Saturday, January 24, 2009

මට චන්දේ දෙන්න.

අපේ පාර්ලිමේන්තුව ලෝකයේම ඇමතිවරුන් වැඩිම ගණණක් සිටින එකම පාර්ලිමේන්තුව විය හැකියි. ඒත් කමක් නෑ කියල හිතමු. මේ මැතිතුමන්ලා ට භාර විෂයය පථය ගැන එතුමන්ලා විශේෂඥයෝ නම්.අපිට නම් රැකියාවකට අයදුම් කලාම අධ්‍යාපන සුදුසුකම් , වෘත්තීය සුදුසුකම් , සේවා පලපුරුද්ද මේ සේරම බලලා තමයි අඩුම තරමේ සම්මුඛ පරීක්ෂණයකටවත් කැදවන්නේ. මෙතුමන්ලාට ඒ කිසිම වැට කඩුල්ලක් නෑ ඉහලම ඇබෑර්තුව ලබාගන්න.
ඉහලම ඉන්නේ හයක් හතරක් නොතේරෙන උත්තමයෙක් වුනාම පහලට ගලා එන්නේ අසාර්ථකත්වය මිසක් වෙන මොනවද ? .
අපි චන්දය දෙන්නේ කාටද ?. බලයට එන්න දගලන පක්ෂ දෙකයි නේ තියෙන්නේ.ඒ ගොල්ල ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවට එපාය චන්දේ දෙන්න.ඔය ලැයිස්තුවට රිංගන්න සල්ලි ඕනි,තාත්තා අප්පච්චි ඩඩා හරි අම්මා අයියා වගේ කෙනෙක් කලින් දේශපාලනේ ඉන්න ඕනි. ඔය මොනවත් නැත්නම් සල්ලිත් තිබිලා අඩුම තරමේ එක්කෙනෙක්වත් මරලා තියෙන්න ඕනි.එහෙම නැතිව ඔය ලැයිස්තු වල ඉන්නවනම් සියයට එක්කෙනෙක් තමයි.

පාර්ලිමේන්තුවේ දවසක් ගැන හිතමු. විරෝධය පාන්නේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමෙන් නෙමෙයි. අම්මා මෝ නැතිව රෙද්ද උස්සා ගෙන.ප්‍රතිඋත්තර ලැබෙන්නෙත් ඒවයින්මයි.කථානායක තුමාගේ කාරිය සන්සුන්වන්න .. සන්සුන්වන්න ..කියන එක.ඇයි මෙහෙම වෙන්න හේතුව.අපි පත්කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට යන්න ඕනි අය නෙමෙයිනේ. බන්ධනාගාරයට යන්න ඕනි අයනේ පාර්ලිමේන්තුවට පත් කරලා තියෙන්නේ.
අධ්‍යාපන වටපිටා වෙන් ,මානව හිතවාදී ගුණයෙන් පිරිපුන් , ජන විඥාණය හදුනාගත් දේශයේ සංස්කෘතිය , සංස්කෘතික උරුමයන් ගරු කරන,යහගුණ දත් යහපැවැත්ම ඇති අය තුලින් සැබෑ දේශපාලඥයකු නිර්මානය වෙන බවත් . එවිට යහපත් දේශයක් ‍ඉබේටම නිර්මානය වන බවටත් මතයක් මම අහලා තියෙනවා.
එවන් සමාජයක් අපට කවදා දක්නට ලැබෙත්ද ?.
මට මේ සියල්ල සිහිපත්වූයේ හිගන්නාගේ තුවාලයවු උතුරු නැගණහිර අර්බූදය ගැන හිතලා.මුලතිව් නගරයට කි.මි පහක් ආසන්නයට හමුදා ඇවිත්. මර බියේ කොටුවෙලා ඉන්න කොටි රැළට ඹක්සිජන් දෙන්නත් උන් ඉන්නවද නැද්ද ගානට ඉන්න පුළුවන් අපේ ඇත්තෝත් ඉන්නවනේ. මේ ඇත්තන්ට තුවාලේ සනීප කරලා සර්වාංගයට වෙදකම් කරන්න හිතන්නේ නෑ කියලා මතක් වුනහම.
කොටි සුද්ධය එවරවුනාම තමයි ආණ්ඩුවට නියම මානුෂික මෙහෙයුම පටන් ගන්න වෙන්නේ.ඒකට එකතුවෙලා මුහුණ දුන්නොත් රට ගොඩ කියලා හිතුවොත් කොයිතරම් අපූරුද ?.එහෙම හිතන්න ප්‍රඥාව පහල නොවන්නේ පාර්ලිමේන්තුවෙත් පාර්ලිමේන්තුවන් පිටතත් ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්න ඇත්තන්ගේ නූගත් කුහක පිලිවෙත නිසා කියලයි මම හිතන්නෙ.අනෙක් කොන්ත්‍රාත්කාරයින්ගේ නම් සද්දේ විතරයි.ටෙන්ඩර් දානවා වැඩ ලැබෙන්නේ නැහැනේ.
ආයෙත් චන්දයක් ආවමවත් අපිට චන්දේ දෙන්න පුළුවන් වෙන්න අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කරලා සුදුසුකම් තියෙන ඇමති මණ්ඩලයක් පත්කරගන්න පුළුවන් දිනන අයගෙන්.එහෙම සුදුසු අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත්කරන්න නොකෙරෙන යෝජනාවක් අපි ඉදිරිපත් කරමු.

Sunday, January 11, 2009

Anonymous - මේ යුද උන්මාදයද ?.

මා චින්තනට කඩේ යන බව ක්ෂනිකව හදුනා ගත්තත් සත්‍ය එසේ නොවන බව සදහන් කරමි.
මම මේ පුංචි රටට ආදරේ කරමි. අපිට එක වහලක් යට එකට බතක් උයාගෙන කන්න තරම් වාසනාවන්ත දවසක් එනතුරු මම බලා සිටිමි.
දශක හයක පමණ කාලයක් මේ පුංචි රට ලබන ලද අත්දැකීම් ඉතාමත් සරලව මම සදහන් කරමි.
ජනවාර්ගීක අර්බූදය තුන්කල් දුටු ජන නායකයා මම හිතනා අයුරින් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිදුන්ය.එතුමන් උතුරත් දකුණත් යාකරන්නට උපක්‍රමශීලීව නැගණහිරත් උතුරේ යම් යම් ප්‍රදේශවලත් ගොවිජනපද ව්‍යාපාර ඇතිකරමින් සිංහල දෙමළ මුස්ළිම් ජාතීන් එකම පදේශවල පදිංචි කරවීය.එතුමන් මේ ජනවර්ගයන් සාමයෙන් සහජීවනයෙන් පරම්පරා කිහිපයක් ජීවත්වනවිට නෑදෑ හිතවතුන් වන බව කල් තියා නිරීක්ෂනය කලේය. අද මේ පදිංචිකරුවන්ගේ හතරවන පරපුර පවා වැඩිහිටියෝය.
ඩොලර් ෆාම් සහ කෙන්ට් ෆාම් වලට එල්ලවු මුල්ම ප්‍රහාරය සිහිපත් කලහැකිද ?. කොටි සමුල ඝාතනය අරඹමින් මරා දැමු එම අසරන ගොවි පවුල් වලින් සංකේත කරනුයේ එම ප්‍රදේශ ද්‍රවිඩීයකරණය කිරීමෙන් ඩී.එස් සේනානායක මැතිදුන් ගේ දුරදත් පිළිවෙත නිෂ්ක්‍රීය කරනු ලැබීමය.
අප ජාතින් තුළ වෛරය පිළිසිදවා වර්ධන‍ කර අවිස්වාශය ඇති කර වෛරක්කාරයින් බවට පත්කිරීමට මග පෙන්නුවේ ජනනායකයන් නොව දේශපාලකයන්ය.ඩඩ්ලි-චෙල්වනායකම් , බණ්ඩාරනායක - චෙල්වනායකම් ගිවිසුම් වල මූලික හරය බලය බෙදාහැරීමය. මෙම අරමුණ එජාපය ඉටුකිරීමට සැරසෙන විට ශ්‍රීලනිපයට විෂ බදුනක්ය. ශ්‍රීලනිපය ඉටුකිරීමට සැරසෙන විට එජාපයට විෂ බදුනක්ය.
මේ දෙගොල්ලෝම බලය උදෙසා අවස්ථාවාදීව බහු ජාතියවූ සිංහල ඡන්දදායකයින්ගේ ඡන්දය පමනක් බලාපොරොත්තුවෙන් කටයුතු කලාය. මේ නිසාම දෙමළ සහෝදරත්වය අවිස්වාශය පදනම් කරගෙන බිදී ගියබව පැහැදිලිය.
වසර පහක හයක පාර්ලිමේන්තු ආයුෂ හැරෙන්නට වෙනත් සම්පතක් මේ උන්නැහේලාට තිබුනේද?. මේ අදත් හිතන්නේ ඊලග ඡන්දය ගැන මිසක රට ගැන යයි අපට සිතීමට සාධක ඇත්ද ?.
1958 භාෂා අරගලයත් 1983 ජූලි කලබලත් අවුළුවා ද්‍රවිඩ ජනතාව ඝාතනය කර මංකොල්ලකන්නට මග පෙන්නූවේ කවුද?. සුදු රෙදි ඇන්ද දේශපාලකයන් නොවෙයිමද?. ප්‍රතිඋත්තර වශයෙන් යාපනය වැනි නගරවල ව්‍යාපාරික කටයුතු කල සිංහල ව්‍යාපාරිකයනට ආපසු ගෙදර එන්න සිදුවුවා මට මතකය.අපි විරසක කර සතුටු කරන්න ගිය උන්නැහේලා ඇන ගත්තේ පිරිබාකරන්ගෙන්ය.
අපේ පුංචි රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවා ගත් ආණ්ඩුවට, ආණ්ඩුවකට එරෙහිව ආයුධ ගත් ජවිපෙයත් කොටි සංවිධානයත් අරමුණු වෙනස් වුවත් කරනු ලබන්නේ එකම වරද බව අමතක නොකල යුතුය. ජවිපෙය මර්ධණය කල අයුරින් කොටි සංවිධානය මර්ධණය කිරීමට නොයෙක් බාධා ඇතිවූයේ වෙනස් ජන වර්ගයක් මෙ‍ම නොකටයුත්තට පාර්ශව වු බැවිනි.ජේ.ආර් වැනි පාලකයින්ගේ පටන් චන්ද්රිකා දක්වා කාලයාට ප්‍රශ්ණය විසදීමට ඉඩ හැර බලා සිටි බවක් නිරික්ෂණයවන්නේ නැත්ද?.
රනිල් ගේ ප්‍රවේශය වැරදි නැත. එහෙත් සත්භාවයෙන් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මකවිනිද ?. නැත. ක්‍රියාත්මක නොවුනු තැන ගත යුතු ක්‍රියාමාර්ගය ගැණීමට රනිල්ට කොන්ද පණ නොතිබිනි. ඔහුත් සිදුවෙන දෙයක් වෙන්න හැර කල්මරන ස්ථාවරයට මාරුවිය.ඒ අතර ජාතියේ ( සිංහල.දෙමළ,අනෙකුත් ජාතීන් සමග ) පිණට ඒ කාර්ය සාටකය වෙතට ජනතාව විසින් මාරු කරන ලද්දේය.
සාටක‍ය විසින් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන්ම තුරන්කර කොළඹට කේන්ද්‍ර කර ගන්නට හැමදාමත් වලිකන බලය රටටම බෙදා හැරියොත් ජන නායක ගොන්නට එකතු විය හැක.

නැත්නම් රනිල් මෙන්ම අවලංගුව මුල්ලකට විසිවනු ඇත.

Friday, January 09, 2009

සිරසයි ලසන්තයි.

සිරසට ප්‍රහාරයක් එල්ල වූ විට ආණ්ඩුවවට ඇගිල්ල දික්විය. දවස පුරාම ආණ්ඩුවවට එරෙහිව මාධ්‍ය ලොක්කන්ගේ ප්‍රකාශ , තව තවත් අයගේ ප්‍රකාශ ඒක පාර්ශවිකව සිරස සියළු වැඩ සටහන් නතර කර විකාශනය කලේය. මාස ගානකට සුව නොවේයැයි සිතන තරමින් වේදනාවෙන් අදෝනා නැගු සිරස පසුදා වන විට සුවපත්ව යථා තත්වයට පත්වී ක්‍රියාත්මක විය. මේ අතර සීමිත කාලය උද්ඝෝෂණ විරෝධතා සංවිධානය වී ජාත්‍යන්තර මාධ්‍ය ජාලා ඔස්සේ ජාත්‍යතන්තරයද ගිණි තැබුනේය.
සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංගයන් ඊයේ ( ජනවාරි 08 ) ඝාතනය විය. ආණ්ඩුවට සිදුවූයේ සිරසට එල්ලවු ප්‍රහාරයේ දී විදින්නට වු කටුක අත්දැකීමට යලිත් මුහුණ දෙන්නටය.
සිදුව ඇත්තේ ගමේ යම් මැර කටයුත්ත සිදුවු විගසම අපි වගකීමකින් තොරව පුර්ව නිගමනයකට පැමින “ ඕක කලේ හරමානිස්- ඌ චන්ඩියානේ” යැයි ගමේ චන්ඩියාගේ ගිනුමට බැර කරන මැර කටයුත්ත ‘බී’ වාර්තාවක් මත හරමානිස් අධිකරනයට ඉදිරිපත්කර මාස ගානක් රක්ෂිත බන්ධනාගාරයේද තැප ගෙදර එනවිට වැඩේ කලේ ජුවානිස් බව හදුනාගන පශ්චාත්තාප වන පරිද්දෙන් වගකීමකින් තොරව සියළු නොකටයුතු ක්‍ෂණිකව ආණ්ඩුවට බැර කර ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමය . හරමානිස්ට සිදුවන්නේ නොකල වරදකට හිරේ තැපීමටය. ආණ්ඩුවට වන්නේ නොකල වරදකට ජාත්‍යන්තරය හමුවේ බාල්දු වන්නටය.තත්වය භයානකවන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුවවයි -ජාතිය යි හදුන්වන්නේ දෙකක් නොව එකක් නිසා ආණ්ඩුවයි ජාතියයි මේ දුක ඉවසා ගත යුතුවීමය. ජාත්‍යන්තරය තුල බාල්දු කර නසන්නට හදන්නේ ආණ්ඩුවයි රටයි දෙකම බව මේ හාදයෝ කවදා තේරුම් ගනීද ?.
‘ධාර්මිෂ්ඨ සමාජයක්’ තුල පිලිසිද ‘නැති බැරි අය ඇති හැකි අය කල’ සමාජයේ උත්පත්තිය ලද භීෂණය හා ඝාතනය වරින් වර විවිධාකාරයෙන් තවමත් හොල්මන් කරන බව අපට දක්නට ලැබෙන්නකි. මේ ක්‍රියාවිධි වඩාත්ම ලාබදායි ලෙස පාවිච්චි කරනු ලබන්නේ කුමන පාර්ශවයන් විසින්ද යන්න නිශ්චිත කිරීම එක් අතකින් වැදගත් කටයුත්තකි. වත්මන් ආණ්ඩුව වුවද ක්‍රම ශිල්ප ක්‍රියාත්මක කරනු ඇතිවුවත් මේ අවස්ථාවේ ජාත්‍යන්තරය හමුවේ අශූචි බාල්දියක් ඔළුවේ වක්කර ගන්න තරම් පිස්සුවක් ආණ්ඩුවට ඇතිවිය නොහැක.
ලසන්ත වික්‍රමතුංගයන්ගේ මාධ්‍යයේ භාවිතය ආකර්‍මනශීලී පිලිවෙතකවු බැවින් විවිධ විරුද්ධවාදීන් ඇතිවී සිටියා විය හැක. ඔහුට වෙනත් විරුද්ධවාදීන්ද සිටියා විය යුතුය. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දාගන්නට අවස්ථාවක් නිර්මානය කර ගත්තාවත්ද ?.
ආණ්ඩුව., ජාතිය මේ මර උගුලෙන් ගැලවන්න අපරාධකරුවන් නොපමාව නීතියේ රැහැනට අසු කර ගත යුතුය.

Thursday, January 08, 2009

ඉවසුවා මදි - තව ඉවසන්න වෙයි.

රනිල් මහත්තයාගේ නවතම ව්‍යාපෘතිය “ ඉවසුවා ඇති”.
මටනම් හිතෙන්නේ තව ටිකක් ඉවසන්න වෙයි කියලා.
මානුෂික මෙහෙයුම්වල ඉන්නේ නාගරික පංතිය නෙමෙයි. හද්දා පිටිසර කොල්ලෝ.උන්ට ඹ්නවෙලා තියෙනවා .”එකම කොඩියක් -එකම රටක්‍”. උන්ගේ පවුල්වලටත් ඹ්න වෙලා තියෙන්නේ එකම කොඩියකුයි -එකම රටකුයි මිස බඩ පිරෙන්න කන්න නෙමෙයි. පැට්රල් ගහගෙන රොන්දේ යන්න නෙමෙයි.රනිල් මහත්තයාට මේක තේරෙන්නේ නෑ.උන්නැහේ උඩුගං බලා පීනනවා.
කිලිනොච්චිය හමුදාව අත්පත්කරගත්ත නිවේදනය දුන්නම රට පුරා පැය ගනනාවක් රතිඤඤා පත්තු කලේ කාගෙවත් උවමනාවට නෙමෙයි. ‍ජාතික කොඩි නිවෙස් ඉස්සරහා එසවූයේත් කාගෙවත් උවමනාවට නෙමෙයි.ජනතාවගේ උද්දාමයට මිසක්, කාගෙවත් අනුබලයකට නෙමෙයි.
එතුමන් නොයෙක් දේශපාලන ව්‍යාපෘති අත්හදා බලනවා. ඒවා පීචං වෙනවා.අපිට නෙමෙයිනේ ඒවා හදන්නේ .එතුමන්ටනේ එවා ගැලපෙන්නේ. එතුමන් හිතන්නේ අපි තාමත් ජීවත් වෙන්නේ පනහේ දශකයේ කියලා.එදා දේශපාලකයා ජනතාවට පිටුපස්සේ හිටගෙන හිටියේ . අද ඊට වඩා වෙනස් . ජනතාව අද ඉදිරියෙන්. දේශපාලකයා ට ජනතාව සමග නොගියොත් පාලකයා වෙන්න ආශාව තිබුනටම බැරිවෙනවා.සටන් විරාමයක් ගෙනල්ලා කරපු වින්නැහිය රටට තාම මතක තියෙනවා. තාමත් කතා කරන්නේ කොටි සහයෝගීතාවයෙන් යුතුව. එතුමන්ගේ චින්තනය තුල ඒකීය රටක අවශ්‍යතාවය විද්‍යාමාන වෙන්නේ නෑ.ජනතාව ඉල්ලන්නේ බඩ නෙමෙයි. ජනතාව ඉල්ලන්නේ රට. . .එතුමන්ට බඩගින්න ඉවසන්න බැරිව “ ඉවසුවා ඇති” කියලා මොර දෙනවා..එතුමන්ට එන ආත්මේ වෙනකම්ම ඉවසන්න වෙනවා.අපේ රටේ පාලකයා වෙන්න.
මුලතිව් වලිනුත් කොටි කම්බස් කරලා .”එකම කොඩියක -එකම රටක” සිංහල දෙමල මුස්ලිම් මැලේ සහෝදර සහෝදරවරුන් එක්ක එකම බතක් පිහාගෙන කන ගමන් බඩ ගැන හිතමු .
එතෙක් අපි ඉවසමු.
 

මීදුම Published @ 2014 by Ipietoon