Friday, May 05, 2023

කච්චතිව් දූපත


කච්චතිව් දූපත යනු ශ්රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි සහ ඉන්දියාවට වඩාත් ආසන්නව පිහිටි දැනට ශ්රී ලංකාව සතු දූපතයි. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම්හි පිහිටි සන්නිවේදන කුලුණු පවා මෙම දූපතට දර්ශනය වන අතර වසරේ දින දෙකකදී පමණක් මෙම දූපතට ඇතුලු වීමට ශ්රි ලාංකිකයින්ට සහ ඉන්දියානුවන්ට හිමිවේ.
ශ්රී ලංකාවට අයත් වුවද එයට ඇතුලු වන ශ්රී ලාංකිකයින්ට සහ ඉන්දියානුවන්ට වෙනත් විදේශ රටකට ඇතුලු වීමේදී අනුගමනය කරන ආරක්ෂිත ක්රියාමාර්ග වලට යටත් වීමට සිදුවේ.
ඒ අනුව යාපනය කුරිකඩ්ඩුවාන් ජැටියෙන් බෝට්ටුවට නැගිමට පෙර Boarding Pass එකක් ලබාදීම සිදු කරයි. දූපතට ඇතුලුවීමට ලබා දෙන අවසර පත්රය වන්නේ ඉහත කී Boarding Pass පත්රයයි. ඉන් අනතුරුව පැය 04 ක පමණ මුහුදු ගමනකින් එම දූපතකට ලඟා විය හැකිය. එහිදී ශ්රී ලංකා රේගුවේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරීක්ෂා කිරීම් වලට යටත් වීමට සිදුවේ.
විශේෂයෙන්ම කච්චතිව් හි පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්ය දිනයේදී හා ඊට පෙර දිනයේදී පමණක් මෙම දූපතට ඇතුලුවීමට අවසර ඇති අතර අනෙකුත් කාලයන්හිදී එම දේවස්ථානය වසා දමන අතර දූපතට ඇතුල්වීමට කිසිවෙකුට අවසර නැත. මංගල්ය සමයේදී පැමිණෙන සියලු දෙනාට ආහාරපාන සහ අනෙකුත් පහසුකම් සලසමින් ශ්රී ලංකා නාවික හමුදාව සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.
මෙම කච්චතිව් දූපත වනාහි ශ්රී ලාංකික අප සහ අසල්වැසි ඉන්දියාව, විශේෂයෙන්ම තමිල්නාඩුව ප්රාන්තය අතර ගැටුම් හටගැනීමට හේතු වූවකි. මෙහි අයිතිය කලින් කලට වෙනස්වීම එයට හේතුව වේ. කලින් කලට පවතින දේශපාලන වාතාවරණය අනුව විටක කච්චතිව් දූපත ඉන්දියාවට අයත් බවත් විටෙක ශ්රී ලංකාවට අයත් බවට තර්ක විතර්ක ඉදිරිපත් විය. මේ වන විට ඉන්දියානු රජයේ ද එකඟත්වය සහිතව මෙහි අයිතිය අපට හිමිව තිබෙන නමුත් තමිල්නාඩු රජය එම තීරණය හා එකඟ නොවේ.
කච්චතිව් වැදගත් ඇයි?
කච්චතිව් දූපත භූමි ප්රමාණයෙන් අක්කර 285ක, ධීවර කටයුතු සඳහා වැදගත් දූපතකි. ඩෙල්ෆ් දූපතට ආසන්නයේ, ශ්රී ලාංකික සහ ඉන්දියානු අන්තර්ජාතික මුහුදු සීමාවන් අතර පිහිටා ඇති මෙහි මිනිස් වාසයක් නොමැත. මේ දූපත සහ මුහුදු සීමාව සොබාව සෞන්දර්යය අතින් පරිපූර්ණව වනවා මෙන්ම මේ ආශ්රිතව ස්වාභාවික ඛනිජ තෙල් සහ ගෑස් පවතින බවට ද මතයක් පවතී.
දූපත පිළිබදව ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වූ ගිවිසුම්
කච්චතිව් දූපත 1974 කච්චතිව් ගිවිසුමටත් පෙර ශ්රී ලංකාවට අයිතිව තිබුණු අතර මෙම ගිවිසුම හිටපු අග්රාමාත්යවරියන් වන සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි අතර අත්සන් තබන ලද්දේ 1974 ජුනි මස දී ය. ඉන්දිරා ගාන්ධි මෙම ගිවිසුමෙන් කච්චතිව් ඉන්දියාවේ කොටසක් සේ සලකන ලෙස කරනු ලබන ඉල්ලීම් මෙතැනින් අවසන් බව, සහ එය ශ්රී ලංකාවේ ස්වාධිපත්යට අයත් කොටසක් බව පිළිගන්නා ලදී.
නමුත් මෙම එකඟවීමට පෙර මේ සම්බන්ධයෙන් රාජ්යයන් දෙක අතර නිරන්තර ගැටළු හටගත් අතර ඒ පිළිබඳව වූ සාකච්ඡාවන් ද මාස ගණනාවක් පුරා පැවැත්විණි. ඉන්දියානු ප්රධානීන් කිහිපදෙනෙකු සමඟ 1921 වර්ෂයේ දී ද මේ පිළිබදව සාකච්ඡාවන් පවත්වා ඇත. එයට ශ්රී ලාංකික නියෝජිතයන් සිව්දෙනෙකු සහ ඉන්දියාව නියෝජනය කරමින් නියෝජිතයන් සිව්දෙනෙකු සහභාගී විය. මෙම සාකච්ඡා එම වසරේ මාර්තු සිට ඔක්තෝම්බර් දක්වා පැවතුනු අතර රාජ්යයන් ද්විත්වයම මෙම දූපත තමාට අයත් බවට සාක්ෂි ඉදිරිපත් කරන ලදී.
මෙහිදී ඉන්දියාව ඉදිරිපත් කළ තර්කය වූයේ කච්චතිව් රාමන්ඩ්හි රාජාට අයිති වූ දූපතක් බව ය. ඔහු බෙංගාලියෙකු වූ නමුත් එහි පාලකයෙකු නොවූ අතර, බ්රිතාන්ය පාලන සමයේ ඔවුන් විසින් පත්කරන ලද බදු එකතුකරන්නෙකු පමණක් විය. ඒ හේතුවෙන් ඔහු එම දූපතේ පාලකයෙකු නොවූ නිසා ඉතිහාසයේ කිසිම විටක දී කච්චතිව් ඉන්දියාවට අයත් නොවූ බවට ශ්රී ලංකාව ප්රතිතර්ක ඉදිරිපත් කරන ලදී.
ශ්රී ලංකාව මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ ප්රබල තර්කයක් වූයේ පෘතුගීසි පාලන සමයේ සිට මෙම දූපත ශ්රී ලංකාවට අයත්ව තිබී ඇති බව ය. එය තහවුරු කිරීම සඳහා පෘතුග්රීසි පාලන සමයේ යොදාගත් සිතියම් සහ වාර්තා සාක්ෂි ලෙස යොදාගන්නා ලදී. බ්රිතාන්ය සමයේ ඉංග්රීසි ජාතිකයන්ගේ වාර්තා අනුව ද එකලත් දූපත ශ්රී ලංකාවට අයත්ව තිබී ඇති බව තහවුරු වන්නේ යාපනයේ අන්තිම රජු වූ සංකිලි කුමාරන් නැමති පාලකයා ඔහු ආහාරයට ප්රිය කරන ලද ඉබ්බන් විශේෂයක් ඇල්ලීම සඳහා යාපනයට අයත් කච්චතිව් දූපතට මිනිසුන් යැවූ බවට ඒවායේ සටහන් වන නිසාවෙනි. එම දත්තයන්ට අනුව කච්චතිව් දූපත යාපනයෙහි කොටසක් ලෙස හැඳින්වීමෙන් එය අප සතු බවට තහවුරු විය.
