Thursday, December 28, 2023

අනුරාධපුර රාජධානිය














විජය රජතුමාගේ  සිට පාලනය කල රජවරු.

  1. විජය රජතුමා ක්‍රි.ප්‍ර 544
  2. උපතිස්ස
  3. පණ්ඩුවස්දෙව්
  4. අභය
  5. පණ්ඩුකාභය
  6. මුඨසිව
  7. දේවානම්පියතිස්ස ක්‍රි.පු 250-210
  8. උත්තිය
  9. මහාසිව
  10. සුරතිස්ස සේන සහ ගුත්තික
  11. අසේල
  12. එළාල (එළාර)
  13. දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු) ක්‍රි.පු.161-137
  14. සද්ධාතිස්ස ක්‍රි.පු.137-119
  15. තුලත්ථන ක්‍රි.පු. 119
  16. ලංජතිස්ස(ලැමිණිතිස් ) ක්‍රි.පු. 119 – 109
  17. බල්ලාඨනාග ක්‍රි.පු. 109 – 103
  18. වලගම් අබා (වට්ට ගාමිණි) ක්‍රි.පු. 103
  19. පුලහත්ත
  20. බාගිය
  21. පනයමාර
  22. පිලයමාර
  23. ධාතික ක්‍රි.පු.103 – 89
  24. වලගම් අබා ( වට්ට ගාමිණි) ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.
  25. මහාචුලි මහාතිස්ස ක්‍රි.පු77-63
  26. චොරනාග ක්‍රි.පු 63 – 51
  27. තිස්ස (කුඩා තිස්ස ) ක්‍රි.පු 51 – 48
  28. සිව
  29. වටුක
  30. දාරුභාතික තිස්ස
  31. නිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)
  32. අනුලා රැජින ක්‍රි.පු 48 – 44
  33. කූඨකණ්ණ තිස්ස
  34. භාතික අභය
  35. ( භාතික අභය තිස්ස ,හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ) ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07
  36. මහාදාඨික මහානාග 07-19
  37. ආමන්ද – ගාමිණි අභය 19 – 29
  38. කණිරජාණු තිස්ස 29 -32
  39. චූලාභය 32-33-
  40. ඉලනාග 33-43
  41. චණ්ඩමුඛ ශිව 43-52
  42. යසලාලක තිස්ස 52-60
  43. යසලාලක තිස්ස සහ සුභ 60-67
  44. වසභ 67-111
  45. වංකානාසික තිස්ස 111-114
  46. ගජබාහුක – ගාමිණි ( ගජබාහු I ,ගජබා ) 114 -136
  47. මහල්ලක නාග 136 – 143
  48. භාතික තිස්ස (බාතිය) 143 – 167
  49. කණිට්ඨ තිස්ස 167 -186
  50. බුජ්ජ නාග 186 –
  51. කුංචනාග 187 – 189
  52. සිරිනාග I 189 – 209
  53. වොහාරික තිස්ස (වේර තිස්ස ) 209 – 231
  54. අභය නාග 231 – 240
  55. සිරිනාග II 240 – 242
  56. විජය කුමාර 242 – 243
  57. සංඝතිස්ස II 243 -247
  58. සිරිසංඝබෝධි ( දැහැමි සිරිසගබෝ) 247 -249
  59. ඝොඨාභය හෙවත් මේඝවන්න අභය
  60. ( ගොළු අබා) 249 -262
  61. ජෙට්ඨ තිස්ස I 263 -273
  62. මහාසේන (මහසෙන්) 274 – 301
  63. සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් ) 301 -328
  64. ජෙට්ඨතිස්ස II 328-337
  65. බුද්ධදාස 337 -365
  66. උපතිස්ස I 365 – 406
  67. මහානාම 406 – 428
  68. වට්ටගාහක ජන්තු 428
  69. මිත්තසේන ( මිත්සෙන් ) 428 -429
  70. පණ්ඩු 429 – 434
  71. පාරින්ද 434 – 437
  72. බුද්ද පාරින්ද 437 – 452
  73. තිරිතර 452
  74. දාඨිය 452 -455
  75. පීඨිය 455
  76. ධාතුසේන 455 – 473
  77. කස්සප ( සීගිරි කසුබු) 473 – 491
  78. මොග්ගලාන ( මුගලන්) 491 – 508
  79. කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස ) 508 -516
  80. කිත්තිසේන 516 – 517
  81. සිව 517
  82. උපතිස්ස II 517 – 518
  83. සීලකාල ,අම්බසාමනේර 518 -531
  84. දාඨපභූත (දාපලු සෙන්) 531 -
  85. මොග්ගලාන ( දල මුගලන් ) 531 -551
  86. කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් ) 551 -569
  87. මහානාග 569 – 571
  88. අග්බෝධි I ( අක්බෝ ) 571 – 604
  89. අග්බෝධි II ( තුඩා අක්බෝ) 604 – 614
  90. සංඝතිස්ස II 614
  91. මොග්ගලාන III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්) 614 – 619
  92. සීලාඝමේඝවන්න 619 – 628
  93. අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) 628
  94. ජෙට්ඨතිස්ස 628
  95. අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) යලි රජ පැමිනේ 629 – 639
  96. දාඨෝපතිස්ස 629 -650
  97. කස්සප I 650 -659
  98. දප්පුළු I 659
  99. හත්ථදාඨ 659 -667
  100. අග්ගබෝධි IV (සිරිසංඝබෝධි ,සිරිසගබෝ ) 667 – 683
  101. දට්ට 683 -4
  102. හත්ථදාඨ II 684
  103. මානවම්ම 684 – 718
  104. අග්ගබෝධි V ( අක්බෝ ) 718 – 724
  105. කස්සප III (කසුබු,සුළු කසුබු ) 724 -730
  106. මහින්ද I 730 – 733
  107. අග්ගබෝධි VI (සීලාමේඝ) 733 – 772
  108. අග්ගබෝධි VII 772 -777
  109. මහින්ද II (සීලාමේඝ) 777 – 797
  110. උදය I 797 -801
  111. මහින්ද III 801 – 804
  112. අග්ගබෝධි VII 804 – 815
  113. දප්පුල II 815 -831
  114. අග්ගබෝධි IX 831 – 833
  115. සේන I 833 – 853
  116. සේන II 853 – 887
  117. උදය II 887 – 898
  118. කස්සප IV 898 – 914
  119. කස්සප V 914 – 923
  120. දප්පුල III 923 – 924
  121. දප්පුල IV 924 – 935
  122. උදය III 935 – 938
  123. සේන III 938 – 946
  124. උදය IV 946 – 954
  125. සේන IV 954 – 956
  126. මහින්ද I 956 – 972
  127. සේන V 972 – 982
  128. මහින්ද V (මිහිදු ) 982 – 1029

  • මහින්ද V රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.

  • ක්‍රිව 1029 දී අනුරාධපුර රාජධාණිය බිද වැටී ‍පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.

notes of imaginary

Wednesday, December 27, 2023

අළුත් අවුරුද්ද ට සූදානම්










 

මේ කියන දවස් වල නස්රුදීන් පදිංචිවෙලා හිටියේ බහු ජාතික , බහු ආගමික ගම්වාසීන් ඉන්න ගම්මානයක .නස්රුදීන්ට නත්තල් තිබුනේ නැහැ අළුත් අවුරුදුත් නැහැ.ඒත් අල්ලපු ගෙදරත් ගමේ බොහොමයක් පවුල් වලට ජයටම මේ උත්සව දෙකම තියෙනවා. ඉතින් අවුරුද්දට ලෑස්ති වෙන අය පරණ ඇදුම් පැළදුම් වල ඉදන් ගෘහ භාණ්ඩ පවා වෙනස් කරලා ගෙවල් තීන්ත ගාලා පොලොව මැදලා හැඩ වැඩ කරනවා. නස්රුදීන් නානාට නෝනාලා තුන්දෙනයි.

ඉතින් හිතා ගන්න පුළුවන්නේ නස්රුදීන්ට “පිස්සු ට්‍රිබල්” වෙන විත්තිය.
නසුරුදීන්ට අවුරදු නැතිවුනත් නෝනාලා තුන්දෙනට ඇහුම් කන් දෙන්න සිද්ධවුනා. ගෙදර තිබුන පාරම්පරික ගෘහ භාණ්‌ඩ පැත්තකට විසි කරල නවීන පන්නයේ ගෘහ භාණ්‌ඩ ගෙනත් නවීන පන්නයටම තියන්න නස්රුදීන්ට සිද්ධ වුනා. .

නස්‌රුදීනුත් ගෙදර තිබුණ පැරැණි ගෘහ භාණ්‌ඩ බුරු ගරාජයේ පැත්තකට දාලා නව පන්නයේ ගෘහ භාණ්ඩ ගෙදරට ගෙනාව. පහසු ගෙවීමේ ක්‍රමයට. නස්රුදීන් අළුත් ගෘහ භාණ්ඩ ගෙනාවා කියලා ආරංචි වුණා විතරයි සිද්ධවෙන්න ඕන විදියටම ගමේ හිටිය නෑදෑයොයි යාළුවොයි අසල්වැසියොයි නස්‌රුදීන්ගේ ගෙදරට එන්න ගත්තා. ඊළඟට බඩු ගැනයි බඩු තියෙන තැන් ගැනයි තම තමන්ගේ විවේචන විග්‍රහ ඉදිරිපත් කරන්න පටන් ගත්තා. නස්‌රුදීන්ට මේව අහල හිසේ රදේ හැදුනත් ඔහු බොහොම අමාරුවෙන් කටපියාගෙන හිටියා.

අල්ලපු ගෙදර හාදය කමුර් ආවා. ඒත් එක්කම අසල්වාසී නවුෆරුත් ගොඩවුනා. “හා නස්‌රුදීන් නානා. අලුත් බඩු ගෙනැල්ලා වගෙ අනේ හොදයි. ඒ වුණාට මේව තියල තියෙන ක්‍රමේ නම් හරි නැහැ. කමුර් කිව්වා. මේක අහගෙන හිටපු නවුපර් ඌණ පූරණයක් කලා “මේ පුටු සෙට්‌ එක නම් මෙතැනට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ”.
කෙලවරක් නැහැ. තව තව අය එනවා. ඉමිටියාස් ෆවුසිත් එක්ක ආවේ ඉමිටියාස්ගේ බුරුවත් එක්ක.”මේ අල්මාරියෙ කැටයම් පේන්නෙ නැහැනෙ ඔය තියල තියෙන විදියට” ඒ ෆවුසිගෙ අදහස. “තව ස්ටුල් එකකුත් තිබුනන් හොදයි “ඉමිටියාස්ගෙ අදහස.
මේ අතරේ නස්රුදීන්ගේ නෝනාලා තුන්දෙනා බරපතල වාදෙක. අළුත ගෙනා ඩබල් ඇද තියන්න ඔනී කාමරේ ගැන.දෙන්නගෙම අදහස තම තමන් ගේ කාමරවලට ඩබල් ඇද ගෙනියන්න.
නස්‌රුදීන්ගෙ අලුත් බිරියගෙ අදහස අලුත් ඩබල් ඇඳ නම් හරියන්නෙම තමන්ගෙ කාමරයට බව. ඒක මොනම ක්‍රමයටවත් ඒ කාමරයට නොගැලපෙන බව කීවෙ නස්‌රුදීන්ගෙ පරණ බිරිඳ උම්මා.බලෙන්ම කතාවට එල්ලෙන තුන්වන නෝනා ෆරීනා. “කණ්‌නාඩි මේසෙ තියන්න ඕනෙ එන එන අයට පෙනෙන ලෙසටනේ……….? ” කියලා කණ්‌නාඩියෙන් තමන්ගෙ පිරිහෙන රූප සොබාව නරඹන ගමන් කීව්වා.

නස්රුදීන් හිතලා බැළුවා. බැලුවාම එක බඩුවට තියන්න ඔනී තැන් 10-12 ක් තියෙනවා. නස්‌රුදීන්ට කවුරුවත් තරහ කරගන්න හිතක් පහල වුනෙත් නැහැ. නස්රුදීන් පොරොන්දු වුණා කවුරුත් සතුටු වෙන ආකාරයට බඩු ටික තියන්න. ඔන්න පසුවදාත් කට්‌ටිය එන්න පටන් ගත්තා. නස්රුදීන් කල්පනා කලා මේ ඔක්කොමටම එකවර පිලිතුරු දෙන්න ක්‍රමයක්. පැය දෙක තුනක් මේ ගොල්ල වෙන වෙන කතා කිය කියා රදවගන්න නස්රුදීන්ට පුළුවන් උනා. මෙහෙම පැය දෙක තුනක් යන කොට ඊයේ ආපු ඔක්කොම වගේ ගෙදරට රැස්වෙලා ඔක්කොටම තියෙන්නේ එකම ප්‍රශ්නයයි.

ගෙදර කිසිම කාමරයක කිසිම බඩුවක්‌ නැහැ. නිකම්ම හිස්‌ කාමර. කට්‌ටිය එකවරම වගේ ප්‍රශ්න කළා කෝ මේ ගෙදර තිබූ බඩු ටික. එකක්‌වත් පේන්න නැහැනේ. මොකද කළේ ?.මේ ලස්සන බඩු වලට ?.

නස්රුදීන් ඔක්කොම පිරිස එක තැනකට රැස් කරලා මෙහෙම කිව්වා .”ගෙනාපු අළුත් බඩු තියන්න මේ ගෙදර කොතනකවත් පිලිවෙලක් නැහැනෙ. කොතන තිබ්බත් වැරැදිනේ” . කියලා ම නස්‌රුදින් කම්මුලට අත තියාගත්තා . එහෙම කියලා “යමු පෙන්නන්න මම ඒව ලස්සනට අහුරලා තිබ්බා'”. කියලා මිදුග මැදින් ගේ පිටුපසට කණ්ඩායමම එක්කරගෙන ගියා.

එක්කරගෙන ගිහින් දර මඩුව පෙන්නුවා.

අනේ ඉතින් අද තේ එකක්වක් දෙන්න විදියක් නැහැනේ !.

කෙහෙවළු පටලවා ගෙන නෝනාලා තුන්දෙනත් ‍ඒ ගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා කියලා අත්පුඩියකුත් ගහලා නස්රුදීන් හිනාවුනා.

අපි අනුන්ගේ වැඩ වලට උපදෙස් දෙන්න යන්න හොද නෑ කියලා හිත හිතා තේ එකක්වත් නස්රුදීන්ගෙන් නොලබාම ආපු අය ආපහු ගියා.

ඔන්න ඔහොම නස්රුදීන් බොහෝම සැහැල්ළුවෙන් මේ අළුත් අවුරුද්ද පටන් ගත්තා.



notes of imaginary

Monday, December 25, 2023

පුංචි අම්මා

 


හැමෝම විරුද්ධ වෙද්දි
අපෙ තාත්තා ගෙ
දෙවැනි කසාදය උනේ...
දෝණිට වෙනසක් වෙයි
නෑදෑයො කියන්නෙ එහෙම ...
මගෙ අම්මා නැති උනේ
මන් චූටි කාලෙම
එදා ඉදන්ම හැම දේ ම කරේ තාත්තා ..
ගෑණු දරුවෙකුට රැකවරණයක් ඕන
තාත්තා එහෙම කිව්වේ ආච්චී ට..
අනේ මගේ කට
පිට ගෑණියෙකුට පුලුවන් ද
අම්මගෙ තැන ගන්න...
ආච්චි කොයිතරම් අවලාද කිව්වත්
තාත්තා බැන්දා....
දෝණී බත් කමු
එයා මාත් එක්ක කතා කරපු පළවෙනි පාර..
හා නැන්දෙ
නෑදෑකම් නොදන්න
මන් එයාට කිව්වෙ එහෙම ..
එයා මට බත් කැව්වා
ඒ බත් රසයි
මන් අතින් කෑවා වගේ නෙමෙයි ..
මට අම්මා කියන්න
එයා ආය කිව්වා..
එදා ඉදන් මට එයා අම්මා
මට කැව්වා
මාව නෑව්වා
මගෙ රෙදි හේදුවා
ඔව් ආච්චිලා මොනවා කිව්වත්
ඒ මගෙ අම්මා මගෙ හිත කිව්වා..
අලුත් නංගියෙකුත්
අපේ ගෙදර ට ආවා
ඒ දවස මතකයි අද වගේ..
මන් දෙකවසරෙ එතකොට ..
නංගිව තුරුළු කරන්
අම්මා කිරි දෙනවා
මන් හොරෙන් බැලුවෙ..
මාව දැකලාද කොහෙද
අතින් කතා කරා
මන් හෙමීට ලංවුනේ..
මාව උකුලට අරන්
කුක්කු ඕනද ඔයාට
අම්මා එහෙම ඇහුවා..
මන් එයාගෙන් කිරි බිව්වා
මගෙ අම්මා
නංගිගෙ විතරක් නෙමෙයි
නැන්දා කිව්වෙ බොරු
එහෙම හිත හිත
මන් කිරි බිව්වෙ....
පහුගිය අවුරුදු පුරාම
අම්මාගෙ ජීව්තේ
මුලින් හිටියෙ මම...
එළියට යන්න හදන
හැම වෙලාවකම
මාව ඉබලා තමයි
නංගිව ඉබින්නෙ.....
කැම්පස් ගිය මුල්ම දවස
ජොබ් එකට ගිය මුල්ම දවස
ඒ හැම දවසක්ම
හොරෙන් කාමරේට වෙලා ඇඩුවා...
සැරින් සැරේට කෝල් කරලා
හොදින්ද බැලුවා..
මගෙ ආදරය මුලින් ම කිව්වෙ අම්මාට
තාත්තා ට වඩා
මන් හැමදාම ලඟ අම්මාට...
ගෙදර ට එන්න කියන්න
මට කතා කරන්න ඕන ..
අපේ විවාහය අද
උදේ ඉදන්ම හැංගි හැංගි අඬන ඒ ඇස්
මන් නෝට් කරන්මයි හිටියෙ...
පුතේ මේ මගෙ පණ
ආදරෙන් බලා ගන්න..
උඹට එපා කියලා හිතුන දවසට
හීරීමක්වත් නොකර මට ගෙනත් දියන්...
තවත් මට ඒ ආදරය ට උපමා ඕනද....
පිටත් වෙන්න නැකත හරි උනත්
මන් හෙව්වෙ ඒ ඇස් දෙක
මන් දන්නවා..
කාමරේට වෙලා අඬනවා ඇති
ඒකමයි දුවන් ගියේ..
අම්මා.....
ඇස් කදුළින් පිරිලා
හනි හනිකට පිහි දැම්මාත්
මන් දැක්කා ඒ කදුළු ....
මගෙ දෝණී හොදින් ඉන්න
මාව බලන්න එන්න
මාව තුරුළු කරන්
එයා කියවනවා......
ඊලඟ ආත්මෙ ඒ කුසේ
මට ඉඩ තියන්න
පාර්ථනා ව එක්ක මයි
මන් දණ ගහලා වැන්දෙ....
වදන්නම ඕන නෑ
හදපු එයයි සංසාරේ මගෙ අම්මා........
💖
B.M.N.බස්නායක

notes of imaginary

පනාමුරේ ඇත්ගාල

මඩුවන්වෙල පරපුරේ නින්දගමක් ලෙස පැවති කොළොන්න කෝරලයේ පිහිටා ඇති පනාමුරේ ග්රාමය මේ ඓතිහාසික සංසිද්ධිය සිදු වූ ස්ථානයයි. කඳු, බෑවුම්, මිටියාවත්, ඇළ දොළින් සපිරි මේ ප්රදේශය එකල අතිශයින් රමණීය වනාන්තරයක් විය. වන සතුන්ගේ නින්දගමක් වූ පනාමුරය හා ඒ අවට ප්රදේශ එකල වඩාත් ප්රකටව තිබුණේ අලි ඇතුන් බහුල ප්රදේශයක් ලෙසිනි. 1912 දී සිදුකළ අලි ගණනයට අනුව එහි අලි ඇතුන් 2300 ක් පමණ වාසය කළ බව සඳහන්ව තිබුණි. මඩුවන්වෙල පරපුර මේ සියල්ලම තමන්ට අයත් බූදලයක් ලෙසින් සැලකූහ.
සිය නින්දගමෙහි ජීවත් වූ අලි සම්පත අල්ලා විකිණීමෙන් ඔවුන් වරින් වර විශාල ආදායමක් ලැබූ බව ඉතිහාස කතාවන්හි සඳහන් වේ. ඔවුහු අවුරුදු පහකට වරක්වත් අලිගාල් පැවැත්වීම හෙවත් අලි ඇල්ලීම සිදු කළහ. 1912 දී මඩුවන්වෙල රටේ මහත්තයා එවැනි ඇත් ගාලක් පැවැත්වූ බව සඳහන් වේ. රජයේ අවසරයක් නොමැතිව වුවද ඇත් ගාලක් බැඳ අලි ඇල්ලීමේ බලය තිබූ එකම පුද්ගලයා වූයේ මඩුවන්වෙල රටේ මහත්තයාටය. අක්කර 64 ක භූමි ප්රදේශයක් පුරා එම ඇත්ගාල පවත්වා ගෙන ගිය බව සඳහන්ය.
පනහේ දශකය වන විට මඩුවන්වෙල පරපුරේ ජීවමාන උරුමකරවා වූයේ ෆ්රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු ඒ වන විට රාජ්ය මන්ත්රණ සභාවේ ප්රථම කතානායක ධුරයද දරමින් සිටියේය. අලි අල්ලමින් විශාල ආදායමක් උපයාගත් පරපුරක අයෙකු වශයෙන් ෆරැන්සිස් මොලමුරේද ඇත්ගාලක් පවත්වා ගෙන යාමට උත්සාහ දැරීය.
ඔහු සතුව අලි ඇල්ලීමේ මන්තර තිබූ බවටත් එකල බොහෝ දෙනකු අතර ප්රචලිතව තිබුණි. වනාන්තරය මැද ස්වභාවිකව පිහිටා තිබූ දිය බුබුලක් ආශිරතව ඔහු මෙම ඇත්ගාල ඉදිකරවන ලදී. මේ දිය බුබුලෙහි දිය කිසිදා නොසිඳෙන බවට විශ්වාසයක් එදා මෙන්ම අදද ජනතාව අතර පවතී.
අලිගාල ඉඳිකොට තිබුණේ අක්කර හතරක පමණ භූමි ප්රදේශයක් වටකොටය. සුවිශාල බුරුත කඳන්වලින් අලි ගාල වටකොට තිබුණි. සද්දන්තයන් දියට බසිනා මාර්ගය සමීපව ඉදිකොට තිබුණු දොරටුවෙන් අලින් කොටුව තුළට පැන්නීම සිදුකර ඇත. ඉන්පසු කඩුල්ල සවිමත්ව බැඳ දමා ඇත. මෙතරම් සුවිශාල අලි වැටක් ඉදිකිරීමේ කාර්යය සිදුකර ඇත්තේ එම නින්දගමෙහි ජීවත් වූ ජනතාව විසිනි.
අලි ඇතුන් ගාල තුළට කොටු කරන අන්දම නැරඹීම පිණිස එකල සුවිශාල ජනකායක් පැමිණි බවද සඳහන් වේ. ඔවුන් මේ සඳහා ප්රවේශ පත්රයක් ද මිලදී ගත යුතු විය. එය නැරඹීම පිණිස සුවිශේෂි නැරඹුම් මැදිරියක් ද ඉදිකොට තිබුණි. ප්රැන්සිස් මොලමුරේ විසින් පවත්වන ලද අලිගාල නැරඹීම සඳහා එවකට ශ්රී ලංකාවේ ඉංගිරසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි, හමුදාපති රෝස් මෙන්ම කීර්තිමත් ඉංගිරසි ලේඛක දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද සහභාගි වී ඇත.
අලි ඇල්ලීමේ කාර්යයේ යෙදී සිටින පුද්ගලයන් හඳුන්වනුයේ ‘පනිත්තිලයන්’ නමිනි. ‘පනිත්තිලයන්’ සියලු දෙනාද මේ කාර්යය සඳහා එක්වී ඇත.
වල් අලි කොටුකර බැඳ තැබීම සඳහා හීලෑ අලි 14 දෙනකු යොදාගෙන ඇත. ඔවුන් වෙනුවෙන් ඇත් ගොවුවෝ දෙදෙනෙක් ද ඊට සහභාගි වූහ. දින කිහිපයක පරිශ්රමයකින් පසු ඔවුන්ට වල් අලි 26 දෙනකු ගස් බැඳීමට හැකි විය. එහෙත් මේ අතර සිටි එක් සද්දන්තයෙකු කෙසේවත් මෙල්ල කළ නොහැකි විය. අඩි 9 ක් පමණ උසකින් යුතු වූ මේ සද්දන්තයාට වයස අවුරුදු 25 ක් තරම් විය. ඇතුන් ඇල්ලීමට නම් දැරූ අය පමණක් නොව අලි මන්තර දත් අයද දැරූ පරිශ්රමය වතුරේ ගියේය.
ඒ කිසිවක් ඉදිරියේ මේ සද්දන්තයාගේ ඔද තෙද සිඳි නොගියේය. පැමිණි වද හිංසා දුක් ගැහැට හමුවේ තව තවත් දරුණු වූ ඌ හීලෑ අලි ඇතුන්ගේ පස්සා ගාත් බිම ඇදෙන්නට පහර දුන්නේය. ගස් බඳින ලද තම රැහේ එවුන් බේරා ගැනීමට එම ගස්වැල් වලට පහරපිට පහර දුන්නේය.
අලි ගාලේ අයිතිකාරයා වූ ෆරැන්සිස් මොලමුරේට ද මේ සද්දන්තයා සුවිශාල ප්රශ්නයක් විය. වියරුවෙන් සිය රැහේ එවුන් වෙනුවෙන් මෙල්ල නොවී සටන් වදින මේ ඇතාට වරක් පිටව යන්නට ගාලේ දොර ඇර තැබුවේය. එහෙත් සිය පරපුරේ අනිත් එවුන් ගස් බැඳ තිබියදී බියගුල්ලකු මෙන් පලා යන්නට ඌ කිසිසේත්ම කැමැති නොවීය. තව තවත් රෞද්රව සටනට ආවා මිස පලායාමක් ඌට නොවීය.
පනාමුරේ මේ ඇත් රාජාගේ වික්රමය පිළිබඳ ඒ වනවිට දස දෙස ප්රචලිත වන්නට විය. ඇතාගේ වික්රමය අභියස අසරණ වූ ෆ්රැන්සිස් මොලමුරේ ගේ අවසාන තීන්දුව වූයේ මේ සද්දන්තයා මරා දැමීමයි.
රත්නපුරේ පොලීසියේ නිලධාරීන් හයදෙනෙකු ඒ සඳහා පැමිණියද එක වෙඩි පහරින් මේ සද්දන්තයා බිම හෙළීමට බැරි බව ඔවුහු ප්රකාශ කළහ. පසුව ඒ සඳහා කැඳවන ලද්දේ දිවයිනේ නම් දැරූ ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයාය. ඔහු නාවික හමුදාවේ සේවය කළ නාවික කොමදෝරු සෑම් කදිර්ගාමර් නම් විය.
හරියටම ඒ 1950 වසරේ අගෝස්තු මස 09 වැනිදාය. සිය වර්ගයා වෙනුවෙන් දිවි ඇති තෙක් සටන් කරමියි සිතා ඇත් රජු වෙඩික්කරු ඉදිරියට දූවිලි අවුස්සමින් දිව ආවේය. රයිෆලයෙන් නිකුත් වූ වෙඩි උණ්ඩය ඇත් රජුගේ වම් ඇසට ඉහළින් සිරුරට කිඳා බැස්සේය. චිත්රපට දසුනක් සේ මෙය නැරඹු සියලු දෙනාගේ දෙනෙත් තෙත් කරවමින් සද්දන්තයා සිය උපන් භූමිය සිප ගත්තේය.
එදා මෙදා තුර පුරා වසර 62 ක් තිස්සේ අපේ මතකයේ මේ සද්දන්තයා ගැන කුඩා මතකයක් විය. ඒ මතකය යළි යළිත් අලුත් කළේ මේ ගීතයයි.
පනාමුරේ... පනාමුරේ...
පනාමුරේ ඇත් රාජා...//
අභීත නද පෑ හස්ති රජා ඒ
කැලේ සටන් පෑ තේජා
පනාමුරේ ඇත් රාජා..
සොහොයුරු කැල සොයනා වූ නිදහස
සදහා පණ දුන් ආලේනී
ජාතිය උදෙසා ජීවේ පුදලා
සිහිවේ සිහිවේ නාමේ ඔබගේ
කළේ සටන් පා තේජා
පනාමුරේ ඇත් රාජා
තිරිසන් බවයේ උපනත් ඔබගේ
සිහිවේ එඩිතර භාවේ
සුදු මිනිසාගේ ඒ වෙඩි පහරින්
දිවිපා ළයදී ගියේද සුරලෝ
පනාමුරේ කැලයේදී
පනාමුරේ ඇත් රාජා

notes of imaginary

Sunday, December 24, 2023

පෘතග්ජන














පිනිබර සීතල උදයක
දැනුනා සුවඳක් කුසුමක
සොයනා කල එය කොයිබක
තිබුනා සුපිපී අකුලක
තුරු අතරෙහි එබී බලා
කටු කොහොලින් මඟහැරලා
දෝතට අරගෙන නෙලලා
එහි සුව වින්දෙමි රැකලා
දහවල එනතුරු රැඳුනේ
මල වෙතමයි සිත බැඳුනේ
හැමටම නිරතුරු ඇසුනේ
මුවින් නැඟුන එහි වරුනේ
සියුමැලි පෙති තලා පෙලා
සුවඳම සෙව්වා පතලා
දවසෙම මුදු බව සොයලා
පොඩිවුන පෙති බිම හැලිලා
නිමවිය ගෙවලා දහවල
ඉවතට විසිකර නෙලු මල
සෙව්වෙමි පිබිදුණු රෑ කල
වෙන කුසුමක් විසිතුරු කළ
පී. ජී. ආරියපාල


notes of imaginary

මොළදණ්ඩේ කුමන්ත්‍රණය



කීර්ති ශ්රී රාජසිංහ රජු මරා රටේ බලය අල්ලන්න හැදූ
මොළදණ්ඩේ කුමන්ත්රණය
සියමෙන් හාමුදුරු නමක් ගෙන්වා බණ කියන ගමන් රටේ රජතුමා මරා දමා රාජ්ය පැහැර ගැනීමට භික්ෂූන් වහන්සේලා හවුල්වී කළ කුමන්ත්රණය ‘‘මොළ දණ්ඩේ කුමන්ත්රණය’’නම් විය. ලංකාවේ අවසාන සංඝරාජ, අසරණසරණ පිණ්ඩපාතික වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන් වහන්සේ සහ මල්වත්ත විහාරයේ තිබ්බොටුවාවේ සිද්ධාර්ථ හිමියන් පවා මෙම කුමන්ත්රණයට හවුල්ව සිරගත විය.මෙම කුමන්ත්රණය නිසා එක් අයකු හිස ගැසුම් කෑ අතර තුන් දෙනෙකු උලතබා ඝාතනය කෙරිණ.මෙය කුමන්ත්රණය ක්රි.ව.1760 වර්ෂයේ සිදුවිය.මෙම සිදුවීම රාජාවලිය ඇතුළු ඉතිහාස පොත්වල සඳහන්ව ඇතත් හොඳම විස්තරය ලියා ඇත්තේ සැමුවෙල් ලැනරෝල් ලියූ CEYLON ANTIQUARY AND LITERARY REGISTER නමැති ග්රන්ථයේය. එල්.එස්. දේවරජා මහතා ලියූ THE KINGDOM OF SRI LANKA නමැති ග්රන්ථයේද මොළදණ්ඩේ කුමන්ත්රණය ගැන විස්තර සඳහන්ව තිබේ.
මොළදණ්ඩේ කුමන්ත්රණය ලෝකයට ගියේ සී.ඊ. ගොඩකුඹුර මහතා ලියූ ‘‘ශාසනාව තීරණ වර්ණනාවෙනි. එහි මුල් පිටපත බ්රිතාන්ය කෞතුකාගාරයේ අදත් දැකිය හැකිය. කුණ්ඩසාල කුමාරයා හෙවත් වීර පරාක්රම නරේන්ද්රසිංහ (ක්රි.ව. 1706-1739) සිංහල රජ පෙළපතේ අවසාන රජතුමා විය. ඔහු අවුරුදු තිස්තුනක් සෙංකඩගල නුවර රාජ්යකොට කාලක්රියා කළේය.
ඉන්පසු උඩරට රජකම හිමිවූයේ නායක්කර් වංශිකයන්ටයි. දකුණු ඉන්දියාවේ මදුරයි ප්රදේශයට අයත් නායක්කර්වරු මුස්ලිම් ආක්රමණ නිසා කොරමැන්ඩල් වෙරළබඩ ප්රදේශයේ පදිංචි වූ ප්රදේශ පාලකයෝ වූහ. මේ පවුල් හා විවාහ සබඳකම් ඇතිකර ගැනීම 17 වැනි සියවසේ උඩරට රාජවංශ ඉතිහාසයේ දක්නට ලැබුණකි. සිංහල රජ පෙළපතේ අවසාන රජු වීරපරාක්රම නරේන්ද්රසිංහ රජුද මදුරාපුර නායක්කර් වංශයේ කුමාරියක් බිසව කොටගෙන සිටියේය. ඒ බිසවගේ බාල සහෝදරයෙක් රජුගේ ඇවෑමෙන් ශ්රී විජය රාජසිංහ නාමයෙන් රජ විය. ඔහුගෙන් පසුව රජකමට පත්වුයේ කීර්ති ශ්රී රාජසිංහ (ක්රි.ව 1747-1780) නමැති නායක්කර් කුමාරයෙකි.
නරේන්ද්රසිංහ රජතුමා මෙසේ වඩුග ජාතිකයෙකු ලංකාවේ රජ කළේ ඇමැතිවරුන්ගේත්, එවකට සාමනේරව සිටි වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිවය. ඔහුට ධර්ම ශාස්ත්රය ඉගැන්වීමට බාරදුන්නේ සරණංකර සාමනේර හාමුදුරුවන්ටමය. ඒ ගැන ‘‘මන්දාරම්පුර’ පුවතේ මෙසේ සඳහන් වේ.
රජ සිරි ලැබිය යුතු දූ දරු නැති බැවින
හෙරණිඳු සහ ඇමැතියන් අදහස් ලෙසින
මදුරාපුර පිරිසිදු රජ කුලෙන් එන
සිය මෙහෙසිය සොහොවුරු පින් ගුණ නැණින
මන්දාරම් පුවත (ක්රි.ව. 1647-1702) යනු සෙංකඩගල රජ සමයේ ලියවුණ නව ඉතිහාස කාව්යයකි. සීතාවක රාජසිංහ රජුගේ කාලයේ සිට කීර්ති ශ්රී රාජසිංහ රජු දක්වා රාජ්යයේ නොයෙක් ඉතිහාස තොරතුරු මෙහි ඇතුළත් වේ.
මොළදණ්ඩේ කුමන්ත්රණය සිදුවූයේ කීර්ති ශ්රී රාජසිංහ රාජ්ය කාලයේදීය. කුමන්ත්රණයේ නිමිත්ත නම් කීර්ති ශ්රී රාජසිංහ රජතුමා මරා දමා වෙන අයෙකු රජකරවීමයි. කුමන්ත්රණ කරුවන් ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ වැලිවිට සරණංකර හිමි, මල්වත්තේ තිබ්බොටුවාවේ හිමි,කීර්ති ශ්රී රාජසිංහ රජුගේ උප අගමැති සමනක්කොඩි (මේ නම කොටගම වාචිස්සර හිමියන් ලියූ ‘‘සරණංකර සංඝරාජ සමය’’ නමැති ග්රන්ථයේ ඇත්තේ සමරක්කොඩි අදිකාරම් කියාය) කඩුවෙලරාල, මැටින්පොල දිසාවේ ආදීහු ප්රධාන කොටගත් පිරිසකි. කුමන්ත්රණයේ නායකත්වය දැරුවේ මොළදණ්ඩේ ගජනායක නිලමේ තුමාය. මෙය මොළදණ්ඩේ කුමන්ත්රණය ලෙස හැඳින්වූයේ ඒ නිසාය.
මේ පිරිස කීර්ති ශ්රී රාජසිංහ රජතුමා මරාදමා සිහසුනෙන් පළවා හැරීමට තැන තැන සාකච්ඡා කළෝය. වරෙක මල්වත්තේ පංසලේද තව වරෙක පිට පළාත්වලද මේ රහස් කතාබස් සිදුවිය. කෙසේ වෙතත් මල්වත්ත විහාරය කුමන්ත්රණයේ මූලස්ථානය විය. සමරක්කොඩි අදිකාරම තිබ්බොටුවේ නාහිමියන්ගේ ඥාතීන් වීම මෙහි තවත් විශේෂයකි.
මෙම කුමන්ත්රණය පිළිබඳව කොටගම වාචිස්සර හිමියන් ලියූ ‘‘සරණංකර සංඝරාජ සමය’’ පොතේ මෙසේ සඳහන්ව ඇත.
‘‘... කිත්සිරි රජු බෞද්ධයෙකු වුවත් ද්රවිඩ චාරිත්රයට අනුව නළලෙහි අළුගෑම අතහැරියේ නැත. මේ ගැන නොසතුටට පත් සමරක්කොඩි අදිකාරම සහ මොළදණ්ඩේ ගජනායක නිලමේද මල්වතු විහාරයේ ඇතැම් භික්ෂූන් රජුට විරුද්ධව පෙළඹවීමෙහි සමත් වූහ. (මොළදණ්ඩේ විප්ලවය – (CEYLON ANTIQUARY)
සියම් භික්ෂූන් මෙරට උපසම්පදාව පිහිටුවා අට වැනි අවුරුද්දේ එනම් 1760 දී කිත්සිරි රජු මැරවීම සඳහා මොවුහු කුමන්ත්රණයක් කළහ. ඒ කුමන්ත්රණයේ අදහස වූයේ කිත්සිරි රජු මරවා සියමෙන් පැමිණි රාජවංශික භික්ෂුවක සිවුරු හැරවා සිරිලක සිහසුනට පත් කිරීමයි. මේ සියම්රාජ භික්ෂුව මෙහි ගෙන්වීමට ලන්දේසීන්ද උදව් වූහ යැයි සමහර ඉතිහාසඥයෝ සලකති. (ඉන්දා සහ චරඤාණ චරිතය) ‘‘ශාසනාවතීර්ණ වර්ණ’’ නම් තත්කාලීන ඉතිහාස ග්රන්ථයෙහි විස්තර වන අයුරු එය සිදු වී තිබෙන්නේ මෙසේය.
සියමෙන් විදර්ශනාචාර්යවරයෙකු ගෙන්වා ඇති බව ප්රසිද්ධ කොට ගෙනෙන ලද දහම්පොත් සතර වීදියේ පෙරහරින් වැඩමකොට උන්වහන්සේගේ ධර්මදේශනය අසනු පිණිස රජුටද ආරාධනා යවන ලදී. මෙසේ කිරීමෙන් පසු පෝය ගෙයි ගැඹුරු බොරු වළක් කණවා එහි උල් සිටුවා රජු පැමිණි පසු එහි වැටෙන සේ කටයුතු සලසන ලදී.මේ පිරිස අදහස් කළේ රජු වැටුණයින් පසු ඔහු වසා පස් දැමීමටය.
අස්ගිරි විහාරයේ යටවත්තේ නමැති නායක නමකට මෙය දැන ගන්නට ලැබිණි. ඒ තෙරණුවෝ සිවුරු හැර රජ ගෙදරට ගොස් "ගෝපාල මුදියන්සේ" නමැති රජගෙදර සිටි මුස්ලිම් මෙහෙකරුට මේ බව රහසින් දැන්වූහ. රජුට මෙය දැනගන්නට ලැබුණේ ඔහුගෙනි.(CEYLON ANTIQUARY)
ශාසනාවතීර්ණ වර්ණාවෙහි පිලිමතලාවේ නම් නිලමෙවරයෙකු රජුට මේ බව දන්වා සිටි බව පැවසේ. රජතුමා මේ ගැන දැන දැනත් මල්වත්තේ විහාරයට ගොස් බොරු වළ තිබෙන තැන ඉදිරිපිට සිටගෙන ධර්ම දේශනාව අවසන් වනතුරුම එය අසා පිරිකරද පූජා කළේය. ඊට පසු තමා අත තිබුණ ජයකොන්තයෙන් බොරුවලට ඇන්නේය. ලැබුණ ආරංචිය සත්ය බව පසක් වූ කීර්ති ශ්රී රාජසිංහ රජ වැලිවිට සඟරජුන් ඇතුළු මල්වත්තේ නායක හිමිවරුන්ද රදල මුදලිවරුන්ද රජු ඉදිරියට ගෙන්වීය.ඉන්පසු එතුමා වැලිවිට මාහිමියන්ගෙන් පින්කමෙහි තොරතුරු විචාලේය.(ශාසනාවතීර්ණ වර්ණනාව)
සඟරාජ හිමියෝ නිහඬව සිටියහ. රජතුමා යළිත් ප්රශ්න කළේය. උන්වහන්සේ රජුගෙන් බේරුමක් නැති බව දැන ඒ පින්කම ගැන දන්නා බව පැවසූහ. ‘‘...එසේ නම් මට ඒ බව කලින් නොදැන්නුවේ මන්ද?..’’ යැයි රජ කෝපයෙන් ඇසුවේය.
සරණංකර මාහිමියෝ රජුට සිය ඇඟිල්ල පෙන්නා මෙසේ කීහ.‘‘...දේවයිනි මගේ මේ ඇඟිල්ලේ නිය පිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි සිටින පණුවා මැරෙන හෙයින්ය. මම ඒ තරම්ම පර පණ නැසීමට බිය ඇත්තෙමි. ඉතින් මම මේ සිද්ධිය ගැන ඔබට දැන්වී නම් ජීවිත කීයක් වැනසෙන්නට තිබුණේද...’’ මෙසේ කියා සඟ රජුන් නැවතුණ විගස ම කිත්සිරි රජ කතා කරමින් ‘‘...එසේ නම් මා මැරුණොත් හොඳද..‘‘ යි ඇසීය. නිරපරාද සරණංකර සංඝරාජයාණන් වහන්සේ ‘‘...නොකී නිසා එයට මට වැරැද්දක්... නැතැ...’’ යි කියා සැළ කළහ.
රජතුමා නැවතත් ප්රශ්න කරමින් ‘‘...එවිට තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳද...’’ යි කී සඟ රජුහු නිහඬ වූහ. කෝපයෙන් දිලිහුණු රජ ‘‘...වැලිවිට කණා සස්නෙ වවනවා... කියා ලෝක ශාසන දෙකම නසාපි...’’ කියා සඟරජුන් සිර කරන්නට නියම කළේය.
මේ කුමන්ත්රණයේ වරදකරු වශයෙන් සැලකුණ සරණංකර මා හිමියන් දුම්බරද, තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ බුද්ධ රක්ඛිත හිමියන් කුරුණෑගලද සිරකොට තැබූ බවද මොළදණ්ඩේ විප්ලවය ජොන්ස්ටන් නම් ඉංග්රීසි ජාතිකයෙකු සපයන ලද ලියුමක සඳහන් වේ. (CEYLON ANTIQUARY ) ඒ ලියුම්කරුගේ විස්තරය අනුව නම් මේ කෙරෙන්නට ගිය කුමන්ත්රණයේ නායකත්වය දැරුවෝ වැලිවිට සංඝරාජ හිමියෝද තිබ්බොටුවාවේ සිද්ධාර්ථ හිමියෝද වෙති. එහෙත් ඔහුගේ ප්රකාශය සම්පූර්ණයෙන් සත්යයැයි පිළිගත නොහැකි බව කොටගම වාචිස්සර හිමි ‘‘සරණංකර සංඝරාජ සමය’’ නම් ග්රන්ථයේ සඳහන් කර තිබේ.
කීර්ති ශ්රී රාජසිංහ රජතුමා බොරු වළක වට්ටවා උල්ගොඩක අමුණවා මරවන්නට තැත් කළ මොළදණ්ඩේ ගජනායක නිලමේ (රටේ රාල) කඩුවෙල රාල, මැටිහස්පොල දිසාවේ යන රදළවරුන් උලසිටුවා මැරවීය. සමරක්කොඩි (සමනක්කොඩි) අදිකාරමේ හිස ගස්සවා දමා මැරෙව්වේය. මේ බව රාජාවලියේ සඳහන්ව තිබේ. අග්රවිනිශ්චයකාර සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් (1811-1818) ලිපිගොනුවේද (NO10) මෙම කුමන්ත්රණය ගැන විස්තරාත්මකව සටහන් කර තිබේ. එවකට තිබූ ඕලන්ද ලියකියවිලිවලද මොළදණ්ඩේ කුමන්ත්රණය හා එහි රහස් සාකච්ඡාවල සටහන් දක්නට හැකිය. ලංකාවේ පිට පළාත්වල පන්සල්වල වැඩ විසූ සංඝයා වහන්සේලා විශාල පිරිසක් මෙම කුමන්ත්රණයට සම්බන්ධකම් පැවැත්වූ බව සඳහන් වු නමුත් උන්වහන්සේලාගේ නම් ගම් සඳහන් වී නොමැත.
කීර්ති ශ්රී රාජසිංහ රාජසිංහ රජතුමා මරාදමා ඒ වෙනුවට රජ කරන්නට සූදානම් වූයේ සියමේ රජපෙළපතේ කුමාරයෙකි. ඔහුගේ නම ‘‘ක්රොම් මුඑන් ටෙප් පිපිට් (CROM MUEN TEP PIPPIT) ය. මේ සියම් කුමාරයා එවකට සියමේ රජු වශයෙන් සිටි බොරොන්කොට් (BRON KOT 1732-1758) රජතුමාගේ දෙවැනි බිසවගේ දරුවෙකි. මේ කුමන්ත්රණය පිළිබඳ කීර්ති ශ්රී රාජසිංහ රජතුමාගේ පියා වන නාරණප්පා නායක්කාර්ටද සැළවී තිබුණි. අස්ගිරි විහාරයේ වැඩසිටි නායක හාමුදුරුවන් කෙනෙකුට කුමන්ත්රණය සැලවූ ගමන්ම උන්වහන්සේ මේ පුවත රජුට සැලකිරීමට ගියේ සිවුරු හැර දමමිනි. සැමුවෙල් ලැනරෝල්ගේ C.A.L.R ලේඛනයේ සඳහන් වන්නේ මෙම නායක ස්වාමීන් වහන්සේ හුලංගමුවේ හාමුදුරුවෝ ලෙසිනි.
මොලදණ්ඩේ ගජනායක නිලමේට අයත්ව තිබූ සියලු දේපළ රාජ සන්තක කොට, රජතුමා ඒවා මේ ඔත්තුව ගැන මුලින්ම දැන්වූ "පරකුඹුරේ රාජකරුණා වෛද්යතිලක ගෝපාල මුදලියාර්" නමැති මරක්කල තැනැත්තාට සහ ඔහුගේ දරු මුණුපුරු පරපුරටම ලබාදුන්නේය.
ලන්දේසීන්ගේ ආධාර ඇතිව සියමෙන් ගෙන ආ භික්ෂූන් වහන්සේලාට හා රජකරවීමට සිවුරු පොරවාගෙන ආ ක්රොම් මුඑන් කුමාරයාටද රජතුමා දඬුවම් කිරීමට සූදානම් වුවත්, මීගස්තැන්නේ නිලමේ මැදිහත් වී එය වැළැක්වූයේය. එහෙත් ඔවුන්ට මහනුවර වාසය කිරීමට ඉඩ නොදී පන්නා දැමූ බව සඳහන් වේ. ඔවුන් බොහෝ දෙනෙකු දළුක් කිරී බී මියගිය බව ‘‘ශාසනාතීර්ණ වර්ණනාවේ’’ සඳහන් වේ.(ගොඩකුඹුරේ සංස්කරණය)
ලන්ඩන් විශ්වවිද්යාලයේ කලක් සේවය කළ සී.ඊ. ගොඩකුඹුර මහතා පොත් විශාල සංඛ්යාවක් ලියූ විද්වතෙකි.මෙතුමා ලියූ ශාසනාතීර්ණ වර්ණනාවේ ‘‘මොළදණ්ඩ කුමන්ත්රණය’’ පිළිබඳ තොරතුරු රාශියක් වේ.
මේ කුමන්ත්රණයට සංඝරාජ හාමුදුරුවෝ අසු වූයේ තමන්ගේ නොහික්මුණු ශිෂ්යයන්ගේ සහ රදළවරුන්ගේත් අදූරදර්ශී ක්රියාමාර්ගය නිසා බව කොටගම වාචිස්සර මාහිමියෝ පවසා තිබේ.සියම් භික්ෂූන්ට සිදුවූයේ කුමක්දැයි ‘‘ශාසනාතීර්ණ වර්ණනාවේ’’ හැර වෙන එකම පොතකවත් සඳහන් වී නැත.
මේ කුමන්ත්රණය සිදුවන්නට වූයේ තමා නළලේ අළු ගාගත් නිසා යැයි සිතූ රජතුමා නළලේ අළුගෑම සම්පූර්ණයෙන්ම අත්හැරියේය.එපමණකින් නොනැවතුණු රජතුමා අළු, දැළි ගෑ ලියුමක්වත් නොබැලීමට වන පරිදි පුස්කොළ පත් ඉරු කහවලින් මදින්නට පටන් ගත්බව ද පැවසේ.
පී.ඇම්. සේනාරත්න මහතාගේ ලංකාදීප ලිපියක් ඇසුරිනි.
ගත්සයුර🖋️
තවත් වටිනා ලිපි කියවීම සදහා එක් වන්න.

notes of imaginary