Friday, October 29, 2010

මීන ලග්න අය මේ වගේද ?.



2009 ‍අගෝස්තු මාසේ  ලග්නෙට  කොහොමෙද කියලා  අහලා මීදුම ලියාපු වියමනක මිදුම මාධ්‍ය වලින් විසුරුවා හරින ලග්න පලාපල දරන පිලිබදව මතවාදයක්  පලකලා.
ඉන් පස්සේ මිදුම  ‍ජ්‍යොතිෂයට සම්බන්‍ධ පොත් පත් කිහිපයක් කියවන්න පටන් ගත්තා. වැඩේ තාම ඉවර නෑ. අද වියමන වෙන් කරන්නේ ලග්නයක් හිමි තැනැත්තන්ගේ ගති ස්වරූපය පිළිබදව ලේඛණ දෙක තුනකින් අහුලා ගෙන එක් කර ගත්ත දත්ත වලින්.
මීදුම මුල්ම ලග්ණය හැටියට තෝරා ගත්තේ මීන ලග්නය.
 මීන ලග්නය  ලග්න දොළහ අනුපිළිවෙලට ලියා ගෙන යන කොට සදහන් ව න්නේ අන්තිම ලග්නය හැටියට. ඒත් මීදුම  මේ මීන ලග්න කාරයින් කිහිප දෙනෙකුට මේ දත්තයන් ආදේශ කරලා පුංචි පර්යේෂණයක නිරත උනා . ඒ ලැබුන අව‍බෝධය මත හිතුනා  මීදුම කියවන ඇත්තන් අතර ඉන්න මීන ලග්න කාරයින් ඉන්නවා නම් ඒ අතරත්  
මේ දත්ත විසුරුවා හැරලා ප්‍රතිචාර ලබා ගන්න.
මීන ලග්න හිමියෝ පුංචි  කාලයේ  බොහෝම කඩිසරව වැඩ කටයුතු කරන අයළු. වයසින් මෝරන්න මෝරන්න තැන්පත් ගති ක්‍රමයෙන් වැඩි දියුණු වෙලා වැඩ කටයුතු වලදී පවා මන්දගාමී ස්වරූපයෙන් කටයුතු කරනවා කියලයි කියන්නේ. අදහස් උදහස් බොහෝම යාවත්කාලීනයි. අළුත් අළුත් දේවල් අත්හදා බලන්න කැමතියි. නැවුම් නිර්මාණ වලට කැමැත්තක් දක්වන උදවිය මීන ලග්න කාරයෝ අතර වැඩියි   කියලා කියනවා.හැම තිස්සේම සතුටෙන් ඉන්න උත්සහා කරන අසීරු අවස්ථා වල පවා උපේක්‍ෂාවෙන් හිතන්න දක්‍ෂයි කියලත් කියනවා.
තමන් සතු දෑ අනුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ නිර්ලෝභිව කියලා කියනවා. යමක් ඉල්ලා ගෙන ආ කෙනෙකුට  එය දිය යුතුද නොදිය යුතුද කියලා හිතන්නේ නැතිව දෙන ගතියක් මේ මීන ලග්න කාරයින්ට තියෙනවා කියලා සටහන් තිබුනා.ගරු නම්බු මහජන සේවයට කැමති වුනත් තෑගි බෝග ලබා ගන්න කැමති වෙන්නේ නෑ. තමන්ගේ යහපත් ගතිගුන  සමාජයට දැනෙනවාට අකමැතියි. චිත්ත ප්‍රීතිය පිණිස සේවයට කැමතියි.  ඒ නිසා සල්ලි බාගේ අතමිට ගැවසෙනවා අඩුයි.


මීන ලග්න කාරයින් අතර වර්තමාන දේශපාලකයෝ නම් එක්කෙනෙක් වත් නැතිව ඇති කියලයි මීදුම හිතන්නේ. 

තවත්  දවසක වෙන  ලග්නයක් ගැන වියමන් කරන්නම්.

Monday, October 25, 2010

සද තරු නිහඩයි-

ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22

ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22


ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22


සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග
නිවා තැවුන සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදිකලා


සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා


මවා නුවන් ඔබ
ඔ‍‍බේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා හැලේ
සෙනෙහස හඩවා මතකය ඉකි බිද
හදවත අවදි කලා.


සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
--අචාර්ය අමරදේව.
ඔක්තෝම්බර් 24 දා පෙරවරු 5.22
ඔක්තෝම්බර් 24 දා පෙරවරු 5.22
ඔක්තෝම්බර් 24 දා පෙරවරු 5.22

මේ සුන්දර සිතිවිල්ලත් සමග චන්ද්‍රයා තම කක්‍ෂය තුල ගමන් කරන අයුරු පිළිබදවත් මේ පින්තූර කිහිපයෙන් නිරීක්‍ෂණය කරන්න.ඉහල පින්තුර දෙක ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22ට ඡායාරුප ගත කරන ලද අතර පහල ඇති ඡායාරූප තුන ඔක්තෝම්බර් 24දින පෙරවරු 5.53ටඡාරුප ගත කරනු ලැබීය. .

Monday, October 04, 2010

අපි නැවත හමුවෙමු

බොහෝ කලකට පසු මීදුම යලිත් යාවත්කාලීන කරන අදහසින් කරන මේ උත්සහායට අනුග්‍රහයක් ලැබේ යයි මීදුම විශ්වාසය පල කරයි.

Tuesday, March 23, 2010

අහම්බයක මතක වත.

මතකයේ  සිතිවිලි අතර පාවෙමින් සිටිනා විටක මට අහම්බයෙන් හමුවු රංජිත් නම් වු සහෘදයෙකුගේ සුවද මා අසලට විත් නතරවිනි. දින කිහිපයක මා අසල දැවටී ඉන් පසු කිසිදාක හමු නොවුන මේ මිනිසා ගේ නිසල දේහයට බුහුමන් කරන්නට මට පින් ලැබු නේද අහම්බයකිනි.

1978 වසරේ එක් සිහිවටනයක් ව පවතින දිනක සිට මා බස්රියකින් හෝ පෞද්ගලික රියකින් රත්නපුර නගරය පසු කරන විට පුංචි කදු ගැටයක් මත ඉදි කර තිබු හැටේ දශකයේ ගෘහ නිර්මානයන් උරුම කර ගත් නිවසක් දෙස බැලිමට නිතැතින්ම පුරුදුවි සිටියෙමි. මින් වසර පහකට පමණ පෙර එක් දිනක කොළඹ බලා යන අතර එම නිවස දෙස පුරුද්දට බලන විට සුදු බැනරයක් මත රංජිත්ගේ සම්පුර්න නම සමග ඔහුගේ අභාවය සටහන් කර තිබු බැනරයත් සුදුවට සැරසු අවට පරිසරයත් මගේ ගමන එතනින් නතර කර බස්රියෙන් මා බැස්සවීමට සමත් විය.

මම එතන සිට කතාව කියමි.

හොන්ඩා වාට්ටු රට පුරා ඇතිවුන, විවෘත ආර්ථිකේ කවුළු තුලින් රටට ගලා බසින ලද මෝටර් බයිසිකලයක් නිසා අප පලමු දවසේ මුණ ගැසිණි. මගේ සහෝදරයා බයිසිකල් අනතුරකින් ඉතාමත් බරපතල තත්වයකට පත්ව සිටියේය. ඔහු රත්නපුර මහ රෝහලේ ගිලන් ඇදක් මත තීරණාත්මක සටනක යෙදෙමින් අප අසරන තත්වයකට පත් කලේය. රත්නපුර මහ රෝහලේ අද මෙන් සෞඛ්‍ය පහසුකම් නොතිබු එම අවධියේ රෝගියා කොළඹ මහ රෝහලට මාරු කර යවීම සිදු කල යුතුව තිබුනත් කිසියම් අවාසනාවකට එම කාර්ය කඩිනම් නොවීය.

මට රංජිත් මුණ ගැසෙන්නේ මේ අසීරු අවස්ථාවේදීය. මම රෝගියා සමගම රෝහලට පැමිණ ඔහුගේ උපස්ථායකයා බවටත් නිසි බලධාරියා බවටත් පත්ව සිටිනා විටක පලමු පැයේ සිටම නන්නාදුනන රංජිත් මගේ දේවතාවා විය. මට වන මුදල් හැර සියළු අඩු පාඩු වහා හදුනා ගන්නා ඔහු ඒ සියල්ල ඉටු කර දුන්නේය. කොට්ට ඇද ඇතිරිලි උනුසුම් බෝතල් පවා ඔහුගේ නිවසින්ම වහා සපයන්න විය. දෙවන දිනයේ දහවල වන විට රෝගියා පිළිබදව අනියත බියකින් පිලියම් සොයමින් සිටිනා විටක ඔහුගේ බිරිද සහ තරුන දියණියද අප සනසන්නට හා පිහිටට රෝහල් වාට්ටුවට ආවා මතකය. මේ අතර රෝගීයා කොළඹ මහ රෝහලට රැගෙන යාමේ වැඩ පිලිවෙලක් පිටත සිටින අනෙක් සහෝදරයින් සකස් කර ගත්තත් ඔහු සෙලවීමටවත් සුදුසු තත්වයක නො සිටි බැවින් ගිලන් රථයක අවශ්‍යතාවය ඇතිවිය. ඔහු වහා කාර්යට මැදිහත් විය.  රෝහලේ පරිපාලන නිළධාරියා සම්බන්ධ කර ගත් ඔහු  රජයේ ගාස්තු ගෙවා ගිලන් රථයක් ලබා ගැණීමට අවස්ථාව සකස් කර දීමට කටයුතු කලේය.

රංජිත් ගිලන් රථය පසු පසින් ගිය අනෙක් වාහනයේ ඔහුගේ සියළු කාර්ය භාරයන් අමතක කර ද මා අපත් සමග කොළඹ මහ රෝහලටත් ගියේය. අසරන බවට පත්ව තිබු අපේ සිතිවිලි රංජිත්ගේ මනුෂ්‍යත්වය පිටි පසින් ගලා ගෙන ගිය ඔහුගේ වෘත්තිය හදුනා ගැණීමට තැත් නො කලේය. නුපුරුදු රොහල් පරිසරයේ අපට හදුනා ගත හැකි වුයේ ඔහු අප වෙත දැක්වු දයාව පමණය.

අපට බලාපොරොත්තු රහිතව දින හතරක් පමණ ගෙවී බලාපොරොත්තු බිහි කල පස්වන දවසේ රංජිත්ට රත්නපුරයේ ඔහුගේ නිවස සිහිවී තිබිණි.

ඔහු හිස් අතින් එවීමට මට කොහොමවත් සිදුකල නොහැකි කටයුත්තකි . රත්නපුර රෝහලේදී අප හට කරන ලද මෙහෙය කිසිදා මුදලින් තක්සේරු කර ගත නොහැකි තරම් අධික වටිනාකමකින්ද යුක්ත විනි. එහෙත් කිසියම් වටිනාකමට නොතරම්වු සුළු වු මුදලක් අතමිට මෙලවු මම රෝගියා බැලීමට ආ පිරිසකගේ වාහනයකින්ම ඔහුගේ නිවස කරා යොමු කර ඔහු වෙනුවෙන් කෘතවේදී වීමට හිත හදා ගත්තෙමි.

අද මෙන් සන්නිවේදන මං සහ සුලබ ගමනාගමන පහසුකම් නොතිබු එම අවධීයත් , අපේ ජීවන අරගලයන් හී ඇතිවු පීඩනයත් රංජිත් හා මා අතර ඇතිවුන සම්බන්ධතාවය දිය කිරීමට හැකිවිය. මා කාලයත් සමග රත්නපුර ඔහුගේ නිවස පසු කරන විට පමනක් ඒ දෙස විපරමින් බලා ගෙන යන නරඹන්නෙක් බවට පත්ව සිටියාය.

පසු කලක ඔහුගේ ජීවන වෘත්තිය මට හෙලි වුවත් මේ මානව හිතවාදියා ගැන මගේ සිත තුල ඉදිවු ස්මාරකය කඩා දැමීමට කිසිදා කිසිදු උවමනාවක් මට ඇති නොවීය.ඒ එදා දැක්වු දයාව ඔහුගේ වෘත්තිය අභිබවා ගොස් මතුව තිබු මිනිස් කම නිසාවෙන් විය යුතුය.
 

මීදුම Published @ 2014 by Ipietoon