Thursday, July 10, 2014

ජාත්‍යන්තර පාසල් .


ගුරුවරයෙක් විදුහල් පතිවරයෙක් සහ අධ්‍යාපන මාණ්ඩලික නිලධාරියෙක්ව සේවය කල  දිසානායක මහත්තයා මට හමුවෙන්නේ මාසෙකට වරකි. අද එතුමාගේ විශ්‍රාම වැටුප් දවස. ලගම තියෙන තැපල් කන්තෝරුවෙන් විශ්‍රාම වැටුප ගන්න පුළුවන් උනත් ,කිලෝ මීටර් 15ක් විතර දුර ගෙවලා නගරයේ බැංකුවකින් තමයි එතුමා තම විශ්‍රාම වැටුප ගන්නේ.

එදාට එකට එකතු වෙන දහයක දොලහක සෙට් එකක් ඉන්නවා. මේ කට්ටිය රජයේ විවිධ තනතුරු දරාපු උදවිය. එයාලටත් ලගපාතින් විශ්‍රාම වැටුප ගන්න පුළුවන් උනත් නගරයට එක් දිනකදී එකතුවන්න සම්මුතියක් අරගෙන තියෙනවා. 

විශ්‍රාම වැටුප අරගෙන දරු මුණුපුරන්ට අඩුම කුඩුම පොදි ගහගෙන මේ සෙට් එක දවසේ අවසාන ප්‍රෝග්‍රෑම් එකට විවේක තැනක් තෝරා ගෙන තියෙනවා. පස්වරු එකට විතර සෙට් වෙන මේ කන්ඩායම හතරට පහට ගන්න ලන්ච් එකෙන් දවස එවර කරලා විසිර යනවා.   
මේ වැදගත් තලතුනා මහත්තුරු කණ්ඩායම මේ මාසේ මුල් අගහරුවාදා  මට මුණගැහුනා.

මෙයාලා නිත්‍යවම  මාසිකව එක් රැස්වන සංගමයක  සාමාජිකයෝ පිරිසක් නිසා බිස්නස් ප්‍රොමෝෂන් එකක් විදියට  දීමනාවක් දීලා තියෙනවා !.. මෙතුමන්ලා  vat  එකෙන් සහ service charge එකෙන් නිදහස් කරලා ආහාර පාන සදහා පමනක් බිල් පත ගණනය  කරගන්න  විශේෂ පහසුකම්  ඇති කරලා තියෙන්නේ වෙනත් තැනකට සෙට් වෙන එක වලක්වා ගන්න .

දිසානායක මහත්තයාගේ බුද්ධි මණ්ඩලයේ  අද සාකච්ඡාවට යොමු වෙලා තියෙන්නේ ජාත්‍යාන්තර පාසල් .

දිසානායක මහත්තයා වාමාංශික අදහස් තදින්ම වැලදගත් දේශපාලන පක්‍ෂයක් බදා නොගත් චරිතයක්. දිසානායක මහත්තයාගේ කෝණයෙන් වාමාංශික පක්‍ෂවුනත් තදින්ම විවේචණය කරනවා.  1970 -1977 සංවෟත ආර්ථිකය කුඩු පට්ටම් කරලා 1977 විවෘත ආර්ථිකය උපදිනවා. 1977 විවෘත ආර්ථිකයෙන් හැම රෙද්දම විවෘත වෙනවා. දිසානායක මහත්තයාගේ උස් හඩ දේශපාලන වේදිකාවක වගේ නැගිලා ඇහෙනවා.

මම එහාට මෙහාට දුවන තිලකසිරිගෙන් “පටන් ගත්ත ගමන්ම වැදිලාද කියලා අහනවා” . “නෑ සර් ගැම්ම ගන්නවා “ වේටර් තිලකසිරි හිනහා වෙනවා.

“ඔව් !  ඔව් !! අධ්‍යාපනයත් විවෘත වුනා. ජාත්‍යන්තර පාසල්  ඇරිලා.”  කන්ඩායමේ කෙනෙක් විවෘත ආර්ථික මාතෘකාව  - මාතෘකාවේ එක් කොටසක්වන  අධ්‍යාපනය පැත්තට හැරෙව්වා.

බලන්න මාතුපාල මහත්තයා,  අපේ කාලේ ඉදන් රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ක්‍රිස්‌තියානි පාසල්, ඉස්‌ලාමීය පාසල්, හින්දු පාසල් කියලා පාසල් තිබුනා. මේවා ව්‍යාපාර නෙමෙයි.

ජාත්‍යන්තර පාසල්  කියන්නේ කඩනේ !. සිරිපාල මහත්තයාගේ  හඩට
“මේවයේ කිසිම කිසිම ප්‍රමිතියක් නැහැ සිරිපාල මහත්තයෝ “පිලිතුර මාතුපාල මහත්තයාගෙන්ය.

මේ පාසල්වලට ප්‍රමිතියක්‌ හඳුන්වා දීමට කාටවත් උනන්දුවක්‌ නැහැනේ .  තවත් හඩකි.

ප්‍රාදේශීය ලේකම් කාර්යලයෙන්  විශ්‍රාමික එදිරිසිංහ මහත්තයා කියන්නේ ‘ පුංචි වැඩක්නේ ජාත්‍යන්තර පාසලක් ලියාපදිංචි කරන එක කඩ කාමරයක්‌ කුලියට ගන්නවා.  ඒකට ඩෙස්‌  බංකු විසිපහක් තිහක් දානවා සමාගම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ "අධ්‍යාපන සේවාවක්‌" ලෙස ලියාපදිංචි කරනවා  ඔන්න ජාත්‍යන්තර පාසලක් !.

මේ නීතිය යටතේ අපේ රටේ පවතින සියළුම ලොකු කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන බව මගේ මතකයට එයි. 

ජාත්‍යන්තර පාසල් වැඩි හරියක සුදුසුකම් ලත් ගුරුවරුන් නැත. රජයේ පාසල්වල මෙන් ගුරුවරුන් පුහුණුකිරීමේ ක්‍රමවේදයක් නැත . ජාත්‍යන්තර පාසල් මේ රටේ විවෘත කර දශක හතරකට ආසන්න වුවත් රජයේ අවධානය අධ්‍යාපන කෝනයකින් ජාත්‍යන්තර පාසල්  දෙස යොමු වී නැත .ඒ
වා ව්‍යාපාරය. 
මේ කතාබහට අහමින් සිටින විට මට සිහිපත් විය.


මේ වියපත් සංගමය ලබන මාසේත් විශ්‍රාම දිනයට එක්වනු ඇත පුංචි සාදයක් සමග කාලීන ප්‍රශ්නයක් විසදන්න උත්සහා කර සතුටින් විසිර යනු ඇත . ඒකාකාරී ජීවිතයට විශ්‍රාම වැටුප් දා සිසිලක් පවනක් වෙන්න සෙවනක් වීම මටද සතුටක් වනු ඇත. 

notes of imaginary

ආදරයට දේශ සීමා , ජාති බේද නෑ

මොකද මහත්තයා අව්වට වෙලා?  පාන්දර අව්ව තපින මගෙන් අහගෙන සාජ්  පාන්දරින්ම ගොඩවුනේ උගුර තෙමා ගෙන යන්න නෙමෙයි කියලා  මට හිතුනා.

සාජන්ට් මහත්තයා කුකුලත් කිහිල්ලේ ගහගෙනම  ..............?.  මම පාන්දරින්ම ආපු කාරනේ ගොඩ ගන්න ප්‍රශ්නයක් ඇහුවා
මහත්තයා...................................... අපේ ලොකු මහත්තෙක් එනවා. අපි ඔබතුමා ගෙන්  එතුමාට නවාතැන් බලාපොරොත්තු වෙනවා. මේවා ඉතින් පොලිස් පොඩ්ඩන්ට අයිති රාජකාරිනේ .
රාජකාරි දුක්ගැනවිල්ලකුත්  අමුනන ගමන්  මාතෘකාවට බහින සාජ් අපිට බිලක් දානවා.

ව්‍යාපාරික සිතිවිල්ල දිය කර අරින මම  අන්‍යනෝන්‍ය සහයෝගය සිහිපත් කරලා නවාතැන් පහසුකම් වෙන් කරන්න එකග වෙනවා.

සාජ්ට ආපහු රාජකාරියට යන්න ඒ තරම් හදිස්සියක් නැහැ වගේ .  ලොකු මහත්තෙකුගේ පහසුකම් සපයන්න නේ ඇවිත් තියෙන්නේ . පාන්දර නිසා මම තේ එකක් බොන්න ආරධනා කරනවා.  දෙන්නාත් එක්ක තේ බොන අතර අවුරුදු දෙක තුනකට ඉස්සර පරණ සිද්ධියක්. සාජ්ට මතක් වෙනවා

මහත්තයට මතකද අර බදුල්ලේ ‍ජෝඩුවකට  කාමරයක් දීලා ඔළුවට කඩාගත්ත මරාලේ ?. අපොයි ඔව්.
සර්වන්ට් ගර්ල් කෙනෙක් ගෙදර එක්කර ගෙන යන කොට ....................
ආන්න හරි.
සාජන්ට් මහත්තයා අතීත සිදුවීම තහවුරු කරනවා.
මතක තිබුනට විතරක් බැහැනේ  සාජන්ට් මහත්තයාට   මතක තියෙන විදියට කතාව අළුත් කරමුකෝ මම යෝජනා කරනවා.
කාරයක් වාහන අංගනයේ නතර කරලා පිලිගැණිමේ කවුන්ටරයට ජෝඩුවක් එනවා. නවාතැන් පහසුකම් ඉල්ලා ගෙන .
පිලිගැණිමේ කවුන්ටරයේ හිටියේ ගුණපාල හැදුනුම් පත් දෙක ඉල්ලා ගෙන,  අමුත්තන්ගේ  පොතේ අත්සන අරගෙන නවාතැන් පහසුකම් සලස්සනවා. එයා අවධාණය යොමු කරලා තිබුනේ ජෝඩුවගේ වයස ගැන විතරයි.
මහත්තයා සිංහල  -  නෝනා වතු ද්‍රවිඩ !.
කිසියම් සැකයක් මේ විශේෂත්‍වය ගැන ඇතිවන ගුණපාල හැදුනුම් පත් දෙක  මට යොමු කරනවා.

ආදරයට දේශ සීමා , ජාති බේද නෑනේ ගුනේ ............................මේකත් ජනවාර්ගික ප්‍රශ්ණයට හොද විසදුමක් ..........සැහැල්ලු උත්තරයකින් සනසලා  හැදුනුම් පත් දෙක යලිත් ගුණපාල අතට දෙනවා.

පැයක්විතර ගතවෙන්න ඇති  කාමරේ බාර අසේල දුවගෙන එනවා.
හරි වැඩේ නේ මහත්තයා  ....... අර කාමරේ ඉන්න නෝනා දොර ගාවට වෙලා විලාප දෙනවා  මොන ලෙඩක්ද දන්නේ නෑ...............මහත්තයා පොඩ්ඩක් බලන්නකෝ . අසේල කියනවා.
කාමරේ ලගට ගිය මම  මහත්තයා ගැන විපරම් කරනවා. මහත්තයා කාමරයෙන් බැහැර වෙලා උද්‍යානයේ ටිකක් ඈතට ගිහින් එහාට මෙහාට සක්මන් කරනවා. එකක් හැරෙන්න තව එකක් සිගරට් දල්වනවා.  
අසේල මේක ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති . ඒ ගොල්ල විසදා ගනියි. අපි මොනාවටද ඇගිලි ගහන්නේ ?
නෑ නෑ මහත්තයා මේක එහෙම එකක් නම් නෙවෙයි . මට නම් ෂුවර් මේක නම් එහෙම එකක් නම්  නෙවෙයි අසේලගේ ඉව වචනයට නගනවා.
හරි අපි එහෙනම් කතා කරලා බලමු.
මම කාමරය දොර ලග ඉකි බිදින නෝනා හා කතා කරන්න එකග වෙනවා.

නෝනා ගේ කතාව මේ වගේ එකක්.
ඈ මේ මහත්තයාගේ ගෙදර අත් උදව්වට කොළඹ එක්කර ගෙන යනවා ඒ යන  ගමන් තේ එකක් බොන්න හෝටලයට යමු කියලා ගොඩ වෙනවා.
ඉන් පස්සේ මහත්තයා යෝජනා කරලා හවස් වුන නිසා වාහනේ දුර පදවන්න අකමැතියි අපි මෙහෙ නතර වෙලා උදේ යමු කියලා.

වෙලාව පස්වරු අටට ඇති.

මම තීරණයක් ගත යුතුයි අසරන‍ වෙලා ඉන්න මේ යුවතිය ගැන.
කාර්යාලයට ගිය මම සාජ් කැදවලා පණිවිඩයක් දෙනවා. හරි මහත්තයා විනාඩි දහයෙන් මම එනවා. මට හිතට අස්වැසිල්ලක් සපයනවා. කාන්තා පොලිස් නිළදාරිණියක් එක්ක එන සාජ්ට ප්‍රශ්නේ බාර දීලා මම අහගෙන ඉන්නවා.
මගේ වාසනාවට සාජ් එනතුරුත් මහත්තයා උද්‍යාන කෙලවරක එහාට මෙහාට සක්මන් කරනවා.
සාජ් මහත්තයා කැදවාගෙන විත් ප්‍රශ්න කරනවා. මහත්තයා එකග වෙනවා වැරද්දක් කරන්න සැලසුම් කලා කියලා . යුවතිය සියල්ල වමාරා තමන්ට  හිරිහැරයක් නොවු බව තහවුරු කරනවා. ඈ රැකවරණයක් ඇති බව දැනී සැනසුම් සුසුමක් හෙලනවා.

දැන් සාජ්ගේ නීතිය හා මනුෂ්‍යත්‍වය දෙපැත්තට දෝලනය වනවා.

මහත්තයා අත් අත්අඩංගුවට පත්කර අධිකරණයට ඉදිරිපත් කලොත් දෙදරු මවක් සහ පියෙකුගේ අනාගතය ? විමසිල්ලට ලක්වෙනවා.
යුවතිය තම  ආරක්‍ෂාව සැලසුන බැවින්  මේ සිද්ධිය අමතක කිරීමට එකග වෙනවා.

දැන් වෙලාව පස්වරු දහයට ඇති.

අපේ දෛණික සේවා අවසන් කරන සේවක මහත්වරු විදුලි පහන් විසංදි කරගෙන ඇවිත් අපි රැදී ඉන්නා කොටස පමනක් ඉතිරි කරගෙන බලා ඉන්නවා. උදේ ඉදන් බැදි බැමි වලින් නිදහස් වෙලා දවසේ විඩාව නිමා ලන්න.
සාජ් මට ප්‍රශ්ණයක් ඉතිරි කරලා ? 
මේ යුවතියගේ නවාතැන් පහසුකම් හෙට උදේ වනතුරු සැපයීම පිලිබදව. දැනටමත් ඇගේ පියා හා ඈ සම්බන්‍ධ වෙලා පසුදා උදේ කැදවා ගෙන යාමට පැමිණෙන බවට.
අපේ බිල්පත් පියවා දැමු හදිසියේ ප්‍රේමයක් හට ගත් මහත්මයාව සාජ්  පොලිසියට කැදවා ගෙන ගියේ එතුමගේම වාහනයෙන්.පොලිස් වාහනය ආරක්‍ෂාව ට  වගේ පිටුපසින් යනවා. මම ආලින්දයේ ඉදන් බලා හිටියා. 
නීතියත් මනුෂ්‍යත්‍වයත් දෙකම බේරා ගන්න සාජ් උනන්දු වෙන්න ඇති.





notes of imaginary

Tuesday, July 01, 2014

ලන්ච් ටයිම් කතාවක්.

විශ්‍රාමිකයෙක් වගේ මුණුපුරත් එක්ක ගත කල දවසේ කාල සටහන වෙනස් වුනා. අවුරුදු තුනකට විතර පස්සේ කරමින් සිටි සේවා කටයුතු සදහා නැවතත් එකතු වුනා .ඒ නිසා දැන් මම විශ්‍රාමිකයෙක් නෙමෙයි. දැන් මගේ පැරණි සේවාදායකයෝ එක්කෙනා දෙන්නා නැවත මුණ ගැහෙන්න පටන් අරන් . පලමු දිනදීම හමුවුන සේවාදායකයෙක් මට දීලා තියෙන්නේ බාල්දියක්. ඒකෙන් මට වුනේ හොදට නාගන්න. සාජන්ට් මහත්තය (සාජ් ) දැන් මට නිතර නිතර හමුවෙන එක්කෙනෙක්.
සමහර විවේක කාලයේදී එයාගේ කතාවලට ඇහුම්කන් දෙන එකත් පුරුද්දක් වෙලා. ඒකට එක් හේතුවක් වෙන්නේ සාජ් පැමිනෙන “ ලන්ච් ටයිම් “ එක බොහෝ වෙලාවල් ම‍ටත් ටිකක් විවේක වෙලාවක්. සාජ් එක එක කතා කියනවා.
ඊයෙත් අදත් කතා දෙක ගම්මිරිස් හොරු තුන්දෙනෙක් අල්ලා ගත්ත හැටිත්. අනවසර මත්පැන් වැටලීමක් ගැනත් ඒ ගමන් කීවා.

අනවසර මත්පැන් වැටලීම් සුරා බදු දෙපාර්තමේන්තුවත් කරනවා. පොලිසියත් කරනවා. ආයාතන කාර්ය මණ්ඩල වෙනස් වීමත් සමගම කරන මේ වැටලීම් මාසයක් දෙකක් යන කොට අධිකරණ දඩ වෙනුවට මාස්පතා බදු මුදල් ගෙවීමක් බවට පත්වෙලා සාමාන්‍යකයකරණය වෙනවා. දෙපාර්ශවය හදුනා ගත්තම වැටලීම් ඕන වෙන්නේ නෑ. අනවසර මත්පැන් ස්කාගාර වලටත් තම නිෂ්පාදන අවහිරයකින් තොරව නිෂ්පාදනය කරගෙන යා හැකි තත්වයක් ඇතිවනවා. මේ දෙගොල්ල ගැනම මට අවබෝධයක් තිබෙන නිසා අමුත්තක් ඇති වික්‍රමයක් නැහැ.

මේ දිනවල ගම්මිරිස් වෙළදපලේ කිලොව රු 1180/= විතරත් අමු ගම්මිරිස් කිලෝව රු. 360/= විතර තොග වෙළද පලේ අලවි වෙනවා. ඉතින් අමු ගම්මිරිස් වතුවලින් හොරෙන් නෙලා ගැණීමත් පලදායි කාර්යයක්. සාජ්ගේ පොලිස් පොතේ සටහන් වෙනවා හොරෙන් ගම්මිරිස් නෙලා ගෙන ගියා කියන පැමිණිලි කිහිපයක්. කතාව ආරම්භ වන්නේ එහෙමයි.

අද කෑම විවේකයට පොඩ්ඩක් රත්වෙලා යන්න හුටු හුටු දඩුකජ්ජට නගින සාජ්ට මෙට්ට විකුණන්න යන බට්ටෙක් ( කුඩා ලොරියක් ) මුණ ගැහෙනවා . අහම්බෙන් මුණ ගැහෙන බට්ට ලොරිය පරීක්ෂා කරන්න ඕනි කියලා සාජ්ජට අදහසක් පහලවෙනවා. සාජ් කෑමට පෙර එන කාරෙනටත් පොඩි වියදමක් යනවනේ.

 සාජ්ට අමු ගම්මිරිස් ගෝණි කිහිපයක් මෙට්ට ලොරිය තුලදී හමුවෙනවා. පොලිස් පොතේ තියෙන පැමිණිලි කිහිපයත් මතකයට එනවා. ‍ලොරියේ හිටපු තුන් දෙනා පොලිස් භාරයට අරගෙන සාජ් බට්ටා ලොරිය පොලිසියට ගෙනියනවා. සාජ්ගේ අරමුන කෑමට පෙර රාජකාරිය නිම කරන්න. දෙපැත්තෙන් කොයිපැත්තකින් හරි සාජ් ගොඩ යනවා කියලා දන්නවා.
 පැමිණිලි දාලා හිටපු ‍කිහිපදෙනා කැන්දා ගෙන එන්න වහාම රාජකාරි ගමනක් පිටත් වුන සාජ් මුණ ගැහෙන්නේ පැමිණිලි කාරයනුත් සමග පොලිසියට යන අතරමගදී පැමිණිලිකාරයෝ කෑමට ගන්න ගමන්.

 නිවසියන් හට මෙට්ට විකුනන්න කතා කරලා අලවි කරගන්න කැමැත්ත ගන්න බැරිවුනාට වත්ත පිටිය ගැන ඔත්තු බලලා දෙන්නෙක් එක්ක ගම්මිරිස් වත්තට බැහැලා ගම්මිරිස් නෙලා ගෙන ලොරියේ බෑග් පුරවගෙන .මේ විධියට වතු කිහිපයක හොරට ගම්මිරිස් නෙලලා. අන්තිමට පොලිසියේදී පැමිණිලිකාරයෝ හොරු අදුනා ගෙන. මේ මේට්ට විකුනන්න තමන්ගේ ගෙවල් වලට ගිය තුන් දෙනානේ ! ගම්මිරිස් නෙලා ගෙනත් තියෙන්නෙත් කියලා .

අන්තිමේදී ගම්මිරිස් බට්ටයි අර තුන්දෙනාටයි අධිකරනයට යන්න වුනා කියලා.සාජ් වාර්තා කලා.

 notes of imaginary

Saturday, June 28, 2014

හේරත්හාමිට බණක් .

සාජන්ට් මහත්තයා. අපේ පොලිසියට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. මොකක්දෝ හේතුවකට එතුමා පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථානයකට මාරු කරන්නෙත් නැහැ. සාජන්ට් මහත්තයා වැයික්කියේ ඉන්න හැම දෙනාගෙම පැටිකිරිය දන්නවා. වාසගමත් එක්ක නමත් කියලා පවුලේ ඉන්න සාමාජිකයෝ ගානත් කියයි මතකයෙන්. එතුමා මට පසුගිය දවස් ටිකේ කෑම විවේකයේදී නැත්නම් ඕෆ් වෙලා යන ගමන් දිනපතාම වගේ මුණ ගැහුනා.මේ හැම දවසේම එතුමාට කියන්න කතාවක් තිබුනා.
මටත් හූ මිටිතිත තිය අහගෙන ඉන්න විවේකයකුත් තිබුනා.
බියර් බෝතලෙකුත් අති විශේෂ මිමි 200කුත් හිස්කර.න ගමන් කතාවට වැටෙන සාජන්ට් මහත්තයා ඒ ටික හිස්කරගත්ත ගමන්ම හුටු හුටු දඩු කජ්ජට නැගලා යන්නම් .............මහත්තයා කියලා වාෂ්ප වෙනවා.
ඊට පස්සේ මම සාජන්ට් මහත්තයාගේ කතා අවර්ජනය කරන්න පටන් ගන්නවා.


මේ දවස් වල හාමුදුරු හුට පට. මාදුළුවාවේ ලොකු හාමුදුරුවෝ පොදු අපේක්‍ෂකයා වෙලා ජනාධිපතිවරණයට එනවා. හාමුදුරුවෝ හිතන්නේ සිංහල බෞද්ධ ඡණ්ද එයාට ලැබෙයි කියපා වෙන්න ඇති. සේනා වල හාමුදුරුවරු පාරම්බානවා. තමන්ටම ගහ ගන්නවා. කරු මහත්තයාත් ඒ ගොල්ල කරන වැඩ සංඝාධිකරනයකින් මිසක් ඔය ගිහි අධිකරණ වලට යොමු කරන්න එපා කියනවා.
මට මතක් වෙනවා බණ්ඩාරණායක නඩුව නම් විසදුවේ ගිහි අධිකරණයක. සෝමාරාමට මරණ දඩුවම ලැබුනෙත් බුද්ධරක්ඛිත හිර ගෙට ගියෙත් සංඝාධිකරණයකින් නෙමෙයි කියලා සිහිපත් වුනාම වයසට යන කොට කියන කතා ගැන අපි කලබල වෙන්නේ නෑ කියලා කරු මහත්තයට කියන්න හිතෙනවා.
මේ පුර්විකාව මතක් වුනේ සාජන්ට් මහත්තයාගේ බණ කතාවක් අහලා.
හේරත්හාමි උපාසක මහත්තයා කට්ට කෛරාටි‍කයෙක්. පන්සල පැත්තේ යන්නේ කලාතුරකින්. දවසක් බණක් දවසේ පන්සලට ගිය හේරත්හාමිව “ අද කාලෙකට පස්සේ උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ වාඩි වෙමුකො මං ලගින්ම ” බණ පටන් ගන්න කොට හාමුදුරුවෝ ලගට කතා කර ගෙන වාඩි කර ගන්නවා.
හාමුදුරුවෝ බණ පටන් ගන්නවා .
හේරත්හාමි උපාසක මහත්තයා එහෙයි කියනවා. හාමුදුරුවෝ කැමති ඒකටනේ !.
හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.
එහෙමයි හාමුදුරුවනේ ! එහෙමයි හාමුදුරුවනේ !!!, යටගිය දවස කියන්නේ මොකක්ද හාමුදුරුවනේ ?
හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ - හුගාක් ඈත අතීතයේ
ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේ තරමද ?
හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.
හේරත්හාමි උපාසක මහත්තයාගේ ප්‍රශ්න වලට හාමුදුරුවන්ගේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න වෙනවා. ඒත් මොනවා කරන්නද ? දැළි පිහිය දුන්නේ හාමුදුරුවෝමයිනේ.
හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් ගැන මන් මේ කියන්නේ.
හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?
හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. මම කියනදේ අහන එකයි.
ඔච්චර විස්තර දැන ගන්න ඕන නෑ. මේ බණට
මං අහල තියෙනවා හාමුදුරුවනේ හැම ජාතක කතාවකම වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල තමයි පටන් ගන්නේ . මං අහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද? කියලයි.
මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .
හාමුදුරුවෝ හේරත්හාමි ගැන අවධානය යොමු කරන්නේ නැතිව දේශනාව කරනවා. මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් බිසෝවරු.
මගේ බුදු අම්මෝ !
හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක් පත්තෑයෙක්වත් කැවද ?
නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි රජවරුන්ට .
හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ
හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.
මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේද කොහේද තියෙන්නේ ?
එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකා බිසව කියල හොඳ ගැනියෙක්ද ?
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...
දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක් පරිස්සම් කරගත්තද ?
වෙන වැඩ තිබුනේ නැතිවටද ?.
ඇයි හාමුදුරුවනේ උන් සන්තෝෂ කරනවා තියා මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට වෙලාව තිබුනද?
හාමුදුරුවනේ ! .
ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට තවත් වේලා තිබුනද රට පාලනය කරන්න? හේරත්හාමිට ප්‍රශ්න වැලයි.
හාමුදුරුවෝ රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.
කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල ?
හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.
අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?
හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .
එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගෑනු. හාමුදුරුවනේ - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් රජ කළා කියල. ? ඒක සාධාරනද ?
හාමුදුරුවෝ - දැන් අපි බණ....................................
හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?
හාමුදුරුවෝ - මම වතාවක් කිව්වනේ අපි දැන් බණ කතාව අහමු කියලා
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල උත්තර දෙන්න විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නෙමේ. මොකක්ද මේ කරන විකාරය ?
එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්න වෙලාවක් තිබුන කියල මං කොහොමද එකඟ වෙන්නේ.
හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?
අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ? කාලෙන් කාලෙට අඩු වැඩි වුනේ එහෙම නැද්ද ?.
හාමුදුරුවෝ රතු කට්ටටත් එහාට වැඩමෙව්වා...............
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය තියන්නේ නෑ. ඇහුණද ?
එහෙයි හාමුදුරුවනේ. මම යන්නම්. මට ඔය බොරු වලින් වැඩක් නෑ..............
දැන් කාලේත් ඔය වේදිකා වල බණ කියන හාමුදුරුවෝ ඔක්කොම හිතන්නේ එහෙයි කිය කියා ඉන්න ඔනී කියලා. එත් කියන ඔක්කෝටම එහෙයි කියන අය නෑනේ මහත්තයෝ.
සාජන්ට් මහත්තයා යන්න පිටත් වෙන ගමන් මට කියනවා.

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon