Tuesday, January 02, 2024

මාරි කියුරි




ලොව භයානකම පොත 📚
ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්රධානම පොතක් තමා නොබෙල් ත්යාගය ලාභී මාරි කියුරිගේ note book එක...
එයාගෙ පොත් විතරක්ම නෙමෙයි භාවිතා කළ ඇදුම්,පැළදුම් ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කලේ Radiation එකත් එක්ක..නැත්තන් විකිරණශීලී ද්රව්ය එක්ක. ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පරීක්ෂණ කරද්දි ඇය දැනන් හිටියේ නැහැ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන සිටියා.
මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.
Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියොත් මැරුනෙ පිළිකා වලින්.
නොබෙල් ත්යාග තුනක්,
පිළිකාවට ගොදුරු වූ ජීවිත දෙකක්,
මවක් සහ දියණියක්!
මාරි කියුරි සිය වැඩිමහල් දියණිය අයිරීන් සමග, 1925!
නොබෙල් ත්යාගය මත සිය අණසකය පැතිර වූ පවුලක් වෙති. ඔවුන් තරමට ඒ දිනූවෝ වෙන නොවෙති.
මාරී සිය සැමියා පියරේ සමගින් 1903 හි දී භෞතික විද්යාව සදහා නොබෙල් ත්යාග දිනාගනිමින් ඒ ගෝලීය ගෞරවය පළමුකොට කියුරි නම අද්දර පළන්දා තිබුණි. ඉන්පසු මාරී නැවතත් 1911 හි දී රසායන විද්යාව සදහා වූ නොබෙල් ත්යාගය දිනාගති. ඒ අනුව නොබෙල් ත්යාගය දිනූ ප්රථම කාන්තාව වී සිටි මාරි, එය දෙවරක් දිනූ එකම කාන්තාව බවට පත්විය. එයින් නොනැවත අද ද වනතුරු එකිනෙකට වෙනස් වූ විද්යා ක්ෂෙත්රයන් දෙකක් උදෙසා නොබෙල් ත්යාගය දිනූ එකම පුද්ගලයා බවට පත්ව ඇය අදටත් සුවිසෙස් ව ඇත. අහම්බෙන් සහ විටෙක සිතැගිව, අහිතකර වූත් මරණීය වූත්, විකිරණ මත දිගින් දිගටම සිය දහස් වාරයක් නිරාවරණය වීමෙන් හටගත් නිෂ්කල්ප්ය නීරක්තියෙන් (රුධිරගත පිළිකාවකි, Aplastic Anaemia) පීඩා විද හැටහයවන වියේ දී ඇය අභාවප්රාප්ත විය. අදටත් ඇය අතින් අල්වා කැරකැවූ දොරගුළු මත, ඇය ලියූ සටහන් පොත් තුළ, මුළුතැන්ගෙයි ආම්පන්න තුළ පමණක් නොව ඇයගේ මළසිරුරින් පවා ඒ මරණීය විකිරණ වෑස්සෙන බැවින් එය අදටත් පැරිසියෙහි, උත්තම පැරීසියානුවන් පමණක් සදාකල්හී නිදනා පැන්තියොන් හී සුසානාගාරයෙහි අගලක ඝණකම් ඊයම් කලේබරයෙක බහා නිදන් කර ඇත. ඉන් ඇතුළුව, ඈ අත රැදි සියල්ලෙන් මීළග සියවස් පහළොව පුරාවට, අවම වශයෙන් වර්ෂ 3400 ලබන තුරු, විකිරණ මුදාහැරෙනු ඇත.
ඇගේ දේහය තැන්පත් කල පෙට්ටිය සාදා ඇත්තේ අඟල් හතරහමාරක් ඝනකම ඊයම් වලින්.(තව අවුරුදු 2500-3000ක් වත් යනකන් ඇටකටු වලින් විකිරණ නිකුත් වෙනව කියල කියන්නෙ.)
මාරි ගේ ආදරබර සැමියා වූත්, ලෝ දිනූ ගෞරවයේ සගයා වූත්, පියරේ කියුරි වැසිබර දිනෙක මනෝ ලෝකයෙක සරමින් පැරිසී වීදියක් හරහා පියමනිමින් සිටියදී, අශ්ව කරත්තයක ගැටී එහි රෝදයටම යට වී හිස්කබල සුණුවිසුණු ව ජන්මාන්තර ගත විය. ඒ නොවන්නට ඔහුද විකිරණය උරුම කරදුන් පිළිකාවටම ගොදුරුව මිය යන්නට සිය දෛවය ලියවා හුන්නෙකෙකි. ඔහුද පැන්තියෝන් හී ගෞරවය ලබමින් මාරී අසලින්, ඊට පහළින් නිදන් විය. පියරේ සහ මාරි දිනාගත් නොබෙල් ත්යාග සංඛ්යාව තුනකි. කියුරීන නොබෙල් පිපාසය ඉන් සන්සිදුනේ නැත.
ඔවුන්ගේ වැඩිමහළු දියණිය වූ අයිරීන් දෙමාල්ලන් අඩිපාරෙහිම යමින් රසායන විද්යාව සදහා වූ නොබෙල් ත්යාගය සිය සැමියා වූ ෆ්රෙඩරික් ජොලියට් සමගින් වර්ෂ 1935 හි දී සිය කෘතීම විකිරණශීලිතාව සම්බන්ධව වූ සොයාගැනීම් උදෙසා දිනාගති. ඇයද ඉන් උදාකරදුන් ලියුකේමියාමය පිළිකාවකින් පීඩා විද 58 වසක් ආයු වළදා 1956 හිදී මියගිය අතර ඊට දෙවසරකට පසු ෆ්රෙඩරික් උග්ර යකෘත්ප්රදාහයකින් පෙළී මරණය තෙක් රුධිරය වමනය කොට බොහෝ දුක් විද නෙතු පියාගති.
මාරිගේ දෙවන දියණිය ඊව් විද්යාවෙන් ඈත් වී සාහිත්යයට නැඹූරු විය. නොබෙල් ත්යාග නොලැබූ ඈ ආයුෂය දිනාගති. වසර 102ක් ආයූ වැළදූ ඇය නිව් යෝර්ක් හී සාමකාමී නිවහනෙක ජීවිතයෙන් නිවීගිය විඩාබර සයනයක දී අවසන් සුසුම් හෙළන්නට ඇත. නමුදු කියුරි පවුලෙහි නොබෙල්මය සිහිවටන ඉන් අවසන් නොකරමින් ඊව් ගේ ප්රියාදර සැමියා හෙන්රි රිචර්ඩ්සන් වර්ෂ 1965 හි දී නොබෙල් සාම ත්යාගය දිනාගති.
ඒ අනුව කියුරි පවුලේ මුල් සාමජිකයින් හයෙන් පස් දෙනෙකු නොබෙල් ත්යාගලාභීහූ වෙති. ඔවුන් ලද මුළු නොබෙල් ත්යාග ගණන හයෙකි.
එක්සත් ජාතීන් පිළිගත් රාජ්ය අතරින් 116 ක් එකදු නොබෙල් ත්යාගයක් හෝ දිනා නැත. අසල්වැසි ඉන්දියාව නොබෙල් දොළොසක් දිනා ඇත. පකිස්ථානය හා බංග්ලාදේශය ද දෙකක් දිනා ඇති බැව් ඔබ දැනගත යුතුය. ඉතියෝපියාව, ඝානාව, කෙන්යාව පමණක් නොව අසර්බයිජානය ද එකක් හෝ දිනා ඇත. ඒත් අප?
Copyright credit - Unknown
මෙහි මුල් හිමිකාරිත්වය නොදනී.
Source - Roar

notes of imaginary

Monday, January 01, 2024

ගුරු මහත්ම මහත්මීන් වෙතටයි.



බ්ලුබෙරි..🍇
ගොඩක් කාලෙකට ඉස්සර ඇමරිකාවේ තිබුණා ප්රසිද්ධ අයිස්ක්රීම් හදන සමාගමක්.
ඒ අය හදන අයිස්ක්රීම් ඇමරිකාව පුරාම හරිම ප්රසිද්ධයි.
ඒ අයිස්ක්රීම් ඉතා මිල අධික උනත් ඒ රටේ හැම පලාතකම ජීවත් උන මිනිස්සු ඒ අයිස්ක්රීම් වල රස බලන්න පුරුදු වෙලා හිටියේ.
හේතුව තමයි ගුණාත්මක භාවය සහ රසය අතින් ඒ අයිස්ක්රීම් ගොඩක් ඉහල මට්ටමක තිබුණ එක.
දවසක් ඒ ආයතනයේ ප්රධාන විධායක නිලධාරී මහතාට ඇරයුමක් ලැබෙනවා ඒ පලාතේ පාසැලක තිබුණ උත්සවයක ප්රධාන අමුත්තා හැටියට ඇවිල්ලා පාසැලේ දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වන්න.
ඔහු ඒක සතුටින් භාරගෙන එදාට ඒ උත්සවයට සහභාගි වෙලා දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වනවා.
ඒ කතාව ඔහුගේ ජීවිත අත්දැකීම් හා ව්යාපාර මූලධර්ම මත පදනම් වූ ඉතාමත් ආදර්ශමත් හා සාරවත් කතාවක්.
හැබැයි ඔහු ඔහුගේ දේශනය අවසන් කරේ ටිකක් වෙනස් විදියකට.
ඔහු මෙහෙම කිව්වා.
"මම මේ රටේ තියන අධ්යාපන ක්රමයටනං කොහෙත්ම කැමති නෑ"
"විශේෂයෙන්ම ආණ්ඩුවේ පාසල් වලට සිසුන් ඇතුලත් කිරීමේ පටන් ඔවුන්ට පාසල් තුල දැණුම ලබාදෙන පිලිවෙල දක්වා වෙන ක්රියාදාමයම සම්පූර්ණයෙන්ම වැරදියි.. "
"ඒ ක්රමවේදය දැනුම මූලික සමාජයකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ"
"රජයේ පාසල් වල තියෙන අනෙක් ලොකුම ගැටලුව තමයි ගුරුවරු"
"මේ ගුරුවරු වෙනස් වෙන්න කැමතිම නෑ. හිතන්නෙම පරණ විදියට "
" එයාල හිතන්නෙ එයාලගෙ කාලෙ තමයි හොදම කාලෙ කියලා. "
" ඒ වගේම මේ ගුරුවරු හරිම සාම්ප්රදායිකයි"
" වේවැලක් නැතුව තාම මේ ගුරුවරුන්ට උගන්වන්න බෑ"
මේ කතාව අහගෙන හිටපු ගුරුවරුන්ගේ හිත් හරියට රිදුනා.
ඒත් හැමෝම බිම බලාගෙන හිටිය මිසක් කව්රුවත් කතා කලේ නෑ.
ඒත් මේ ප්රධාන පෙලේ ව්යාපාරිකයගේ දේශනය අවසන් වෙනකොටම එක ගුරුවරියක් විතරක් අත ඉස්සුවා.
ඇය පාසලේ හිටපු ඉංග්රීසි ගුරුවරිය.
ඇය ව්යාපාරිකයගෙන් මෙහෙම අහනවා,
"සමාවන්න මහත්මයා.."
"මට පුළුවනිද ඔබ තුමාගෙන් එක ප්රශ්ණයක් අහන්න?"
ඔහු තරමක් පුදුමයට පත් උනත් ඇයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න කැමති උනා.
ගුරුවරිය මෙහෙම ඇහුව,
" සර්.. ඔබතුමා ඇමරිකාවෙ තියන ප්රසිද්ධම හා විශාලතම අයිස්ක්රීම් නිශ්පාදන සමාගමක ප්රධාන විධායක නිලධාරියා"
"ඔව් ඔබතුමිය නිවැරදියි"
" ඇමරිකාවේ හොදම අයිස්ක්රීම් හදන්නෙ අපි"
ඔහු ඉතා ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.
ගුරුවරිය මෙහෙම කියනවා,
"එක කොච්චර හොඳද"
"ඒ අයිස්ක්රීම් කොච්චර රසද.. ඒවා සුදු හිම වගේ හරිම මෘදුයි"
ගුරුවරිය ව්යාපාරිකයගෙන් තවත් ප්රශ්ණයක් අහනවා,
" ඔබතුමා මොහොතකට හිතන්න ඔබ මේ දැන් ඇවිල්ල තියෙන්නේ ඔබගේ ඔය රසම රස අයිස්ක්රීම් හදන්න පාවිච්චි කරන අමුද්රව්ය මිලදී ගන්න යන තැනකට කියලා"
" හිතන්න… මෙතන තියනව කියලා ඒ අයිස්ක්රීම් වලට දාන්න ගන්න ඕන බ්ලූබෙරි ලොරියක්.."
"ඒත් සර්…"
"ඒ බ්ලූබෙරි ලොරියේ තියන බොහොමයක් බ්ලූබෙරි නරක් වෙලා.. "
" දැන් ඔබතුමා මොකද කරන්නෙ..? "
ව්යාපාරිකය ටිකක් කල්පනා කරල කලබල නැතිව ඇත්තම කිව්වා.
" නරක් වෙච්ච බ්ලූබෙරි අපි කවදාවත් බාරගන්නේ නෑ.. "
" ඒව දාල අයිස්ක්රීම් හදලා අපේ නිෂ්පාදන වලට තියන හොද නම කැත කරගන්න අපිට ඕන නෑ"
" අපි ඒ බ්ලූබෙරි ලොරියම ප්රතික්ෂේප කරනවා "
ගුරුතුමිය හිනාවෙලා මෙහෙම කියනවා,
" හැබැයි සර්… අපිට එහෙම කරන්න බෑ "
"අපිට හම්බවෙන සමහර බ්ලූබෙරි ලොකු පවුල් වල… සමහර බ්ලූබෙරි හරිම දුප්පත් පවුල් වල.. "
" සමහර බ්ලූබෙරි හොර මත්පැන් පෙරන පවුල් වල.. "
" සමහර වෙලාවට අපිට ඒ බ්ලූබෙරි එන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැති පවුල් වලින්."
"සමහර වෙලාවට.. අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු කරන පවුල් වලින් "
" සර් දන්නවද… "
" සමහර බ්ලූබෙරි අපිට එනකොටම පුංචි කාලෙම අතවරවලට ලක්වෙලා හිත් හොදටම නරක් වෙලා.. හරියට අර ඔබතුමාට හම්බ උන ලොරියේ තිබුණ නරක් වෙච්ච බ්ලූබෙරි වගේ.. "
" හැබැයි සර්…අපිට ඒ කිසි එකක් භාරනොගෙන ආපහු යවන්න බෑ.. "
" අපි ඒ හැම බ්ලූබෙරි ගෙඩියක්ම භාරගන්නවා.. "
" භාරගන්නව විතරක් නෙවෙයි.."
" අපි ඒ බ්ලූබෙරි වලින් අයිස්ක්රීම් හදනවා.. "
" ඔබලා හදන අයිස්ක්රීම් ඇමරිකාව පුරාම බෙදාහරිනවා.. "
" ඒක නොදන්න කෙනෙක් නෑ.. ඒක ඇත්ත.. "
" ඒත් සර්.. අපි අපිට හම්බවෙන ඒ බ්ලූබෙරි දාල හදන අයිස්ක්රීම් ඇමරිකාවේ විතරක් නෙවෙයි.. ලෝකේ ගොඩක් තැන් රසවත් කරන්න බෙදාහරිනවා… "
මෙච්වර වෙලා නිශ්ශබ්දව තිබුණ ශාලාව විනාඩි කිහිපයක් යනකල් අත්පොලසන් හඩින් ගිගුම් දෙන්න ගත්තා.
තමුන්ට වැරදුනු බව විධායක නිලධාරී මහතා තේරුම් ගත්තා.

notes of imaginary

සක් දෙවිඳුගේ කවිපොතින්














එදත් එහෙමයි අදත් මෙහෙමයි
නරයො ඔක්කොම ගන්නෙ තීරණ
නඩුත් හාමුදුරුවන්ගෙ කිව්වට
බඩුත් ඒ ගිණුමටම දැම්මට
අල්ලගත් සැකකරුට එරෙහිව
සාක්කිත් උන් මෙහෙයවාගෙන
දංගෙඩියටම යවයි ඔහු හිස
එරෙහි වූවොත් යමෙක් මේ ගැන
එන්නෙ වටකර අවි දරාගෙන
සියලු තතු තම ඇසින් දුටු ලෙස
නිවැරදිම විනිසක් ලබාදුන්
විනිසකරුටත් දී විවේචන
නිදොස් වී සැකකරුව නිදහස්
වුවොත් උන් කෝපවෙයි එසැනින
විචාරව බුද්ධියෙන් විමසා
බැලී නම් එදවසත් මිනිසා
රිංගන්න සිදුවෙයිද මාහට
මීයෙකුගෙ වේශයක් අරගෙන
මට තරම් නැති අර අපිරිසිදු
චිඤ්චාවගේ රෙද්ද අස්සට
පී. ජී. ආරියපාල


notes of imaginary

Saturday, December 30, 2023

මගීන් 1500 ක් දිවි පිදූ ලොව බිහිසුණු දුම්රිය අනතුර.




උපුටා ගැනීමකි අන්තර්ජාලයෙන්
සුනාමි ඛේදවාචකයට අදට වසර 15 යි.අපරාධ කරුවන් තවමත් රිසිසේ දිවි ගෙවති.
අදින් හරියටම වසර 15 කට පෙර එනම් 2004 දෙසැම්බර් 26 දින උදෑසන 9.20 ට පමණ ලක් ඉතිහාසයේ එදා මෙදා තුර දරුණුතම ඛේදවාචකය අසන්නට, දකින්නට ලැබුණි. මනුෂ්ය ජීවිත තිස් දෙදහස් පමණ පැය කිහිපයක් තුළදී දැයට අහිමි කළ ඒ ශෝචනීය අත්දැකීම සාමාන්යයෙන් වයස අවුරුදු විස්ස ඉක්මවූ ඕනෑම අයෙකුගේ මතකයේ ඇතැයි සිතමි.
දුම්රිය බලධාරීන්ගේ තුච්ච ක්රියාකාරකම් නිසා තෙල්වත්ත පැරෑලියේදී සිදුවූ සහාසික මිනිස් ඝාතනය
තිස් දෙදහසක් පමණ මරණයට පත්වූ සුනාමි ඛේදවාචකයේදී දෙදහසක් පමණ මනුෂ්ය ජීවීත ප්රමාණයක් එකම ස්ථානයකදී බිලි ගත්තේ කොහේදී දැයි ඔබෙන් විමසුව හොත් ඕනෑම කෙනෙකු දෙන පිළිතුර වන්නේ “ආ ඒ පැරෑලිය තෙල්වත්තේදී දුම්රියක් සුනාමියට හසුවීම නිසා “යැයි යනුවෙනි. කොළඹ සිට දුම්රියෙන් පැමිණි මගීන් 1500 ක් පමණත්, සුනාමි චණ්ඩ පහරින් බේරීමට සෙමෙන් ධාවනය වූ දුම්රියට නැග්ගත් ප්රදේශයේ ජනතාව පන්සියයක් පමණත් මිය ගියේ චණ්ඩ වූ සුනාමි රළ පහරින් දුම්රිය පෙරළී යාම නිසා බව ඇත්තකි. එහෙත් එය දුම්රිය බලධාරීන්ගේ නොපනත්කම් නිසා සිදුවූ සහාසික මිනිස් ඝාතනයක් බව බොහෝ දෙනා දන්නේ නැත. කොළඹ සිට මාතර බලා ගිය දුම්රියේ සිටි මගීන් 1500 දෙනාගේ ජීවිත ස්ථීරවම සුනාමියට බිලි වූයේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපතිගේත්, කොළඹ ප්රධාන දූම්රිය පාලක මැදිරියේ සිටි බලධාරීන්ගේත් රාජකාරි දරුණු ලෙස පැහැර හැරීම නිසා ය.
එය හුදෙක් ස්වාභාවික සුනාමි ඛේදවාචකය නිසා කිසිසේත්ම වළක්වාගත නොහැකි වූ මරණ නොව, බුර බුරා නැග ආ චණ්ඩ සුනාමි රළ පහරට තල්ලුකර දමා කරන ලද සහාසික මිනිස් ඝාතනයකි. දුම්රිය දෙපාර්තමේන්තුව කොතෙක් පරීක්ෂණ කළත්, එකී මනුෂ්ය ඝාතනයට සෘජුවම වගකිව යුතු බලධාරීන්ට කිසිත් සිදුවූයේ නැත. ඔවුහු සිය විශ්රාම වැටුප් ද ලබමින් අදද රිසිසේ දිවි ගෙවති. නීතිය පවතින රටක් නම් ඒ සියලු වගකිව යුතු දුම්රිය බලධාරීන් සිටිය යුත්තේ ගෙදර නොව සිර ගෙදර ය.
දුම්රිය බලධාරීන් සුනාමි රළ පහරට තල්ලු කළ සීඝ්රගාමි දුම්රිය
සුනාමි ඛේදවාචකයේදී වැඩිම මිනිස් ජීවිත ප්රමාණයක් එකම ස්ථානයකදී බිලි ගත්තේ දකුණු පළාතේ පැරෑලිය තෙල්වත්ත ප්රදේශයේදී ය. ඒ කොළඹ සිට මාතර බලා ධාවනය වූ අංක 50 දරන සිඝ්රගාමී දුම්රිය සුනාමි රළ පහරට හසුවී පෙරළී සුණු විසුණු වී යාම හේතුවෙනි. රටේ එදා සිටි පාලකයෝත්, බහුතර ජනතාවකුත් අද දක්වා සිතා සිටින්නේ මෙය කිසිසේත්ම වැළැක්විය නොහැකිව තිබූ හදිසියේ රට තුළට කඩා වැදුණු සුනාමි රළ පහරේ නිසා සිදුවූ ඛේදවාචකයක් කියා ය. නැත. කිසි සේත් ම නැත. මේ අනතුර හැර රටේ සෙසු පළාත්වල සිදූවූ මිනිස් ජීවිත, දේපළ වැනසීම එසේ වූවා යැයි කිව හැකි ය. එහෙත් දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පැරෑලිය තෙල්වත්ත ප්රදේශයේදී අංක 50දරන සීඝ්රගාමි දුම්රිය සුනාමි රළ පහරින් බේරා ගැනීමට නොහැකි වූයේ රාජකාරිය අමු අමුවේ පැහැර හැරි දුම්රිය බලධාරීන් නිසාම ය.
කොළඹ කොටුවේ සිට මාතර බලා…..
දෙසැම්බර් 26 දින පෙරවරු 7.12 ට පමණ කොළඹ කොටුවෙන් මාතර බලා පිටත්වූ අංක 50දරන දුම්රිය දෙවන පන්තියේ මැදිරි දෙකකින්ද, තුන්වන පන්තියේ මැදිරි තුනකින් ද, ඉදිරිපස සහ පසුපස නියාමක මැදිරි දෙකකින්ද සමන්විත පූර්ණ මැදිරි හතකින් සමන්විත විය. එම් 02 වර්ගයේ කැනේඩියානු එන්ජිමක් සහිත දුම්රියේ එදින මාතර බලා ගමන් කිරීමට නිකුත් කරන ලද ප්රවේශ පත්ර අනුව මගීන් සංඛ්යාව 1500 ක් පමණ විය.
රියදුරු ජානක ප්රනාන්දු හා රියදුරු සහායක ලෙස ශිවයෝගරාජා සේවයේ යෙදුණාහ. ප්රධාන නියාමක වශයෙන් ඩබ්ලිව්. කරුණාතිලක ද, උප නියාමක වශයෙන් එහි. ගුණරත්න ද ක්රියා කළහ.
විසිහය වැනි දින පෙරවරු 6.45 ට පමණ මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹූ දුම්රිය පෙරවරු 7.12 ට මාතර බලා පිටත්ව ගියේය. ඉන්පසු පැය දෙකකුත් විනාඩි අටක් ගමනකින් හරියටම පෙරවරු 9.20 ට දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට සේන්දු විය.
මෙහෙයුම් ස්ථානාධිපති ඔහුගේ කිරි මුට්ටි ගණන් කිරීමට දුම්රියට දිව යයි.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ සේවය කළ එක් නිලධාරියකු (මෙහෙයුම් ස්ථානාධිපති) කාලයක් තිස්සේ කරගෙන යන කිරි වෙළෙදාමක් තිබුණි. ඔහු සිය රාජකාරි වේලාවේදී කර ගෙන යන කිරි වෙළෙදාම ගැන දුම්රිය දෙපාර්තමේන්තුවට කොතෙකුත් පැමිණිලි තිබුණද ඒවා ගැන කවර හෝ පරීක්ෂණයක් කර නැත. සෑම දිනකම මේ දුම්රියෙන් කිරි හට්ටි හාරසියයක්, පන් සියයක් පමණ ගෙන එන අතර නිවාඩු දින බැවින් එදින ගෙනවිත් තිබී ඇත්තේ කිරි මුට්ටි 24 ක් පමණි. මෙහෙයුම් ස්ථානාධිපතිවරයා තමාගේ කිරි මුට්ටි ටික ගණනය කර ගොඩබා ගැනීමට දුම්රියකට ගොඩ වූ අතර කොළඹ ප්රධාන පාලක මැදිරියෙන් ඔහු අමතා තිබේ. ඒ සුනාමි අනතුර දැනුම් දීමටයි.
දුම්රිය අම්බලන්ගොඩින් නතර කර ගන්නා ලෙස දැනුම් දීමට පාලක මැදිරියෙන් දුන් විශේෂ ඇමතුම් ලබා ගැනීමට කිසිවෙකුත් කාර්යාලය තුළ නැත
ඒ මොහොතේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඊට පෙර දිනයේ ආදායම් ගණනය කරමින් සිට ඇති අතර මෙහෙයුම් ස්ථානාධිපතිවරයා සිය පුද්ගලික ව්යාපාරයට අදාළ කිරිමුට්ටි ගණනය කරමින් සිටි නිසා කොළඹ පාලක මැදිරියෙන් දුන් හදිසි ඇමතුම් ලබා ගැනීමට කාර්යාල තුළ කිසිවෙකුත් සිට නැත. කොළඹ පාලක මැදිරියෙන් දුන් හදිසි ඇමතුම් වී ඇත්තේ මුහුදු රළ ගොඩ ගලමින් තිබෙන බවට වාර්තා වී ඇති නිසා දුම්රිය කිසිසේත්ම අම්බලන්ගොඩින් ඉදිරියට නොයවන ලෙස දැනුම් දීමටයි. ( සුනාමි රළ පොදක්වත් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට ආවේ නැත.)
හදිසි ඇමතුම නාදවී නාදවී නැවතුණි කිසිවෙකුත් ඇමතුම් ලබා ගත්තේ නැත
මේ ඇමතුම් ලබා ගෙන ඇත්තේ සාමාන්ය දුරකථන එකින් නොවේ. මෙවන් හදිසි අවස්ථාවකදී පමණක් භාවිතයට ගන්නා විශේෂ පනතක් යටතේ පිහිටුවා ඇති බීබීසී දූරකතනයකිනි. දූරකතන ඇමතුම් කිසිවෙකුත් ගත්තේ නැත. කිසිත් නොදත් දුම්රිය ඊළග නැවතුම වූ හික්කඩුව බලා පිටත්විය. දුම්රිය මාදම්පේ, කහව දුම්රිය ස්ථාන (එම දුම්රිය ස්ථානවල නවත්වන්නේ නැත) පසුවීමෙන් පසු තෙල්වත්තත් , සීනීගමත් අංක 58 – 59 සැතපුම් කණු අතර පිහිටි අංක 587 දරන සංඥා පුවරුවේ රතු එළිය දිස්වීම තිබේ. එය දුටු දුම්රිය රියදුරා වහාම දුම්රිය නතර කරගෙන තිබේ. ගතවී ඇත්තේ විනාඩි දෙකක් පමණි. අධි වේගයෙන් ගොඩ ගැලූ චණ්ඩ සුනාමි දිය තදින් දුම්රියේ උසින් අඩි අටක් පමණ වැසී ගොස් තිබේ. අංක 587 දරන සංඥ පුවරුවේ රතු එළිය දුටු විගස දුම්රිය නැවැත්වීමට තීරණය කළද වෙනත් රථයක් මෙන් සීඝ්රගාමි දුම්රියක් හිටි අඩියේ නැවැත්විය නොහැක. වේගය හැකිතාක් අඩුකර ගනිමින් දුම්රිය ස්ථිරවම නතර වන්නේ ආසන්නයේ ය. නැවැත්වීමට පෙරාතුව සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුණූ දුම්රියට තවත් පන්සියයක පමණ පිරිසක් ගොඩවී ඇත්තේ ඒ වන විටත් ගොඩ ගලමින් තිබූ සුනාමි රළ පහරින් බේරීම පිණිස ය.


සුනාමි රළ කදින් එන්ජිම ඇතුළු පෙට්ටි පෙරළී තැන තැන විසිරී ගියේය ය.
සුනාමි රළ කදින් දුම්රිය එන්ජිම ඇතුළු පෙට්ටි පෙරළී පෙට්ටි හතෙන් පෙට්ටි තුනක් සුනාමි රළ පහරේ පාවි ගොස් ඇත. කොළඹ සිට දුම්රියෙන් පැමිණි මගීන් 1500 දෙනාද, ජීවිත බේරා ගැනීමට එවලේ දුම්රියට ගොඩවූ පිරිස්ද සියයට අනූවක් පමණ ඒ මොහොතේ ම ජීවිතක්ෂයට පත්වන්නට ඇත. තවත් පිරිස් මිය ගොස් ඇත්තේ පෙරළුණු දුම්රිය මැදිරිවලින් එළියට විත් දිව යද්දී ජලයෙන් වැසී තිබු ප්රදේශයේ හුණුගල් හැරෑ වළවල්වලට වැටීමෙනි. ජලය බැස යාමෙන් පසු එකී හුණුගල් වළවල සැළකිය යුතු පිරිසකගේ මළ මිනී හමුවී ඇත.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ඇමතුම නොගත්තේ නම් ඊළග දුම්රිය ස්ථානය වූ කහව දුම්රිය ස්ථානයට හදිසි පණිවුඩය නොදුන්නේ ඇයි..?
සුනාමි රළ ගොඩ ගලන බව දැන වහාම දුම්රිය නවත්වා ගන්නා ලෙස අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට දූන් ඇමතුම් ඔවුන් ලබා නොගත්තේ නම්, කොළඹ පාලක මැදිරිය වහාම කළ යුතුව තිබුණේ අම්බලන්ගොඩින් පසුව ඇති ඊළග දුම්රිය ස්ථානය වූ කහව දුම්රිය ස්ථානයට ඒ බව දැනුම් දීමයි. එසේ වූවානම් කරන දුම්රිය ස්ථානයෙන් වහාම අනතුරු ඇගයීමේ සංඥා නිකුත් කර කරන්ට ළගා වීමට පෙරම දුම්රිය නැවැත්වීමට ඉඩ තිබුණි. අම්බලන්ගොඩින් ඇමතුම නොගත්තා කියා කොළඹ පාලක මැදිරිය ඔහේ නිකං සිටියා මිස දුම්රිය නවත්වා ගැනීමට වෙනත් කිසිදු පියවරක් ගත්තේ නැත.
අනතුරින් පසු දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණවලදී ඒ ඒ පාර්ශ්වලට දොස් නගා ගත්තා මිස තමන්ගේ දුම්රියට ප්රවේශ පත්ර ගෙන ගොඩවූ මගීන්ට සිදුවූ සහාසික අපරාධයේ වගකීම භාර ගන්නට කිසිවෙක් සිටියේ නැත. රජය අදාළ පරීක්ෂණ දුම්රිය දෙපාර්තමේන්තුවටම කර ගන්නට ඉඩ හැරියා මිස වගකිව යුතු බලධාරීන්ගේ වරදින් වූ ජීවිත විනාශ ය ගැන වග බලා ගත්තේද නැත.
රියදුරුන්ට සෘජුවම ඇමතීමට දී තිබූ යෝනි ටෝකියෝ යන්ත්ර ක්රියා විරහිව තිබූ නිසා ආපසු අරං
මීට අමතරව ඈත ගමන් යන සීඝ්රගාමි දුම්රිය රියදුරන්ට සහ නියාමකවරු විට විශාල මුදලක් වැය කර 1995 දී ලබාදී තිබූ යෝනි ටෝනී යන්ත්ර බාල ඒවා බැවින් ඉතා කෙටි කලක් තුළදී ක්රියා විරහිත වී ඇත. ඉන්පසු එම යෝනි ටෝනී යන්ත්ර ආපසු ලබා ගෙන තිබේ. මේ අනතුර අවස්ථාවේ දුම්රිය ස්ථානයෙන් හදිසි ඇමතුම් ලබා නොගත් විටක එම යෝනි ටෝනී යන්ත්ර ක්රියාත්මකව තිබුණේ නම් පාලක මැදිරියෙන් සෘජුවම රියදුරු හෝ නියාමකයන් අමතන්න තිබුණි. එසේ වූවානම් අඩුම තරමින් මේ ජීවිත 1500 වැන සෙන්නේ නැත.
රුපියල් කෝටි 12 ක් වැයකර වාද්දුවේ සවිකළ විද්යුත් සංඥ පාලන ක්රමය අක්රිය වීම
වර්ෂ 2003 අංග භාගයේදී රුපියල් කෝටි 12 ක් වැයකර වාද්දුවේ ස්ථාපනය කළ විද්යුත් සංඥ පද්ධතියද මේ කාලය තුළ අක්රියව තිබී ඇත. මෙමගින් කොළඹ එක් පාලක මැදිරියක සිට දුම්රිය මාර්ගවල සංඥ පරිපථ සියල්ල පාලනය කිරීමට හැකියාවක් තිබීම ඇත. එහෙත් එය මධ්යගත පාලනයෙන් ඉවත්කර විමධ්යගත කොට ස්ථාන 21 ක් වෙත පැවැරීම නිසා මෙවන් බරපතල අන්තරායකාරී අවස්ථාවකදීවත් , යම් දුම්රිය ස්ථානයකට දෙන හදිසි ඇමතුම්වලට ප්රතිචාර නොදක්වන විට මේ සංඥ ක්රමය මගින් අනතුරු ඇගයීම් කළ හැකිය තිබුණි. එසේ වූවානම් මේ ජීවිත 1500 අහිමි වන්නේ නැත.
ජීවිත බේරා ගන්න හමුදාව ආවේ 27 උදේ පැය 24 කටත් පසුවයි.
මෙතරම් ඛේදවාචකයක් සිදුවී තිබියදීත් ජීවිත බේරා ගැනීමට එම ස්ථානයට හමුදාව ගොස් ඇත්තේ අනතුර සිදුවී පැය 24 කටත් පසුවය. ඒ වනවිට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. වතුර පෙනී පණ අදිමින් පෙරමුණු මැදිරි තුළ සිරවී සිටි සිය ගණනක් ඒ මුලු රුවක් පුරා අවසන් හුස්ම හෙළන්නට ඇත.
දුම්රිය සාමාන්යාධිකාරීවරයා මේ අනතුර දැක්කේ එදා සවස ප්රවෘත්ති බලද්දිලු
එවකට දුම්රිය සාමාන්යාධිකාරී වූයේ ප්රියසාද් සිල්වා නමැත්තෙකි. දෙපාර්තමේන්තු ප්රධානියා ලෙස උදේ 9.40 පමණ සිදුවූ මහා අනතුර දැක ඇත්තේ සවස 5 ට ප්රවෘත්තිවලින් යැයි පැවැසීම කොතරම් කෙල්ලෙක්ද..? එය ඇත්තක් වුවත් , අනතුර සිදුවූ ස්ථානයට තම නිලධාරීන් යවා ඇත්තේ ඊට පසුවදා උදේ 9 ට පමණය. එනම් ඔහු කියන විදිහට අනතුර සිදුවී පැය 16 කට පසුව ය.
දුම්රිය සාමාන්යාධිකාරීගේ තුච්ච , පිළිකුල් සහගතව ප්රකාශය
“මම පුළුවන් තරම් උත්සාහ කරල පහුවදා දහවල් කෙනෙක් එතනට යැව්වා. ඒකත් බොහෝම අමාරුවෙන්. අනික මට සිරුරු ගොඩ ගැනීම හරි , මගීන් බේරා ගැනීම හරි මට අයිති රාජකාරියක් නොවෙයි. දැන් බස් අනතුරක් වුණොත් ඒකෙ මළ මිනී බේරා ගන්න සභාපති යන්නෙ නෑනෙ. ඒවා රාජයේ වගකීම. හදිසි ආපදාවකදී කටයුතු කරන්න වෙනමම යුනිට් එකක් හදල තියා ගන්න එක රජයේ වැඩක්” ඔහු මේ ප්රකාශය කර තිබුණේ රාවය පුවත්පතට යි.
තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්පූර්ණ වරදින් තම දුම්රියක ගමන් ගත් මගීන් 1500 ක් ජීවිතක්ෂයට පත්වූ පසු එහි ප්රධානියා කරන ප්රකාශය එය නම් කවර කතාද..? අනතුර සිදුවී පැය තුන හතරක් ඇතුළත කෙසේ හෝ හමුදාව එම ස්ථානයට යැව්වේ නම් , අඩුම තරමේ පෙරළුණු දුම්රිය මැදිරි තුළ සිරවී සිටි මගීන් සීයක් දෙසීයක් හෝ බේරා ගැනීමට ඉඩ තිබුණි. දුම්රිය සාමාන්යාධිකාරී වරයා පමණක් නොව එවකට රජයේ ජනාධිපති, අගමැති , මැති ඇමතිවරුන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් කිසිවෙක් මේ ජීවීත ගැන වගවූයේ නැත. ඒ සියල්ල සුනාමියටම දමා ඇත බේරා ගත්තෝ ය. මිනිස් ජීවිත 1500 ක් ගැන වගේ වගක් මේ නරුම පාලකයන්ට නොවුණි. අනතුරින් පසුව වත් යළි මෙවන් අනතුරක් නොවන්නට කිරි මුට්ටි වෙළෙන්දා ඇතුළු රාජකාරි කෙලෙසූ බලධරයන් ට දඩුවම් කළ යුතුව තිබුණි. අඩුම තරමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණයක් වත් පැවැත්වූයේ නැත. මිනිස් ජීවිත දෙදහසකට වගකිව යුත්තෝ අදත් විශ්රාම වැටුප් ලබමින් රිසිසේ දිවි ගෙවයි.





All rea

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon