Thursday, March 19, 2020

කොරෝනා සව්දම


පන්සලේ රතන සූත්‍රය දේශනා කරනු ඇසේ. සැළුනාවු මනසට පිරිත් හඩ සිසිලකි.සියල්ලෝම ලෙඩ රෝග වලට බියවෙති. මරණයට බියවෙති. ජීවිතය රැක ගැණීමට ඉතා සුළු දෙයක එල්ලී හෝ සැනසීමට වෙර දරති. දියේ ගසා ගෙන යන විට පිදුරු ගසත් මහා වෘක‍්ෂයකි.

මේ සියල්ල අතර දේශපාලනය කරන අනාගත පාර්ලිමේන්තු සිහින දකින්නෝ සාකච්ඡා කරනුයේ මේ පිදුරු ගහේ එල්ලී ජීවිතයද මරණයද තෝරා ගැණීමට නොහැකිව අතරමං වී සිටින ජනතාව ගැන නොවේ. එකෙකුට මැතිවරණය කල් දමා ගත යුතුය. තව එකෙකුට මැතිවරණය මේ ජරමර අස්සේ හෙට පැවත්වුවත් ජොලිය.තවත් එකෙක් මෙය දකින්නේ පාලනය විසින් මරණය සමග සූදු කෙලින බවකි.

මට සිතෙන්නේ මුන් වාගේ අමන රැලක් තවත් සිටීද යන්නයි.

පාර්ලිමේන්තුව අවසානයට රැස්වු දිනයේදී රජය ඉදිරිපත් කිරීමට සුදානම්වු මුදල් පනතට සහය නොදීමට විරුද්ධ පක්‍ෂයයි කියා ගන්නා කණ්ඩායම හඩ තැලීය. එහි සදහන්වු ණය ගෙවීම සාධාරණය. එහෙත් එම මුදල් ගෙවීමට මුදල් සොයා ගැණිමේ ක්‍රමවේදය විෂ සහිතය. කොහිල අල ප්‍රනීතය. එහෙත් අල ගලවා ගන්නට යාමේදී ඇනෙන කටු වේදනා කාරීය. පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

අතර මංවුවෝ කවුරුන්ද  ?.

බැංකු වලට පුද්ගලයින්ට ණය තුරුස්ව පසුගිය රජයේ ඉදිකිරීම්, සංවර්ධණ ව්‍යාපෘති, රාජ්‍ය ආයතනයන්ට සැපයුම් කල ( ඖෂධ, පොහොර ආදී ) ව්‍යවහාසිකයන් ආයෝජන කල මුදල් පියවා ගත නොහී අතරමං විය. ඔවුන් පිටුපස බැංකු පොලී, ණයකරුවන්, අඹා එල්ලදී ඔවුන් හට සේවා සැපයු කම්කරුවා දක්වාම අතරමං විය.මේ කිසිවක් ගැන සංවේදී හදවතක්  නානාවිධ දෙශපාලන අම්බරුවන්ට තිබුනේ නැත.

මැතිවරණයට කල් නියම විය. නාමයෝජනා දින තීන්දු විය. මේ අල්ල පනල්ලේ කොරොනා - චීනයට ආවේය. යුරෝපයට ආවේය. ජනතාව ගැන හාංකවිස්සියක් නැතිව නාම යෝජනා ගැනම ඒ පැත්තට මේ පැත්තට අල කලංචි ඇති කර ගත්තා  මිස පොදු මිනිසාගේ ජීවිතය ගැන සිතිවිල්ලක් ඇති වුනේ නැත. ඒ ගැන සොයා බැළු ඇත්තන් ගේ අඩු පාඩු දැක ඒවා සාකච්චා කරන්න පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනා බව කීයන්නේය. තමුන්ගේ අදහස් පලකරන්න පාර්ලිමේන්තුවම ඕනාද ?.

නිවාඩු දුන්නත් වැරදිය. Shut down, shut down  කියන්නේය. දැන් අපිට අර්ධයක් එසේ වෙලාය. එතකොට ඒකත් වැරදිය. shut down  උනොත් කන්න නැතිවෙනවාය. අපේ රටේ බොන්න නම් වතුර සොයා ගත හැක. එලවළු මස් මාළු මාසයක් හමාරකට තබා ගැණිමට හුදී ජනයාට පහසුකම් නැත. වියලි ආහාර ද්‍රව්‍යනම් සල්ලි ඇත්නම් ගබඩා කර ගත හැක.හාල් පොල් ඇත්තෝ සම්බෝලයක් හදා ගන්න මිරිස් ළුනු ටිකක් තිබුනොත් ප්‍රමානවත්ය. කව්පි මුංඇට වගේ ධාන්‍ය ටිකක් ඇත්නම් කල් තබා ගෙන ආහාරයට ගත හැක. සැමන් සහ පරිප්පුත් කල් තබා ගෙන පරිභෝජනයට ගත හැක.සැමන් පරිප්පු මෙන්ම හාල් පොල් කවුපි මුංඇට හාල් පොල් පහසු මිලට ගන්නා හැටියක් ගැන ජාතිය අමතන විට කීමට නොහැකිවී , පරිප්පුත් සැමනුත් කොරෝනාවට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයයි වරදවා වටහා ගෙන බුකිය දෙවනත් කරන්නෝද සිටින්නේය. හොද වෙලාවට මේ දිනවල දේශපාලක තුමන්ලා යයි කියගන්නා උදවියගේ මහජනතාව අමතන ජන හමු නැත.එසේ තිබුනා නම් පරිප්පුත් සැමනුත් දෝරේ ගලන්නේය.
notes of imaginary

Monday, August 26, 2019

Pandith Amaradewa Best Songs Collection - පණ්ඩිත් අමරදේවයන් ගැයූ ජනප්‍ර...



notes of imaginary

Friday, August 09, 2019

මමත් - ඔහුත්.


තකය අවදිවන්න කිසියම් උත්තේජකයක් අවශ්‍යවේ .  
අපි වෙන්ව ගොස් බොහෝ කලකට පසු  සහෘද මුහුණක්  මුහුණු පොතේ මතුවී ඇති බව දිනක දුටුවෙමු . මම වහා ඇරයුමක් සටහන් කලෙමි. එවිටම පාහේ  අප යලිත්  සහෘදයන් බවට  පත්වුනෙමු.
මගේ මතකය යලිත් අවදි වන්නට පටන් ගනී.
කාලය පනහේ දශකය දක්වා දිවයයි.
ඔහුගේ පියාත් මගේ පියාත් සමකාලීන මිත්‍රයෝ වු බැවින් බහ තොරන වයසේ සිට ඔහු මගේ ලොකු අයියා විය. මගේ පමනක් නොවේ එකල අප වටා ගොඩ නැගී තිබු මිත්‍ර සමාගමේ ප්‍රධානියා ඔහු විය.විසේ ඇති වියේ සාධාරනය සොයා ගිය අප වියපත් වන විට අපි අපේ ලෝකයේ තනි තනිව කදවුරු බැදගන්නා ගන්නා ලදී. අසූවිය එලිපත්තේ සිටද අපි මෙන් නොවී අදත් අසාධාරනය උදෙසා ඔහු සටන් කරයි.
ඔහුත් අපත් අතර  ඇති වෙනස පරතෙර එය වුවද අපි සදාකාලික මිත්‍රයෝවමු. සහෘදයෝ වමු.
1970දී මගේ වයස අවුරුදු 22 කි.. 71 අවධිවීම ආස්වාදජනක වුවද අපේ කුටුම්භයන් තුල තිබු රැකවරණය ආශ්වාදජනක දේශපාලනයට ඇදී යාම අවහිර කරන ලදී. එදත් මගේ සහෘදයා අන්තවාදීව ධනවාදීයයි හදුන්වන කදවුරේ නියමුවෙකි. මම එහාට මෙහාට දෝලනයවු ගන්ධබ්බ අවස්ථාවේ පසුවු දේශපාලන කීටයෙකි.
අපි ආගමිකව මාවත් දෙකක ගමන් කලෙමු. මා පන්සල් යන විට ඔහු පල්ලියට ගියාය. මා මෙන් නොව  ඔහු පන්සලට  පල්ලියට එකවන්ව ලෙන්ගතුව කටයුතු කරමින් අප සමාජය තුල නායයෙකු බවට පත්වීනි.
අපි අපේ ග්‍රාමීය සමාජය තුල බින්න බැස තිබු ඒකාධිකාරී සමාජ ක්‍රියාකාරීන් පිරිසකට එරෙහි බලවේගයක් ගොඩනැගුවෙමු. මෙම පීඩක සමාජය ඔවුන්ට ඉහලින් කිසිවෙකු. නොසිටිය යුතු යැයි යන මානසිකත්‍වයක් දැරු ගම්මුලෑදැනින්, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන් වැනි පිරිසකි. මේ නිසා අප ඔවුන්ගේ වෛරයට භාජනය විනි.
අපි අවුරුදු උත්සව සංවිධාන කර පැවැත්වුයෙමු. වෙසක්, පොසොන් පොහොය උත්සවාකාරයෙන් සමැරුවෙමු. දෙසැම්බරයේ නත්තලත් දෙසැම්බර් 31 දා විසේකාර සැමරුමත් වසර ගනනාවක් පවත්වා ගෙන ගියෙමු මෙම ක්‍රියාකාරකම් තුලින් සමාජ පරතෙරය අවම කරගත්තෙමු. එදා පටන් ගත් සමාජ ව්‍යාපාරය අද වන විට පලදරා ඇති වුවත් අප සහෘදයා අප අතහැර තනිව විමුක්තිය , නිදහස  සොයා ගිය බවකි.
1975 වන විට ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමේ අපේ පරම අරමුන විනි.  1977 ධාර්මිෂ්ඨ සමාජය බිහිකිරීම උදෙසා විසේකාර කොල්ලන් කුරුට්ටන් නඩයක නඩේගුරාව ගමක් ගමක් ගානේ කදවුරු බදිමින් සපුරන ලද ඒ උවමනාව 1987 වන විට මට අප්‍රසන්න අත්දැකීමක්ව තිබු අතර මගේ සහෘදයා හැපෙමින් ගැටෙමින්  එහිම රැදී සිටියා යයි මම සිතමි.
මම ඉන් පසුව මගේ දේශපාලන ධාරාව වෙනස් කිරීමට මට සිදුවිනි.   එම වෙනස් වීම නිසා  කිසියම් ප්‍රමානයක සමාජ සත්කාරක කටයුතු සිදුකිරීමටද හැකිවිනි. දැන් අප වයෝවෘදියටත් අපේ කාලයේ අප ඇසුරු කල සමාජය අප සමග වියපත්ව වියකී යන විට නව සමාජය තුල අමතක වන චරිත බවට පත් වෙමින් සිටී.

එහෙත් ඔහු නිහඩ නැත. තවමත් සමාජයේ යහ පැවත්ම උදෙසා සටන් කරයි.මම උපේක්‍ෂා වෙන් බලා සිටිමි. 

notes of imaginary

Tuesday, July 23, 2019

නී නාෂමා පෝ.........




සිරිමා - ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ  පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී  සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා  බවට මේ ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙනි.
ඈ නමින් ‘මීනායි ”ය. මට වයස දහ අට  විස්ස වන අවදියේ  ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල කාන්තාවක මෙන් පිලිවෙලකට දෛණික කටයුතු සිදුකරයි. පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස අප බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට කොයි
තරම් විශාල මුදලක් වි හැකිද ?.
එකල  ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා - මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම දුෂ්ඨ බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය.

කාලය ගත විය.  
එක් උදෑසනක ව්‍යාපාරික ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් )  සාප කරමින් වැලි අහුර අහසට විසි කලාය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර දේශපාලන කීර්තිය පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුගේ නමින් දේපලක් නැත.
ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපල නැතිවෙලා ගොස් ඇත.



notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon