Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Saturday, September 07, 2024

අම්මා






මීදුමට සිහිපත්වෙන්නේ මීට තෙවසරකට පෙර තම දු දරුවන්ට මුණුපුරු මිණිපිරියන්ට මී මුණුපුරු මිණිපිරියන්ට සහ මට සමුදුන්න මගේ අම්මව.
ඈ අද අපත් සමග හිටියානම් අවුරුදු සීයයක් ......…
අපේ අම්මයි මේ අම්මයි සමකාලීනයෝ වෙන්න ඇති.
ඈ නමින් සෝමාවතී පොඩිහාමිනේ නම් විය.

Minimalist Living වෙත Ruvi Samaraajeea කල වියමනක්.

උපුටා පළකරනවා. මීදුම කියවන්නන්හට.
“මීට අවුරුදු විසි පහකට කලින් කතාවක් ...............”
මේ .අත්තම්මා කෙනෙක් හිටියා අපි ට
මැනික්හාමි තමයි නම .අත්තම්මා අපි ට තේ දෙන්නෙ වීදුරු වල .ඒවා හෝදලා උනු වතුර ට දානවා .ඉගුරු කෑල්ලක් තලලා තේ කොල තම්බලා රස ට තේ හදලා අර වීදුරු වලට දාලා දෙනවා .උනුම උනු තේ එක ට එක හේතුවක් තමයි කෝප්ප උනුවතුරෙ දාලා ගත්ත එක .ඒ කාලෙ මට ඕක තේරුම් ගන්න බැරි වුනා .අද උනු තේකක් බොන හැම මොහොතකම මට ඒක මතක් වෙනවා .
අත්තම්මා හීනියට අමුමිරිස් ලොකු ලූනු නැත්නම් රතුලූනු ලියලා ලුනු ගම්මිරිස් දාලා එවෙලෙම ගහෙන් කඩලා ගන්න දෙහි
ගෙඩ්යක් හිල් කරලා මේස හැන්දෙ මිටදෙහි ගෙඩ්ය ඇතුලට දාලා කරකවලා දෙහි ඉස්ම දාගන්නවා .ඊට පස්සෙ දර ලිපේ දාලාපුච්චලා ගත්ත කරවල කෑල්ලක් මේ සම්බෝලෙට දාලා හොදට කලවම් කරලා පොල් ටිකක් දාලා ගන්නවා .උනුම උනු පාන් කන්න තමයි මේ විදියට සම්බෝල හැදුවෙ .
කටට කෙල උනනවා වගේම ඇහැට කදුලු උනනවා අද අතීතය මතක් වෙලා .
පොල් සම්බෝල හදනවා නම් දර ලිපේ අලු යට දාලා තක්කාලි ගෙඩ්යක් අරන් පොඩි කරලා සම්බෝලෙට දානවා .දෙහි ඇඹුල් දාලා දෙහි ලෙල්ලත් පොල් සම්බෝලෙට දාලා හොදට කලවම් කරනවා .
පොල් පුච්චලා අරගෙන මිරිස් බැදලා අරන් හදන පොල් සම්බෝලෙත් අමුතුම රසක් .
අත්තම්මා ගේ වටේටම නොයෙකුත් දේවල් හිටවලා සාත්තු කරා .එක එක වර්ගයේ කොච්චි තිබුනා .
කොච්චි සම්බෝල එක්ක තම්බපු කොස් පිගානක් කන්න පුලුවන් .
අත්තම්මා ගෙදර කුරහන් ගලේ කුරක්කන් ඇට පිටි කරලා කුරහන් තලප හැදුවා .උනු වතුර ට කුරක්කන් පිටි ටික ටික දාලා පිටි තැම්බීගෙන එද්දී හැදි මිට උදව් කරගෙන ලස්සන ට බෝල කරන හැටි බලාගෙන ඉන්න ආසයි .
තලප ගිලින්න ආනමක් හැදුවා .මුං ඇට ආනමක් කොරළි හොද්දක් එක්ක ලොකු තලප ගුලියක් ගිලින එක ගමේ මිනිස්සුන්ට නම් මහ කජ්ජක් නෙමෙයි .ඒත් ....මට නම් තාමත් තලප ගිලින්න බැහැ .මම තලප කනවා .

අත්තම්මා කලවම් පලා මැල්ලුමක් හදන වෙලාවට පොල් එක්කම පොල් කිරි ටිකක් දානවා .හරිම රසයි .
මාලු හොද්දක් හදනවා නම් හාල් ඇට ටිකක් පොල් පොඩ්ඩක් එක්ක අඹරලා හොද්දට දානවා .ඒ හොද්ද උකු වෙන්න ත් රස වෙන්නත් කියලා අත්තම්මා කිව්වෙ නැහැ ඒත් මට හිතෙන්නෙ ඒක තමයි රහස .

කැකිරි ,පුහුල් ,පිපිඤ්ඤා වගේ දේවල් උයද්දි ත් හාල් පොල් අබ ගම්මිරිස් අඹරලා මිටිකිරි එක්ක දානවා .හරි ම රසයි 
උෂ්ණ දේවල් උයද්දි ( ඉස්සො / කකුළුවන් ) මුරුංගා කොල දැම්මා උෂ්ණ නැති වෙන්න .
අද ජීවතුන් අතර හිටියා නම් අත්තම්මා ගෙන් කොයිතරම් රස රහස් අහගන්න තිබුනා ද ? අදටත් අත්තම්මා මගේ හිතේ ගැඹුරුම තැනක ජීවත් වෙනවා 
අත්තම්මා ගේ රෙදි පෙට්ටියෙ අලුත් චීත්තතියෙනවා .ලස්සනට නවලා කපුරු දාලා තියෙනවා .ඒත් නිතරම අදින්නෙ එකම චීත්ත  .
.ලෝභකම කියලා හිතන්න ත් බැහැ .දූලා ට දරුවෝ ලැබෙන්න ඉස්පිරිතාලෙ යද්දි අලුත් චීත්ත දෙනවා මට මතකයි .
මගේ බුදු ගෙයි මම පුන්චි බුදු පිලිමයක් තියා තිබුනෙ .අත්තම්මා ගෙදර තිබුන ලොකු බුදු පිළිම ය මට ගෙනැත් දුන්නා .
වත්තෙ වැටෙන පොල් අතු වල ඉරටු සුද්ධ කරලා ඉරටු මිටි බැන්දා .කෝපි ටික ගම්මිරිස් ටික වෙලාවට කඩලා විකුණන අත්තම්මා අඹ ,පේර ,දෙහි කඩලා පොලට අරන් ගිහින් විකුන්නා .කොයි වෙලාවකවත් නිකම් හිටියෙ ම නැහැ .
ලස්සන ට මිදුල උදලුගානවා .වැහි වතුර ටික පවා ටැංකිය කට එකතු කරා .අත පය හයිය තියෙන තාක් කිසිම දරුවෙක් ට කරදර කරන්න කැමති වුනේ නැහැ . 
අත්තම්මා ගෙන් ඉගෙන ගත්ත කඩිසරකම අරපිරිමැස්ම ඉවසීම වගේ දේවල් මගේ ජීවිතය ට හුගක් වටිනවා .සමහර මිනිස්සු මැරුනත් ජීවත් වෙනවා වගේ .මහ පොළොව ට බරක් නැතුව ජීවත් වුන ඒ වටිනා මිනිස්සු කියලා තමයි මට හිතෙන්නෙ .
යාලුවන්ටත් මේ වගේ අය ඇති නේද ?

A day in the life

Friday, September 06, 2024

ඡායාරූපකරණය - ජූලියා මාග්‍රට් කැමරන්



ජූලියා මාග්‍රට් කැමරන්, ඔබ සමහර විට මේ නම අහලා ඇති. උපතින් ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය කාන්තාවක් වුණු ජූලියා තමන්ගේ කුඩා කාලය ගත කරන්නේ බෙංගාලයේ. ඇය බෙංගාලයේ ඉහළ ධනපති පන්තියේ කාන්තාවක් විදියට ඉපදිලා පසුකාලයක බ්‍රිතාන්‍යයට යනවා. ඒ ඇගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. එහිදී තමයි ඇය මුල්වරට ඡායාරූපකරණය පිළිබඳව ඉගෙන ගන්නේ.
19 වන සියවසේ සිටි, වඩාත් සිත් ඇදගන්නා සුළු ඡායාරූප සිය කැමරා කාචයේ සටහන් කරගන්නියක් ලෙස එකල ඇය එංගල්නතයේ නම් දරා සිටියා. ජූලියා ගේ ප්‍රධානම විශේෂත්වය වුණේ අගේ සියලුම ඡායාරූප ඉතා සමීප ඡායාරූප එහෙමත් නැත්නම් Close up වීම හා ඒවා ඉතාම සුන්දර ඡායාරූප වීමයි.
ඒ වගේම ඡායාරූපකරණය ඉගෙන ගැනීමෙන් පසු ඇය වසර 12 ක් තුළ ඡායාරූප 900 ක් පමණ සිය කැමරා කාචයට හසුකරගෙනා තිබුණා. එයින් බොහොමයක් එකල බ්‍රිතාන්‍යයේ ප්‍රෞඪත්වය විදහාපාන ඡායාරූප වුණු අතර බහුතරයක් වික්ටෝරියා රැජිනගේ ඡායාරූප වීම ද විශේෂත්වයක් වනවා.
ජූලියා හොදින් සිය අධ්‍යාපනය අවසන් කළ කාන්තාවක් වුණු අතර ඇය ක්‍රිස්තියානි ආගම කෙරෙහි ඉතාම භක්තිමත් කාන්තාවක්. ඒ නිසාම ජූලියා ඡායාරූපයට නැගී බොහෝ සිදුවීම් සිය ආගමික නැඹුරුව පෙන්වාදෙන ඒවා බවට පත්වුණා.
වර්ෂ 1838 දී ජූලියා චාර්ල්ස් හේයි කැමරන් සමග විවාහ වනවා. දරුවන් 11 දෙනෙකුට ආදරණීය මවක් වන ඇයගේ දරුවන් 6 දෙනෙක්ම හදාගැනීමට ගත් දරුවන් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ජූලියා අපට විශේෂ වන්නේ ඇය මෙරට පළමු කාන්තා ජායාරූප ශිල්පිනිය වීම නිසයි. බ්‍රිතාන්‍ය යුගයේ මෙරටට පැමිණෙන ජූලියා සිය ජීවිතයේ අවසන් කාල සීමාවා ගෙවා දමන්නේ ශ්‍රී ලංකාවේ කළුතර ප්‍රදේශයේ යි. වර්ෂ 1879 දී එනම් 65 වන වියේ දී කළුතර දී මියයන ඇය මෙරට බොහෝ පැරණි ඡායාරූප වල උරුමකාරිය ද වනවා.
- චාපා -

 

Tharunie


A day in the life

Thursday, September 05, 2024

සිංහල භාෂාව



සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.
1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.
2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.
3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.
4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.
5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.
6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.
7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.
8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.
9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.
10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.
11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.
12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.
13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.
14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.
15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.
16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.
17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.
සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.

උපුටාගැනීමකි



Wednesday, September 04, 2024

කුහක වතක්











“හිටපු ගමන් ඔන්ලයින් ඇවිත් ……දේශපාලනේ පෝස්ට් එකක් දාලා කට්ටිය ඇවිස්සුවේ නැත්නම් කෑවේ නෑ වගේ “ - මෙහෙම සිතිවිල්ලක් නදී සමන්මාලී. මෙටාවට යොමු කලා තිබුනා.
දැක්ක හැටියෙම මම ෂෙයාර් කලා. හේතුව මටත් මේ දවස්වල එහාට මෙහාට විසි වෙන පෝස්ට් වගේම ප්‍රතිචාරත් මම ඉවසන්නේ හරිම විනෝදයෙන්. මම ඒවා බැරෑරුම්ව හිතන්නත් බාර ගන්නත් පෙළඹ‍ෙන්නේ නැහැ.


සමහර වෙලාවට බරපතල ලෙස අපහාස කරන අවස්ථාත් හමුවෙනවා.පලකරන්නාගේ දේශපාලන මතය දරන්නේ නැත්නම් පාදඩයා, අවජාතකයා වැනි පීඩාකාරී ප්‍රාහාර එල්ල වෙනවා.වලව් වල වලං හෝදන අවලංළු. ගොන් ආතල් ගන්නවා කියලත් කියනවා.  ඔය වගේ දේවල් දරාගත්තොත් මහත් පීඩාවක් ඇති වෙනවා බැහැර කලොත් දැනෙන්නේ සහනයක්.
අද මේ පෝස්ට් එකට ලැබුන ප්‍රතිචාර බලන්න.

“මටත් ඔය ලෙඩේ බෝවෙලා අයියේ “ මෙහෙම කිව්වේ සංවරව ප්‍රතිචාර දක්වන්නෙක්.
............මම කිව්වා -ජොලි වැඩේ කලබල වෙනවා දකින කොට හිතෙන දේවල් වලට හිනා.
“................මදෑ ඔහොම හිටියා “ කෙටි ප්‍රතිචාරයක්.
“............පොහොට්ටුවෙන් මාලිමාවට මාරැ වුන එකෙක් ඇවිස්සුවනම් තවත් මරැ..තවත් කෙනෙක්ගේ අදහසක්.
“..............නිදාගන ඉන්න කොටියෙක් ඇහැරෙව්ව වගේ.
“.....................හැබැයි වෙන අයගේ දේශපාලන පොස්ට් වලට උත්තර දෙනවා.......ඒත් .......ඔබගේ පොස්ට් වලට වැරැද්දක් කියන්න හිතෙන්නේ නැ....හිත් රිදවා ගන්න අකමැති නිසා .....කව්රු රජ උනත් අපි හම්බ කරොත් අපිට කන්න පුළුවන් .....එච්චරයි ....හැබැයි හම්බකරගෙන කන්න හරි රටක් තියෙන්න එපැයි ........“ මෙහෙම කියන්නේ මට අනුකම්පාවෙන්.
“................මට ඒ තරම් හිතන්න දෙයක් නැහැ .දේශපාලන විග්‍රහ වලට කැමතියි .මොන විදියේ කෝන වලින් තිබුනත් කියවනවා .දේශපාලන අදහස් වලින් සමාජය එක එක ගොඩවල් වලට ගහ ගන්නේ නෑ .තම තමන්ට පෞද්ගලික අදහස් මතිමතාන්තර තියෙන්න පුළුවන් .ටිකක් අප්‍රසන්න දේශපාලනය මුල් කොට ගැරහීමට ලක් කරන එක.“ මම සටහන් කලා පිළිතුරක් ලෙසට.
“....................ගොඩක් දෙනා එහෙම නැහැ ...මොකේ උනත් තමන් තෝරාගත් කෙනාට පක්සව ලියනවා...අවුස්සගන්නවා කියන මහා දාර්ශනිකයොත් රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා......මේ තමන්ගේ මතිමතාන්තර තහවුරු කරන හිතවතෙක් . හැම වෙලාවේම කොක්කක් තමයි. මට නම් විනෝදජනකයි. ඒ්ත් රුධිර පීඩනයට නම් අගුණයි කියලා මතක් කරනවා. වැඩක් නැහැ.
“..............උන් පට්ට කුහකයෝ “ පුංචි ළමෙක් ගලක් අරන් ගැහුවා වගෙයි . කියලා මම හිතලා
මෙහෙම කියනවා“.................ඔයාට නම් තියෙන්නේ පට්ට කේන්තියක්. මම නම් උපේක්ෂාවෙන් බලනවා .හැම කෙනාටම නිදහස්ව හිතන්න හැකියාව තියෙනවා නේ.“ කියන මට මතක් වෙනවා මම ගැන යටි හිත‍ේ කේන්තියක් තියෙයනව ද කියලා “රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා “ කියන නිසා.
.“.................................කේන්තියක් නැහැ ....අවුස්සනවා කියන්නෙ පොර ටෝක් කතාවක්....නිදහසේ ලියනකොට අවුස්සනවා කියන්නෙ මොකක්ද ????ඒක පට්ට කුහක කතාවක්.“............... සන්සුන් වෙන තුරු තර්ක කරන එක නතර වෙන්නේ නැහැ. එයාට ජයග්‍රණය දුන්නම මම නිදහස්.
මම දන්නවා ........ මල්ලීගේ අදහස් තහවුරු කර ගන්නා කෙනෙක් කියලා ඕන දෙයක් හිතා ගන්න .මට කමක් නැහැ
“.................ඇවිස්සුව නේද“ මේ සංවාදය බලලා තව එක්කෙනෙක් කියනවා.
....................ආදරෙයි ...

රටට ආදරේ අයත් ඉන්නවා .තමන්ට ආදරේ මම වගේ අයත් ඉන්නවා.ඔය කුහකයි , අවජාතකයි වලව්වල වලං  හෝදනවා කියලා කිව්වේත් ගොන් ආතල් ගන්නවා කියන්නේත් ඒ් අයට. කුහකයිනට වෛර කරන අයත් ඉන්නවා.ආදරේ කරන අයත් ඉන්නවා.

A day in the life

Tuesday, September 03, 2024

පැරණි ගම්වල තිබ්බ ලිං





1 කුඹුකේ ලිඳ (වියලි කලාපය)
අහල තිබ්බට දැකල නෑනේ. ඔන්න බලන්න මේ කුඹුක් ගස් හෙවනේ ලිඳට තමා ඉස්සර මුතුන් මිත්තන් කුඹුකේ ලිඳ කියලා කිව්වේ.
ගහ යට හෙවන නිසා වතුර සීතලයි. ඒක නිසා නෑමට ගන්නත් පුලුවන්. නමුත් මේ වතුර ඊට වඩා හොඳ බීමටයි. කුඹුක් ගස්වලට වියලි කලාපයේ භූගත ජලයේ තියෙන ඛණිජ හා ලවණ වර්ග උරාගැනීම නිසා සාමාන්‍ය ජලයට වඩා බීමට සුදුසුයි.
ඒකාලෙ මිනිස්සු හුණු වෙනුවට කුඹුක් පොතු පුච්චලා අඟුරු අරන් තියෙනවා බුලත්විටට.
කුඹුක් ගහ යට ලිං හාරල වගේම ලිඳ ලඟ කුඹුක් ගහක් හිටවලත් මේ ලිං හදාගත්තා. වැඩිපුර තිබ්බෙ වියලි කලාපෙ උනත් අපේ වත්තෙත් තිබ්බා මේ වගේ ලිඳක්. ඒකෙ ලිඳේ ගල්බැම්ම අස්සෙන් කුඹුක් මුල් කැරලි කැරලි ලිඳ ඇතුලට ඇදිල තිබ්බා.
2 ඌරාකැට ලිඳ (තෙත් කලාපය)
මේ ලිං තෙත් කලාපයේ තමයි දකින්න පුලුවන්. මේවා විවිධ නම්වලින් හැඳින්වුණා.
ඌරුකැටේ , ඌරුකොටේ , ඌරාකැට වගේ. මෙතෙන්දි ඌරු කියන්නෙ ඌරන්ට සම්බන්ධ වචනයක් නෙවෙයි . ඒකෙන් කියන්නෙ විශාල කියන එක.
උදා:- ඌරුමීයා= ලොකු මීයා, ඌරු හතු = ලොකු හතු, ඌරු සිටාණෝ = මහ සිටාණෝ වගේ
මේව හැදුවෙ සමහර වෙලාවට විශාල ගසක මුල කොටසේ මැද ඉවත්කරල වලල්ලක හැඩේට ලිඳට බස්සල. ලිඳ ඒතරම් ගැඹුරු නෑ.
මේක අමුතු ක්‍රමයක්. මේකට කියන්නෙ ලිං බස්සනවා කියල මිසක් ලිං හාරනව කියලා නෙවෙයි.

හොඳ උල්පතක් තියෙන තැනක් හොයාගෙන එතන ටිකක් යටට හාරනවා. අර කිව්ව කොටේ ලිඳ හාරන තැන තියල යට පස් අයින්කරනවා. එතකොට වලල්ල වටේටම ගානට ගිලා බහිනවා උස මදිනම් තව වලලු තියනවා.
ලොකු මැටිගඩොල් වර්ගයක් තියෙනවා ලිං ගඩොල් කියල. ඒව තමා ලීකොටේ වෙනුවට සමහර පැතිවල දාන්නෙ.
ලිඳ හාරල අර ගඩොල් වලල්ලක හැඩේකට ලිඳේ පහල ඉඳන් තියාගෙන එනවා. මේ ගඩොල් වලල්ලක හැඩේට හැදුවම ඉබේම හිරවෙන විදියට පිට රවුම් පැත්තට ලොකුවටත් ඇතුලෙ රවුම් පැත්තට කුඩාවටත් හදන්නේ.
ඉතින් මේ විශාල කොටේ එහෙම නැත්නම් විශාල කැට නිසා මේ ලිං වලට ඌරාකැට ලිං , ඌරා ලිං, ඌරුකොටේ ලිං කියල කිව්වා.
සමහර ලිංවල ඒක වහල තියෙන්න පියනක් පවා හදල තිබුණු බව කියනවා.
..
මුහුණු පොතෙන් උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය
A day in the life

Monday, September 02, 2024

ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති දේ යථාර්ථයක්ද?


ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීම ආරම්භ කර තිබේ. ප්‍රධාන අපේක්ෂකයන් අතුරින් මුලින්ම ප්‍රකාශයට පත් වූයේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි. එය නම් කර ඇත්තේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ වශයෙනි. මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ ‘පස් වසරක මෙහෙයුම – පුළුවන් ශ්‍රී ලංකා’ නමිනි. එසේම සමගි ජන සන්ධානයේ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට එළිදක්වා ඇත. එහි තේමාව ‘සැමට ජයක්’ යන්නයි. එහෙත් මේ ලිපිය ලියන මොහොත වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා නැත. අනුව එය සැප්තැම්බර් 02 වැනිදා එළිදැක්වීමට නියමිතය. සර්වජන බලයේ ජනපති අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාද ‘එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්’ යන තේමාවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදක්වා ඇත. ජනාධිපතිවරණයට ඇත්තේ තවත් ඉතා සීමිත දින ගණනකි. හැමදෙනාම සිය ඡන්දය භාවිතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවාම නොවේ. එහෙත් අවශ්‍ය අයට එක් එක් පක්ෂවල ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති කියවා, ඒවා කිරා මැන බැලීමට දේශපාලන වේදිකාවේ කියන දේවල්වලට වඩා වැදගත් වනු ඇත්තේ මේ නිල ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති කරුණුය.


මේ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයකම බොහෝ සුන්දර දේවල් සඳහන්ව තිබිය හැකිය. එහෙත් ඒවායේ කවර සුන්දර දේ සඳහන්ව තිබුණත් රටට සහ මහජනයාට වඩාත් වැදගත් වන්නේ ඔවුන් බලයට පත් වූ පසුව ඇත්තවශයෙන්ම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළයි. පසුගිය ජනාධිපතිවරණයේ ලක්ෂ 69 ක ඡන්දයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂට අන්තිමට සිදු වූයේ කුමක් ද? රට ද බංකොලොත් වී (ඒ සඳහා ඔහුගේ පාලන කාලයට අයත් ආසන්න හේතු මෙන්ම දිගුකාලීන හේතු බලපා ඇත.) ඔහුට එරෙහිව මතු වූ ජනතා විරෝධතාවලට මුහුණ දී ගත නොහැකිව රටින් පලා යෑමටයි. රට පාලනයට අසමත් වූ ඔහු රටින් පැන ගොස් අන්තිමේ ඔහුට ලැබුණු 69 ලක්ෂයේ ජනවරමට පටහැණිව රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ද පත් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂික ජනයා ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය බලා ඡන්දය දුන්නේ නම් පාක්ෂික ජනයාගේ එම අසීමිත අපේක්ෂා ඉටු වූයේ ද? මම තමයි හොඳටම කරේ කීවත් ඔහුට තම ධුර කාලයේ පවා රට පාලනය කරගත නොහැකි විය. එම අසාර්ථක ඉතා කෙටි පාලන කාලය තුළ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ‘සෞභාග්‍ය’ කෙසේ වෙතත් අන්තිමට රටට ණය ටික ගෙවාගෙන යෑමටවත් නොහැකිව රට බංකොලොත් විය. මේ නිසා ජනපති අපේක්ෂකයන්ගේ හෝ ඔවුන් නියෝජනය කරන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල කවර දේ සඳහන්ව තිබුණත් අන්තිමේ දී රටට සහ ජනතාවට වඩාත් වැදගත් වන්නේ එම බලයට පත්වන රජයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළයි.
මේ පසුබිම තුළ අපට මේ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගැනම සැලකීමට සිදුව ඇත. කෙසේ වෙතත් මේ මොහොතේ අප සිතන්නේ රට තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක මොහොතක බවයි. 2022 වසරේ රට බංකොලොත් වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ඇතිව මේ වන විට රට කිසියම් ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති බව සත්‍යයකි. එහෙත් අප සිතන්නේ තවමත් රට දෙපයින් නැගිට නැති බවයි. එනම් ආර්ථිකය මුළුමනින්ම යථා තත්ත්වයට පත්ව නැත. පවතින ආර්ථික ස්ථායිතාව ස්ථිර ස්ථායිතාවක් බවට පත්කරගත යුතු වේ. රටේ ජනතාව මේ වන විට විඳිමින් සිටින ආර්ථික පීඩනය සමනය කරගත හැකි වන්නේ එවිටය. ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව අනුගමනය කරමින් තවත් කාලයක් ගත කිරීමට අපට සිදු වනු ඇත. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැනට ක්‍රියාත්මක වැඩසටහන අනුගමනය කරමින් එම ආර්ථික ප්‍රතිපත්ති දිශානතියේ අඛණ්ඩව රටට ගමන් කිරීමට සිදුවනු ඇත. මේ ප්‍රතිපත්ති දිශානතිය ලෙස අප විශ්වාස කරන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය ඇතිව ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මිස රජයේ ආර්ථික වැඩපිළිවෙළම නොවේ. මේ නිසා ප්‍රතිපත්ති දිශානතියේ අඛණ්ඩව ගමන් කිරීමට සිදුවනු ඇතිය යන්න දේශපාලන කතාවක් නොවේ. එහෙත් මේ දෙකේ සම්බන්ධයක් ඇති බව වෙනම කතාවකි. අයිඑම්එෆ් එකඟතා අනුව බදු ඉලක්ක සපුරාගත යුතු බව ඇත්තය. එහෙත් එම බදු ඉලක්ක සපුරා ගැනීම සඳහා බදු අය කර ගන්නේ කවර මාර්ගවලින් ද යන්න පවතින රජයට අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කර එකඟතා ඇති කරගත හැකිය. මේ නිසා අප සිතන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් කවරෙකු බලයට පත් වුවත් මේ ප්‍රතිපත්ති දිශානතියේ ඉදිරියට ගමන් කිරීමට හැකිවනු ඇති බවයි. නව ජනපතිවරයෙක් සහ රජයක් බලයට පත් වූ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑම ගැන එම රජය සමග ඔවුන් සාකච්ඡා කරනු ඇත.



ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති දේ යථාර්ථයක්ද?
මේ පසුබිම තුළ අප දකින වඩාත්ම ප්‍රමුඛම කාරණය දැනට ක්‍රියාත්මක අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අනාගත රජය අනුගමනය ප්‍රතිපත්තියයි. සෑම ප්‍රධාන ජනපති අපේක්ෂකයෙක් පාහේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැනට ක්‍රියාත්මක වැඩසටහන ගැන අදහස් දක්වා ඇත. මේ අතරින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ගැන නම් අදහස් ඕනෑ තරම් ප්‍රකාශයට පත්ව ඇත. ඔවුන් එම වැඩසටහන දැනට ඇති එකඟතා ප්‍රකාරව ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇත. එනම් සැලසුම් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇත. සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මේ ගැන වඩාත්ම අදහස් දක්වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අයිඑම්එෆ් සමග සාකච්ඡා කර යම් වෙනස්කම් සහිතව අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක කරන බවටයි. එය ද බැරි දෙයක් නොවේ. සජිත් ප්‍රේමදාස මහතා ජනපති වුවහොත් එම නව රජයේ ප්‍රතිපත්ති වෙනස්කම් අනුව අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කළ හැකිය. එසේම අයිඑම්එෆ් එක ද කටයුතු කරන්නේ යම් රටක පවතින රජය සමග මිස දේශපාලන කණ්ඩායමක් සමග නොවේ. මේ නිසා ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනපති වුවත් එම රජය සමග ද ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස්කම් සමග අයිඑම්එෆ් එක සාකච්ඡා කරනු ඇත. එහිදී අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එකඟතා ඇතිකරගත හැකි නම් ප්‍රශ්නයක් ඇති නොවේ. ප්‍රශ්නයක් ඇති වන්නේ සහ අයිඑම්එෆ් වැඩසටහන අපට අහිමි වනු ඇත්තේ අනාගත රජය අයිඑම්එෆ් සංවිධානය සමග සාකච්ඡා එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත්ය.
මේ අනුව ජාතික ජනබලවේගය විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන’ මැයෙන් යුතුව මේ පිළිබඳව ප්‍රකාශයට පත්කර ඇත. එහි මෙසේ ප්‍රධාන කරුණු පහක් සඳහන් වේ.
දුප්පත් හා අසරණභාවයට පත් කොට ඇති ජනතාව එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක අඩංගුව හා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති අදායම් පාදක වියදම් කළමනාකරණ (Revenue based fiscal consolidation) යෝජනා නැවත සමාලෝචනය කිරීම සඳහා කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කිරීම
ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින්, අවශ්‍යතාවය අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙල කිරීම (DSA)
රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සහ ආණ්ඩුවේ වගවීම සහතික කිරීමට හා ණය අවභාවිතය සිදු කළ පුද්ගලයින්ට එරෙහි නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු විසින් ලබා ගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් (Debt Audit) කඩිනමින් සිදුකිරීම
රටේ සහ බැංකු පද්ධතියේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය විනය වැඩි දියුණු කිරීම’
මූලිකවම සඳහන් කළ යුතු වැදගත්ම දෙය නම් ජාතික ජනබලවේගය ද අයිඑම්එෆ් වැඩසටහන සමග ඉදිරියට ගමන් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇති බවයි. එහෙත් එහිදී ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස්කම් අනුව අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කර නව එකඟතා ඇති කර ගැනීමට එම පක්ෂය අපේක්ෂා කරන බව මේ සඳහන් කරුණුවලින් අපට වැටහෙන දෙයයි. එහි වරදක් නැත. එහිදී අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා අනිවාර්යෙන්ම දෙපාර්ශ්වයම එකඟ විය යුතු වේ. එය මූලිකම දෙයයි. මූල්‍ය අරමුදලේ සහ නව රජයේ එකඟතාවකින් එනම් දෙපාර්ශ්වයේ එකඟතාවකින් තොරව මේ වැඩසටහන ඉදිරියට ගෙනයෑමට ඉඩක් නැත. මෙහි කරුණුවලින් පළමු කරුණ ගැන කිසිම ප්‍රශ්නයක් නැත. දෙවෙනි කරුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති ආදායම් පාදක වියදම් කළමනාකරණ යෝජනා නැවත සමාලෝචනය කිරීම ගැන ද අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කළ හැකිය. එහෙත් මේ කියන කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය ගැන ජාතික ජනබලවේගය වචනවලින් කියන දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ප්‍රතිඵල උදාකරගත ඒවා විය යුතු බව අපගේ අදහසයි. ඕනෑම ජනපති අපේක්ෂකයෙකුට හෝ දේශපාලන පක්ෂයකට ඕනෑම දෙයක් ගැන නව යෝජනා ඉදිරිපත් කළ හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ එම යෝජනා මොනවා ද යන්නයි. එසේම ඒවා කොතෙක් දුරට ප්‍රතිඵලදායී ඒවා ද යන්නයි. එහෙත් ඒ ගැන කිසිවක් මෙහි සඳහන් නොවේ. එසේම ඔවුන්ගේ එම නව යෝජනා ගැන අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කර එකඟතා ඇති කරගත යුතු ද වේ. මෙහි සඳහන් විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණය ගැන ද කිව යුතු වන්නේ එය කුමක් ද යන්න තවමත් අප දන්නේ නැති බවයි. එසේම එය ද අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කර එකඟ විය යුතු වේ. විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් කිරීමේ කරුණ අප ද සිතන්නේ හොඳ දෙයක් බවයි. ආණ්ඩුවලට ඇති තරම් විදේශ ණය ගෙන රටට අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය ව්‍යාපෘති ද ක්‍රියාත්මක කළ හැකිය. ඒ හරහා ණයකරුවන් බවට පත්වන්නේ රට සහ ජනතාවයි. එසේම ණය ගෙවීමේ හැකියාව නොසලකා විදේශ ණය ගැනීම ද රටේ ණය තිරසරභාවය නැති වීමට හේතුවක් වූවා විය හැකිය. මූල්‍ය විනය වැඩි දියුණු කිරීම ද රට පවතින ආර්ථික අර්බුදයෙන් තවදුරටත් ගොඩ ගැනීම සඳහා අවශ්‍යම දෙයකි. එහෙත් ප්‍රශ්නය එය කරන්නේ කෙසේ ද යන්නයි. වචනවලින් ඕන කෙනෙකුට මෙවැනි දේ කිව හැකිය. එහෙත් ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත. සියලු ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති සියලු දේ එකවර සාකච්ඡා කිරීම දුෂ්කර කරුණකි. ඒ නිසා අප මෙහිදී වඩාත්ම අවධානය යොමු කළේ දැනට තරමක් දුරට ස්ථාවර කරගෙන ඇති ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගෙන යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගෙනයෑමේ ප්‍රමුඛ කාරණයයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

A day in the life

Sunday, September 01, 2024

අම්මා





අතීතයේ එක් තරුණයෙකුට ඔහු නොකළ අපරාධ චෝදනාවක් එල්ල විය. එවිට රජු ඔහුව සිරගෙදරට දමා දින පහළොවක් කුසගින්නේ තබා දඬුවම් කරන ලෙස නියෝග කළේය. “ආහාර සහ ජලය කිසිවක් නැත! “ ඒ රජුගේ අණයි!
එය ඇසූ තරුණයාගේ මව ශෝකය පාලනය කර ගත නොහැකිව හඬමින් තම පුතුට අනුකම්පා කරන ලෙස රජුගෙන් අයැද සිටියාය.
"අනේ මගේ පුතාට මෙච්චර දවසක් බඩගින්නේ ඉන්න දෙන්න එපා. මම ඔබෙන් අයදිනවා මගේ රජතුමනි! එයාට කන්න බොන්න දෙන්න, කොච්චර ටිකක් වුණත්. එයාට දවස් දෙකකට සැරයක් කන්න ලැබුණොත් මට කමක් නැහැ. කරුණාකර මගේ දුප්පත් පුතාට අනුකම්පා කරන්න, මගේ රජතුමනි!
කෙසේ වෙතත්, ඇගේ සියලු ආයාචනා බිහිරි කන්වලට වැටුණි. ඇගේ මහ හඬින් කෑගැසීම් නිසා රජු කෝපයට පත් වූ අතර ඇයව පිටතට තල්ලු කරන ලෙස ඔහු තම ආරක්ෂකයින්ට නියෝග කළේය.
පසුදා උදෑසන මව ආහාර බඳුනක් සහ වතුර කෝප්පයක් රැගෙන රජුගේ මාලිගාවට පැමිණියාය. ඇය දණින් වැටී හිස බිමට නමා රජු ඉදිරියේ ආයාචනා කළාය.
"අනේ මගේ පුතාට මම ගෙනාපු කෑම කන්න දෙන්න. එයාට මේ වෙනකොට හොඳටම බඩගිනි වෙන්න ඇති. කරුණාකර ඔහු දෙස අනුකම්පාවෙන් බලන්න. මම ඔබෙන් අයදිනවා මගේ රජතුමනි."
නමුත් ඇගේ කලබලකාරී තත්ත්වය තිබියදීත්, රජු කෝපයෙන් ගර්ජනා කළේය.
"නෑ! ඔහුට අපරාධකරුවෙකු ලෙස දඬුවම් ලැබිය යුතුයි! ඔහු කුසගින්නෙන් පෙළෙන පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් සිටීමට මම වග බලා ගන්නෙමි! ඔහුට ආහාර නොමැතිව සිටීමට තව දින දාහතරක් තිබේ!"
එසේ පැවසූ රජු මවට වහාම මාලිගාවෙන් පිටව යන ලෙසත් නැවත නොඑන ලෙසත් අණ කළේය. කෙසේ වෙතත්, පසුදා උදෑසන, බලාපොරොත්තු සුන් වූ මව ආහාර සහ ජලය සමඟ නැවතත් මාලිගාවට පැමිණ රජුට කන්නලව් කළාය. මේ වතාවේ රජු ඇය පිටත් කර යවා නැවත මාලිගාවට කෑම ගෙනාවොත් මරා දමන බවට තර්ජනය කළේය.
තුන්වෙනි දවසේ අම්මා මාලිගාවට ගියාය. නමුත් ඒ හිස් පිඟානක් සමඟය. ඇගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම වතුරෙන් තෙත් වී තිබුණි. ඇය රජුට මෙසේ කීවාය.
"මම ආවෙ කෑම අරන් නෙවෙයි, මේ හිස් පිඟාන අරන් තමයි ආවේ."
රජු කෝපයෙන් ඇය දෙස බලා මෙසේ ඇසීය.
" පිඟානක් මොකටද?"
මව පිළිතුරු දුන්නේ,
"මගේ පුතාට කන්න දෙන්නෙ නැති නිසා මම ඔබෙන් අයදිනවා පිඟාන දෙන්න මට ඉඩ දෙන්න කියලා. එයාට ඒවා අල්ලලා කෑම තියෙනවා කියලා පෙන්නන්න. ඒක එයාගේ බඩගින්න නිවන්න උදව්වක් වේවි."
එවිට රජු මෙසේ ඇසීය.
"ඇයි ඔයාගෙ ඇඳුම් වතුරෙන් තෙමිලා තියෙන්නෙ?"
මව මෙසේ කීවාය.
"මං එනකොට ඒ දණ්ඩෙන් වැටී තෙමුනා රජතුමනි.”
රජතුමා පුතා හමුවීමට මවට අවසර දුන්නේය. මුරකරුවන් ඇයව ඇතුළට යවා, ඔවුන් එළිමහනේ බලා සිටියහ. මව තම පුතාව දුටු විගසම පිඟාන ඔහුට දී ඔහුට රහසින් කීවාය.
"පුතා මම ඔයාට කෑම ගෙනාවා. මුරකාරයෝ එන්න කලින් ඉක්මනට කන්න."
කුසගින්නෙන් පෙළෙන තරුණයා නොඉවසිල්ලෙන් මෙසේ ඇසීය.
"කෝ අම්මේ කෑම. මට කෑමක් පේන්නේ නෑ."
අම්මා සෙමින් කීවේය.
"පිඟාන, ඒවා කන්න. මම චීස් වලින් පිඟානක් හැදුවා. හැමෝම හිතන්නේ ඒවා නියම පිඟානක් කියලා, නමුත් මෙය චීස් වලින් හදලා තියෙන්නේ. මෙය කාලා වතුර ටිකක් බොන්න."
පුදුමයට පත් තරුණයා ඇසුවේය.
"වතුර? කෝ අම්මේ??”
අම්මා මිමිණුවාය,
"මෙන්න... මම හිතාමතාම මගේ ඇඳුම් තෙත් කළා, මට ඔබට වතුර ටිකක් ගබඩා කර ගත හැකි විය. මම මගේ ඇඳුම්වල වතුර ඔබේ කටට මිරිකා වත්කර දෙන්නෙමි.”
තරුණයාගේ ඇස්වල කඳුළු පිරී ගියේය, ඔහු කෙඳිරිගාමින්,
"ඔයා මෙච්චර දෙයක් මට කරලා තියෙන්නේ අම්මේ. ඔයාගේ ජීවිතේ පරදුවට තියලා."
අම්මා කඳුළු සලමින් කීවාය.
"මට නිදාගන්න පුළුවන් මගේ පුතාට ‘බඩගිනියි පිපාසයි නෑ’ කියලා දැනගත්තම විතරයි. මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් පුතේ.".
* මවක් යනු දරුවෙකු බිහි කරන කාන්තාවක් පමණක් නොවේ, ඇය ආදරය, රැකවරණය සහ පරිත්‍යාගයේ ප්‍රතිමූර්තියයි. සියලුම මව්වරුන්ට දෙවි පිහිටයි! මම ඔයාට ආදරෙයි අම්මේ

A day in the life

Saturday, August 31, 2024

යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස







යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස විසඳෙයි
බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්
ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර...
සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි.
දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය අර්ධද්වීපය මෙහි අපූර්වත්වය තවත් තීව්‍ර කරයි. වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වූ හුණුගල් ස්ථරයකින් යාපනය අර්ධද්වීපය නිර්මාණය වී තිබේ.
මේ භූමි නිර්මාණය තුළ හිරිගල් ආවාට හා ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගුහා හෝ දෝනා තිබිය හැකි බව භූ විද්‍යාඥයෝ විශ්වාස කරති.
බොහෝ දෙනකුගේ මතය වන්නේ යාපනයේ නීලාවරෙයි හන්දියට ආසන්නයේ පිහිටා ඇති සුවිසල් ළිඳ පතුළක් නොමැති මහ කුහරයක් බවයි. ඒ නිසා එය පතුළක් නොමැති ළිඳ යැයි හැඳින්වීමට ශ්‍රී ලාංකිකයෝ පුරුදුව සිටිති.
ඉතා දැඩි සංචාරක ආකර්ශනයක් දිනා ඇති මේ පතුළක් නැති ළිඳ ගැන ඇති කතාවකින් කියවන්නේ සටන් විරාම කාලයේ මේ ළිඳට වැටුණු පුද්ගලයකුගේ සිරුරක් සොයාගත නොහැකි වූ බවයි. දින ගණනකට පසු ඔහුගේ සිරුර කන්කසන්තුරේ මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බව ද පැවසේ.
“එක වතාවක් මෙතැනට ආපු තරුණයෝ වගයක් මේ ළිඳේ වතුර කොතැනට සම්බන්ධ වෙලා තියෙනවා ද කියා බලන්න දෙහි ගෝනියක් මේකට දැම්මා. මේ දෙහි මතුවුණේ කීරමලෙයි මුහුදෙන්” ගැමියකු එසේ කීවේය.
ඔවුන් පවසන්නේ මෙහි පතුල සෙවීමට ගත් සියලු‍ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි. ඇතැමුන් පවසන්නේ මෙය කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. තවත් පිරිසක් කියන්නේ මේ ළිඳට ජලය ලැබෙන්නේ මාතලේ ප්‍රදේශයේ උල්පත්වලින් බවයි.
මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමේ ගවේෂණයකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම අත ගැසූහ.
ඔවුන් පවසන්නේ මෙය ළිඳක් ලෙස හැඳින් වුව ද බැලූ බැල්මටම එය හුණුගල් ආවාටයක් බව පැහැදිලි වෙන බවයි. ඉතාමත් පිරිසිදු නිල්වන් ජලයෙන් පිරී ඇති මෙම ළිඳ ඉතාමත් ගැඹුරු බව මතුපිට සිට බලන්නකුට පවා අවබෝධ වන කරුණකි. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව වසර සිය ගණනක් පුරා සපුරමින් පැවැති මේ ළිඳ අසල පැරණි දාගැබක නටඹුන් හා හින්දු කෝවිල් කිහිපයක් දක්නට ලැබේ. දාගැබේ නටඹුන් හේතුවෙන් මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මීටර 14.5ක් දිගැති හා පළල මීටර් 10.7ක් වන මේ ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත දැලක් ද ඉදිකර තිබේ.
මෙම ගවේෂණය සඳහා හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිත කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයකු වන රුසියානු ජාතික වයිලි කෂ්කිනොව් මහතාගේ සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියකු වන හික්කඩුවේ එම්.ජී. ප්‍රියන්ත මහතාගේ සහය ලබාගෙන තිබේ.
වයිලි මහතා වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං හා හිරිගල් ගුහා තුළට කිමිදුම් කටයුතු කිරීමේ පළපුරුද්දක් ඇති එවැනි කිමිදුම් සඳහා උපදේශකයකු මෙන්ම තාක්ෂණික කිමිදුම් කටයුතු පිළිබඳ පුහුණුව ලද අයෙකි.
වයිලි මහතා සහ ප්‍රියන්ත මහතා පළමුව මේ ළිඳට බැස්සහ. සියලු‍ ම ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් මේ කටයුත්තට පිළිපන් දෙදෙනාගේ පළමු ඉලක්කය වූයේ ළිඳට බැස එහි වටේ පරීක්ෂා කිරීමයි. දෝනාවක් තිබේ නම් ඒ තුළින් ගමන් කිරීම දෙවැනි අදියරේ සිදුකිරීම අපේක්ෂාව විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.
“මේ සැලැස්මට අනුව කිමිදුම් කටයුතු ආරම්භ කරලා මිනිත්තු අටක් වැනි කෙටි කාලයකින් ළිඳේ පහළට ගොස් තත්ත්වය පරීක්ෂා කර මතුපිටට ආපු වයිලි මහතා කීවා ළිඳෙහි වතුර නිශ්චලව පවතින බව. ඒ වගේම මීටර 10-20ත් අතර ගැඹුරේ දී ජලය අපහැදිලි බවත් එම ජලයේ මඩ අංශු පවතින බවත් ඔහු කීවා. ඉන්පසු පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි නමුත් මැද ස්ථරයේ මඩ අංශු නිසා හිරු එළිය නොවැටීමෙන් පතුළ අඳුරු බවත් කීවා.”
ඉන්පසු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්. දයානන්ද, එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාරණ යන තිදෙනා ද වයිලි සහ ප්‍රියන්ත සමඟ ළිඳ තුළට බැස කිමිදෙමින් පරීක්ෂා කරන්නට වූහ.
මෙහි ජලය මදක් කිවුල් ස්වභාවයෙන් යුක්තය. එසේ වුව ද ජලය පිරිසිදුය. මීටර 10-20 පමණ ගැඹුරට යන විට ජලයේ ලා දුඹුරු පැහැති මඩ අංශු මිශ්‍රවී තිබේ. එමෙන්ම ජලයේ කිවුල් ස්වභාවය මතුපිටට වඩා වැඩි බව ද මුතුකුමාරණ මහතා පවසයි.
තවත් ගැඹුරට යමින් මීටර 20 ගැඹුර පසුකරන විට ජලයේ පැහැදිලි බව යළි වැඩිවෙයි. මීටර 23-25ත් අතර ප්‍රමාණයේ දී ජලය ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බවත් එකවරම ජලයේ ලවණ ගතිය අතිශය ඉහළ යන බවත් ඔහු කීවේය. මුතුකුමාරණ මහතා පවසන්නේ මීටර 25න් පසු ජලය සම්පූර්ණයෙන්ම මුහුදු ජලය හා සමාන බවයි. එතැන් සිට ළිඳ පතුළට යනතුරුම දැඩි අන්ධකාරයක් පවතින අතර විදුලි පන්දම් නොමැතිව කිමිඳුම් කටයුතු කිරීම අපහසු කාර්යක් බව ද ඔහු පවසයි.
“මේ ළිඳේ ජලය සැලකූ විට ඉතාමත් අපූරු දසුනක් දක්නට ලැබුණා. ඝනත්වයෙන් වැඩි පතුලේ අැති මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලිව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්. ඒ වගේම ළිඳට වැටී තිබුණු ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් මලු‍ කිහිපයක් මේ ස්ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහළටත් ගමන් නොකර ස්ථාවරව පතින ආකාරය දක්නට ලැබුණා.”
පර්යේෂකයන් පවසන්නේ මෙහි ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල හමුවී ඇත. වසර සිය ගණනක් පුරා ළිඳට වැටුණු ඇතැම් අපද්‍රව්‍ය මෙහි මැද එකතුවී තිබෙන්නේ කුණු ගොඩැල්ලක් ගැසූ ආකාරයෙනි. මේ අතර අසල ඇති බෝගසින් සහ අවට ශාකවලින් වැටුණු පත්‍ර හා රිකිලි රැසක් ඇති බව ඔවුහු කියති. ඒ අනුව ළිඳේ ගැඹුර අඩුම ස්ථානය ළිඳේ මැද බවට පත්ව ඇත.
ගවේෂකයන් වසන්නේ ළිඳෙහි කට ප්‍රදේශයට වඩා පතුළට යනවිට වට ප්‍රමාණය වැඩි වන බයි. ඒ අනුව පතුළට යන විට ගුහාවක් තුළට යන ආකාරයක් දක්නට ලැබෙන අතර මීටර 15ක් පමණ ගමන් කරන විට පහළට ලැබෙන ආලෝකය අඩු වෙයි. මෙහි බිත්ති නිර්මාණය වී ඇත්තේ හිරිගල්වලිනි. ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැඳී තිබේ. ඉතා සුළු කැළඹීමකින් වුව ද ඒවා ලිහිල් වෙයි.
හුණුගල් ස්ථරයේ ස්වභාවය හා සැකැස්ම පරීක්ෂා කරමින් ගවේෂණ කණ්ඩායම ළිඳ පැති බිත්ති පවා ඡායාරූප හා වීඩියෝ ගතකර තිබේ. ළිඳෙහි බටහිර මායිමේ පතුලෙහි ගැඹුර මීටර 55කි. ජලයේ උෂණත්වය සෙල්සියස් අංශක 28-30ත් අතර ප්‍රමාණයක් බව ද ඔවුහු කියති.
“අපි මේ හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් ගත්තා. ඒවා පරීක්ෂා කිරීමේ දී මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනාගත හැකි වුණා. ඒ හිරිගල් සාම්පල අතර කවච සහිත මුහුදු බෙල්ලන්ගේ ෆොසිල අවශේෂ දක්නට ලැබුණා” යැයි මුතුකුමාරණ මහතා කීවේය.
ගවේෂණය අවසන් කළ පර්යේෂකයන් පවසන්නේ මේ පතුලක් නොමැති බව පවසන ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි. එමෙන්ම අවට ගම්වැසියන් සහ සංචාරක මඟ පෙන්වන්නන් පැවසුවාට මේ ළිඳ මුහුද හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අනාවරණය වී තිබේ.
මෙම පර්යේෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරි ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා, සමුද්‍ර පුරාවිද්‍යාඥයන් වන රසික මුතුකුමාරණ මහතා, චමල් කේ. ගමගේ මහතා, සමීර ප්‍රසංග කරුණාරත්න මහතා, නදීකා කුමාරි මහ්තමිය, මහින්ද කරුණාරත්න මහතා සහ චමිලා කුමාරි මහත්මිය යන කණ්ඩායම සහභාගි වූහ.
ඔවුන්ගේ ගවේෂණයෙන් යාපනය අර්ධද්වීපයේ පතුලක් නැති ළිඳේ අභිරහස විසඳී ඇත.
සජීව විජේවීර
ඉරිදා ලංකාදීප..
උපුටාගැනීමකි ස්තුතියි ..



A day in the life

Friday, August 30, 2024

බංගලි මතක

උදන් ප්‍රනාන්දු
මුලින් ම බංගලදේශයට යන කාලයේ මා ශිෂ්‍යයෙකි. අපගේ ප්‍රධාන සම්බන්ධතාවය තිබුණේ ශිෂ්‍ය සංවිධාන සමග ය. එකල ඒ ශිෂ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ ඔස්සේ බෙදී සිටි හා ඒවාට අනුබද්ධිත ඒවා විය. දෙපැත්තේ ම සිසු කණ්ඩායම් කුඩා පිස්තෝල හා පිහි ආදියෙන් සන්නද්ධ ව සිටි බව මතක ය. එක් කලක් ඩකා සරසවිය බිහිසුණු යුද පිටියක් වූයේ එකිනෙකාට විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් දෙක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙනුවෙන් ප්‍රොක්සි යුද්ධයක් කළ නිසා ය. මේ කාලයේ ම ය ලංකාවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබුවේ. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර, විශේෂයෙන් විශ්ව විද්‍යාල මට්ටමේ, නවක වදය හා සමහර සිද්ධීන්වලදී ගුටිබැට හුවමාරු හා ඔලු පලා ගැනීම් වරින් වර සිදුකර ගත්ත ද, බංග්ලදේශයේත් තරම් ප්‍රචණ්ඩත්වයක් නොතිබුණ බවයි මගේ නිරීක්ෂණ ය. ඉහත කතා කරන කාලයේ ම මා තායිලන්තයේ තමාසාත් විශ්ව විද්‍යාලයට විද්‍යාලයට ද ගිය අතර, එහි තිබු ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය හා ආයුධ භාවිතය අතින් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය සිටියේ ප්‍රාථමික මට්ටමක ය. 87 89 කාලයේ අප සම්බන්ධයෙන් අප ඉතාමත්ම තීව්‍ර සංවර්ධනයක් අත්පත් කර ගත්ත ද, ඒ බිහිසුණු සමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයන් ශිෂ්‍ය ව්‍යාපාරයේ කොටසක් නොවූ බවයි මගේ වැටහීම.
ශිෂ්‍ය ව්‍යාපාර කටයුතු වලින් පසුව මම වෘත්තිය ජීවිතයට පිවිසුණු විට, බංගලි සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීමි. ඒ වැඩ සඳහා මා එම රටට බොහෝ වාරයක් ගොස් ඇති අතර, ඊට අමතර ව බංගලි සිවිල් සමාජ නායකයන් සමඟ වෙන රටවල්වල පිහිටා ඇති ජාල හා සමුළු ගණනාවක කොටසක් වීමි. 1990 දශකයේ බංග්ලදේශ ආර්ථිකයේ හා සමාජ දේහයේ තීරණාත්මක සංඝටකයක් වූයේ සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන ය. විශේෂයෙන් ම සුභසාධන ආර්ථික කටයුතු, සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු, කටයුතු රජයට වඩා කරනු ලැබුවේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි. එම සංවිධානවල බජට්ටු රජයේ අයවැයට (අදාල ක්ෂේත්‍ර) වඩා වැඩි විය. එම නිසා රාජ්‍ය නොවන සංවිධාන හා ඒවායේ නායකත්වය බංගලි සමාජයේ ඉතා බලවත් ප්‍රභූ පිරිසක් වූහ. මේ නිසා ම ඔවුහු දේශපාලනය සමඟ ද ඈඳී සිටිය හ. ශිෂ්‍ය ව්‍යාපාරය මෙන් ම, රාජ්‍ය නොවන සංවිධානද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඔස්සේ බෙදී සිටි බව මතක ය. හසිනාගේ රජයක් පවතින විට, කලිඩාගේ හිතවත් රාජ්‍ය නොවන සංවිධාන මර්ධනයට ලක්වෙන අතර කලීඩා බලයට ආ විට සිදුවන්නේද එය ම ය.
2001 වසරේ මා ඩකා නුවරට ගියේ නීතිඥ සංවිධානයක් විසින් සක්කාරක භූමිකාවක් ඉටු කළ ආසියාතික රාජ්‍ය නොවන සංවිධාන රැස්වීමකට සහභාගි වීමට ය. එම රැස්වීමේ ප්‍රධාන සංවිධායකයා හා සත්කාරක ලෙස සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වූ හසන් අරීෆ් ය. කලක සිට අප අතර දැන හැදුනුම්කමක් තිබුණු අතර, හසන් මා ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර නියෝජිතයින් පිළිගත්තේ උණුසුම් ආකාරයට ය. හසන්ගේ සහායට හිටියේ තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු වූ, ආදිල් (අදිල්යුර්) රහ්මාන් ඛාන් ය. අපගේ රැස්වීමේ මුල් දිනයේ මොවුන් දෙදෙනා ඉතාමත් ක්‍රියාකාරී වූ නමුදු දෙවන දිනයේ හසන් ද ආදිල් ද දක්නට නොලැබිණ. දවස අවසානයේදී අප මේ ගැන විමසීමේ දී ඔවුන් වෙනුවෙන් සංවිධාන කටයුතු කළ බංගලි නියෝජිතයන් අපට කීවේ, එදින උදෑසන හසන් නීතිපති (ඇටර්නි ජනරාල්) ලෙසත් ආදිල් නියෝජ්‍ය නීතිපති ලෙසත් දිවුරුම් දුන් බවත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් වගකීම් ඇති නිසා සෙසු වැඩසටහනට පැමිණිය නොහැකි බව යි. අප ඩකා නුවරට ගිය කාලයේ ය හසිනා මැතිවරණයෙන් පරාජය වී කලීඩාගේ ආණ්ඩුවක් පිහිටවනු ලැබුවේ.
බංග්ලදේශයේ මගේ තවත් සමීප මිතුරෙකු වූයේ ගණකාධිකාරයෙකු ලෙස මුලින් පුහුණුව ලද පසුව ජන මාධ්‍යවේදියෙකු හා සන්නිවේදනවේදියකු වූ ශාෆික්‍ රෙහ්මාන් ය. මා ඔහු දැන හඳුනා ගත්තේ ශාෆික් හසිනාගේ රජයේ මර්දනයට ලක් ව, රටින් පලා ගොස් එංගලන්තයේ විප්‍රාවාසී ව වෙසෙන කාලයේ ය. මොහුට එසේ පලා යාමට හේතුව වූයේ 'ජයි-ජයි-දින්' නමින් ඔහු සංස්කරණය කළ අතිශය ජනප්‍රිය ටැබ්ලොයිඩ් පත්තරය නිසා ය. ඒ පත්තරේ කිසිදු පූර්ණ කාලීන මාධ්‍යවේදියෙකු නොවී ය. කතෘගේ කාර්යය වනුයේ, පාඨකයන්ගෙන් ලැබෙන ලිපි, රචනා, කාටූන් ආදිය මනා සේ සකසා මුද්‍රණය කිරීම ය. පසුව සිටිසන්ස් ජර්නලිසම් කියා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වුණේ මේ වගේ දේවල් ය. කෙසේ හෝ මා 2001 ඩකා නුවරට පැමිණි විට, ඒ බව දැනගත් ශාෆික් කොහෙන්දෝ මතුවිය. එවිටයි මා දැනගත්තේ ඔහු කලිඩාගේ සහායට බංග්ලදේශයට පැමිණ සිටි බව. 2001 කලීඩාගේ ආණ්ඩුවේ මාධ්‍ය ඇමතිකම ශාෆික්ට පිරිනැමූ බව මා දැනගත්තේ වෙන මිතුරෙකු ගෙනි. කලකට පසු හමු වූ අපගේ මිත්‍රත්ව රියූනියනය සැමරීමට ශාෆික් මා කැඳවාගෙන ගියේ ඩකා නුවර අතිශය ප්‍රභූ අවකාශයක් වන 'ඩකා ක්ලබ්' එකට ය. යටත් විජිතවාදී ඇම්බියොන්සයකින් හෙබි එම අවකාශයට ගැලපෙන ඇඳුමක් මා නොඇඳ සිටි නිසා, එහි ම කුලියට ගත හැකි කළු සූට් එකක් හැඳ ශාෆික් සමග මා අඩියක් ගැසීමට ගියෙමි. ඒ ගත කළ පැය දෙක තුනේය මට පශ්චාත් උපාධි පාඨමාලාවකට වඩා ගැඹුරු දැනුමක් හා අවබෝධයක් ලැබුණේ බංගලි සමාජ බලතන්ත්‍රයේ හැඩරුව හා ගතිකයන් ගැන. අප වීථි පුරා දකින මහා විරෝධතා ජන ගඟ මෙහෙයවන, ඉංග්‍රීසියෙන් කියත්තොත්, 'ශේකර්ස් ඇන්ඩ් මුවර්ස්' කවුරුන් ද යන වග.
සිවිල් සමාජ හා රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ වැඩවලින් අනතුරු ව, 2012 වසරේ පමණ සිට මාගේ වෘත්තීය සබඳතා තිබුණේ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන හා තින්ක් ටෑන්ක සමග ය. මේවා රාජ්‍ය නොවන සංවිධාන තරම් ම තීව්ර ලෙස පක්ෂ දෙක ඔස්සේ බෙදී නොසිටියේ ය. ඒවායේ බොහෝ විට සිටියේ කලක් රාජ්‍ය හා තානාපති සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ය. ඔවුන්ගේ අවධානය පර්යේෂණ හා ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාවලියට බලපෑම් කිරීම නිසා කුමන පවතින ආණ්ඩුවක් සමග යාප්පුවෙන් කටයුතු කිරීම ඔවුන්ගේ සිරිත විය. මේ පිරිස් ද 'ඩකා ක්ලබ්' යන එන බලවත් නමුත් කුඩා ප්‍රභූ පිරිසේ කොටසක වූ හ. ඔවුන්ගේ බොහෝ දෙනා සිටියේ අපගේ කොළඹ හත මෙන් අවකාශයක වූ ධන්මොන්ඩියේ ය.
ඊයේ පෙරේදා මහාචාර්ය යුනුස්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවන ලද අන්තර්වාර පාලන කමිටුවේ සාමාජික සාමාජිකාවන්ගේ නම් හා ප්‍රොෆයිල මා පිරික්සූවේ මහත් ඕනෑකමකිණි. ඒ අතර මා වෘත්තීය මට්ටමෙන් කටයුතු කර ඇති දෙතුන් දෙනෙක්ගේ නම් දැකබලා ගත හැකි විය. ෆරීඩා අක්තාර් මහත්මිය එරට මුල් පෙලේ තින්ක් ටෑංකයක ප්‍රධානියා ලෙස සිටියා මතක ය. ලැයිස්තුවේ උඩ පහළ මා බැලුවේ ෂාෆික් රෙහ්මාන්ගේ නමත් එහි ඇති දැයි කියා ය. එසේ නොමැති කල මා, වහා මගේ මිතුරෙකුට කතා කර ඔහු ගැන විමසූ විට, මට දැනගන්නට ලැබුණේ හසිනාගේ පාලන සමයේ, දැඩි මර්දනය හා කෙනෙහිලිකම් නිසා ඔහු කලක් සිරගත ව සිට පසුව රටින් පිටව ගොස් ඇති බව යි. නමුත් මගේ මිතුරා කීවේ, වැඩි කල් නොගොස් ඔහු බංග්ලදේශයට සම්ප්‍රාප්ත විය හැකි බවයි. මාගේ තින්ක් ටෑන්ක සගයෙකු වූ ඩෙබප්‍රිය බටචර්යා (ප්‍රකට ආර්ථික විද්‍යාඥ හා කලින් රුසියාවේ බංග්ලාදේශ තානාපති) අන්තර්වාර ආණ්ඩු කමිටුවට එන ලෙස ආරාධනා කලත් එය ඔහු ඩිප්ලෝමැටික ව මග හැර ඇති බව මට දන්නට ලැබිණ. ඩෙබප්‍රිය වැන්නන් කුමන පක්ෂයක හෝ හුදු ඉත්තන් වීමට තරම් වැලේ වැල් නැති එන්ජීයෝ කාරයෙකු නොවන බව මා හොඳාකාර ව දන්නේ අප වසර අටක් පමණ සමී ව වැඩ කර ඇති නිසා ය. මාගේ දෑස් උඩ ගියේ, 2001 වසරේ මා ඩකා නුවරට ගිය විට සඳුදා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ව හිඳ, අඟහරුවාදා නීතිපති හා නියෝජ්‍ය නීතිපති වූ, පිළිවෙලින්, හසන් හා ආදිල් ද අන්තර්වාර පාලන කමිටුවේ සාමාජිකයන් බව දුටු විට ය. එක අතකට එලෙස පුදුම නොවිය යුතු බව ඊළඟ මොහොතේ ම මට අවබෝධ වූයේ මොවුන් දෙදෙනා ම 2001 දී ඛලීදා සියාගේ ඇපොයින්ටීලා වීම හා 2007 හසීනා නැවත බලයට ආ විට මොවුනට එළ ව එළවා පහර දුන් නිසා ය. පැරිසියේ සිට ආනයනය කළ අන්තර්වාර ආණ්ඩුවේ ලොක්කා මහැදුරු යූනුස් ද හසීනාගේ කාලයේ නානාවිධ කිරිමෙල් හා බදු නඩු ගණනාවක පැටළිණ. යූනුස් නිර්පාක්ෂික නොවන්නේ ඔහු නොබෙල් ත්‍යාගය ලත් කාලයේ ම 'නාගොරික් ශක්ති' නම් දේපාලන පක්ෂයක් තනන්නට මහත් වෙරක් දැරූ නිසා ය. එක්සත් ජනපදයේ හා බටහිර රටවල ඩාර්ලින් චරිතයක වූ යූනුස් ඔවුන්ගේ උපදෙස් පරිදි එම ව්‍යායාමය තරමක් තාවකාලික ව රිවර්ස් කළේ ය. යූනුස් ව්‍යාපාර අධිරාජ්‍යයේ පුරුකක් වූ ග්‍රාමීන් ටෙලිකොම් හි ට්‍රස්ටීවරියක වන නුර්ජහන් බෙගම් ද අන්තර්වාර් ආංඩුවේ සාමාජිකයකි. බංගලි සමාජයේ ස්වාධීන හා නිර්පාක්ෂික අයෙකු සෙවීම කළුනික සොයනවා වැනි ය. බංගලි සමාජය සැමදාම සිටියේ දෙකට බෙදී, හට්ටිය කේතලයට කළු ය කියමින් කේතලය හට්ටියට කළු ය කියමිණි.



A day in the life

Thursday, August 29, 2024

කෙම්ගෙඩිය හා ඉටිගෙඩිය





අතීතයේ විතරක් නෙමෙයි,අදටත් ගමේ ගොඩේ නගරයේ කියලා වෙනසක් නැතිව බොහෝ දෙනාගේ මුවින් පිටවන කතාවක් තමයි,"දන්න කෙංගෙඩියක් නෑ.." , " මොන ඉටිගෙඩියක්ද.." කියන වදන්.
ඔයාලා දන්නවනේ අපේ සිංහල සංස්කෘතිය තුළ කෙම් ක්‍රම බොහෝමයක් තිබුණ වග. ඔය.. ලෙඩක් දුකක් අසනීපයක් වුණාම ප්‍රසිද්ධියක් නැතිව කරන ගුරුකම් තියෙනවා නේද..අන්න ඒවට තමා කෙම් කියන්නේ.මේ කෙම කියන එක ගමේ උදවියට නම් අරුමැක්කක් නෙමෙයි.
අතීතයේ ඉතින් ගමේ හැම ගෙදරකම පාහේ ගව පට්ටියක් නම් වරදින්නේ නැහැ.සමහර අවස්ථාවල ගවයන්ගේ ඇඟේ පණුවන් පිරි සිටින තුවාල හට ගන්නවා.එහෙම උනාම කාටත් නොදැනෙන්න අබ ටිකක් මතුරලා ලිපට දැම්මම පණුවන් මැරී යනවා. ඒක එක්තරා කෙමක්.අන්න ඒ වගේ කාටත් නොදැනෙන්න හොර රහසේ හදන බෙහෙත් ගෙඩියකට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ.
ඔන්න ඉතිම් උදේ පාන්දරම කුකුළා හඬලන්නට ඉස්සෙල්ලා ගෙදරින් පිටත් වෙන්න ඕනේ..ඊට පස්සේ අර කීව බෙහෙත් ගෙඩියට ඕනෑ කරන බෙහෙත් වර්ග ටික හොයාගෙන තමා ආපහු ගෙදර එන්නේ.ඊටත් පස්සෙ ඒ බෙහෙත් වර්ග තලලා හෙම අවශ්‍ය විදිහට සකස් කරගෙන තවාපු කෙසෙල් කොළේක ඔතනවා.පස්සේ ඒක ආයෙත් ගොක්කොල අරගෙන හරකාගේ බෙල්ලට දාන්න පුළුවන් මාලයක් විදිහට සකස් කරනවා. හැබැයි ඉතින් මේ එල්ලන බෙහෙත් ගෙඩියේ මොන මොන බෙහෙත් වර්ග ද තියෙන්නෙ කියලා දන්නේ වෙද මහත්මයා ම විතරයි. ඒකනි ඉතිම් කෙම කියන්නේ.ඇත්තටම මෙහෙම මේ විදියට බෙහෙත් ගෙඩිය කරේ එල්ලන්නේ හරකුන්ගේ කුර ලෙඩේ සුව කරන්නටලු.
ඔන්න ඔය විදියට කෙමක් මූලික කරගෙන හදන බෙහෙත් ගෙඩියට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ. වහරන කොට කාලයත් එක්ක මේක කෙංගෙඩිය වෙලා.
ඉටිගෙඩිය
වර්තමානයේ බොහෝ දුරට දකින්නට නොලැබුනත්,එදා අතීතයේ අපේ මුලුතැන්ගේ,නැතිනම් කුස්සියේ යටලීයක හරි නැත්තම් බිත්තියක හරි අලවලා තියෙන කොහොල්ලෑ හරි මී ඉටි හරි එකතු කරපු ගුලියකට තමයි මේ ඉටිගෙඩිය කියලා කියන්නේ..
ඉස්සර අපේ පරණ ගෙදරත් කුස්සියේ ඔහොම එකතු කරපු කොහොල්ලෑ ගුලියක් තිබුණා. ඉස්සර ඉතිම් කලගෙඩියෙනේ තිබුණේ වතුර දාන්නේ .මට හොඳට මතකයි අපෙ අම්මා එක දවසක් වතුර කාන්දු වුණ හිල්වුන කලයකට අර ඉටිගෙඩියෙන් ටිකක් අරගෙන අර කාන්දු වෙන තැනට රෙදි කෑල්ලක් තියලා අලවලා ගින්දරෙන් රත් කරනවා.ආයි ඉතින් වතුර කාන්දු වෙන්නේ නෑ.. කලයකට විතරක් නෙමෙයි වළඳක් ලබු ගෙඩියක් එහෙම පුපුරලා ගියාමත් අතීතයේ මිනිස්සු ඔය දේ කරල තියෙනව .ඒ නිසා ඉතිම් ඒ දේවල් අපතේ නොයවා නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් .
ඔන්න ඔහොම තමා ඉතිම් කෙම්ගෙඩියයි,ඉටිගෙඩියයි හැදුණේ...
උපුටාගැනීමකි
ස්තුති සටහන අයිතිකරුට




A day in the life