Friday, December 06, 2024

ඇදුමක කතාව.






නවක මන්ත්‍රීවරුන් 168 ක් සහිත පාර්ලිමේන්තුවක් තේරී පත් වී ඇත. ආයතනයක් නවකයින්ගෙන් පිරෙන විට ‘සාම්ප්‍රදායට’ අගයක් ලැබීම අනිවාර්ය ප්‍රතිඑලයකි. මන්ත්‍රී ඇඳුම ගැන කතාව වැදගත්වන්නේ ඒ නිසාය. ‘පිරිපුන් අංගසම්පූර්ණ ඇඳුම’ සංකල්පය අහසින් කඩා පාත්වූවක් හෝ එංගලන්ත පාර්ලිමේන්තුවෙන් ගෙඩිය පිටින් ආනයනය කළ හෝ දෙයක් නොවේ. ඡන්දය දුන් මහජනතාවට ගෞරවයක් ලැබෙන ලෙස, නියෝජිතයින් සභාවට ගෙන්වා ගැනීම සඳහා සැකසුණු රීතියකි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ දකුණු කොළඹ මන්ත්‍රී බර්නාඩ් සොයියා ටයි පටිය නොමැතිව, ෂර්ට් - කලිසම සහ කබාය ඇදගෙන පාර්ලිමේන්තුවේ සභාවට පැමිණි විට කතානායකවරයා ඔහුට සභාවෙන් ඉවත් වෙන ලෙස දැන්වීය. මෙයින් ටික කලකට පසුව, දෙවන වරටත් වෙනත් මන්ත්‍රීවරයෙකුත් එවැනිම සිද්ධියකට මුහුණ දුන් විට, 1973 නොවැම්බර් 14 දින පැවති පක්ෂ නායක රැස්වීමේ දී කතානායක ස්ටැන්ලි තිලකරත්න ඇඳුම ගැන දැනුම්දීමක් සිදු කළේය.

ජාතික ඇඳුම, සාම්ප්‍රදායානුකුල ඇඳුම (පූර්ණ යුරෝපීය ඇඳුම), කලිසම හෝ රෙද්ද සමඟ බෙල්ල දක්වා පියවන ලද අත් දිග දිග ටියුනික් කොලරය (Tunic Collar) සහිත කබාය, පිළිගත් ආගමික විශ්වාසයන්ට අදාළ වන තොප්පිය, භාවිතයට පැමිණියේ ඒ අනුවය. මේ මුලික නිර්ණායකයට මන්ත්‍රීවරුන් සෑම විටම ලා පැහැදි ඇඳුම් ඇඳිය යුතු යැයි ද, තද පැහැති/වර්ණවත් හෝ ඉරි සහිත/චෙක් ඇඳුම් පාර්ලිමේන්තු සභාවට ඇඳිමෙන් වැළකිය යුතුය යන නියෝගය ද ලැබී ඇත. (ඊ - අමුණුම)

මුල් යුගයේ (පිරිමි) මන්ත්‍රීවරුන් ජාතික ඇඳුම (ආර්ය සිංහල ඇඳුම) හෝ පූර්ණ යූරෝපීය ඇඳුමෙන් පාර්ලිමේන්තුවට පැමිණියෝය. පසුව, ටියුනික් කොලරය සහිත අතර මැද ඇඳුම, නැත්තම් කපටි සූට් එක මුලින්ම ඇන්දේ කලවාන මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම යැයි අදහසක් ඇතත්, ලලිත් ඇතුලත්මුදලි ද එයම කළේය. පසුව ජනතා විමුක්ති පෙරමුණේ සමාජික මන්ත්‍රීවරුන් බහුතරයක් ඇන්දේ ඒ ඇඳුමය.

1956 දේශපාලන විප්ලවයත් සමඟම යුරෝපා ඇඳුම වෙනුවට, ජාතික ඇඳුම අදින පිරිසක් පාර්ලිමේන්තු ආවේය. එයින් බහුතරය බණ්ඩාරනායකයන් අනුගමනය කරමින් ජාතික ඇඳුම ඇන්දේ ජීවිතයේ පළමුවරට යුරෝපා ඇඳුම හැඳ එය තමන්ට නොගැලපෙන බව වැටහුණු විටය. සරළව ෆුල් සූට් ඇඳ කෙලින් ඇවිදින්නට බැරි නිසාය. 1956 පැමිණි සැලකිය යුතු පිරිසක් 1960 මාර්තු ඡන්දයෙන් ද, 1965 ඡන්දයෙන් සම්පූර්ණයෙන්ම වාගේ ගෙදර ගියෝය.

1970 පාර්ලිමේන්තුව පිරුණේ බුලත්විට කන, සෙරෙප්පු දාන, යුරෝපා ඇඳුමත් නොවන ජාතික ඇඳුමත් නොවන එදිනෙදා සමාන්‍ය ජනතාව ඇඳින වේට්ටිය, කමිසය කලිසම අඳින ගුරුවරුන්, විදුහල්පතිවරුන්, රජයේ මධ්‍ය මට්ටමේ රැකියා දැරූ ලිපිකරුවන්, කේෂ්ත්‍ර නිලධාරීන්, වෛද්‍යවරුන්, වෙද මහත්වරුන්ගෙනි. 1970 දෙසැම්බර් 29 මන්ත්‍රී විශ්‍රාම වැටුප පාර්ලිමේන්තුවේ සම්මත වූ වේ මේ අහිංසක, නිර්ප්‍රභූ මන්ත්‍රීවරුන්ගේ ජීවිතයේ සැදෑ සමය වෙන අයෙකුට අත නොපා ජීවත්වන්නට පාර කපන්නය.

වත්මන් කතානායකවරයා අදිනු ලබන්නේ 2000 වසරේ දී අනුර ප්‍රියදර්ශන බණ්ඩාරනායකට එංගලන්ත පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ නිල ඇඳුම් සපයන්නා විසින් කැපුම් කොට මසා දුන් ඇඳුමයි (Robe). එහි රෙද්ද, බොත්තම්, ලේස් සහ අනෙකුත් දැ එංගලන්ත ප්‍රමිතියටම සකස් කර තිබුණි. (a roge of black satin damask trimmed with gold lace, a mourning rosette (also known as a ‘wig bag’) and grogs with full bottomed wig.)

වෙනත් කතානායකවරුන් විසින් ඇඳින ලද ඇඳුම් ඇඳීම අනුර විසින් ප්‍රතික්ෂේප කළ බැවින්, පාර්ලිමේන්තුව විසින් අනුරගේ මිම්මට නව ඇඳුම මස්සවනු ලැබීය. එතෙක් අනුර මුල් පුටුවේ සිටින විට ද ඇන්දේ ජාතික ඇඳුම පමණී. අද පාවිච්චි කරන කතානායක සිල්ක් එක (හිස් පළදනාව) ද මුල්වරට අදිනු ලැබූවේ අනුර විසිනි.

අනුර සෑම විටම පාහේ කතානායක හිස්පලදනාව මගහරින්ට උත්සහ කළේය. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව දැක්වෙන, ඔහුගේ අති උද්කෘෂ්ඨ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ද, හිස් පලදනාව රහිතවය. ආනන්ද තිස්ස ද අල්විස් කතානායක හිස්වැසුම තබා කතානායක ඇඳුම් ආයිත්තමය අදින්නට පවා කැමති වූවෙකු නොවීය.

රාජක්ෂ පවුල කුරහන් සාටකය දමාගෙන පාර්ලිමේන්තු ආවේ කෙසේ දැයි නවක මන්ත්‍රීවරයෙකු විමසා තිබුණි. 1947 ඩී.ඒ.රාජපක්ෂ ගේ සිට මහින්ද, චමල්, බැසිල්, නාමල් යන සියළුම හම්බන්තොට රාජපක්ෂවරු කුරහන් පාට සාටක පැලදියේය. මොණරාගල ශෂින්ද්‍ර රාජපක්ෂ ද පසුව ඒ ලැයිස්තුවට එක් විය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, එස්.ජේ.වී.චෙල්වනායගම්, සී.සුන්දරලිංගම් වේටිටිය ඇඳ සාටකයක් දමා පාර්ලිමේන්තු පැමිණි මුල්ම පරම්පරාවේ උදවියයි. ඔවුන් පාර්ලිමේන්තුවට සැරසී ආවේ ‘ඕෆ් වයිට්‘ (රත්තරං පාට නූල් සහිත සුදු) සාටකයකි. යාපනයේ ද්‍රවිඩ ජනතාව උත්සව අවස්ථාවන්ට අදින වේටිටිය හා එහි බෝඩරය ඔවුන්ගේ අනන්‍යතාවයයි. අනුරාධපුර තිස්ස කරලියද්ද, ත්‍රිකුණාමලයේ එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන නිල් පාට සාටක පැලඳියේය. එජාපයෙන් පැමිණි ගාල්ලේ හේමකුමාර නානායක්කාර කොළ පාට සාටකයක් පැලැන්දේය. මේ ව්‍යවහාරය නිසා සාටකය පාර්ලිමේන්තු ඇදුමේ පිළිගත් අංගයකි.

රංජන් රාමනායකට සිරදඬුවම් නියම වූ පසුව හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට කළු සාටකයක් පැලද පැමිණ කිවේ රංජන් නිදහස් වනතුරු තමන් කළු සාටකය පළදින බවකි. රංජන් සිරගෙදර සිටියත්, 2022 ජූලි හරීන් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ලබා සභාවට පැමිණෙන විට ඔහුගේ කළු සාටකය බෙල්ලේ තිබුණේ නැත.

බණ්ඩාරනායකයන් ශ්‍රීලනිප දේශපාලන කටයුතු සඳහා නිල් පැහැති සාටකයක් පැළදි නමුත් පාර්ලිමේන්තුවට ඇන්දේ සුදු රත්තරං පාට බෝඩරයක් සහිත සාටකයකි. අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක තනතුරට පත් වූ පසුව ජාතික ඇඳුම සමඟ රත්තරං පාට කුඩා තීරු දෙකක් සහිත සුදු සාටකයක් ඇන්දේය. අනුර විපක්ෂනායකවරයා ලෙස මුලින්ම ඇන්දේ නිල් පැහැති තීරු දෙකක් සහිත සුදු සාටකයකි. (1950 – 1977 විවෘත ආර්ථිකය දක්වාම සාටකය ආර්ය සිංහල ඇඳුමේ අංගයකි)

සිලෝන් පබ්ලික් සර්විස් හි අනුරාධපුර හා පොලොන්නරුව දිසාපතිවරුන් වූ නිශ්ශංක විජේරත්න හා සී.පී.ද සිල්වා ද පාර්ලිමේන්තුවට ආවේ මෆ්ලර් එකක් දමාගෙන ය. මාලිගාවට යන විට සුදු පාට මෆලර් දැමූ විජේරත්නයන්, පක්ෂයේ වැඩවලට කොළ පාට ද, පාර්ලිමේන්තුවට එදා ප්‍රංශයෙන් ගෙන්වා ගත් ලා පාට එකතුවෙන් මෆලරයක් ද තෝරාගත්තේය.

මන්ත්‍රීවරුන්ගේ පුහුණු සැසියට සෙරෙප්පු දමාගෙන පැමිණීම ගැන සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණි. වැලිමඩ මන්ත්‍රී එස්.ඒ.ආර්. මද්දුම බණ්ඩාර, විදුර වික්‍රමනායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන පාර්ලිමේන්තුවට ආවේ සෙරෙප්පු නැතිවය. සෙරෙප්පු දමාගෙන පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරුන් නොමැති තරම්ය.

1994 හම්බන්තොට ලැයිස්තුවට පිටින් පත් කළ ප්‍රගතිශීලි පෙරමුණේ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති දිවුරුම් දෙන්නට පැමිණියේ තද රතුපාට අත් දිග කමිසයක් ඇඳගෙනය. එය නැවත සිදු නොකරන ලෙස දැන්වීමෙන් පසුව ඔහු සුදු කමිසය අදින්නට පටන් ගත්තේය.

මෙවර හරිනි අමරසූරිය අගමැතිනිය ද මේ සිද්ධිය දැන හෝ නොදැන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාවට පැමිණියේ තද රතු සාරියකින් සැරසී ය.

ශ්‍රීමනී ඇතුලත්මුදලි උදරය ආශ්‍රිත සැත්කමකට භාජනය වීම නිසා සාරිය ඇදිය නොහැකි තත්වයකට පත් වූ විට දිගු ගවුමක් අදින්නට වෛද්‍යමය හේතුමත කතානායකවරයා අනුමැතිය ලබා දුන්නේය. පරිසර අමාත්‍යාංශයට අදාල ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට ගවුමකින් සැරසී පැමිණි ඇය, තම වගකීම නිම වූ වහාම සභාවෙන් පිටවිය. බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් ලංකා පාර්ලිමේන්තුව අමතනු ලැබූවේ ද, ගවුමකින් සැරසීගෙන ය.

2009 ජූනි සර්වාර් කමීස් නමින් හැඳින්වෙන කුර්තා ඇඳුමකින් සැරසී පැමිණි තංගේෂ්වරී කදිරාමන් ට සභාවට ඇතුළුවීමට අවසර ලැබුණේ නැත.

ජවිපෙ නියෝජනය කරමින් ගම්පහින් පත් වූ අන්ජාන් උම්මා හිජාබ් ඇඳුමෙන් පැමිණි එකම මන්ත්‍රීවරයාය.

අන් සියළුම කාන්තා මන්ත්‍රීවරු ඇන්දේ ඉන්දීය හෝ උඩරට සාරියයි. පවිත්‍රා, සුදර්ශනී, තලතා, ගීතා ඉන්දීය සාරියට කැපී පෙනුනු අතර සිරිමා, චන්ද්‍රිකා, සුමිත්‍රා ප්‍රියංගනී, සීතා අරඹේපොල, රෝහණී කවිරත්න උඩරට සාරියට කැපී පෙනුනෝය. උඩරට සාරිය ද, සාරි පොට සකසන ආකාරය අනුව, ඔසරිය සහ ඔහොරිය යැයි කොටස් දෙකකි. සාරි පොට මැදින් නමා අඳින, සාම්ප්‍රදායික උඩරට ඔහොරිය පාර්ලිමේන්තු අඳින එකම මන්ත්‍රීවරිය මාතලේ රෝහිණී කුමාරි විජේරත්න ය.

වැඩියෙන්ම මේකඅප් ආලේපන දමා පාර්ලිමේන්තු ආවේ ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ ය. සිරිමා මැතිනිය සමඟ 1989 පාර්ලිමේන්තුවේ සිටි සුමේධා ජයසේන, හේමා රත්නායක සහ සුමිත්‍රා ප්‍රියංගනී සිව් දෙනාම ආලේපන දැම්මේම නැති වුවත් ඇට මාල දැම්මෝය. සමාන ඇඳුම් විලාසිතාව නිසා ඔවුන් ආච්චී සමඟ යන මිණිබිරියන් ලෙස පෙනුනි.

2001 බද්දේගම සමිත හිමියන් ගාල්ලෙන් ද, 2004 ජාතික හෙළ උරුමයෙන් නියෝජනය කරමින් දිස්ත්‍රික්ක ගණනාවකින් ද, පාර්ලිමේන්තුවට පැමිණි භික්ෂුන් වහන්සේලා සිවුරු හැඳගෙන සභාවට පැමිණියේ ය. සිවුර හෝ ආගමික නායකයින්ගේ ඇඳුම් ගැන පාර්ලිමේන්තුවේ සටහනක් නැත.

හෙළ උරුමය නියෝජනය කරමින් එදා පැමිණි මන්ත්‍රී හාමුරුවන් බහුතරය කාන්තා මන්ත්‍රීවරුන්ගේ සාරියට තරමටම අලංකාර, සමහරවිට එයටත් වඩා වටිනා, නෙක රටා සහිත සිවුරු හැද සිටියෝය.

මුස්ලිම් ජාතිකයින්ට අනන්‍ය වූ තුර්කි තොප්පියෙන් කල්මුණේ මන්ත්‍රී එම්.එස්. කාරියප්පර් ද, සමන්තුරේ මන්ත්‍රී යූ.එල්.එම්. (තොප්පි) මොහිඩීන් ද සභාවට ආවෝය. මැද කොළඹ ශ්‍රීමත් රසීක් ෆරීඩ් තුර්කි තොප්පිය ද, කබායේ ගැසූ ඕකිඩ් මල ද සිය අනන්‍යතාවය කරගත්තේය. ජාතික ලැයිස්තුවෙන් පැමිණි මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී එන්.එම් බුහර්දීන් ද රතු පාට තොප්පියක් ඇන්දේය. ලංකාවේ මෙන්ම තවත් රටවල ද ආසියානු මුස්ලිම්වරුන්ට සිය සංස්කෘතික අනන්‍යතාව දැක්වීමට තොප්පිය පැලදීමට අවසර දී තිබුණි. 1989 පාර්ලිමේන්තුවට පැමිණි ඒ.එච්.එම්. අශ්රොෆ් වසර දෙකක් පමණ මුස්ලිම් ජාතිකයින් පළදින සුදු තොප්පිය පැලඳුවේය.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එස්.එම්. අබුබකර් ද සුදු මුස්ලිම් තොප්පිය දැම්මේය. උපතින් ද්‍රවිඩ ජාතිකයෙකු වූ ඔහු පසුව මුස්ලිම් ආගම වැලඳගත් නිහඬ චරිතයකි. ලා කළු ජාතික ඇඳුමකින් ද ඔහු සභාවට පැමිණ ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් වූ විට එම මන්ත්‍රීවරුන් ඇඳිය යුත්තේ කුමන ඇඳුම ද යන්න පිළිබඳ දේශපාලන පක්ෂ නිර්දේශ කරන අවස්ථා ද නැතිවා නොවේ.

1994 ජනති විපුලගුණ ගෙන් පටන් ගෙන හේරත්, වස්කඩුව, කොඩිතුවක්තු ආදී වශයෙන් මනාප ලැබූ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ලැයිස්තුවෙන් පත් තුන්වෙනියට පත් වු අය ඉල්ලා අස් නොවී දිගටම තියා ගන්නට චන්ද්‍රිකා, එස්.බී. ඇතුළු පිරිසට උවමනා විය. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අතර වස්කඩුවට පාර්ලිමේන්තුවට ඇඳගෙන යන්නට සුදුසු මන්ත්‍රීවරයෙකුට ගැලපෙන ඇඳුමක් ද සකස් කර ඔහුගේ අතට පත් කර තිබුණේ ‘ඇඳුම‘ මන්ත්‍රී ධූරයේ ප්‍රමුඛ අංගයක් නිසාය.

වියත්මග වෛද්‍ය උපාධිධාරීන් තොග පිටින් 2020 පාර්ලිමේන්තුවට පැමිණි විට වෙද නලාව පාර්ලිමේන්තු ඇඳුමේ අංගයක් විය හැකි බව උපහාසයට කියවුනේ පොහොට්ටුවේ වියත්මග කැම්පේන් ඒක වෙද නලාව සමඟම දියත්වූ නිසාය. මෙවර කැලණිය හා ජයවර්ධනපුර උපාධිධාරී සටන නිසා කැම්පස් කලර් ටයි - කබාවලින් පාර්ලිමේන්තුවට යා හැකි යැයි විහිළු කතා කියන්නේ ද ඒ නිසාය. තම ඉස්කෝල ටයි පටියෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරුන් ද වෙති.

1989 බදුල්ලේ එඩ්වින් වික්‍රමරත්න ඇතුළු පිරිසක් තමන්ට ආරක්ෂිතව නවතින්නට තැනක් නැතැයි කියමින් පාර්ලිමේන්තුවේ පැදුරු දමා නිදාගත්තේය. පසුවදා ඔවුන් ඒ ඇඳුම් පිටින්ම සභාවට පැමිණීමට උත්සහ දැරූ නමුත් වේත්‍රධාරී එය වැලැක්වීය. මන්ත්‍රීවරුන්ට තැබ්‍රොබෙන් හෝටලයේ ද, ශ්‍රාවස්තියේ ද නවාතැන් ලැබුනේ ඒ අනුවය. භිෂණය නිසා ගම් රටවලට යා නොහැකි මන්ත්‍රීවරුන් ඇඳුම් මාරුකරගෙන ඇන්ද බව ද, එස්.බී.දිසානායක ගේ රතුළුණු, උම්බලකඩ, අමුමිරිස් බයිට් එක ‘ජාතියේ පාර්ලිමේන්තු බයිට් ඒක’ බවට පත් වූවේ ද එහි ප්‍රතිඑල ලෙසිනි. අවසානයේ මාදිවල කම්කරුවන්ට සකස් කළ නිවාස සංකීර්ණයක්, මන්ත්‍රී නිවාස බවට පත් වූවේ ද එඩ්වින් ලා ගේ විප්ලවය නිසාය.

1995 දී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු සේවයකින් විසින් එවකට පැලදි ‘රතු බාපනයක්‘ පැලදි සභාවට පැමිණියේ වැඩවසම් යුගයේ අධිරාජ්‍යවාදී සංකේතයක් වන බාපනය සේවක නිල අඳුමේ අංගයක් ලෙස භාවිත නොකරන ලෙස ඉල්ලමිනි. ඩලස් ගේ ඉල්ලීම ඉටු කරන බව නියෝජ්‍ය කතානායකවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් පසුව ඔහු රතු බාපනය ඉවත් කළේය.

උතුරෙන් තේරී පත් වූ දෙමළ මන්ත්‍රීවරුන් ‘සෆාරි ඇඳුම’ යැයි ප්‍රකට වූ සාක්කු හතරක් සහිත අත්කොට කමිසය හා කලිසමින් සභාවට පැමිණීමට උත්සහ කළ නමුත් එයට අවස්ථාව ලැබුණේ නැත.

ජාතික ඇඳුම ද, ආර්ය සිංහල ඇඳුම ද යුග දෙකක ටියුනික් කොලරය සහිත හා රහිත ලෙසින් පැවතුණි. ද්‍රවිඩ ජාතිකයින් ද, කුරුණෑගල යූ.බී.විජේකෝන් වැනි අය ද, ඇන්දේ කොලරය රහිත, අත මැනික් කටුවෙන් විවරව පේන ජාතික ඇඳුමකි. ආර්ය සිංහල ඇඳුමේ අත මැනික් කටුව අසල තිබූ ලොකු විවරය, පාර්ලිමේන්තු ඇඳුමේ දී අත අග බොත්තමක්, පිත්තල හෝ සුදු යකඩ බොත්තමක්, කෆ්ලින්ස් සවි කිරීමෙන් වසා දැමුණි. පසුව ජාතික ඇඳුමට බෙල්ල වැහෙන ටියුනිප් කොලරය අනිවාර්ය වූවේය. දැන් නම් අතේ මැනික් කටුව පෙනෙන සේ අත් සහිත ජාතික ඇඳුම කිසිවෙකු අදින්නේම නැත.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ තුන්නූරු ඉරි තුන සහ රතු තිලකය තබා ය. කොවිලක සාමාන්‍ය යෙන් ගාන තුන්නුරු වලට වඩා පැහැදිලි හා දීප්තියෙන් යුතු හා රතු තිලක ඔහුගේ කැපී පෙනුණි. එයින් මතු වූයේ යාපනයේ බ්‍රාහ්මණ ප්‍රභුත්වය යි.

ද්‍රවිඩ ජාතිකයින්ගේ ජාතික ඇඳුම -- ‘දෝතිය‘ හැඳ කිසිම මන්ත්‍රීවරයෙකු මේ දක්වා පාර්ලිමේන්තු පැමිණ නැත.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා 2021 දී කළු පැහැති මෝස්තරයක් සහිත කමිසයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි විට ඔහුට සභාවෙන් ඉවත්වීමට බල කරනු ලැබීය.

විමල් වීරවංශ හා අනුර කුමාර දිසානායකගේ ටියුනිප් කොරල් කමිසය හා ඒවා ඇඳිය යුතු ආකාරය ගැන වි.ජ.මූ. ලොකුබණ්ඩාර කතානායකවරයා දෙවරක් අදහස් දක්වා තිබුණි. අනුර කුමාර මන්ත්‍රීවරයා මුල් කාලයේ උඩ බොත්තම විවර කර කතා කරන්නට කැමති වූ බව සජීවි විකාශන නැරඹූ අයට රහසක් නොවේ.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි තම පක්ෂයේ පාට නිසා දෝ ලා නිල් පැහැති ජාතික ඇඳුමින් සභාවට පැමිණි අතර, බතික් ඇමති කාලයේ බතික් ඇඳුමකින් පාර්ලිමේන්තු ආවේය. මහ ලේකම් ධූරය ද, බතික් ඇමතිකම ද අහිමි වූ පසුව දයාසිරිගේ ඒ විලාසිතා නැති විය.

වත්මන් කතානායක රන්වල මෙන්ම 1977 කතානායක ධූරයට පත් ආනන්ද තිස්ස ද අල්විස් ද මුලින් කතානායක ධූරයට පත්ව දෙවනුව මන්ත්‍රී වූ පුද්ගලයින් ය. මාගේ මතකය නිවැරදි නම් ආනන්ද තිස්ස ද අල්විස් කතානායක විග් (සිල්ක්) එක දැමූවේ නිල අවස්ථා කිහිපයක දී පමණී. ඔහු කතානායක නිල ඇඳුම ඇන්දේම නැති තරම්ය. විග් ඒක දැම්මේම නැත.

සී.වී.ගුණරත්න හා කිංස්ලි වික්‍රමරත්න යුරෝපීය ඇඳුමට තද රතුපාට ලේන්සුව පැලදීම නිසා පාර්ලිමේන්තුවේ කැපී පෙනුණු මන්ත්‍රීවරුන් ය. වරක් ඒ.එච්.එම්.අස්වර් හා සී.වී.ගුණරත්න පාර්ලිමේන්තුවේ පැටළුණු විට සී.වී. සභාව හිනස්සමින් අස්වර්ට කිවේ ‘රතු පාට ලේන්සු දැක්කාම ගොන්නු කොහොමත් කලබල වෙනවා කියාය. කිංස්ලි කබායේ පාටට ගැලපෙන ලේන්සුවක් සාක්කුවේ දමා සිටියේය.

මන්ත්‍රී සුරේන් රාගවන් ‘බෝ ටයි’ එක පැලද සභාවට පැමිණි විට විපක්ෂය එයට විරෝධය පළ කළ නමුත් ‘බෝ ටයි එකට වඩා රටේ ප්‍රශ්න ඇතැයි’ එය ලිස්සා ගියේ පසුගිය සභාවේ දී ය.

ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක අමුඩයකින් සැරසී පාර්ලිමේන්තුව අසලට පැමිණි නමුත් ඔහු ඒ ඇඳුමින් සභාවට ගියේ නැත. පරණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම පාමුල දී කලින් සූදානම් කර සිටි ඡායාරූප ශිල්පියෙකු දහනායකගේ අමුඩය පත්තරේටම ගත්තේය.

සරම, උඩ රත්තරං පාට පියවන බොත්තම දැමූ කමිසය, කෝට් එක සමඟ සභාවට එජාප ජාතික ලැයිස්තුවෙන් පත්කළ අයි.ඩබ්ලිව්. ප්‍රනාන්දු (කොණ්ඩ වෙදමහත්තයා) පැරණි සමාජයේ වෙද පරම්පරාව නියෝජනය කළේය. ඔහු බඳ වටේ සමරට උඩින් සාක්කු පොකට් සහිත බඳ පටියක් ද පැලැන්දේ, එයින් කොටසක් කෝට් එකට යටින් විවරව පෙනෙන ලෙසය.

ජේ.ආර්.ජයවර්ධන පාර්ලිමේන්තුවට ඇන්දේ තමාමට ආවේනික ලෙස සකස් කරගත් ඉණ ට පොඩ්ඩක් උඩින් සාක්කු දෙකක් ඇති අමුතුම ජාතික ඇඳුමකි. (මිනිස්සු ඒකට ජේ.ආර්.කිට් එක යැයි ද කිවෝය.) අගමැති රත්නසිරි වික්‍රමනායක ද එම ඇඳුමේ ආරයට සැකසූ ඇඳුමකින් පාර්ලිමේන්තු ආවේය.

පාර්ලිමේන්තුවට පමණක් නොව පළාත් සභාවට ද, දිස්ත්‍රික්ක සංවර්ධන සභාවට ද සුදුසු යැයි සම්මත ඇඳුමක් විය. කොළඹ දිස්ත්‍රික්ක සංවර්ධන සභාවට ජවිපෙ උපතිස්ස ගමනායක ඇතුළු පිරිස සම්පූර්ණ ඇඳුමකින් සැරසී නොපැමිණි විට ඒ බව වීරසිංහ මල්ලිමාරච්චි අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබීය. ජවිපෙ මන්ත්‍රීවරුන්ට විහිළුවට මෙන් තමන්ට එවැනි ඇඳුම් නැතැයි කී නමුත්, ඔවුහු සුදුසු ඇඳුම් සම්ප්‍රදායට වහා අනුගත වූවෝය.

අලුත් පාර්ලිමේන්තුවට ක්‍රමය වෙනස් කරන්නට ජනවරමක් තිබේ. පළමු දිනයේ ඔවුන් කතානායක ඇඳුමේ සිට රතු සාරිය දක්වා බොහෝ දේ වෙනස් කළේය. පුහුණු සැසියේ දී මන්ත්‍රී ඇඳුමේ බොහෝ සම්ප්‍රදායන් උඩ යට හැරවී තිබුණි. ක්‍රම වෙනස මන්ත්‍රී ඇඳුමෙන් ඇරඹී හැකි නමුත්, ඉක්මනින්ම ආණ්ඩුකරණය ද, රටේ ප්‍රශ්ණ විසඳීම ද එයට පෙරම ඇරඹිය යුතුව ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්
A day in the life

Thursday, December 05, 2024

ඔබ සොයමින් එනවා........



මියැසිය   -ආචාර්ය අමරදේව

සැදෑ අදුර තුල 
හිරු මියයනවා
සොයමින් එනවා 
 ඔබ සොයමින් එනවා
සොයමින් එනවා
ඔබ සොයමින් එනවා

හඩා වැටෙන තරු 
කදුලැලි වැස්සේ
මට හමුවෙනවා
ඔබ  මට හමුවෙනවා
මට හමුවෙනවා
ඔබ මට හමුවෙනවා
සොයමින් එනවා
ඔබ සොයමින් එනවා

අඩ සද බැස යන 
අලුයම් යාමේ
ලොව වැලපෙනවා
මුලු ලොව වැලපෙනවා
ලොව වැලපෙනවා
මුලු ලොව වැලපෙනවා

විලිලන අදුරින
හිරු බිහිවෙනවා
වෙන්වී යනවා
මම වෙන්වී යනවා
ලොව වැලපෙනවා
මුලු ලොව වැලපෙනවා
වෙන්වී යනවා 
මම වෙන්වී යනවා..


day in the life

Saturday, November 30, 2024

ජීවිතය……..







ජීවිතය……..

මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.

එහෙම හිතුවත් තාත්තා වෙන්න මට බැහැ.

ගම්පෙරලියේ ජිනදාස මලය රටට යනවා.ඒ කියන්නේ වියලි කලාපයට.

ජිනදාස අසාර්ථක වෙනවා.

පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.

ගම්පෙරලිය සිදුවන කාලේ  දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.

දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා. 

අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.

දිවයිනේ හැම ගම්පියසකම මාතර  වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා.

මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.

මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා.

වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.

අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා

මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.

අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා.

දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.

තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.

ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .

හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්..පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.

එතන තමයි තාත්තගේ ඇරඹුම.

අපේ උපත.

තාත්තාට අම්මා මුණ ගැහුනා.

ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා

අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.

අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.

අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා.

සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..

තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ.

තාත්තා විශිෂ්ඨයෙක්.

A day in the life

Friday, November 29, 2024

දානයක් සංඝික කිරීමට කොපමණ භික්ෂූන් වහන්සේලා සිටිය යුතු ද?








'දානයක් සංඝික කිරීමට යටත් පිරිසෙයින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය’ යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේ ය. එය සංඝික කිරීමය යන්නෙහි තේරුම නො දැනීම නිසා ඇති කරගෙන තිබෙන වැරදි හැඟීමෙකි.
සංඝික කිරීම භික්ෂූන්ට අයිති වැඩක් නො වේ. දායකයකු ගේ දානයක් සංඝික කිරීම දායකයා ගේ වැඩකි. ආහාරපානාදි යම්කිසි වස්තුවක් සංඝික කළ හැක්කේ ඒ වස්තුවේ අයිතිකරු විසින් පමණෙකි. අනිකකුට එය නො කළ හැකි ය.
දාන සංඝික කිරීමේ දී “ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දෙම” යන වගන්තිය භික්ෂුවක් විසින් කියවන්නේ සංඝික කිරීමේ දී කියයුතු ඒ වැකිය දායකයන් කියන්නට නො දන්නා නිසා ය. සංඝික වන්නේ භික්ෂුව විසින් ඒ වගන්තිය කියවන නිසා නොව දායකයා විසින් ඒ වස්තුව සංඝයාහට පූජා කරන නිසා ය.
"සංඝික” යන වචනයේ තේරුම, සංඝයා අයත් දෙයය යනුයි. “සංඝයාට අයිති දෙය සංඝිකය” යි කියනු ලැබේ. යම් කිසිවකු විසින් තමාට අයිති වස්තුවක් ඒ වස්තුවෙහි තමාට ඇති අයිතිය අතහැර එහි අයිතිය සංඝයාට පිරිනමනවා නම් එයට සංඝික කිරීමය යි කියනු ලැබේ. සංඝික කරන තැනැත්තා විසින් සංඝයා හැඳින එය කළ යුතු ය. විනය කර්ම කිරීමේ දී සතර නමක් වූ හෝ සතර නමකට වැඩි උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා වශයෙන් සලකනු ලැබේ. වස්තුවක් සංඝික කිරීමේ දී සැලකිය යුත්තේ සංඝ රත්නය ය.
සංඝරත්නය යි කියනුයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන් වහන්සේ සමග වැඩහුන් සැරියුත් මුගලන් ආදි මහ රහතන් වහන්සේලා ගේ පටන් අද දක්වා යම් පමණ කුල පුත්යන් මේ ශාසනයෙහි පැවිද්ද ලැබුවා නම් ඒ සැම දෙනා වහන්සේ ය. සාමණේරයෝ ද සංඝරත්නයට ඇතුළත් ය. සංඝික වස්තුවක් බෙදීමේ දී සාමණේරයන්ටත් කොටස දිය යුතු බව විනයෙහි නියම කර ඇත්තේ ඒ නිසා ය. සාමණේරයන් සංඝරත්නයට ඇතුළු නො වන්නේ නම් තථාගතයන් වහන්සේ ඔවුනටත් කොටස දීමට නියම නො කරන්නාහ.
යම්කිසි වස්තුවක් සංඝික කිරීමේ දී ඒ වස්තුව රැස්ව ඉන්නා සංඝයාට දෙමිය කියා හෝ අසවල් විහාරයේ සංඝයාට දෙමිය කියා හෝ අසවල් ගමේ අසවල් පළාතේ සංඝයාට දෙමිය කියා හෝ සංඝයා පරිච්ඡේද කොට ද සංඝික කළ හැකි ය. උසස් සංඝිකය වන්නේ එසේ පිරිසිඳීමක් නො කොට, ලෝකයෙහි ඇතිතාක් සංඝයා හට හිමිවන ලෙස දෙන අපරිච්ඡින්නක සංඝිකය ය. බොහෝ අනුසස් ඇති බව කියන්නේ අපරිච්ඡින්නක මහා සංඝ රත්නයට දීමෙන් ය. අපරිච්ඡින්නක මහා සංඝ රත්නයට දෙන දානය සැරියුත් මුගලන් ආදි ආර්ය්ය සංඝයා සහිත ලෝකයෙහි ඇතිතාක් සංඝයාට පැමිණෙන බැවින් එය මහත් කුශලයක් වන්නේ ය.
සංඝික කිරීමය, සංඝ රත්නයට පූජා කිරීමය යන මේ දෙක ම එක බව විශේෂයෙන් සලකා ගත යුතු ය. මෙයත් සමහරුන් අවුල් කර ගන්නා කරුණෙකි. දාන වස්තුවක් සංඝික කිරීම ඒ වස්තුවෙහි අයිතිකරුට එක් භික්ෂුවක්වත් නැති තැනක දී වුව ද කළ හැකි ය. එක් භික්ෂුවක් ඉදිරිපට දී ද කළ හැකි ය. භික්ෂූන් දෙනමක් තුන් නමක් ඉදිරියේ දී ද කළ හැකි ය. බොහෝ භික්ෂූන් ඉදිරියේ දී ද කළ හැකි ය.
යම්කිසි වස්තුවක් සංඝාරාමයකට ගෙන ගොස් “මේ වස්තුව සංඝරත්නයට පුදමි. සංඝරත්නයට වේවාය” කියා එහි තැබුවහොත් එහි එක භික්ෂුවකුදු ඒ වේලාවෙහි නො සිටියත් එතැන් පටන් ඒ වස්තුව සංඝික වස්තුවක් වේ. සංඝික වීමට ඇති එක ම කාරණය අයිතිකරු විසින් ඔහුගේ අයිතිය සංඝයාට පිරිනැමීම ම ය.
“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එකො වස්සං වසි. තත්ථ මනුස්සා සංඝස්ස දෙමාති චීවරානි අදංසු - පෙ - තෙන ඛො පන සමයෙන තයො භික්ෂු රාජගහෙ වස්සං වසන්ති. තත්ථ මනුස්සා සංඝස්ස දෙමාති චීවරානි දෙන්ති”
මහාවග්ගපාලියේ චීවරක්ඛන්ධකයෙහි එක් භික්ෂුවක් විසූ තැනත් භික්ෂූන් තුන් නමක් විසූ තැනත් සංඝයාහට සංඝික වශයෙන් සිවුරු දුන් බව දක්වා තිබේ. තථාගතයන් වහන්සේ ඒවා සංඝික නො වේය යි නො වදාළ සේක. උන් වහන්සේ ඒ එක් භික්ෂුවක් ඉදිරිපිට දී ද භික්ෂූන් තුන් නමක් ඉදිරිපිට දී ද සඟ සතුකොට දුන් සිවුරු ගැන ඒ භික්ෂූන් විසින් පිළිපැදිය යුතු ආකාරය පමණක් වදාළ සේක. එක භික්ෂුවක් දෙනමක් තුන් නමක් ඇති තැන්වල දී සංඝික කළ සිවුරු සංඝික වන්නාක් මෙන් ආහාරපානාදි කිනම් දෙයක් වුවත් සංඝික කළහොත් සංඝික වන බව කිය යුතු ය. එහි සැක කළ යුත්තක් නැත.
දානයක් හෝ අන්කිසි වස්තුවක් හෝ දායකයකු විසින් අසවල් විහාරයේ සංඝයාට ය, අසවල් පළාතේ සංඝයාට ය, අසවල් නිකායේ සංඝයාට ය යනාදීන් සංඝ පරිච්ඡේදයක් කොට දෙන්නට යෙදුනහොත් ඒ දෙය දායකයා ගේ අදහස පරිදි ඒ සංඝයාට පමණක් අයිති ය. එය අන්ය භික්ෂූන්ට අයිති නැත. දානයක් හෝ අන් දෙයක් හෝ සංඝ පරිච්ඡේදයක් නො කොට “සංඝස්ස දෙම” කියා දුනහොත් ඒ දෙය ලෝකයේ වාසය කරන සියලු ම භික්ෂූන්ට වෙනසක් නැතිව අයිති ය.
ධර්ම විනිශ්චය
පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ
උපුටා ගැනිමකි
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon