දුම්රිය සේවය ආරම්භ වෙන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිතා විය. ගැල් යාම අසීරු ඉතා පටු දුෂ්කර මාර්ගවල භාණ්ඩ ප්‍රවාහනය කළේ තවලම් මගිනි. අදත් දුෂ්කර ගම්මානවල තවම මේ තවලම් දැකිය හැක. තවලම් නිසා ඇති වූ ස්ථාන නාම ද ග්‍රාම නාම ද වෙයි. තනි ගොනා බැඳි කරත්තය. ‘බර බාගේ’ නම් විය. ගොන් දෙන්නා බැඳි කරත්තය. ‘බර කරත්තය’ නම් විය. සමහර විට ගවයන් වෙහෙසට පත්වෙන විට මාරු කිරීම සඳහා අතිරේක ගවයකු ගැල පිටුපස බැඳගෙන යාම අද ද සිදුවෙයි.
ඉංග්‍රීසි යුගයේ කෝපි වගාව සමඟ උඩරට සිට කොළඹට කෝපි ප්‍රවාහනය කළේ ගැල් මගිනි. අද ලොරි රථ හිමියකුට ඇති කීර්තිය එදා ගැල් සමූහයක හිමිකරුට විය. ගැල් සමූහයක් රාත්‍රී නවාතැන් ගත්තේ ‘ගාල්’ වලය. ඒ සඳහා සුළු මුදලක් ගෙවිය යුතු විය. ගාලට භාරකරුවකු විය.
ගැල් ප්‍රවාහනයේදී ‘තණ්ඩලේ’ එහිදී යෙදෙන එක් වදනකි. ගැල් කවි වලද ‘තණ්ඩලේ දෙන්නා දෙපොළේ දක්කනවා’ යනුවෙන් එයි. මෙහි අර්ථය කුමක් ද? බර කරත්තයේ බර අධිකවීම කඳුකර පාරවල ගවයන් දෙදෙනාට ගැල ඇදීම අසීරු වෙයි. එවිට ගැලට ඉදිරියෙන් තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදීම සිදුවිය. එවිට දෙදෙනා බැගින් ගවයන් හතර දෙනෙක් ගැල ඇදීම කළ අතර ගැල ඉදිරියේ ගැල්කරුවන් දෙදෙනෙකු ඉඳගෙන හරකුන් දැක්කීම සිදුවිය. තණ්ඩලේ යනු එයයි. බදුල්ල මහියංගණ පාරේ යන දර කරත්තවල අදත් ගවයන් දෙදෙනාට අමතරව තවත් එක් ගවයකු ඉදිරියෙන් බැඳ දැක්කීම තාම සිදුවෙයි. මේ අනුව ගවයන් තිදෙනෙකු බැඳ අදත් භාවිත වෙන දර කරත්ත තණ්ඩලේ ලෙස සැලකිය හැක.
මෙයට අමතරව එකවර එක ළඟ ගමන් කරන ගැල් සමූහයක ඉදිරියෙන්ම යමින් ගැල් මෙහෙයවන පළපුරුදු නායකයා ද තණ්ඩලේ යන නමින් හැඳින්වෙයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන
******පාරු රැසක නායක පාරුකරුවා තන්ඩලේ නමින් හැදුන්වුවා. කළු ගග දිගේ ඇති තොටුපල වල එකල එගොඩ මොගොඩ යාමට පාරු සහ පාලම් පාරු තිබුන ස්ථාන තිබුනා. මේ තැන්වල සිටි පාරු පදින්නන් අතර තන්ඩලේ කෙනෙක් හිටියා. මට මතක එක් ස්ථානයක් තමයි රත්නපුර - පානදුර මාර්ගයේ පිහිටි දුම්බර. (ඉංගිරියට ආසන්න ) දුම්බර සහ එගොඩ පිහිටි වතුයාය සම්බන්ධ වෙලා තිබුනෙ කළු ගගේ තොටුපලකින්. මෙතන මගී පාරු කිහිපයක් සහ පාලම් පාරුවක් තිබුනා. එහි තන්ඩලේ කෙනෙක් හිටියා.