Friday, October 14, 2016

අල මහත්තයා.

ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට අනියුක්තව කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරි නමින් තනතුරු ලාභි රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද රාජකාරියේ නිරතය. එමෙන්ම 1970 – 1977 පාලන යුගයේ වගා නිලධාරින් යයි කොටසක් බිහිවු අතර මේ දෙපිරිසම කරන  ලද්දේ එකම සේවාවක්ය.මොවුන් දෙපාර්ශයේම කරන ලද රාජ්‍ය සේවය විවාදිතය. එමෙන්ම කරන සේවාව කුමක්දැයි අවිනිශ්චිතය.
මොවුන්  ජනතාවගේ සූරා ගන්නා බදු මුදලින්  වැටුප් ලබා යැපෙන්නෝය.අදාල විෂයය වන කෘෂිකර්මය ගැන නිසි අවබෝධයක් නැති ඒ පිලිබද පත් කිරීමෙන් පසුව වුවද නිසි පුහුණුවක් නොලැබු  පිරිසක් ලෙස මා දකින මොවුන් ගෙන් පලදායි සේවාවක් ලබා නො.ැණීම අවධානයට ලක් විය යුතුය.

මොවුන්ගේ පත්වීම් දේශපාලන පත්වීම්ය.  මහින්ද රාජපක්‍ෂ මුල් යුගයේ  එක්සත් නිදහස් සන්ධාණයේ මැතිවරණ ප්‍රචාරක නිලධාරින් ලෙස කටයුතු කර  ඒ වෙනුවෙන් ප්‍රතිලාභ වශයෙන් මේ පිරිසෙන් කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරින්  ලෙස පත්වීම් ලද්දේය. 1970 ජයග්‍රහණය සදහා උර දුන් මැතිවරණ ප්‍රචාරක නිලධාරින්  හට එවකට  ධාර්මිෂ්ඨ පාලනය විසින්   වගා නිලධාරින් ලෙස පත් කර ගත්තාය. පසු කාලයක වගා නිලධාරි තනතුර අහෝසි කර  එම තනතුරුලාභින් ග්‍රාම සේවා නිලධාරින් ලෙස පත් කලේය.මේ දෙගොල්ලම කෘෂිකර්මය නගා සිටුවීම පසෙකලා   ගම් මට්ටමින් තමන් නියෝජනය කල දේශපාලන ධාරාව වගා කිරීමට කටයුතු කලේය. 

1970 ට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රජකාරි කල කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් කොටසක් ගම්වලට අනියුක්තව සිටියේය. එවකට පැවති ගම්මුලාදෑණි / ග්‍රාම සේවක කොට්ඨාශ කිහිපයකට එක් නිලධාරියෙකු බැගින් පත්ව සිටි මෙම රාජ්‍ය සේවකයෝ ගම්වාසීන් විසින් හැදුන්වුයේ “ ගොවි මහත්තයා ” නමිනි. ගොවි මහත්තයා  - වහරේදී  “ගොයි මහත්තයා ” විය. මේ ගොයි මහත්තයා  ස්කොලේ මහත්තයා මෙන් ගමට ප්‍රභු වරයෙක් විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පේරාදෙණිය ,ගන්නොරුව වැනි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන වල පුහුණුව ලබාදී ගමට එවු මේ ගොවි මහත්වරු ගමේ ගොවිපල වල ගොවින්ට උපදෙස් සැපයු නියම උපදේශක වරු විය

1965 – 1970 ඩඩ්ලි සේනානායක යුගයේ දියත්වු වගා සංග්‍රාමය  “ 71 මෙන්ම 89 දරුවන්ට මතක නැතිවා වෙන්න පුළුවන. මේ යුගයේ ප්‍රථම වරට ලක් පොලොවේ වානිජ පදනමින් අර්තාපල්  වගා කිරීම ඇරඹු යුගය විය. අර්තාපල් වගා කිරීම සදහා ගොවීන්ට බීජ , පොහොර . වගා උපදෙස් සැපයීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදු කල අතර ක්‍ෂෙත්‍රයේදී  දෙපාර්තමේන්තුවේ කටයුතු මෙහෙය වන ලද්දේ ගමේ කෘෂිකර්ම නිලධාරියා වු ගොයි මහත්තයා විසින්ය.

 මගේ කතානායකයා    තම පලමු පත්වීම රැගෙන අර්තාපල් වගාව පිලිබද පුහුණුවකුත් සමග වැලිමඩ ප්‍රදේශයට යනු ලබන්නේ මේ වකවාණුවේය. එළවළු වගා බිම් වල අර්තාපල් වගාව ප්‍රචලිත කිරීමට වගා බිමෙන්  - වගා බිමට උපදෙස් දීමට ගිය නිසා වෙන් සහ ආර්ථික බෝගයක්  ලෙස අර්තාපල් වගාව තහවුරු   වීම නිසා ඔහු වැසියනට ගොවි මහත්තයා නොවී  ඔහු  “අල මහත්තයා ”විය.

වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වු  ඔවුන්ගේ  ආදරණීය අල මහත්තයා  අවුරුදු හැත්තෑ නවයක් ආයු විද කම්වු පරිද් දෙන් පසුගිය 10 වෙනිදා සවස් භාගයේ අප අතරින් වියෝවිය. වැලිමඩින් කිලෝමීටර් හැත්තෑවක් පමන දුර බලංගොඩ / ඉඹුල්පේ අ.මු.ස.මු ජයසේකර බණ්ඩාර නමින් උපතේදී නම් ලබා වැඩිදුර අධ්‍යාපනයෙන් පසු වැලිමඩ රැකියාවට ගිය ඔහු එහිදී විවාහව දූ දරුවන් සමග පදිංචිව සිටි දශක පහක් පමණ කාලයේ උපයා ගත් අභිමානය අපට නම් කිසිදා ලබා ගත නොහැක. ඒ සියල්ල ඔහුට හිමිකර දී තිබුනේ තමන් පලදායී රාජ්‍ය සේවයක නිරත වෙමින්  ජනතාවත් සමග ඉදිරිපෙල සිටි නියමුවෙකු නිසා වෙන්යයි  මට සිතුනි.




වැලිමඩ ප්‍රදේශවාසී ජනතාවගේ ආදරණීය අල මහත්තයාට අජරාමර  නිවන් සුවය අත්වේවායි  එසේ පැතූ  ජනතාව සමග එක්ව මමද  ප්‍රාර්ථනය කරමි !.

notes of imaginary

Tuesday, October 11, 2016

මරණය සැපයි - ජීවත් වනවාට වඩා.


සිරුර හමුවු  දෙගිනි වල. 

 1970 – 1977 සිරිමාවෝ මැතිණියගේ පාලන සමය   යහපාලන සමය මෙන් දුෂ්කර ආරථිකයකයකට රට මුහුණ පෑ යුගයක් විය. බහුතර බලය යොදා ගනිමින් පාර්ලිමේන්තු කාලයද දීර්ඝ කරගනිමින්  ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් සිටි ආණ්ඩුව ගෙදර යවමින් “ ධාර්මිෂ්ඨ පාලනය ” බිහි විය.
සිරිමාවො මැතිණියගේ යුගය මෙරටට හාල් පොලු මිරිස් පොලු  සතියේ දින දෙකක් බත් නොකෑ යුතුයයි නියමයක් පැනවු කාලයක් විය. මේ තත්වය රට පුරා පාලනය කිරීමට ගම් මට්ටමේ රජයට හිතවත් කණ්ඩායම් යොදවමින් ජනතා කමිටු පිහුටුවීය. වගා කටයුතු සංවර්ධනය කිරීමට පලදා වර්ධන කමිටු බිහි කලේය. මේ සියළු කමිටු මගින් අමතරව කල එක් කටයුත්තක් ලෙස විරුද්ධවාදීන්  ගෙන්  දේශපාලන පලි ගැණිම් කිරීමත් සිදුවිය.

මේ ජනතා කමිටු වෙත මිළ පාලන බලතල , ආහාර පාලන බලතල මෙන්ම සමාජයේ සිදුවන අනීතිමය කටයුතු පාලනය කරගැණිමට පොලිසීය ඇතුළු රාජ්‍ය ආයාතන දැනුම්වත් කිරීමේ සම්බන්‍ධතා ජාලයක්ද   තිබු බව මතකය. මේ නිසා ජනතාව මේ කමිටු වෙත “ කේළම් කමිටු “ යයි හැදීන්වීම කරන ලද්දේය.
මේ කේළම් කමිටු විසින් තම බල පරාක්‍රමයන් අසල්වාසී ගම්වාසීන් වෙත පලකරන විට ඔවුන් අතර ඇතිවු ප්‍රතිවිරොධතා හේතුවෙන් අසල්වාසීන් කේළම් කමිටු ගම්වාසීන් අතර අප්‍රසාදයටත් පිළිකුලටත් පත්විය.

“කඩවත කෝරළේ යටගියාව ” කියවන විට මට මේ කේළම් කමිටුවක සභාපතිවරයෙක්වු කුඩාමහත්මයා මහත්මයා මතකයට ආවේය. ඔහු මගේ වයසින් සමකාලිනයෙක් විය. පාසල් අධ්‍යාපනයේ එගොඩ වීමට නොහැකිවුවත් ඔහු කවියෙක් විය. සමිති සමාගම් වල කථා පැවත්වීමට රුසියෙක්විය. කථාවක් අවසානයේ කවියක් දෙකක් කීමෙන්  තව දුරටත් එකල ගැමි සමාජය තම වසගයට ගැණිමට සමත්වු අයෙකු විය.
කවියෙකු සංවේදී හදවතක් ඇත්තෙක් විය යුතු නමුත් මේ කේළම් කමිටුවක සභාපතිවරයෙක්වු පසු ඔහුගේ සංවේදී බව විකෘතියකට පත්ව අසල්වාසීන්ගේ සුළු සුළු අඩුපාඩු පවා මහත් සමාජ ව්‍යාසනයන් ලෙස දකින්නට මනස විවර විය. 

මෙයින් උපන් බලවේගය අසල්වැසි සමාජය පුංචි දේටත් රාජ්‍ය පීඩනයට යොමු කරන්නට මොහු කටයුතු කලේය. එකල ඊට උඩ ‍ගෙඩි දුන් පලාතේ මංත්‍රී තුමියකද අපට ලැබී තිබුනේය.

කාලය ගෙවී ගියේය. අසල්වැසි සමාජය පෙරලා  මේ කේළම් කමිටුවක සභාපතිවරයාව පිලිකෙව් කරන්නට පටන් ගත්තේය. සමාජය විසින් ඔහු බැහැර කර ගමේ තනිකරන ලද්දේය. අවසානයට මේ තනිකම දරා ගත නොහැකිවු කුඩාමහත්මයා නම් සභාපතිවරයා  එක් අදුරු රැයක “ බෙලිහුල්ඔය පහන්තුඩා ” වලට පැන  සිය දිවිනසා ගත්තේය.ඔහුගෙන් පුංචි තමට සිදුවු පීඩනය කාලයත් සමග අමතක   කරන්නට හැකිවුවත් ඔහුගේ කවිත්‍වය තවමත් අපට ඉතිරිව ඇත්තේ දියට පැන සිය දිවි නසා ගන්නට  පෙර ඔහු දියට පැන්න ගල් තලාව මත මේ කවි සටහන  කොටා තබන්නට තරම් කාලයක් මරණය ගැන මෙනෙහි කරමින්  හිත ගල් කර ගෙන බැස යන බෙලිහුල්ඔය දෙස බලා සිටින්නට ඔහුට හැකිවු නිසාය.

පහන්තුඩා වල.


“මිනිසුන් අතර  සිටියත් ලේ කදුළු කඩා
මරණය සැපයි ජීවත් වනවාට වඩා.”

පසු කාලයක තවත් කවියෙක් මේ පද දෙකට යටින් මේ පද දෙක යටින් ගලේ කොටමින්
“ජනතා කොමිටියේ ලේකම් -   පුංචි කුඩා
පැන්නා වලට බෙලිහුල්ඔයේ පහන්තුඩා.”


යයි සටහන් කරමින් පදපූරනය කර තිබුනේය.
notes of imaginary

Saturday, October 08, 2016

කඩවත කොරලේ කතා.



අද කෝරලේ භාවිතාවේ නැත. රත්නපුර දිසාවට අයත්ව  කුරුවිට,  නවදුන්, කුකුළු, අටකලං, කඩවත මැද  දෙකෝරලය සහ කොලොන්නකෝරලය යනු වෙන් මහනුවර යුගයේ  පරිපාලනය සමන්විත විය.  ආරච්චි වසම් කිහිපයක් එකතුවී පත්තුවත් පත්තු කිහිපයක් එකතුවී කෝරලේත් කෝරල කිහිපයක් එකතුව දිසාව හැදුන බවයි ප්‍රජා පාලන ඉතිහාසය සදහන් කරන්නේ. මා උපන් සහ ජීවත් වෙන කඩවත කෝරලේ ඉතිහාසකතාව ලියු මා සහෘදයෙකු ඒ ග්‍රන්ථයට “ කඩවත කෝරලේ යටගියාව” යයි නම් තැබුවේය. මේ පොත  දොරට වැඩු සාහිත්‍ය මාසයේ  දිනක සොදුරු  සහෘද එකමුතුවට මා හටද එක්වීමට පින් පිරී තිබිනි.

මේ හමුවේ කතා බහ අතර මගේ මතකයද අවදි විය.

වර්තමානය වන විට පැරණි ග්‍රාම නාමයන් වෙනස් වී ආරච්චි වසම දහයක් දොළහකට බෙදී අද ග්‍රාමසේවා වසම දක්වා ලඝු වී ඇත. අප නිවෙස් කර සිටින ග්‍රාම සේවා වසම” යක්දෙහිවෙල ”නම් වී ඇත්තේ යක් දෙස්සන්ට වෙන්වු වෙල් යායක් වු හෙයිනි. අදත් පැරණි පත්තිනි දේවාලයක් මේ ගමෙහි පිහිටා ඇත.අප තලාපිට ගම්පත්තුවේ වැසියන්වු අතර කඩවත කොරලේට උඩුවග්ගම් පත්තුව නමින් තවත් ගම්පත්තුවක් ඈදී තිබුනේය.

ආරච්චි මහත්තයා  ගම් තුලානට මහත් බලවන්තයෙකි. පනහේ දශකයේ අවසන් භාගයේ මේ ආරච්චි තනතුර අහෝසිවී ග්‍රාම සේවක බිහිවන විට තනතුරු දෙකේ බලවන්තකම අන්ත දෙකක පිහිටියේය. සැමියා ගෙට ගොඩ වදින විට ඇද යටට රිංගු ආරච්චි මහත්තයා ගෙන් “ මොකද රාළහාමි ඇද යට ?. ” යයි විමසු ගෙහිමියාට “ බොල මගේ වසමේ මට කොහෙත් එකයි ” යයි උත්තර බැන්ද ආරච්චි මහත්තයාගේ පෞරස්ථවය හා ග්‍රාම සේවක මහතාගේ චරිතයත් භුමිකාවත් හාත් පසින්ම වෙනස් විය.නොයෙක් නොයෙක් වෙනස් වීමි වලට භාජනය වු ග්‍රාම සේවක නිල නාමයද ග්‍රාම නිලධාරී දක්වා අදට වෙනස් ඇත.

ප්‍රාදේශිය සභා උපදින්නට පෙර ගම් සභා තිබුන අතර, කඩවත කෝරලේට තලාපිට ගම්පත්තුවේ ගම් සභාව සහ උඩුවග්ගම් පත්තුව නමින් ගම් සභා දෙකක් තිබුනේය ප්‍රාදේශිය සභාවේ උපතත් සමග මේ ගම් සභා දෙක එකතු වී ඉඹුල්පෙ  ප්‍රාදේශීය සභාව බිහිවිය.

අපේ අසල්වාසී ආරච්චි වසමවු  මුත්තෙට්ටුවේගම වසමේ ආරචිචිල මහා බලවන්තයෙක් විය. ඇස් දිෂ්ඨියක් මානේ ඉඩ කඩම් වලට හිමිකරුවෙක් විය.  ආරච්චි පයිංඩය අහිමුවු පනහ දශකයේ අවසන් භාගයේ “ස්කෝඩා”  වර්ගයේ බ්‍රැන්ඩ් නිව් කාරයක හිමිකරුවෙක්විය. එක් දවසක මේ ආරච්චිල  විලියම් අප්පුහාමි නම් ගැමියෙකුට “උබ හැමොටම කවි කියනවා කියාපන්කො බන් මටත් කවියක් ” යයි කල ආරධනයට  ලුණු ඇඹුල් සහිතව“ උස්තට්ටුවේ සිටියත් ජන සමාජයේ - මුත්තෙට්ටුවේ උබ මැරුනම අවීචියේ ” යයි  කිවු බව අදත්  ප්‍රචලිතය. එදා ආරච්චි උෂ්නය සහිතව සිටි ආරච්චිලගෙන් විලියම් අප්පුහාමිට ලැබු ප්‍රතිචාරය කුමක් වන්න ඇත්දැයි අප උපකල්පනය කර ගත යුතුය.

තනිකඩයෙක්වු විලියම් අප්පුහාමි ගේ ඥාති පරපුරේ අය අදත් අපේ අසල්වාසීන්ය. ඔහුගේ අතීත මතකයන් අහුලා ගතහොත් එය රසගුලාවක් වනු ඇත. එකල ජීවත්වූ එක් කාන්තාවක හා ඇසුරකට පත්ව සිටි මේ රසවතා හට ඇගේ එක් නරක පුරුද්දක්වු තැන තැන දකින දෑ සොරකම් කරන  පුරුද්ද මකා දමන්නට ඕනෑ විය. ඒ සදහා අපුරු උපක්‍රමයක් යෙදු ඔහු  ගෙම්බෙකු දවටනයක අසුරා ඇහැ ගැහෙන තැනක තබා සැගවී බලා සිටියේය. කාන්තාවද පැමිණ තම කාර්යයන් නිමවා යන අතර  ගෙම්බා සහිත දවටනය කම්බා පොට අස්සේ සගවා ගත්තේය. මෙය නිරීක්‍ෂණය කරමින් සිටි අප රසවතා රැල් බුරුල් හැර මෙසේ කීවා යයි ප්‍රවාදයට එක්ව ඇත.

“එම්බා සොදුර කල දෙයනම් බලු නොවටී - හම්බා කරන හැටි ඔහොමයි කාලේ හැටි
 කම්බා පොටට යට කරගෙන ගහපු හැටි -  ගෙම්බා ගෙදර ගෙන යන්නට හදපු හැටි”

මේවන් කටක් ඇතිව සිටි ඔහු  අයුක්තියට එරෙහිව නැගී සිටි චරිතයක්විය. ඔහුට  සතුරුවු පාර්ශවයක් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කරනු ලදුව මහ වනන්තරේ මල සිරුර දමා ගොස් තිබු ඇට සැකිල්ල පමනක් හමුවු බව එදා මගේ පුංචි මතකයට  එක්ව තිබුනේය.

මේදොරට වැඩීමේ උත්සවයට සහභාගී වෙමින් සිටින මට තවත් අතීත සිද්ධීන් මතකයට නැගුනත් මේ වියමනේ සම්බන්‍ධයට හානිවන හෙයින් ඊලග වියමන තවත් කතාවකට මුල පුරමින්  නතරවෙමි

notes of imaginary

Wednesday, October 05, 2016

කුණු කතාවක්.



කුණු කන්දක්.
දුම්රිය      මා ර්ගයේ , මහ පාරේ දෙපස  වාහනවලින් සහ පයින් යන එන අය විසි කරලා , තැන තැන දමා යන  ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, ඉඳුල්, මළ මුත්‍රා ආදිය කෙතරම් ප්‍රමාණයක් පාර දෙපස දකින්නට ලැබෙනව ඇත්ද ?  . අපේ ඇත්තෝ  වන්දනාවේ යනවා .විනෝද චාරිකා යනවා . වට පිට නොබලාම  සිද්ධස්ථාන, පොදු ස්ථාන කොයිතරම් අපිරිසිදු කරලා එනවද ?. මේ තැන්වලට විදේශිකයොත් යනවා. ඒ අය ලංකාව ලෝකෙන් උතුම් ම රට ලෙස දකින  ලංකාවේ ජනතාවගේ කුණු වැඩ දැක්කම අපි  ඉතා අපිරිසිදු මිනිසුන්  කොට්ඨාශයක් කියලා හිතනවා ඇති කියලා මට හිතෙනවා. ඉන්දියාවේ ( දඹදිව ) වන්දනාවේ ගිහින් එන ලාංකීකයෝ ඉන්දියාවේ කුණු සහ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන කතා කරන්නේ බොහොමත් පිළිකුලෙන් .  ඒ තරම් අපේ අපිරිසිදුකම නැති වුනත් අපේ කසල බැහැර කිරීමේ ක්‍රමවේදයත්  අක්‍රමවත් කියලා පිලිගන්න වෙනවා.

ලංකාවේ දේශපාලනයට මේ කුණු අදාල නැතිවුනත් ඊට වඩා කුණු ඕන තරම් දේශපාලනේ තියෙනවා. ඒත් බැහැර කරන කුණු ගැන ආකල්පමය වෙනසක් ඇති කරන්නවත් දේශපාලනේ   අදාළ කර ගත යුතු යි කියලා මට හිතෙනවා. සමාජ වෙනසක් ඇති කරන්න කයිවාරු හලන යහපාලන ඇත්තන්ට අපේ කුණු වලට වඩා පේන්නේ ප්‍රතිවාදීන්ගේ කුණු. ඒ හින්දනේ FCID වගේ ආයතන බිහිවෙලා තියෙන්නේ. ගොඩ ගැහෙන කදු ගැනත් , ඒ කුණු වලින් මුදල් හොයන්න පුළුවන් කියලවත් හිතන්න මේ ඇත්තන්ට ඉස්පාසුවක් නැහැ. එහෙම හිතෙනවා නම් පලාත් පාලන ආයතන, ප්‍රාදේශිය සභා මේ ආයෝජනයන් සදහා යහපත් ලෙස යොදවා ලන්න පුළුවන්.
  
අපි නාගරිකයෝ නෙමෙයි. අර්ධ නාගරිකයොත් නෙමෙයි. ප්‍රාදේශීය සබාවට අයත් ප්‍රදේශයේම   තියෙන  කුණු එකතු කරලා ගෙනත් අපේ නිවෙස් අසල බිමකට හලන්න අපේ ප්‍රාදේශීය සභාව පටන් ගත්ත. කුණු වත්තට ගවි ගානක් ඈතින් ඉන්න අපිට මැස්සොයි මදුරුවොයි ඕනවට වඩා ලැබුනා.කුණු කන්ද ගෙනත් හැළුවට කුණු කන්ද කළමනාකරණය කරන්න වත්කම නැති ප්‍රාදේශීය සභාව - පාරම්පරික විධියට කුණු බැහැර කරපු ජනතාවට නවීකරණය කරපු අපද්‍රව්‍ය බැහැර කරන්න ගිහින් නාගත්තා. කොහොම හරි නැති ලෙඩක් දා ගත්ත. අන්තිමට අයුතු ජනරාශියක් ඇති කරලා අපි කුණු කන්දදෙන් බේරුනත් ප්‍රදේශීය සභාව අදත් ජනශූන්‍ය ඉඩකඩ ඇති තැනක කුණු හලනවා. එකතු කරගෙන දගලනවා.මේ ගමක කුණු කතාවක්. නිසි කළමනාකරණයක් තියෙනවා නම් අපිට පොහොර කන්දක් දෙන්න පුළුවන් උනත් මේ ඇත්තෝ කුණු කන්දක් ගොඩ කරගෙන ලෙඩ රෝග කන්දක් රටට බෙදනවා.

කොළඹ කුණු  කියන්නේ මහම ගැටළුවක්.   කොළඹ නගර සීමාවේ  හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව කියවෙනවා  . මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ කොළඹ පරිසරයට මුදා හරිනවා. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද කොළම ගියාම මම දැකලා තියෙනවා. පුංචි ගමක අපිට හිරිහැර කරපු කුණු  ‍මේ  කුණු කඳු දැක්කම මොකක්ද කියලා හිතෙනවා. ටික කාලයක් අපිට වුන හිරිහැරය ගැන හිතෙන කොට ඒ අවට ජනයාට නිර්මානය කරලා දීලා තියෙන්නේ අපායක ජීවිතයක් කියලයි මට හිතුනේ.

මිනිස්සු හැම බිම් අගලෙම ජීවත් වෙනවා. තමන්ට තමන් නිපදවන කුනුම බැහැර කරන්න ඉඩ  කඩ නැහැ.බිමක් නැහැ.සුළු ප්‍රමානයෙන් කසල කළමනාකරනය කරගන්න ප්‍රතිචක්‍රීය කරගන්න දැනුම සහ උවමනාව නැහැ.   කිසිවෙකුත් තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට හින්නේ නැහැ.  තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ තැනකට ගෙන ගොස් දැමිය යුතු ය.  ඒ වෙන කොහේවත් තැන්වල ද වෙනත්  මිනිස්සු ජීවත් වෙනවා. ඔවුන්ට අනුන්ගේ කුණු සමග ජීවත් වීමට උවමනාවක් ඇතිවිය හැකිද ? .  එහෙම හිතන්නේ නැහැ.

කසල කළමනාකරණය මෙතරම් ගැටලුවක් වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු නො කිරීමයි. එසේම, ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමක්  නැහැ. ඒ වෙනුවෙන් රජය ආයෝජනය කරන්නේත් නැහැ. එහෙම ආයෝජනය කරන්න තියෙනවා නම් මේ තරම් බදු ගහලා අපි සූරන එකක් නැහැනේ.
කසල යනු මුදල් ප්‍රභවයක් කියලා සැලසුම් හදන විශේෂඥයෝ හිතලා නැහැ . එහි ඉන්ධන, පොහොර හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තවත් බොහෝ ද්‍රව්‍ය තියෙනවා.කෘතිම  කෘෂි පොහොර වෙනුවට හොද ආදේශකයක් මේ කුණු කදු වලින් නිර්මානය කරගන්න අපේ අයට බුද්ධිය නැහැ.   කසල මැනැවින් කළමනාකරණය කර ගන්නා ලෝකයේ දියුණු රටවල් සමග සන්සන්දනය කරලා බලපුවහම   ලංකාවේ ඒක පුද්ගල කසල ජනනය එතරම් විශාල නැහැ . 

 වගකිව යුතු පුරවැසියන්ගෙන් තොරව දියුණු සමාජයක් බිහි කළ නො හැකි යි.  පුරවැසි වගකීම මෙවැනි ප්‍රශ්නවල සිට ම ගොඩනැගිය යුතු යි.  කසල කළමනාකරණය යනු සෑම පුද්ගලයකු ම සම්බන්ධ විය යුතු පොදු කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප පෙර පාසල් අධ්‍යාපනයේ සිට ගොඩනැගිය යුතුයි.

 




notes of imaginary

Saturday, June 18, 2016

ජරමරයක්.


 මහ  රෑ මගේ ජංගම දුර කතනය මට කරදර කරන්න පටන් ගෙන තිබේ. අනිත් කොනෙහි වසන්තය.
 ඇයි වසන්ත ?
සර් ! අර හවස කාමරේට ආපු කපල්  එක ......
ඔව් ,  වසන්ත
ඒ නෝනාගේ තොල පුපුරලා ලේ  ගලනවා.
වැටිලාද ?
අයිස් ටිකක් දෙනවා ලේ ගලන එක නතර වෙයි.
මම නිදිමතේ ඔරලෝසුව දෙස බලමි .වෙලාව රාත්‍රී එකයි තිහ පසුවෙමින් තිබේ.මේ මහ රෑ රොහල් යන්නද ? පොලිසියට කෝල් කරනවද ? .යන සිතිවිල්ලට මාරුවෙමි.
වසන්ත ., ගොඩක් අමාරුද ?.
ඔව් සර්. කාමරේ පුරාවට ලේ . රෙදි පෙරදි ලේ වලින් තෙමිලා.
මොකද ? මහත්තයා කියන්නේ ?
තරහෙන් පිපිරි පිපිරී එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා.
ඇයි ? ප්‍රථමාධාරයකටවත් මැදිහත් වෙන්නේ නැද්ද ?
නෑ සර් ........මැරුනත් කමක් නැතිළු.
ඉතින් වසන්ත ............ඔයා මහ රෑ ඒ නෝනා අරගෙන රෝහලට යන්නද හදන්නේ?
බැරෑරුම් කරුනක් වුනත් වසන්තට සැහැල්ලු කතාවක් කිව්වා.
සර්ට විහිළු. සොලියුෂන් එකක් දෙන්න .
නැත්නම් මම අමාරුවේ.
මම එන්නද ?. මේ මහ රෑ නිවසින් පිටවීම මහත්ම අපහසු වැඩක්වුවද මා  මැදිහත් විය යුතුය. මගේ ප්‍රධාන ආරක්‍ෂිකාවගේ අවසරයෙන් මීටර් හයසියයක පමණ දුර මහ රෑ වීරයෙකු මෙන් යන අතර   මා කුමන විසදුමකට එලබිය යුතුදැයි සිතන්නට විමි. අනන්‍යතාවය පමනක් තහවුරු කර ගන්නා පිලිගැණිමේ කවුන්ටරයේ කටයුතු කරන්නා හට විවාහ සහතිකයත් මින් පසු පරීක්‍ෂා කර  නවාතැන් පහසුකම් සැපයීමට උපදෙස් දෙන මෙන් මගේ හිත බලකලත් මාසේ අන්තිමට එකතු වන පිරිවැය කන්දරාව හමුවේ නිරුත්තර වීමට සිදුවිය.
මා  දුටු විට වසන්තගේ මුහුණට වසන්තය උදාවිය.
මොකක්ද ? සර් කරන්නේ ?
නෝනා සමග කතාවට නොගොස් මම මහත්තයා ගෙන් උත්තර සොයන්න තීරණය කලෙමි.
මා දුටු විට ගිණි කන්දක් මෙන් පිපිරෙන මහත්තයාගේ මුහුණට  ගලන ලාවා ගග මිදුනාක්  මෙන් ගල් වන අන්දම නිරීක්‍ෂණය කරමින් බැරෑරුම් ලෙස ප්‍රශ්ණයට  පිවිසියෙමි.
මොකද ? මේ රෑ අරගලේ ?.
නෑ අන්කල් මේ පට්ට ....................... මාව රැවට්ටුවා.
මම පුතාගේ කතාව අහන්නම්............. මේ දුවට මොනවද කරන්න ඕන ප්‍රතිකාර.දුරින් බිත්ති කණුවකට මුවාවී ලේ ගලන තඩ ස්සිවු මුහුණුන් ඉකි ගසනා   යුවතිය විමසු මම වසන්ත සහ කාර්ය මණ්ඩලයම මේ මහ රෑ කරන්න සිදුවු අමතර රාජකාරිය පිලිබද කණගාටුව පල කලා. නැතිත්නම් හෙට හිරු නැගිලත් කාර්ය මණ්ඩලය අවදි කරවා ගන්න අසීරු වෙයි කියලා කල්පනාවක් ඇතිවුනා.
ප්‍රථමාධාර පෙට්ටියෙන් සුළු තුවාල සදහා ප්‍රතිකාර කර ගන්නට සලස්වා. වහා  වෛද්‍ය ප්‍රතිකාර  ගැණිමට  ලගම ඇති රෝහලේ වෛද්‍ය වරයා ගේ නින්ද   නැති කලා.
හෙටට උත්තර දෙන්න වෙයි කියන සිතිවිල්ලෙන් ආගන්තුකයන්ගේ පොතේ නිවරදි සටහන් ඇතුලත්ව ඇත්දැයි පරීක්‍ෂාවෙන් නිසි පරිදි බිල්පත පියවා ගෙන ආදරණිය පුත්‍රයා කාමරයෙන් පිටමන් කරන්න වසන්තට උපදෙස් දුන් මම  මගේ ආරක්‍ෂිකාවගේ දුර කතනයට ඇහුම් කන් දුන්නා
ගෙදර එන්නේ නැද්ද ?
මේ එනවා............
අවුරුදු හතලිහයක් නිය පිටින් සුරන්නේ නැතිව මාව ආරක්‍ෂා කරපු මනුස්ස දුවට සමාන කරන්න පුළුවන්ද මේ දූ පුතුන්.
මම යලිත් නිවසට ආවා.notes of imaginary

Tuesday, June 14, 2016

පුංචි පෙම් යුවලක් .




අහස හැමදාමත් දොස් අහනවා. වැස්සත් වැරදියි පෑව්වත් වැරදියි.මධ්‍යම කදුකරේ බස්නාහිර බෑවුමේ වාසය කරන අපිට මද සුලගත් එක්ක දීප්තිමත්ව ඉර පායනවා.
මගේ කල්පනා ලෝකය බිද වැටුනේ  පුංචි පෙම් යුවලක්  දැකලා.
සතියේ දවස් ගැන හිතලා බලන විට අද සෙනසුරාදා .
බිද වැටුන මගේ කල්පනා ලෝකය  පියවි ලෝකය හා යා වෙන විට සති අන්ත අතිරේක පන්ති තියෙන දවසක් නේද කියලා අවබෝධවුනා.
ආසන්න පොලිස් මුලස්ථානය මාස දෙක තුනකට වරක්වත් සංචාරක ව්‍යාපාරයේ  මතුවෙන ගැටළු ගැන කළමනාකරුවන්ගේ සහ හිමිකරුවන් සමග  සාකච්ඡා වෙනවා .සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින බොහෝම කළමනාකරුවන් , ව්‍යාපාරිකයින් හට ගැටළු ඇතිකරන්නේ දේශීය සංචාරකයින්. ව්‍යාපාරිකයෝ කවුරුත් ව්‍යාපාර වල යෙදෙන්නේ ලාභ අපේක්‍ෂා වෙන්. එහෙත් ලාබ ලබන ගමන් ව්‍යාපාරයේ  වැදගත් කම ආරක්‍ෂා කරගන්න උත්සහා දරන ව්‍යාපාරිකයොත් ඉන්නවා. පුද්ගල වැදගත් කමත් ඒත් එක්කම ආරක්‍ෂා වෙනවා.
ලාබම අපේක්‍ෂාවෙන් මෙම ව්‍යාපාරයේ යෙදී සිටින්නන් සිටින බවත් අපි අමතක කරන්න හොද නැහැ.ඉතාමත් අඩු මිලට පැයට  දෙකට නේවාසික පහසුකම් සපයන ආයතනත් දැන් ග්‍රාමීය පෙදෙස් වලට පවා  පැතිරිලා.සමහර ටියුෂන් මාස්ටර්ලා ටියුෂන් කඩ පවත්වා  ගෙන යන ගමන් නේවාසික පහසුකම් සලස්වන්න විවිධ නම් වලින්  rest inn , restureant නුත් පටන් අරන් “ මම උගන්නම උපන් අයෙක්මි “ කියලා රටට ම උගනනපු ගුරුන්නාන්සේලා හිටපු රටේ  මේ ඇත්තෝ ටියුෂන් කඩ වගේම ඊට ගැලපෙන මල්ශාලාත්  කාලේකදී පටන් ගනී.  ටියුෂන්  එකේදීම අහවල් Hotel එකේ තරගකාරී මිළකට කාමරයක් ගන්න පුළුවන් කියලා පුංචි ප්‍රොමෝෂන් එකක් දුන්නම ව්‍යපාරේ න් ගොඩ යන්න පුළුවන්.
පොලිසිය ටියුසන් මාස්ටර්ලා ගා ගත්ත හින්දා පුංචි පෙම් යුවල අමතක වුනා.
Reception ගේ කවුන්ටරයට යාන්තම් උස ඇති මේ යුවතියගේ හැඩ රුව දැක්කම නීතිය, මගේ යුතුකම මට සිහිපත් වුනා. Intercom එකෙන් Reception  එක සම්බන්ධ වෙලා  දෙපලට ආසන පනවලා ජාතික හැදුනුම් පත් දෙක ගෙන්වා ගත්තා.
යන්තම් දහසය වත් ඉක්මවා ගන්න බැරි යුවතියකුත්  දෙවිසි හැවිරිදි ගැටයෙකුත් ඇවිත් තියෙන්නේ නවාතැන් සදහා කාමරයක් සොයා ගෙන.
කොණ්ඩේ සුදු වුනත්  අවවාද අණුශාසනා කල නොහැකි බව මට දැණුනේ මේ තරම් වික්‍රමාන්විතයක් කළ හැකි යුවලක් “ චමින්දගේ වැඩක් බලා ගෙන ඉන්න “ යයි පෙරලා අනුශාසනාවක් මට කරාවියැයි     දැනුන නිසා වෙන් . Reception අතම ඉතියක් ලෙසින්  “බාලවයස්කාර යනට නවාතැන් පහසුකම් සැලස්විය නොහැක “යයි පණවිඩයක් යවමින් මා නිදහස් වුවත් බාලවයස්කාරයනගේ හැසිරීම් රටාව ගැන මගේ හිතේ ඇදුනේ බියකරු සිතුවමක්.
මීට දශක පහකට හයකට පෙරවු අපේ තරුන කාලය    සිහිපත් වුනා. එදා බියෙන් හා සැකයෙන් ලියු පෙම් පතකට සීමාවු අපේ  ප්‍රේම කතා අද වන විට කොයිතරම් නිදහසේ  දුර ගොස් ඇත්දැයි  හිතන්නට සීමා මායිම් නැහැ.
දෙමව්පියන් අතිරේක පන්ති යවමින් අනාගතය ගොඩ නගා දෙන්න දරන උත්සහාය මෙවැනි පිරිස් යොමු වෙන්නේ  අකටයුතු කම් වලට නම්  අධ්‍යාපනයෙන් ලබා ගත යුතු  අනාගතය ඔවුන්ට  උරුමවේයැයි හිතන්නට බැහැ. 


notes of imaginary

Sunday, June 12, 2016

ජෝන් බාස්ලා .....



වහා ගිණි ගන්නා සුළුපරිසරයක් වුනත් මම ඉන්නෙ   කතා උල්පතක. එක එක මාදිලියේ ඇත්තෝ මධු විතට පදම් වෙන කොට කියන කතා අපුරුයි. පසුගිය දවසක හතර පස් දෙනෙක්ගේ සංවාදයකින් මතුවුන වර්තමාන දේශපාලන  සංවාදයකට ඇහුම් කන් දෙන්න අවස්ථාව ලැබුනා. මේ සංවාදයේ ඉන්න අය මම චරිත වශයෙන් හදුනන්නේ නැහැ. මේසේ වටේ ඔරලෝසුව කැරකෙන පැත්තට අංක එක දෙක තුන කියලා හදුන්වාගමු.
ස්ටුවර්ට් කෙනෙක් වුනානම් මේ කතා එහ එහ වටේ කැරකෙන්න පුළුවන් කියලා කල්පනා වුනත් මම එතනින් එහා නිසා ඇහුනු කතා ටික ලියන්නම්.

වැඩේ ජෝන් බාස්ට ගියොත් ඉවරම තමයි කියලයි කවුරුත් කියන්නේ. බයිසිකල් කටුව විකුනලා කාර් පොඩ්ඩක් ගන්න හිතා ඉන්න අදහසත්.......... ඕන් ජෝන් බාස්ට ගියා .!

  විතරක් යැ  සිමෙන්ති බෑග් එකටත් රුපියල් හැටක් වැඩියිළු.

ආ  ඒ .................. අනවශ්‍ය අය ගෙවල් හදන්න පටන් අරන්. නිවාස තදබදයක් නිසා පරිසරය දූෂණය වෙනවා කියලයි මම හිතන්නේ.

වැට් 15% දක්වා ඉහල ගියාම 4% කුයි, ජාතිය ගොඩ ගන්න 2%කුයි එකතු වුනාම 6%කින් භාණ්ඩ සහ සේවා මිල ඉහල යනවා.

ඒ මදිවට මේගොල්ලෝ 10% ක සේවා ගාස්තුවකුත් ගන්නවා ස්ටුවර්ට් ලමයට චෝදනාවක්.
.කොස්ගම හමුදා කදවුරේ ආමරියත් පිපුරුනා .

හොදම විශ්ලේශකයා ජෝන් බාස්. වුනත් කෝකටත් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද සිහිපත් කරන අධ්‍යාපන අමාත්‍යතුමා  වගකීම පවරලා තියෙන්නේ මහින්දටයි ගෝඨාටයි.

ජෝන් බාස්ලා දෙපිලේම ඉන්නවා. යන එන මන් නැතිවේගන යන මේ වයසක ඇත්තන්ගේ මොලේ අලකලංචි වේගන යනවා කියලයි මට හිතෙන්නේ.

 තව ජෝන් බාස්  කෙනෙක් ගෝඨාභය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජ්‍ය නායකයෙක් කරන්න හදනවා.
එය මොනවත් සිද්ධ වෙන්නේ ටැමිල් ඩයස්පෝරාවට ඕන හැටියට.

මහින්ද එලෙව්වෙත් ඒ ගොල්ලෝ නේ.

හරියට කාලවකවානු මතක නැතිවුනත් රාජපක්‍ෂ පාලන සමයේ අවසන් කොටසේදී  රාජපක්‍ෂ පාලනය පිලිබදව අප්‍රසාදට පත් වෙන කරුනු කාරනා රට පුරා වැපුරුනා.දූෂණය හොරකම මුලික තේමාව කරගත්ත මේ මත වැපිරිම ඉතාම සාර්ථක ලෙස රාජපක්‍ෂ පාලනය අවසන් කරන්න හේතු වුනා

කොළඔ - බදුල්ල මහාමාර්ගයේ. තාමත් නිම නැති අධිබල විදුලි රැහැන් පද්ධතියක් සංවරධණය වෙමින් පවතිනවා  මේ විදුලි රැහැන් පද්ධතිය යන්නේ රාජපක්‍ෂවරුන්ගේ අක්කර පන්සීයයකින් යුතු හෝටල් සංකීර්ණයකට කියලයි එදා කිව්වේ.

ඔය තාමත් ඒක හදන්නේ ?

 අවුරුදු දෙකකට පසුවත් අඛන්ඩව ඒ සංවර්ධණ ව්‍යාපෘති තාමත් ක්‍රියාත්මක වෙනවා  . මට හිතෙන්නේ  හෝටල් සංකීර්ණය මේ ආණ්ඩුවේ කාට හරි විකුණන්න ඇති කියලා

කාලයක් එකමදේක නිරත වෙලා ඉන්න කොට ඇතිවන්නේ නීරස අත්දැකීම්. ඕනම දෙයක් අළුත් වෙන්න ඕනි. රටක පාලනයක් වුනත් එහෙමයි. නැත්නම් වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් දකින්නෙත් නැහැ.
ආශාවට මට පුළුවන් කියලා හිතාගත්තත්  බදා ගත්තම තමයි රගේ තේරෙන්නේ.බැරි දේවල් කරට අරන් රටක් අපහසුවට පත් කරන එක ශාප වදින පාපයක්

.අපිට ජාතික ප්‍රතිපත්තියක් කියලා එකක් නැහැනේ. එන එන එකාගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට රට කරවන්න යනවා. මහින්දගේ වැඩ නතර කරලා දැන් රණිල්ගේ වැඩ පටන් අරන්.රණිල්ටත් අවුරුදු දහයක් දොළහක් පාලනයේ ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්නම් කරපු තොවිලෙකුත් නැහැ නටාපු නැටුමකුත් නැතිව බෙරේ පළුවකුත් නැතිවේවි.

දැනටමත් බෙරේ පළු ගැලවෙන විත්තිය විග්නේෂ්වරම්ලා ගේ නැගණහිර මුස්ලිම් වරුන්ගේ සද්ද වලින් අදුරගන්න පුළුවන්. මුස්ලිම්වරුන්ට රටවල් තියෙනවා. විග්නේෂ්වරම්ලට ත් රටවල් තියෙනවා.  සිංහල කියන සුළු ජාතියට තියෙන්නේ දකුණ විතරයි
.
මේ කතාවේ  ජාතිවාදී වර්ගවාදී  වුනත්  පුංචි ඇත්තකුත් තියෙනවා.

හැමදේම විකෘතියක්. අපි අමතකවුනා වගේ හිටියත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවුනේ ශ්‍රිලනිපයට එරෙහි ජනබලයකින්. එතුමාගේ කැමත්ත ඇතිවෙලා තියෙන්නේ එජාප ප්‍රධාන කොට ගත් ශ්‍රිලනිපයට එරෙහිවු බලවේග විසින් ඇති කරන ලද නිර්මාණයකින්. මේ ශ්‍රිලනිපයට එරෙහි බලවේග පාර්ලිමේන්තු මැතිවරනයේදී හිටගත්තේ ජනාධිපතිවරයා සමග නෙමෙයි. මැතිවරණයෙන් පසු ශ්‍රිලනිපයේ පිරිසක් සහ ජන බලයෙන් ප්‍රතික්‍ෂෙපිත පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගෙන පිලක් හදා ගෙන ආණ්ඩුවට පූට්ටු කරගෙන පවත්වා ගෙන යන මේ ආණ්ඩුවේ මහජන මතය නිරූපනය වෙන්නේ නැහැ.

මේක කොල්ලකාර පාලනයක්.

මිනිස්සු දිවා රෑ කරන ශාප වස්කවි කියනවාටත්   පොල් ගහනවාටත්  වඩා දරුනූ පල විපාක දෙනවා.කල දසාව නරක් වෙන කම් බලා ගෙන ඉදලා පව් පල දෙනවා.මහින්ද රාජපක්‍ෂ රජයට වගේම මේ ඇත්තන්ටත් ඒක නියතයක්.

 කොල්ලකාර පාලනය වුනත් යහ ගුණ පිරියෙන් පවත්වා ගෙන ගියොත් අඩු තරමින් මරනෙන් පසුව වත් යහපත් භවයක උත්පත්තිය ලැබෙන්න හේතු වාසනා වේවි.

සංවාදය දිගින් දිගට ඇදිලා යනවා. මුලින් කීවා වගේ වහා ගිණි ගන්නා පරිසරයක වුනත් සංවර සීලී ඇත්තන්ගේ ඉවසීම නම් අපූරුයි කියලා  මට හිතුනේ සමහරක් දවසක සාමහමුදා මෙවන් පිරිස් අතරට යොමු කරන්න සිදුවන අවස්ථාත් ඇතිවන නිසා.





notes of imaginary

Monday, May 30, 2016

සර් ! පුංචි මගුලක්.



ඉස්සර වගේ දැන් ලියන්නේ නැත්තේ ඇයි ?.
මගෙන් ප්‍රශ්නයක් .අකමැතිවුනත් උත්තර බදින්න එපාය.
කතා උල්පතක දවස ගෙවෙන මට දවස කෙළවර කර ගන්නේ මනසට වඩා  ගතට විවේකයක් බලාපොරොත්තුවෙන්.  මගේ වයසත් එක්ක අබලන් වන සිරුර යලි ප්‍රකෘතිමත් වෙන්න  විවේකය ඕනා වන නිසා  මම අත පය දිගහැර වැතිරෙනවා. දකින සිහිනත් සමග යලි හිරු එළිය දකින කොට  දවස පටන් අරන් කියලා වාර්තා වෙනවා . කාලයක් මට ලියන්න විවේක තිබුනා. මම පුංචි එකත් එක්ක තුන් අවුරුද්දක් සතුටින් අන් සියළු කටයුතු අත්හැර සෙල්ලම් කර කර හිටියා. නියම විශ්‍රාමිකයෙක් වගේ. දන්නෙම නැතිව ඒ විශ්‍රාම ජීවිතය ගිහින් හිර වුනා යලිත් පුරුදු තැනක.
ගත වුන සති කිහිපය මම දුටුවේ විවාහ මංගල්‍ය රැසක්. සමහර දින වල පස්වරු පහට අවසන් වන උත්සව ශාලාව නැවත හැඩ වෙන්නේ පස්වරු හතට පටන් ගන්න හෝම් කමින් උත්සවයක් සදහා සුදානම් වෙමින් .
කා බී නටන ඥාති මිත්‍රාදීන් දෙස විසිතුරු සෙටි බෑක් එක විරාජමාන වෙමින් බලා සිටින මනාල යුවලකගේ දුක් ගින්දර මේ නැටුම් නටන ඥාති මිත්‍රා හිතවත් අයගේ මනසේ සටහන් වෙනවද කියලා මට හිතා ගන්නවත් බැහැ. 
පසු ගිය වසරේ ජුලි මාසේ ඉදන් 2016 වසරේ වෙඩින් ප්‍රොගෑම් එක සටහන් වන  උත්සව ශාලා පොත්පත්වල  සැප්තැම්බර් මාසේ දක්වා සටහන් තියෙනවා. මාස කීයක ඉදන්ද විවාහ මංගල්‍යකට ලක ලෑස්ති වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් ඒ කෙන්.
මා පසුගිය වසරේ දකින ලද උත්සව වලින් දෙමව්පියන් මැදිහත්ව උත්සව සංවිධාන කරන ලද ඒවා දැක්කේ ඉතා සුළු ප්‍රමානයයි.  වැඩි ප්‍රමානයක් මනාල මනාලියන් විසින් ආයෝජනය කරන ලද උත්සව . උත්සව ඇණවුම් කරන අය  ගැටළු කාර අත්දැකීම් වලට මුහුන දෙන්නේ උත්සව ශාලාවේ බිල ගෙවන්න ගියාම. නටා ප්‍රීතියෙන් සුබ පතා විසිර යන ඥාති මිත්‍රාදීන් බිල ගෙවන කවුන්ටරය ලග  නැහැ. බොහෝ දවසක බිල ගෙවන්න ගෙන එන මුදල් ගොනු කර  ඇති    අක්‍රමවත්බව දුටුවාම හිතාගන්න පුළුවන් ඒ මුදල් ගෙදරින්  හෝ  බැංකුවකින් නොගෙනා  මුදල් නොවන බව.
මෙවැනි අවිනිශ්චිත දවසක් ගෙවන සංවිධායක යුවලක් යාන්තම් සැනසුමක් ලබන්නේ උත්සව ශාලාවෙන් එළියට බැස්සාම විතරක් කියලා මට හිතුන දවස් බොහොමයි.
මේ අතර පසුගිය නැකත් දිනයක සාමාන්‍ය ඇදුමින් සැරසුන යුවලක් සමග භෝජනාගාරයට පැමිණි විස්සක් පමණ පිරිසකගේ  දිවා ආහාර ඇණවුමක් රැගෙන ආ සේවක මහත්තෙක්  “සර් පුංචි මගුලක්!  ”කියන උත්තරය ලැබුනම මට හිතුනේ ඥාණවන්තොයෝත් අප අතර සිටිනවා කියන සිතිවිල්ලක්.


notes of imaginary