Saturday, July 08, 2023

පැවිද්ද.

හාමුදුරුවරුන් පිලිබදව ලියවෙන පලවෙන දේවල් සුබදායක නොවන කටුක පුවත් වලින් යුක්තය.

මේවා බෞද්ධාගමිකයන්ගේ සිත් පාරන සුළුය.

දායකයින් ප්‍රතිචාර දක්වන්නේද පෙර මෙන් නිහඩව නොව ඉතාමත් ප්‍රචණ්ඩකාරීවය. බොහෝ විට උඩ බලා ගෙන කෙළ ගැසුවිට තම මුහුණට නොවැටෙන්නාක් මෙන් සිතාය.

සිදුහත් චරිතය කියවන විට අපට සිදුහත් බෞද්ධත්වය  ලබා ගන්නා තෙක් සසර සම්පත් අවබෝධයෙන් බැහැර කරමින් ගමන් කල අන්දම විවරණය වන්නේය. උන්වහන්සේ අඅවබෝධයෙන් ලෞකික සැප සම්පත් අත්හැරියේය. වර්තමාන සඝ පරපුර ඇතිවන්නේ එවැනි අල්පමාත්‍ර අවබෝධයක් දරා ගෙන නොව කිසියම් රැකියාවකට කෙනෙකු බදවා ගන්නා ආකාරයෙන් ය.

කුඩා කල මහණ කර ගන්නා පුංචි දරුවන් කෙමෙන් පන්සල තුල මුහුකුරා යන විට, සමහරුන් උපැවදිව ගිහි ගෙය ආක්‍රමණය කරන්නේය. තවත් සමහරුන් පන්සල තුල රැදෙන්නේය. ඔවුන් තම ජීවිත කාලය ගෙවන වයස් කාණ්ඩ තුල හැසිරෙන ආකාරය අප බලාපොරොත්තුවන භික්‍ෂුත්‍වයට නොගැලපෙන බව දක්නට ඇත. එය මම දකින්නේ අවබෝධයකින් තොරව පැවදිවන්නන් තම ජීවිතය සංඝ චරියාවත් සමග කරන චිත්ත අරගලයක් ලෙසය ක්‍රමයෙන් පැසුණු වයස තෙක් පැවදි දිවියේ සිටිය හොත් වස්තු තන්හාව බැහැර කල පැවිද්දන් තුල ගිහි අප බලාපොරොත්තුවන ස්වාමීන් වහන්සේලා වැඩ හිටින්නේය.

එදා ගමේ පන්සලේ හාමුදුරුවෝ ගමේ උපදේශකයා විය. ආදර්ශමත් චරිතයක් විය. දායකයන් ගෙන් යැපුණු උන්වහන්සේලා දායකයින්ටද කිසියම් බැදීමකින් යුතුවිය. කලාතුරකින් නින්දගම් රකින පවුල් රකින නායක උන්නාන්සේලාද මේ අතර ඉද හිට හමුවිය. ඒත් උන්නාන්සේලාත් අනාගත් ස්වරූපයෙන් නොව වැදගත් ස්වරුපයෙන් ගිහි සම්පත් විදිමින් සමාජයේද ඉහලින් වැජඹුනේය. පසුකාලිනව උසස් අධ්‍යාපනය සදහා විශ්ව විද්‍යාල වලට ගිහියන්  සමග යොමු වීමත් ,රජයේ රැකියා ලාභීන්වීමත්, නිසා ඔවුන්ගේ ආර්ථිකව ස්වාධීන විය.දායකයින්ට තිබු බැදීම අඩුවිය.

අද දේශපාලනය , ව්‍යාපාර,මුදල් අරමුණුකරගෙන කරනු ලබන නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදෙමින් ලෞකික  ජීවිතේ සැප සම්පත්වල ගිලෙමින් බුදුහාමුදුරුවන් ගේ ධර්මය දේශනා කරන්න උත්සහාකරන උන්වහන්සේලා පිලිබද ඇති ගෞරුත්‍වය බින්දුව කරා දක්කාගෙන යන්නේ උන්වන්සේලාමය.

මට නම් දැනෙන්නේ දුකක් සහ වේදනාවක්ය


notes of imaginary

Tuesday, June 20, 2023

කිරිකෝඩු



මාලිගාවෙ කප් හිටෝල
පෙරහැර මංගල්ලෙට ,අද
කිළි කුණු හෝදල දාලා
ගම්මානෙම එළිය වෙලා .
අලුත්ම ගොම අරං ඇවිත්
ගොම මැටි ගෑවා තනියම
සොපි නැන්දළ එක්ක ගෙහුං
දර මිටි බැඳගෙන ආවා.
දියකපලා ඉවරවෙලා
ආපහු කට්ටිය එනකං
පිලිහුඩුවක් උයන්නෙ නෑ
කිල්ලට අහුවේවි බයට.
දළදා මංගල්ලෙ වෙලේ
බෙර ගහන්න යන්නෙත් අපි
උඩ කරනම් ගහන්නෙ අපි
රජ කාලේ ඉඳලම එන
චාලිත්තරයක් ළු ඒක .
රතු තුප්පොට්ටිය බැඳලා
වෙස් ආයිත්තම් ඇඳලා
අපුච්චලා නටන රඟේ ...
කරඬුව නොවැ වඩම්මන්නෙ !.
ඉලංගමේ මහය වෙච්චි
මයෙ ලොකු අප්පුච්ච වෙච්චි
උඩවෙල නයිදේ කියලයි
හැමෝම ගරු සරු කොරන්නෙ.
දෙයියො බුදුන් අදහන අපි
අවසර ගන්නට ඕනිළු
කප් හිටෝපු දාට, ගමේ
සාන්ති කර්මය කරන්නෙ
ලොකු අපුච්චලා ගෙ ඉඩමෙ .
ගම්බාර දෙයියොත් එදාට
පාන් පැලට වඩිනවා ලු.
හැන්දෑවට මලය එක්ක
මහගෙදරට දුවල යන්නෙ
විලක්කු පන්දම් එළියෙන්
යාතිකාව බලා එන්ට.
කන්ද උඩින් හඳ පායල
රුක් අත්තන මල් සුවඳයි .
පන්දම් එළියෙන් බැබළෙන
මස්සිනාගෙ ඇස් දෙක ළඟ
මට ආසයි ටිකක් ඉන්ට .
පෙරහැර අහවර උණාම
මංගල්ලෙට නැකත් හදල
උජාරුවට මගුල් කන්න
අපුච්ච වචනේ දුන්නට
ළඟින් තුරුල්වෙලා ඉඳන්
පිල් කණ්ඩියෙ රටා පැදුරෙ
නිදාගන්න තියෙනවනම් ..
ආසයි නොවැ ඒත් බයයි...
රෝ.සි.

notes of imaginary

Saturday, June 17, 2023

යුරියා

මුණු පොතේ මිතුරාණන්  කෙනෙක් වු කමල් පී අලහකෝන් සොහොයුරානන් මහත්වු සත්කාරයයක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය .රටටම ආදර්ශයක්වු පුරන් වුකෙත් යායක්  නැවත අස්වැද්දීම  ඔහුගේ ව්‍යායාමය විය.

දැන් එතුමානන්  සිරියාවෙන් පිරි කෙත් යායක පින්තූර පල කරන්නේය.  බොහෝ දිනවල පල කරන ව්‍යාපෘති ප්‍රගතිය තවත් අයට ආදර්ශයට මනාය.

 

මේ  අතරවාරයේ පලකර තිබු        ප්‍රගති වාර්තාවක මගේ සිත් ගත් බැවින් උපුටා  සංරක්‍ෂණය කර ගතිමි .එය මෙසේය.

 

 

“................ඊයේ "කෘපනිස තුමා" ගොවිපොළට ආයේ ය.

(කෘෂිකර්ම පර්යේෂන සහකාර නිළධාරී)

"මහත්තයා ගොවි පොළේ ගොවි මහත්තුරුන්ට වුවමනා යූරියා දෙන්ට

ලැයිස්තුවක් වුවමනයි"

ඔහු කීය.

"අපිට යූරියා එපා!" මම කීමි.

කෘපනිසගේ ඇස් උඩ ගියේය.ය

"අපි වවන්නේ ස්වභාවික ක්රමයට.

ස්වභාව ධර්මය අපිට යූරියා දෙන තරම ඇති."

"යූරියා යනු නයිට්රජන් අම්ලය අඩංගු කෘතිම පොහොරකි.

නයිට්රජන් වලින් තොරව පොළව මත ජීවයක් පැවතිය නොහැක.

ප්රෝටීන සහ ඇමයිනෝඅමිල වලින් සියයට 18 ක් පමණ නයිට්රජන් ය.

මේ අත්‍යාවශ්‍යය රසායනික මූලද්‍රව්‍යය ප්‍රධාන කොට

පෘථිව් ගෝලයේ විසිරි පවතීන්නේ වායු ගෝලය තුළ ය.

ඒ සියයට 78 ක් වායු ගෝලය තුළත්,.

සියයට 0.4 ක් පොලොව තුළත්

අවශේෂය ජෛව ගෝලය තුළත් ය.

වායු ගෝලයෙන් නයිට්රජන් උකහා ගත හැකි ශාක සහ

බැක්ටීරියාවන් කිහිප දෙනෙකුට පමණය.

අනෙකුත්,ජීවින් එය ලබා ගනුයේ පසෙනි.

වායු ගෝලය තුළ නයිට්රජන් නිපදවෙන්නේ අකුණු කෙටීම් මඟිනි.

නැතහොත් හෙන සමඟිනි.

අප නොදුටුවත් අපට නෑසුනත් වායු ගෝලය තුළ

අකුණු කෙටීම් දිනකට තුන් දහසක් පමණ සිදුවේ.

මේවා මඟින් වායුගෝලීය සංයුතිය වෙනස් වේ.

වාතය විද්යුත්,ආරෝපනයකට ලක් කෙරේ.

එමඟින් රසායනික සංයෝග ගණනාවක් උපදී.

නයිට්රජන් ඔක්සයිඩ් එකකි.

එය වැසි ජලය සමඟ මිශ්ර වී,පොළවට පතිත වේ.

වර්ෂයකට වර්ග කිලෝ මීටරයකට මෙසේ නයිට්රජන් ටොන් 1.5 ක්

පතිත වන බව කියති.

ඒ නයිට්රජන් ප්රමාණය හොඳටෝම ඇත.

ආණ්ඩුව නොහොත් බහු,ජාතික සමාගම් දෙන නයිට්රජන් අපට වුවමනා නැත.

අතීතයේ අපේ ගොවීහු මෙම රහස දැන සිටියහ.

ඔවුන් කල් යල් බලා ගොවිතැන් කළේ එනිසා ය.

බක් මහ අකුණු අපට නයිට්රජන් දෙන ප්‍රධාන ආකාරයයි.

"හෙණ ගහපන් ගණන් බලාපන්" කීවේ එහෙයිනි.

හෙණ ගහන තරම බලා ගොවිතැනේ යෙදීමයි.

කෘතිම නයිට්රජන් පොළවට ලබා දීම ඇරඹුනේ 1956 දී ය.

එම වසරේ මහ පොළවට කෘතිම නයිට්රජන් ටොන් මිලියන 3.5 ක් ද,

1974 වසරේ ටොන් මිලියන 40ක්ද,

එකතු කරන ලදී.

දැන් පුමාණය ඒ අනුව සිතාගත හැක.

මෙලෙස කෘතිමව පොළවට එකතු කිරීම මඟින් සිදුවන හානි

ඉන් ලබන වාසි වලට වඩා වැඩි ය.

පසෙහි වසන ජීවින් හට මෙන්ම මනුෂ්යයනටද එය අහිතකර ය.

එනිසා අපි යූරියා නොඉල්ලමු.

හෙණ ඉල්ලමු.

,එමඟින් අපට නයිට්රජන් දෙන නිසා ය.

කෘතිම නයිටුජන් යොදා මහ පොළව විනාශ කළ එවුන්ට

ඒ"හෙණ "ම වදී වා කියා පතමු.




notes of imaginary

Friday, June 16, 2023

අයියනායක. - විමලරත්න කුමාරගම

සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ
බුද ගුරු ශනි හිරුට හිමි හැම දවස් වල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත
දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමුවුණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්වර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

notes of imaginary

Wednesday, May 17, 2023

රස භාව හිඳිලද ...?? (Human Robots )



සත්‍යජිත් රායි කල්කටාවේ ඉඳන්

පාතර් පංචාලි හැදුවම ....

සේකර ඊට හුඟ කාලෙකට පස්සෙ

තුන් මං හංදිය හැදුව.

ලියනාර්ඩෝ ඩා වින්චි ,මෝනාලිසා

ඇන්දම ....

ජෝර්ජ් කීට් ගෝතමී විහාරෙ

අපූර්ව ලෙස සිතුවම් ඇන්දා .

ප්‍රංශයේ ඉඳල ,වික්ටර් හියුගෝ  Les Miserables

ලිවුවම ,ඊරියගොල්ල මහත්තය ,

මනුතාපය කියල ..ඒක පරිවර්තනය කළා .

ටෝල්ස්ටෝයි ඇනා කැරනිනා අරං ආවම

මඩොල් දූවට වික්‍රමසිංහ මහත්තය අපිව

අඬගහගෙන ගියා.

සීගිරි ගිහිං කුරුටු ගී ලියල ,පහළට බැස්සෙ

ඒ කාලෙ ගමේ ගොඩේ වැඩ කරපු ,අපේ

සිංහලයො .

නිල් කට්රොල් මලෙකැ ඇවුණු

වැට් කොල් මල සෙය් ...

උපමාවක් ලස්සණට තෝරාගන්න ,එයාලට

පුළුවන්කම තිබුණා .

අද කාලෙ, රුවන් බන්දුජීවල ..රසවත් කවි ලියනව

අපිට වින්දනයක් ලබා දෙන්න.

මේ බලන්න....

ඇළ හොඳින් හැඳ පැළඳ

ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව

මේ ඇඳුම මහපු බව

කිසිම වී කරලකට

ඇළ කියා නැත තවම .

මොනතරම් රසවත් ද?

ඉර බැහැගෙන වළාකුළු රන්වන් පාට වෙනකොට

කුත්තාකාර හැඩේට කොක්කු රෑනක් අහසෙ

පියාඹගෙන යනව මං හරි ආසාවෙන් බලා ඉන්නෙ .

ඒත් ...

ලෝකෙ අපූරු චිත්‍ර මොනතරම් බිහි උණත් ,

චිත්‍රපටි මොනතරම් කලාත්මක උණත් ,

මන මෝහනය කරන රස ගීත ලියැවුණත් ....

සොබාදහම අපිව විශ්මයට පත් කළත් ...

.........................................................................

ඉහළටෝමඉගෙනගෙන ..

ලොකු රස්සාවක් කරන සමහරු ..

යමක් රස විඳින්න දන්නෙ නැත්නම් ...

ඒකට වත් වෙලාවක් නැත්නම්...

හරියට රොබෝලවගෙ ..

වැඩ ..වැඩ ..වැඩ..නම් ,

අනේ ..පව්” ! කියල හිතෙන්නෙ නැද්ද??

 

සටහන - රෝ.සි.

 


notes of imaginary