නමුත් ඉන් පසුව ද මෙම දූපත පිළිබදව ගැටළු ඇති වූ අතර ඉහත කච්චතිව් ගිවිසුම මගින් ධීවර කර්මාන්තයට සිමා පැනවීමක් සිදු නොවීම ද ගැටළු මතුවීමට එක හේතුවක් විය. ඉන්දියානු ධීවරයින් දූපත අවට නිදහසේ ධීවර කර්මාන්තයේ යෙදුනේ මේ හේතුව නිසාවෙනි.
1976 දී දෙරට අතර තවත් ගිවිසුමක් ඇති වූ අතර, එමගින් ශ්රී ලාංකිකයන්ට ඉන්දියානු මුහුදු සීමාව තුළ හෝ ඉන්දියානුවන්ට ශ්රී ලාංකීය මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් කරන ලදී. යම් මුහුදු සීමාවකට ඇතුලත් වීමේ අවශ්යතාවයන් පවතී නම් අදාල මුහුදේ අයිතිය දරණ රාජ්යයේ අවසර ලබාගත යුතු විය
ශ්රී ලංකාව තුළ 1991 වන විට පැවති සිවිල් යුද්ධයත් සමඟ තමිල්නාඩු ප්රාන්තය නව යෝජනා සම්මතයක් මගින් නැවතත් කච්චතිව් දූපත පිළිබදව ප්රශ්න කරන ලදී. ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් මෙම කාල සීමාව තුළ ඉන්දියානු ධීවරයින් ලංකා මුහුදු සීමාව පහසුවෙන් සහ අනවසරයෙන් භාවිත කරන ලදී.
2008 වර්ෂයේ දී තමිල්නාඩු ප්රාන්තය තුළ ජයලලිතා ජයරාම් බලයට පත්වීමත් සමඟම තමිල්නාඩුව විසින් 1974 සහ 1976 ගිවිසුම් බල රහිත කරන ලෙසට ඉල්ලමින් එරට ශ්රේෂ්ඨාධිකරණයෙහි නඩු ගොනුකරන ලදී. කෙසේ නමුත් සිවිල් යුද්ධය 2009 වසරේ දී හමාරවීමත් සමඟම ශ්රී ලංකාව තම නාවුක සිමා ශක්තිමත් කරන ලදී.
සිවිල් යුද්ධයෙන් පසු තත්ත්වය
සිවිල් යුධ සමයෙන් පසුවත් ඉන්දියානු ධීවරයින් නිරන්තරයෙන්ම ශ්රී ලංකා මුහුදු සීමාව තුළට පැමිණීම හේතුවෙන් ආරක්ෂක අංශයන්හි අත්අඩංගුවට පත් වූයේ එය රටේ අභ්යන්තර ආරක්ෂාවට ගැටළුවක් වන නිසාවෙන් මෙන්ම කච්චතිව් දූපත ශ්රී ලංකාවට අයිති, ලංකා මුහුදු සිමාවේ පිහිටි භූමියක් බවට ඒ වන විටත් තහවුරු වී තිබූ නිසාවෙනි.
වසරේ එක කාල සීමාවක පමණක් මෙම දූපතේ පිහිටා තිබෙන ශාන්ත අන්තෝනි දේවස්ථානය වන්දනා කරගැනීම සඳහා ඉන්දියානුවන්ට මුහුදු මාර්ග ඔස්සේ කච්චතිව් දූපතට පැමිණීමට ශ්රී ලංකාව විසින් අවසර ලබා දී ඇත. එනිසා මෙම කාල සීමාව තුළ නිත්යානුකුල නොවන විවිධ මත්ද්රව්ය ශ්රී ලංකාව තුළට ගෙන ඒම ද සිදුවේ. නෛතිකව සහ අන්තර්ජාතික මුහුදු සීමා සම්මතයන්ට අනුව ශ්රී ලංකාවට මෙම දූපත අයත් වුවත්, ඉන්දීය ධීවරයින් සහ අනෙකුත් ජාවරම්කරුවන් තවමත් මෙම මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිටී.
උපුටා ගැනීමකි
ලිපියේ ගෞරවය.
📷 chathura karunarathne ට
notes of imaginary

Friday, April 28, 2023

කිරි අම්මා කෙනෙක් කියන්නේ......

(මුණු පොතෙන් )

කිරි අම්මා කෙනෙක් කියන්නේ සත්යය වශයෙන්ම එම අවස්ථාව වන විට කිරි දරුවෙකුට තම දෙතනින් කිරි දෙන අම්ම කෙනෙක්. කිරි අම්මාවරුන්ගේ දානයට ශරීරයේ යම් යම් ආබාධිත තත්වයන් ඇති, (අංග විකල), අශුද්ධ, අවිවාහක, දුරාචාරී හා ස්වාමි පුරුෂයා මිය ගිය කාන්තාවන් කැඳවන්නේ නැහැ.
දානය දෙනු ලබන නිවැරදි වෙලාව?
සාමාන්යයෙන් කිරි අම්මා වරුන්ගේ දානයක් පැවැත් වෙන්නේ හිමිදිරි පාන්දරින්. ඒ කියන්නෙ උදේ පහට විතර. එනම් “කොස් නැටි පෙනෙන” වෙලාවටයි. එක් පත්තිනියකට විනාඩි හත බැගින් විනාඩි හතලිස් නමයක කාලයක් තුළ මෙය නිම කළ යුතු වේ.
දානය සදහා පිළියෙල කරන විශේෂ ආහාර
මේ සඳහා කෑම වර්ග හතක් පිළියෙල කරනවා. ඒ සෑම කෑම වර්ගයකින්ම හත බැගින් එක් කිරි මවකට පිළිගන්වනවා. ඒ කිරිබත් කෑලි හතයි, කිරි කෑලි හතයි, හැඳි කැවුම් (කොණ්ඩ නැති කැවුම්) හතයි, කෙසෙල් ගෙඩි හතයි, හකුරු කෑලි හතයි ආදී වශයෙන්. හැම කිරිමවක් ම ආහාර අනුභව කරන්නේ නොඉඳුල් කෙසෙල් කොළ.
කිරිඅම්මාවරුන්ගේ දානය දෙනු ලබන පිළිවෙල
කිරි දානයක් සදහා සුදානම් වීමේදී දානය දෙනු ලබන නිවස තුලට මස් මාංශ හා අනෙකුත් පිළී ආහාර ද්රව්යන් රැගෙන ඒම දානය දෙනු ලබන දිනට පෙර අවම දින 3 ක කාලයක් සිට නවතා නිවස හා ගෙවත්ත පිරිසිදු කර දානය දීම සදහා නිවැසියන් සූදානම් වෙනවා.
නිවස මෙන්ම නිවැසියන්ද මේ කාලය තුල පිළීආහාර වලින් වැළකී පේවීම සිදු කරන්නේ වඩාත් හොදින් දේව ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණීන්.
නියමිත වේලාවට ප්රධාන කිරි අම්මා පෙරටු කරන් දානයට වාඩිවන කිරි අම්මාවරු පළමුව සත් පත්තිනි පහනේ තිරය බැගින් දල්වනවා. සත් පත්තිනි පහන සඳහා සුදානම් කරන පහන් තිර ශක්තිමත් ව තරමක් මහතට සකස් කරනවා.
දෙවනුව හඬ නගා පන්සිල් ගැනීම කරනවා.
තෙවනුව විනාඩි පහළොවක් පමණ පත්තිනි හෑල්ලේ කවි ගායනා කරනවා.
සිව්වනුව දානය වළඳනවා. ඒ සඳහා වැය කරනුයේ විනාඩි පහළොවක තරම් වු කාලයක්. දානය වැළඳීමට පෙර තම ආහාර බඳුනෙන් ස්වල්පයක් ඉෂ්ට දේවතාවුන් සිහිකර ඔවුන් වෙනුවෙන් එය ඉවත් කර පත් කොළයේ පසෙකින් තියනවා.
පස්වනුව දෙවියන්ට පිං අනුමෝදන් කරනවා.
ඉන්පසු නැගී සිටිනා කිරි අම්මාවරු හයවනුව සත් පත්තිනි පහනේ ඇති පහන් තිරය බැගින් අතට ගෙන රෝගියා හෝ බිළිඳු දරුවා අසලට ඇවිත්”සියලු රෝග නිවාරණයි” කියමින්, සත් වරක් බිළිඳාගේ/රෝගියාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ගෙනයමින් ආශිර්වාද කරනවා.
සත්වනුව ඒ අසල තබා ඇති පොල් කිරි භාජනයට එම තිරය දමා තිරය නිවා දමනවා.
ඉන් පසු තමාට පිළිගැන්වු ආහාරවල ඉතිරි කොටසද රැගෙන පසුපස නොබලා කඩුල්ල පැන පිටත්ව යනවා. සමහර ප්රදේශ වල නිවස කඩුල්ල පැන යාමට පෙර ප්රධාන කිරි අම්මා විසින් දානය දුන් පවුලේ සාමාජිකයන්ගේ සියළු දොස් දුරුවේවායි කියා පොල් ගෙඩියක් මන්නයෙන් බිද, ජලය පුරවා තිබූ කළයේ වතුරින් කිරි මව්වරුන් දෙපා සෝදා ගෙන නිවැසියන්ට සෙත් පතා පසු පස නොබලා යෑමත් කරනවා.
ඉස්සර කිරිඅම්මාවරු විනාඩි හතලිස් නමයක කාලය මැනගැනීම සඳහා ඔරලෝසු බැලුවේ නැහැ.. “කොස් කොලවල නැටි පෙනෙන වෙලාවට” නිවසට පැමිණ, “කහ කැටේට ඉර පෑයිමට පෙර” පිටත්ව යන විට සාමාන්යයෙන් ගතවන කාලය මේ කටයුත්තට අයිති කාලය හැටියට ඔවුන් සැලකුවා.
මෙම දානයෙහි විශේෂත්වය තමයි, කිරි අම්මාවරුනට පිරි නමන සෑම ආහාරයක්ම කිරි එරෙන දේවල් වීම. දානයට පැමිණීමට පෙර තම ළදරුවාට කිරි පොවා පැමිණෙන මව දානය නිමවා නැවත නිවසට යනවිට, ළදරුවාද නැවත කිරි බීමට සුදානම්වයි ඉන්නේ. එවිට ඇය තම නිවසට ආපසු පැමිණි වහාම කරනුයේ තමන්ගේ ළදරුවාට නැවත නැවතත් කිරි දීමයි. එවිට ඒ දෙන කිරි, කිරි දානයේදී වැළදු කිරි ආහාර පදනම් කොට ගෙන එරුණ ඒවා. “නොඉඳුල් ළදරුවන්ට” එම කිරි පොවන විට ඔවුන් වෙනුවෙන් පිරි නැමු දානයේ පරමාර්ථය නිරායාසයෙන් ම මුදුන්පත් වෙනවා
මෙම කිරි අම්මාවරුන් ගේ දානයේ තවත් වැදගත් කරුණක් වනුයේ “සත් පත්තිනි පහන” දැල්වෙනුයේ දානය සඳහා වැයවන කාලය තුළදී පමණක් වීම. කිරි අම්මාවරු පැමිණෙන විට පහන පත්තු නොවේ. ඒක් එක් එක් තිරය බැගින් පත්තු කරනුයේ ඔවුන් විසිනුයි. දානය අවසන් වු විට එක් එක් තිරය බැගින් නිවා දමනුයේද ඔවුන්මයි. පළමු කිරි මව පැමිණි මොහොතේ දැල්වීම ඇරඹෙන පහන, අවසන් කිරි මව නැගිට යන මොහොතේ සම්පුර්ණයෙන්යෙන්ම නිවා දැමෙනවා.
හැබැයි, මෙහිදී ඔබ තවත් දෙයක් මතක තියාගන්න ඕනේ. අපේ රටේ විවිධ ප්රදේශවල ජනතාව කිරිඅම්මාවරුන්ගේ දානය පවත්වන විදිය එක හා සමාන නැහැ. සමහර ප්රාදේශීය වෙනස්කම් නිසා ඔබ දැන සිටි කිරි අම්මාවරුන්ගේ දානය මීට වඩා පරස්පර වෙන්නත් ඉඩ ඇති.
කිරි අම්මාවරුන්ගේ දානය අද සමාජයේ බොහෝ දෙනා අතරත් ජනප්රියයි. හැබැයි මේ දානයේ සුවිශේෂ වැදගත්කම අවබෝධ කරගෙන නිවැරදිව දානය පවත්වන එක නම් කාගෙ කාගෙ අතිනුත් වෙන්න ඔනෙමයි. ඔබත් මින් පස්සේ කිරි අම්මාවරුන්ගේ දානය ජනප්රිය රැල්ලට, කරන්නන්වාලේ කරන එක නවත්වලා හරි විදියට ම පවත්වන්න.
( මේ තොරතුරු හොයාගත්තේ “ඒ.පී.ඒ. ගුණසේකර” මහතාගේ, “හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ” නම් ග්රන්ථයෙනුයි.)
ස්තුතිය මුල් හිමිකරුට ❤

notes of imaginary

Friday, April 14, 2023

සුබ නව වසරක් වේවා !




notes of imaginary

Thursday, April 13, 2023

නව වසරක් !

මේ වන  විට අවුරුදුද ගෙවෙමින්  අළුත්  අවුරුද්දකට මුල පිරෙමින් තිබේ පරණ අවුරුද්දට අවසාන දිනයේ දිය  නෑම ඉතා වැදගත් චාරිත්‍රයකි.    ගැමියන් කියන්නේ පරණ අවුරුද්ද සෝදා හැර අලුත් අවුරුද්දට අලුත් වනවා යන්නයි. එදා අප හෙළ දිව සිංහල ගැමියන් හැම දේම කළේ නැකැත් අනුවය. වසර දෙදහස් පන්සියයක් තිස්සේ අවිච්ඡින්නව පැවැත එන සිංහල චාරිත්‍ර විධිය. ඒ අනුව පරණ අවුරුද්දේ නෑම ද ඉතා වැදගත් චාරිත්‍රයකි.   

අලුත් අවුරුද්දට හිස පිරිසිදු කරගැනීමට  නානු ගෑමෙන්ම අසනීප දුරු කරගැනීමටත්, කටවහ, ඇස්වහ දෝෂ හා ග්‍රහ දෝෂ දුරු කරගැනීමත් සිදු කර ගනු ලැබේ . මේ සඳහා නානු පිළියෙල කිරීම පැරැණියෝ එක් ඖෂධ වට්ටෝරු ක්‍රම යොදා ගනී. එසේ සාදනු ලබන නානු අටවිසි පිරිතෙන් විසි එක් වරු පිරිත් කරගැනීම කරනු ලබන්නේ තව තවත් සෙත් ශාන්තිය ලැබෙනු පිණිසය. පරණ අවුරුද්ද අදින් ගෙවී යන්නේය.

 

පරණ අවුරුද්දට ස්නානය කිරීම. හද බැලීම චාරිත්‍ර විධි තිබුනත් වර්තමානය වන විට ඒවා භාවිතයෙන් ඉවත් වෙමින් පවතින චාරිත්‍ර බවට පත්ව ඇත.

සෑම කෙනෙකුටම තමන්ට වෙන්වු ඉෂ්ඨ දේවතාවෙකු සිටින බව මතයක් ඇත. ඔහු වසර පුරාවට තමන් සමග සිට තමන් ආරක්‍ෂා කල බවට විශ්වාසයක් තිබේ. හිරු මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන වේලාවේ ( පුණ්‍ය කාලය ) උග්‍ර ග්‍රහ බලවේගයක් ක්‍රියාත්මක වේල.මේ වෙලාවට මුහුණ දීමට මහේශාක්‍යය අල්පේක්‍ෂ දෙවිවරුනට නොහැකිවේ මේ අවස්ථාවේ දෙවියන් මිනිස් ලොව සමග තිබු සබද කම් වලින් මිදී දෙව් ලොවට යයි . මිනිස් ලොව ග්‍රහ බලවේගයන්ගෙන් මිදුණු පසු යලිත් පෙර පරිදි සබදකම් ඇති කර ගැණිමට දෙවිවරුන් මිනිස් වෙලාවට පැමිනෙති.

ඒ අවස්ථාවේ තම ඉටුදෙවියන් පිලිගැණිමට නා පිරිසිදු වී පිරිවට ඇද පේවී සිටිය යුතු බව මුතුන්මිත්තන් දැරු මතයකි.

පුණ්‍ය කාලයේ සියළු වැඩකටයුතු අත්හැර පුණ්‍ය කටයුතු වල යෙදීම ග්‍රහ බලවේගයන් මගහවා ගැණීමටත්  ඉන් ඇතිවන අපල උපද්‍රව වලින් මිදීමටත් සිදුකල වතාවකි.

 

 

අවුරුදු උළෙලේ තවත් එක් චාරිත්‍රයකි, ළිප් බැඳ නැකැතට ගිනි මෙළවීම. ඉදිරි වර්ෂය තුළ දී ගෙදර ආහාර පානයෙන් අඩුපාඩුවක් නැතිව තිබීමට මෙන්ම ගෙදර අරපරෙස්සම් ආදිය ඇතිවීම සඳහා ළිප් බැඳ ගිනි මෙළෙවීම නැකැතට සිදු කරනු ලැබේ.   

 

මේ අවුරුද්දේ නම් අවුරුදු කුමාරයා ගැන වැඩිහිටි අපට නම් කිසිදු හැගීමක් නැත.වැඩිහිටියන්ට උනන්දුවක් නැති නිසා පුංචි එවුන්ටත් වෙනදා මෙන් උද්යෝගයක් නැති ගානය.ඇදුමක් පැළදුමක් ගන්න ගේ දොර උගස් තියන්නට තරම් මිළ ගණන් ඉහලය. 12 වෙනිදා පරන අවුරුද්දට ස්නානය කිරීමෙන් පසු අළුත් අවුරුදු චාරිත්‍ර සදහා සූදානම් වීම අපේ සිරිතය.

මීට අවුරුදු පනහකට හතළිහකට පෙර අවුරුදු නැකත් සීට්ටුව ගමට ලැබුනේ පන්සලේ ලොකු හාමුදුරුවන් සහ ගමේ නැකත් ගුරුන්නාන්සේගේ අනුග්‍රහය ඇතුවය.පසු කාලීනව දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විසින් සකස් කරන ලද පංචාංග ලිත මුළු රටටම අවුරුදු නැකත් පෙන්වීය. දැන් නම් සෝබනයට උත්සවාකාරයෙන් අවුරුදු නැකත් ජනාධිපතිවරයාට ඔප්පු කරන්නේ සංස්කෘතික අමාත්‍යවරයා විසින්ය. එයටත් සල්ලි නැති රටේ වියදම් වන්නේ මහජනතාවගේ බදු ගෙවන අරමුදල්ය. ඒ මදිවාට පලාත් ආණ්ඩුකාරවරුද මෙවන් ජොගි නටන්නේය. මේ අවුරුදු කතාව එතරම් ප්‍රසන්න නැත. අපිට එන අවුරුද්ද ගැනවත් මීට වඩා ප්‍රන්න අන්දමින් සිතන්නට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

ඔබසැමට සුබ නවවසරක් වේවා.

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon