Friday, October 27, 2023

හොරු



එක් ගම්මානයක් අසල වනාතේ මහ ගසක් යට හොරු දෙදෙනෙක් වාසය කළහ. නිසි රැකියාවක නොයෙදුණු නිසාත්, රෑට හොරකමේ යෙදුණු නිසාත්, ඔවුන්ට ගමේ සිටිය නොහැකිය. හිසට සෙවණ වූයේ මහ ගසය. නිදන ගෙපිළ වූයේ මහ පොළොවය. රෑට හොරකමේ යෙදී අවුත් දවල්ට ගස යට නිදා ගනිති. හැමදාම මෙසේ කල ගෙවුණේ නැත. හොරකම් කරද්දී සමහරදාට ගම්මුන්ට අසුවී යහමින් ගුටි කති. යළිත් සොරකමේම යෙදෙනමුත්, යළි අසුවී ඇඟපත තළාපෙළා ගනිති.
දිනක් උදේ පාන්දර නින්දෙන් නැගිටගත නොහැකිව එක් හොරෙක් මෙසේ කීය: ”යාළුවේ මේ රස්සාව නම් හරියන්නේ නැහැ. මුළු ඇඟපතම වණයක් වගේ වේදනාවයි.”
”මගේ සරුවාංගෙත් එහෙමයි. වෙන මොනවා කියා කරන්නද? කිසිම යහපත් රැකියාවක් අපට පුරුදු නැති කොට.” අනිකා පැවසීය.
එහෙත් පසුවදාද ඔවුහු හොරකමේ යෙදුණාහ. නැවතත් අඩුවක් නැතිව ගුටි කෑහ.
ඊළඟ දින එක් හොරෙක් මෙසේ යොජනා කළේය.
”දැන් නම් මෙහේ හිටියා ඇති. වෙන කොහේ හරි ගිහින් කන්න දෙයක් සොයා ගනිමු.”
”අපොයි, කොහේ යන්නද? වෙන රස්සාවක් පුරුදු වෙන්න කාලයකුත් නැහැනේ?”
”එහෙනම්, උඹ හිටපං. මං යනවා යන්න.” කියා ඒ හොරා ඔහු හොරකම් කර ගෙන ආ සුදු සළු කීපයක් ද පොදිකර ගෙන පිටත්ව ගියේය.

දින කීපයකට පසු ඈත ගම්මානයකට යන පාරක් අයිනේ ගසක් යට සුදු සළුවක් උතුරු සළු කොට පොරවා භාවනා ඉරියව්වකින් ඔහු හිඳ ගෙන සිටියේය. පූජාව පිණිස යන ගම්මුන් ඔහුගෙන් සුවදුක් විමසූ නමුත් ඔහු මුවින් නොබැණ හුන් ඉරියව්වේම සිටියේය. ගම්මු රැුගෙන ගිය ආහාර හා පලතුරුවලින් කොටසක් ඔහු වෙත තබා ගියහ.
පසුදාද එසේම සිදුවිය. ටික දිනක් යනවිට ඔහුට ආහාරවලින් හිඟයක් නොවීය. මේ භාවනානුයෝගී පින්වතාට තවත් ටික කලකදී ලී දඬුවලින් හිසට වහලක්ද තැනිණි. බණ දෙසුම්ද සිවුපසය ලැබීමද නොකඩවා සිදුවිය.
අවුරුදු කීපයක් ගෙවීයත්ම එතැන ඇත් පවුරකින් වටවූ විශාල දෙමහල් තෙමහල් මන්දිර තැනී තිබිණ. සමහර දිනවල බැතිමතුන්ගෙන් පිරී යයි. ‘මහත් අනුහස් ඇති තැනකි’යි රට පුරා පතළ විය. ව්යාපාරිකයෝද දේශපාලකයෝද පැමිණ තම රැකියාවේ වැඩි දියුණුව පතා ආශිර්වාද ලබා ගනිති. එසේ ලබා පන්සලට සුවපහසු කුටියක්, අලංකාර රන් වැටක් ආදිය තනා දෙති.
තවත් වසර ගණනාවකට පසු ඈත පළාතක දේශපාලනඥයෙක්, අධිවේගී රියකින් පැමිණ ස්වාමීන් වහන්සේ මුණ ගැසුණේය. සුදු අත්කොට කමිස ඇඳ සිටි රැකවල්ලූ හතරපස් දෙනෙක්ද වූහ. පිළිසඳරේ යෙදෙමින් හිමියෝ ඔහුගේ වංහුං විමසූහ.
”ඔව්, මා ඈත පළාතකයි. පන්සලේ අනුහස් ගැන අසා ළඟ එන මැතිවරණයට ආශිර්වාද ලබා ගැනීමට පැමිණියා.”
”ඔබතුමා ඈත පළාතකය කීවාට මට හුඟක් ළඟ පළාතක කෙනකු වාගෙයි දැනෙන්නේ.”
”මාත් ඔබ වහන්සේ දුටු මොහොතේ පටන් සිතුවේ හොඳින් දැක පුරුදු කෙනකු බවයි.”
එවිට දෙදෙනාටම අතීතට මතක් වී කොක් හඬලා සිනාසුණහ.
ඇතුළු කුටියේ සුළු සාදයකින් පසු ”දැන් ඉතින් ඉස්සර වගේ ඇඟට අමාරුවක් නැහැ නේදැ”යි පැවිදි සගයා විහිළුවට මෙන් ඇසීය.
”ඔව්, හාමුදුරුවනේ, හොරකම් කරන්න අවශ්ය නැහැ. ඡන්දය දෙනවිටම ඒ වරම ලැබෙනවා. ඔබ වහන්සෙට කොහොමද?” දේශපාලක සගයා ඇසීය.
”පේනවා නේ අතීතයේ අමාරුවෙන් ගත් දේවල් දැන් ළඟටම ලැබෙනවා. නවීන ශිල්ප ධර්මයේ පිහිටයි.”
උපුටාගැනීමකි
(ඉන්දීය ජනකතාවක් ඇසුරෙනි.)
ඉන්බොක්ස් එව්වේ.. Priyantha Weerasooriya

Sonali Ryan  මුහුණු පොතේ සටහන් කරන ලද වියමනකි.

notes of imaginary

Thursday, October 26, 2023

කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !




කවි මඩුවේ  නම් දෙකක් කියවෙනවා. 

අමරෙයි – කහවත්තේ නංගියි .

මේ දෙන්නා වාදෙක පැටලිලා  

අපි  කවි ටික අහලම ඉමුකෝ.

https://www.youtube.com/watch?v=kvAiHMg5UJo



අමරේ:

දිගු කාලෙකට පසුවයි අද දැක               ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ          මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය                යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට                  කහවත්තේ
කහවත්තේ නංගී:
උපමා කියයි දම දම බොරු                   හිනාව
මට තේරුණා අමරෙගෙ                        උවමනාව
වයසට ගියත් ඉස්තිරි                             වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ                 කල්පනාව
අමරේ:
අඩ සඳ නලල නා දළු තොල් හරිම                     යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි                      රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු                ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු           නිසයි
කහවත්තෙ නංගී:
රණ හංසයින් පෙන්නා ළැම මත                        පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු                              නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු                           මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ                ගෑණූ
අමරේ:
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය                            ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස                                    වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර                          ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ                                  යුගේ
කහවත්තෙ නංගී:
කැත එකියකට බොරු උපමා හරි                                   ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි                                    පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි                                      පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි                                   උස්සා
අමරේ:
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල                   වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු                       තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල                           කැලේ
අප වැනියන්ට පමණකි එය දකින                      මොලේ
කහවත්තෙ නංගී:

අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින                        දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ                              වැකී
සතියක් යන්න පෙර මංගල නැකත                                මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර                             එකී
අමරේ:
කවි පද වලට කොතැනකවත් නෑ                                   මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක                                        කෙල්ල
මට පෙම් පිපාසය – හරියට                                            පෑවිල්ල
නංගියෙචූට්ටක් දෙනවද නා                                         දල්ල?
කහවත්තෙ නංගී:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ                              ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු                                  දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා                                       ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර                             පොල්ල
අමරේ:
කවියට කොතැන මුත් ඇත්තේ                                      බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන්                                    ළාමකය
දැමුවට පසු ඇයට උපමා                                                  රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු                                      මාරකය
කහවත්තෙ නංගී:
උපමා උපමේය දම දම                                                     පුරාණේ
එන්නෙම ළඟට මුලසුනටත්                                         හොරානේ
ඉන්නෙත් තවම අකලට                                                  දිරවලානේ
මට මොනවටද මේ වයසක                                             පරානේ
අමරේ:
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද                                මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට                               ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව                                 සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම                             එකක්
කහවත්තෙ නංගී:
හිර කොට කලිසමක් ඇඳගෙන                                      පටි දාලා
සක්කරවට්ටමක් යනකොට                                           නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි                                          රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට                                           බඩුනාලා

මුලාසනය:
හැඩවැඩ අගය කොට වනිතා                                         පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද                                         පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය                                   බරට
කොයි ගෑණිත් එකයි අමරේ                                          කළුවරට !


notes of imaginary