ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-09-20

හෙළ ගැමියා ඩී. ආර්.


මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළු ඩී. ආර්. නානායක්කාර මහතාගේ මතකාවර්ජනයක් අදට යෙදෙන ඹහුගේ ජන්ම දිනයේදී ඹහු සිහිකිරීම වෙනුවෙන් මෙසේ ලියා තබමි.
(15 March 1915 – 4 January 1989)
දේශීය සිනමාව ආරම්භයේ පටන් සිංහල සිනමා වංශකථාවේ රන් අකුරින් ලියවුන නළු නිළි පිරිස බොහෝය. එවැනි නළු නිළියන් එදා විශේෂයෙන් හඳුන්වාදුන්නේ “තරු” යන අනර්ථ නාමයෙනි. මෙවන් තරු නාමයෙන් හඳුන්වා නොදුන්නත් සිංහල සිනමාවේ අතීතය ගැන කථා කිරීමේදී අමතක කළ නොහැකි ප්‍රවීණ සම්මානනීය නළුවෙකි ඩී. ආර්. නානායක්කාර යන නාමය. මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළුවන් අතලොස්ස අතරින් ඩී. ආර්. කැපීපෙනෙන්නෙ ගැමි ආරයේ සංකේතයක් වශයෙනි.
කලක් දක්ෂ සහ ජනප්‍රිය වේදිකා නාට්‍ය නළුවෙක් වූ ඩී ආර් නානායක්කාර මහතා පසුව වේදිකා නාට්‍ය අභිභවා සිංහල චිත්‍රපටය කලඑළිබැස තිබූ නිසා විමලවීරයන් ද චිත්‍රපටයක් නිර්මාණය කිරීමට පෙලඹිණ. මෙහිදී ඔහු විසින් ප්‍රථමයෙන් තෝරාගත්තේ ඔහු විසින්ම වේදිකාගත කරන ලද “අම්මා” කථාපුවත රැගත් වේදිකා නාට්‍යයි. සිංහල සිනමාවේ අම්මා චිත්‍රපටය මුලින්ම තිරගතවන්නේ 1949.08.19 වන දිනය. ඩී. ආර්. නානායක්කාර නම් තරුණ නළුවා රිදී තිරයට පැමිණෙන්නේ එදිනය. ඒ සරණපාල ලෙස රඟපාමිනි. මුලදිම සංගීතය ගැන තිබූ අවබෝධය නිසා ඔහුට රඟපාමින් ගීත දෙකක් ගායනය කිරීමට ද අවස්ථාව උදාවිය. මුල්ම රඟපෑමෙන් ගායකුවීමේ වාසනාව ද ඔහුට ලැබිණි.





ඩී. ආර්. ගේ කථා විලාසය හා වචන උච්චාරණයෙදී බොහෝදුරට ගැමිහුරුව ඇති බැව් පෙනීයයි. ඔහුට ලැබෙන සෑම චරිතයකම එම ලක්ෂණ මතුවන අවස්ථා විරල නොවේ. සෑම භූමිකාවකම අව්‍යාජත්වයත් ගැමිකමත් ඩී. ආර්. ගේ රංගනවේදයෙන් වෙන්කළ නොහැකි වනසේ බද්ධ වී තිබිණි. ඩී. ආර්. නානායක්කාර වූ කලී තමාට ආවේනිකවූ රංගන ශෛලියකින් හෙබි ජාත්‍යන්තර මට්ටම දක්වා විහිදුන කුසලතාවයෙන් පිරි නළුවෙකු වූයේය. ඩී. ආර්.ගේ රංගන ශෛලිය පිළිබඳව විමසා බැලීමේදී ඔහුගේ අඩුව වෙනත් කෙනකුට පිරවිය හැකි අඩුවක් නොවේ.

ඩී. ආර්. හට බොහෝමයක් සිය රංගනයට අවස්ථාව ලැබුණේ ගමේ ආරච්චිල, ගමේ බේබදු පියා, අනුන්ට උගුල් අටවන සටකපට චරිත, එසේ නැත්නම් ගමේ දුෂ්ටයා, එසේ නැත්නම් මුළු චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා තරයේ ඇදබැඳ ගන්නා හාස්‍ය චරිත රංගනයන් ය. මේ සෑම චරිතයක්ම ඩී. ආර්. නානායක්කාර රඟපාන්නේ ඔහුට ආවේනික වූ යම් අනන්‍යතාවක් පවත්වාගෙනය.
ඩී. ආර්ගේ සිනමා දශක කිහිපය පුරාම සිංහල සිනමාවට ආලෝක ධාරාවක් වන බව ඔහුගේ හැකියාවන්ගෙන් උපරිම ලෙස ප්‍රයෝජනය ගත් අධ්‍යක්ෂවරුන් දෙස බැලීමේදී පෙනීයයි. විශේෂයෙන්ම ඔහුව චිත්‍රපට සඳහා දායකකරගත් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සිනමාවේදියා ගැන සඳහන් කළ හැක. ඔහු නිර්මාණය කළ චිත්‍රපට රාශියක රඟපෑමට ඩී. ආර්. හට අවස්ථාව ලැබීම ඔහුගේ රංගන දිවියට වරෙක සම්මානයට පවා පාත්‍රවීමට අවස්ථාව උදාකරගත්හ.

ඔහු රඟපෑ දිගු සිංහල සිනමා වංශකථාවේ චිත්‍රපට අතරින් ඩී. ආර්. ගේ දක්ෂතාවන් දුටු චිත්‍රපට අතරට, රේඛාව (කපටි සූටියා), චණ්ඩියා (බේබදු පියා), පරසතුමල් (අමාරිස්), බිනරමලී ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඔහුගේ දක්ෂ හැකියාව ගැන එම චිත්‍රපටවලට ලබාදුන් සාධාරණය ගැන පමණක් කථා කළ හැක. ඒ ඔහුගේ රංගන දිවියේ මං සලකුණු බැවිනි. ඩී. ආර්. ගේ රංගන දිවියේ ස්වර්ණමය අවස්ථාව වන්නේ 1963.09.27 තිරගතවූ එල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ ‘සිකුරු තරුව’ චිත්‍රපටයේ ගම්මුලාදෑනියාගේ චරිතය වෙනුවෙන් ප්‍රථම සරසවි සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස ප්‍රථම සරසවි සම්මානය ලබාගැනීමය. මීට අමතරව දීපශිකා සම්මානයෙන් ද, පිදුම් ලැබීය. සිය රංගන ජීවිතයේදී ශ්‍රී ලාංකික සිනමාව පමණක් නොව විදෙස් සිනමාවේද නිර්මාණකරුවන් අතට ඔහු පත්වීම ශ්‍රී ලාංකික කාගෙත් කථාබහට ලක්වූ කරුණක් විය. ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ගේ “ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ්ඩුම්” චිත්‍රපටයට දායකවීම ඔහු ලැබූ ජයග්‍රහණයකි. චිත්‍රපටයේ රංගනය දුටු අධ්‍යක්ෂ පසුව ප්‍රකාශ කර ඇත්තේ “හොලිවුඩ් නළුවන්ට සමානකර තම රටේ සිටියුතු රංගන වේදියෙකු ලෙසය” එය ඔහුට ලද ‍ලොකු ගෞරවයකි.ඩී. ආර්. නානායක්කාර යනු යුගයක් සතුටු කර රංගනය ගැන වර්තමානයේ කථිකාවක් කළ යුතු චරිතයක් බව කියාදීමය. ඔහුගේ රංගනය දෙස අදත් අප බලාසිටින්නේ ගැමිකම සිය රංගනය වෙනුවෙන් එක්කළ එකම චරිතය ඔහු නිසාය. ඩී. ආර්. ගේ නාමය සිංහල සිනමා වංශකථාවේ පරිච්ඡේද කිහිපයක් නියෝජනය වන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

තොරතුරැ සම්පාදනය දිණමින පුවත්පතින්
(මෙසේ පලවී තිබුණි )
Wasantha udaya kumara'
A day in the life

2024-09-19

දුරමැන්න හැටි.




පැරණි ගම්වල හිටිය මිනිස්සු දුර ගැන ඒතරම් හිතුවෙ නැතිවුණාට දුර මනින්න තමන්ගෙම කියල ක්‍රමයන් හදාගෙන තිබ්බ. 
අද මේ කියන්නෙ ඒ වගේ කීපයක් !

1 දඬුබස්නාමානය- 
මෙතෙන්දි මානය කියන්නෙ දුරට කියන තවත් වචනයක් . දඬුබස්නා එහෙම නැත්නම් දුන්නෙන් ගිලිහුණු ඊතලයක් වැටෙන දුර දඬුබස්නාමානයයි!

2 බෙරහඬක්/ සක් හඬක් ඇසෙන මානය
මේ මැනීම කලින් එකට වඩා ටිකක් අමාරුයි . හුගාක් පන්සල්වලට ඉඩම් පූජාකරල තියෙන්නෙ මේ විදියට . ප්‍රසිද්ධම එකක් තමා උඩවලවට කිට්ටුව තියෙන සංඛපාල විහාරය . සක් හඬක් ඇහෙන දුරට තියෙන ඉඩම් ඒ පන්සලට පූජා කරල තියෙනවා.

හූවක දුර කියන්නෙත් මේ වගේ හූ හඬක් ඇහෙන දුරකට

3 පේන්තෙක් මානෙ/ ඇස් දිස්ටියක් මානෙ
' පේනතෙක් මානෙ එකයායට කුඹුරු ' අපේ ඇහැට පේන තරම් දුරටම කුඹුරු තියෙනවනම් මෙහෙම කියන්න පුලුවන් ! ඇස් දිස්ටියක් මානෙ කියලත් සමහර ගැමියන් කිව්වෙත් මේකටමයි.

4 ඇස් මානෙ/ පේනමානෙ 

මේක කලින් කිව්ව එකට වඩා වෙනස්! මෙතෙන්දි අදහස් කරන්නෙ යමෙක් හෝ යමක් හොඳට පේන ආසන්නම දුරක්!
' මයේ ඇස් මානෙන් ඈතට යන්න එපා' අම්මෙක් කුඩා දරුවෙකුට කියන්නෙ හොඳට පේනදුරින් ආසන්නයේම ඉන්න කියල !
' කෝ අම්මෙ අප්පච්චි ? පේනමානෙක නෑනෙ !' කියන්නෙත් මේ වගේ ලඟපාත නැතිබවයි.

5 කතුස්ම
පැරැන්නො බඩුමුට්ටු ගෙනියන්න කද පාවිච්චි කලා. මේ කදක් එකදිගටම උස්සන් යන්න බෑ. ටිකක් දුර ගිහින් බිමතියල මහන්සි අරින්න වෙනව. ආන්න ඒ වගේ කදක් එක හුස්මට ගෙනියන්න පුලුවන් දුර කියන තේරුමෙන් තමයි කත්+ හුස්ම කතුස්ම වෙලා තියෙන්නෙ !

6 හැතැප්ම
තවමත් සැතපුම් / හැතැක්ම / හැතැම්ම වලින් දුර මනින දුර කියන අය ඉන්නව.
ඒ කාලෙ මිනිස්සු ගියේ පයින් . එකදිගටම පයින් එහෙම යනකොට මගදි විඩා නිවාගන්න ඕන . ආන්න ඒ වගේ විඩා නිවාගන්න තරම් දුරක් ආවම හැතැප්මක් ඇවිත් ( සැතපීම- සැතැප්ම)
අපේ ගමේ තියෙනව හැතැක්ම කියල තැනක්. එහෙම කියන හේතුව ගමේ හුඟදෙනෙක් දන්නෙ නෑ. තව හොයනකොට තමයි එක වැඩිහිටියෙක් කිව්වෙ
' ඒ කාලෙ ගාල්ලෙ ඉඳල පයින් උඩුගමට ගිය මිනිස්සු අතරමග ගමන්මහන්සිය නිවන්න නතරවුන නිසා තමයි හැතැම්ම කියන්නෙ . ඒකත් දුරමැන්න ක්‍රමයක් '

වන්නි හැතැක්ම 
ඔය වන්නි පැතිවල ඇවිදින්න ගිහින් දුර ඇහුවොත් හැතැම්මක් විතර ඇති කියන්නෙ අනිවාර්යයෙන් සැතැපුම් දෙකතුනක් දුර!!. ඉතින් අපේ අය ඒවට කියන්නෙ වන්නි හැතැප්ම!

7 නුවර යුගයේ සැතපුම හා බණ්ඩාර බඹය 
නුවර යුගයේ සැතපුමක් ගැන සඳහන් වෙන්නෙ බණ්ඩාර බඹය සමග. බණ්ඩාර බඹය කියන්නෙ කෙනෙක් අත උඩට ඉස්සුවම පාදයේ සිට අතේ කෙලවර දක්වා දුර . සාමාන්‍යයෙන් අඩි8-9 අතරෙ වගේ. ඒ වගේ බඹ 500 ක් සැතැපුමක් විදියට අරන් තියෙනවා.

8 අසනිපාතය
අසනිපාතය කියන්නෙ අකුණුගහනවට! මෙතන ඒකෙ තේරුම සඳහන් වෙන්නෙ යම් ශක්තිමත් පුරුෂයෙකුට ගලක් විසිකලහැකි උපරිම දුර විදියට !!

9 පියවර
මේක කෙටිදුරක් මනින්නයි යොදාගත්තෙ. අපි ඔයි කැලේ ඇවිදින්න යනකොට පියවරක් කියන්නෙ කකුලක් උස්සල ආයෙත් බිම තියන දුරට ( කැලේ සංචාරය කරණ අය ලේසියෙන් දුර මනින්නෙ එහෙමයි )
ඒක එහෙම උනාට මෙතෙන්දි කකුලෙ විලුඹේ අග ඉඳල මාපටඇඟිල්ල අගට තියෙන දුර තමා පියවරක් වෙන්නෙ. ඔය නිදන්වස්තු තියෙන බවට ලාංඡන තියෙන තැන්වල එතැන ඉඳල නිදානෙ තියෙන දුර කියන්නෙ පියවරවලින්! .

10 ගව්ව / යොදුන 
ගව් 4= යොදුන් 1
මේක තමයි අතීතයේ මාර්ගවල දුර මැන්න නිල ක්‍ර්‍රමය . නිශ්ශංකමල්ල ‍රජතුමා රටේ ප්‍රධාන මාර්ග මැනල ගව්කණු පිහිටුවල තියෙනවා . ඒ ගව්වලට කිව්වෙ නිශ්ශංක ගව්ව කියල !! . ඒ ගව්ව කොපමණ දුරක්ද කියන්න විස්තර හොයාගන්න නෑ.
ගව්ව ගැන විස්තර ගොඩක් තියෙනවා
දුනු 500= ගව් 1( මෙතෙන්දි දුනු එක කියන්නෙ දුන්නක දිග ( මීටර් 2) නම් මේ විදියට ගව්වක ආසන්න දුර
2 x 500= 1000 යි. මීටර් 1000 ක් විතර
මේ තව විදියක්
අංගුලි 9= වියත් 1
වියත් 2 = රියන්. 1
රියන් 7 = යෂ්ටි 1
යෂ්ටි 20 = ඉස්බ. 1
ඉස්බ 80 = ගව් 1
මෙතන අංගුලි කියන්නෙ මැදඟිල්ලෙ පිටපැත්තෙන් මැද පුරුකෙ දිගට
රියන් 1= අඟල් 18 කියල ගත්තොත් ගව්වක් රියන් 11200 ක් වෙනව (7*20*80 ) . අඩිවලින් නම් 16800ක් . ආසන්න වශයෙන් මීටර් 5000 ක් විතර .
රියනක් කියන්නෙ අඟල් 32 වඩුරියනක් විදියට ගත්තොත් මේ දුර මීටර් 9100 කට ආසන්න වෙනව.
ගව්වක් සැතැපුම් 4ක් ( මීටර් 6500 ක් පමණ ) කියල බොහෝතැන්වල සඳහන් උනත් ඒක ආපු විදිය නම් හොයාගන්න බැරිවුණා.

ගව්ව යොදුන ඇරුණම අනිත් ඒව ඔක්කොම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනව. 
දුර ගැන අදහසක් ඇතිකරගැනීමට විතරයි ඒ කාලෙ අයට අවශ්‍ය වුණේ.

24 Jul 2021
Channa Withana

 --Keerthi Deshappriya


A day in the life

2024-09-18

ගමේ අමුතු කෑම




කැලෑ ගමේ අමුතු කෑම ...

මා 82 වර්ෂයේ මොණරාගල දුෂ්කර සේවයට එන බව කිව්වම ගමේ බොහෝ අය කිව්වෙ අම්මෝ ඇති පදම් දඩමස් කන්න ලැබෙයි කියලා. අපේ ගම් වල ඒ කලෙ දඩමස් තියා කඩමස්වත් නැහැ
ගාල්ලෙන් ආපු අම්පාර CTB බස් එකේ වහලෙ අට්ටි හහල තිබුනෙ තැඹිලි වලු. ඒ මදිවට රන්නෙදි රුහුණු මීකිරි හට්ටි වලින් පිරුනා ඩ්‍රයිවර් සීට් එක වටේට. මේවා අම්පාරට අරන් ගිහින් රියදුරු මහතා බිස්නස් එකක් කරනව ඇති කියල හිතුනා.
තණමල්විල කියන්නෙ ඒ කාලෙ දුර බස් නවතන කුඩා කඩමණ්ඩියක් . අද වගේ නගරයක් නෙමේ.
තණමල්විලදි බස් එක නැවැත්තුවම මොණරාගල ගැන පොඩි අදහසක් ආවා. කර්කශ වියලි සුළඟ වැලි කුණාටු නංවමින් වටේට තිබුනු කොහොඹ ගස් අඹරමින් හෝ හඬ නංවනවා. උණුසුම් දූවිල්ල වැදිල තොල් පුපුරු ගහනවා. කවදාවත් මොණරාගල ගැන නොදන්න මට කතරක අත්දැකීම තණමල්විලදිම ලැබුනා වගේ. මේ වගේ කටුක පාරසරික අත්දැකීමක් ලබල තිබුනෙ බැද්දෙගම පොතෙන් පමණයි.
ජනවාරි මෙහෙට වැසි කාලයක් වුනත් මා ඇවිත් තියෙන්නෙ දැඩි ඉඩෝරෙක. පේන තෙක් මානයක නිල්ලක් නැහැ පිදුරු බවට පත්වුන තණකොළ හැර.
තණමල්විල කෑම කඩේට ගියාම අර අපේ ගම් වල මිනිස්සු කිව්ව කතාව හරි කියල හිතුනා. එළවලු වලට වඩා තියෙන්නෙ එක එක ජාති වලට හදපු දඩමස්. දුර සේවා බස් වලින් ඇවිත් කෑමට බහින පිටස්තර මගීන් ඉලක්ක කර ගජරාමෙට මස් ව්‍යාංජන අළෙවි වෙනවා. මාත් හා හා පුරා කියා බඩ පැලෙන්න සප්පායම් වුනා. ගමේදි ජීවිතේට කාල නැහැ මේ තරම් රසට. අද කාලෙ මිළත් එක්ක බැලුවොත් ඒ කාලෙ කෑම බිල මාරු කාසි කීපයකින් ගෙවන්න පුලුවන්.





මගෙ පාසල පිහිටල තිබුනෙ මරගල කඳු වනාන්තරයේ නැගෙනහිර බෑවුමේ හුදකලා කැලෑ ගමක. දකුණෙන් දුෂ්කර සේවයට ආ සර්ල කීප දෙනෙකු සිටි චමරියෙ මාත් පදිංචි වුනා. අපි හැමෝම ගත කළේ හරිම සරල ජීවිත. බූමිතෙල් ලාම්පු, බූරු ඇඳන් හෝ ළමා ඩෙස් වලින් හදාගත්තු ඇඳන්, හැවන් පැදුරු, දැලිවලං, බෙලෙක් පිඟන් කෝප්ප වගේ දේවල් තමා තිබුනෙ. චමරියෙ කිසිම ලී බඩුවක් තිබුනෙ නැහැ. පාසලෙන් අයින් කරපු කැඩුන ලොකු ලී කබඩ් එකක අපි හැමෝම ඇඳුම් දැම්මේ.

දෙවෙනි දවසෙම සර් කෙනෙක් මාත් එක්ක ළඟ ගෙදරකට ගියා. ඒ ගෙදර පුංචිබණ්ඩෙ දඩයමේ ගිහින් ඇවිත් කියන ආරංචියටයි ගියේ. ඔහුට "මේ අලුත් සර්" කියලා මාව හඳුන්වා දුන්නා. අපිට තේ දුන්නා. බිස්කට් වෙනුවට මැටි කෝප්පෙකින් එකක් තිබුනෙ දොදොල් කෑලි වගයක්. අතට ගත්තමයි දන්නෙ ඒ දුම් ගසා වේලපු මස් කෑලි කියලා. මගෙ බඩ දඟලන්න පටන් ගත්තා. උයන් නැතුව ජීවිතේට මස් කාලා නැහැ.
අර සර් පුංචිබණ්ඩට කිව්ව " අලුත් සර්ට තාම මේ කෑම හුරු නැහැ" කියලා. මේ ටික ඔතල දෙන්න කිව්ව රෑට උයන්න. ඔහු ඒ ටිකත් ඔතල දුන්න. තව පරාල කෑලි වගේ ලොකු වේලපු ගෝන මස් වගේකුත් දුන්නා.
වේලපු ගෝන මස් බීලූනු එක්ක තෙල් දාල පරිප්පු හොදියි, තිස්ස රෝස කැකුළු බතුයි එදා රෑ බඩපුරා කෑවා. ගෙදර කෑම මොන කෑමක්ද කියල හිතුනෙ එදා තමයි. උදේට හැමදාම වගේ වේලපු මස් බැදුමයි, පොල්සම්බෝලයි, තිස්ස රෝස කැකුළු බතුයි. ඔය විදියට දඩ මස් සමඟ දිගටම මේ පැත්තෙ කෑම වලට හුරු වුනාම නිවාඩුවට ගෙදර ගියාම ප්‍රශ්න ගොඩයි. අම්ම පුදුමයෙන් බලනව බත් ඉතුරු කරන්නෙ ඇයි කියලා. බෙහෙත් ගන්න යෝජනා කළ වාර අනන්තයි.
මේ ප්‍රදේශ කටුසර ගොවිතැන හා දඩයම ජීව්කාව කරගත් මිනිසුන් හිටපු පැත්තක්. කිසිම කඩේක කරවල, සැමන්, බිත්තර , මස් විකුණන්න නැහැ. විකිණෙන්නෙත් නැහැ. ඇයි හැම ගෙදරම දඩ මස් තමයි කන්නෙ. මූදු මාළු නම් කොහොමවත් නැහැ.
ටික දවසක් මාත් තව සර් කෙනෙකුත් ළඟ ගෙදරකින් කෑම කෑවා. ඒක නම් අපූරු කෑමක්. හැම වෑංජනයක්ම වගේ උයන්නෙ අපිට නුහුරු විදියට. පරිප්පු, මුරුංග, මුං ඇට ආදී මොන හොද්දක් ඉව්වත් ඒකට වේලපු මස් කෑලි හරි හරියට දානවා. උම්බලකඩ වෙනුවට ඕනම දෙයකට දාන්නෙ ගෝන කරවල. පරිප්පු හොද්දෙ පොල්කිරි වෙනුවට තියෙන්නෙ තෙල්. පුදුම විදියට මේ මිනිස්සු තෙල් කන්නෙ. අපි දෙන්න මාස එකහමාරක් විතර ඒ ගෙදරින් කෑවා. අපි කරන්නෙ වෑංජන වල තියෙන මස් කෑලි විතරක් අහුලගෙන කන එක. වේලපු මස් දාල හදන අල බැදුම නම් සුපිරි.
කොහොම හරි ඒ කාපු ටිකට අපි දෙන්න මහත්වුනා ඌරො වගේ. පස්සෙ මේ වැඩේ හරි යන්නෙ නැහැ කියලා අපිත් චමරියෙන්ම කෑවා. ඇඟපත මහන්සි නොවන අපි මේ විදියට තෙල් කෑවොත් ඉක්මනට කූරිය ගහයි කියල අපිටම හිතුනා.
මේ ගෙවල් වල කඩවලින් ගේන එළවලු නැති තරම්. හේන් එළවලු තමයි තියෙන්නේ. උඩරට එළවලු දකින්නවත් නැහැ. පරිප්පු වෙනුවට පියලි කළ කව්පී, ලීමා, මුං ඇට, කොල්ලු, කඩල (රටකජු ) වගේ දේවල් උයන්නේ. මේ අය රටකජු වලට කිව්වෙ කඩල කියලා.
අපි චමරියට නම් මොනරාගල හෝ දොඹගහවෙල පොලෙන් සියලුම එළවලු වර්ග ගේනවා. තිස්ස රෝස කැකුළු හාල් හරි ජනප්‍රියයි. ඒක පොල් සම්බෝලයක් එක්ක වුනත් රසයි. ඒත් මේ ගමේ අය තමන්ගෙ වී හාල් තමා කෑවේ.
මෙහේ අයට බත් කියන්නෙ අපිට පාන් වගේ. ගමේ ප්‍රධාන ආහාරය කුරහන් තලප. තලප මේ අයට කෑමක් නෙමේ ආගමක්. පාසල ඇරිල එක පැයක් කොල්ලො ටික පන්තියක තියා ගන්න බැහැ. අනේ සෑර් තලප බෝල ගල් වෙනවා කිය කියා නාහෙන් අඬනවා තලප මතක් වෙලා. තලප උණුවෙන් මිසක් නිවුනම කන්න අමාරුයි ගල් වෙනවා.
කුරක්කන් තඹ පාට අබ ඇට වගේ ධාන්‍ය විශේෂයක්. මා පිටි දැකල තිබුනට අපේ ගමේදි ඇට දැකල තිබුනෙ නැහැ. ඒවා ගරල වේලල කුරහන් ගලේ අඹරල පිටි හදනවා. පිට්ටු, රොටි, හැලප වගේ කෑම රාශියක් කුරහන් පිටි වලින් හදනවා. දවසක කුරක්කන් තලප ගැන වෙනම කතාවක් ලියන්න ඕනා. ඒ තරම් සංකීර්ණයි ඒ වැඩේ.
ඉරිඟු තලප ලා කහ පාට ඉරිඟු පිටි වලින් හදන්නෙ. මොන තලපෙ උනත් කන්නෙ ආනමක් එක්ක. කොල්ලු, මුං, පරිප්පු, අල කොල, වට්ටක්කා ආදී බොහෝ දේවල් වලින් ඔය ආනම හදනවා. ඒකටම හැපෙන්න කොස්ඇට, වේලපු මස් වගේ දෙයකුත් දානවා. ආනම ලිපේ හැඳිගානවිට උකු වෙන්න කුරක්කන් පිටි හෝ ඉරිඟු පිටි ටිකක් දානවා. දැන් කාලෙ කෝන් ෆ්ලවර් දානව වගේ. හැබැයි වල් ඌරුමස් ආනම තමයි තලප වලට නියමෙටම යන්නෙ.
මේ හේන් ගම් වල සැප්තැම්බර් වැස්සට තමයි හේන් කරන්නෙ. ඒ කාලෙට කෑම බීම හිඟ නැහැ. හේන් වලට එන සතුන් දඩයම් කරන නිසා මස් වලින් හිගයකුත් නැහැ. මේ පැත්තෙ මස් විකුණන්නෙ නැහැ. දඩයමක් කළාම ළඟ කට්ටිය බෙදාගන්නවා. නොමිළේ ඉස්කෝලෙටත් පංගුව එවනවා. පස්සෙ කාලෙ නම් සොංච්චම් මුදලකට විකුණන්න පටන් ගත්තා. චමරියෙ අපි වල් ඌරු ගාතයක් රුපියල් හතලිහකට අරන් තියෙනවා.
දේසෙ හැටියට බාසේ කිව්ව වගේ අපිත් මෙහේදි දඩමස් වලට හුරු වුනා. ඒවා නැත්නම් සාංකාව හැදෙන තත්වෙට ආවා. ඒක දැනගත් ටොපි, චොකලට්, කේක්, බිස්කට් ගේන්න ඕන ටීචල අපිව බලන්න ආවෙ වල් ඌරුමස්, ගෝන මස් එහෙම රසට උයලා පාර්සල් අරගෙන. මොකද ඒ ටීචල වැඩ කළේ මෙහෙටත් වඩා දඩයම් බහුල ඇතිමලේට කිට්ටු පාසලක.
කැලෑ ගමේ ගෙවල් වල දුම් මැස්සෙ නැති දෙයක් නැහැ. ඒක ආහාර සංරක්ෂිත ගබඩාවක් වගේ. දුම්මැස්සෙ දුම් වැදී කරවූ මස් පවා තියෙනවා. ඒවට කියන්නෙ දරමස් කියලා. ඒවා කරුවල ලී කෑලි වගේ. මස් හිඟ දවසට දර මස් රැයක් පොඟවල, වනේ දාල කොටල, බී ලූණු එක්ක තෙල් දානවා. නැත්නම් කොටපු දරමස් පොල් සම්බෝල එක්ක මිශ්‍ර කරල තෙම්පරාදුකර ගන්නවා. ඒකත් එක්කම විතරක් බත් මරන්න පුලුවන්.
ඉරිඟු කන්න අපි හේන් වල යනවා. ඉරිඟු පුච්චන එක සාත්තරයක්. හැමෝටම කරන්න බැහැ. හේනෙන් එවෙලෙම කඩා ගත් බාගෙට පැහුන ඉරිඟු කරල සුද්ද කරල හේනෙ දැල්වෙන ලොකු දර අඟුරු උඩ තියල කොලපොතකින් පවන් ගහනවා. නැත්නම් බටේකින් පිඹිනවා. දුම වදින් නැතුව අධික රස්නෙන් ඉක්මනට පුලුස්ස ගත්තෙ නැත්නම් රස නැති වෙනවා. ගිනිදැල්ල හෝ දුම වැදුනොත් කාල හමාරයි. ඒක අපිට කරන්න අමාරුයි. ටක් ගාල ඉරිඟුඇට පිපිරෙන්න ඕන පදම ආවම. ලුනු ටිකක් ගෑවම අමෘතය වගේ තමයි. කරල් පහ හයකට එක් අයෙක් වග කියනවා.




කිරි ඉරිඟු තම්බල ලුනු දාල කන එක තමා වැඩිපුර කරන්නෙ. මෙහේ ගෙවල් වලින් නිතරම අපිට ඒවා දෙනවා. තම්බන්න ගන්නෙ පුච්චන්න ගන්න කරල් වලට වඩා ළපටි ඒවා.

ඉරිඟු බත්, ඉරිඟු රොටී, පිට්ටු, වගේ කෑම මේ ගමේ ජනප්‍රියයි. ඒවා හදන්නෙ බුඩු වෙච්ච ඉරිඟු වලින්. ඒ කියන්නෙ වේලපු ඉරිඟු. ඉරිඟු බත් හදන්නෙ ලීමා ඇටයි පොලුයි දාලා. එතකොට තමා නියම ගති. ඉදල් ඉරිඟු, සෝගම් වගේ දේත් මෙහේ තියෙනවා. බෝංචි වෙනුවට ගන්න මෑ වර්ග හත අටක්ම මේ ගම්වල තිබුනා.
ආසාවට පාන් ගෙඩියක් මේ ගම් තුලානෙ දකින්නවත් නැහැ. ඒ වගේ තමා මූදු මාළු, සිගරෙට්, අරක්කු වගේ ජාති තිබුනෙත් නැහැ. අරක්කු තැබෑරුමක් මොනරාගල නගරයේවත් ඒ කාලෙ නැහැ.
අපි හවසට ගමේ ගෙවල් වලට ගියොත් රටකජු වරදින්නෙ නැහැ. බැදපු කජු වගේම තම්බපු අමු කජු එක්ක තේ දීම බොහෝ අයගෙ සිරිත. ඒ අතරෙ දුම් ගසා වේලපු මස් කෑලිත් තේ වලට අතුරු පසට දෙනවා. ඒක මේ අයගෙ ජනප්‍රිය සංග්‍රහයක් වෙන්න ඇති. කිතුල් රා බොන විට හැපුවත් තේ බොන්න නම් අපි ඒව කටේවත් තියන්නෙ නැහැ.
ඒ වගේම හේන් වලදි අපට දඩමස් හොද්දක් එක්ක පුච්චපු හෝ තැම්බූ මයියොක්කා වලින් සංග්‍රහ කිරීම සුලබ දෙයක්. ඒක සුපිරි වෙන්නෙ ඒ අයගෙ හීන් කොච්චි සම්බෝලෙත් ආවම තමයි. හේනෙ සදාකාලිකව ඇවිලෙන ගිනිමැලයේ අඟුරු උඩට දාල යෝධ මයියොක්කා අල පුලුස්සනවා. ඒවා තැම්බූ අල වලට වඩා රසයි. මා මෙහේදි තමයි මයියොක්කා ඒ ක්‍රමයට කෑවේ.
ඇත්තට අපි දුෂ්කර සේවය කළ ඒ ගමේ කෑම බීම රටාව ඒ කාලෙ කොතරම් සරලද කියල දැන් තමා හිතෙන්නෙ. සරල වුනාට ඒ කෑම නැවුම් සහ ප්‍රනීතයි.
..
Jayakumara Ranchagoda ..
උපුටා පළකිරීමකි..

A day in the life

2024-09-17

බිනර පොහොය.



මෙහෙනි සස්නේ ආරම්භය.
බුදුරදුන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත් පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය.අනඳ හිමියන්ගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිද්ද දෙනලෙස ඉල්ලා සිටියහ.අනඳ හිමි බුදුරදුන්ට මේ බව සැලකලද උන්වහන්සේ තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ.පසුව අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය.පැවිද්ද අවශ්‍යනම් අෂ්ඨගරු ධර්ම පිළිගත යුතුය,එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේයි බුදුරදුන් ප්‍රකාශ කලහ.එය පිළිගෙන එවලෙහිම පැවිද්ද හා උපසම්පදාව ලැබීය.


මාපලගම සෝමිස්සර හිමි
‘පොහොය වර්ණනාව’ කෘතියෙනි

වස්සාන සමයෙහි එළඹෙන පෝය දින අතුර බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍ය අතින් වැදගත් පෝය දිනයකි. අවුරුද්දේ එළඹෙන වැසි සාර මාසය අමුතු ශාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රකට ය. භික්‍ෂූන් වහන්සේ බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථ ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට, මැනැවින් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේ වෙතින් අවවාද අනුශාසනා ලබාගෙන තම තමන් ගේ චරිතයනට සරිලන කර්මස්ථාන ඉල්ලාගෙන, විවේකී ප්‍රදේශ සොයා වැඩම කොට සුදුසු ස්ථානයන් හි වස් වසා භාවනා කර්මයන් හි යෙදී මාර්ග ඵලාවබෝධය ලබාගෙන පෙර වස් පවාරණය කොට බුදුරදුන් වෙත පෙරළා වැඩම කොට ස්වකීය ශාසන පරමාර්ථ ඉටුකරගත් අයුරු ප්‍රකාශ කොට උදන් ඇනූ භික්‍ෂූන් වහන්සේ පිළිබඳ විස්තර සිය දහස් ගණනින් සොයා ගන්නට හැකි ය. විශේෂයෙන් වෙන කාලවලටත් වඩා විශේෂ වගකීමකින් යුතු ව උත්සාහයෙන් මහණ දම් පුරන, තමන්ට සිවු පසයෙන් උපස්ථාන කරන සැදැහැබර දායකයනට ද ශ්‍රද්ධාදී ගුණ ධර්ම වර්ධනයට හා මාර්ගඵලාවබෝධයට හේතුවන දැහැමි අනුශාසනා කරන කාලයකි, වස් සමය. හැම වෙහෙර විහාරස්ථානයකම දිනපතා ම වාගේ නොයෙක් බණ පින්කම්වලින් හා වෙනත් සසුන් වැඩ වලින් පිරී ගිය, සොම්නස් සුවය දනවන කාලයකි.

එසේ ම සරත් කාලයේ ආරම්භය ද බිනර පසළොස්වක් පෝයෙහි සිට එළඹෙයි. සරත් කාලය හැම කවියෙකු විසින් ම වර්ණනා කරන ලද, කවි සිත පුබුදු කරවන ලද, ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. සරත් සෘතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් කවියන් කවි ඇසින් බලා නොයෙක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති වලින් පැහැදිලි වෙයි. මේ නයින් සලකා බලන කල්හි බිනර මාසය ශාසනික වශයෙන් ද සාහිත්‍ය අගය වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද වැදගත්කමකින් යුත් මාසයක් බව කිව හැකි ය.

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි වූ නිග්‍රොධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැඳ එකත් පසෙක සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටියා ය.

බුදුරජාණන් වහන්සේ ගෝතමිය ගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වරටත් ප්‍රතික්‍ෂේප කළහ. ඉක්බිති බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩි සේක. මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ රෝහිණී නදී තීරයෙහි දී පැවිදි වූ කුමරුවන් ගේ භාර්යාවන් පන්සිය දෙනා සමග කෙස් කපා කසාවත් හැඳ කිඹුල්වත් නුවරින් පිටත් ව යොදුන් පනස් එකක් පමණ වූ දීර්ඝ මාර්ගය පා ගමනින්ම ගෙවා කූඨාගාර ශාලාව වෙත පැමිණියා ය. ආනන්ද හිමියන් හට කරුණු කියා උන්වහන්සේ ගේ මාර්ගයෙන් කාන්තාවන් හට සසුන් පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ. බුදුහු ආනන්ද හිමියන්ගේ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්‍ෂේප කළහ. පසුව ආනන්ද හිමියන්ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියූ පසු මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. ආනන්දය, ඉදින් මහ ප්‍රජාපතී ගෞතමී තොමෝ පැවිදි වනු කැමැත්තී නම් පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්ම ඇය විසින් ද පිළිගත යුතු ය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය.

ගරු ධර්ම අට

1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උපසපන් වූ භික්‍ෂූන් දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.

2. භික්‍ෂූන් නැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නොවැසිය යුතු ය.

3. අඩ මසක් පාසා, මෙහෙණක විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතු යි.

4. වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

5.ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඬ මසක් මානත පිරිය යුතු යි.

6. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

7. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතුයි.

8. මෙහෙණින් විසින් භික්‍ෂූන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.

ආනන්ද හිමියෝ මේ ගරු ධර්ම අට බුදුරදුන්ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෞතමිය වෙත එළඹ ගරු ධර්ම විස්තරකොට කියා, ඉදින් ඔබ මේ ගරු ධර්ම පිළිගන්නෙහි නම් එය ම ඔබට පැවිදි උපසම්පදාව වන්නේ යැයි ද කීහ. එබසට ගෝතමිය සකල ශරීරය ලොමු දහ ගන්වමින් පස්වනක් පී‍්‍රතීන් පිනා බුදුරදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට ‘ආනන්ද ස්වාමීනි’ යම් සේ අලංකාරයට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ජලස්නානය කොට, සමන් මල් දමක් ලදින් දෙඅතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරසෙහි තබා ගනී ද, එසේ ම මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්ම අට දෙන පිළිගනිමි, යි තුන්වරක් කීවා ය. ඒ වචනය සමඟ ම මහා ප්‍රජාපතී ගෞතමිය ගේ මහණකම විය. උපසම්පදා ශීලය ද විය. බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්‍ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ.
මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.



A day in the life

2024-09-16

මීලාද් අන් නබි උත්සවය






ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය අදට (16 වැනිදාට) යෙදී තිබේ. ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබි උනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමාණෝ උපත ලැබූහ. සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ‍ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ.

මුහම්මද් නබි නායකතුමන් ක්‍රි.ව.570 දී සෞදි අරාබියේ මක්කා නගරයේදී උපත ලැබූ අතර එතුමන් ක්‍රි.ව. 632 දී සෞදි අරාබියේ මදීනා නගරයේදී අභාවප්‍රාප්ත විය.

මුහම්මද් නබි නායකතුමාණෝ මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් ඉස්ලාම් දහම මගින් ලොවට දායාද කළහ. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරති
කුඩා කල නිසි අධ්‍යාපනයක් නොලද ඔහු තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළ අතර පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ‍ප්‍ර දේශ වල    සංචාරය කළේ ය.

අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය. මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණ.

අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවැරදි මගට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය.

ඉස්ලාම් ධර්මය ලොවට හදුන්වා දිමේ අවසාන නබිවරයා වේ. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා නොවන අතර මොහු එම දේව විශ්වාසය ආදම් නබි තුමාගෙන් පැවතගෙන එන ඉස්ලාම් දහමේ මුලිකයෙක් මෙන්ම ප්‍රතිසංස්කාරකවරයෙක් ලෙස සලකයි.

A day in the life

2024-09-15

හයිපේශියා












 





 

සටහන පාඨලී මොටාවෙන්.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා ප්‍රාඥවරිය, හයිපේශියා
_______________________
ක්‍රි. ව. 415ත් 416ත් අතර සමයේ එක් දිනෙක ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර මාවතකදී ක්‍රිස්තියානි ආගමික අන්තවාදීන් පිරිසක් විසින් අශ්ව කරත්තයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක ඉන් ඉවතට බලහත්කාරයෙන්ම ඇදගනු ලැබුවා. බලහත්කාරයෙන්ම ඇයව ඇලෙක්සැන්ඩ්‍රියාවේ වූ දෙවස්ථානයකට ඇදගෙන ගිය ඔවුහු එහිදී මෙම කාන්තාවට මිය යනතුරු පහර දුන්නේ අමානුෂික ලෙසිනුයි. මියගිය ඇගේ සිරුර කැබලි වලට ඉරා දැමූ මේ ක්‍රිස්තියානි භක්තිකයෝ ඉන් අනතුරුව ඇගේ සිරුරේ කොටස් ගින්නට දමා අළු කර දැමුවා. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ කාන්තාව කවුද? ඇයට එසේ වීමට හේතුව කුමක්ද?
ඇය නමින් “හයිපේශියා” (Hypatia) නම් වූ අතර, එකල ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ අවසන් මහා ප්‍රාඥයින් අතුරින් කෙනෙකුද වූවාය. ගණිතය, තාරකා විද්‍යාව, දර්ශනය සහ තර්ක ශාස්ත්‍රය යනාදී විෂයන් උගත් ප්‍රථම කාන්තාවන් අතුරින් කෙනෙක් වූ ඇය එම විෂයයන් ඉගැන්වීමෙහි ද නිරත වූවාය. ඇගේ බුද්ධිය සහ දැනුම් සම්භාරය නිසා පමණක් නොව, ඇයගේ අමානුෂික ඝාතනය නිසාවෙන් ඇය ඉතිහාසගත වුවද, ඇගේ ජීවිත අන්දරය දෙස බැලීමේදී, එම යුගය තුළ විද්‍යාත්මක චින්තනය හිමි වූ තැන මෙන්ම, ආගමික අන්තවාදීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් සහ කිසිදු ආගමකට ප්‍රමුඛත්වය දීමට අකමැති වූ අනාගමික (Secular) කණ්ඩායම් අතර සිදු වූ ඝට්ටනය පිළිබඳවත් මනා චිත්‍රයක් ගොඩනගාගත හැකියි. මේ ලිපියෙන් ඔබ වෙත දිගහැරෙන්නේ ඒ කතාවයි.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ “හදවත”
ක්‍රි. පූ. 331වන සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් ගොඩනගනු ලැබූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ හදවත බඳු වූයේ එහි වූ කෞතුකාගාරයයි. එක්තරා ආකාරයක විශ්වවිද්‍යාලයක් බඳු වූ මෙහි තිබූ පුස්තකාලයෙහි වටිනා දැනුම් සම්භාරයක් රැගත් ආවර්තිත ලිපි ලේඛන (Scrolls) ලක්ෂ පහක් පමණ ගබඩා කොට තිබී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. නමුත් ක්‍රි. පූ. 48වන සියවසේදී ජූලියස් සීසර් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව මෙම කෞතුකාරය ගිනිබත් කොට දැමූ අතර කලක් පෞරාණික ලෝකයේ දැනුම් සහ සංස්කෘතිකමය සන්ධිස්ථානය ලෙසින් නම් දැරූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය කඩා වැටෙන්නට වුණා. ඉන් අනතුරුව එළඹි ශතක හතර පුරාවටම යුදෙව්වන්, ක්‍රිස්තියානි බැතිමතුන් සහ විවිධ මිථ්‍යාදෘෂ්ටික කණ්ඩායම් අතර ඇතිවුණු සිවිල් යුදමය තත්වයන්ට මුහුණ දුන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉතිරිව තිබුණු අවසන් ආවර්තිත ලිපි රැසද විනාශ කෙරුණේ රෝමානු පාලකයින්ගේ අණ පරිදි එම ලිපි සඟවා තිබූ සෙරපීස් නැමති දෙවියන්ට කැපකොට තිබුණු දෙවොල කඩා බිඳ දමා එතැන දෙවස්ථානයක් සෑදීමට පියවර ගත් නිසාවෙනුයි.
පිය ආභාසයෙන් දැනුම ලැබූ හැටි
මහා ඇලෙක්සැන්ඩ්‍රියානු කෞතුකාගාරයේ සාමාජිකයින් අතුරින් ඉතිරිව සිටි අවසන් සාමාජිකයා වූයේ තියෝන් (Theon) නැමැත්තායි. ගණිතඥයෙකු මෙන්ම තාරකා විද්‍යාඥයෙකු වූ ඔහුගේ දියණිය වූ හයිපේශියා සිය පියාගෙන් එම විෂයයන් ද්විත්වයම මනා ලෙස උගත්තාය. තියෝන්ගේ පොත්පත් ලිවීම් වලටද උපකාර දුන් ඈ තියෝන් ලියූ විචාරයන්ටද කරුණු සැපයුවාය. තියෝන් විසින් ලියූ බව කියැවෙන ඇතැම් පොත් සැබවින්ම ලිවූයේ හයිපේශියා බවටද කියැවෙනවා.
ස්ව කැමැත්තෙන්ම මෙම විෂයයන් උගත් හයිපේශියා සිය නිවසෙහි සිට මෙම විෂයයන් ඉගැන්වීමෙහිද නිරත වූවා. තම පියාගෙන් ලද ආභාසයෙන් දර්ශන විෂය කරාද යොමු වූ ඈ දාර්ශනිකයකු ලෙසද ප්‍රසිද්ධ වූ අතර, ඇය විසින් පවත්වන ලද දේශනා ඉතා ජනප්‍රිය වී තිබෙනවා. බොහෝ දෙනා ඇගේ දේශනාවන්ට සවන් දීමට පැමිණ ඇති බවට ඓතිහාසික වාර්තාවන් පවතිනවා. විශේෂයෙන්ම ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ගුරු ගෝල දාර්ශනික දෙපළගේ ඉගැන්වීම් අර්ථ නිරූපණය කෙරෙන දේශනා ඇය විසින් පවත්වන්නට යෙදුණු බව ඇගේ මරණයෙන් අනතුරුව ඈ පිළිබඳව ලිඛිත සටහන් තැබූ ඩැමැස්කියස් (Damascius) නැති දාර්ශනිකයාගේ ලේඛන වල සටහන්ව තිබෙනවා.
රුව – ගුණ වරුණ
ඓතිහාසික ලේඛනයන් තුළ හයිපේශියාගේ නැණ ගුණය පිළිබඳව පමණක් නොව, ඇගේ රුව ගුණය පිළිබඳව වර්ණනාවන්ද නොමදව දක්නට ලැබෙනවා. ඒවාට අනුව “මනා පෞරුෂත්වයකින් සහ ආකර්ෂණීය කථා විලාශයකින්” පමණක් නොව, “අතිශය ආකර්ෂණීය රුවකින් සහ දිදුලන ඡවි කල්‍යානයකින් හෙබි මේ රුවැති තරුණිය” කිසි දිනෙක විවාහ වීමේ අදහසක් ඇත්තියක් නොවූ බවද පැවසෙනවා. එකල ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආණ්ඩුකාරවරයා වූ ඔරෙස්ටස්ගේ (Orestes) සිත ඇය වෙත ඇදී ගියෙ නිතැතින්මයි. නමුත් පසු කලෙක හයිපේශියා වෙත අකාලයේ මරු කැඳවූයේද එම සිත් ඇද ගැනීමමයි.
පෙර සඳහන් කළ රෝමානු පාලකයින්ගේ අණ පරිදි ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි අනෙකුත් ආගමික ස්ථානයන් කඩා බිඳ දැමීමේ වගකීම භාරව සිටි තියෝෆිලස් (Theophilus) නැමති ආච්බිශොප්වරයාගෙන් අනතුරුව එම තනතුර හිමි වූයේ ඔහුගේ ඥාති පුත්‍රයකු වූ සිරිල් (Cyril) නැමැත්තා හටයි. ක්‍රි. ව. 412දී එම තනතුරට පත් වූ ඔහුද ඔහුගේ මාමා මෙන්ම අන්‍යාගම් කෙරෙහි දැක්වූයේ මහත් අරුචියක්. ඔහු පත්වූ විගසම ක්‍රිස්තියානි ආගමේ අනෙකුත් නිකායන්ට අයත් දෙවස්ථාන පවා කඩා බිඳ දැමූ අතර, ඉන් අනතුරුව ඔහුගේ ඉලක්කය වූයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ යුදෙව්වන් ඉන් පිටමං කොට නගරයේ පාලන බලය තමන් අතට ගැනීමටයි.
නගරයේ පාලකයා වූ ඔරෙස්ටස්ද ක්‍රිස්තියානි බැතිමතෙකු වුවත්, ඔහු පල්ලියට වැඩි පාලන බලයක් ලබා දීමට කැමැත්තක් දැක්වූයේ නෑ. මෙම බල අරගලයේදී යුදෙව් අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි බැතිමතුන් විශාල ප්‍රමාණයක් මරා දැමුණු අතර, ඉන් කිපුණු සිරිල් විසින් උසි ගන්වන ලද ක්‍රිස්තියානි බැතිමතුන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ යුදෙව්වන් ඉන් පලවා හැර ඔවුන්ගේ නිවාස සහ දෙවස්ථාන කොල්ලකෑමට ලක් කළා. ඔරෙස්ටස් විසින් මේ ක්‍රියාවට තමාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එම සිදුවීම පිළිබඳව රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලයෙහි රෝමානු පාලන තන්ත්‍රය වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.
ඉන් අනතුරුව සිරිල් විසින් සංහිඳියාවෙන් කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ලැබුවද ඔරෙස්ටට් ඊට අවසර ලබා දුන්නේ නෑ. මින් කෝපයට පත් සිරිල් හා සමීප පූජකයින් විසින් ඔරෙස්ටස්ව මරා දැමීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ලක්ම ව්‍යර්ථ වුණා. ඒ ඔරෙස්ටස් වටා විශාල ආරක්ෂකයින් ප්‍රමාණයක් සිටි හෙයින්. ඉන් අනතුරුව මෙම පූජකයින්ගේ ඉලක්කය වූයේ හයිපේශියාවයි.
මරණයෙන් කෙළවර වූ බල තණ්හාව
ක්‍රිස්තියානි ආගමික චින්තනයකින් තොර දර්ශනයක් පිළිබඳව පොදු දේශනාවන් පැවැත්වූ හයිපේශියා වටා ආරක්ෂකයින්ද නොමැති වීම යන කරුණු දෙකම උපයෝගී කරගත් ක්‍රිස්තියානි ආගමික නායකයකු වූ පීටර් නැමැති දේශකයා තම අනුගාමිකයින් පිරිසක් හයිපේශියාගේ ජීවිතය අවසන් කිරීම සඳහා මෙහෙය වූයේ ඉන් අනතුරුවයි.
කෙසේ වෙතත්, හයිපේශියාගේ අකල් සහ අමානුෂික මරණය කෙරෙහි ඔරෙස්ටස්ගේ සබඳතාවය පිළිබඳව පැහැදිලි කරුණු අනාවරණ වී නැහැ. ඔහුගේ මතකයන්ට ගරු කරන්නන් පවසන්නේ ඔහු ඊට වගකිව යුත්තෙකු නොවන බවයි. නමුත් ක්‍රිස්තියානි පල්ලියට එරෙහි පුද්ගලයින් පවසන්නේ හයිපේශියාව බේරා ගැනීමට හැකියාවක් තිබූ නමුත් ඔහු ඊට නිසි පියවර නොගත් බවයි. ඉතා දුලබ ගණයේ චරිතයක් වූ හයිපේශියාගේ මරණය ඈ සොයා ආවේ එලෙසයි.
අන්තවාදී ආගමික චින්තනයන්ගේ ගොදුරක් වූ හයිපේශියා අද වන විට ලොව පුරා ස්ත්‍රීවාදීන්ගේ මෙන්ම අනාගමිකයින්ගේද නොමද ආදරයට සහ ගෞරවයට චරිතයක් බවට පත්ව හමාරයි. හයිපේශියාගේ චරිතය ඇසුරින් 2009 වසරේදී “අගෝරා” (Agora) නමින් ස්පාඤ්ඤ-ඉංග්‍රීසි චිත්‍රපටයක්ද නිපදවා තිබෙනවා. (නමුත් චිත්‍රපටයේ පිටපතට පාදක වී ඇත්තේ මනඃකල්පිත සිදුවීමක්).
බුද්ධිමය වටිනාකම්, නව සොයාගැනීම් සහ තුන්වෙනි සියවසේ නැගී ආ චින්තන දාමයන් වෙනුවෙන් පෙනී සිටි හයිපේශියා නම් වූ අනභිභවනීය ස්ත්‍රී චරිතය වර්තමානයේදීත් බොහෝ දෙනාට ආදර්ශමත් චරිතයක් ලෙසින් ගෞරවයට පාත්‍ර වී අවසන්.

A day in the life

2024-09-14

Horreos





horreo යනු ස්පාඤ්ඤයේ වයඹ දිග ප්‍රදේශයේ, විශේෂයෙන් Galicia, Asturias සහ Cantabria හි බහුලව දක්නට ලැබෙන සම්ප්‍රදායික ධාන්‍යාගාරයක් හෝ ගබඩා ගොඩනැගිල්ලකි. ගබඩා කර ඇති ධාන්‍ය හෝ ආහාර තෙතමනය හා පළිබෝධකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා මෙම ව්‍යුහයන් සාමාන්‍යයෙන් කුළුණු හෝ කණු මත බිමෙන් ඔසවනු ලැබේ. Horreos ඔවුන්ගේ අද්විතීය වාස්තුවිද්‍යාත්මක සැලසුම මගින් සංලක්ෂිත වේ, වායු සංසරණයට ඉඩ සලසන බිත්ති හෝ විවරයන් සහිත සෘජුකෝණාස්‍රාකාර හෝ දිගටි හැඩයක් දක්වයි.

horreos ගොඩනැගීම සියවස් ගණනාවක් ඈතට දිව යයි, සමහර උදාහරණ මධ්‍යතන යුගය තරම් ඈතට දිව යයි. ඉරිඟු, තිරිඟු සහ අනෙකුත් ධාන්‍ය වැනි බෝග මෙන්ම අර්තාපල් සහ බෝංචි වැනි අනෙකුත් ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඒවා මුලින් භාවිතා කරන ලදී. Horreos හි උස් මෝස්තරය ගබඩා කර ඇති භාණ්ඩ වියළි හා මීයන් සහ කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.
Horreos යනු ක්‍රියාකාරී ව්‍යුහයන් පමණක් නොව ඒවා බහුලව පවතින කලාපවල සංස්කෘතික වැදගත්කමක් දරයි. ඒවා බොහෝ විට සංකීර්ණ කැටයම්, සංකේත හෝ රටා වලින් සරසා ඇති අතර, දේශීය ශිල්ප හා සම්ප්‍රදායන් පිළිබිඹු කරයි. ආහාර ගබඩා කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රායෝගික භාවිතයට අමතරව, horreos ස්පාඤ්ඤයේ ග්‍රාමීය ජීවිතයේ සංකේතයක් බවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ඓතිහාසික හා වාස්තුවිද්‍යාත්මක වටිනාකම අගය කරන සංචාරකයින් සහ අමුත්තන් ආකර්ෂණය කර ඇත.

A day in the life

2024-09-13

දාහක්.





මේ දහස සම්පුර්ණ කරන සටහනයි. අපි ගත කරන්නේ මැතිවරණ සමයකයි. තිදෙනෙකු පෙරට එන්න වලි කන මේ දිනවල මෙටාවට ඇත්තේ බරපතල කාර්ය භාරයකි.

එය සැප්තැම්බර් විසි එක්වෙනිදා විසදී යලිත් සන්සුන්වනු ඇති. එතෙක් ඒ කාලගෝට්ය කරදරයකි.

කවියක් ගීතයක් අසා යහපත් සාමිචීයක යෙදෙමින් සිටි කාලය කටුක වදන් වලින් පුරවාගෙන විදවන්න සිදුවීමත් පවක් ගෙවීමකි.

මීදුම පටන් ගත් කාලයේ සොදුරු සිතිවිලි මෙන්ම සංචාරයේ යෙදෙමින් ලද තොරතුරු එක් කරමින් පලකල වියමන් මගේ අතින් අද වියමන් වන්නේ නැති තරම්. එයට හේතුව මානසික විවේකය මෙන්ම සන්සුන් බව නැති කමදැයි හිතාගන්න බැහැ.

එදත් අදත් කාලය වෙනස් 2008 ජුලි ඉදන් මේ දක්වා 2024 සැප්තැම්බර් 14 වෙනිදා කියන්නෙත් අවුරුදු දහසයක් නේ. පුංචි එකෙක් නම් තරුන කාලේ. මම හැටේ ඉදලා හැත්තෑ හයට ඇවිත්.රටත් වෙනස් වෙලා. චන්ද්‍රිකා , මහින්ද , සිරිසේන ගෝඨාභය යුගයන් එවර වෙලා රනිල්……….ඇවිත් යන්න සුදානම් වෙනවා. අනුර යුුගයක් එන්න බලා ගෙන ඉන්නවා . තව දවස් කීයද ?

එහෙම වුනොත් ලාංකීය දේශපාලනයේ නියම වෙනස් වීමක්. ඩී.එස් අත්තිවාරම් දමලා සර් ජෝන් ,ඩඩ්ලි හදා ගෙන ආපු ගොඩනැගිල්ල බණ්ඩාරනායක , සිරිමාවෝ දොර ජනේල් දාලා සිවිලිම ගහපු ජේ. ආර් වැහිපීලි දාලා තීන්ත ගාලා ලස්සන කරපු ගොඩනැගිල්ල ප්‍රේමදාසලා. චන්ද්‍රිකා මහින්දලා ගෘහ භාණ්ඩ වලින් පුරවපු අද පරණ වෙලා දියමලන් කාලා දිරාපත් වෙලා. අනුරලාට මේක කොහොමවත් ගැලපෙන්නේ නැහැ. ගෙදර ඉන්න අයත් කෑ මොර දෙන්නේ අළුත් ගෙයක් ඉල්ලලා.

අනුර මේක කඩා බිද දාලා සමතලා කරයි. ඊට පස්සේ අළුත් ගොඩනැගිල්ලක් හදන්න පටන් ගනියි. එතකම් වැස්සට තෙමෙයි. අව්වට වේලෙයි. අවුරුදු පහකින් අත්තිවාරම විතරක් වෙයිද ? අවුරුදු හැත්තෑහයක් බාස් උන්නැහේලා රොත්තක් කරපු වැඩක් නැහැ කියලා නේ කියන්නේ. අපේ සිහින බොද කරපු ඒ ඇත්තෝ නොසිටින්න දැන් දකින හිනෙවත් බලන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා.

මේ කතා දිරවන්නත් පුළුවන් නොදිරවන්නත් පුුළුවන්. අපි හෙට එක් දහස් එකෙන් අළුත් ආරකින් කතාව පටන් ගනිමු.




A day in the life

2024-09-12

මා ලුණු කැටයක්...





මා
ලුණු කැටයක්...
ඕනෑම මට දිය වෙන්න...
පතුළක්
නැති තරම්
ගැඹුරු මහ මුහුඳට...
විසල්
මහපොළොවේ
සිනිඳු දුහුවිලි අතරට.....
දිය වෙලා සැඟවෙන්න....
මහා වෘක්ෂයන්ගෙන්
සුසැදි
වනන්තරයෙක
පස යටින් සැඟවුණු
මුදුන් මුල්
කේෂ මූලයන්
පසාරු කොට ඇවිදින්
ළපැටි දළු දක්වාම
විසිරෙන්න...
මලක් පැහැ ගන්වන්න..
රසැති පළයක දියවී
ඔබේ සිරුරට එන්න...
ඔබේ සියොළඟ සතපා
යළිත් පොළොවට යන්න...
වැසි දියේ සේදී
මහා මුහුඳට පිවිසෙන්න...
වෙළී වා තලයේ
වළාකුළු තුළ සැතපෙන්න...
අනෝරා වැස්සක
යළිත් පොළොවට පිවිසෙන්න...
ඕනෑම මට දිය වෙන්න...
වියළි ලේවායක
ලවණ දියවර කොටු කර
ගිණියම්
හිරු රැසින්
යළිත් ඔබ මා දැව්වොත්...
සුදුපාට
රළු පරළු
කැටයකට
යළි යළිත්
ඔබ මාව පෙරළුවොත්...
ඒත්
මට ඕනෑම
යළි යළිත්
ඔබ නමින්
දිය වෙන්න...
මා
ලුණු කැටයක්...
ඕනෑම මට දිය වෙන්න....
- විජිතමාලි ආනන්දකුමාර

A day in the life

2024-09-11

සව් Sago





මොනවද මේ " සව් " ?
සව් බිව්වට මොකද ගොඩක් දෙනා දන්නේ නැහැ මේ "සව් " කියන්නේ මොනවද කියලා ...
" සව් " වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියනවා.
එකක් තමයි Sago Palms (Metroxylon Sagu) ගස් වල කඳෙන් ලබා ගන්නා පිටි වලින් හදන සව් ...
අපි ලංකාවේ කිතුල් පිටි හදන විදිහට තමයි සාගෝ පිටි හදන්නේ .




මීට අමතරව තවත් Plams වර්ගයේ ගස් වලින් " සව් " හදනවා ... ( Metroxylon salomonense , Metroxylon amicarum )
නිව්ගීනියා රටේ ප්‍රධාන ආහාරය සැකසෙන්නේ මේ Sago Palms ගස් වලින් සකස් කරගන්නා පිටි වලින් .
ඉන්දුනීසියාව හා මැලේසියාව තමයි ලෝකේ ප්‍රධානතම " සව් " පිටි නිෂ්පාදකයින් වෙන්නේ ...
සාමාන්‍ය Sago Plams ගහක් පිටි ගන්න තත්වයට පත්වෙන්න අවුරුදු 8 -10 පමණ කාලයක් ගතවෙනවා ..
හොඳින් වැඩුනු ගහකින් එකවරකට කිලෝ 150 - 300 ක් විතර ගන්න පුළුවන් .




මේ ගස්වල මල පීදෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තමයි වැඩිම අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ ...
මීට අමතරව " සව්" හදන්න භාවිතා කරන තවත් ගස් වර්ගයක් වෙන්නේ " සයිකස්" (Cycas revoluta ) ...
මේ ගස බොහෝම හෙමින් තමයි හැදෙන්නේ ...
මේ ගසේ කඳෙන් වගේම මුල් සහ ගෙඩි වල මදයෙනුත් " සව් " පිටි නිෂ්පාදනය කරන්න පුළුවන් 
නමුත් මේ සමහර සයිකස් වර්ග ඉතා විෂ සහිතයි .
" සව් " නිෂ්පාදනය කරන ඊළඟ වඩා ප්‍රසිද්ධ ක්‍රමය තමයි මඤ්ඤොක්කා පිටි භාවිතා කිරීම...
මෙය අඩු වියදමින් " සව් " නිෂ්පාදනය කරන විකල්ප ක්‍රමයක් .
නියම " සව් " මිලදී ගන්න අවශ්‍ය නම් නිෂ්පාදකයාගේ විස්තර හොඳට කියවල බලල තමයි මිලදී ගතයුතු වන්නේ ...
ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දියාව, යන රටවල ප්‍රධාන වශයෙන් මේ මඤ්ඤොක්කා පිටි තමයි භාවිතා කරන්නේ ...




ඉඳලා හිටලා සව් කැඳ එකක් බොන අපිටනම් මේ දෙක වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන එකක නෑ ...
හැබැයි ඉතින් " සව් " කැඳ විතරක් නොබී අනිත් රටවල් වල වගේම කෑම බීම හැදුවොත් දන්සැල් වලට සීමා නොවී Healthy and Posh " සව් " නිෂ්පාදන අපේ රටේ තරු පන්තියේ අවන්හල් වලත් දැකගන්න පුළුවන් වේවි .













නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
ඩී. එච්. ජේ. කේ. කීර්තිරත්න මහතා 
ගොවිකම් සඟරාවට ලියූ ලිපියක් උපුටා පල කරමි .
උපුටා පලකිරීම,
එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරී
(1920 කෘෂි උපදේශන සේවාව ),
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව






A day in the life