Saturday, November 30, 2024

ජීවිතය……..







ජීවිතය……..

මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.

එහෙම හිතුවත් තාත්තා වෙන්න මට බැහැ.

ගම්පෙරලියේ ජිනදාස මලය රටට යනවා.ඒ කියන්නේ වියලි කලාපයට.

ජිනදාස අසාර්ථක වෙනවා.

පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.

ගම්පෙරලිය සිදුවන කාලේ  දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.

දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා. 

අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.

දිවයිනේ හැම ගම්පියසකම මාතර  වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා.

මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.

මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා.

වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.

අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා

මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.

අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා.

දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.

තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.

ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .

හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්..පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.

එතන තමයි තාත්තගේ ඇරඹුම.

අපේ උපත.

තාත්තාට අම්මා මුණ ගැහුනා.

ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා

අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.

අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.

අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා.

සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..

තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ.

තාත්තා විශිෂ්ඨයෙක්.

A day in the life

Friday, November 29, 2024

දානයක් සංඝික කිරීමට කොපමණ භික්ෂූන් වහන්සේලා සිටිය යුතු ද?








'දානයක් සංඝික කිරීමට යටත් පිරිසෙයින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය’ යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේ ය. එය සංඝික කිරීමය යන්නෙහි තේරුම නො දැනීම නිසා ඇති කරගෙන තිබෙන වැරදි හැඟීමෙකි.
සංඝික කිරීම භික්ෂූන්ට අයිති වැඩක් නො වේ. දායකයකු ගේ දානයක් සංඝික කිරීම දායකයා ගේ වැඩකි. ආහාරපානාදි යම්කිසි වස්තුවක් සංඝික කළ හැක්කේ ඒ වස්තුවේ අයිතිකරු විසින් පමණෙකි. අනිකකුට එය නො කළ හැකි ය.
දාන සංඝික කිරීමේ දී “ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දෙම” යන වගන්තිය භික්ෂුවක් විසින් කියවන්නේ සංඝික කිරීමේ දී කියයුතු ඒ වැකිය දායකයන් කියන්නට නො දන්නා නිසා ය. සංඝික වන්නේ භික්ෂුව විසින් ඒ වගන්තිය කියවන නිසා නොව දායකයා විසින් ඒ වස්තුව සංඝයාහට පූජා කරන නිසා ය.
"සංඝික” යන වචනයේ තේරුම, සංඝයා අයත් දෙයය යනුයි. “සංඝයාට අයිති දෙය සංඝිකය” යි කියනු ලැබේ. යම් කිසිවකු විසින් තමාට අයිති වස්තුවක් ඒ වස්තුවෙහි තමාට ඇති අයිතිය අතහැර එහි අයිතිය සංඝයාට පිරිනමනවා නම් එයට සංඝික කිරීමය යි කියනු ලැබේ. සංඝික කරන තැනැත්තා විසින් සංඝයා හැඳින එය කළ යුතු ය. විනය කර්ම කිරීමේ දී සතර නමක් වූ හෝ සතර නමකට වැඩි උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා වශයෙන් සලකනු ලැබේ. වස්තුවක් සංඝික කිරීමේ දී සැලකිය යුත්තේ සංඝ රත්නය ය.
සංඝරත්නය යි කියනුයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන් වහන්සේ සමග වැඩහුන් සැරියුත් මුගලන් ආදි මහ රහතන් වහන්සේලා ගේ පටන් අද දක්වා යම් පමණ කුල පුත්යන් මේ ශාසනයෙහි පැවිද්ද ලැබුවා නම් ඒ සැම දෙනා වහන්සේ ය. සාමණේරයෝ ද සංඝරත්නයට ඇතුළත් ය. සංඝික වස්තුවක් බෙදීමේ දී සාමණේරයන්ටත් කොටස දිය යුතු බව විනයෙහි නියම කර ඇත්තේ ඒ නිසා ය. සාමණේරයන් සංඝරත්නයට ඇතුළු නො වන්නේ නම් තථාගතයන් වහන්සේ ඔවුනටත් කොටස දීමට නියම නො කරන්නාහ.
යම්කිසි වස්තුවක් සංඝික කිරීමේ දී ඒ වස්තුව රැස්ව ඉන්නා සංඝයාට දෙමිය කියා හෝ අසවල් විහාරයේ සංඝයාට දෙමිය කියා හෝ අසවල් ගමේ අසවල් පළාතේ සංඝයාට දෙමිය කියා හෝ සංඝයා පරිච්ඡේද කොට ද සංඝික කළ හැකි ය. උසස් සංඝිකය වන්නේ එසේ පිරිසිඳීමක් නො කොට, ලෝකයෙහි ඇතිතාක් සංඝයා හට හිමිවන ලෙස දෙන අපරිච්ඡින්නක සංඝිකය ය. බොහෝ අනුසස් ඇති බව කියන්නේ අපරිච්ඡින්නක මහා සංඝ රත්නයට දීමෙන් ය. අපරිච්ඡින්නක මහා සංඝ රත්නයට දෙන දානය සැරියුත් මුගලන් ආදි ආර්ය්ය සංඝයා සහිත ලෝකයෙහි ඇතිතාක් සංඝයාට පැමිණෙන බැවින් එය මහත් කුශලයක් වන්නේ ය.
සංඝික කිරීමය, සංඝ රත්නයට පූජා කිරීමය යන මේ දෙක ම එක බව විශේෂයෙන් සලකා ගත යුතු ය. මෙයත් සමහරුන් අවුල් කර ගන්නා කරුණෙකි. දාන වස්තුවක් සංඝික කිරීම ඒ වස්තුවෙහි අයිතිකරුට එක් භික්ෂුවක්වත් නැති තැනක දී වුව ද කළ හැකි ය. එක් භික්ෂුවක් ඉදිරිපට දී ද කළ හැකි ය. භික්ෂූන් දෙනමක් තුන් නමක් ඉදිරියේ දී ද කළ හැකි ය. බොහෝ භික්ෂූන් ඉදිරියේ දී ද කළ හැකි ය.
යම්කිසි වස්තුවක් සංඝාරාමයකට ගෙන ගොස් “මේ වස්තුව සංඝරත්නයට පුදමි. සංඝරත්නයට වේවාය” කියා එහි තැබුවහොත් එහි එක භික්ෂුවකුදු ඒ වේලාවෙහි නො සිටියත් එතැන් පටන් ඒ වස්තුව සංඝික වස්තුවක් වේ. සංඝික වීමට ඇති එක ම කාරණය අයිතිකරු විසින් ඔහුගේ අයිතිය සංඝයාට පිරිනැමීම ම ය.
“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එකො වස්සං වසි. තත්ථ මනුස්සා සංඝස්ස දෙමාති චීවරානි අදංසු - පෙ - තෙන ඛො පන සමයෙන තයො භික්ෂු රාජගහෙ වස්සං වසන්ති. තත්ථ මනුස්සා සංඝස්ස දෙමාති චීවරානි දෙන්ති”
මහාවග්ගපාලියේ චීවරක්ඛන්ධකයෙහි එක් භික්ෂුවක් විසූ තැනත් භික්ෂූන් තුන් නමක් විසූ තැනත් සංඝයාහට සංඝික වශයෙන් සිවුරු දුන් බව දක්වා තිබේ. තථාගතයන් වහන්සේ ඒවා සංඝික නො වේය යි නො වදාළ සේක. උන් වහන්සේ ඒ එක් භික්ෂුවක් ඉදිරිපිට දී ද භික්ෂූන් තුන් නමක් ඉදිරිපිට දී ද සඟ සතුකොට දුන් සිවුරු ගැන ඒ භික්ෂූන් විසින් පිළිපැදිය යුතු ආකාරය පමණක් වදාළ සේක. එක භික්ෂුවක් දෙනමක් තුන් නමක් ඇති තැන්වල දී සංඝික කළ සිවුරු සංඝික වන්නාක් මෙන් ආහාරපානාදි කිනම් දෙයක් වුවත් සංඝික කළහොත් සංඝික වන බව කිය යුතු ය. එහි සැක කළ යුත්තක් නැත.
දානයක් හෝ අන්කිසි වස්තුවක් හෝ දායකයකු විසින් අසවල් විහාරයේ සංඝයාට ය, අසවල් පළාතේ සංඝයාට ය, අසවල් නිකායේ සංඝයාට ය යනාදීන් සංඝ පරිච්ඡේදයක් කොට දෙන්නට යෙදුනහොත් ඒ දෙය දායකයා ගේ අදහස පරිදි ඒ සංඝයාට පමණක් අයිති ය. එය අන්ය භික්ෂූන්ට අයිති නැත. දානයක් හෝ අන් දෙයක් හෝ සංඝ පරිච්ඡේදයක් නො කොට “සංඝස්ස දෙම” කියා දුනහොත් ඒ දෙය ලෝකයේ වාසය කරන සියලු ම භික්ෂූන්ට වෙනසක් නැතිව අයිති ය.
ධර්ම විනිශ්චය
පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ
උපුටා ගැනිමකි
A day in the life

Thursday, November 28, 2024

කැප්පෙට්ටිපොල මහ දිසාව.







..කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි (වර්ෂ 1818) නොවැම්බර් මස 25 වනදා අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවාගෙන යන ලද්දෝ ය. කැප්පෙටිපොළගේ ඉල්ලීම සහ ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් උතුමාණන්ගේ අවසරය පරිදි සෝවර්ස් මහතා දළදා මාලිගාවේදී ඔහුට මුණගැසිණි.
භික්ෂූන් වහන්සේ අභිමුඛයෙහි, වැඩහිඳින මාලිගාවේ එළිපත්ත මත දණගසා ගත් නිලමේ තමා භික්ෂූන්ට කළ සේවය, විහාරවලට කළ පුදපූජා වැනි තම ජීවිත කාලය තුළ සිදු කරන ලද පරධාන පින්කම් ද, අනෙක් ධාර්මික කටයුතුද ද විස්තර කළේ ය.
ඊළඟට ඔහු ප්‍රාර්ථනා කළේ එනම් "ඊළඟ ආත්මභාවයේදී හිමාලය පර්වතයෙහි උපදිම්වා, කෙළවර අමා මහ නිවන් දකිම්වා" යන්නයි.
මෙයින් පසු භික්ෂූන් වහන්සේ ඔහු ඇමතූහ. උන්වහන්සේ ආවේග බහුල ස්වරයකින් හා ලීලාවකින් කැප්පෙටිපොළගේ පුණ්ය කිරයා මහත්ඵල මහානිශංසදායක යයි පවසා ආශංසනයකින් සිය දේශනය අවසන් කළහ.
එහි අවසාන වචන මෙසේ ය; "අහසට දැමූ ගල් කැටයක් නැවත පොළොවට පෙරළා එන්නේ යම් සේ ද, එසේම ඔබතුමා කළ පින් මහිමයෙන් ඔබතුමා මීළඟ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද ඉෂ්ට විපාක ලැබීම ඒකාන්ත ය". නිලමේ සහ භික්ෂූන් වහන්සේ අතර පැවැත්ම සානුකම්පිත හා උදාර විය.
මෙතෙක් දණ ඔබා සිටි නිලමේ නැඟිට සෝවර්ස් මහතා දෙසට හැරී "මගේ අවසන් පින්කමෙන් ලත් පිනෙන් කොටසක් ඔබට අනුමෝදන් කරවමි"යි කියා ඉණේ ඔතා සිටි තුප්පොට්ටිය ගලවා මාලිගාවට පූජා කොට, එය අපිරිසිදු වැරහැල්ලක් නමුත් "මා සන්තක එකම වස්තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නොවේ"යයි සරදම් සහගතව පැවසීය.
ඉනික්බිතිව ඔහු වධකස්ථානයට තමා හා කැටුව එන ලෙස සෝවර්ස් මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඒ ඉල්ලීම කාරුණික හා විනීත ලෙස පරතික්ෂේප කරන ලදී.... ඉන්පසු කැප්පෙටිපොළ ස්ථීර හා තැන්පත් ලෙස සෝවර්ස් මහතාට අතට අතදී සමුගත්තේ ය.
සිරකරුවෝ දළදා මාලිගාවට සැතපුමක් පමණ ඈතින් බෝගම්බර වැව අසල පිහිටි වධකස්ථානයට කැඳවාගෙන යන ලදී. මෙහිදී වතුර සපයන ලෙස සිරකරුවන් ඉල්ලා සිටින ලදුව එසේ කැරිණි. ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉඩදෙන ලෙස කැප්පෙටිපොළ ආයාචනය කළෙන් එයට අවස්ථාව සලසන ලදී. සිරකරුවෝ මුහුණ හා අත් දෝවනය කළහ.
මෙයනික්බිති කැප්පෙටිපොළ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් කොට බැඳ, කුඩා පඳුරක් ළඟ වාඩිවෙමින් පා ඇඟිලිවලින් අල්ලාගත්තේ ය. ඔහු ඉණේ රෙදිපට අතරින් කුඩා බණපොතක් ගෙන ගාථා කිහිපයක් කියවා එය එහි සිටි ස්වදේශික නිලධාරියකුට දෙමින් බදුල්ලේ සේවය කළ කාලයේදී තමන්ට දැක්වූ මිතරත්වය සහ කාරුණික බව පිළිබඳ කෘතඥ පූර්වක ලකුණක් වශයෙන් එය සෝවර්ස් මහතාට දෙන ලෙස කීය.
කැප්පෙටිපොළ නිලමේ පාලි ගාථා සජ්ඣායනය කරමින් සිටියදී වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටිපසට ගැසීය. ඒ මොහොතේදී "අරහං" යන වචනය ඔහුගේ මුවින් පිටවිය. දෙවැනි පහරින් පරාණය නිරුද්ධව මෘත කලේබරය වැටුණේ ය.
ඔහුගේ හිස කඳින් වෙන්කොට උඩරට සිරිතට අනුව ළය මත තබන ලදී....
ඉංග්රීසි පාලනයට එරෙහිව පැනනැඟුණු 'උඩරට මහ කැරැල්ල' සඳහා නායකත්වය ලබාදී, කැරැල්ල බිඳවැටීමෙන් පසුව අත්අඩංගුවට පත්ව යුද්ධාධිකරණය මගින් රාජද්රෝහී වීමේ වරදට මරණ දණ්ඩයට නියම කළ කැප්පෙටිපොළ මහදිසාවේගේ අවසන් දිනය පිළිබඳ මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙම සිදුවීම ඇසින් දුටු වෛද්ය හෙන්රි මාර්ෂල් විසිනි.
බ්රිතාන්ය යුද හමුදාවේ ශල්ය වෛද්යවරයකු ලෙස වර්ෂ 1809 සිට 1821 දක්වා ලංකාවේ සේවය කළ වෛද්ය හෙන්රි මාර්ෂල් රචනා කළ Ceylon: A General Description of the Island and Its Inhabitants කෘතිය පසුව ඇල්ලෙපොළ එච්.ඇම්. සෝමරත්න මහතා විසින් 'සිංහලේ' නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී. ඉහත කොටස එම කෘතියෙන් උපුටාගෙන තිබේ.
මව්බිමේ නිදහස වෙනුවෙන් මොනරවිල රාජපක්ෂ වික්රමසේකර බණ්ඩාරනායක මුදියන්සේ රාලහාමි හෙවත් මොනරවිල කැප්පෙටිපොළ මහදිසාවේ දිවි පුදා වසර 206ක් ගෙවෙන දිනයේ එකී කැපකිරීම පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කරමු.
ඡායාරූපය : වෛද්ය හෙන්රි මාර්ෂල් විසින් ස්කොට්ලන්තයට රැගෙන ගිය කැප්පෙටිපොළ මහදිසාවේගේ හිස් කබල වර්ෂ 1948 නැවත වරක් ලංකාවට රැගෙන ආ අවස්ථාවේ එය ප්රදර්ශනයට තබා තිබූ ආකාරය මෙම ඡායාරූපයෙන් දිස් වේ.
වම්පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ පවුලේ සිවුවැනි පරම්පරාවට අයත් උපාලි මොනරවිල කැප්පෙටිපොළ මහතා ය.
කැප්පෙටිපොල මහදිසාවේගේ හිස්කබල ඇති මංජුසාවට ඉහළින් තබා තිබෙන හතරැස් මුළු තොප්පිය එතුමා විසින් පැළඳි තොප්පියයි. එතුමාගේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.
එසේම හිස්කබල සහිත මංජුසාවට පසුබිමෙන් අඩක් පෙනෙන ධජය නම් කැප්පෙටිපොල පවුලේ ධජයයි. මෙම ධජය ද මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.

Hasitha Chamikara Gunasinghe

A day in the life

Tuesday, November 26, 2024

කැළණි රජ මහා විහාරය









කැළණි රජ මහා විහාරය නිතර කතා බහට ලක් වෙන්නේ දේශපාලන වේදිකාවේ හාස්‍යමත් සිද්ධියක් සිහිපත් කිරීමටය. හදිසියේ මතුවු නාගයෙක් පෑ ප්‍රාතිහාර්ය අවුරුදු ගණණාවක් ගෙවී ගියත් අදත් ජනතාවට මතකය.
නාගයෝ මනුෂ්‍ය ගෝත්‍රයක් බව අමතකය.
කැළණියේ රජකල මණිඅක්ඛිත නා රජුගේ ආරධණයෙන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමග ගෞතම බුදුන් වහන්සේ කැළණියට වැඩම කලේය. මණිඅක්ඛිත නා රජුට සහ පිරිසට ධර්ම දේශණා කලේය.
බුදුන්වහන්සේ වැඩ සිටි ආසනය නිදන් කොට මණි අක්ඛිත නා රජු කුඩා චෛත්‍යයක් ඉදිකර  සිහිවටනයක් පුජණිය ස්ථානයක් බවට කැළණි පුද බිම පත් කලේය.
ක්‍රි. පූර්ව තුන්වන සියවසේදී කැළණියේ රාජ්‍යත්වයට පත් යඨාලතිස්ස කුමාරයා විසින් මෙම චෛත්‍යය සැට රියනක් උස් කොට ප්‍රතිනිර්මාණය කලේය.
ක්‍රි.ව 1187 සිට 1196 දක්වා පොලොන්නරුවේ රජ කල නිශ්ශංකමල්ල රජු කැළනි විහාරය ප්‍රතිසංස්කරණය කළ බව පොලොන්නරුව ගල් පොත සෙල් ලිපියේ සදහන්ය.
ක්‍රි.ව 1213 දී ලංකාව ආක්‍රමණය කල කාලිංග මාඝ විසින් විහාරය , චෛත්‍යය කඩා විනාශ කර කොල්ල කෑවේය.
කාලිංඝ මාඝ ආක්‍රමණයෙන් රට මුදවා ගත් තුන්වන විජය බා රජු ක්‍රි.ව 1232 දී කැළණි වෙහෙර ප්‍රතිසංස්කරණය කර රන් කොතක් පැලදු බව වංශ කතාවල සදහන්ය.
ක්‍රි.ව 1505 දී පෘතුගීසීන් ක්‍රි.ව 1882 දී ලන්දේසීන් විසින්ද වරන් වර කැළණි විහාරය විනාශ කලද එම වකවානුතුල රජ කල සිංහල නරපතීන් කැළණි විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත.
කෝට්ටේ රාජ්‍යත්වයට පත් රජවරුන්ගේ භක්තියාදරයට පත් කැළණි විහාරයෙහි 1509 වසරේදී ධර්ම පරාක්‍රමබාහු රජු විසින් පිරිටුවන ලද සෙල් ලිපිය පෘතුගීසීන් විසින් කැබලි අටකට කඩා දැමු අතර නැවත ප්‍රතිසංස්කරණය කර විහාර භූමියේ තැන්පත් කර ඇත.විදේශීය ආක්‍රමණ නිසා නිහඩ භූමයක් බවට පත්වු කැළණි පුද බිම උඩරට රාජධාණියේ රාජ්‍යත්වයට පත්වු ( ක්‍රි.ව 1747 - 1782 ) කිර්තී ශ්‍රී රාජසිංහ සමයේ නැවතත් නවෝදයක් උදාවන්නේය.
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මාර්ගොපදේශයන් යටතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කැළණි රජ මහා විහාරය වැඩි දියුණු කල බව ක්‍රි.ව.1779 දී පිහිටුවන් ලද කැළණි විහාර සෙල් ලිපියේ සදහන්ය.
කැළණි රජ මහා විහාරයේ වර්තමාන පුනරුදය ඇරඹෙන්නේ ක්‍රි.ව 1888 වර්ෂයේදීය.
1888 වර්ෂයේ හෙලේනා විජයවර්ධණ ළමාතැනිය විසින් බුදු මැදුරු බිමෙහි ගල් ඇතිරීමෙන් සහ 1927 දී බව බුදු මැදුර සදහා මුල් ගල් තැබීමෙන් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වර්තමානයේ දකින කැළනි විහාරයේ සිත් පහන් කරන පරිසරයට දායක වී ඇත.


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon