Tuesday, October 22, 2013

බේබද්දන්ගේ උසාවිය.


ජීවිතේ මතක් වෙන්නේ අසරනව මරණ මංචකයට යන කොට. කොයි කවුරු වටවෙලා හිටියත් මේ ගමනත් අපට එක්වෙලා යන්න බැහැ. ඒක ප්‍රාර්ථණාවක් විතරයි. මේ ගමනත් අපිට තනි තනිව යන්න වෙනවා  කියලා ජීවිතයත් එක්ක හරඹ කරන කොට කවුරුත් හිතන්නේ නෑ.
යාළුවෝ තුන්දෙනෙක් හිටියා . මේ තුන්දෙනා මගේ අසල්වාසීන්. මෙයාලගේ ජීවිත වලට හරඹයක් තිබුනේ නෑ. ඒ වගේම මේ තුන්දෙනාගේ ජීවිතවලට වටිනාකමක් ඒ ගොල්ලන්ට වත් තිබුනෙත් නෑ.

එක්කෙනෙක් සමන් කියමු. අනිත් එක්කෙනාට සුමනේ කියමු . ඊලග කෙනා සමරේ කියමු. මේ තුන්දෙනාගෙම නියම නම් මේවා නෙමෙයි. මේ තුන්දෙනා පිලිවෙලින් පසුගිය මාස තුන හතර කාලයේ තමන්ගේ අවසන් සුසුම වා තලයට එක් කරලා මේ ලෝකය අතහැර ගියා.


සමන් සහ සුමනේ යමක් කමක් තිබුන  සල්ලිකාර පවුල් දෙකක උපන් පුත්‍රයෝ දෙන්නෙක්. මේ පවුල් දෙකටම පොදු ගුණාකාරය වුනේ අම්මලා තාත්තලා එකතු තරගත්ත ඉඩකඩම් යාන වාහන අම්මා තාත්තා වියෝවීමෙන් අනතුරුව සහෝදර සහෝදරියෝ අතර බෙදා ගැණිම.  පසු කාලෙක පවුලේ සාමාජිකයෝ තම තමනගේ කොටස් වෙන් කර ගෙන සමහර ඒවා විකුනලා මුදල් බවට පත් කරගෙන විසිරිලා ගියා.

සමරේ මේ මොනවටවත් නැහැ. උපන්නෙත් දුප්පතෙක්ව අසරනව. මිය ගියෙත් ඊටත් වඩා අන්ත අසරනව.
මේ තුන්දෙනාගේ මිත්‍රත්‍වය එක එකාට අමුනපු දම්වැලක් වගෙයි.  තුන්දෙනාම නැගණහිරෙන් හිර නගින කොට අතට ගන්න මත්පැන් බෝතලය බිම තිබ්බේ බස්නාහිරෙන් හිරු අස්ථානව ජීවිතය තාවකාලිකව නිදිගත් විටදී. සමහර දාක සමන් සුමනෙගේ නවාතැනේ. තවත් දවසක  සුමනේ සමන්ගේ නවාතැනේ. සමරේට නිවසට යන පුරුද්දක් තිබුනා . ඒ දරුවන් දෙන්නෙක් සමග බිරිදක් හිටි නිසා  වෙන්න ඇති.  නිවසට යන්න සිතුවිලි තිබුනත් නිවසට  යන ගමන කෙලවර වෙන්නේ පාරේ හෝ අගුපිලක. එහෙමත් දවසක තමයි ගෙදරට යවෙන්නේ.

සමරේගේ  බිරිද දරුවන් දෙදෙනාත් එක්ක ජීවත්වෙන්න තියෙන ඔනෑකමටත් දවස රැකෙන්නත්  කූලී වැඩකලා.

සමරේ පාන්දර අවදිවුනාම කාගේ හරි වත්තකට පැනලා රම්පේ කරපිංච පුවක් වල්ලක් ගැට පොලොස් ටිකක් කඩා ගෙන උරේ තියන පෝර මල්ලට පුරවා ගෙන කාට හරි විකුනලා  bed tea  එක බොන්න බාර් එකට  නැත්නම් තැබෑරුමට යනවා. ( මතට තිත නිසා අවිධිමත් නිෂ්පාදන අපේ පැත්තේ නැහැ) මුණ කට හෝදා ගන්නේත් නැතිව කොණ්ඩේ පීරන්නේත් නැතිව බුලත් කෙල පෙරා ගෙන මළපෙරේතයෙක් වගේ පාන්දරම ප්‍රාතීභූත වන්නේ මේ මළ කෝලම . බාර් එකේ කොල්ලා සමරේ  පාන්දර දැක්කම මුමුනනවා.

බාර් එකේ කොල්ලට සමරේ දකින එකත් අප්‍රියාවක්. මේ සමරේගේ  උදේ වරුව.

හවස් වරුව පටන් ගන්නේ හතරට විතර.  මොන මොනවා හරි කරලා හවස් වරුවෙත් රුපියල් පන්සීයක් විතර හොයා ගන්නවා. (සමහරුන්ගෙන් ආධාර ඉල්ල ගන්නවා)  බාර් එකට එන සමරේ කාලක් වීදුරුවට වක් කරගෙන වෙවුලන අත්දෙකෙන්  දගලන කටට වක්කරගන්න වාරු නැති නිසා   ස්ට්‍රෝ එකකින් වීදුරුව මේසේ උඩ තියා ගෙන එක දිගේ ඇද ගන්නවා . තව කාලක ‍කුප්පියක්  පෝර උරේට දාගෙන යාළුවන්ගේ තිප්පලට යනවා.
එයාගේ එදා දවස එදාට ඉවරයි.

උදේ දහය වෙන කොට සුමනේ බාර් එකේ. දත් ගලවන්න පුළුවන් අයත් එක්ක සමහරදාට. සමහරදාට සුමනේගේ දත් ගැලවෙනවා.අවුරුදු ගානක් තිස්සේ මාපිය උරුමය කොටස් කරලා ටිකින් ටික බිලා ඉවර කරලා  අන්තිමට  අම්මාට අයිති ගොඩනැගිල්ලකින් ලැබෙන කුලිය ඉවර වෙනකම් මාසේම බොනවා. පුදුමය මේ උන්නැහේලාට කන්න ඔනි නැහැ. ඉර ගල වැටෙන කොට තවත් බාගයක් ඔතා ගෙන ත්‍රී විලර් එකකින් තමන්ගේ පරම්පරාවේ ලොකු කම ගමට බෙදමින් පල්ලම් බහිනවා නවාතැනට.

ඒ තමයි සුමනෙගේ දවසක කෙළවර !.

මේක සුමනේ සම්බන්‍ධ අතුරු කතාවක්.
මීට අවුරුදු තුන හතරකට ඉස්සෙල්ලා මෙයත් එක්ක බීලා නිදාගත්ත කෙනෙක් උදේ පාන්දර බෙල්ල හිරවෙලා මැරිලා . වෙච්ච දෙයක් දන්නේ නෑ. සුමනේ කියන විදියට රෑ ඌරෙක් නවාතැන් පලට කඩා වැදිලා. ඌරා මරලා දාලා . උදේ තමයි දන්නේ එයාත් එක්ක එක තැන නිදාගත්ත සහෘදයායි මරලා තියෙන්නේ ඌරා නෙමෙයි කියලා. !.

අන්තිමට කියන්නේ ඉතිරිවුනේ සමන්ගේ වංශකතාව.

සමන්ගේ තාත්තා මීට දශක හය කටත් පෙර  බේරුවල පැත්තෙන් අපේ ගමට සේන්දුවුන ව්‍යාපාරික චරිතයක්. එතුමාත් දෙවනි පරම්පරාවට වියපැහැදම් කරන්න හරි හම්කරලා ස්වර්ගස්ත වුනා .  මීට අවුරුදු දහයක් පහලොවකට ඉස්සර. ඉන් පස්සේ  දූ දරුවෝ දේපල බෙදා ගෙන විසිර ගියා. සමන් තනිකඩයා. සමන්ගේ කොටස පරාන භුක්කිය තියාගෙන සහෝදරියකට හිමිකම් පැවරුවා.

ගොඩනැගිලි තුනක් හිමිකාරයෙක් වුන සමන් එක් ගොඩනැගිල්ලක් පදිංචියට තියාගෙන අනෙක් දෙක කුලියට දීලා ලැබෙන ආදායම කාලා බීලා විනෝදයෙන් කාලය ගෙවලා දැම්මා. මෙයත් උදේ පාන්දර ඉදන්ම රැකියාවට වගේ  කලේ පෙර ආත්මයේ ගත්ත ණය ස්කාගාර සමාගම් වලටත්  රජයටත් පොලිය සමග ගෙවීම.

හැන්දෑව ලබන වත් එක්ක මේ තුන්දෙනා එකතු වුනා තමු තමුන් ගෙනාපුව බෙදා ගෙන ආයෙත් බොන්න පටන් අරගන්නවා තමුනුත් නොදන්නා විදියට  කොහේ හරි වැටිලා නිදා ගන්නවා.

සමරේ පසුගිය සතියේ මියගියා. මිය යනකොට වයස අවුරුදු හතලිස් පහක් වෙන්න ඇති. මිය යන්න හේතුව පිලිකාවක්.
සුමනේට එරෙහිව මීණිමරුම් චෝදනාවක්  මහාධිකරණයේ විභාගවෙමින් තිබියදී මින්   මාස කිහිපයකට උඩදී අධික බීමත් කමින් නිවසක අගුපිලක ස්වභාවික මරණයක් හිමිකර ගෙන තිබුනා. ඔහු මිය යන විට අවුරුදු පනහක් විතර  වෙන්න ඇති.
සමන්  අවුරුදු හැට අටක් පමණ ජීවිතය ගෙවා දින ගණණක් රෝගීව  නිරාහාරව  තමන්ගේ නවාතැනේ ඇදක ම මියගියා.  පළමුව මිය ගියේ ඔහු නිසා  සමරේත් සුමනේත් අවසන් දින දක්වාම ඔහුට තනිරැක තිබුනා.

ඇත්තටම අපිට මේ චරිත කතා වලින්  ඉගන ගන්න තියෙන්නේ මොනවද ?.

ඔයාලට නිගමනය කරන්න ඉඩ තියලා අදට මීදුම  නතරවෙනවා.







notes of imaginary

Monday, October 14, 2013

අත්තම්මා අපෙයි.


අවර දිග සිතිජයෙන්
බැස යන
හිරු
මා ය
ඔබ
පෙරදිග අහසින්
නැගෙන හිරු ය.
ඔබ
පිපෙන විට
සුදු මුදු මලක් ව
මා
නටුවෙන්
ගිලිහෙන මිලානවු
මලක් විය.
පියවරින්
පියවර
ලෝකය ඔබ නෙතින්
සුන්දරව දකිනවිට
එම ලෝකයම මා
බොදවු සිතුවමකි .














notes of imaginary

Saturday, October 05, 2013

අපොයි මාළු !.

න්‍යාය විද්‍යාත්මක දේශපාලනය ආදී නෙයෙක් ආකාර ඇගට නොදිරවන අප නොදන්නා  විග්‍රහ ,පසුබිම් අතහැර වර්තමානයේ  රට  ගැන සිතන විට මීදුමට ඇත්තේ කල කිරීමකි. එක්‌සත් ජාතික පක්‍ෂයයෙන් රට පාලන වු අවදියක සිට  (1977 සිට ) ප්‍රායෝගික අවබෝදයකින් රටේ දේශපාලනය දෙස බලන  විට අප යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නොවන බව මීදුම සිතන්නේය.

 අද රට පාලනය  වන් මෑන් ෂෝ එකක් බවට පත්වී ඇත. මහින්ද රාජපක්ෂයන්ම කියන පරිදි  මේ නොහැකියාවට මන් මක් කරන්නද ? යන්නත් ඇත්තකි.

 අද පාර්ලිමේන්තුවේ නියම මහජන මතය නිරූපනය වන්නේ නැත. මෙය වඩාත්ම දැනෙන්නේ බහුතර නියෝජිතයන් පිරිසක් සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ටය. වමටත් නැති මැදටත් නැති දකුණටත් නැති අච්චාරු දර්ශණයක රටේ දේශපාලනය අතරමංව ඇත.

රටට ප්‍රානවත් විපක්‍ෂයක් නැත. මේ නිසා ආණ්‍ඩුවත් වෙන් වෙන්ව ආණ්ඩු පක්‍ෂයේ  මැති ඇමතිවරුනුත්  පිස්සු කෙළියක ධන සම්පත් විනාශ කරමින් නිකම්ම  නිකම් වැජඹෙන පිරිසක් බවට පත්ව ඇත. කරන කෙන් ගෙඩියක් නැතිව මංත්‍රී දැන්වීම් පුවරුව එල්ලා ගෙන ප්‍රාදේශිය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා මහජන බදුවලින් නඩත්තු වෙන  පිරිස සිය ගනනක් නොව දහස් ගනනක් අප රටට සිටින්නේය.

මේ පුර්විකාව සමග මීදුම යොමු වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය ගැන සිතට එන දේ සටහන් කිරීමටය.

1970-1977 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ  2/3 බලය පරදා බින්දුවේ සිටි එක්‌සත් ජාතික පක්‍ෂය නැගිටින්නේ 5/6 ක බලයක් සුරතින් දරා ගෙනය. එම පිබිදීම  ධාර්මිෂ්ඨර් ජේ.ආර් ගේ වික්‍රමයක් වූයේ කෙසේද යන්න දැන් විමර්ශනය නොවන්නේ බේද බින්න වී ගෙදර කළකොලාහල ගැන සිතමින් සිටින ඉහල පෙලේ ඇත්තන්ට ඒ සදහා කාල වේලා වක් නොමැති වීම නිසා විය හැක.

1972 – 1973වර්ෂ  වන විට ජේ.ආර්.ජයවර්ධණ මහතා  සුපිරි බිම් මට්ටමේ අත්තිවාරමක් පිහිටුවාගෙන සිටියේය. ඉහල මට්ටමේ ජනප්‍රියතාවයක් සහ සමාජය පිලිගත් ආසන සංවිධාකයන් ජාලයක් එතුමාට තිබුනේය. මෙම ආසන සංවිධායකයන් හරහා පිහිටුවාගෙන තිබුන ගමේ ශාඛා සමිති පක්‍ෂයට සක්‍රීය මෙහෙවරක යොදා ගැණිමට පක්‍ෂය කෙරෙහි විශ්වාශයක් ඇති කර ගෙන තිබුනේය. මේ නිසා 1977 මැතිවරනය වන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හැරෙන්නවත් බැරි ලෙස සමාජය තුල හිරකරලන්නට ජේ.ආර්. සමත්විය.

අද එවන් සංවිධාන ශක්තියක් එක්‌සත් ජාතික පක්‍ෂයට නැත.  ගොඩ නගා ගන්නට උනන්දුවක් නැත .එසේ ගෙඩ නගා ගන්න විශ්වාසයක් ජනතාවට ලබාදී නැත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 1977න් අවසන්වු පාලන කාලය තරම් පීඩනයක් අද ජනතාවට නැතිවුනත් ගිලිහෙන ජනතා විශ්වාසය එක් රැස් කරගන්නා වැඩ පිලිවෙලකට එක්‌සත් ජාතික පක්‍ෂය අවතීර්න වී ඇත්නම්  එක්‌සත් ජාතික පක්‍ෂය මෙතරම් වල පල්ලට ගාටන්නේ නැත.

ජනතාව සමග සිටින ආසන සංවිධායකයන් තෝරා පත් කරගෙන  ,  එක්‌සත් ජාතික පක්‍ෂය සමග සිටින පාක්‍ෂිකයන් අවදියෙන් තබා ගෙන බිම් මට්ටමේ සිට වැඩ කටයුතු පටන් ගතහොත්  මහින්ද රාජපක්‍ෂයන්ගේ රජය යම් තරමකින් හිර කරන්න එක්‌සත් ජාතික පක්‍ෂයට හැකියාවක් ඇත.එවැනි සංවිධාන ජාලයක් ගොඩ නන්වා ගන්නට සිතනවා වෙනුවට අද කරන්නේපක්‍ෂය තුල  මම ජනාධිපතිවීමේ සටනක් නම්,   යම් යම් පුද්ගලයින්ට තනතුරු ලබා දී බඩ තර කරවන්න තදියමක් හෝ රුදාවක්  ජනතාවට නැත.

ජනතාව බඩපිරුණ එකා කරන හාණිය අවමය යයි තේරුම් ගෙන ඇත. බඩ  තරවී ඇති නිසා වර්තමාන කණ්ඩායාමම තවදුරටත් පාලනයේ තබා සිටීම ජනතාවට ලාබ දායකය. මන්ද බඩගින්නේ සිට පැමිනෙන එකා බඩ පිරුණ එකා කරන හාණියට  වැඩි හාණියක් බඩ තර වනතුරු කරන්නේය.  

දේශපාලන පක්‍ෂ සහ නායකයින් වටා සිටින ඇම්බැට්ටයන්ගේ උවමනාවන් තර කරන්නට අද ඡණ්දදායකයින් සිතන්නේ නැත.ඡණ්දදායකයින් රට ගැනත් රටේ ස්ථාවරය ගැනත්, සිතා ඡණ්දය පාවිච්චි කරන විට ස්ථාවර දේශපාලන පක්‍ෂ ගැනවැඩි  අවධාණයක් යොමු කරනු දක්නට ඇත.
ඒ නිසා තමන් ශක්තිමත් බව දැක්වීමත් ඡණ්දය ලැබීමට එක් හේතුවක් වී ඇත. ගහ මරා ගැණිම් අමතක කර සියල්ලෝම එකාවන්ව  එක්ව ප්‍රතිවාදියාට මුහුණ දීමේ ශක්තිය ප්‍රදර්ශණය කලදාට ජනාධිපති සිහින දකින අයට නොවපක්‍ෂයේ  පහල පෙලේසිටින  මණ්ත්‍රී කට්ටෙකුට වුවද  එක්‌සත් ජාතික පක්‍ෂයයෙන් ජනාධිපති විය හැක.

අද මුලින්ම ඇත්තේ ඡන්ද ජය ගැනීමේ අභියෝගය නොව  පක්‍ෂයට සිදුවෙමින් තිබෙන හානිය අවම කර ගැනීමේ අභියෝගය  බව මුලින්ම එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති වීමට සිහින දකින කවුරු කවුරුත් තේරුම් ගත යුතුව ඇත.

මේ විගඩම් වල අවසාන ප්‍රතිපලය ලබන්නේ ජනතාවය. අනාගතයේ පාළු ගෙදර වලං බිදින අය විසින්  ජනතාවගේ ප්‍රජාතණ්ත්‍රවාදය කුඩු පට්ටම් කර වලං කෑලි බවට පත් කරනවා ඇත.




notes of imaginary

Tuesday, October 01, 2013

ඔබ මට වාසනාවන්. !

 අසන්න


පාට වරුණ ඇති කුකුලනි මම්
තොපට රණින් වලළු
තනවා ලා දෙමි පවට
මෙඅප දෙන්නා
එක්වුනි රෑ තුන්යමට
හිර දුටු මුත්  
නාඩන් කුකුළනේ  හෙට.

ඉරට හොරෙන්
සද මුදුනින් රාහු ගියා.
ඉරට හොරෙන්
ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන්
මල මුදුනින් ඹබරු ගියා
අපට හොරෙන්
නුඹ දෑසට නොපෙනි ගියා

ගිරවුන්  හැර ගියත්  
ඉර  තනිනොවේවා
සාවුන් හැර ...............
ගියත් සද තනිනොවේවා
ඹබරුන් හැර ගියත් මම තනිනොවේවා
මා හැර ගියද
නැගණිය තනිනොවේවා........


පින් ඇති ළදක්
කරකාරෙට ලැබීයන්
රුවැති ගුනැති
දූ දරුවන් ලැබීයන්
මේ ජාතියේ
මම් කල පව් ගෙවීයන්
මතු ජාතියේ
හිමි සද ලෙස ලැබීයන්

පැණි ඇති කලට
උක් දණ්ඩේ පැණි සේමා
සවි නැති කලට.....................
වැටකෙයියා රොඩු  සේමා
වෙර  නැතිදා
කෙතකට බැදි වැට සේමා
අසරණ දා .........
මල්යායේ කටු සේමා....................

බැද්දේ පිපෙන
බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන
පන් මල වාසනාවන්
දෙපෝදාට
පුන් සද වාසනාවන්
මතු ජාතියෙත්
ඔබ මට වාසනාවන්.


 












notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon