Thursday, July 30, 2009

නැගණහිර සරනාගත කදවුරක සිට.






වෙඩි හඩට අකුරු ඇදවෙයි
කිව්වේ අපි පෙර
සන්දියේ
අකුරු කෙරුවත්
වෙඩි හඩක් නැති
තෙමංසල මන්ඩියේ

Saturday, July 25, 2009

කේ.ජයතිලක මහතාගේ අන්තිම කැමැත්ත.

2009.ජුලි. 23 බ්‍රහස්පතින්දා “දිවයින” පත්‍රයේ “සරසවි උයන” අතිරේකයේ 19 වෙනිදා රදාවාන කන්නිමහර කේ ජයතිලක ලේඛක අසපුවේදී ගත්කරු කේ ජයතිලක මහතා කරන ලද ප්‍රකාශයක් පලවෙනවා. එම ප්‍රකාශයේ පිටපත් ජයතිලක පදනමෙන් රැස්ව සිටි අය අතර බෙදා දුන් බවත් එහි සදහන් වෙනවා. සරසවි උයන තුන්වන පිටුවේ පලවන්නේ එම ප්‍රකාශනයේ පිටපතයි.

එම ප්‍රකාශනය නොකියවන ලද සහෘදයන්ගේ පහන් සංවේගය උදෙසා මීදුම අවධනය යොමු කල ‍ කොටස් යලි උපුටා දක්වනවා .

‘ --- මෙයින් කන්නිමහර පුස්තකාලයේ පොත් බැහැර දෙන අංශයෙහි සාමාන්‍ය, මධ්‍යම ප්‍රමාණයට අයත් පුස්තකාලයක තිබෙන පොත් 20,000 ක් පමණ අඩංගුව ඇත. 700 ක් පමණ සාමාජිකයෝ ඉන් නිතිපතා නොමිලයේ පර්‍්‍රයෝජනය ලබති.
............... විමර්ශණ අංශයේ සම්පූර්ණ නොවූවත් ඉතා හොද ශ්රී. ලංකා පොත් එකතුවක් ඇත.එසේම ධම්පියා අටුවා ගැටපදෙහි පටන් අද දක්වා සියළු සම්භාව්යප සිංහල ග්‍රන්ථවල එකතුවක් මෙහි වෙයි................
අපට දැනට මහා හිසරදයක් වී ඇත්තේ දශක හතකට අධික කාලයක් මුළුල්ලේ උන්මාදයකින් මෙන් එක් රැස් කල තුන්වැනි අංශයට අයත් ජගත් ප්‍රඥා නිධානයයි.විශ්ව ඥාණය නැමති මහා වනස්පති වෘක්ෂයේ මහා මූලයන් වැනි ඉහත සදහන් කළ කෘති රැසකුත්, 19 වන සියවසේ මුද්රිත ඉංග්රීසි සිංහල පොත් සමූහයකුත් මෙයට ඇතුලත්ය. සෘග්වේදයේ සිට “ යුද්ධය හා සාමය "දක්වා වූ ජගත් සාහිත්‍ය. කෘති කියවන කිසිවෙකුට “ මම ප්‍රඥයෙකු නොවෙමි” යි අධිෂ්ඨාන කරගෙන ඒවා කියවූවත් එසේ නොවී සිටීමට නොහැකිය. ( මේ ලියන මා ද එවායින් අඩක්වත් කියවා නැත්තෙමි)........... මේවාට කළයුත්තේ කුමක්ද ?. කිසියම් අයාතනයකට පරිත්‍යග කළ යුතුද ?.....................................
ඒ අනුව මගේ අවසාන කැමැත්තවනුයේ මේ අසල දැල්වෙනු ඇති මගේ දර සෑයට ත්‍රිපිටකය හැර මේ පොත් සියල්ල එකක් නෑර නොපැකිල දමා පිලිස්සීමය.එයට මෙහි සිටින ඔබ සැම සාක්ෂි වනු ඇතැයි මා විශ්වාශ කරමි................................................
ඇත්ත වශයෙන්ම මෙය ඔබට පෙනිය හැකි තරම් දරූණු හෝ අකැරුණික තත්වයයක් නොවේ.කලින්සිටම මෙවැන්නක් අපේක්ෂා කල මම හැකි සෑම කෘතියකින්ම තව අතිරේක පිටපතක් හෝ දෙකක් සොයා බැහැර දෙන අංශයට හෝ විමර්ශණ අංශයට යොදා ඇත්තෙමි. ඒවාත් ත්‍රි පිටකයත් අත්හල විට විනාශ කල යුතු දහසක් පමණවු ග්‍රන්ථ නාම අතරින් සම්පුර්නයෙන්ම නැතිව යනු ඇත්තේ දෙසියක් දෙසිය පනහක් පමනක් විය හැකිය.............................. ”

කේ .ජයතිලකයන්ගේ අන්තිම කැමැත්තට ගිනි ලන්නයි කියන පොත් අතරින් පොත් 200 -250 කි. මෙම පොත් වල පමණක් වානිජ වටිනා කම රුපියල් කෝටියක් පමන බව සදහන්ය. ඒත් ඒවායේ බුද්ධිමය වටිනාකම මිළ කල නොහැකිය.මෙම පොත් පේරාදෙනිය, කැළණිය යන විශ්ව විද්යාල දෙකට පරිත්‍යාග කලත් නිසි ප්‍රයෝජනයක් නොගනු ඇතැයි ජයතිලකයන් සිතයි.විශ්ව විද්යාල ක්ෂෙ තර්‍යේ ඇදුරන් බුද්ධිමය දේපල පැහැර ගන්නා අන්දම ගැන ජයතිලකයන්ට ඇත්තේ අප්‍රසාදයකි.ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, කෞතුකාගාර පුස්තකාලය, ජාතික ලේඛණාගාර පුස්තකාලය පොත් රැක බලා ගැණිම පිලිබදව ඇති උනන්දුව පිලිබදව ප්‍රසන්න හැගීමක් ජයතිලකයන්ට නැත. ඒවාට විශ්ව කෘති පරිහරණය කිරීමට පෘඨකයෝද එන්නේ නැතැයි ජයතිලකයන් සිතති.

ජයතිලකයන් තමන් ආදරය කරන මේ වස්තු සම්භාරය අනෙකුන් අතින් ටික ටික විනාශවනවාට වඩා තමා සමගම දැවී අළුවී යාම සුදුසුයැයි තීරණය කලා විය යුතුය.එයත් ආදරයත් ගෞරවයත් සමග ඇතිවන කල්පනාවකි. ඒ සිතුවිල්ල තුල ජයතිලකයන් නිවරදිය.

වර්තමානයේ නම් පොත් පත් කියවන්නෝ ටිකින් ටික අඩුවෙමින් පවතින බව සදහන් කල යුතුය. නවීන සන්නිවේදනය එයට හේතුවිය.එදා විවේකයට පොත පත කියවු අය අද රූපවාහිණිය තුල අතරමංව ඇත. සිනමා ශාලාවකට වුවද යන්නන් අද සිටීන්නේ අල්පයකි. පරිගණකයන් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ක්‍ෂණිකව සොයා ගත හැක.මෙවාට පසුබිම තාක්‍ෂණයේ දියුණුවත් ,අවිවේකී ජීවන රටාවත් විසින් ඉබේම සකසා ඇත.පාසල් අධ්‍යාපනයේ පටන් උසස් අධ්‍යායපනය දක්වා පාඨමාලාවන් සකස් වී ඇත්තේ වර්තමාන අවශ්‍යයතාවයනට අණුරූපවය.සාහිත්‍ය කලා විෂයයන්ට ප්‍රමුඛතාවයක් නැත. ඉතින් ජයතිලකයන්ගේ කාලයේ මෙන් අද විශ්ව කෘති සොයා යාමේ පිපාසාවක් දරුවන් තුල ගොඩ නැන්වෙන්නේ නැත. ඔවුන්ට අධ්‍යාපනය ලබන විෂයය ධාරාවේ ටියුෂන් පංති වලට දුවනවා හැරෙන්නට වෙනත් කාලයක් ඉතිරිව නැත.

කන්නිමහර පුස්තකාලයේ 700ක් පමන සාමාජිකයන් සිටියත් ඔවුන්ගෙන් මෙවැනි පත පොත පරිශීලනය කිරීමට සමත් විදේශිය භාෂා ඥාණය ඇත්තෝ සමහර විට ඇත්තේ අල්පයක් විය හැක. ජයතිලකයන්ද අඩක් වත් කියවා නැති බව පවසන මේ ඥාණ සම්භාරය දෙස එම පාඨකයෝද ඇස ගසන්නේ විවේක බුද්ධිය පුළුල් කර ගැණිමට නම් නොවිය හැක. කිසියම් විභාගයකදීවත් නම කියවි ඇතිවිටක විය හැක. කන්නිමහර පුස්තකාලය යේ ක්‍රියාශිලිත්වය දෙස ඇස ගසා ගෙන සිටින ජයතිලකයන් නූතන පරපු‍රේ කියවීමේ රුචිකත්වය නොමැති තරම් යයි නිගමනය කලාවත්ද ?. අගනුවර වැනි ජනාකීර්න පරිසරයක නම් මේ නිද්‍රාවශීලිත්වය එතරම්ව තිබිය නොහැක.

කෙසේ වෙතත් පොත් ගිණිලෑම ගැන නම් තව බොහෝ වරක් සිතිය යුතුය.රාජ අනුග්‍රයහයෙන් යාපනය පුස්තකාලය ගිණලෑ රටක අත්දැකීම් ඇති මෙවන් ප්‍රඥයෙකුගේ සිතිවිලි ඔය තරමටම දරුණු වීම නම් මීදුමට පුදුමය.

Wednesday, July 22, 2009

මීදුමත් සමග වසරක්.

පරිගනකයත් සමග ගනන් හදපු මම ලියුම් ලියපු මම. විවේක වෙලාවට spider solitaire එකේ කාඩ් ගහන එකයි කලේ .

අවුරුද්දකට විතර ඉස්සර 2008.06.13 ට පස්සේ දවසක කොළඹ විශ්ව විද්යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ භාෂා තාක්ෂ ණ පරීයේෂණාගාරයේ සිංහල යුනිකේත ( Unicode) හා (web 2) වැඩ මුළුවකදී බෙදා දුන්න පත්‍රිකා ගොන්නක් මට ලැබුනා.මම Unicode සිංහල අකුරු වලට මාරු වුනා. Symbol වලට ගිහින් අකුරු හොය හොයා කොට කොට හිටපු මම key board එකේ දඩි බිඩි ගාලා type කරන්න පටන් ගත්තා.

Blog එකට මට පාර කිව්වේ වමිල ලියනගේ blogs - අන්තර්ජාලයේ ඔබේ ඉඩ.

මම පලමුව WWW.blogs.sinhalabloggers.com අඩවියට පිවිසිලා කියවා කියවා ටික කාලයක් හිටියා.පරිගණක පිලිබද කිසිම පාඨමාලවක් විධිමත්ව ඉගණගෙන නැති මට පරිගණක සාක්ෂරතාවය ඉගන ගන්න උනේ ගෙදර වාහනෙන් .driving ඉගන ගන්නවා වගේ.
blog එකක් හදා ගන්නත් නඩත්තු කරන්නත් බැහැ. දන්න කෙනෙකුට වදින්න ඕනී. එහෙම කරලා තමයි ජුලි මාසේ මේ දවස් වන කොට මීදුම හදා ගත්තේ. පිටුව හදලා දුන්න එක්කෙනා මුලින්ම ගුරු මුෂ්ඨිය තියාගෙන තමයි පිටුව හදලා දුන්නේ.

මම විවේකයක් ලැබුනම word document එකක type කරලා තියාගෙන දවස් දෙක තුනක් ගුරුවරයාට වදිනවා. අන්තිමේදි ගුරුවරයා මගේ වදේට මීදුමට මගේ මනස්ගාතය එකතු කරනවා. කාලය කොතරම් නපුරුද ?.මම හිතනවා.

මගේ ජීවිතය ගෙවෙන්නේ බකමූනාගේ අවධියේ. අයිතිවාසිකම් තියෙන්නේ “හ්ම්’ කියන්න විතරයි. මගේ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරයට මම “හ්ම්’ කියනවා.profile එක දැක්කම හිතා ගන්න පුළුවන්නේ.

ටික දවසක් යන විට මට නිදහසේ කටයුතු කරන්න පුරුදුවුනා. මම පිටුවේ හැඩ රුව වෙනස් කර ගත්තා. පුංචි අඩුවකට තියෙන්නේ මගේ connection එක slt dialup එකක් වීම. මම තාමත් බර කරත්ත යුගයේ. හද්දා පිටිසර ඉන්න මට ADSL නෑ.

රට වටේ ඇවිදින කොට පරිසරයේ පින්තූර අරගෙන එන එක මගේ පුරුද්දක් ඒත් ඒවා බෙදා ගන්න මේ බර කරත්තයෙන් බෑ.
මීදුමත් එක්ක ඉන්න පුංවි එවුන් ගේ දැනීම නම් පුංචි නෑ. ඒගොල්ලත් එක්ක මම දැනුමෙන් නම් පුංචි එකෙක්. මම ඒ ගොල්ලා කියවලා ඉගන ගන්නවා.මගේ විවේකයත් දැන් ගෙවිලා යන්නේ යම් සතුටකින්. spider solitaire එකට ගෙවුන කාලය මොකක් හෝ සිද්ධියක් වියමන් කරන්න වෙන් වෙලා. නැත්නම් වියමන් කියවන්න යොමුවෙලා. ඒකත් සිම්පල් ප්ලෑන් එකක්.

අපි මීදුමත් එක්ක අළුත් අවුරුද්දක් පටන් ගනිමු. කියවන්න ... වැදගත් ලෙස විචාරවත් වෙන්න.මම ආරධනා කරනවා.

Friday, July 17, 2009

මතට තිත සහ කොත්තමල්ලි බීම.

බොහෝම කාලෙකට ඉස්සෙල්ලා මම මත ගැන මතකයක් වියමන් කලා.නීතී විරෝධී මත්පැන් නිෂ්පාදන දිනපතා පාවිච්චි කරන ප්‍රජාවකගේ මරණ කිහිපයක් සිද්ධ වෙමින් තිබියදී.වියමන් කරන්නෝ අදහස්ද comments දක්වලාත් තිබුනා.

මතට තිත තබන හදිස්සියක් 2007අය වැය යෝජනා වලින් පස්සේ රටේ තිබුනා. 2008 අය වැය ආවට පස්සේ ඒ උනන්දුව තිතට බැස්සා.2007-2008 අතර කාලය සුරාබදු නිලධාරීන්ගේ තදියම් වැටලිම් දිනපතාම වාර්තා වුනා. 2008 පස්සේ ප්‍රවෘත්ති පත්‍ර වල ඒකට ඉඩක් තිබුනේ නෑ. ප්‍රභාකරන් ප්‍රවෘත්ති මව මවා දුන්නා. පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් ආයේ පරන රටාවට හුරුවුනා.මෑන් ගියාට පස්සේ ආයෙත් මතට තිත තියන්න පටන් ගත්තා වගෙයි.මේ වැඩ පිලිවෙල මම දකින්නේ නම් සෝඩා බෝතලේ කැඩුවා වගෙයිකියලා.සූස් ගාලා සෝබනේ විතරයි.

ප්‍රදේශයේ පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් වැටලීම් කරන්න අවශ්‍යම නැහැ.සියළු නිෂ්පාදකයන්ගේ,බෙදාහරින්නන්ගේ සහ ලොකු පොඩි අලවි කරන්නන්ගේ පැටිකිරිය මේ දෙගොල්ලා ගාවම තියෙනවා.අළුතින් පත්වෙන නිලධාරින් වැඩ බාර ගන්නා ගමන්ම මේ අයගේ සජීවී ලිපි ගොනුත් බාරගන්නවා.ලගට එන්න කියලා මේ අයට නීතිය මාසිකවම අකුරටම ක්‍රියාත්මක කරවනවා.මාසිකව දඩ මුදල් නිල නොවන අන්දමින් පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් වෙන වෙනම ගෙවන්න ඕනී. ත්‍රෛමාසිකව අධිකරණයට දඩ මුදල් ගෙවන්න සිද්ධ වනවා වැටලීමක් සිද්ධ වෙලා නඩු වැටීමෙන්.හැබැයි ඒ මාසෙත් නිල නොවන දඩේ නම් ගෙවන්න ඕනි. මේක නිරන්තරයෙන්ම ක්‍රි යාත්මක වන ක්‍රියා දාමයක්.මේ දෙගොල්ලෝ ගහට පොත්ත වගේ.

බලපත්‍රලාභි බීමහල් වලටත් නොබොන අයගේ සදාචාරාත්මක අයිතිය ආරක්ෂාර වෙන නීති රීති මාලාවක් තියෙනවා. බොන අයගේත් යහපත ගැන හිතාගෙන සකස් කරපු නීතිත් තියෙනවා.මේවායේ පාලනාධිකාරි බලය පැවරෙන්නේ සුරා බදු නිලධාරීන්ට. සෑම බීම හලකම මිලදී ගැනීම් අලවි කිරීම් සහ ප්‍රමිතිය මාසිකව නිරන්තරයෙන් විගනනය කරනවා. මේකත් හරියට සෙල්ලම් කඩේ විගනනය කරන්නා වාගේ වැඩක් .මාසිකව එන නිලදාරියාට බීමහලේ අලවිය අනුව ගෙවිය යුතු ගාස්තුවක් තියෙනවා . රුපියල් 1500/= සිට ඉහලට වාගේ .ඒක ගෙවන්න ඕනී වැටුප වගේ. එහෙම ගෙවන්නේ නැත්නම් තොග පොත් පත් වල අඩුවෙන් තොග ගබඩා වෙලා .වැඩියෙන් ගබඩා වෙලා වැනි අඩුපාඩු, සහ සුරා බදු නීති පොතේ තියෙන ඒවයින් මොකක් හරි පෙන්නල දෙපාර්තමේන්තුවට ගෙවන්න දඩයක් නියම කරනවා.කොහොම වැටුප් ගෙව්වත් මාස හතරක් පහකට සැරයක් දෙපාර්තමේන්තුවටත් දඩයක් ගෙවන්න අඩුපාඩුවක් ලියනවා. නැත්නම් දෙපාර්තමේන්තුව හිතනවනේ නියමෙට රාජකාරිය කෙරෙන්නේ නෑ කියලා.

ඔය වගේ ක්‍රියා දාමයෙකුයි සුරාව සමග බැදුන නීතියේ ක්‍රියාත්මක පැත්තේ තියෙන්නේ.මතට තිත තියන එකත් යුද්දේ වගේ ඉවර කරන්න ඕනි නම් මේ දෙගොල්ලන්ගෙන් නීතිය ක්‍රියාත්මක කිරීම තෙවෙනි පාර්ශවයකට අරන් දෙන්න ඕනී. නැත්නම් හෙම්බිරිස්සාවට කොත්තමල්ලි බොනවා වගෙයි. ආයෙත් හැදෙන්න පුළුවන්.

Friday, July 10, 2009

දුකාගේ ලිංගික අධ්‍යාපනය පිලිබද අදහස.

"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . . . !" මේ පුවත ඔස්සේ ජූලි 5 වෙනි ඉරිදා දුකා කල වියමනේ ලිංගික අධ්‍යාපනය පිලිබද අදහසක් වියමන් කරලා තිබුනා.දුකාගේ අදහස “2. ඉතාම පුංචි කාලයේ පටන් (සමහර විට පළමු වසරේ සිට ) දරුවන්ට ලිංගික අධ්යා පනයක් ලබා දිය යුතු වෙනවා” මෙහෙමයි. මීදුම මේ අදහසට කැමතිම නැහැ..

මේ විෂයය දරා ගත හැකි මට්ටමක මේ දරුවන්ගේ මනස අවුරුදු හයක් වන විට වැඩී නැහැ.පහ හය වසර වසරවල ඉන්නේ අවුරුදු 11,12 දරුවෝ. ලිංගික කරුණු පිලිබද යම් අවබෝධයක් ලබා දිය යුතු වයස් කාණ්ඩය අවුරුදු 14 වත් ඉක්ම වෙන්න ඕනී කියලයි මීදුම හිතන්නේ.
1995 වසරේ පටන් පංති මට්ටමේදී ලිංගික සෞඛ්‍ය අධ්‍යානපන වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා.
වයස අවුරුදු 10 -14 යොවුන් වියේ මුල් අවධියයි.අවුරුදු 15 -19 මැද අවධිය ලෙස සලකන්න පුළුවන් අවුරුදු 15,16 වන විට තමයි ගැහැනූ පිරිමි දෙපාර්ශවයේම ශාරීරික වෙනස් කම් ඇති වන්නට පටන් ගන්නේ.එයා දැන් ලොකු ලමයෙක් ,ලමිස්සී,ඉලන්දාරියා නහඹුවා නෑම්බි, ගැටයා, ගැටිස්සී ලෙසින් අපි හදුන්වන්න පටන් ගන්නේ ඔය කාලේදී. ඉතින් අවුරුදු 12.13 වන විට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබදව යොමුවිම ප්‍රමානවත් කියලයි මීදුම හිතන්නේ . ඒ කාලේ වන විට දරුවා හතවසරේ නැත්නම් අට වසරේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රහයෙන් ජාතික අධ්‍යාපන ආයාතනයේ ජනගහන හා පවුල් ජීවිත (ප්‍රජනක සෞඛ්‍ය ) අධ්‍යාපන ව්‍යාපෘතිය මගින් ප්‍රකාශිත “ “අසමු දැන ගනිමු - සුවෙන් සිටිමු” සහ “උදාවු යෞවනය” කියලා පොත් දෙකක් ‍නොමිලේ හත වසරේ සිට සිසුන්ගේ ප්‍රයෝජනයට ලබා දීලා තිබෙනවා.මේ පොත් වල අන්තර්ගතය තුල දරුවන් ගේ සිරුරේ වෙනස් වීමේ සිට කාන්තාවන් ගේ ආර්තවතාවය . පියයුරු , කන්‍යා පටලය යොවුන් වියේ ගැබ් ගැනීම,ලිංගික අතවර වලින් ආරක්ෂා වීම , පිරිමි දරුවන්ගේ ස්වයං වින්දනය සහ ස්වප්න මෝචනය.ආදී ලිංගික සෞඛය කරුණු සාකච්ඡාවනවා.

හොදින් කැපෙන පිහියක් මෝඩ ලෙසට පාවිච්චි කලොත් අනතුරු සිද්ධ වෙනවා. ඥානාන්විතව පාවිච්චි කලොත් අවශ්‍ය කාරනා නිවරදි ලෙස ඉටු කරගන්න පුළුවන්.ලිංගික අධ්‍යාපනය ඉගන ගන්නා දරුවෝත් එය නිවරදි ලෙස අපේ සංස්කෘතික උරුමයන්ට අනුව භාවිතා කලොත් දෙමව්පියන්ගේත් දරුවන්ගේ අනාගතයටත් යහපත් වෙනවා.ප්‍රජනනය පිළිබද මේ දැනුවත් භාවය සීමා කඩයිම් වලින් බැහැරට භාවිතා කර අනාගතයට ප්‍රශ්න හදා ගන්නා නාගරික මෙන්ම ගම්බද දරුවොත් ඉන්නවා.
බිය හිතින් දුරු කරගන ක්‍රම සහ විධි භාවිතාවෙන් දෙවිවරු පය ගහන්නත් බිය තැන් වල මේ මෝඩයෝ කරනම් ගහනවා.

Tuesday, July 07, 2009

දුකාගේ ටීචර්.

Commends වලට එන්නේ නැතිව මීදුමෙන් ඌණ පූරණයක් කලාට දුකා මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා. "පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . . . !"
මේ පුවත ඔස්සේ ජූලි 5 වෙනි ඉරිදා දුකාගේ සිත අවදිවනවා. මේ පුංවි රටේ ජවිපේ භීෂණ සමයේ ඇඹිලිපිටියේ ජාතික පාසලේ සිටි මිණීමරු ගලප්පත්ති වගේ විදුහල්පතිවරු වගේම අනන්තවත් දුකාගේ වීර ගුරු මාතාව වගේ ගුරුවරු ජීවත්ව ඉන්නවා. මේ පියාත් ආත්මශක්තියක් ඇත්තෙක් නෙමෙයි.පුතාට ප්‍රශ්න ගොඩක් ඉතිරි කරලා ජීවිතයෙන් පලා ගිහින් . එහෙම තාත්තෙක් ඉන්නවට වඩා නැති එක පුතාගේ දිරිය වැඩීමට යහපත්.ටීචර් නම් උගන්නන්න දන්නේ නැති .පොලිසියට හරි බන්ධනාගාර දෙපාර්මේන්තුවේ රැකියාවකට සුදුසු පිස්සු හටනක් වෙන්න ඇති.
දුකාගේ ආවර්ජනය එක්කම මමත් ආයෙත් පාසල් ගියා. අපිට වීජ ගණිතය ජ්‍යාමිතිය උගන්නපු ප්‍රේමවර්ධන සර් , රසායන විද්‍යාව විජ්ජාවක් වගේ කියාදුන්න වීරසිංහ සර්, භෞතික විද්‍යාව කල් කදුරු තිත්ත කසායක් වගේ පෙව්ව සුගතදාස සර් , තාමත් අපේ දෙවි වරු.මට මතකයි එක දවසක සුගතදාස සර් “ඩස්ටර් එක” මගේ අතට දීලා පීඩනය වැඩිකරන්න කියපුවම අත ලිහිල් කරලා - පීඩනය අඩු කරන්න කියපුවම අත තදින් උන්ඩි කරපුවම ජාතක පොත් වහන්සේ විතර දිග පලල “වයිට්ලි ගේ භෞතික විද්‍යාව’ පොත මගේ ඔළුවට පියාසර කරවපු හැටි.ඒත් සර් තාමත් මගේ දෙවියෝ.අපිට ගුරුවරුන් ගැන හිතන්න පුළුවන් චින්තනයක් තිබුනා පුංචි කාලෙදිත්. අම්ම තාත්තා වගේම ගුරුවරුත් අපිට යහ මග පෙන්වනවා කියන සිතිවිල්ල දුකාටත් තියෙන්න ඇති.

හැත්තෑවේ දශකයට පෙර ගුරුවරු පාසලට ආවේ උගන්වන්න ඉගෙන ගෙන. ගුරු විද්යා ලවල පුහුණුවන කාලේ ගණිතය විතරක් නෙමෙයි නැටුම් සංගීතයත් එක්ක විෂයයන් ගණනාවක් හදාරා තමයි පත්වීම ලබා ගන්නේ. මේ අය ඕනෑම දේකට ඔට්ටුයි. දක්‍ෂයි. ඕනෑම විෂයයක් නිවරදිව ඉගැන්නුවා.මේ අය උගන්වන හැටිත් ප්‍රවීනයන් ගෙන් හදාරා ගෙනයි පත්වීම ගත්තේ. උසස් පෙල පන්ති වලදී තමයි අපට විශ්ව විද්යාාල උගතුන් මුණ ගැහෙන්නේ මෙයාලත් විෂයය නිර්දේශයට විතරක් යට වුන ගුරුවරුන් නෙමෙයි. වර්තමානයේ වගේ බ්‍රොයිලර් පන්නයේ උපාධි ධාරීන් එකල බිහිවුනේ නැහැ.මේ හැම කෙනාම උගන්නවාට අමතරව දරුවන් ගැන හොයා බලන්නත් කාලය යොදාගත්තා.අපි ගෙදර අම්මලා තාත්තලාගෙන් නිදහස් වෙලා පාසලට ආවේ පාසලේ අම්මලා තාත්තලාගේ තුරුලට.මේ ගුරු මව් පියවරුන්ගෙන් අද ඉන්නේ 1970 තරම් කාලයේ පත්වීම් දල සුළු පිරිසක් විතරයි අනෙක් ඇත්තෝ සේවයෙන් විශ්‍රාම අරගෙන.
සාහිත්‍ය - කලාව කන්නද? අහපු උත්තමයෝ අපේ ජන සමාජයේම මොළ සෝදලා යාන්ත්රීමකරනය කලා. අපි ඒ කාලේ වාර අවසන් වෙන කොට පුංචි උනත් හොද කලා සන්දර්ශණයක් තියලා නිවාඩු කාලේට ගෙදර ගියේ අප්‍රමාන සතුටෙන් .පසු කාලේ ජාතික මට්ටමේ නාටය උලෙලවල් වල ආන්දෝලාත්මක නාටය බිහිවුනේ මේ පුංචි එවුන්ගෙන්.මේවා ගුරු ගෝල සම්බන්ධතා ගොඩනගාපු වයාපෘති.අහල තියෙනවද හොරණ විදයාරත්නයේ “සුදු ඇතා ආවට පස්සේ” “ආඩි ටිකයි අම්බලමයි”. තක්ෂිලාවේ “අල කලංචිය” පැල්මඩුල්ල මධය මහා විදයා ලයේ “ නරි උගුල” .‍‍මේවයින් බිහිවුන අය තමයි ධර්මසිරි බණ්ඩාරනායක, ජනක ප්‍රේමලාල් ,ලාල් කුලරත්න නිශ්සංක දික්දෙනිය වගේ අය තවත් නම් තියෙනවා. අද පාසල් වල ඒ වගේ වැඩ බාහිර වැඩ වෙලා. අවුරුද්ද අවසන් වෙන්න කලින් විෂයය නිර්දේශය කොටල හරි පොවන්න තමයි අම්මලා තාත්තලයි ටියුෂන් මාස්ටරුයි උත්සහා කරන්නේ.වර්තමානයේ ගුරුවරයායි සිසුවනු අතර තියෙන්නේ වෟත්තීය බැදීමක් විතරයි.වැටුපට කරන කාර්යභාරයක් වෙලා ඉගැන්වීම.සල්ලි නැත්නම් අද මොනවත් කරගන්න බැරි සමාජයක් බිහි වෙලා ඒකට තමයි ධාර්මිෂ්ඨ සමාජය කියන්නේ.
ගුරුවරුන් බදවා ගැණිමේත් සීමා මායිම් නැහැ. ඉස්සර ගුරු අභ්‍යාස විද්‍යාල වලට ඇතුලත් වීමේදී ප්‍රවේශ විභාගයක් තිබුනා. සුදුසු අය ගුරු අභ්‍යාස විද්‍යාල වලට ගිහින් ඉගන ගෙන ඇවිත් ඉගැන්නුවා.විභාගයකින් සිසු ගුරුවරුන් ලෙස බදවා ගෙන ගුරු අභ්‍යාස විද්‍යාලවලට ඇතුලත් කර ගෙන පුහුණු කරපු කොටසින් පස්සේ විධිමත් පරිපාටියක් ගුරුවරුන් බදවා ගැණිමට තිබුනේ නැහැ.1970දී සිරිමාවෝ රජයේ මැති ඇමතිවරු දිගට හරහට ගුරු පත්වීම් දුන්නා. ගෙදරට පණිවිඩ යවලා ගෙන්නා ගෙන. නුපුහුනු ගුරුවරුන් ලෙස. Job bank කියලා ඉලව්වක් අටවගෙන 1977 පස්සේ ගුරු පත්වීම් ඇතුළු රාජ්‍ය සේවයේ පත්වීම් කලා “නැති බැරි අය ඇති හැකි අය” කල යුගයේ 25000 ක් ජන සවිය පදනම් කරගෙන ගුරු පත්වීම් දුන්නා. අධ්‍යාපන සුදුසුකම නොසලකමින්.වන්ද්‍රිකාකා යුගයේ උපාධිධාරීන් 25000ක් බදවා ගත්තා. ඌව සහ මධ්‍යමපලාත් පාසල් වල ඉන්නවා විජමු සහ එස්.බී. බදවා ගත් පිරිසක්. මේ අයත් ගුරුවරු. ඒත් ගුරු සහයක කියනවා.මේ කවුරුවත් උගන්නන්න ඉගන ගත්ත අය නෙමෙයි. මේ වකවානුව වන විට ගුරු අභ්‍යාස විද්යාල වසා දමලා. ඉතින් පුළුවන්ද ලමයින්ට උගන්නන් දන්නා පිරිසක් පාසලට එවන්න. ඒ වෙනුවට උසස් පෙල සමත් සීමිත පිරිසක් විද්යාපීඨ වලට බදවා ගෙනගුරු ක්‍ෂෙත්‍රයට මුදා හරිනවා. ඒ ගුරුවරයෙකුයි මේ ඉහතින් කියාපු වෟත්තීය නුපුහුනු ගුරුවරයෙකුගෙයි ඉගැන්වීමේ පන්නරය අහසට පොලොව වගෙයි.උපාධිධාරී ගුරුවරු උගන්වන්න ඉගන ගන්නේ දරුවන්ගෙන් . විෂයය දැනීම විතරක් තිබුනට උගන්නන්න බැහැ.පසුව අධ්‍යාපන ඩිප්ලෝමාව කරනවා වෘත්තීය සුදුසුකම ලබා ගන්න. ඒක නැත්නම් වැටුප් එක තැන නතර වන නිසා.ඉතින්මේ අය අතර යකා ආවේශ වන ආදරය කරුනාව ඉගනගෙන වත් නැති නුපුහුනු, අත්දැකීම් නැති , රක්ෂවට පමනක් පාසලට එන අය දාහකට එකක් විතර ඉන්න පුළුවන්.
මම වියමන් කලේ කාරනා දෙකක් විතරයි.දුකාගේ වියමනෙන් මතුවුන කාරනා බොහොමයි. මට වියමන් කරන්න ඉදිරියේදි මාතෘකා රැසක් ඉතිරි වෙලා තියෙනවා. දුකාත් සිහිපත් කරමින් ඒවාට පිවිසෙන්න මම හිතනවා මතු දිනක.

Sunday, July 05, 2009

13 වෙනි සංශෝධනය නොහොත් වක්කඩයෙන් දිය නෑම..

13 නපුරු ඉලක්කමක් ලෙස මතයක් ඇත. ජේ.ආර් - රජිව් සුසංයෝගයෙන් බිහිවු ජේ.ආර් අකමැත්තෙන් වුවද එකගවු පලාත්සභා නම්වු සුදු අලියා බිහිකල 13 වෙනි ව්යතවස්ථා සංශෝධනය අද විවාදාත්මක මාතෘකාවකි.
රටේම හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට ජේ.ආර් - රජිව් අත්සන් කල ගිවිසුමෙන් ගාමිණි ජයසුරිය වැනි අමාත්‍යවරුන්ට දේශපාලනය සදාකාලිකව එපා කර රජිව් ගාන්ධි වැනි ප්‍රබල දේශපාලන චරිත හෑල්ලුවට ලක් කරමින් ( නාවික විරුවා ගේ තුවක්කු බදේ ප්‍රරහාරය ) 13 වෙනි සංශෝධනය උත්පත්තිය ලැබීය.

ජේ.ආර් අසරන වන තැනට පත් නූනානම් මේ උරචක්‍රමාලාව අප රටට කඩා පාත් නොවන්නට බොහෝ විට ඉඩ තිබිණි.ඔහුගේ ඇමරිකන් ගැති භාවයට ඉන්දියාව දුන් ප්‍රහාරය 13 වෙනි ව්යෝවස්ථා සංශෝධනය ලෙස මම දකින්නෙමි. අපේ හැම කරුමටම මුල ජේ.ආර්ය. වර්තමාන ව්‍යවස්ථාව ඇතිකර කර ඇති වින්නැහිය සහ ඉන් නිර්මානයවි ඇති අවුල් ශ්‍රී ලංකාවම ජරාජීර්ණ කලේය.
පාලනය විමධ්‍ය ගත වීම හොද ලක්ෂණයක් ලෙස මම දකිමි.එය ක්‍රමවත් සහ ලාභදායීවීම ද සිදුවිය යුත්තකි. අද පාලනය සදහා පිරිවැය ඉතාමත් ඉහලය රටට දරා ගත නොහැකිය.සත් භාවයෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන්නෝ විරලය.පාර්ලිමේන්තුවේ ඇමතිවරු 112 කි.පලාත් සභාවල 05 බැගින් 40 දෙනෙකි.ආණ්ඩුකාරවරු 09 දෙනෙකි. මේ සියළු දෙනා වෙනුවෙන් කාර්ය මණ්ඩල යාන වාහන අවශ්‍යතරමට වඩා බොහෝ සපයා ඇත. එහෙත් අමාත්‍යෘංශ, පලාත් අමාත්‍යෘශ රාජ්‍ය නිලධාරීන් හැර මේ අයගෙන් රාජ්‍ය පරිපාලනයට, ප්‍රතිපත්ති සම්පාදනයට වන කෙන් ගෙඩියක් නැත. එයට හේතුව මේ චන්ද ක්‍ර මයෙන් පත්වී යන නියෝජිතයෝ උසස් අධ්‍යෘපනය නොලත් උගතුන් වීමය. ඔවුන්ට පත්වු දා සිට සෝබනය මිසක වෙන වැඩක් නැත.යාන වාහන දැසි දස්සන් පිරිවරා‍ ගෙන පෙරහැරේ යාම මිස වෙන ජොලියක් නැත.

පාලනය විමධ්‍ය ගතවිමේ අවශ්‍යවතාවය ඩඩ්ලි - චෙල්වනායකම් ගිවිසුමෙන්, බණ්ඩාරනායක - චෙල්වනායකම් ගිවිසුමෙන් සහ දිස්ත්‍රික් සභා , සංවර්ධණ සභා ක්‍රමයෙන් එලි දැක තිබිණි.එය වඩාත් ක්‍රියාත්මක තලයෙන් ප්‍රදර්ශණය වන්න පටන් ගන්නේ පලාත් සභා පිහිටුවීමෙන් පසුය.

කොළඹින් විය යුතු බොහෝ දෙයින් කොටසක් අද පලාත් සභා මගින් ඉටු වන බැවින් ජනතාවට මහත් අස්වැසීමක් ඇතිවු විෂයයන් රාශියක් ඇත. විවාදයට බදුන් වී ඇත්තේ පොලිස්,ඉඩම් බලතල ආදී ගැටළු කිහිපයක් අරඹයාය.උදාහරණ ලෙස අධ්‍යාතපනය වැනි විෂයයන් අවුල් කරමින් ජාතික පාසල් මධ්‍යම ආණ්ඩුව යටතේද අනෙක් පාසල් පලාත් සභා යටතේද පරිපාලනය ක්‍රියාත්මක වන්නේය. පලාත් රාජ්‍යය සේවා කොමිසමක්ද ඇත. ජාතික රාජ්‍ය සේවා කොමිසමක්ද ඇත. රාජ්‍ය පත්වීම් මාරුවීම් .උසස් වීම් පිළිබදව සදහා බලතල අවුල් වියවුල් කරමින් මේ ආයතන ක්‍රියාත්මකය. මෙවැනි අවුල් නිරාකරණය කිරීම පලාත් සභාවටම පැවරීමට කොළඹ බලධාරීන් අකමැතිය. මෙයත් බාල බල ලෝභී දේශපාලන උපක්‍රමයක් මිස අන් දෙයක් නොවන බව නම් පැහැදිලි වන්නේය.
අපේ රටට මදි නොකියන්න චන්දයෙන් පත්වන පරිපාලන ආයතන තිබේ. ජනාධිපති,පාර්ලිමේන්තුව,පලාත් සභාව පලාත් පාලන ආයතන ( ප්‍රාදේශිය සභා.නගර සභා මහ නගර සභා) . මේ සියල්ල උපත ලබන්නේ ජනතා පරමාධිපතයය තුලින් යයි කියනු ලැබේ. වර්ථමානයේ පරිපාලනය සදහා ක්‍රියාත්මක වන්නේ නම් මින් එක ආයතනයක් පමනකි. අනෙක් ආයතන කකා බිබි කෙලි දෙලෙන් කයිවාරු ගසමින් හැසිරෙන සෙයකි.

විවාදාත්මක බලතල පැවරීම පසක තබා අද වැදගත් වන්නේ ව්‍යාකූලවු උතුරු නැගණහිර ජනතාවගේ මුලික අවශ්‍යතා සම්පුර්න කර ඔවුන් තම ගම් බිම් වල පදිංචි කිරීමය.ඔවුන් සුවපත් වූ විට දැනට මේ තියෙන හැටියට නැගෙනහිර මෙන් උතුරේද පලාත් සභාව ක්‍රියාත්මක කල හැක. ඉන් අනතුරුව යා යුතු මගට පිවිසිය හැකිය. ජනතාව ඉල්ලන දෙය මිස නොඉල්ලලන දේවල් දීමට යාමෙන් නැති අර්බූද මතුවන බව නම් සටහන් කල යුතුය.
 

මීදුම Published @ 2014 by Ipietoon