කාලය බොහෝ අරුමයන් මවනවා .වෙනස් වීම් සිදුකරනවා.
යහපතට වගේම අයහපතට. අපේ දැනුම සහ අවබෝධයේ
තරම කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්.
ජීවිතයෙන් දශක පහක් හයක් ආපසු
ගමන් කල විට අවුරුදු පහලොවක දහ අටක පමණ
ගැටවරයෙක්. එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත්
පත්වෙලා.
එදා අපිත් අද පුංචි දරුවෙකුටත් ඇති අවබෝධය සහ තාර්කික බුද්ධිය විශාල පරස්පරයක් තියෙනවා කියලයි මට දැන් හිතෙන්නේ.
අපි එදා හිතලා තියෙන්නේ ගතානුගතිකව .
එක් එක් පවුල් වල ජීවන රටා වෙනස් . අපි ගම්බද පදිංචි කරුවන්. එකල ගොවියාගේ පුතු දෙමවව්පියන් අනුව ගොවිපලට යනවා. මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි.
මගේ පියා සාමාන්‍ය වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම
පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු
පසුකාලය වන විට පියා අනුගමනයකිරීම දක්වා පුහුණුවක් වුනා.අධ්‍යාපනයට යොමු කලත්
ජීවිතය වැලද ගත්තේ පියාගේ වෘත්තීය පුහුනුව.යි.
මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත්
වියමන් වෙන්නේ වෙනත් සරල සිදුවීමක්. තැතිගත් මනස මට කල හදියක් කීමටත් , අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල
නිෂ්පාදනයක් හදුන්වා දිමටයි. ඒ අතර තවත් අතුරු කතාවකුත් තියෙනවා.
මේ කතා අවසාන විට ඔබ හිතාවි දෑන් සීයා වන මමත් , මගේ පුංචි මුණුපුරාත් අතර වෙනස.
කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට
ගිය බව කියමින් . පැතුරුන විශාල වපසරියක අපේ
තාත්තාගේ ගණුදෙණු කරුවන් විශාල පිරිසක් වාසය කලා. ගම් දහයක් දොළහක සිංහල ජනතාවත් අක්කර
දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක දමිළ ජනතාවත් මේ පිරිසට අයත් වුනා. වතුයායේ සේවය
කල වතු ජනතාව හට ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත
මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු
වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා
පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු , ණය ගනුදෙණු කරුවන්ගෙන් එක් රැස්කරගෙන
ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි.
දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත්
චාරිකාවක්. සෑම වාරයකම පෙර දින පිටත් වන අපි
දෙදෙනා ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ පසුදා රාත්‍රී
දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.
1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම
කාරිය අවසන් වුනේ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු කම්කරුවන් ශ්‍රී
ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එම වකවානුවේ ඉන්දීය පුරවැසි කම ලැබ මෙම දමිළ ජනතාවගෙන් අඩකටත් වඩා පිරිසක් ඉන්දීයාවට
පිටත්ව ගියා. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අද වන විට අක්කර සීයයකට පමණ සීමා
වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.
අතුරු කතාවත් සටහන් කරන්නම් .
ඉතින් ….. එක් දවසක චරෙිකාව අවසන් කරලා අපි දෙන්නා ඒ කිව්වේ
මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින් ගෙදර එනවා. දැන් වගේ නෙමෙයි.
විදුලි පන්දමට අතිරේක බැටරි කෑලි ගෙන යන්න අපිට ලැබෙන්නෙත් නැහැ. පෙරදා ගෙන ගිය
විදුලි පන්දම් දෙකේ බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. අතුරු පාරවල්
( ෂෝර්ට් කට් ) හරහා අපි ගමන ඉක්මන් කරනවා. තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක්
මැදින් වැටී ඇති අතුරු මගකින්.
අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක් “ ටකස් – ටොකස්
, ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.
අපිට මතක් වෙනවා අපි ගමන් කරන අතුරු මාර්ගය
පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන්
අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇට’ඹ ගස. අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව
හිටිවන ඉන්නවා . “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.
“අයියේ …මස්සිනා මට
කියනවා. මොකද කරන්නේ ? අපි ආපහු යමු ” මම කියනවා . සැතපුම් භාගයක් විතර ආපසු ගොස්
අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන ඒ ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර
දික්වෙනවා. මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන්
කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ “කනක්කයාගේ
සොහොන ”කියලා.මේ
කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. පසු පසට තල්ලු කරනවා
විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ
හයියෙන් ගායනා කරනවා.
වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන
යාන්තම් ගෙදරට එනවා.
පහුවදා දෙන්නටම සහලෝල උණ.තොවිලයක් නොකර බේරුනත් … තෙල්
සාත්තුවකින් යාන්තම් බේරුනා.මතක් වෙන කොටත් දැන්නම් හිනා යනවා.
සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින්
මේ “ටකස් – ටොකස් ” ජංජාලේ සුලමුල හොයන්න ගියා කියමුකෝ . මහ දවලුත්
“ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන්. හඩ ඔස්සේ
ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු “දිය උගුල” තමන් ගේ රාජකාරිය ඉටු කරනවා.
අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම්
සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි – සැප්තැම්බර් කාල පරාසය මේ ප්‍රදේශයට තද හුලං හමන
කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. ‘කනක්කයගේ
සෙහොන’ පිහිටුවා තියෙන බෑවුම් සහිත මහා මාර්ගයේ ග මේ
කාලවලට හමා යන හුළග හරි වේගවත් . ‘කනක්කයගේ සෙහොන’ අදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ
හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා ‘කනක්කයගේ සෙහොනේ’ අභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා. ඒ .රමට
විචාරත්මක බවක් අපිට තිබිලා නැහැ.
අපේ පුංචි එකා – මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා
පැටියෝ අහවල් සීයට කියලා වතුර ටිකක් මතුර ගෙන එන්නද කියලා. “සීයේ එයාට
පියාඹන්න පුළුන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.
එහෙමයි. කාලය වෙනස් වෙලා තියෙන්නේ. දැන් දරුවෝ
අපේ කාලේ දරුවන්ට වඩා විමසිලිමත්.