Sunday, June 02, 2024

උපකාර පන්ති.








 

ඊයේ  මැයි 31 දා උසස් පෙල ප්‍රතිපල නිකුත් වුනා .උසස් අධ්‍යාපනය සදහා 64 % ක ප්‍රතිශතයක් සුදුසුකම් ලබනවා. රජයේ සරසවිවලට නම් මින් 10% කට පමන ඉඩකඩ තියේවි.
මේ විමසුම නම්  උපකාරක පන්ති ගැන.

කාලය වෙනස් වෙනවා මේ පනහේ දශකය නෙමෙයි. එදා අපේ ගමේ ස්කොලේ මතක් වෙනවා. ලොකු ස්කොල මහත්තයායි නෝන මහත්තයයි නවාතැන් ගෙන හිටියේ ස්කොලෙමයි . ගුරු නිවාසයක් කියලා කියන්නත් බැරි අක්‍රමවත් ගුරු නිවාසයක. ස්කෝලේ ගොඩනැගිලි දෙකක් තිබුනා. එක ගොඩනැගිල්ලක තමයි ඒතුමන්ලා පදිංචිව සිටියේ.පාසල් කාලයෙන් පස්සෙත් ගමේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන සොයන්න විධිමත් වගේම නොවිධිමත් ක්‍රියාන්විතයක් එතුමාලා අතින් ඉටුවුනා.දශකයෙන් දශකයට ජනගහනය පිපුරුනා. ගුරුවෘත්තියටද ඒ් පිපිරීම බලපෑවා. පන්තියේ් බැරිවු කොටස හවස නතර කරගෙන කරදුන්න ස්වේ්ච්චා අධ්‍යාපනය ටිකින් ටික වෙළදපලේ මිළක් නියම වෙන්න පටන් ගත්තා.අද වන විශ්ව විද්‍යාලත් අධ්‍යාපනය මිළදී ගන්න පූළුවන් තැනට ඇවිල්ලා. ඉතින් ප්‍රාථමික තලයේ ඉදන්ම අධ්‍යාපනය විකිනෙනවා.මැතිවරණ කාලේ බිත්ති පුරා හිටපු වාමනරූප වෙනූවට දැන් බිත්ති ලයිට් කනුවල එල්ලිලා ඉන්නේ අධ්‍යාපන මුදලාලිලා නැත්නම් අධ්‍යාපන තාරකා. විවිධවු තේමාත් සමග මේ විපරියාස විරෝධාකල්ප මනසින් දකින නිර්මාණකාරිණියක් මෙහෙම කියනවා.

“තාප්පය පුරා හිනැහෙන
පාප්පයෙන් ඇලී ඉන්න
නේක වර්ණ මන බන්දන
ආල වඩන රූ සිරි පිරි
ශිල්ප හොරුන්ගේ විස්තර
කියවපන් පුතේ .
ෆිසික්ස් ,බයෝ ,ඉංගිරිස් ද
කෙමිස්ට්‍රි ,සිංහල ,දෙමළ ද
එකී මෙකී නොකී ශිල්ප
(කඩුවෙන් නැත්නම් පොරොවෙන් .....)
තොරණ බලනවා වාගේ
බලා ගනිං වරුණනාව .
ටක් ටික් ටුක් ඇස් වහගෙන
ඇඟිල්ල තියපන් රූපෙට
තෝරගනින් උඹට ඕනෙ
හොඳම ශිල්ප හොරා කවුද!“
--------රෝ.සි.

අම්මලා තාත්තලා මේ තත්වය දකින්නේ විවිධාකාරයට. තමන්ගේ දරුවන්ගෙන් බැළුවොත් උපකාරක පන්ති පවත්වන එක හොදයි. චැනලින් එකේ දොස්තරයි - ටියුෂන් කරන ගුරුවරයයි වෙනසක් නැහැ. දෙන්නම එකම භූමිකාව එක විදියට රගපානවා.

මේ ඉහත නිර්මාණයට මෙටාවේ ලැබුන ප්‍රතිචාර කිහිපයක්.

““ඒත්..අද පවතින අධ්‍යාපනයේ තරඟය නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ. අපි කැමැති වුනත් අකමැති වුනත් අපේ දරුවෝ ටියුෂන් යවන්න වෙනවා.හැබැයි ඉතිං දෙමාපියන් බලෙන්ම වුනත් ඒවට ළමයි යවන්නෙ වැඩි හොඳට කියල !

Thursday, May 30, 2024

මල්වර නැකත මල් කැකුළක් හිසේ තියා




පසුගියදාක අපේ අසල්වැසි නිවසක මල්වර මංගල්‍යයක් පැවැත්විනි දවස පුරා ආරාධිතයන්ට පැමිණීමට පහසුකම තිබිනි.දෙතුන් සීයයක් එදින පැමිනෙන්නට ඇතියි මම සිතින් ගනනය කලෙමි.රාත්‍රිය නිමාවුයේ මධු සාදයක් සමග සංගීතමය රස සාගරයක් මවමිනි. එම දෙමව්පියන් වියදම් කර තිබු මුදල පුංචි ගෙයක් හදා ගන්නට තිබුනා නේදෑයි එදා මට සිතිනි.
අටවසර පන්තියේ පමණ අධ්‍යාපනය ලබන පුංචි දියණියකට ඒ් දවස වදයක් වෙන්න ඇතැයි සිතන්න තවත් එවන්ම පුංචි දැරිවියක් මට මගපෙන්වු බවද සටහනට එක් කරමි. ඈ අළුත් ඇදුමක් පවා පිලිකෙව් කල උත්සව ප්‍රතික්ෂෙප කර මෙය සාමාන්‍ය අවස්ථාවක් බව කීමට එඩිතරව සිටීම ගැන මම ආඩම්බර වුනෙමි.ඇගේ දෙමව්පියන්ද එම අදහසට එකගව ඇගේ උඩුගම් බලා යන ගමනට අත්වැලක් වී තිබිනි.
මේ උත්සව දෙකම සංවිධානය වී තිබුනේ එක්වන් අධ්‍යාපනයක් සහ වත් පොහොසත් කම් ඇති දෙමව්පිය පවුල් දෙකකිනි.
මතෘත්වය කාන්තාවකට හිමිවීමේ පලමු වරම ලෙස මල්වර වීම හැදින්විය හැකිය .කායික විද්‍යාණුකුලව මල්වරවීම කාන්තා සිරුරක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවයි.
මෙය අඩ බෙර ගසා රටට කිවයුතු කාරනාවක් නොවේ.එහෙත් අපේ සංස්කෘතිය විසින් යම් යම් සිරිත් විරිත් මල්වර වීමෙදී පෙර පටන් අනුගමනය කරන්නට පරිසරය සකස් කර තිබේ. ඒවා අඩු හො වැඩි වශයෙන් අනුගමනය කරන අතර දැනුම්වත් දෙමව්පියන් පවුලේ ඥාතීන් අතර පමනක් පවත්වන සරල උත්සවයක් බවට මල්වර උත්සවය පත්කර ගෙන සිටී.
අතීතයේ සිට පැවත එන සිරිත් අනුව දියණියක විසින් තම මවට මේ බව දැන්වු විට , මව ඇය අතට ලෝහමය ආයුධයක් අතට දී කිරි ගහක් ලගට ගොස් ගසට කිරි එනසේ කැපුමක් කරනු ලැබේ ලෝහමය ආයුධයෙන් ආරක්‍ෂාවත් කිරි ගහෙන් සෞභාග්‍යත් සංකේතවත් කරනු ලැබේ.
පෙර පැවති සමාජයේ සිරිත් විරිත් අතරට ශබ්ද නගා කතා නොකිරීම, දින තුනක්‌ ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්‌නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන සිරිත් විරිත් මල්වරය මංගල්ලය සම්බන්ධ සිරිත් විරිත්අතරටට ඇතුළත් වේ. නැවුම් මැටි බදුනක ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීමත් ,මෙම සිරිත්ම අනුගමනය කරන මල්වරවු දියණියකට තාවකාලික සිර දිවියක් ගතකිරීමටත් සිදුවේ.
සමහර ප්‍රදේශවල පස්‌ මොරු කුල්ල දීම නමින් සිරිතක් ‌තිබේ. මෙම සිරිතේදී හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක්‌ ආදිය ද, දියලබු, වට්‌ටක්‌කා වැනි එළවළු වර්ග කීපයක්‌ද කුල්ලක අතුරා පහනක්‌ තබනු ලැබේ
මල්වරවු දියණියක ස්නානයෙන් පසු නිවසට පිවිසෙන අවස්ථාවේ දොරකඩ හරහා පැදුරක් එලා වී,තල උදු මුං මෑ ඇට දමා ඒ මත තොලබෝ අත්තක් සහ මොල්ගහක් හරහට දමා ඒ උඩින් ඇවිද ගෙන යාමට සලස්වනු ලැබේ .
මේ අවස්ථාවේ රෙදි නැන්දා විසින් පොල් ගෙඩියක් බිම තබා දෙපළු වනසේ බිදිනු ලැබේ. මින් පසු ඈ කැදවා ගෙන යන්නේ නිවසේ මැද සකස් කර ඇති රන්, රිදී, මුතු, මැණික්‌ ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදි ද්‍රව්‍ය වලින් බිම පැදුරක අතුරා සකස් කර ඇති ස්‌ථානයටයි. මෙම ස්ථානය පැදකුණු කර පහන් දල්වා සිරිත් කරනු ලැබේ. වැඩිවියට පත්වන අවස්ථාවේ ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්‌ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම වැනි සිරිත්ද මෙයට ඇතුලත්වේ.
රෙදි නැන්දා අද වොසින් මැසින් එකවී ඇති බැවින් මව හෝ ඥාති නැන්දා කෙනෙක් මේ සිරිත් විරිත් සදහා මැදිහත්වේ. සිරිත් විරිත්ද වර්තමානය වන විට ලඝු වි ඇතත්, උත්සවශ්‍රීය නම් සංකීර්ණවී ඇති සෙයකි. මගේ අඅසල්වැසියාට සිදුව ඇත්තේ උත්සවශ්‍රීය සංකීර්ණවීමයි.


විජේසිරි ජයසේකර මෙටාවට එක් කල සිතිවිල්ලක්

මල්වර නැකත මල් කැකුළක් හිසේ තියා
නැන්දට වෙල්ලාව පොට්ටනි ලියා තියා
සිරිතට වරිගෙ වංශෙට මල පොතේ ලියා
කෙල්ලගෙ ජීවිතේ කනවා මගුල් කියා

ජීවයෙ නියම ගමනට පිළිපන් විටදී
කාටත් පොදුයි ලෝ දහමට රුකුල් දිදී
කය තුළ සිදුවෙනා වෙනසක් නැකතට දී
ලෝකෙට කෙල්ල විකුණනවා මගුල් යෙදී

ගහලා පොටෝ ඇල්බම් උඩ නැගල හිඳී
යහපත් ගුණ ධර්ම වෙනුවට බයිල වදී
ගමටම බොන්න දී රෑ පාටියට හිඳී
දරුවව නටවනව අම්මල අකුණු වදී

නැකතට කියන දේවල් ගුරු කොට රැගෙන
දරුවගෙ ජීවිතේ කනවා නැත සිතින
යහපත අයහපත ගැන කිසිවක් නොදැන
කොටහළු මගුල ජයටම කයි ණය රැගෙන

නැකතට වතුර කලයක් නාවා ඇතිද
පහනක් එක් දිනක් දල්වාගෙන කිමද
සුදු වත හැමදාම අඳිනට හිත නැතිද
කිරි ගහකට කෙටුම කුමකට එය හරිද

සතියක් හමාරක් ඉගෙනුම නෑ ඔට්ටූ
කෑමක් බීම නෑ හරියට වෙයි තට්ටූ
සෙල්ලම් කරන්නට මුත් හිත වෙයි මට්ටූ
මුල්ලක තනි කරන්නේ මොන කරුමද පිට්ටූ

අන්දල නේක වයිවාරණ ඇඳුම් රෙදී
ගමටම කියල කෙල්ලගෙ ගලවනව රෙදී
ණය වී තම්බලා බත් ගෙඩි එක්ක හොදී
මෙහෙමත් පිස්සු කෙළිණා අය කොහේ හිඳී

පොඩ්ඩක් හිතල මේ ගැන දැන් හැදෙන අය
විකුණනු එපා දරුවා මේ ලෙසින් කය
යහපත් ගුණ ධර්ම දරුවට දිදී ළය
මල් පූදින්න ඉඩ දෙනු එය තමයි පිරිය

 ස්තුතියි .


A day in the life

Wednesday, May 29, 2024

හුචක්කුව



හුචක්කුව 


හුචක්කුව යනු ඈත අතීතයේදී ගැමියන් ඇඳි කොට කලිසමට යම් සමානකමක් ඇති ඇඳුමකි. එය කලිසම මෙන් පිළිවෙලකට ඇති ඇඳුමක් ලෙස බැලූ බැල්මට නොපෙනේ.හරි අපිළිවෙල ගතියක් බැලූ බැල්මට පෙනේ. එම නිසා ජනප්‍රිය නොවුන ඇඳුමක් ලෙස භාවිතයෙන් ඉවත්ව ගොස් ඇත.
හුචක්කුව ගැන නිතරම කීවාට කිසිම තැනක හුචක්කුව යන වචනයට සමාන හෝ එහි අරුතක් ගැන විස්තර දකින්නට නොමැත. ඒ තරම්ම මෙම වචනයද මෙම ඇඳුම හා සමානවම සැඟව ගොස් ඇත.
හුචක්කුව ගැන කියද්දී දන්දෙනි කුඹුරේ මාමා වන හීන් බණ්ඩා මාමාව අමතක කල නොහැක. එම ඇඳුම ඇඳ ඡායාරූප ගන්නටත්, ඒ ඇඳුම ගැන විස්තර පැවසුවේත් හීන්බණ්ඩා වෙදමහත්තයා වන
දන්දෙනිකුඹුරේ මාමාය.
ජීවත්වීමට හැකි කිසිදු පහසුකමක් නොමැති මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන මේ දණ්දෙනි කුඹුර මේ වන විට හුදකලා ගමක් බවට පත්වී ඇත.
මීමුරේ,සුළුගුණේ,ගලමුදුන, හෙට්ටිපොළ, , ගොඩඋල්පත යන ගම්මාන වලින් දන්දෙණිකුඹුර වටවී ඇත. එම ගමට සුළුගුණේ සිට කඳු හරහා පැය තුනකට ආසන්න කාලයක අති දුශ්කර ගමනක් පයින් ගමන් කළ යුතුය.
මීමුරේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගමක් වන දන්දෙණිකුඹුර අද වන විට කිසිදු පුද්ගලයෙකු ජීවත් වන ගම්මානයක් නොවේ. ජනතාවට ජීවත්වීමට හැකි ප්‍රමාණවත් පහසුකම් එහි නොමැත.
එහෙත් මෙම රට උළු සෙවිලිකල නිවස සාදන්නට කෙසේ අමුද්‍රව්‍ය රැගෙන ආවාදැයි පුදුම සහගතය.ගෙවත්ත පොල් ගස් රාශියකින් සමන්විතය.නිවසේ එක කාමරයක් පොල් වලින් පුරවා ඇත.ඒවා මිලදී ගැනීමට කෙනෙකු එන බව ඔහු පැවසුවා.එහෙත් අද ඒවා පරිභෝජනය කරන්නට කිසිවෙක් ඇද ඉතිරිව නැත.
නිවසේ ගෙවත්තේ එක් මායිමක් අසලින් දොල පහරක් ගලා යයි. එයින් ජල අවශ්‍යතා සපුරාගනී.අනිත් අන්තයෙන් හීන් ගඟ ගලායයි.
මේ ගමේ ජීවත්වූයේ හීන්බණ්ඩා වෙදමහත්තයා පමණ යි. එහෙත් ඔහුද දැන් මියගොස් වසර කීපයකි.ඔහුගේ ඥාතින් සිටින්නේ මීමුරේ ගම්මානයේය. මීමුරේ ගමට යාමට කිලෝ මීටර් 8ක් පමණ යායුතුය.
මලියදේව මහ රහතන්වහන්සේ ඇතුලු තවත් රහතන් වහන්සේලා පිරිසක් මේ අසල වැඩවාසය කරලා තියනවා ..උන්වහන්සේලාට
දන් පිලිගන්වලා තියෙන්නේ මේ දන්දෙණිය කුඹුරු අස්වද්දලාලු .දන්දෙන කුඹුර පසුව දන්දෙණිකුඹුර බවට විවහාර වී ඇත.
අදින් වසර පහළොවකට පෙර පවුල් තිහක් පමණ ජීවත් වී ඇති මෙම ගම්මානයේ ජනතාව මෙහි ඇති අති දුෂ්කර බව හේතුවෙන්ම ක්‍රමක් ක්‍රමයෙන් ගම අතහැර ගොස් වෙනත් ප්‍රදේශයන්හී පදිංචිවී ඇත. අවසාන වශයෙන් දන්දෙණිකුඹුරේ මාමාට නැතිනම් හීන්බණ්ඩා මාමාට නිවන්සුව අත්වේවා යි පතමි.

 මීදුම එකතු කලා  මේ ටික.

 ******සබරගමුවෙත් ඌවෙත්්මීට සමාන ඇදුමක් භාවිතා වුනා. ඒ ඇදුම හැදුන්වුනේ “ සරුවාලය“ කියලා දැන් සැහැල්ලු  කොට කලිසමක් ඒ වෙනුවට ආදේශවෙලා.  මේ පලාත් වල හුචක්කුව කියලා අබලි උපකරන වලට කියනවා. බයිසිකලයක් , කරත්තයක් පැරණි වාහනයක් වගේ දෙයක් භාවිතයට ගෙනත් දුන්නොත් “ මොකක්ද මේ හුචක්කුව “ කියලා කියන අවස්ථා තියෙනවා.
මිනිස්සු වයසට ගියාම  “ කෝ බන් උබේ හුචක්කුව “ කියලා  භාවිතා වෙන්නේ බිරිදට හෝ ස්වාමිපුරුෂයාට. ඕන හුචක්කුවක් හිතා ගන්න . ඒකට කමක් නැහැ. කුඹුරට හේනට ගැලපෙන ඇදුමක් තමයි “ හුචක්කුව “


සටහන හා ජායාරූප කේ.ජී.කීර්තිරත්න



A day in the life

Monday, May 27, 2024

වරප්‍රසාද



වරප්‍රසාද 

ලොකු ලොකු දේවල් හිත හිතා ඉන්න කොට පුංචි එකෙක් කිව්ව කතාවක් මතක් වුනා.
එක එක කාලෙට එක එක සංකල්ප එනවානේ. ඒවා එනවා වගේම නැතිවෙලත් යනවා. ප්‍රායෝගික නූනාම ඔය සංකල්ප පවතින්නේ නැහැ. මේ කතාව කෑම පාර්සල් ඔතාගෙන එන පොලිතීන් කොළ ගැන. අපි සිංහල භෂාවෙන් “ ලන්ච් සීට් “ කියන්නේ !!. අන්න ඒ් කොළ ගැන.
පොලිතීන් සීමාකරන්න ඕන කියලා ලොකු අඩහැරයක් තිබුනාගේ සිරිසේන උන්නැහේගේ රාජ්‍ය පාලන සමයේ. ඉතින් ඒ කාලේ පාසල් වල දරුවන්ට තමන්ගේ දිවා ආහාරය ගේන කොට විකල්පයක් භාවිතා කරන්න සිද්ධවුනා. මේක අකුරටම කෙරෙන්න ඕන කියලා පාසල්වල නියෝගයක් පනවලා තිබුනා. ඔය මම කියන පාසලේ කෑම පාර්සල් පරීක්‍ෂණයට ‍ගුරුවරයෙක් වෙන් වෙලාම හිටියා .

 


එතුමා පාර්සල් පරීක්‍ෂා කරමින් යනවා දිනපතාම. මුළු පාසලේම ලන්ච් සීට් භාවිතයෙන් ඉවත් වෙලා. ඒත් ලමයි දෙන්නෙක් විතරක් මේ වැඩේ අත්හැරලා නැහැ. කොයිතරම් අවවාද කලත් මේ දෙන්නා පිලිගන්නේ නැහැ.ඒ මදිවට මේ දෙන්නා ශිෂ්‍ය නායකයෝ.
අමුතු වරප්‍රසාද මේ දෙන්නට විතරක් තියෙන්න බැහැනේ. එහෙම හිතාගන විදුහල්පතිතුමාට පැමිණිලි කරන්න සිකුරිටි ගුරුතුමා හිතාගත්තා.
ගුරුතුමා ගේ ක්‍රිියාකලාපය නිරීක්‍ෂණය කරගෙන හිටපු පොඩි එකෙක් සර් ලගට ඇවිත් කියුවේ අමුතු කතාවක්
“ ඔය අයියලා දෙන්නා සර් කියන නියෝගය පිලිපදින්නේ නැහැ සර් “ කියලා
“ඇයි එහෙම කියන්නේ ?.
“ ඇයි සර් දන්නේ නැද්ද අර වැසිකිලිවල කැපුවේ කවුද කියලා ?. එතකොට මතක් වුනා මේ දෙන්නා නේද නේද ? කියලා.
“සර් විසිපන්දහක් ඉල්ලපු වැඩේ මේ දෙන්නා කරලා දුන්නේ හත්දාහට නේ‘‘. පොඩි එකා කිව්වා.
හොයලා බලපුවම රුපියල් විසිපන්දාහක් පාසලෙන් ගෙවලා.
රුපියල් දහඅට දාහක් ආගිය අතක් නෑ.ඉතින් අවශේෂ ගුරුවරයෙක්ගේ අණක් ඒ ගෝල දෙන්නා පිලිගනීවියැ.

 

 



A day in the life

Sunday, May 26, 2024

..ගමන නොනිමෙයි ලෝකයේ මේ.....

ගමන නොනිමෙයි ලෝකයේ මේ.....





ගමන නොනිමෙයි ලෝකයේ මේ.....
පුරුදු ජීවන මං තලේ...
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ....//
වැටෙන මල් පෙති පා වුනාවේ,
සුළං රැළි ඔහෙ යන අතේ...
යලිත් ගහ කොළ පාළු නෑනේ,
රිකිලි නංවා ලියැලවේ....
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ..
කොහේද සීතල ජලාශයක රැළි,
ගැටී ගැටී එයි සුළං වැදී...
අපේම සිරුරේ අපේම දාදිය,
නිවී නිවී යයි සුළං වැදී...
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ..
ගලා බසී දිය පහර සෙමින්,
වැලි තලා සදා සමතලා බිමේ...
හැපී ගලක යළි සලා වැටුම් දී,
නඟා නඟා හඬ නඟා දිවේ...
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ..
ගායනය - නාරද දිසාසේකර
පද මාලා - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය - ආර්. මුත්තුසාමි

A day in the life

Saturday, May 25, 2024

ධානිගල





ධානිගල නොහොත් ඒලියන් රොක්, කන්දෙගම පොලොන්නරුව.



මෙය මාදුරු ඔය මිටියාවතේ කන්දේගම ග්‍රාමයේ පිහිටා ඇත. අප විශ්වයේ පිහිටි විශ්මිත තැනක් බව කිවහොත් නිවැරදිය. හිතට නැගෙන අඳුරු බව (මා මේ ගැන දැන නොසිටි නොයෙකුත් හේතු හිතට එන නිසා ) මෙන්ම කියා නිමකල නොහැකි සතුට විශේෂිතය. මා සිතා හිටියේ ගිරිහඞු සෑය, රිටිගල, අරණ්කැලේ, අනුරාධපුර, පොලොන්නරුව, බුදුගල වැනි නෂ්ඨාවශේෂ ගැන සොයා බැලූපසු හිත සන්සුන් කර ගත හැකිවේය කියාය.
මෑතකදී මා අන්තර්ජාලය පරිහරණය කිරීමේදි මිනිසුන් විසින් හරි ගෝලාකාර වටරවුමක් ලෙස සකසා ඇත්තක් මෙන් ගල් පර්වතයක් නෙත ගැටිණි. මා මොහොතක් ඒ ගැන බලා වෙනත් රටක වියයුතු යයි අනුමාන කර ලියා තිබූදේ කියවීමට නොගියේය. එහෙත් අද පුරාවිද්‍යාවට සම්බන්ධ විදේශීය සඟරාවක් කියවමින් සිටින විට නැවතත් අර ගල්පර්වතය ඇස ගැටුනේය. නම ධානිගල නොහොත් ඒලියන් රොක් නමින් නම් කර තිබුණේය. නැවතත් මා හොඳින් කියවන විට ලංකාවේ බව දැනගත් පසු හුස්මගන්නත් අමතකවී ගියේය.









අප පැලියොලිතික් මානවයාගෙන් මීට අවුරුදු ලක්ෂ තුන හෝ ලක්ෂ පහකට පෙර සිට පැවැති එන්නන්ය. විජය යන හොර දෙටුවාගේ ලේ අපේ ඇගේ අනිවාර්‍යෙන් නොතිබිය යුතුය. මීට හේතු සාධක හමුවෙන්නේ මෙහි තිබෙන ගල් ලෙනකින්ය. එහි ඇඳ ඇති සංකේත විශ්මය ජනකය. ගල් පර්වත දෙකක් මැද අඩි දෙකක පරාශයක හිඳ මෙම නිමාණය කිරීම ඉතා අපහසුය. එහි එකිනෙක බැඳී ඇති සංකේත තිබීම විශ්මජනකය. මෙම නිර්මාණ අවුරුදු ලක්ෂ තුනකට එහාය. අවුරුදු ලක්ෂ තුනකටත් එහා ගිය සංකේත, අක්ෂර සහ රූප විශේෂ කර ඇත්තේ මෙහි ඇති ගල් දෙබොක්කාව අතරේ පිහිටි ගල් පර්වත දෙකක් තුලය. මානව පරිණාමවාදයේ විශේෂිත වූ ලක්ෂණයක් වනුයේ මෙසේ ගලක ඇඳ ඇති සංකේත එකිනෙකට සමානව ලෝකයේ යම් යම් ප්‍රදේශවල හමුවීමය. එයින් විද්‍යාමාන වනුයේ අප ජනයා විශේෂිත වූ ජන වර්ගයක් බවය. මේ පිලිබඳව පර්‍යේෂණ කර එය සනාථ කරගෙන ඇත්තේ ආචාර්‍ය අරවින්ද රවිභානු සුමනරත්නය. මහාචාර්‍ය රාජ් සෝමදේවයන් විසින් සනාථ කරනුයේ අප අවුරුදු දෙලක්ෂ පනස්දාහකට එහා සිට එන මිනිසුන් කියාය.
මා නැවතත් විස්තර සොයා බොහෝ දේ විමර්ශණය කලේය. එහි අවුරුදු දාහකට එහා ආශ්‍රම ලෙස ගත් ගල්ලෙන් කටාරම් සහිතව පිහිටා ඇත. හද කම්පාවනුයේ එහි විනාශකර දා ඇති සැතපෙන පිලිම වහන්සේ දැක්ක විටය.
අහිංසක ගම්මුන් විසින් ගෙනයන මතවාද, කටකතා හා ජනප්‍රවාද විශ්වාශයට ගත යුතුද නැද්ද යන්න අප තීරණය කල යුතුය. සෑමදාකම රාතියේ අහසේ පිහිටා තිබෙන එළිය එහෙ මෙහෙ විහිදී යන ආකාරය සෙව්හෙල ටීවී යූටියුබ් චැනලයහි සම්පත් (අයිටීඑන් ) මගින් පෙන්වා ඇත. එහි ලින්ක් එක පහත ඇත. එයනම් විශ්මය ජනකය. මා බුදුදහම අදහන අයෙකු ලෙස එය නිරීකෂණය කලේ දේවතා එළියක් ලෙසය. ඔබත් එම වීඩියෝ සහ මා මෙහි පෝස්ට් කර ඇති සඟරාවත් පරිහරණය කර ඔබම අපි කව්රුන්ද යන වග තීරණය කරන්න
.

https://youtu.be/NIJuAtHEe7Q
තිලක් දිසානායක


A day in the life

Thursday, May 23, 2024

මගේ බුදු හිමි පිරිනිවන් වැඩි සේක !!

මගේ බුදු හිමි පිරිනිවන් වැඩි සේක !!















චුන්ද කර්ම පුත්‍රයා ගේ අඹ උයනට
උඩින් ,පිරෙන්නට ආසන්න වෙසක්
සඳ අහස් වියනේ බැබළෙන්නට විය .
හිමවත දෙසින් හමා ආ සීතල සුළං රැල
තුරුපත් සොලවා හමා ගියේය .අඳුරු
වළා පටලයක් සඳ වසා පැතිරිණි .
උයන් පෙත සිසාරා පලින් පල විලක්කු
හා තෙල් පහන් දැල්විණි .
උයන මැද සකසා තිබූ කුටි වල තථාගතයන්
වහන්සේ ඇතුළු සඟ පිරිවර වැඩ සිටියහ.
උදෑසන හීල දානය චුන්ද කර්මාරගේ
නිවසෙනි.තථාගතයන් වහන්සේ වෙනුවෙන්ම
පිළියෙළ වූ “ සූකර මද්දව” නම් වූ විශේෂ
බිම්මල් සහිත බත ,උන්වහන්සේට පිළිගැන්වූ යේ
චුන්ද ගේ දෝතිනි.
ඌරන් ලගින තැන්වල ,උන්ගේ අපද්‍රව්‍ය හා
මඩ කලවම් වූ පසෙහි හටගන්නා මේ හතු
විශේෂය දුරු වර්ග හා මිශ්‍ර කොට ,අරුණු වන්
මැටි බඳුනක යොදා ,පැඟිරි දර යොදා පිස
ගන්නා බව කියැවේ .
එම ආහාරය සෙසු භික්ෂූන්ට නො පිළිගන්වන
ලෙස බුදුහු ,චුන්දට උපදෙස් දුන්නේ ඒවාට
දෙවියන් විසින් දිව්‍යමය ඔසු වර්ග යොදා
ඇති බැවින් ,බුදු කෙනෙකුට හැර මෙය අන්
අයෙකු ට වැළඳීම නුසුදුසු බැවිනි. මෙම දානය
සුජාතාවගේ දානය හා සමාන මහත් ඵල
හිමිවන්නක් බැව් තථාගතයන් වදාළ සේක.
කුසිනාරාවට වඩින අතරතුර තථාගතයන්
වහන්සේට යටපත් කළ උදරාබාධය යළි කීපවරක්
වැළඳුනි .උන්වහන්සේට විරේචනය ඇතිවිය.
සිරිපතුල් රිදෙන්නට විය .ක්ලාන්තය සෑදුණි .
සඟල සිවුර හතරට නවා ,ආනන්ද හිමියන්
විශාල ලෙස අතු විහිදී ගිය ගසක් මුල ,බුදුරදුන්ට
අසුනක් පැනවීය.
“ ආනන්ද ..අද මැදියම් රැයේ තථාගතයන්
පිරිනිවන් පානවා ....ආනන්ද , පඨවි ,ආපෝ
තේජෝ ,වායෝ යන සතර මහා ධාතුන් ගෙන්
සැදුණු මේ සිරුර අනිත්‍යයි...තව දුරටත් මගේ
රෝගය යටපත් කරන්නට මා උත්සාහ කරන්නේ
නැහැ....”
ආනන්ද හිමියන්ට මහත් සංවේගයක් ඇතිවිය .
එදා කල්පයක් වැඩ සිටින්නට ආරාධනා නොකළේ
මාරයා ගේ බලපෑමෙන් දැයි ,උන්වහන්සේ කඳුළු
පිරි දෙනෙතින් කල්පනා කළහ.
මඳ විවේකයකින් පසු බුදුන් වහන්සේ ඇතුළු පිරිස
කකුත්ථා නදිය දක්වා වැඩම කළහ.
නදියෙන් එතෙරවීමට පැමිණි ගැල් රාශියක් ,නදිය
හරහා ,උතුරු දෙසට ගමන් කළෙන් ජලය බොර පැහැ
විය.
“ආනන්දය ,මට පිපාසයි ...වතුර ටිකක් දෙන්න.”
“ස්වාමීනි ,ගැල් සිය ගණනක් ගඟ හරහා ගිය බැවින්
ජලය අපිරිසිදු වී ඇත. පෑදෙන තෙක් මඳක් ඉවසන්න .”
“ ආනන්දය ..මට පිපාසයි .දැන් එහි යන්න.”
“ස්වාමීනි ...”
“යන්න ,ආනන්ද ..”
නදිය වෙත ගොස් පාත්‍රය දියේ ඔබත්ම .නිල් පැහැයෙන්
බබළන ජලයෙන් බඳුන පිරී ගියේය . අප්‍රමාණ සතුටෙන්
බඳුන පුරවා ගත්තේ “ මගේ බුදු හිමියන් සුවපත් වේවා”
යන සිතුවිල්ලෙනි.
පැන් පානයෙන් පසුව ,උන්වහන්සේ මඳ වේලාවක්
විවේක ගන්න විට ,සෙසු භික්ෂූහු ගස් සෙවණේ
භාවනායෝගීව හෝ විවේකීව වැඩ සිටියහ.
සවස් යාමයේ කුසිනාරා නුවර ,මල්ල රජදරුවන් ගේ
උපවර්තන සල් උයනට පිරිස වැඩම කළහ.
වෙසක් මාසය නිසා ,උයන සල් මලින් බරවී තිබිණ .
මල් සුවඳ හාත්පස විසිරුණි .
විශාල සල් ගස් දෙකක් අතර ශෛලමය ආසනයක්
විය.තථාගතයන් වහන්සේ එහි වැඩියහ.
“ආනන්ද ,මට ක්ලාන්තය දැනේ .මෙතැන මට
සැතපීමට සකසන්න.”
“එහෙමයි ස්වාමීනි .”
පිළියෙළ කළ සයනයේ සැතපුණු තථාගතයන් වහන්සේ
ගේ රන්වන් සිරුර ශෝභාමත්ව බැබළෙන බව භික්ෂූන් ට
පෙනිණි .වම් සිරිපතුළ මඳක් පසුපසට වෙන්නට තබා ,අවර
දිගට මුහුණලා ..උතුරට සිරස යොමා වැඩ සිටි මගේ බුදු
පියාණන්ගේ ආශ්චර්යමත් රූප කායට මඳ සුළඟ පවන්
සැලීය.මල් සිය දහසක් අහසේ සිට බුදු සිවුරේ ස්පර්ශ වී
බිම පතිතවිය . පුවත සැළවූ රජදරුවන් ඇතුළු විශාල පිරිසක්
සුසුම් හෙළමින් ..හඬමින් මඳක් පසුපසට වී වටා රැස් වූහ .
මඳ අඳුර ගලා එන්නට විය.වළා තුළින් ගිගුම් හඬ වරින් වර
ඇසුණි . ආනන්ද හිමියන් පසෙකට වී කඳුළු නතර කර
ගැනීමට අපොහොසත්ව ඉකි බිඳිනු ඇසිණි .
තථාගතයන් වහන්සේ අනඳ හිමි කැඳවා ,අවවාද දී සැනසූ සේක.
සුදු වතින් සැරසුණු සුභද්‍ර නම් පිරිවැජියෙක් ,සෙනග
පීරා ගෙන බුදුන් හමුවට පැමිණෙන්නට උත්සාහ දැරුහ .
තථාගතයන් වහන්සේ ඔහුට පැමිණීමට අවසර දුන්
බැවින් වැඳ එකත් පසෙක සිට ,ධර්මය අසා පැහැදිළි
කරගති.
වෙසක් පුරා හඳ අහසේ ඉහළටම නැංගේය .පහන් සිළු
ආලෝකයෙන් සල් උයන දිවා කල මෙන් ආලෝකමත් විය.
තථාගතයන් වහන් සේ ලෝකයාට අවසන් වරටද
සිංහනාද කරමින් :
“වය ධම්මා සංඛාරා
අප්පමාදෙන සම්පාදේථ ..”යන පරම සත්‍යය දෙසූ සේක.
පුරා සතළිස් වසරකට වැඩිකළක් ,ලෝකයා ගේ හිත සුව පිණිස
දහම් දෙසූ ,ඒ ශාන්ත මුව මඬල නිහඬවිය.
සල්මල් සුවඳ තදින්ම හමා ආවේය.
ගස් වැල් නිසොල්මන් විය.
පුරහඳ වළා පටයක සැඟවිණි .
තථාගතයන්වහන්සේ පිළිවෙලින් ආරෝහණ හා
අවරෝහණ ලෙස ධ්‍යානයන්ට සමවැදී ...
සතරවැනි ධ්‍යානයට අවසාන වශයෙන් සමවැදුණු සේක.
මහ පොළොව කම්පාවී ගුගුලේය.
දෙවියන් මල් වරුසා වැස්ස වීය.
අනඳ හිමියන් සිවුරු පොට මුව මත තබා නිහඬව කඳුළු
සැලීය.
තථාගත සම්මා සම්බුදු ම’ හිමි සඳ පිරිනිවනට වැඩිසේක.

රෝ.සි.
2024.05 .16.

A day in the life

Wednesday, May 22, 2024

පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොවේ


දෙවන රූපයට අනුව නිව්යෝර්ක් සිට මොස්කව් දක්වා ග්‍රීන්ලන්තයට ඉහළින් ගුවන් යානයක් පියාසර කිරීමේදී එහි දුර කිලෝමීටර 7500ක් වන අතර පළමු රූපයට අනුව අත්ලාන්තික් සාගරයට ඉහළින් හරි කෙළින් නිව්යෝර්ක් සිට මොස්කව් දක්වා පියාසර කරන විට එහි පියාසර දුර කිලෝමීටර 8910ක් වෙයි... එයට හේතුව වී තිබෙන්නේ පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොවන නිසාය... පෘතුවිය ධ්‍රැව වලදී මඳක් සමතලා වන අතර සමකයට කිට්ටු වන විට ගෝලාකාර බවින් වැඩි වෙයි...

මෙයින් අදහස් කරන්නේ පෘථිවි පෘෂ්ඨයේ ස්ථාන දෙකක් අතර කෙටිම දුර සෑම විටම සරල රේඛාවක් නොවන බවයි... මෙම මාර්ග දෙක අතර දුර ප්‍රමාණයේ වෙනස කිලෝමීටර 1410ක් පමණ වෙයි... මෙම දුර සැලකිය යුතු වෙනසක් වන අතර, නිව් යෝර්ක් සිට මොස්කව් දක්වා පියාසර කරන විට, සියළුම ගුවන්යානා සාමාන්‍යයෙන් ග්‍රීන්ලන්තයට ඉහළින් පියාසර කරන්නේ එබැවිනි...


- ධම්මික සමරතුංග -








A day in the life

Tuesday, May 21, 2024

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහීම් රයිසි




ඉරාන ජනාධිපති ආචාර්ය බ්රාහීම් රයිසි ගැන මෙවන් සටහනක් තැබීමට සිදූවේ යයි මීදුම සිතුවේ නැත.  මැදපෙරදිග ගැටුම  උග්ර වෙමින් තිබු අවස්ථාවක ප්රබල පාර්ශවකරුවෙකු බවට  ඉරාන ඉස්ලාම් ජනරජය  පත් වෙමින් තිබිනි. ඒ අතර ඔහු 2024 අප්රේල්  24 දා ලංකාවට පැමිණියේය. ඒ් ඉරාන ඉස්ලාම් ජනරජය ආධාර ලැබ නිමා කල උමා ඔය ව්යාපෘතිය විවෘත කිරීම සදහාය.

ලාංකීය ජනතාව ඔහුගේ පැමිණීම අපේක්ෂා කලත් , පැමිනෙන තෙක් පැමිනේයයි විශ්වාස කලේ නැත.

නමුත් නියමිත පරිිදි පැමින උමා ඔය ව්යාපෟතිය විවෘත කර ආපසු ගියේය.

 අද මැයි මාසේ 21 වෙනිදාය.

ඊයේ  අසර්බයිජාන දේශසීමාවේ පිහිටි ක්වොලාසි සහ කුඩාෆිරන් යන වේලි දෙක විවෘත කර ආපසු එන ගමනේදී ගමන් ගත්   බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය අනතුරකට ලක්ව  ඔහු ඇතුළු නව දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


 ඔහු නීතිවේදියෙකි.ඉරාන ඉස්ලාමීය ජනරජයේ අටවෙනි ජනාධිපතිවරයාය. 2021 අගෝස්තු 3 වෙනිදා සිට ජනාධිපතිධුරය දැරුවේය.2004 සිට 2014 දක්වා නියෝජ්ය අගවිනිසුරු ලෙසත් 2014 - 2016 දක්වා නීතිපති ලෙසත් 2019 - 2021 දක්වා අගවිනිසුරු ලෙසත් තනතුරු දැරීය.

 

 

 


A day in the life

Monday, May 20, 2024

පුංචි සිත් තුල පැලයක් රෝපනය කරමුු.




ළදරු පාසල්  දිවා සුරුකම් මධ්‍යස්ථාන සංකල්පය වර්තමානයේ  හැමතැනම ප්‍රචලිතය.  වයස අවුරුදු හතර වන විට බොහෝ දෙමව්පියන් තම දරුවන් ළදරු පාසල් කරා යොමු කරති.රජයේ මැදිහත්වීමක් ආධාරයක් නොමැති මෙම ආයතන ස්වේචා සංවිධාන , රාජ්‍ය නොවන සමාජ සේවා ආයතන සහ පෞද්ගලික ආයතන වශයෙන් ස්ථාපිතය.

 

අපේ අධ්‍යාපනය මුළදීම අයාලයේ ගොස් ඇති බවකි. නිසි සුුපරීක්ෂණයක් , මෙන්ම මුල් ළමා විය සවර්ධණය කිරීම පිණිස ජාතික වැඩපිලිවෙලක් ද නැති තරම්ය.

පසුගිය උත්සව සමයේ බොහෝ ළදරු පාසල් විසින් අවුරුදු උත්සව සංවිධාණය කර තිබිනි. ඒවා විසිතුරුය. කොහොමත් පුංචි එවුන් රොත්තක්දකින විට විසිතුරුය.සමහර ළදරු පාසල වල දේශීය රසකැවිලි හදන පොඩිත්තන් දැක ගත හැකිවිය. මෙය අගේ කළයුතු සංකල්පනාවකි.

 

අනාගත දරුවන්ට , දරුවන්ගේ ආහාරවල මුලාරම්භය ඉගැන්‍ම විශිෂ්ඨ කටයුත්තකි. ගෙවතු වගාව ඔවුන්ගේ මනස තුලට ඇතුළත් කිරීම මිළ කල නොහැකි ජීවන කුසලතා ඇති කරයි.

 ශාකවල ජීවන චක්‍රය  අවබෝධ කර ගැනීමට කරන උත්සහාය  තුලින්  පාංශු සෞඛ්ය සහ , ගෙවතු වගාවේ  එක් එක්  සෑම පියවරක්ම කුතුහලය හා විවේචනාත්මක චින්තනයක් ළදරු මනසේ ඇති කරයි.

 සෞඛ්ය සම්පන්නව සිටීමට තමන් කුමන අන්දමේ  අහාර තේරීම් කළ යුතුද , ඔවුන් පලතුරු හා එළවළු නිපදවීමට අවශ්ය උත්සාහය හා සත්කාරය හෙළි කරයි. එපමණක් නොව, එය අපේ පෘථිවියේ තිරසාර පිළිවෙත් වල බලපෑම වටහාගෙන ඇති අතර පරිසරය සඳහා වගකීම සහ භාරකාරත්වය පිළිබඳ හැඟීමක් ඇති කරයි.

 

ගෙවතු වගාව භෞතික ක්‍රියාවන්ගෙන්  ඔබ්බට, ඉවසීම, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය  සහ ජයග්‍රහණය  පිළිබඳ සිත්තුල හැඟීමක් වර්ධනය වේ.

කුඩා බීජ සරිලන ශාකයක් බවට පරිවර්තනය කිරීම දැකීම වර්ධනයේ සුන්දරත්වය සහ නොපසුබස්නා උත්සාහයේ විපාක ඔවුන්ට උගන්වයි.

 

එළිමහනේ හැසිරීම මානසික යහපැවැත්ම ප්‍රවර්ධණය  කරයි, ආතතිය අඩු කිරීම සිදුකරයි.   ස්වාභාවික ලෝකය සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරයි.

 

 දීප්තිමත්, සෞඛ්ය සම්පන්න අනාගතයක් තුළට මල් පිපෙන දැනුමේ බීජ වැපිරීම අපගේ යුතුකමයි. ඔවුන්ගේ පිඟානේ ඇති දේ පමණක් නොව පිගාන දක්වා  ආහාර වලට යාමට ගතවන ගමන ඔවුන්ට ඉගැන්වීමෙන් ළදරු වියේදීම අනාගත තරුණ මනස පෝෂණය කරමු.

 එවිට අපට  වස විසෙන් තො ආහාර අනුභව කරන්නන්ගේ පරම්පරාවක් සහ පෘථිවියේ වගකිවයුතු භාරකරුවන් පිරිසක් වර්ධණය  කර ගත හැකිය.

ඔබේම ආහාර ඔබම වගා කරන්න.

දැන් දැන්ම පුංචි සිත් තුල ඒ අදහස රෝපනය කරන්න.

 

 



A day in the life