගැටළුවක් ඇති කරගන්න ඕන නැහැ.
අට වෙනිදාට තියෙන්න  හොදට පොරව   ගෙන    නිදා ගන්න.  පහුවෙනිදා වෙන කොට “මැකෝ “ කියයි.,  මෙන්න මේ අලි බබා අපි තෝරා ගත්තා කියලා.  අපි එයාට  ජනාධිපති කියමු.
එතෙක් වාද විවාද  තර්ක විතර්ක නොකර පාඩුවේ ඉන්න එක හොදයි. කාගෙවත් මගුලකට අපි දගලන්නේ ඇයි ?.

-          මේ මගේ අදහස.

ඒත් තව තව අයගේ අදහස් ඕන තරම්. ඒවා අහගෙන ඉන්න පුළුවන් තැනක මම ඉන්නේ . මේ කතා කාරයෝ රත්වෙන්න රත් වෙන්න එක එක අදහස් වමාරනව. මම පහුගිය දින කිහිපයේ අවධානය යොමු කලේ මේ කතා මතකයේ රදවා ගන්න.

“ආණ්ඩු පක‍්ෂෙයන් හොදට කාපු අයට ආණ්ඩුව රැක ගන්න ඕනී. ඔය කොන්ත්‍රාත් කාරයෝ බාර් කාරයෝ හෝටල් කාරයෝ වගේ අයට.මෙහෙම කියන රොමානිස් අයියා අනිත් පැත්තටත් ප්‍රහාර එල්ල කරනවා.
මායිම් ගම්මාන  ආරක‍්ෂාවට කැළැ බිම් මොරටු පටවපු, පුංචි මෝල් කාරයෝ හින්දපු ,වැව් පිරවෙන්නේ නැතිව වාං දොරටු නවීකරණය කරපු  වැව් තාවුළ්ලේ හෝටල් ගහපු අය එළියට බැහැලා තියෙන්නේ රට  බේර ගන්න. රට බේර ගත්තේ නැත්නම් ඔය මොකවත් කරන්න තැනක් නෑ නේ. පුංචි  පදයක් හලනව.
ගමේ ගොඩේ ඇත්තන්ට ඔය මොනවත් තේරෙන්නේ නෑ. “
-           රොමානිස් අයියා පැරණි වාමාංශිකයෙක්.
කතාවට හවුල් වෙන්න ඉන්නවා ගානට පදම් උන සිරිසේන උන්නැහේ.එයා ටිකක් මොළ කාරයා. එයාගේ දෘෂ්ධිවාදය යොමුවන්නේ අමුතුම කෝනයකින් !. මහින්ද ගැන කරන්නේ ඇගයීමක්.
“බලන්න හැමදාමත් මහින්ද රාජපක්‍ෂට එරෙහිව ආවේ මහින්ද රාජපක්‍ෂ ගේ කල්ලියේ කෙනෙක්.
කැලේ  ගහක් නසන්න කැලේ  ගහක්ම යොදා ගන්න ඕන  කියලා සැලසුම් කරන අය හිතුවාද නැත්නම් රණිල්ට.තරගයක් දෙන්න බැරිද  ?. මහින්දත් එක්ක .
 
පුධාන දේශපාලන පක්‍ෂ දෙකේ ගමන් මග පිලිබදව ඔහුගේ විවරණය ලග මගේ හිත නතරවුනා. ඔහුට අනුව චණ්ද්‍රිකා ගේ  ශ්‍රිලනිපය මහින්ද  දෙස බලන ලෙසින්මයි රණිල්ගේ එජාපය සජිත් දෙස බලන්නේ. මහින්ද ශ්‍රීලනිපයේ වැට කඩොළු බිදගෙන ඉදිරියට යනවා. සජිත්ට තාමත් එතනට එන්න බැරිවෙලා. මෙවර එජාපයේ අපේක්‍ෂකයා විය යුතුව තිබුනේ රණිල් නැත්නම් සජිත් කියලයි සිරිසේන උන්නැහේගේ මතය.  මෛත්‍රී එදත් අදත් චණ්ද්‍රිකාට අවනත වුන - තමන්ගේ පංතියේ සිට ඉහලට ගිය මහින්දට ඇහුම් දීමට අකමැතිවු චරිතයක් දෙසයි ඔහු දකින්නේ. චණ්ද්‍රිකා ඔහු යොදා ගෙන මහින්දව වට්ටන්න හදන්නේ රටට ආදරයෙන් නෙමෙයි - මහින්ද කෙරෙහි තියෙන පංති වෛරයට .

මුන් අපිව වෙන්දේසි කරනවා ! කතාවට එක්වෙන සරත්ගේ මතය. එකෙක්  දහ දාහාක් දෙනවා කියන කොට - අනිත් එකා විසි දාහක් දෙනවා කියනවා. එකෙක් රුපියල් පනස් දාහට බයිසකලයක් දෙනවා කියන කොට අනිත් එකා නිකම් දෙනවා කියනවා. අනිත් පැත්ත හැරිලා කියනවා ජාතික ආර්ථිකය ආයාලයේ ඇරලා - විනාශ කරලා කියලා. ඒකා කලෙත් ඒක- මේකා ඇවිත් ඒක දෙගුණයකින් වැඩිකරලා කරන්න හදනවා. “ අපි හදෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්වා - ඇට අටක් දෙනවා කිව්වා- තවත් එක්කෙනෙක් බත් ටක කාලා එවර වෙන කොට අතුරුපස දෙනවා කිවා.  ඒ කාලයෙන් කාලයට   පොරොන්දු පත්‍රයේ  මොඩලය අද වන විට වෙනස් කරලා. ඕවට රවට්ටන්න දැන් අමාරුයි.

ඡන්දය ගැන කාටත් තියෙන්නේ පොදු කලකිරීමක් .1948 ඉදන් මෙතෙක් ජනතාව රවට්ටලා. 2014 දිත් ඒක කරන්න උත්සහා ගත්තම ප්‍රතිපලය ඒ තරම්ම පලදායි වෙන එකක් නැහැ කියලා කාලෙකට පස්සේ කරපු මේ වියමනෙන් සමුගන්නවා.





notes of imaginary

Saturday, November 08, 2014

මගේ කොළු ගැටයාට හොද පාසලක් .........



සුද්දාට පළු යන්න බැනීම අපේ සිරිතයි. ඒ සුද්දා කල හොද දේට වඩා නරක දේ අපට ඉතිරි කර ගොස් ඇති බැවිනි. සුද්දා අපිට ඉංග්‍රීසි භාෂාව ඉතිරි කර ගිය හොද දෙයකි. සිංහලය රජ බසවුදා සිට ඉංග්‍රිසියට ගැරහු අපට දැන් දැන් විශ්ව ගම්මානයට පිවිසීමට ඉංග්‍රීසිය  යතුරක්ව අවශ්‍ය වී තිබේ. මේ ලිපියෙන් ඉංග්‍රීසියට අමතරව පාසල ගැනද මතයක් කීමට උත්සහා දරමි.


අපේ පාසල් වල පහළ පන්තියේ සිට පාසලින් සමුගන්නා තෙක්‌ අවුරුදු පහලොවක් වැනි කාලයක් ඉංග්‍රීසි  භාෂාව පන්ති විෂයයක්ව උගන්වයි.  දරුවන්ට ඉංග්‍රීසි භාෂාව වහකදුරු මෙන් තිත්තවේ.  ඉංග්‍රීසි භාෂාව උගන්වන්න ගුරුවරයා දකින්නේ ලෝදිය බදුනක් පුරවා ගෙන පන්ති කාමරයේ  දොරෙන් පිවිසෙන යමපල්ලෙකු විලසිනි.මේ අපුල නිසාම  පාසලින් සමාජගත වන පිරිසෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසියෙන් කතා කිරීමට හෝ ලිවීමට නොහැකිවේ. එයින් පෙනී යන්නේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමය මුළුමණින්ම අසාර්ථක බවය.

මට හොදින් දෙමළ බස කතා කිරීමටත්  ලිවීමටත් හැකිවී තිබේ. මට දෙමළ බස ඉගැන්වීමට කිසිදු ගුරුවරයෙක් සිටියේ නැත. මා දෙමළ කතා කරන පරිසරයක කුඩා කල සිට ජීවත් වුයෙමි. මේ නිසා චතුර ලෙස දෙමළ කතා කිරීමට හැකිවිය. පසුකාලයක පාරේ පිහිටුවා තිබු නගර හැදින්වීමෙ  පුවරුවේ සටහන්වු දෙමළ අකුරු කියවීම , නිවසේ අවශ්‍යතා සටහන් කර ගෙන මිළදී ගැණිමට ගෙන යන භාණ්ඩ ලැයිස්තුව කියවීම හරහා දෙමළ ප්‍රවෘත්ති පත්‍ර කියවීමට ගත් උත්සහාය දෙමළ බස ලිවීමේ අභියෝගය ජය ගත්තේය.
අපේ ගෙදර චුට්ටා ගේ වයස අවරුදු දෙකයි මාස දහයකි. ඔහු වැඩිපුරම නිවරදි සිංහල කතා කරයි.සිංහල භාෂාවේ උක්ත අඛ්‍යාත උගන්වා නැතත් , ගුරුවරියකව සිටි ආත්තම්මාගේ බස් වහර අපූරුවට අනුගමනය කරන්නට චුට්ටා සමත්ව සිටී. බසක් ඉගැන්වීමට කණ මාධ්‍යවු බව මේ උදාහරන  අපට තේරුම්  කර දෙති.

මේ පුර්ව කතාව පෙරටු කරගෙන මම පිවිසෙන්නේ අවුරුදු පහලොවක් පාසලේ ඉංග්‍රීස භාෂාව ඉගන ගෙනත් ඉංග්‍රීසි බස වහරන්ට අපිට බැරි “ නොදන්නා දෙමලෙට ගොස් වරිගේ නහන ආචාරීන් මෙන් පාසල්වලට ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන් බදවා ගෙන කරන විනාශය පෙන්වා දීමේ අටියෙනි.
පසු ගිය වසරේ එක් පලාත් සභාවක් විසින් විශ්ව විද්‍යාලයකින්   පිටවු දෑවුරුදු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් පිරිසක් ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බදවා ගෙන කෙළින්ම පාසලට යවනු ලැබිනි. මෙම ඩිප්ලෝමාව සති අන්තයේ එක් දිනක් බැගින් අවුරුදු දෙකක කාලයක් පවත්වන පාඨ මාලාවකි. මේ ඩිප්ලෝමාධාරීන් යමක් ඉගන ගත්තද උගැන්වීමට හපනුන්ද යන්න  ගැටළුවකි. ගුරු කමත් රැකියාවක වුවද  මෝටර් කාර්මිකයෙකු කරන්නාක් වැනි රැකියාවක් නොවේ. තියරිය වන පොත් කර ගෙන වාහනයක් ගලවා සවි කලත් දරුවෙකු මනසට පිවිසෙන්නට තියරියම ප්‍රමානවත් නොවේ.

අතීතයේ මට ඉගැන්වු වීරසිංහ නම් මගේ ගුරුවරයෙකු  සිහිපත්වේ. එතුමා පන්ති කාමරයේ දී අපට ඉගැන්වුයේ රසායන විද්‍යාවයි. එහෙත් බස නම් හැසුරුවේ කොටසක් සිංහල සහ කොටසක් ඉංග්‍රීසියෙනි. අපි රසායන විද්‍යාවට අමතරව ඉංග්‍රීසිත් ඉගන ගත්තෙමි. එතුමා එනවිට  අපි “ මිස්ටර් වීරසිංහ” එනවා කියා  පංතියට දුවගියේ නැත. ඔන්න “ මට විශ්වාස කරන්න බැහැ - අයි කාන්ට්‌ බිලීවුඩ් එනවා අපි පංතියට දුවමු. කියා පංතියට දුව ගියෙමු.  මෙයද හොඳ ඉගැන්වීම් ක්‍රමයකි. එහෙත්  අද පාසල් පන්ති කාමරය තුළ මෙවැන්ක් කල හැකි වෙනත් විෂයයන් උගන්වන ගුරුවරුන් නොව  ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ද ඇත්තේ නැත. ඔවුන් කරන්නේ පොත දිග හැරගෙන පාඩම කියවමින් ඉංග්‍රිසි පෙවීමට උත්සහා දැරීමයි.  භාෂාවක් එසේ ඉගැන්විය හැකියයි මම විශ්වාශ නොකරමි.

උසස්‌ පෙළ සමත් දරුවන් පනස්‌ දාහකට ගුරු පත්වීම් දෙනවා යයි කතාවක් පසුගියදාක ඇසිනි. රැකියා ලබා දීම කොයිතරම් හොද වුවත් . ගුරුවරුන් ලෙස බදවා ගැණිමෙදී උසස් ප්‍රමිතියක් නම් ඇතිකිරීම කළ යුතුම දෙයකි. ජන සවිය සුදුසුකමක් වී අපොසප සාමාන්‍ය පෙලද නොසමත් පිරිසක් ගුරුසේවයට එක්ව අධ්‍යාපන ලොක්කෝද වු බව  අපට අත්දැකීම් ඇති බව රහසක් නොවේ. මේ ගුරුවරුන්ගෙන් බිහිවු සිසුපරපුරට දෙවියන් පිහිටවන්නට ඇත. නැත්නම් ඔවුනටද ජනසවිය නොමැතිව සවියක් ඇති නොවේ.
 ගුරුවරයකුට ළමා මනස තේරුම් ගත හැකි මානසිකත්වයක්‌ තිබිය යුතුවේ. විෂයාන්තර දැනුමෙන් සපිරී සිටිය යුතුවේ. ඉගැන්වීම පිළිබඳ මූලධර්ම, ඉගැන්වීම් ක්‍රම දැන සිටිය යුතුවේ. උගැන්වීම පිළිබදව  නිසි පුහුණුවක්‌ ලැබ සිටිය යුතුවේ . අද නැත්තේද එයයි. පැරැණි ගුරු අභ්‍යාස විද්‍යාලත් නූතනයේ ගුරු විද්‍යාපීඨත් මේ කොටස කරනු ලබයි. උපාධිධාරී ගුරුවරයෙකුට වඩා විද්‍යාපීඨවලින් පිටව  ගුරුකමට එකතුවන ගුරුවරු ගුරුකම හොදින් කරති. සෑම ගුරුවරයෙකුම විද්‍ය පීඨ වන් ගුරු අභ්‍යාස විද්‍යාල හරහා පාසලට එන්නේ නම් ළමා මනසට මනුෂ්‍යත්වය, යුතුකම, අගය කිරීම, රසවිඳීම ඇතුළු කර විෂය  උගන්වන ගුරුවරුද පාසලට ඒ යයි මට සිතේ. විශ්ව විද්‍යාල වලින් පිටව නැත්නම් උසස් ලෙගින් පසුව ගුරුකමට යමෙක් එක්වන්නේ නම් මේ සියල්ල නොදත් පරිඝණක යන්ත්‍ර මෙන් මිනිසුන්වේ.





notes of imaginary

Tuesday, November 04, 2014

මීරියබැද්දේ ශෝකාන්තය


මේ නොවැම්බර් මාසයයිසැප්තැම්බර් සිට ජනවාරි මැද දක්වා මධ්‍යම කදුකරයට වැසි ලැබේ. මේ ප්‍රදේශවල  පැරණි පාරම්පරික ගොවි ජනතාවට මේ වැස්ස අරුමයක් නොවේ. කාලගුණ දෙපාර්තමේන්තුවේ තියරි කෙසේ වෙතත් මේ ඇත්තෝ කියන අනාවැකි නම් අකුරටම නිවරදිවේ.  
කොස්ලන්දේ මීරියබැද්ද වතුයායේ කොටසක් නායයාමෙන් පසුවත් තවමත් පටන් ගත් වැස්ස කාලසටහනකින් තොරව ඇද හැලේ. සති ගනනාවක් කදුකරයට ඇද හැළුන වැස්ස නිර්මාණය කල ජීවිත අවදානම දැන්  වැස්සේ නැති සෙයකි. එහෙත් තවමත් වැසි ඇද වැටෙන්නේය.

ස්වභාව ධර්මයාට එරෙහිව අපට උඩුගම් බලා පිහිනා යා නොහැක. ඒ බවක් මායිම් නොකරන අපේ ඇත්තෝ වානිජ මෙන්ම සුළු පරිමානයේ වගා සදහා මහ පොලොව නිරුවත් කරති. ජලාශ ඉදිකරති. ගිණි තියතිමේ අකටයුතු කම්වලට එරෙහිවන ස්වභාව ධර්මය අපට අකාරුණිකව කටයුතු කරයි.
සුද්දන් මීරියබැද්ද තේ වගාව සදහා නිරුවත් කල නිසාදෝ  මිහිකත ට ඉවසා දරා ගත නොහී ගිය කෝපය පුපුරා ගියේ පරම්පරා පහ හයකට  පසු ජීවත්වු පරම්පරාවක් ඉලක්ක කර ගනිමින් එම පරම්පරාව විනාශකරමින් සහ අනාථයින් බවට පත් කරවමිනි.

මේ කැළඹීම හිතේ හොල්මන් කරමින් සිටියදී   මතුවු අනාථයින්ට සනාථවීමේ අරගලය සහ උනන්දුව ඉන් මතුවන ගසා කෑම, මඩිතරකරගැණීමේ අපේක්‍ෂාව දකිමින්  ඇසට කදුලක් මතු නොවුනා නම් ඔහු පෘතග්ජනයෙක් නොවේ.
දේශපාලකයාට කාගේ ව්‍යාසනය තුලද පෑදෙන්නේ රිදී ඉරකි. දැන් දැන් නොයෙක් මාධ්‍ය  ජාලයන්ද තම ව්‍යාපාරික ප්‍රවර්ධණයන්ද ගජ රාමයට කරගන යාමට  මේ ව්‍යාසනය මීරිය - බැද්ද ක් වී තිබේ. තවත් ඇත්තෝ මීරියබැද්ද විකුනා ආධාර රැස්කර යටි මඩි ගසා ගනිති.
තවත් සමහරුන්ට මීරියබැද්ද සංචාරක පරාදීසියකි. අවතැන්වුත් අසරනවූත් මේ ජනතාවට අවශ්‍ය වන්නේ නැවත විකුණා ලන්න තරම් හාල් මිරිස් තුනපහ රෙදි පිලි ටිකක් නොවේ. ඒවා තාවකාලික විසදුම්වේ. උන්හිටි තැන් අහිමිව හිසට වහලක් නොමැතිව සිටිනා මේ අසරනයින්ට පදිංචියට  ඉඩම් අවශ්‍යවේ. ගේ දොරක් අවශ්‍යවේ. දෙමව්පියන් අහිමිවු දූ දරුවන්ට  ඔවුන්ගේ  අනාගතයම අවශ්‍ය වේ.
ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට මැදිහත් විය යුතතේ දීර්ඝ කාලීනව විසදුම් දිය හැකි ආයතනයන්ට මිසක වැහි බිරම පහවී යන විට පාවී එන  පාට පාට සරුංගල් කරුවන්ට නොවේ.

දීර්ඝ කාලීන විසදුම් දිය හැකි පලාත් සභාවකුත් මධ්‍යම රජයකුත් ඇතත් කතාවක් මිසක වැඩට බහින්න කාලය ගෙන ප්‍රදර්ශනය වෙන  බව නම් දකින්නට තිබේ. එයයි මීරියබැද්දේ ශෝකාන්තය .







notes of imaginary

Sunday, October 26, 2014

පිවිතුරු හෙටක් ?.


දේශපාලන අදහස් ගැන අපට උදහස්වීමට කාරනා ඇතිවේ.
උදහස් වීම හා ආතතිය හා බැදීමක් ඇති බැවින් ආතතිය නිසා ඇති වන ලෙඩ රෝග ඇතිවීමෙන් වැලකී සිටීමට නම්  උදහස් වීමට ඇතිවන කරුණු කාරනා වලින් ඈත්වීම සුබදායකවේ. ඒ නිසාවෙන් එදිනෙදා ඇසෙන දේශපාලන ප්‍රවෘත්ති පිලිබදව නෑසු කන්ව සිටීමේ ප්‍රතිපත්තියකට මාරුවීම මගේ ප්‍රතිපත්තියක් බවට පත්ව තිබිනි.

එහෙත් මේ දිනවල අසන්න ලැබෙන්නේ ආතතිය ඇතිවීමට හේතු සාධක වන ප්‍රවෘත්ති නොවේ. මේ ප්‍රවෘත්ති සිත සැහැල්ලු කරන වර්ගයේ කොමඩි කතා බැවින් ලේ ගමන යහපත් වී ඇගපතටද සැහැල්ලුවක් ඇති කරන බැවින් ඇග පත ද රන්වන් පාටවන රූප ලාවන්‍ය ප්‍රවෘත්තින්  වේ.  එබැවින්  දේශපාලන ප්‍රවෘත්ති කියවීමට  නැවත උනන්දුවක් ඇති කරගැණිමට අදහසක් ඇති කර ගතිමි.

මාදුළුවාවේ සෝභිත හිමියෝ , අතුරලියේ රතන හිමියෝ සහ  බොදු බල සහ රාවනා ආදී කී නොකී හිමිවරු අප සාශනයට කරන්නාවු සේවය පිලිබදව බෞද්ධයෙක් වශයෙන් මගේ සිත තුල ඇතිවන බුද්ධාලම්භන ප්‍රීතිය දක්වන්නට බුදුහාමුදුරුවෝ ජීවමානව නැති හෙයින් මම කම්පා වෙමි. එතුමන්ලාට පැවදි ජීවිතය පියමන් කර ගිහි ජීවිතය ආක්‍රමණය කිරීමට සිත් පහල නොවන්නේ මන්දැයි හිමිදිරි උදෑසනක මම පිණිබිදුවකින් විමසුවෙමි.  නිහඩතාවය නිසා   යලි විමසන්නට බලන විට පිණිබිදුව වාෂ්ප වී ගොසිනි.

විධායක ජනාධිපති ක්‍රමය නොතිබෙන්නට තිස්වසරක යුද්ධය දිනන්නට ස්ථාවර රජයක් ගොඩ නගා ගන්නට නොහැකිවේ යයි  මම සිතමි. වරදාන ලබමින් ජරාව කමින් හෝ පසුගිය පාර්ලිමේන්තුව ස්ථාවරව තිබුනේ ජාත්‍යාලයෙන් නම් නොවේ.. එලියට බැස්සොත් ඇගපත වියලී තෝරුන් සේ සිටින උත්තමයින් හාල්මැස්සන් වන බැවිනි. අදද පාර්ලිමේන්තුව ඇති ආකාරයෙන් ඇත්තේ බෝර්ඩ් ලෑල්ලේ ලියා ඇගේ එල්ලා ඇති පට්ටමේ ඇති වරදානයන් සහ ජරාවේ ඇති අනුහසිනි.

මෙසේ තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නො කර ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කළොත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැරැදවීම සඳහා කළ හැකි සෑම දෙයක්‌ ම කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙටක්‌ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ පවසයි. එහෙත් නියරය යට සිට වක්කඩය කඩන්නට උන්වහන්සේට අදහසක් පහල නොවේ. අපිට මන්ත්‍රියෙක් නැති සමානුපාත ඡණ්ද ක්‍රමය ගැන හාන්කවිස්සියක් වත් උන්වහන්සේට සිහිපත් නොවේ.

එතුමන්ට පවතින පාර්ලිමේන්තුවේ රැදී සිටිමින් නිර්වාණය අවබෝධ කර ගන්නට නොහැකිවී ඇති බව සිතන්නට අපට කරුණු කාරනා පහලවේ.  රතන හාමුදුරුවෝ 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන ලද  බව මට සිහිපත්වේ. අද වන විට උන්වහන්සේගේ 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීම වැරදි බව කියනා තැනට පත්වීමෙන් උන්වහන්සේට ලැබුන නොලැබුන මාර්ගඵලයන්හී වටිනාකමේ කිසියම් වෙනසක් ඇතිවී ඇති බව අවබෝධ වන්නට ඇතැයි එකත්පස්ව වැදගෙන සිටින උපාසක උපාසිකා අපගේ සිත්තුල කොමඩි සිතිවිල්ලක් ඇතිවේ.

පැවදිව සිටි කාලයේ උන්වහන්සේලා දේශනා කරනු ලැබු බණක බුදුරජානන් වහන්සේ ට පරිනිර්වාණය කරන ලෙස මාර දිව්‍ය පුත්‍රයා ආරාධනා කළ කල්හි ,  ආනන්ද හාමුදුරුවන් නිහඩව සිට ඇත්තේ  උන්වහන්සේට ආවේෂ වුණු මාරයා  එය වැළැක්‌වු බැවින්යැයි සදහන් වු බව සිහිපත් වේ.  18 වැනි සංශෝධනය සඳහා ඡන්දය දෙන අවස්‌ථාවේදී අපේ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේටත් මාරයා ආවේෂ වූවා විය හැකියයි  උපකල්පනයක් ඇති කර ගැණිමට මම උත්සහා දැරුවෙමි.  උන්වහන්සේට ආවේශවු මාරයා ගිය පසු කඩුල්ල වසන්නටත් විකල්පයන් සොයන්නටත් හදන හැටි අසමින් මම විස්සෝපයට පත්වෙමි.

පණ්ඩිත උන්නාන්සේලා අනුගමනය කිරීම හැර උන්වහන්සේලාට උපදෙස් දීමට පෙ‍ළඹවීම ගිහි අපට බ්‍රහ්ම දණ්ඩණය පැනවීමට හේතුවේ. එසේ වුව හොත් පාංශකූලයට පවා කහසිවුරු හයර් පර්චසින් කිරීමට උපාසික උපාසිකාවන්ට සිදුවීය හැකි බැවින්  එකත්පස්ව අසා සිටීම ගුණදායක බව අවවාදයක් ලෙස මේ කොමඩි වියමන යේ සටහන් කරම්හ.



notes of imaginary

Wednesday, October 15, 2014

මතින් කල කතාවක්.




මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ. බියර් සදහා ලීටරයකට රුපියල් 15/= කින්ද 10%ට වඩා සැර අරක්කු වැනි මත්පැන් සදහා මිලි 750කට රුපියල් 80/= කින් සහ 33.5% වඩා සැර බ්‍රැන්ඩි විස්කි රම් ජින්  සහ වෙනත් මත්පැන් සදහා රුපියල් 100/= - 150/= වැනි මිල ගණන් වලින් බදු මුදල් සහ ඊට අමතරව නිෂ්පාදන වියදම්ද එකතුව  මිල ගණන් ඉහල ‍ගොස් ඇති බව සදහන්වේ.
නිෂ්පාදන වියදමට වඩා මත්පැන්වලින් අය කරන බද්ද මේ වන විට දෙතුන් ගුණයක් වී තිබේ.  සිගරට් වලට අයකරන රජයේ බදු මුදල්ද  මේ ස්වරුපයම ගනී. ඔබ රුපියල් 850/= මිලදී ගන්නා අති විශේෂ අරක්කු මිලි ලීටර් 750ක නිෂ්පාදන වටිනාකම රුපියග් 200/= පමණ විය හැකියි. ඉතිරි 650/= ම බදු මුදල් වේ.

මිල ඉහල ගොස් සතියක් හමාරක් වැඩිවන මිල ගණන් ගැන කතා කරන මත්ලෝලීන් ඉන්පසු සිරිත් පරිදි  පරන ස්ථාවරයටම පත්වෙති. මේ නිසා රජයට අයවන බදු මුදලේ මෙන්ම නිෂ්පාදකයාගේ අළවියේ වෙනසක්ද සිදු නොවේ. අප ආදායම් බදු , උපයන විට ගෙවන බදු , වටිනාකම මත ගෙවන බදු ආදී ගණනය කරන බදු ගෙවන විට බදු මුදල් කුවිතාන්සිය කවුන්ටරයෙන් අතට ලැබෙන්නේ   ඇගෙන් කෑල්ලක් බැංකු අයකැමි ලාච්චුවේ දමාගත් පසුවයි.

එහෙත් මත්පැන් බී නිර්වින්දනයට පත්වන මත්ලෝලීන් දිනපතා බදු මුදල් බාර් එකේ කවුන්ටරයට ගෙවන්නේ ඉතාමත් කැමැත්තෙනි. සමහරු ගෙවු බව දන්නේ පසුදා සාක්කුව අතපත ගානවිටයි.

මත්පැන් සදහා බදු මුදල් අයකිරීම මත්ලෝලීන්ට පනවන සුන්දර දඬුවමකි. සමහරු තම ආදායමේ සීමාවක් මායිමක් නොබලයි. තරාතිරමක් නොමැතිව  ඇගට පතට නොදැනී මැසිවිලි නොකියා මත්පැන් හලේ අයකැමිට  බදුමුදල් ගෙවා වැනි වැනී යති. සමහරු කාණු පල්ලේ නිදාගනිති. අමතරව දඩුවම් නියම කර ගත්දා පාරේ දඩාවතේ යන සතුන් සිව්පාවුන්  හා පිලිසදරේ යෙදෙති. කොතරම්  සුන්දර බදු ගෙවීමක්ද  ?.

සුරා බදු ඉහල ගියදා මතට තිත නොතැබු සමාජයක කතාබහට ඇහුම් කන් දී සිටියෙමි. අයෙක් අධික ලෙස මත්පැන් බී රෝහල්ගත වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහජන මුදල් වැය වන බැවින්  මත්පැන්වලින් යම් ප්‍රමාණයක බද්දක් අය කිරීම සාධාරණ බවට තර්ක කරයි.

තවත් අයෙක් කියන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  මත්පැන් අලවි සහ නිෂ්පාදන බලපත්‍රධාරීන් බවයි. ඔවුන්  ගමින් ගම බාර් දමාගෙන මත්පැන් විකිණීමේ ජාවාරමේ යෙදෙයි.  මැතිවරණයකුත් කිට්ටු නිසා ආණ්ඩුව ඔවුන්ගේ සාක්කු පුරවන්න අරක්කු ගාන වැඩි කල බවට චෝදනාවකි.

දේශපාලන - ඥයෝම ආපසු හැරී මතට තිත තියන්න උද්ඝෝෂණය කරන බවට කට කැඩෙන කතාවකි..

තව කෙනෙක්ගේ මතය කුස්සිය සන්සුන් කර ( විදුලිය ගෑස් තෙල් මිල ) තබා මහත්තුරුන්ගේ කණට ගැසු බවකි. රජය  සුරා බදු ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන ජනතාවගේ සාක්කුව සූරා ගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවට තර්ක නගති.
පුදුමයට මෙන් හැමදේටම පාරට බසිනි වෘත්තිය සමිති විශ්ව විද්‍යාල ශිෂ්‍යයයෝ ‍සෞඛ්‍යය ,ගමනා ගමන සේවකයෝ මේ අසාධාරණයේදී  නිහඩ පිලිවෙතක් ගනී . සාක්කුවෙන් වැඩි පිරිවැයක් ගෙවන මත්පැන් සදහා අසාධාරණ බදු මුදලක් අයකරන විට ජනමාධ්‍ය, සිවිල් සමාජය හැසිරෙන්නේ කිසිවක් සිදු නො වූ ගානට නිදිගත්වනවයි. ඒ මත්පැන්වල ඇති ආශ්චර්යකට විය හැකියයි  අධ්‍යාපන වෘත්තිකයෙක් කියයි.

ජාතික මැතිවරණයක් අභියස නායකයින්ට උපදේශ දෙන   කාරකාදීන් දී ඇත්තේ දිරච්ච ලනුවකි. අපේ රටේ මත්පැන් බොන ඇත්තන් ගේ ඡණ්දය වැරදුනොත් මේ ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙන්නේ ඇදුමත් නැතිව බව හොදටම වෙරිවු නෙනෙක් අභියෝග  කරයි.

කෙසේ වෙතත් අයවැයට කිට්ටු වෙන මේ දිනවල වම් අතින් අරගෙන දකුණු අතට සහන ලැබෙන බවට ඉගියක් නම් කල හැකිවේග අන්තිමේදී අපි  නතර වන්නේ හිටපු තැනටත් පහලට වැටී බව නම්  නියතයකි.






notes of imaginary