Sunday, February 25, 2024

රිච්මන්ඩ් කාසල්


ශ්රී ලංකාවේ ටජ්මහල
ටජ් මහල් කිව්වහම අපිට එක පාරටම මතක් වෙන්නේ ඉන්දියාව. ඉන්දියාවේ තියෙන ආදරයේ මාළිගාව කියලත් හඳුන්වන ටජ්මහල, මෙය ලෝක ප්රසිද්ධ වෙන්නේ එහි විස්මය ජනක ගෘහනිර්මාණ ශිල්පය සහ, ඒ සුවිසල් මන්දිරය හදන්න පසුබිම් වුනු අනුවේදනීය ප්රේම කතාව නිසයි.
එත් අද අපි කියන්න සූදානම් වෙන්නේ ඉන්දියාවේ ටජ්මහල් ගැන නම් නෙමෙයි. ගෘහනිර්මාණ ශිල්පය අතින් ඊට නොදෙවෙනි වෙන, ඊට සමාන පසුබිම් කතාවක් ඇති ලංකාවේ අති සුවිශේෂී මන්දිරයක් ගැනයි. නම කිව්ව සැනින් බොහෝ දෙනෙක් දන්නා මේ රිච්මන්ඩ් කාසල් මැදුර.
රිච්මන්ඩ් කාසල් තියෙන්නේ කොහෙද?
අපි අද කතා කරන මේ මන්දිරය තියෙන්නේ කළුතර ප්රදේශයේ. කළුතර කියන්නේ, කළු ගඟෙන් සශ්රික වෙච්ච, යටත් විජිත සමයේ ඉඳන් බොහෝ ප්රභූන්ගේ ගෞරවාදරයට පාත්ර වුන ප්රදේශයක්. අතීතයේදී බොහෝ ධන්වතුන්, ප්රභූ වරුන්, වංශක්කාර වරුන් පදිංචී වෙලා හිටපු ප්රදේශයක් විධියට කළුතර ප්රසිද්ධයි.
කළුතර නගරයේ සිට කි.මි. 3 ක් පමණ රට තුළට වන්නට තමයි රිච්මන්ඩ් කාසල් මැදුර පිහිටා තියෙන්නේ. ඒ කියන්නේ, කළුතර නගරයේ සිට ඔබ යනවා නම් මුලින්ම ගඟබඩ පාරේ ගමන් කර, පලාතොට හන්දියෙන් පලාතොට – කෙත්හේන පාරේ ගමන් කරන්න ඕනි. එසේ ගමන් කරන කොට භික්ෂු විවේකාරාමය පසුකල විට මොසැක් කළාවට අනුව සැකසුණු දෑවැන්ත නාම පුවරුවක “රිච්මන්ඩ් කාසල්”යනුවෙන් නිර්මාණය කොට තිබෙනවා දැකගත හැකියි.
මෙතැන් සිට ආරම්භ වන විශාල තොරණක් සහිත පොල් වත්ත මැදින් මීටර් 500ක් පමණ ගමන් කලාම, කළු ගඟට මායිම්ව පිහිටි තරමක් උස් කඳු ගැටයක ඉඳිවුන මහා මන්දිරයක් හැටියට රිච්මන්ඩ් කාසල් මැදුර දකින්න පුළුවන්.
රිච්මන්ඩ් කාසල් මන්දිරය පිහිටලා තියෙන මුළු ඉඩම අක්කර 42 යි. මන්දිරය පිහිටි සීමාව අක්කරයක් පමණ විහිදී තියෙනවා. මේ සුවිසල් මැදුරට කාමර 16 ක්, උළුවහු 99 ක් සහ ජනේල 38 ක් අන්තර්ගත වෙනවා.
මහ මැදුර ඉඳිකලේ කවුද?
රිච්මන්ඩ් කාසල් මැදුර ඉඳීවෙන්නේ 1910 වර්ෂයේ. මේ අපූරු මැදුර, එවකට කළුතර දීසාව භාරව සිටි මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිර්මාණයක්. ආතර් ද සිල්වා පවුලේ දෙවෙනියා වන අතර ඔහුට හෙක්ටර් ද සිල්වා නමින් වැඩිමල් සොහොයුරෙක් සිටිනවා. මොවුන්ගේ පියා කොල්ලුපිටියේ නිවසක් තනා එහි පදිංචියට එන්නේ 19 වන සියවස අග භාගයේදී. නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පවුලිස් ද සිල්වා නම් වූ මේ පියතුමාගේ පරපුර මුහුදු බඩ වාසය කල අය උනත්, යටත් විජිත ආක්රමණ හමුවේ ඔවුන් දකුණට හා මධ්ය කඳුකරයට පලා ගොස් තිබුණා. ආතර් ද සිල්වා ගේ පියා අයත් වෙන්නේ එසේ දකුණට පලා ගිය සිංහල වංශක්කාර පවුලකට.
කෙසේ වෙතත් වංශාධිපති පවුලිස් ද සිල්වා තම දරුවන් දෙදෙනා යුරෝපයට යවා ඔවුන්ට උසස් අධ්යාපනයක් ලබාදීමට කටයුතු කරනවා. වසර ගණනාවක් විදෙස් ගතව ඉගෙනුම හමාර කරන අපේ කතා නායකයා ආපසු මව් රටට පැමිණෙන්නේ උගත්, බුදිධිමත්, ධනවත් තරුණයෙක් හැටියටයි.

රිච්මන්ඩ් කාසල් ඉඳිවුනේ කොහොමද?
රිච්මන්ඩ් කාසල් මන්දිරය ඉඳි කිරීම ගැන ජනප්රවාද ගොඩක් තියෙනවා. ඒවා අතරින් ප්රමුඛ සහ ජනප්රියම පුවත මෙහෙමයි :
අධ්යාපනය අවසන් කර ලංකාවට පැමිණි මේ තරුණයාට විවාහයක් කර දෙන්න පියා කටයුතු කරනවා. මේ සඳහා යෝජනා කෙරෙන්නේ බොහෝ පොහොසත්, වංශවත් පවුල් වලින් තෝරා ගත රූමත් තරුණියන්. මොවුන් අතුරින් එක තරුණියක් තමන්ගේ සිත් ගත නිසා, ඇය විවාහ කර ගන්න ආතර් ද සිල්වා තරුණයා කැමති වෙනවා. මේ තරුණිය, සූරිය බණ්ඩාර නම් කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර. එත් තරුණියගේ පාර්ශවය මෙයට අකමැති වෙන්නේ, තම දියණියට ආතර් ද සිල්වා ගේ වත් පොහොසත් කම ප්රමාණවත් නැහැ කියමින්.
මෙයින් අපේ කතා නායකයා සැලෙන්නේ නැහැ. තම සිත් ගත තරුණිය කෙසේ හෝ ලබා ගැනීමටත්, තමන්ගේ වත් පොහොසත් කම පෙන්වීමටත් ඔහු උපායක් කල්පනා කරනවා. ව්යාපර කටයුත්තක් සඳහා එරට සංචාරයට ඉන්දියාවේ මහා රාජා කෙනෙකුගෙන් ආතර් ද සිල්වා ට ආරාධනාවක් ලැබෙන්නේ මේ අවස්ථාවේදියි.
මේ සංචාරයේදී මහා රජා කෙනෙකුගේ මහා මන්දිරයක් නරඹන්න ආතර් ද සිල්වා තරුණයාට අවස්තාවක් උදා වෙනවා. එම මන්දිරයේ සැලැස්ම තමාට දෙන ලෙස මහා රජාගෙන් ඉල්ල සිටින්නේ, එවන් මන්දිරයක් සෑදිය යුතුයැයි ආතර් ට ඇල්මක් සහ සිතිවිල්ලක් පහල වෙන නිසා. එත් ලංකාවේ කෙනකුට ඒක දෙන්න මහාරාජා කැමැති වෙන්නේ නැහැ. “ලංකාවේ මිනිසසුන්ට ඕව කරන්න පුළුවන්ද” කියල අපහාසයෙන් තමයි මහරාජා කතාකරලා තියෙන්නේ. මහාරාජත් එක්ක ඒ වෙලාවෙම හිතෙන් ඔට්ටුවක් අල්ලපු ආතර්, “මමත් මේ විදියෙ මන්දිරයක් හදනවාමයි…” කියන ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුවයි නැවතත් ලංකාවට එන්නේ.

ලංකාවට ආපු ගමන් ආතර් කළේ ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියො දෙන්නක්ව ඉන්දියාවට යවල, මහාරාජා මන්දිරය බලාගෙන එන්න කියලා නියෝග කරපු එක. මේ විදියට බලාගෙන ඇවිත් තමයි රිච්මන්ඩ් කාසල් නමින් මහා මන්දිරයක් ආතර් ගොඩනගන්නේ.
තමන්ගේ මන්දිරය, මහාරාජා මැදුර විදියටම හදල සිංහලයන්ගේ ශක්තිය වගේම හැකියාව පෙන්නුම් කරපු ආතර්, “මෙන්න මටත් පුළුවන්…. මමත් හැදුවා” කියල මන්දිරය විවෘත කරන්න එන්න කියල මහාරාජට ආරාධනාවකුත් කළා. මන්දිරය විවෘත කරන්න ලංකාවට ආපු මහාරාජා අලුත් මන්දිරය දැකල දෑස් අදහගන්න බැරුව මාලිගාව දිහා බලාගෙන ඉන්න පින්තූර අදටත් මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය ඇතුළේ දකින්න පුළුවන්.
ආතර්ගේ මන්දිරය දැකලා සතුටටත් විස්මයටත් පත් වුණු සූරිය බණ්ඩාර, තම දියණිය ආතර්ට විවාහ කර දෙන්න කැමැත්ත පල කරලා තියෙනවා. ඉතින් මන්දිරයට ගෙවදිමයි, විවාහ මංගල්යයයි දෙකම එකම දවසේ තමයි සිදු වෙලා තියෙන්නේ.
මන්දිරයේ සුවිශේෂ ලක්ෂණ
මේ මන්දිරය අමුතුම කලාවකට අමුතුම වාස්තු නිර්මාණ ශෛලියකට අනුව නිමවූවක්. මන්දිරය හදන්න ලංකාවෙන් අරන් තියෙන්නේ හුනු, වැලි, කළු ගල් සහ තාක්ෂණය විතරයි. මන්දිරයට යොදා ගත්තු උඵ, ගඩොල් වගේම කිරිගරුඬ ඉතාලියෙන් සහ ස්කොට්ලන්තයෙනුයි ගෙන්වල තියෙන්නේ. රවුම් තරප්පු, සිවිලිම්වලට තහඩු ගෙනැල්ල තියෙන්නේ එංගලන්තයෙන්. බුරුමයේ රැන්ගුන් නුවරින් මන්දිරය සඳහාම තේක්ක ලී නැව් දෙකක් ගෙන්වලා තිබුණා. මේ සියලුම අමුද්රව්ය ගෙනත් තියෙන්නේ මුහුදු මාර්ගයෙන් කළු ගඟ හරහායි.

ඒ කාලයේ තාක්ෂණය, ගෘහ නිර්මාණ කලාව පිළිබිඹු කරන එක් අංගයක් තමයි මේ මන්දිරයේ පැත්තක තියෙන චීනච්චට්ටි තරප්පුව. මේක ගෙන්වල තියෙන්නේ එංගලන්තයෙන්. ඒ තරප්පුවෙන් උඩට නැග්ග කාටත් ප්රධාන ශාලාව ඉතාම හොඳින් බලාගන්න පුළුවන්.
මහනුවර යුගයේ ලී කැටයම් රාශියක්ම තිබෙන මේ මන්දිරයේ ශාලාව ඇතුළෙ ඉතා ශක්තිමත් ලී කණු 12 ක් තියෙනවා. මේ සේරම තනි තේක්ක ලීයෙන් කරල තියෙනවා වගේම එක ගහකින් එක කණුවක් වෙන්න කිසිම තැනක එකම මූට්ටුවක්වත් නැති වෙන්නයි හදල තියෙන්නෙ. මේ ලී කණුවලින් මන්දිරයට අපූරු ලස්සනක් විතරක් නෙවි අභිමානයකුත් ඇති කරනවා.
මේ මන්දිරයේ ගෘහ නිර්මාණ කලාව වර්තමානය සමඟවත් සසඳන්න බැරි විදියට ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මන්දිරය පිහිටි ඉඩම වටේට තිබෙන කළුගඟ පවා මන්දිරයේ සුවපහසුව වෙනුවෙන් යොදා ගන්න ආතර් ද සිල්වා අමතක කළේ නැහැ. මන්දිරයේ ප්රධාන ශාලාව පිහිටා තිබෙන ගඟට නිරාවරණය වුණු සීමාව ගොඩක් විශේෂයි. ගතට සිතට දැනෙන ප්රබෝධය මේ මන්දිරය අමතක කරන්න බැරි තරමට එතැනට යන්නන්ව ඇද බැඳ තබා ගන්නෙ ඒ නිසයි.
මන්දිරයේ තැන් තැන්වල පුංචි පුංචි කවුළු කිහිපයකින් මන්දිරය ඇතුළට ස්වාභාවික සිසිලස ගෙන්වන්න කටයුතු කරල තියෙනවා.
විශාල මැද මිදුලක් තියෙන මන්දිරයේ මේ මැද මිදුල ගරාදි බිත්තිවලින් වටවෙලයි තියෙන්නේ. මැද මිදුලෙ තියෙන සිංහ රූපයේ කටින් වතුර විහිදෙන්නත් මේ වතුරෙන් මන්දිරයේ ඇතුළු කාමරවලට ස්වාභාවික සීතලක් ලබා දෙන්නත් රිච්මන්ඩ් කාසල් මන්දිරය නිර්මාණය කරපු ගෘහ නිර්මාණ ශිල්පියා කටයුතු කරල තිබුණා. ඒ වගේම වහලයෙන් වැටෙන වැහි වතුරත් එක තැනකට එකතු වෙලා මන්දිරය යටින් බටවලින් එළියට යන්න සලස්වල තිබුණා. ඒකෙන් අරමුණ වෙලා තිබුණේ මන්දිරයට ස්වාභාවික සිසිලස ලබා ගැනීමයි.
මේ වගේ ඉතාම සුවිශේෂී ලක්ෂණ ගණනාවක් රිච්මන්ඩ් කාසල් මන්දිරය පුරාම දකින්න පුළුවන්.
රිච්මන්ඩ් කාසල් ශෝකාන්තය


මෙතරම් අපූරු විධියටත්, ගම්භිර විධියටත් කිර්මානය කරපු මේ සුවිසල් මන්දිරයේ කතාවේ අවසානයට කියන්න තියෙන්නේ හද සසල කරවන පුවතක්.
අවුරුදු තිස් ගාණක්ම ඉතාම සමඟියෙන් ජීවත් වුණු ආතර් ද සිල්වා මුදලිතුමාටයි, ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර මැතිනියටය් දරු වන් හිටියේ නැහැ. මේ නිසා මේ දෙමහල්ලෝ ඉඳල තියෙන්නේ ඉතාම සිත් වේදනාවෙන්. මෙන්න මේ කාලේදී තමයි ආතර් ද සිල්වා මුදලි තුමාගේ නරක කලේ උදා වෙන්නේ. තොරන් හතක් බැඳ මගුල් කා බැඳගත් ආදරණීය බිරිඳ මැදුරේ සේවකයකු සමඟ සම්බන්ධයක් තිබෙන බව මුදලිතුමාට දැනගන්නට ලැබෙන්නේ අහම්බෙන්. මේ නිසා ආතර් ද සිල්වා මුදලිතුමා බොහොම සිත් තැවුලට පත්වුණා කියල තමයි ජනප්රවාදයේ සඳහන් වෙන්නේ. වනවිට ආතර් ට වයස අවුරුදු 51ක්. සූරියබණ්ඩාර ළමාතැනීට අවුරුදු 50 ක්. මේක විශ්වාස කළ නොහැකි වුනත් මොවුන්ට දරුවන් නොමැති වීම, මේ කතාව අනියමින් සනාථ කරනවා.
අවසානයේදී මුදලිතුමා සියලු සම්පත් අතහැර දමා මන්දිරයටත් බිරිඳටත් සමුදී නුවර කුවින්ස් හෝටලයේ 75 වෙනි කාමරය කුළියට ගෙන එහි හුදකලාව ජිවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඊට කලින් ළමාතැනි මැදුරේ හිටපු සේවකයා එක්ක පැනලා ගිය පුවතක් ජනප්රවාදයේ අහන්න ලැබෙනවා.
කොහොම උනත් එකල වටිනාකමින් රු. 300 ක් හා පොල්ගෙඩි 250 ක් ඇය ජීවත්වනතුරා මාස්පතා යවන ලෙසත්, ඉතිරි දේපළ පිරිමි ළමයින් රැකබලාගැනීම සදහා යොදවන ලෙස අන්තිම කැමති පත්රය ලියා තබන්න ආතර් ද සිල්වා අමතක කලේ නැහැ.
අපේ කතා නායක දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා 1947 ජූලි 08 වැනිදා අවසන් හුස්ම හෙලන්නේ, අති සුඛෝපභෝගී මහා මන්දිරයකුත්, හද සසළ කරවන ශෝකාන්තයකුත් අපට ඉතිරි කරමින්.
අදටත් රිච්මන්ඩ් කාසල් මන්දිරය කළුතර පුරවරයේ සුබසිද්ධිය උදෙසා විරාජමානව පවතිනවා. චිත්රපට, ටෙලි නාට්ය ගණනාවකටමත් අපූරු පසුතලයකුත් වුණු රිච්මන්ඩ් මන්දිරය නරඹන ඕන කෙනෙක්ට ආයෙත් ඒ මන්දිරයට යන්න ඇති වෙන්නේ නොතිත් ආසාවක්. ඒ තරමටම මෙය සුවිශේෂයි…. අලංකාරයි….මේ මන්දිරය අද පාලනය කෙරෙන්නේ මහා භාණ්ඩාගාරය මගින්.
Roar Media Sinhala වෙබ් අඩවියෙන් උපුටා ගැනිමකි
මුල් හිමිකරුට ස්තුතිය

A day in the life

Thursday, February 22, 2024

මහජන කැමැත්ත



 

මේ දවස්වල කොතැන ගියත් අසන්නට ලැබෙන්නේ "චන්දය" ගැන ප්රශ්ණය.
"කවුරු එයිද?"
"කවුරු දිනයි ද?"
"අහවලාත් එනවලු නේද?"
"මේපැ නම්.....
මෙ,ආදී වශයෙන් නැගෙන සාකච්ඡාවලින් කියවෙන්නේ
මිනිසුන් "නිහඬව දරා සිටිනා පීඩනය"යැයි සිතමි.
හතළිස් අටේ ඉංග්රීසීන් බාර දී,යනවිට "ආසියාවේ දෙවන ආර්ථිකය" වූ
මේ රට "බංකොලොත්" තත්වයට ගෙන ආවේ
මෙතෙක් රට කරවූ දේශපාළකයන් බව නොකිවමනාය.
මහජන චන්දයෙන් පත්ව අවුත්,
මහජන දේපොල මංකොල්ලකා අවසානයේ එහි අනිටු ප්රතිඵල
භුක්ති විඳින්නට සිදුව ඇත්තේද ජනතාවට ය.
මහජන දේපළ මංකොල්ල කෑ එවුන් යෙහෙන් වැජඹෙමින් සිටිනා,තර
ජනතාව තලා පෙලා බදු අයකරමින් සිටිති.
දැන් යළිත් "මහජන චන්දය" හෙවත් "මහජන කැමැත්ත"
ගැන කතා බහ කරළියට පැමිණ ඇත.
හතළිස් අටේ ඉංග්රීසීහු මෙරට හැර යනවිට
රට බාර ගතුයේ ඉංග්රීසීන් විසින්ම නිපදවන ලද
අභිනව ධනපති පැළැන්තියකි.
ඇතැමුන් ඔවුනට "කළු සුද්දන්"යැයි කියති.
එහෙත් එදා ජාත්යන්තර තලයෙහි ඉංග්රීසීන් පැමිණ සිටි
ප්රජාතන්ත්ර තලයට මොවුහු පැමිණ නොසිටියහ.
කොටින්ම "ඉංග්රීසීන්ගේ හැර යාම පවා "ප්රතික්ෂේප කළ හ.
"සර්ව ජන චන්දය" පවා නොපිළිගත්තවුන් වූහ.
කොටින්ම ටයි කෝට් ඇන්දද
අන්ත පසුගාමී පිරිසක් වූහ.
අවසානයේ රට කරවීමට බාර ගතුයේ
"කොමිනිස්,කාරයන් අතට යතැයි" බියෙනි.
ඒ කෙසේ වුවද හැත්තෑ හත තෙක් රට කරවූ හ.
ඒ පක්ෂ දේශපාලන යාන්ත්රණය මඟිනි.
එම කාල පරාසය තුළද මහජන චන්දය නමින් කෙරුනේ
ඔවුන්ව බොරුවෙන්,රැවටීම මිස අනෙකක් නොවේ.
"හඳෙන් හාල්" ඇට අට"කාටත් අමතක නැත.
ඉන් පසු හැත්තෑ හතෙන් පසු "මැතිවරණ නමින්
සිදුවුණේ මහජන කැමත්ත මංකොල්ල කෑමයි.
"ලාම්පු කළ ගෙඩි සෙල්ලම"
හොර චන්ද,මැර චන්ද කාටත්,අමතක නැත.
කොටින්ම මැතිවරණ ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ
මහජනතාවට කෙළවන ඉතිහාසයකි.
එළඹෙන මැතිවරණයද එම ගමණේම දිගුවක් මිස.
යහපතක් ඉටුකෙරෙන්නක් වනු නොමැති බව
මගේ අදහස යි.


සටහන
කමල් පී අලහකෝන්
A day in the life

Tuesday, February 20, 2024

සමාජය දැවෙමින් සිටී.



චේ ගුවේරා කියවන්න කලින් -
වීර පුරන් අප්පු කියවන්න
බොම්මාලෙට කලින්
සුනිල් ශාන්තට සවන්දෙන්න
ගෝර්කිට  චෙකෝෆ්ට කලින්
මාර්ට්න් වික්රමසිංහ සුගතපාල  දි සිල්වා කියවන්න
ලෙනින්ට කලින් රාවණා
කියවන්න
ඕෂෝට කලින්
කුමාරතුග මුණිදාස කියවන්න
පුෂ්කින්ගේ කවි වලට කලින්
ජනකවි කියවන්න
 
ජාත්යන්තර අත්දැකීමට පෙර
ජාතික තලය කියවා ගන්න
එවිට ඔබ දේශය මත
අක්මුුුල්  ඇති චරිතයක් වනු  ඇත“
 
ගෝත්රික කතාවක් ලිංමැඩි අදහසක්.
ඔය හැමෝම ගැන කියවගන්න ඕනෙ..
අපේම වගේ අදහන බුදුන් වහන්සේත් ජේසු තුමාත් මහම්මත් තුමාත් ලංකාවෙ නොවෙයිනෙ...
ලෝකෙ කොහේ උනත් කියවාගත යුතු අය ගැන කියවාගත යුතුයි
බෙදන්න ඕනෙ නැහැ .
පරමාදර්ශි චරිත ලෝකෙ කොහේ හිටියත් අපේම වගේ කියවාගත යුතුයි.
.ගොබ්බ ලිං  මැඩි අදහස් ඉවතලා...

 මෙම අදහස මුණු පොතේ පලවුවකි. යටින් පලවන්නේ ලැබුන ප්රතිචාරයකි. ලියති  සමහර උදවියට ඇත්තේ  කෙන්තිය පිරුණ මනසකි.. මම මෙයට ප්රතිචාර දැක්වුයෙමි ආප්පය රසවත්ය  ඒ්ත්  උඩින් සහ යටින්  ගින්දරය.

 සමාජය දැවෙමින් සිටී.. රස්නය කුමකින්  හෝ  පිටව යයි. මට සිතේ


A day in the life

Sunday, February 18, 2024

රජගල උරුමය - අම්පාර

 

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්රික්කයේ උහන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්රාම නිලධාරී වසම් තුනකට රජගල කන්ද අයත් වන අතර රජගල ආරාමික පුරාවිද්යා භූමිය අම්පාර මහඔය මාර්ගයේ කිලෝ මීටර් 26 කින් පසුව බක්කිඇල්ල හන්දියට නුදුරින් පිහිටා තිබේ.
1940 අංක 69 දරණ පුරාවස්තු ආඥා පනත මගින් පුරාවිද්යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් ලෙස මෙම පෞරාණික ආරාම සංකීර්ණය නම් කොට ඇත. අනුරාධපුර යුගය නියෝජනය කරනු ලබන ස්මාරක අවශේෂ හා පුරාවස්තු මෙම භූමිය පුරාම විසිරි පවතී. 1968.09.28 වන දින රජයේ මිණුම් දෙපාර්තමේන්තුව විසින් අක්කර 1025 පර්චස් 16ක භූමි ප්රදේශයක් පුරාවිද්යා රක්ෂිත භූමියක් ලෙස නම් කෙරුණු අතර 1977.02.14 වන දින නැවත මිණුම්ගත කර එම අක්කර ගණන තහවුරු කොට තිබේ.
2012 සැප්තැම්බර් මස 01 වන දින පුරාවිද්යා දෙපාර්තමේන්තුව එක්ව ගිවිසුම් ප්රකාරව රජගල පුරාවිද්යා රක්ෂිතයේ ගවේශන, කැණීම් සහ සංරක්ෂණ කටයුතු ශ්රි ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ඉතිහාස හා පුරාවිද්යා අධ්යයනාංශයට පවරන ලදී. ඒ අනුව රජගල ඉදිරි සියලු කටයුතු පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ විශ්වවිද්යාලයේ අදාළ අංශය විසින් සිදු කරනු ලැබීය.

 

ගිරිකුම්භීල යන්න රජගල සඳහා භාවිත කළ අතීත නාමයයි. වර්තමානයේ දී රජගල හෝ රාස්සහෙළ යනුවෙන් මෙම පුරාවිද්යා භූමිය නම්කොට තිබේ. ගිරිකුම්භීල යන්නෙහි කුම්භීල යනු පාලි භාෂාවෙන් කිඹුලා යන්නය. ගිරි යනු කන්ද හෙවත් පර්වතයයි. කුම්භීලගිරි ලෙස අතීතයේ දී රජගල කඳුවැටිය සඳහා නම්කොට තිබුණේ කිඹුල් කන්ද යන අර්ථය හේතුවෙනි. එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ ඈත සිට බලන විට රජගල කඳු වැටිය වැතිරී සිටින කිඹුලෙකුගේ ස්වරූපයෙන් පෙනෙන බැවින් කිඹුල් කන්ද යන අදහසින් කුම්භීලගිරි ලෙස නම් කරන්නට ඇති බවයි.

 


මහාවංශයේ මෙන්ම සහස්සවත්ථුපකරණය හා සද්ධර්මාලංකාරයේ රජගල, ගිරිකුම්භීල ලෙස මුලින් හැඳින්වුවද පසුව අරියාකර විහාරය හෝ අරිකාරි වෙහෙර ලෙස සඳහන් කොට ඇත. අරියවංශ දේශනාවට ප්රසිද්ධ ස්ථානයක් වීම හේතුවෙන් අරියාකර විහාරය යන්න ප්රචලිත විය. මෙතෙක් හමු වී ඇති ශිලා ලිපි අනුව වඩාත් පැරණිම නාමය ලෙස කූටකණ්ණ තිස්ස රජුගේ කාලයේ දී යුව රජු වූ මහාදාඨික මහානාග විසින් කරවන ලද ගිරි ලිපියක කුම්බිලපිතිසපවත විහර යන්න දක්වා තිබේ.
ලජ්ජිතිස්ස රජු විසින් ගිරිකුම්භීල විහාරය කරවූ බව සාහිත්ය මූලාශ්ර හා සෙල්ලිපි සාක්ෂි දරනු ලැබේ. දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්සගේ වැඩිමහල් පුත් ලෙස ලජ්ජිතිස්ස සඳහන්ය. මෙම රජු විසින් ශීත ලෙන් 25ක් කර වූ බව රජගලින් අනාවරණය කරගත් ශිලා ලිපියකින් තහවුරු වේ. ඒ අනුව අතීතයේ සිටම එනම් ක්රි.පූ. දෙවන සියවසේ දී ලක්දිව ශීත ලෙන් තනා ඇති බවට සාක්ෂි සපයයි. රජගල කඳුවැටිය හරහා හමා එන සිහිල් සුළඟ ගල්ලෙන් තුළට පැමිණීමට සලස්වා ශීත ලෙන් ඉඳිකොට තිබුණු බව වියතුන්ගේ මතයයි.
සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන පරිදි ගිරිකුම්භීල විහාරය හා ලජ්ජිතිස්ස රජු අතර විශාල සබඳතාවක් පැවත ඇත. රජගලින් හමු වූ ශිලා ලේඛන 07 න් එක් ලිපියක මෙසේ සඳහන් කොට තිබේ.
දෙවනපිය මහරජ ගාමිණි තිස්සගේ පුත් ලංජක රජු යන්නය. පරණවිතානයන්ට අනුව දෙවනපිය මහරජු යනු සද්ධාතිස්ස රජු යන්නත් ලංජක රජු යනු සද්ධාතිස්සගේ පුත් ලජ්ජිතිස්ස බවත්ය.
රජගලෙන් හමු වූ මෙම ශිලා ලිපි 07 අතර ඉතිරි ලිපි 06 න් 04 ක් තිශ අය හෝ මහ අය ලෙස හැඳින්වෙන අයෙකුගේ භාර්යාවන් විසින් ලෙන් පූජා කරන ලද ඇති බවත් එම භාර්යාවන් ලෙස යසස්සිනී, බුද්ධදත්තා, සාමිකා හා අභිජාතා යන්න දක්වා ඇත. තිශ අය හෝ මහ අය නමින් හැඳින්වූ අයෙක් ලෙන් පූජා කළ බව අනෙක් ලිපි දෙකෙහි සඳහන්ව ඇත.
සාමිකා නම් වූ භාර්යාව විසින් පූජා කරන ලද ලෙනේ ඇති ශිලා ලේඛනයේ මෙසේ සඳහන්ය.
දෙවනපිය මහරඣහ ගමණි තිශහ පුතහ තිශ අයහ ඣය උපශික ශමිකය ලෙණෙ
අර්ථය - දෙවියන්ට ප්රිය වූ ගාමිණිතිස්ස මහරජුගේ පුත්ර තිස්ස කුමාරයාගේ භාර්යා උපාසිකා සාමිකාගේ ලෙන මිහින්තලය, රිටිගල, අරන්කැලේ, කුඩුම්බිගල ආදී ආරණ්යවාසී භික්ෂු වාසස්ථාන මෙන් අනුරාධපුර යුගයේ දී ප්රචලිත ආරණ්ය සේනාසනයක් ලෙස රජගල හැඳින්විය හැකිය. එහෙත් අනුරාධපුර රාජධානිය බිඳ වැටීම හේතුකොටගෙන කාලයාගේ ඇවෑමෙන් භික්ෂූන්ගෙන් තොර භූමියක් බවට පත්ව රජගල වනගත විය. රජගල සිදුකළ ගවේෂණ හා කැණීම්වලදී තහවුරු වූයේ අනුරාධපුර යුගයට පසුව කිසිදු කාලවකවානුවක මෙහි ප්රතිසංස්කරණයක් හෝ ඉදිකිරීමක් කර නොමැති බවයි.
පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ මූලික මැදිහත් වීමෙන් 1935 දී ලෝංහස්ට් නම් එවකට සිටි පුරාවිද්යා කොමසාරිස්වරයාගේ සමයෙහි රජගල භූමියේ සෙල්ලිපි පිටපත් කිරීම ආරම්භ කර ඇත. ගල්ඔය සංවර්ධන ව්යාපාරය 1949 දී ආරම්භ කිරීම හේතුකොට ගෙන එහි නිලධාරියෙකු වූ පී. දාබරේ මහතාගේ මූලිකත්වයෙන් වනගතව පැවති රජගල භූමියේ පෞරාණික ස්මාරක සැලකිය යුතු ප්රමාණයක් මතුකර ගැනීමට හැකිවිය.

 


1950න් පසුව මෙම භූමියේ ස්මාරක හඳුනා ගැනීමටත්, ශිලා ලේඛන පිටපත් කිරීම හා කැණීම් කටයුතු සිදුකිරීමටත් පුරාවිද්යා දෙපාර්තමේන්තුව යොමුවිය. 1959 දී නිකුත් කළ පුරාවිද්යාා පාලන වාර්තාව අනුව රජගල සම්බන්ධව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. එනම්,
“නො.33 ගම අසල පිහිටි තේක්ක වත්තක් හරහා වැටී ඇති අඩි පාරකින් රජගල කන්ද නැමැති කැලෑ බිහි වූ කන්දකට පැමිණේ.... එහි නටබුන් දේ අතර ස්තූපයක හා වටකුරු ගොඩනැගිල්ලක ද ගල් කුළුණු සහිත හතරැස් පායක හා නෙලා අවසන් නොකළ සෙල්මුවා බුදු පිළිමයක ද නෂ්ඨාවශේෂයෝ වෙත්. අඩි 19 ක් උස මේ බුදුරුව අවුකන ප්රතිමාව සිහිපත් කරවයි” යන්න සඳහන්ව ඇත.
එමෙන්ම 1962 පාලන වාර්තාව අනුව “මෙහි ලැබුණු එකම බුදු පිළිමය තරමක් දුරට වැඩ කර නැවැත්වූවක්ය. එය තවමත් තියෙන්නේ ශිල්පියා ගල තියාගෙන වැඩ කළ තැනමය” යනුවෙන් විස්තර කොට ඇති අතර එම වාර්තාවේම මෙම වර්ෂයේ දී ලෙන් ලිපි 22 ක් හා තවත් සෙල්ලිපි 5 ක් ලැබුණු බව ද මෙහි කොරවක් ගල්, ගල්පාත්ර, ස්තූප හා ගොඩනැගිලි පිළිබඳව ද කරුණු අන්තර්ගතය.
1960 පාලන වාර්තාෙව් දැක්වෙන පරිදි රජගල පුරාවිද්යාභූමිය පුරාවිද්යා තහනම් ඉඩමක් බවට පත්කොට තිබේ. එමගින් එහි සම්පූර්ණ අයිතිය පුරාවිද්යා දෙපාර්තමේන්තුව සතුවිය.
රජගල භූමියේ ඇතැම් ගල්ලෙන් වන වැදී තිබුණු කාලවකවානුවේ දී දිවුලාන හරහා පැමිණෙන ආදිවාසීන්ගේ තාවකාලික වාසභූමි බවට පත්ව තිබී ඇත. එසේ පැමිණි වැදි ජනයා විසින් ඇතැම් ලෙන්වල සටහන් කරන ලද චිත්ර හා රේඛා සටහන් මෙහි ශේෂව ඇත. රාස්සගල සිටි නාගකච්චා නම් ආදිවාසියා ගැන ආර්.එල්.ස්පිට්ල් මහතා තම සංචාරක සටහන්හි දක්වා තිබේ.
මෙම පුරාවිද්යාභූමියෙන් හමු වූ යකඩින් තැනූ මල කෑ කෙටේරිය එම ආදිවාසීන් විසින් භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ඉට්ඨිය තෙරුන් හා මිහිඳු තෙරුන්ගේ නම් සඳහන් ශිලා ලිපිය රජගලින් හමු වූ ශිලා ලිපි අතර එහි ඓතිහාසිකත්වය පදනම් කොට ගෙන ප්රමුඛස්ථානයක් ගනු ලබයි. පරණවිතානයන් දක්වන පරිදි එම ශිලා ලේඛනය,
යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිදතෙරහ තුබෙ
අර්ථය - මේ දිවයිනට පළමුවෙන් සමුර්ධිය සඳහා පැමිණි ඉත්තිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ස්තූපයයි

 


මෙම ශිලා ලිපිය අසල පිහිටි කුඩා ස්තූපයේ ඉට්ඨිය හා මිහිඳු යන හිමිවරුන්ගේ ධාතු නිධන් කොට තිබෙන්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. පරණවිතානයන් ප්රකාශ කරන්නේ මිහිඳු හිමිගේ පරිනිර්වාණයෙන් නොබෝ කලකින් ම මෙම ස්තූපය ගොඩ නංවන්නට ඇති බවයි. චාල්ස් ගොඩකුඹුර තම වාර්තාවක දක්වා තිබෙන්නේ මෙම ශිලා ලේඛනය ක්රි.පූ. 3 වන සියවසට පමණ අයත් විය හැකිය යන්නය.
රජගලින් හමු වී ඇති ශිලා ලේඛන අනුව ලජ්ජිතිස්ස රජුගෙන් පසු කාලයේ සිටි රජවරු ද රුහුණේ සිටි උප රජවරු ද වෙනත් ප්රභූවරුන් ද රජගල ආරාමයේ සමෘද්ධිය උදෙසා විවිධ පරිත්යාග කළ බවත්, ගම්බිම් පූජා කොට ඇති අතර විවිධ ගොඩනැගිලි තැනීම ද සිදුකොට ඇති බව පැහැදිලි වේ.
විහාරස්ථානයේ ප්රයෝජනය පිණිස කූටකණ්ණ තිස්ස රජු උපරාජ අවදියේ දී ගම් දෙකක් පූජා කොට ඇත. එමෙන් ම භාතික අභය රජු විසින් යජිනි නම් සංඝාරාමයක් කරවීම, මරගම නැමැති වැව විහාරයට පූජා කිරීම, බෝධිඝරයක් සහ ආසන කරවීම, මහරජ ඇළේ බද්දෙන් කොටසක් විහාරයට පූජා කිරීම, වෙනත් වැව් හා ජල බදු විහාරයට ලබා දීම යනාදිය කරවන ලද බව සෙල්ලිපි ඇසුරින් තහවුරු වේ.

 


මහාචාර්ය සිරිමල් රණවැල්ල විසින් කියවා ප්රකාශයට පත්කොට ඇති ක්රි.ව. 9-10 ට අයත් ශිලා ලේඛනය අනුව පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ අවසානය දක්වා භික්ෂු වාසස්ථානයක් ලෙස රජගල විහාර සංකීර්ණය පැවති බවය.
කඳුවැටියක මුදුනේ මෙම ආරාම සංකීර්ණය පිහිටා ඇති බැවින් අතීතයේ දී වූව ද එම ස්ථානය කරා පිය මැනීමට පා ගමනින්ම කඳුවැටියට නැගීමට සිදු වූ බව සිතිය හැකිය. අතීතයේ දී තැනූ මාවත් දෙකක් ඔස්සේ මෙහි මුදුනට නැගිය හැකි අතර එහි අඩි ප්රමාණය 1038 ක් ලෙස සඳහන්ය. රජගල වත්මනේ දී ඉදිකොට ඇති රථගාලට දකුණු පසින් හා නැගෙනහිර පසින් මෙම අතීත මාර්ග දෙකට පිවිසිය හැකි අතර මිහි සෑය අසල දී මෙම මාර්ගයන් ඒකාබද්ධ වේ. වසර දහසක පමණ කාලයක් වනගතව පැවති මෙම මාර්ගවල පියගැට පේළී සැලකිය යුතු හානියක් සිදුව පැවතුණි. 2013 වසරේ දී රජගල ව්යාපෘතිය යටතේ නැගෙනහිර පියගැට පෙළ හා පෙත් මඟ සංරක්ෂණය කරන්නට විය.
මෙහි පිය ගැට පෙළ ඉදිකිරීමේ දී ගෝමුත්රිකා රටාවකට (Zigsag ක්රමයට) එය සකස් කොට තිබේ. එනම් පියගැට කිහිපයක් පසු කිරීමෙන් අනතුරුව සමතලා අංගනයකට පිවිසීමට ඇති අතර නැවත පිටගැට පෙළක් හා සමතලා අංගනයක් ලෙසින් නිර්මාණය කොට තිබීමයි. පියගැට පෙළ නගින්නන් හට අවම වෙහෙසක් ගෙන දෙන්නට එසේ මාලක සකසා තිබීම අතීත නිර්මාණකරුවාගේ දක්ෂතාවයයි. ඔවුන් මෙම මාලක සකස් කිරීමට පස් මෙන්ම ගල් ද භාවිත කොට ඇත.
රජගල ආරාම සංකීර්ණය ආශ්රිතව සෙල් ලිපි 80 ක ට ආසන්න සංඛ්යාවක් සොයාගෙන තිබෙන අතර මැටි කරඬුවක හා උළු කැටයක ලියන ලද ලිපි හමුවීම මෙහිදි සුවිශේෂි වේ. 2009 දී පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණයක දී දැනට කැණීම් කොට සංරක්ෂණය කොට ඇති ප්රධාන දාගැබ් දෙකෙන් විශාල දාගැබ අසන්නයේ තිබී මෙම මැටි කරඬු ලිපිය සොයා ගන්නා ලදී. මෙබඳු මැටි කරඬු කිහිපයක් මෙම ප්රදේශය ආශ්රිතව හමූවූව ද ඒවායේ අක්ෂර සටහන්ව නොතිබුණි. මෙම අක්ෂර සහිත කරඬුව පියන හා බඳ වශයෙන් කොටස් දෙකකින් යුක්තය. පියන කේතුකාර හැඩයක් ගන්නා අතර බඳ පාත්රයකට සමාන වේ. අඟල් 07ක උසකින් යුත් මෙහි මුවවිටට මදක් ආසන්නව අක්ෂර පේළි දෙකක් ලෙස ලියා ඇත. දැනට ලංකාවෙන් හමු වී ඇති මැටි බඳුනක ලියන ලද පැරණිම ලිපිය ලෙස මෙය හැඳින්වේ. මෙහි අක්ෂර ලක්ෂණ අනුව ක්රි.ව. 1-2 සියවස් වලට අයත් යැයි සඳහන්ය.

 


අංක 10 දරණ ජන්තාඝර ගොඩනැගිලි භූමියෙන් මතුපිට සිට සෙ.මි. 23ක ගැඹුරින් මැටි උළු කැටයක ලියන ලද ලිපිය හමුවිය. කොටස් 03 කට කැඩී තිබුණු මෙය අසම්පූර්ණ උළු කැටයක් ලෙසත් මෘදු මැටි විශේෂයක් භාවිතා කොට නිර්මාණය කරල ලද බවත් සඳහන්ය. ලේඛනය හුරු අයෙක් විසින් සිහින් තුඩකින් මෙම අක්ෂර සටහන් කරන්නට ඇතැයි යන්නත් එය පේළි 03 කින් සමන්විත යන්න දැක්වේ. මෙහි සඳහන් ලිපියේ අර්ථය ලෙස දක්වා ඇත්තේ, බුදල් නම් තීරු බදු අය කරන නිලධාරියා විසින් පිනට කරවන ලද උළු කැටයයි යන්නය.
රජගල මහලෙන තුළ කළ කැණීම්වලින් මධ්ය ශිලා යුගයට අයත් මානව අවශේෂ ලැබුණු අතර නැගෙනහිර පළාතෙන් හමු වූ පළමු ප්රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානය ලෙස රජගල ඉතිහාසගත විය.

 Rukshila Wettamuni

උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon