Friday, March 05, 2010

උත්තරයක් නැති ප්‍රශ්නයක්

දිනය මාර්තු 04 වෙලාව පෙරවරු 9 පසුවෙලා  මිදුම ට සිරස ගුවන් විදුලියේ ප්‍රචාරයවු වැඩ සටහනක් අසන්නට ලැබුනා.


පාසල් දැරියක ගැබ් ගෙන ඇතැයි සැක කර පාසලෙන් අස් කරලා. ඒ දරුවා , දරුවා ගේ මව, පංති භාර ගුරුතුමිය, විදුහල්පතිනිය, කලාප අධයාපන අධ්‍යක්‍ෂිකා , පලාත් අධ‍්‍යාපන අධ්‍යකෂක සිරස ප්‍රශ්න කිරීම් වලට ලක් කරමින් වැඩ සටහන ඇදෙනවා.


කතාව මට තේරුණ විදියට මෙහෙමයි. දරුවා අපොස සා.පෙ. සිසුවියක් ඈ හට වමනය ,පපුවේ දැවිල්ල සහ බඩේ දැවිල්ල , යන රෝග ලක්ෂකණ නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැණිමට සිද්ධ වෙනවා. මේ දරුවාගේ පියා ජීවතුන් අතර නැහැ. මවත් සහෝදරයාත් සමග ජීවත් වන්නේ.


ප්‍රතිකාර ලබා පාසලට ආ පසු ටික දිනකින් පංති භාර ගුරුතුමිය ඇගේ නිවසට දුරකතන පණිවිඩයක් දෙනවා පසු දින මව ට පාසලට පැමිණෙන ලෙස දන්වමින්. මව පාසලට ගිය පසු පංති භාර ගුරුතුමිය විමසා සිටිනවා දියණිය ගැබ් ගෙන ඇති බව මව දන්නවා ද කියලා. ඈ ඒ බව ප්‍රතික්ෂෙ ප කරමින් තොරතුරු ඉදිරිපත් කලත් විද්යාල පරිපාලනය දරුවා පාසලෙන් අස් කරනවා.


පසුව ඈ එම දරුවා රෝහල් ගතවූයේ ඉහත රෝග ලක්ෂන නිසා බවත් ඈ ගැස්ට්රික් රෝගයෙන් පෙළුණ බව වෛද්‍ය වාර්තා රෝහලෙන් ලබා ගෙන ඉදිරිපත් කලත් විද්‍යාල පරිපාලනය ඒවා පිලිගන්නේ නෑ. ඉන් අනතුරුව දරුවා පුශව හා නාරී වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා ලක් කරනවා. එම වෛද්‍යවරයාත් වාර්තා කරන්නේ දරුවා ගැබිනියක නොවන බවයි. ඒ වාර්තාව නිසා දරුවාට නැවත පාසලට එන්න කියනවා .


ඒත් එම දරුවාට පාසල තුල නිර්මාණය වී ඇති තත්වය තුල පාසලට  යන්න බැහැ. වෙනත් පාසලක් ලබා දීලත් නැහැ. ප්‍රශ්නය ඒකයි.


සිරස මාධ්‍ය මේ ප්‍රශ්නය තළු මරමින් ප්‍රචාරය කල නිසා අළුත් තත්වයක් ඇතිවනවා. වෙනත් පාසලක් ලබා දුන්නත් දරුවාට ඒ පාසලෙත් නිර්මාණය වෙන්නේ පෙර පාසලේ තත්වයමයි.


දැරියකට නෙමෙයි වැඩිහිටි කාන්තාවක උනත් අවිවාහක ව ගැබ් ගැණීම අපේ සමාජය දකින්නේ මහත් අපරාධයක් ලෙසයි. කාන්තාවක අගරු බවට පත් කරන්න වෙනත් මාතෘකාවක් අවශ්‍යම නැහැ. මෙවන් චෝදනාවක් හොදටම ඇති. එවන් සමාජයක මේ දැරිය පත් වෙන්න ඇති පීඩනය ගැන අපට හිතා ගන්න පුළුවන්.


මීදුම අවධානය යොමු වන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රය හැසිරෙන ආකාරය ගැන. මේ දරුවා අසීරුවට පත් වෙන්නේ ඉතාමත් සංවේදි එමෙන්ම රහස්‍යගතව සාකච්ඡා කල යුතු පාසල් දරුවෙකුගේ විනය පිළි බද ප්‍රශ්නයක් ප්‍රසිද්ධියේ විසඳීමට පාසලේ විදුහල්පතිනියත් පංති භාර ගුරුතුමියත් කටයුතු කිරීමෙන්. ජීවිත කාලයට ම අසරණ වන දරුවා ගැන පූර්ව නිගමනයකට පත්වෙන්න තරම් පුරුදු පුහුණු වී නොතිබීම ගැන.ණා පුහුණුවී තිබුනා නම්  මේ වගේ තත්වයක් පාලනය කර ගන්න ඔවුන්ට හැකි වෙනවා.


අපේ අධ්‍යාපන ක්ෂෙත්‍රයට වැඩි ප්‍රතිශතයක් බදවා ගන්නේ උපාධිධාරීන් . අධ්‍යපන ක්‍ෂෙත්‍රය උපාධිධාරීන් හට රැකියා සපයන ආයතනයක් බවට පමණක් පත්වෙලා. රජය උපාධිධාරීන්ගේ විරැකියාව පියවන්න යොදා ගන්නේ අද්‍යාපන ක්‍ෂේත්‍රය. එසේ නම් විශ්ව විද්යා‍ල විෂය නිර්දේශයන් ඒ අනුව සකස් කර ගන්න උනන්දු නොවන්නේ ඇයි කියලා හිතා ගන්න බැහැ. බදවා ගත් පසුව වත් වෘත්තියට සුදුසු පුහුණු වීම් වල ඔවුන් යොදවන්නේ නැහැ.


උත්තරයක් නැති ප්‍රශ්නයක මේ දැරිවිය විතරක් නෙමෙයි සමාජයම අතරමං කරලා !.

Wednesday, March 03, 2010

ඇදුම් ඇන්දවීම

ඇන්දවීම මේ දවස් වල ගජරාමෙට කරන දෙයක් . මීදුම යොමුවන්නේ ඒ ඇන්දවීමට නෙමෙයි. ඇදුම් ඇන්දවීම ගැන කියන්න. මේ මාර්තු මාසේ. රජයේ සේවකයින්ට නම් මාර්තු අන්තිම වැටුප සමග හම්බුවෙන උත්සව අත්තිකාරමටයි - අපි වගේ යල මහ දෙක වැඩ කරන ඇත්තෝ යල කන්නේ අස්වැන්නටයි අන්දන්න දැන් පටන්ම සාප්පු කාරයෝ සේල් පටන් අරන්.


අපේ මුල්ම නෑදෑයාට නම් මේ ඇදුම් ප්‍රශ්නේ නෑ. මිනිසා හැර සියළුම වානර වර්ගයාට ලෝම ඇදුමක් දෙන ගමන් මැවුම් කාර දෙවියෝ මිනිසා කියන වානරයා නිරුවත්ව තැබුවා. ඒක හින්දා සත්ව විද්‍යාඥයෙක් වන ඩෙස්මන් මොරිස් මිනිසා හැදින්ව යේ ‘‘ නිරුවත් වානරයා “කියලා. මිනිසාට ලෝම පිරුණ හමක් නැති හින්දා ද කොහෙද ඇදුම් අදින්න පටන් ගත්තා.


අපි බොහොමයක් ෆැෂන් එකට ෆැෂන් කරනවා. විලාසිතා ගැන පරීක්ෂණය කරන අයට නම් මේක ෆැෂන් එකක් නෙමෙයි. අද අපි අදින පලදින ඇදුම් වල පරිනාම ඉතිහාසය අවුරුදු 7000 ක් විතර ඈත අතීතයට දිව යන්නක් කියලයි ඒ ගොල්ල කියන්නේ.

සරල සමාජයක නම් ඇදුම පැලඳුම දේශය හැටියට බැදෙනවා. අපේ රටේ නම් සරම කමිසයක් දා ගත්ත ම , කාන්තාවක් සාරියක් ඔසරියක් ඇන්දම ඒක කොයිබටත් ගැල පෙන විලාසිතාවක් . ඒත් අපේ රටේම සංකීර්ණ සමාජ පැලන්තිය ට කාලයෙන් කාලයට රටාව වෙනස් වන ඇදුම් විලාසිතා මැවෙනවා.1844 – 1919 කාලයේ ඇදුම් මෝස්තර පිලිබදව අධයනයක යෙදුණ ක්‍රීබර් නම් මානව විද්‍යඥයා මේ මෝස්තර වෙනස් වෙන්නේ යම් න්‍යායකට අනුව කියලා පැහැදිලි කරලා තියෙනවා අපි අදින ඇදුම් මෝස්තර අවුරුදු තිහෙන් තිහට ගළපලා බැලුවොත් කාලානුරූපව එක් ගමනක යෙදෙන මෝස්තර අපට හඳුනා ගන්න පුළුවන් වේවි.


අපේ රටේ ඇදුම් පැලදුම් විලාසිතා මහත් වෙනසකට පත්වෙන්න පටන් ගත්තේ 1977 පස්සේ කෝකටත් තියෙන දේශපාලනය ඒකටත් බලපාන්න ඇති. විවෘත ආර්ථිකය නිසා දූපතක් ව තිබූ ශ්‍රී ලංකාව අන්තර්ජාතික යට විවෘත වුනා. ඒ පාර දිගේ ගලා ගෙන පෙර සතියේ ප්‍රශයේ , ලන්ඩන් ,නිව්යෝරක් වල එලි බැස්ස මෝස්තර ඇගලා ගෙන මේ සතියේ අපේ තරුණ ළමයින් හැඩ වැඩ වෙනවා. ඒ ‍ගොල්ලන්‍ගේ ‍මෝස්තර මැ‍වෙන්‍නෙත් අ‍පේ ශ්‍රම බකා‍යෙන් කියලා අමතක කරන්නත් ‍හොද නැහැ.


ගාන වැඩි ඇදුම් පැළදුම් වලින් සැරසුනාට මිනිසුන්ගේ වටිනා කම වැඩිවෙන්නේ නෑ. කරන කියන දේවලුත් ඒවට බල පානවා. එත් අපේ ඇත්තෝ දහස් ගනන් දීලා සැරසෙනවා. බොහෝම විට තමන්ගේ සිරුරට ගැලපෙන තාලයේ ලාබ ඇදුමකින් තමන්ගේ වටිනා කම කැපිලා පේනවා. හිතේ මදි කම වහගන්න සාප්පු කාරයා පොහොසත් කරනවා.

පාරට බැස්සම එන හැම බස් එකටම අත උස්සලා නැග්ගොත් තමන්ට ගමනක් නෑ වගේ වෙලද පොළට එන හැම මෝස්තර ම ඇගේ දවට ගත්තොත් තමුන් විලාසිතා වල හිරකාරයෙක් වෙයි. ඒ හින්දා සාප්පු වල ප්ලාස්ටික් ඩමියක් නෙමෙයි අපේ සිරුර කියලා හිතා ගෙන ඇදුම් පැලදුම් තෝරා ගන්න ඕනි. සාප්පු කාරයින්ට අන්දන්න දෙන්නේ නැතිව අපි සාප්පු කාරයෝ අන්දමු.

Wednesday, February 24, 2010

කතා දෙකක්.

පසුගිය දිනක ඌව පලාත් සභාවේ පලාත් සෞඛ්‍ය අධිකාරිතුමියගේ කාර්යාලයට මීදුම ට යන්න සිද්ධ වුනා. මිදුම ගේ ව්‍යාපාරික ශෛලියෙන් නම් විනාඩි දහයක වැඩක් කර ගන්න තිබුනේ. ඒත් එතුමියගේ කාර්යාලය රජයේ කාර්යාලයක් නේ. පස්වරු එකේ සිට පස්වරු පහ වෙන කම් කාරනවා ඉටු කර ගන්න බැරි උනා කියමු කෝ.

අන්තිමේ දි පස්වරු පහට ලිපියට අත්සන් කරන්න හිටපු පලාත් සෞඛ්‍ය  අධිකාරි තුමියට ගෙදර යන්නත් බැහැ. මගේ ලිපිය එදිනටම නිකුත් කල යුතුවු අත්‍යාවශ්‍ය රාජකාරි ලිපියක් නිසා . එතුමිය ඇවිත් පරිපාලන නිලධාරියාටයි . සී සී ට යි පරිගණක දත්ත සැකසුම්කාරිණියටයි හතර හමාරට නො ගිය අතිකාල කාරයින්ටයි හොඳට ම දොස් කිව්වා.
ඊට විනාඩි දහයක් යන කොට යාන්තම් ලියුම අතට හමු වුනා.


මම මේ එකම ලියුමේ සටහන් දෙකක් යොදා අත්සන් කර ගන්න පලාත් ඌව රජ්‍ය සේවා කොමිසමටයි - ඌව පලාත් සෞඛ්‍ය අධිකාරිතුමියගේ කාර්යාලයටයි එදා දවස පාන්දර අටයි තිහේ ඉදන් හවස පහයි විස්ස වෙනකම් පැය පැය අටකුත් විනාඩි පනහක් කාර්යාල දෙකේ ගත කරලා බදුල්ලෙන් බස් නැග්ගා.


ඔන්න අපේ කාර්යක්ෂමතාවය.

මේ අතර මාත් එක්ක මේ ආයතන දෙකේ දීම මට වෙච්ච දුක හා සමාන දුකක් බෙදා ගත්ත තවත් මහත්තයෙක් හමු වුනා. මෙතුමා රජයේ නිලධාරියෙක් .මම ඇහුවා ඔබතුමාගේ කාර්යාලයත් මේ වගේද කියලා . මේ එතුමා කියපු කතාවක්.


අපට දවස ගෙවා ගන්න අනෙක විවිධ මාතෘකා මතු වුනා. ඉන් එකක් සටහන් කරන් නම්.


අපේ රටේ අපනයන බෝගයකට සම්බන්ධ වැවිලි සංස්ථාවක සභාපති තුමෙක් ගැන. මේ වැවිලි සංස්ථාව රාජපක්ෂ සහෝදර සමාගමට අයිති සහෝදර ඇමතිවරයෙකු යටතේ තිබියදී සභාපතිවරයෙක් පත් කලා. ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න කියලා එක එක දිශාවෙන් මංත්‍රී ඇත්තෝ බල්ටි ගැහුවා නේද. ඒ කාලේ බල්ටි ගහපු මංත්‍රී උත්තමයෙකුට මේ සංස්ථාව අයත් අමාත්‍යයං ශය බාර දීලා රාජපක සහෝදර සමාගමේ ඇමතිවරයා යන්න ගියා.
දැන් සභාපතිවරයා අළුත් ඇමති තුමාට පෑහෙන්නේ නෑ. ඇමතිතුමා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත් කලා. මේ දෙන්නා අහසට පොළව වගේ පැවතුම් තියෙන දෙන්නෙක්. නියෝජ්‍ය සභාපතිවරයා අධිකරණයෙන් ලබපු උපාධි මට්ටමේ සහතික එහෙම තියෙන ඇත්තෙක්. සභාපති තුමා බුද්ධ ශාසන අමාත්‍ය තනතුරක් තිබුණා නම් ඒකට ගැළපෙන දේශපාලනඥයෙක්.


මේ දෙන්නා පරිපාලන ගනුදෙනු වල දි ගැටෙමින් ඉන්න කොට ඇමතිතුමාට ඉඩ දීලා සභාපති තුමා නියෝජ්‍ය සභාපතිවරයා ට රාජකාරි නිල වශයෙන් පවරලා ගෙදරට වුනා. සභාපතිවරයාගේ පරිපාලන සමයේ ලාභ ලබාපු ආයතනය ඉන් පස්සේ පාඩු ලබන්නට පටන් ගත්තා. මේවා ජනාධිපතිතුමාගේ අවධානය පිණිස ඉදිරිපත් කරලා පසුගිය කාලේ ජනාධිපති විමර්ශණ ඒකකය විමර්ශනයක් පටන් අරන් තිබෙනවා කියලත් ආරංචි තියෙනවා.


මේ කතාව කියපු මාත් එක්ක දවස ගත කරපු මහත්තයා ඒ සභාපතිවරයා, සංස්ථාවේ නිෂ්පාදන ගෙදර ගෙනිච්චත් ඒවටත් සල්ලි දෙන්න තරම් ලජ්ජා බයට කටයුතු කල කෙනෙක් කියලා කිව්වා.


ඔන්න ඔහොමයි අපේ රටේ හැටි.

Saturday, February 20, 2010

නිවැරදි පූර්වාදර්ශ ඇති කරමු.

දේශපාලනය විසින් මුලින්ම ජානක පෙරේරාව ජීවිතයෙන් ම සමු ගන්වා රටට අහිමි කලා . පසුව සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙන විත් එතුමා ලවා වේදිකාවේ දිග හරින ලද රට පාවාදීමේ කතා නිසා ඔහුත් යම් සමාජ කොටසක අපකීර්තියට පත්ව සිටිනවා. වර්තමානය වන විට චූදිතයෙක් ව තමා නායකත්වය දුන් හමුදාවේ ම භාරයට පත් වුන පුද්ගලයෙක් බවට පත් වෙන්නත් සිද්ධ වෙලා. අපේ ස්වාමීන් වහන්සේලා මේ දිනවල ජනතා කතා බහට ලක් වෙලා. පසු ගිය කාලේ සරත් ෆොන්සේකාට එරෙහිව සංඝාඥාවක් නිකුත් කරන්න සූදානම් වුනා. අද ස්වාමීන් වහන්සේලා සරත් ෆොන්සේකා ට පක්ෂ ව සිවිල් නීතිය , හමුදා නීතිය යන දෙකට ම ඉහළින් සමාජ බලපෑමක් නිර්මාණය කරන්නට පරිසරය සකස් කරමින් සිටිනවා. දේශපාලනඥයන් විසින් මෙහෙයවනු ලබන මේ මැදිහත් වීම් නිසා එතුමන් ලාත් අපකීර්තියට පත්වේයැයි සමාජය සිතෙනවා.

සරත් ෆොන්සේකා සහ ඔහු දේශපාලන වේදිකාවට කැඳවා ගෙන එන්න පෙරමුණ ගත් කණ්ඩායම් වේදිකාව තුල සරත් ෆොන්සේකා ලවා දිග අරින ලද්දේ දූෂිතයන් හිරේ යැවීම, යම් යම් නීතිමය අපහසුතා වයන්ට පත් කිරීමත් වැනි කෝප සහගත අනාගත සිතිවිලි වලින් පිරි තේමාවක් . බහුතර ජනතාවක් මේ තේමාවට ඇහුම් කන් දුන්නේ නැති බව ප්‍රතිපල දෙස බලන විට පෙනෙනවා. ඔවුන් වැඩි පිරිසක් යළිත් දූෂිතයන් යයි පෙන්වා දුන් මහින්ද කෙරෙහිම විශ්වාසය පල කලා. මහින්දට එරෙහිව එදා නගන ලද චෝදනා අද අධිකරණයට ගෙන එන්න කාලය පැමිණිලා තියෙනවා. ඒත් එම සිද්ධින් පසෙකට ලා මැතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කර ජනතා අවධාණය ලබා ගන්න උත්සහා කරනවා. හැමදාමත් මේ දේශපාලනඥයන් සිදු කරන්නේ එදා වේල සොයා ගැණීමේ ක්‍රමයක් සෙවීම මිසක් ජනතා හිතවාදී කටයුත්තක නියලීම නෙමෙයි.

පාරම්පරික වම නො වෙනස් වන එජාප ඡන්දදායකයෝ දූෂණයට එරෙහිව ඡන්දය දුන්නා යයි සිතන්නට බැහැ. ඔවුන් තම නො වෙනස් ප්‍රතිපත්තියට ගරු කරමින් එජාප නියෝජිතයා යයි සලකා හංසයාට කතිරය ගැසුවා. මෙම කතිර ප්‍රමානය අඩු තරමින් ලක්ෂ තිහක් වත් වන්නට ඇති. මෙම ඡන්දදායකයන් අතෘප්තියට පවත්ව සිටී නම් ඒ තම චන්දය පරාජයට පත්වීම පිළිබඳ ව මිස - දූෂණය පරාජය කර ගත නො හැකි වීම නිසා නොවන බව පැහැදිලි කරුණක් . මොවුන් මේ වන විට තම ඡන්දය දී පක්ෂ යට තම යුතුකම ඉටු කර අවසන් කර දෛනික කටයුතු වලට අවතීර්ණ ව සිටිනවා .

සරත් ෆොන්සේකාට ඡන්දය දුන් සියල්ලෝ ම දූෂණයට එරෙහිව ඡන්දය දී අතෘප්තියට පත් ව හා කලකිරීමට පත්ව වීදි බසිනා මානසිකත්වයකට පත් වී නැති බව තේරුම් ගන්න බැරි කොටසක් ඉන්නා බව පෙනෙන්නට තිබෙනවා . ඡන්ද 40 ලක්ෂයකින් 0.1% ක් වත් වීදි බස්සන මානසිකත්වයකට කොටු කර ගැණිමට නම් වර්තමාන පාලක පක්ෂය ජනතා පීඩක ස්ථාවරයක් කරා තල්ලු වී යා යුතුයි. එය මේ රජයෙන් තවමත් ඉටු වී නැහැ.

වීදි බැස යම් දේශපාලන ප්‍රතික්‍රියාවක නිරත වීමට සටන්කාමීත්වයක් ඇත්තේ ජවිපෙ සහෝදර -විරුවන්ටයි. ඔවුන් තම සාමාජිකයන් ද බිල්ලට ගත හැකිවන ප්‍රභුවරුන් සහ අපේ ස්වාමීන් වහන්සේලා මෙහෙයවමින් , යම් යම් දේශපාලන ක්‍රම වේදයන් අනුගමනය කරමින් සිටින බවක් අවධානයෙන් සිටින කෙනෙකුට පැහැදිලිව නිරුපනය වෙනවා.

හංසයා සමග සිටි කණ්ඩායම් ජනාධිපතිවරණයෙන් තම අපේක්ෂකයා ජයග්‍රහණය ලබනවාමයයි අධි තක්සේරුවකින් සිටි බව එකල පෙනෙන්නට තිබුණා . ඒ අනුව යමින් ඔවුන් තම අනාගත අපේක්ෂාවන් ගොඩ නගා ගත්තා. ප්‍රතිපලත් සමග එම අපේක්ෂාවන් ක‍්ෂණිකව කඩා හැලීමෙන් ඇතිවූ කම්පනයෙන් සහ පරාජය දරා ගත නො හැකි ව කරනා මේ විකාරයෙන් රට තවත් අනතුරකට රැගෙන යන බවක් නම් පෙනෙන්නට තියෙනවා. මේ කන්ඩායම් තම අනුගාමිකයන් රඳවා ගැණීමට වෙනත් විකල්පයක් නැතැයි සිතනවා විය හැකියි.

සෑම මැතිවරණයක් අවසානයේ දීම මැතිවරණය දූෂිතයි කීම පරාජය වන පාර්ශවයේ පුරුද්දක්. ඉන් පසුව වීදි බැස නන් වැදෑරුම් ආකාරයේ විරෝධතා කරමින් රට කරවන පාර්ශවයේ ගමන් මග අහුරන ක්‍රියා දාමයකට යාම පරාජය වන පාර්ශවය අපි දන්නා කාලයේ සිට කරන්නක්. එසේ නැතිව වැඩි ජනතා කැමැත්තෙන් පත් වන පාර්ශවයත් සමග රටේ දියුණුවට කටයුතු කිරීම අපේ දේශපාලකයන්ට පුරුද්දක් නැහැ. මේ බවක් අපේ ස්වාමීන් වහන්සේලාවත් පිලිගත් බවක් අතීතයට යොමු වන විට අපට දක්න ට ලැබෙන්නේ නෑ. එතුමන්ලාටත් මේ පිල් වලට බෙදී රටට කරන හානිය ගැන හැගීමක් ඇතිවෙන්නේ නැති වීම ස්වාමීන් වහන්සේලාට නොතිබිය යුතු පෘථග්ජන මානසික ස්වභාවයක්.

දේශපාලකයෝ නම් මහ විස කුරු සර්පයන්ගේත් අතිශයින්ම කපටි සිවු පා සත්ව විශේෂයේ සංකලනයක් ලෙස හදුන්වා දිය යුතුයි. ඔවුන් ද්විත්ව ක්‍රියාකාරීව තම අභිමතාර්ථය උදෙසා බිල්ලට ගත හැකි සැම දෙනා ම බිල්ලට ගන්නවා. නීති පද්ධතියේ ස්වරූපය පසක තබා සාකච්ඡා කිරීම සහ අනුශාසනය කිරීම යාම නිසා ස්වාමීන් වහන්සේලා ද මේ දේශපාලන උගුල් වලට අසු ව ඇති බවක් පෙනෙනවා .

සරත් ෆොන්සේකා විෂයයෙන් වුවද ඔහු නිවැරදි නම් අධිකරණයෙන් නිදහස් වනු ඇති. වරදක් කර නැත්නම් කිසිවෙක් නීතියට බිය විය යුතු නැහැ. තම නිරවද්‍යතාවය පැහැදිලි කර ගන්න මෙය හොද අවස්ථාවක් කර ගන්නත් පුළුවන්.

සුපිරි සිදු අත් ඇති කෑ මොර දෙන ඇත්තෝ කල යුතු ව ඇත්තේ චෝදනා ඇති අනෙක් පාර්ශවයටද මේ අභියෝගයම එල්ල කිරීමයි. ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට අධිකරණය මෙහෙය වීමයි. ඒ සදහා රජය කියා බාධාවක් තබා ගත යුතු නැහැ. සිවිල් ආයාතන පෙල ගැසී මැතිවරණයට පෙර වේදිකාවේ දිග හරින ලද දූෂණ චෝදනා අධිකරණයට ඉදිරිපත් කිරීම කල යුතුයි . මේ කටයුත්ත පුර්වාදර්ශයක් ලෙස ආරම්භ කලොත් කිසි දා බලය අනිසි ලෙස යොදා බඩ වඩා ගැණිමට සියල්ලෝම බිය වනු ඇති.

සරත් ෆොන්සේකා බලයට පත් වුයේ නම් විරුද්ධ මතධාරීනුත් ජනතාවත් ඔහුට විපක්ෂ වු දේශපාලඥනයනුත් නලවමින් කිරි පොවමින් සිටීමට උත්සහායක් දරන එකක් නැහැ. පරාජයට පත් ව කී දෑ පමනක් සිතා බලන විට ජයග්‍රහණය කලා නම් කෙසේ වනු ඇත් දැයි සිතා ගත හැකියි .ඔහු ද අනිවාර්යයෙන් සිදු කරනු ඇත්තේ ඔහු කී දේ ඉටු කර පෙන්වීමයි. කාගේත් යහ පාලනයේ ඇගිල්ල මෙතෙක් දිගුව ඇත්තේ තමන් දෙසට නොව පුතිවිරුද්ධ දෙසට බැවින් ඔහු මේ විදින අපහසුතාවය එවිට විදින්නේ ඔහුගේ විරුද්ධ මතධාරීන් විය යුතුයි.

ස්වාමීන් වහන්සේලා කල යුත්තේ ජනතාවට නිවැරදි පූර්වාදර්ශ ඇති කිරීමටත් , ඉතිරි කිරීමටත් ස්වාධීනව සිට අනුශාසනා කිරීමයි. එසේ නො වුන හොත් එතුමන් ලාද ජනතාවගේ අවලංගු කාසි බවට පත්වීම නො වැලක් විය හැකියි. එතුමන් ලාට ලනු දෙන්න පැමිණෙන පක්ෂව විපක්ෂ සියල්ලටම ජනතාවගේ පාර්ශවයෙන් සිට අනුශාසනා කිරීමයි.
 

මීදුම Published @ 2014 by Ipietoon