Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Thursday, September 26, 2024

ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා.






මේ ඨීකාව ලියන මො‍හොත්  ඔබ කියවන මේ මොහොතත් අතර ලාකීය දේශපාලනයේ උඩුයටිකුරු වීම් සිදුවී තිබෙනු ඇත.

අපේ රටේ පහලවු දේශපාලන චරිත අතරින් ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා රට තුල විශාල පෙරලියක්  කල නායකයෙකි. එතුමාගේ දේශපාලන යුග පෙරලිය කාලයත් සමග වයස් ගතව අකර්මණ්‍යවු බවක් මේ වන විට දකින්නට  ලැබෙන දෙයකි.

 ආසියාවේ රිදී සීනුව ලෙස ප්රසිද්ධ වුණු ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ලංකාවේ සිව්වන අග්රාමාත්යවරයා ලෙස තේරී පත්විය.    සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයන් එක් කරමින් පොදුජන යුගයක් නිර්මාණය කිරීමට යෝජනා කළ සොලමන් බණ්ඩාරනායක 1959 සැප්තැම්බර් 26 වැනිදා   සාහසිකයෙකුගේ වෙඩි පහරකින් මරණයට පත්විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් සිප්සතර හැදෑරූ බණ්ඩාරනායක, ඉන් අනතුරුව උසස් අධ්යාපන කටයුතු සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයයට ඇතුලත් වුණා. සාර්ථකව සිය අධ්යාපන කටයුතු නිමාකළ ඔහු නැවතත් ලංකාවට පැමිණියේ 1925 වසරේ දී යි. ඉන් පසුව නීතිඥවරයෙකු ලෙස සිය ජීවන වෘත්තීය ආරම්භ කළත් කෙටි කලකින්ම දේශපාලනය පිළිබඳව දැඩි උනන්දුවක් ඇතිවුණා. 1926 වසරේ දී ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා බවට පත්වුණු ඔහු එම වසරේ දීම ජාති හිතෛෂී පක්ෂයේ සභාපතිවරයා ලෙසත් තේරී පත්වුණා. එලෙස විවිධ ජාතික ව්යාපාර සමග අත්වැල් බැඳ ත් බණ්ඩාරනායක ජනතාව අතරට යමින් ඔවුන්ට සේවය කළේ සිය දේශපාලන දිවිය ආරම්භ කරමින්.

 

1926 වසරේ පැවති කොළඹ නාගරික මැතිවරණයෙන් ක්රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු තරග කළේ මරදාන කොට්ඨාසය සඳහා යි. එහිදී ඔහු සටන් වැදුණේ කම්කරු පක්ෂයේ නායකයා වුණු ඒ.ඊ ගුණසිංහට එරෙහිව යි. කම්කරු පීඩිත පන්තියේ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන එවැනි ප්රදේශයක් ජයග්රහණය කිරීම බණ්ඩාරනායක වැනි රදළ නායකයෙකුට තරමක් දුෂ්කර කාර්යයක් බව බොහෝ දෙනෙකු සිතුවා. නමුත් ඉතා දුගී පැල්පත්වලට පවා ගොස් ක්රමානුකූලව සිය මැතිවරණ සටන දියත් කළ බණ්ඩාරනායක ටික කලකින් මරදාන කොට්ඨාසයේ සිටි ජනතාවගේ ආදරය දිනාගත්තා. එසේම එම ප්රදේශය සංවර්ධනය කිරීම සඳහා ප්රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ ඔහු මැතිවරණය ආසන්න වන විට ජනතා විශ්වාසය නොඅඩුව දිනාගෙන තිබුණා. එම නිසාම ප්රබල කම්කරු නායකයෙකු වුණු ගුණසිංහව වැඩි ඡන්ද 615කින් පරාජය කිරීමට ඔහුට හැකිවුණා.


1931 වසරේ දී හඳුන්වාදුන් ඩොනමෝර් ආණ්ඩුක්රම ප්රතිසංස්කරණය තුළින් ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමිවුණා. ඒ අනුව රාජ්ය මන්ත්රණ සභාව සඳහා නියෝජිතයන් තෝරාගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වුණා. එහිදී වේයන්ගොඩ ආසනය සඳහා තරග වැදුණු බණ්ඩාරනායක නිතරග ජයක් ලැබුවා. එම වසරේම දෙසැම්බර් 18 වැනිදා ලංකා ජාතික සභාවේ සභාපති ධූරයට පත්වුණු බණ්ඩාරනායක එම අවදියේ එම තනතුර සඳහා පත්වුණු ලාබාලම පුද්ගලයා වුණා. ප්රථම රාජ්ය මන්ත්රණ සභාව තුළ ක්රියාකාරී භූමිකාවක් ඉටුකල ඔහු, ලංකාවට පූර්ණ නිදහස ලැබීමට නම් රාජ්ය නිලධාරින් තිදෙනා සභාවෙන් පිටමං කළ යුතු බවත්, ඔවුන්ගේ ධුර අහෝසි කළ යුතු බවටත් ප්රකාශ කරනු ලැබුවා.

එසේම 1933 ජුනි 14 දින බණ්ඩාරනායක මහතා විසින් ඇමති මණ්ඩලය වෙත විශ්වාස භංග යෝජනාවක් ද ඉදිරිපත් කළා. ව්යවස්ථාදායක සභාව තුළත් වඩාත් ප්රගතිශීලී භූමිකාවක් ඉටුකළ ඔහු රාජ්ය මන්ත්රණ සභා කථානායක වැටුප රුපියල් 1800 සිට රුපියල දක්වා අඩුකළ යුතු බවටත් යෝජනා කළා.

1934 වර්ෂයේ දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සභාපතිත්වයෙන් යුතුව සිංහල මහා සභාව ආරම්භ කළා. එය ආරම්භ කිරීමේ මූලික අරමුණ වුණේ භේද බින්න වී සිටි සිංහල ජාතිය සමගි කොට ජාතිමාමකත්වය වර්ධනය කරමින් ජාතික නිදහස් අරගලයට සවියක් ලබාදීමට යි. එලෙස ආරම්භ කළ සිංහල මහා සභාව දිවයින පුරාම ශාඛා මට්ටමින් ව්යාප්ත වුණේ ජනතාවගේ ආකර්ෂණය දිනාගනිමින්. පසුකලෙක සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ ආරම්භක රැස්වීමට සහභාගී වුණේ ප්රබල ජාතික සංවිධානයක් ලෙස යි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය හා සිංහල මහා සභාව එක්වීම සම්බන්ධව ඇතැම් බුද්ධිමතුන්ගේ විරෝධතා පැන නැගුනා. නමුත් බණ්ඩාරනායක ඊට ප්රතිචාර දක්වමින් ප්රකාශ කරනු ලැබුවේ, “ජාතික නිදහස උදෙසාත්, බ්රිතාන්යයන් හඳුන්වාදෙන පාර්ලිමේන්තු ක්රමය අනුව ඒකාබද්ධ පක්ෂයක් ඇතිකරලීම උදෙසාත් එසේ ක්රියා කළ බව” යි. අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිධූරයට ඩී.එස් සේනානායකව යෝජනා කරනු ලැබුවේත් බණ්ඩාරනායක විසින්

1936 රාජ්ය මන්ත්රණ සභා මැතිවරණයේ දී නැවතත් වේයන්ගොඩ අසුන නිතරගයෙන් ජයග්රහණය කිරීමට ඔහුට හැකිවුණා. දෙවන රාජ්ය මන්ත්රණ සභාවේ පළාත් පාලන කාරක සභාවේ සභාපති ධුරයට නිතරගයෙන්  තේරී පත්වුණා. බණ්ඩාරනායක එම තනතුරට තේරී පත්වීමට ප්රධාන හේතුව වුණේ එහි සාමාජිකයන් 5ක් සිංහල මහා සභාවේ සාමාජිකයින් වීම යි. එසේම දෙවන රාජ්ය මන්ත්රණ සභා අමාත්ය මණ්ඩලය තුළ සිටි ලාබාලම අමාත්යවරයා වුණේත් ඔහු යි. පසුකලෙක රාජ්ය මන්ත්රණ සභාවේ සභානායක ධූරයේ වැඩ බැලීම සඳහා තෝරා පත්කරගත් ඔහු විශාල පොදු වැඩ කොටසක් ඉටුකළා

 

ඔහු ආරම්භ කළ සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂයට එක්වුණු නිසා 1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී බණ්ඩාරනායක තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙන්. එදා අත්තනගල්ල ආසනයෙන් තරග වැදුණු ඔහු සිය ප්රතිවාදී අපේක්ෂකයා වුණු සී. ගුණසේකරව පරාජය කළේ වැඩි ඡන්ද 26854කින්. ඉන් අනතුරුව ඇතිවුණු ඩී.ඇස් සේනානායක රජයේ සෞඛ්යය සහ පළාත් පාලන අමාත්යවරයා ලෙසින් තේරී පත්වුණු ඔහු සෞඛ්යය සේවය වෙනුවෙන් විසල් මෙහෙයක් ඉටුකළා. එසේම දක්ෂ කථිකයෙකු වුණු ඔහු පාර්ලිමේන්තුවේ මුල්ම සිංහල කථාව කළ මහජන නියෝජිතයා බවටත් පත්වුණා. පසුකලෙක එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජය සිංහල මහා සභාව බලාපොරොත්තු වුණු ආකාරයේ ගමනක් නොයන බව ඔහු වටහාගත්තා. එම කාරණය හේතු ලෙස දක්වමින් සිංහල මහා සභාවේ මාදම්පේ සම්මේලනයේ දී සම්මත කරගත් යෝජනා මාලාවක් අගමැති වෙත ඉදිරිපත් කළා. නමුත් අගමැතිගෙන් ඊට යහපත් ප්රතිචාරයක් නොලැබුණු නිසා බණ්ඩාරනායක විපක්ෂයට එක්වුණේ 1951 වසරේ ජූලි 12 වැනි දා යි.

ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වුණු බණ්ඩාරනායක සමග ඩී.. රාජපක්ෂ, .පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, ඩී.ඇස්. ගුණසේකර, ජෝර්ජ් ආර් ද සිල්වා යන මන්ත්රීවරුන් ද ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විරුද්ධ පක්ෂය වෙත පැමිණියා. ඔහු 1951 සැප්තැම්බර් මස 02 වැනි දින ශ්රී ලංකා නිදහස් පක්ෂය නම්, සමාජ ප්රජාතන්ත්රවාදය ප්රතිපත්තිය කරගත් නව දේශපාලන ව්යාපාරයක් ආරම්භ කළා. එහි සභාපතිවරයා මෙන්ම නායකයා බවට පත්වුණේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යි.

නව පක්ෂය පිහිටවාගෙන මාස 7ක් ගතවන විට මැතිවරණයකට මුහුණදීමට සිදුවුණු අතර එහිදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ආසන 9ක් ජයග්රහණය කිරීමට සමත් වුණා. එවරත් අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 32544කින් ජයග්රහණය කළ බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්වුණා. 1952-1956 කාල සමය තුළ විපක්ෂනායක වරයා ලෙස කටයුතු කළ ඔහු සිය වගකීම මැනවින් ඉටුකළේ ජනතා ආකර්ෂණයත් ලබාගනිමින්.

1955 සැප්තැම්බර් 24 දින බණ්ඩාරනායකගේ නායකත්වය සහිත ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය නිතරග ගිවිසුමක් ඇතිකර ගත්තා. 1955 ඔක්තෝම්බර් 19 වන දින ඇන්.ඇම්. පෙරේරා සිංහල හා දෙමළ භාෂා රාජ්ය භාෂා ලෙස පිළිගැනීමට හැකිවන ලෙස රාජ සභා ආඥාව සංශෝධනය කළ යුතු බවට යෝජනා කළා. එවිට නැගී සිටි බණ්ඩාරනායක සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්ය භාෂාව වශයෙන් පිළිගැනීමට හැකි ලෙස සංශෝධනයක් ඉදිරිපත් කරනු ලැබුවා. එසේම 1955 දෙසැම්බර් 17 දින සිංහල බස ලංකාවේ රාජ්ය භාෂාව වශයෙන් පත්විය යුතු බව ශ්රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක දී සම්මත කරගත්තා. එසේම සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්ය භාෂාව විය යුතු ය යන හඬින් එක්සත් භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළ “දස පනත බණ්ඩාරනායක විසින් පිළිගනු ලැබුවා.

 තම ඉදිරි ආණ්ඩුවක් මඟින් එය ඉටු කරන බවටත්  ප්රතිඥා දුන්නා. ඒ අනුව භාෂා ප්රශ්නය ඉදිරියට පැමිණි නිසා 1956 පමණ වන විට සිංහල භාෂාව ලංකාවේ රාජ්ය භාෂාව විය යුතුයි යන මතය වර්ධනය වෙමින් පැවතුණා. එලෙස බණ්ඩාරනායක දේශපාලන පිටියේ පෙරළිකාරයෙකු ලෙස ඉදිරියට එන අතරතුර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුතුව මහජන එක්සත් පෙරමුණ පිහිටුවාගනු ලැබුවේ 1956 වසරේ පෙබරවාරි 21 වැනිදා යි.

1956 වසරේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ලක්වුණේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ මහජන එක්සත් පෙරමුණට විශිෂ්ඨ ජයක් හිමිකරදෙමින්. එවරත් අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 41997කින් ජයග්රහණය කළ බණ්ඩාරනායක ලංකාවේ සිව්වන අග්රාමාත්යවරයා බවට පත්වුණා. එදා පංච මහා බලවේගය යන සංකල්පය සමගින් බලයට පැමිණි බණ්ඩාරනායක රජය හැඳින්වූයේ පොදු ජනයාගේ රජයක් ලෙස යි

බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමතිවරියක වුණු විමලා විජේවර්ධන එවකට කැළණිය පන්සලේ විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමි සමග අනියම් ඇසුරක් පවත්වා තිබෙන බවට රාවයක් පැතිරුනා. එය දැනගත් අගමැතිතුමා ඇතැම් අවස්ථාවල ඇමතිවරියට කළ විහිළු තහළු නිසා බුද්ධරක්ඛිත හිමි සහ අගමැති අතර විරසකයක් ඇතිවුණා. ඒ අනුව අගමැතිවරයාගෙන් පළිගැනීමට අදිටන් කරගත් බුද්ධරක්ඛිත හිමි, තල්දූවේ සෝමාරාම නම් භික්ෂුව යොදාගෙන බණ්ඩාරනායකට වෙඩි තබන්නේ 1959 වසරේ 25 වන දා යි. සිද්ධියෙන් අනතුරුව රෝහල්ගත කෙරුණු බණ්ඩාරනායක 1959 වසරේ සැප්තැම්බර් 26 වැනි දා සදහටම දෙනෙත් පියාගත්තා.


 මෙ ලිපිය  අන්තර්ජාලයෙනි .

 

 

 

 

 


A day in the life

Wednesday, September 25, 2024

සල් ගස



සල් ගස කියන්නෙ බුද්ධ චරිතය හා බැඳුනු බුදුදහමත් සමග අප හඳුනාගත් ශාකයක්.පූජනීය ශාකයක් ලෙසද බහුතරයක් හඳුන්වනව.නමුත්,
"සල් ගහ කියලා ලංකාවේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඉන්දියානු උපමහාද්වීපය කිට්ටුවකවත් නැති දකුණු ඇමරිකාව නිජබිම කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් 1881වර්ශයේ ලංකාවට හඳුන්වා දුන් ශාකයකට.
එනම් Couroupita guianensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'කාලතුවක්කු උණ්ඩ ගසට.
ඒ ගහට ඉංග්‍රීසියෙන් කියන්නේ කැනන් බෝල් ට්‍රී, මොකද එහි ගෙඩිය නැතිනම් ඵලය හරියට කාලතුවක්කු උණ්ඩයක් වගෙයි.
නමුත් මේ ශාකය ඉන්දියාවේ, ලංකාවේ තියා අඩුම තරමේ ආසියානු කලාපයේවත් ශාකයක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් විසිතුරු ශාකයක් පමණයි.
සැබෑ සල් ශාකය පිරුණු සල් වනාන්තර අදටත් ඉන්දියාවේ දකින්න තියෙනව.Shorea robusta විද්‍යාත්මක නාමයෙන් සැබෑ සල් ශාකය හඳුන්වනව.


තෙක්ක ගසට සමාන අතු නොබෙදෙන කඳක් දැකිය හැකි මෙම ගසේ

පත්‍ර, 'කාලතුවක්කු උණ්ඩ ගසේ' පත්‍ර තරම් දිගටි නොවේ.
මල් තරමක් සුදු පැහැයෙන් යුතු වන අතර කුඩා මල් පිහිටයි.අතු අග මල් හට ගනී.
කඳ මත ගෙඩි හට නොගන්නා අතර කුඩා බීජයෙහි පියාපත් සහිතය(හොර බීජ මෙන්)
අප්‍රේල් මාසයේ මල් හට ගනී.
මීට වසර කීපයකට ඉහතදී නිසි පාරිසරික ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට රැගෙන ආ 'ඉන්දියන් සල්' බීජ පේරාදෙණිය රාජකීය උද්‍යානය තුළ රෝපණය කර බෞද්ධ විහාරස්ථාන අතර බෙදා දුන් බව ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
අදටත් එම සල් ශාක විහාරස්ථාන කීපයක දක්නට ලැබෙනව.
ආගමික සම්බන්ධතාවයක් සමග යන ගසක් නිසා ජෛව විද්‍යාත්මක පසුබිම බැහැර කර ආගමික සංකල්පය මූලික කරගෙනම අධ්‍යනය කලත් අප සල් ලෙස හඳුන්වන ශාකය සල් නොවන බව තේරුම් ගන්න පුළුවන්.මං ඒ සම්බන්ද පොඩි උදාහරන කීපයකුත් කියන්නම්.
* පුරාණ විහාර සිතුවම්වල සල් ගස ලෙස සිතුවම් කල ගස දෙස බලන්න.එහි හැඩය අප සල් ලෙස හඳුන්වන කැනෝන් බෝල් ගසට සමානද???
* සිද්ධාර්තෝප්පත්ති අවස්ථාවේ මහාමායා දේවිය සල් අත්තල් අතින් අල්ලන් සිටින සිතුවම බලන්න.ඉද්ද ගැසුවාක් මෙන් සෘජුවම උසට වැඩෙන කැනොන් බෝල් ගසක අත්තක් එසේ අල්ලා සිටිය හැකිද??
* මහා පරිනිර්වානය සල් ගසක් මුල සිදුවූ බව සඳහන් වේ.මදක් සිතන්න.කැනෝන් බෝල් ගසක් යට සිටීම පවා අවධානම්.ගසේ ගෙඩියක් ඇඟට වැටුනොත් තියෙන අවධානම ඔබට සිතාගන්න පුළුවන් ඇති.පරිනිර්වාන මංචකයේ පවා මනා සිහියෙන් සිටින බුදුවරයෙක් කැනෝන් බෝල් ගසක් යට සැතපීමට තරම් අසිහියෙන් කටයුතු කරයිද??
* මහා පරිනිර්වානය වන විට සල් මල් බුදුන්වහන්සේ මතට වැටුනු බව බුද්ධ ඉතිහාසයේ සඳහන් වෙනව.කැනෝන් බෝල් මල් කීපයක් ශරීරය මතට වැටුනොත් නිරෝගී හැඩිදැඩි මනුස්සයෙකුට උවත් කෙලෙස දැනෙයිද??
*අවසන් වශයෙන් බුද්ධ පරිනිර්වානය සිදුවූ මාසය ලෙස සැලකෙන්නේ වෙසක් මාසයයි.වෙසක් මාසය වනවිට කැනෝන් බෝල් ගසේ මල් වරණ කාලයයි.ඒ කාලයට මල් හට නොගනී.මල් හට නොගන්නා කාලයක බුදුන්වහන්සේ වෙත මල් වැටුනේ කෙලෙසද???
ආගමික පදනම මතම බලන කෙනෙකුට උවත් යම්තාක් හෝ බුද්ධිමත්ම සිතිය හැකි ප්‍රාථමිකම තර්ක කීපයක් පමණයි මේ.මොහොතක් සිතන්න.පරම්පරාවෙන් ආ පමණින්,චිරාත් කාලයක් පැවත ආ පමනින්,තවකෙක් කිවූ පමනින් සියල්ල විස්වාස කිරීමට අප හුරුවී සිටින නිසා අද සමාජය තුල කිසිදු විමර්ශනශීලී භාවයකින්,තර්කයකින් තොරව මෙවැනි මතවාද බොහෝ දක්නට ලැබෙනව.ඒ හේතුවෙන් අප බොහෝ ශාක පිළිබඳව තවමත් දරන්නෙ වැරදි මතවාද..

පුබුදු කැළුම් ජයතිස්ස



ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ලැබෙන Shorea robusta නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'ඉන්දියන් සල්' ශාකය සිදුහත් උපත හා සම්බන්ධ යයි සිතිය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි. (BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න )  නේපාලයේ අදටත් සල් වනාන්තර තිබෙනවා.ඒ ශාකය අපේ රටේ තිබෙන හොර, හල් වගේ ශාක කුලයට අයත් ශාකයක්. එය ආසියානු කලාපයේ තිබෙන හොඳම දැව ශාක තුනෙන් එකක්.නේපාලයේ මෙය දකින්න පුළුවන් නිසා සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මේ කියන සල් ගහක් යට කියන එක විශාල පිරිසක් පිළිගන්නවා ,"කෙසේ නමුත් සිද්ධාර්ථ කුමරු උපත ලද්දේ 'අසෝක' ගසක් යට බවට නේපාලයේ ඇතැම් ඉතිහාසඥයන් අතර මතයක් පවතින බව ද මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.


A day in the life

Tuesday, September 24, 2024

ජනප්‍රිය වාසගම්




ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම්

පෙරේරා
මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා). අර්ථය:- ​‘පෙයාර්ස් ගස’
සිල්වා
සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු). ලතින් යෙදුම: Silva (සිල්වා). අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.
ද මෙල්
පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ). අර්ථය – ‘මී පැණි’. ඒ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.
කෲස්
පෘතුගීසි යෙදුම: Cruz (කෲස්). අර්ථය – ‘කුරුසිය’. 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නොවේ.
පීරිස්
පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය. මේ අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.
පාරිස්
පෘතුගීසි යෙදුම: Paris (පරීස්). අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.
ඩයස්
පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන්. පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.
මෙන්ඩිස්
පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්). අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’. මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.
ප්‍රනාන්දු
යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය. පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ). ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.
තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති
නෝනිස්
ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’. අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.
ගෝමස්/ගෝමිස්
මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’. ඒ අනුව ‘​ගෝමෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.
ෆොන්සේකා
ලතින් මූලය : Fon+Sicca. අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.
කොස්තා
පෘතුගීසි යෙදුම: Costa (කොස්තා). පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ. ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර
වාස්
හංගේරියානු මූලය : Vass. අර්ථය – යකඩ. මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.
අල්විස්
ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි). පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්). අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.
රුද්‍රිගු
ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.
පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.
සුවාරිස්
ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ). Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ යි.
සොයිසා
පෘතුගීසි මූල්‍ය : Souza (සූසා). මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.
අල්මේදා
අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida). අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.
කබ්රාල්
ලතින් මූලය: Capralis (කප්‍රාලිස්). අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.
කොරයා Cora (කෝරා)
ලතින් මූලය – Cora (​කොරෙයා) අර්ථය – හදවත. ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.
පැස්කුවල්
පෘතුගීසි මූලය: Pascoa. අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය). මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.
පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.
ජමික මනෝහර සුබසිංහ
මුලාශ්‍රය – ලංකාදීප පුවත්පත

---Zesty 


A day in the life

Monday, September 23, 2024

ලෝලු හෙවත් පතරාජ / Cordia dichotoma








ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භාවිතා කරයි.

පතරාජ , පතරංග ආදී සිංහල නම් වලින්ද ඉංග්රීසියෙන් Indian Cherrry ලෙසට හඳුන්වනු ලබන ලෝලු 10m ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකයකි. ඉලිප්සාකර පත්ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. අංකුර දැඩි බූවක් සහිතය. අග්රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සුදු පැහැති මල් ද්වීලිංගික හෝ නිසරු පුෂ්ප සහිත විය හැකි ය. කහ සිට තැඹිලි දක්වා වර්ණයන්ගෙන් යුත් ඵලය අෂ්ඨිලයකි. ලංකාවේ ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක පළාත්වල ඉබේ වැවෙන ශාකයකි. ලෝලු Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

ලෝලු මල් සහ දළු රසවත් ව්යංජනයක් ලෙස සකසා ගත හැකි අතර ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඵලාවර්ණයට අතුලතින් නානුමය මැලියම් විශේෂයක් පිහිටා ඇති අතර පෙර පරම්පරාවේ උදවිය ඒවා කඩදාසි වැනි දෑ ඇලවීම සඳහා භාවිතා කර ඇත. ඉදුණු ලෝලු ගෙඩිවල පැහැදිලිව දැකි හැකි විශේෂත්වයක් වන්නේ එහි මදය ඇලෙන සුලු ජෙලටීනමය ස්වරූපයක් ගැනීමය. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ මියන්මාරය වැනි රටවවල සාම්ප්රදායික ජනතාව තවමත් ලෝලු ගසේ මල් , කොළ , ගෙඩි , සහ පොතු ආහාර වශයෙන් සහ ඖෂධ වශයෙන් භාවිතයට ගනිති. ශ්රී ලංකාවේ ද ඇතැම් පළාත්වල ජනතාව කලාතුරකින් මෙම ගසේ දලු සහ මල් ව්යාංජනයක් හා ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ගන්නා අතර ඇතැම් පාරම්පරික සිංහල වෛද්යවරු මෙම ගස ඖෂධයක් ලෙස ප්රයෝජනයට ගනු ලබති. මධ්යම තායිලන්ත ප්රාන්තයක් වන ප්රානෙක්හොන්සි අයුත්තායා හි ප්රාන්ත ගස ලෙස සැලකෙන්නේ ලෝලු ගසය. මියන්මාරයේ පාවෝ ජාතිකයන් අතර මෙම ගසේ දලු ව්යාංජනය බෙහෙවින්ම ප්රචලිතය. මෙම ශාකය සතු ඖෂධීය සහ පෝෂණ ගුණ පිළිබඳ නූතන පර්යේෂණ වලින් තහවුරු ව ඇත.



ලෝලු වටිනා ශාක රසායනික වර්ග රාශියක් අඩංගු ඉතාම පෝෂණීය ආහාරයක් වෙයි. විශේෂයෙන් මෙහි ඇටවල ඉතාම දුර්ලභ සහ වටිනා මේද අම්ල සහ ඇමයිනෝ අම්ල (ප්රොටීන) කිහිපයක්ම අඩංගු වෙයි. මෙම පලතුර සහ පත්ර ඛනිජ ලවණවලින් පොහොසත්ය. විශේෂයෙන් දුර්ලභ ඛනිජ ලවණයක් වන ක්රෝමියම් අඩංගු වන බැවින් දියවැඩියා රෝගීන්ට බෙහෙවින්ම හිතකරය. කෙසේ වෙතත් ඉදුණු ලෝලු ගෙඩිවල ප්රතිපෝෂක අඩංගු වන බැවින් ප්රධාන ආහාර වේලකට පැයකට පෙර හා පසුව ලෝලු පලතුරක් ලෙස ගැනීම සුදුසුය.


ප්රභල ප්රතිජීවකයක් හා වේදනා නාශකයකි ලෝලු ශාකය. ලෝලු සාරය සතු තුවාල සුව කිරීමේ ගුණය මෙන්ම , එය සතු පුළුල් පරාසයක පැතිරුණු රෝග කාරක ක්ෂුද්ර ජීවීන් විනාශ කිරීමේ ගුණයත්, වේදනා නාශක ගුණයත් මීයන් ඇසුරින් සිදු කෙරී ඇති පර්යේෂණ වලින් සනාථව ඇත. ආහාර මාර්ග පද්ධතිය තුළ හට ගන්නා තුවාල සහ කල් ගිය වන සුව කිරීමේ හැකියාවක් සහ අල්සර් සහ කොලික් පේන් (Ulcers and Colic pain) තත්ත්වයන් නිසාවෙන් ගර්භාෂයේ , පිත්තාශයේ සහ උදරයේ හට ගන්නා දරුණු වේදනාවන් සමනය කරන්නටත් ලෝලු හොඳ ප්රතිකාරයක් බව තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත. මෙහි අන්තර්ගත වන ඇපිජෙනින් (Apigenin) වැනි ශාක රසායන සංඝටකවල බලපෑමෙන් මෙය සිදු වන බව විද්යාඥයින් ප්රකාශ කරයි.තරුණ බව රැක දෙයි. ලිංගික ශක්තිය වැඩි කරයි. ලෝලු පත්ර සහ ඇටවල සාරයෙහි අඩංගු වන ප්රබල ස්වාභාවික ප්රතිඔක්සිකාරක සතුව ඇති නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමේ හැකියාව නිසාවෙන් තරුණ බව දිර්ඝ කාලයක් පවත්වා ගැනීමටත් වියපත්භාවය හා සම්බන්ධ ඔස්ටියෝ , ආතරයිටිස් , ඇල්සයිමර්ස් , හෘදයාබාධ , දියවැඩියාව , පෙනීමේ ආබාධ , පිළිකා රෝගාබාධවලින් වැළකී සිටින්නටත් ඉමහත් පිටිවහලක් ලැබෙන බව සොයාගෙන ඇත. ලෝලු පත්රවල මෙම හැකියාව සාපේක්ෂව වැඩි බව ද හෙළි වී තිබේ. එමෙන්ම ලෝලුවල ලිංගික ආශාව වැඩි කරන වාජීකරණ ගුණයක් ද තිබෙන බව තහවුරුව තිබේ.

රත්පිත්, ඇදුම, ප්රමේහ රෝග, බඩවැල්වල ඇති වන වේදනා, රක්ත අර්ශස්, ගෙඩි, වණ, මුඛ රෝග, අළුහම්, බිබිලි, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී රෝග අවස්ථාවන් සඳහා ප්රතිකාර කිරීමේදී ලෝලු ශාකයේ කොළ, දළු, ගෙඩි, ඇට, සුඹුලු ආදී කොටස් භාවිතා කරයි. ලොලු ශක්තිජනක, කෘමින් නසන, මුත්රකාරය, රුධිරය වර්ධනය කරන, අරුචිය, උගුර දැවිල්ල, මුත්ර දැවිල්ල ආදිය නසන, හෘදයට හිතකර ගුණ සහිතයි.


අම්ල පිත්තයට -
ගැස්ට්රයිටීස්‌ රෝගයට ලෝලු ගසේ පොත්ත ගලවා පිට සුඹුල හැර කෑලිවලට කපා වනේ දමා කොටා එහි යුෂ ලීටරයක් පමණ උදේ හවස අඬු කෝප්පයක් බැගින් පානය කිරීමයි.

හොරි දද කුෂ්ඨ වලට
සිරුරේ ඇති කල් ගිය ඔඩු දුවන ලද තුවාල , දද කුෂ්ට සුව කරන්නට හා ලේ වල විෂ නසන්නටත් සිරුරේ තැන්පත් මේදය දිය කර හරින්නටත් දියවැඩියා රෝගයටත් ලෝලු පොතු , කොළ , මල් , ගෙඩි මනා ගුණ දෙන බෙහෙතකි. එමෙන්ම ලෝලුවල වාජීකරණ ගුණයකුත් අන්තර්ගතය. ලෝලු ගසේ පොතු කැඩුම් බිඳුම් වෙදකමේ වෙලුම් පටි ලෙස කලකට ඉහත භාවිත කළේය.

මොළය රැක දෙයි...
දිර්ඝ කාලයක් තිස්සේ මොළයට සැපයෙන ඔක්සිජන් සහ පෝෂක කොටස් අඩු වීම නිසාවෙන් මොළයේ ඇති වන ආබාධ තත්ත්වයන් පාලනය කිරීමට ලෝලු සාරයට හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත. ඉගෙනීමේ හැකියාව වැඩි කරන්නටත්, මොළයේ මනා ක්රියාකාරිත්වය සඳහාත් ලෝලු ආහාරයට ගැනීම ඉවහල් විය හැකි බව ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් පාර්මසූටිකල් රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් වෙබ් අඩවියේ පළ වූ පර්යේෂණ පත්රිකාවක සඳහන්ය.

අහිතකර කොලෙස්ටරෝල් සදහා
අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා දේහ බර වැඩි වේ. රුධිරයේ ට්රයිග්ලිසරයිඩ් සහ අඩු ඝණත්ව ලිපො ප්රෝටීන් (අහිතකර කොටලෙස්ටරෝල්) වැඩි වී, හිතකර කොලෙස්ටරෝල් අඩු වෙයි. දරුණු හදවත් රෝගවලට හේතු වන, හයිපර්ලිපිඩීමිය (Hyperlipidemia) යන නමින් හඳුන්වනු ලබන මෙම තත්ත්වය ඇතැම් උදවියට ජානමය හේතු නිසාවෙන් ද හට ගනී. ලෝලුවල සුලභව තිබෙන දල තන්තු පොලිනොලික සංඝටක , ටැනින් වර්ග සහ විශේෂයෙන් ඉදුණු ලෝලු ගෙඩි වල තිබෙන ඇලෙන සුලු පදාර්ථ නිසාවෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නටත් සුවිශේෂී හැකියාවක් ලැබී තිබෙන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. තවද ලෝලු ආහාරයට ගත් මීයන්ගේ බර වැඩි වීම පාලනය වී තිබුණු බවද මෙම පර්යේෂණවලින් වැඩි දුරටත් හෙළි වී ඇත.

දරුණු අක්මා රෝගවලින් බේරෙන්නට...
ඇල්කොහොල් භාවිතය අක්මාව තුළ මේදය තැන්පත් වීම සහ දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගන්නා ඖෂධ සහ වස විස රසායනික ද්රව්යයන් නිසාවෙන් අක්මාවට හානි සිදු වීම නිසාවෙන් දරුණු අක්මා පිළිකා පවා ඇති විය හැකිය. හානි වූ අක්මාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් වන සිලිමරීන් ඖෂධයට සමාන අක්මාව රැක ගැනීමේ ලක්ෂණ ලෝලු සාරය සතුව ද තිබෙන බව සොයාගෙන ඇත.

ලෝලු ගෙඩි සහ පත්ර සාරය ලබා දීමෙන් ගැබ් ගැනීම වැළැක්විය හැකි බවට මීයන් ඇසුරෙන් කර ඇති පර්යේෂණ වලින් සනාථ වී ඇත. දැනට භාවිත කෙරෙන කෘත්රිම හෝර්මෝනමය උපත් පාලන ක්රම වල දී මෙන් නොව, ලෝලු පත්ර සාරය ලබාදීම අත්හිටුවීමෙන් පසු නැවත ස්වාභාවික ලෙස ගැබ් ගැනීම කිසිදු පමාවකින් තොරව සිදු වන බව බ්රසීලියන් ජර්නල් ඔෆ් පාර්මොකොග්නොසිස් වෙබ් අඩවියේ පළ කෙරී තිබෙන එකී පර්යේෂණ පත්රිකාවෙ සඳහන් ය. මෙකී කාරණාව නිසා ගර්භනී බව පතන ස්ත්රීන් සහ ගර්භනී සමයේ මුල් මාස තුනේ පසු වන ස්ත්රීන් ලෝලු අනුභවයෙන් වැළකී සිටීම මැනවි.

* ලොලු කොල චූර්ණය හෝ කෂාය ඇදුම රෝගයට ප්රතිකාරයකි.
* රක්ත අර්ශස් සඳහා ලෝලු කොළ, දළු පිරිසිදුව අඹරා වියළි පුවක් ගෙඩියක පමණ ප්රමාණයක් ගෙන ගිතෙල් සමඟ මුසු කොට දවසට දෙවරක් කෑමට නියම කර ඇත.
* මුඛයෙහි හට ගන්නා තුවාල සහ බිබිලිවලට ලොලු කොළ යුෂ ආලේප කරයි.
* ලොලු ගසේ පොත්තෙහි ඇති සුඹුලු කෂාය කර එයින් කට සේදීම මුඛ දුර්ගන්ධය ඇතුළු මුඛ රෝග සඳහා ප්රතිකාරයකි.
* ලොලු ඇට චූර්ණය තල තෙලින් අනා ආලේප කිරීමෙන් අළුහම්, බිබිලි ආදිය සුව වෙයි.

දියවැඩියා රෝගයට , කැස්ස , හතිය වැනි රෝග වලට දාහය සහ ඌෂ්ණ රෝගවලින් සහනයක් ලබන්නටත් ලෝලු උපකාර වන බව පැවසේ. සැඩ හිරු කිරණින් බේරෙන්නට ලෝලු මල් අඹරා මීකිරි සමග මිශ්ර කර සම මත දිනකට දෙවතාවක් ගැල්වීම ඉන්දියානුවන් අතර භාවිතයට ගැනෙන ප්රතිකාරයකි.

ලෝලු ව්‍යංජනය

ලෝලු දලු ඇඹුලට හදාගත් විට කදිම ව්යාංජනයකි. අලකොළ ව්යාංජනය පිළියෙළ කරන ආකාරයට සකසා ගත හැකිය. ලෝලු මල් ව්යාංජනයට සකසා ගත හැකිය. මුංඇට ව්යාංජනය සකසා ගන්නා ආකාරයට එය සකසා ගත හැකිය ....

පූජ්‍ය අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි ( පිළිකුත්තුව ඓතිහාසික රජමහා විහාරය ) විසින් සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියකින් හා අන්තර්ජාලයෙන් හා ඖෂධීය ශාක සංග්‍රහය ඇසුරින් සකසන ලදි ...

මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමටත් උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුමද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් හා පරිසරයේ ඇති ශාක ආරක්ෂා කරමින් යුතුකම ඉටුකරන්න අදිටන් ඇති මිනිසුන් වෙමු . පණ පොදේ අයිතිකරුවන් ගහ කොළ වැලයි සොබාදහමමයි


Sarana Himi

A day in the life

Sunday, September 22, 2024

මට ඕන හරිහමං මිනිහෙක්...




මට ඕන
හරිහමං
මිනිහෙක්...
කළුවො
මට ඕනෑම
උඹ වාගේ
හිත හයිය මිනිහෙක්...
අවජාතකයි කියා
ලෝකයෙන් එළවගත්
උඹ වාගේ
අතිජාත
මිනිහෙක්...
කිඩාරම් මලකටත්
පුදසුනක් වෙන්ට හැකි
පපුතුරක්
උරුම වූ
මිනිහෙක්...
පුංචි නොදරුවෙකුටත්
නැළවිල්ල
වෙන්ට හැකි
කතන්දරයක් වගේ
මිනිහෙක්...
වියළි මහ පොළොවකට
වැස්ස වී සිහිල දෙන
උඹ වාගෙ
අගේ ඇති
මිනිහෙක්....
වනන්තර
දෙපළු කොට
කුංචනාදය දෙවන
දහිරියෙන් ලොව නගන
මිනිහෙක්...
කේඩෑරි අත් වලින්
සෙමෙන් හිස පිරිමදින
දේවතාවෙක් වගේ
මිනිහෙක්...
පාලුවට තනිකමට
පෙළෙන
අසරණ කමට
සත් සරණ වෙන්ට හැකි
මිනිහෙක්....
උරතලේ වැතිරිලා
ඉකිගසා
වැළපෙද්දි
නෙත් පිහින
රත්තරං
මිනිහෙක්...
විසල් මහ
අහස සේ
රොන් සුනක
සුවඳ සේ
ආත්මය සුව කරන
මිනිහෙක්...
මල් පියල්ලක
මෙළෙක
හංගාන හිත් කොණක
උන්නාට
රහ දන්න
මිනිහෙක්...
කළුවො
මට ඕනෑම
උඹ වාගේ
හරිහමං මිනිහෙක්....
- විජිතමාලි ආනන්දකුමාර -
A day in the life

Saturday, September 21, 2024

මහබඹා කෝලම









මහබඹා කෝලම සමන් දේවාල පෙරහැරේ එන සුවිශේෂී ම අංගයකි. මිනිසුන් එය "මහබඹා, මහබබා, මහබඹා කෝලම, මහ පඹයා" යනුවෙන් ද හදුන්වයි.
මහබඹා කෝලමට මුහුණු දෙකකි. එක් පැත්තක පියකරු, පැහැපත් මුහුණකි. එය දෙවිකෙනෙක් බදු ය. අනෙක් පැත්ත බියකරු පෙනුමැති යක්ෂ මුහුණකි. එහි නයි පෙන ද ඇත. දකුණතින් අමෝරා ගත් කඩුවකි. වමතින් ඉණට තබාගත් මල් කළඹකි.
මහබඹා කෝලම අඩි අටක් පමණ උස ය. මේ රූපය පෙරහැරෙහි ගෙන යන්නේ උණ ලී සැකිල්ල ඇතුළට රිංගා ගන්නා පුද්ගලයෙක් විසිනි. හේ යක්ෂ මුහුණ සහ පියකරු මුහුණ සැමට ම පෙනෙනා සේ කැරකි කැරකී ගමන් කරයි.
1852 වර්ෂයේ පළකර ඇති Illustrated London News සගරාවේ පළ වූ චිත්‍රයක දැක්වෙන්නේ එකල සමන් දේවාලය පෙරහැරේ මහබඹාගේ මූර්තීන් දෙකක් රැගෙන ගොස් ඇති බවයි. එමෙන්ම රාජසිංහ රජ දවස ද පෙරහැරේ මහබඹුන් දෙදෙනෙකු ගමන් කළ බව සදහන් වේ.
සමන් දෙවොල ආශ්‍රිත කතාපුවත්වලට අනුව, මහබඹා කෝලම පෙරහැරට එක් වී ඇත්තේ පෙරහැර ආරම්භ වූ සීතාවක රාජසිංහ රජ සමයේදී ම ය. රජතුමා පෙරහැරට සහභාගි නොවන අවස්ථාවල රජු සංකේතවත් කිරීම සදහා මහබඹා කෝලම ගෙනගිය බව එක් මතයකින් කියැවේ.
එහෙත් රජතුමා නියෝජනය කරමින් පෙරහැරේ ගමන් කරන්නේ බස්නායක නිලමේ වරයා ය. මහබඹාගෙන් නිරූපණය වන්නේ සීතාවක රාජසිංහ රජුගේ පාලන තන්ත්‍රයේ ගති ස්වභාවය හෙවත් හොඳ නරක බව සහ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය වර්ෂයක් පාසා මහජනයාට මතක් කරදීම බව ද ප්‍රකට මතයකි.
සමන් දේවාලයේ දිය කැපීමෙන් අනතුරුව පැවැත්වෙන දිවා පෙරහැරේ ද මහබඹා රුව පෙරහැරේ ඉදිරියෙන් ම ගෙනයයි. මෙසේ මහබඹා කෝලම ඉදිරියෙන් ම ගෙනයාම තුළින් පෙරහැරේ සිත් ඇදගන්නා නිර්මාණ, නර්තන කෙරෙහි ඇති විය හැකි වස්දොස් මග හැරීමට අදහස් කළා විය හැකිය.
මූලාශ්රය - සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල, එච්.එම්. ජයන්ත විජේරත්න
A day in the life

Friday, September 20, 2024

හෙළ ගැමියා ඩී. ආර්.



මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළු ඩී. ආර්. නානායක්කාර මහතාගේ මතකාවර්ජනයක් අදට යෙදෙන ඹහුගේ ජන්ම දිනයේදී ඹහු සිහිකිරීම වෙනුවෙන් මෙසේ ලියා තබමි.
(15 March 1915 – 4 January 1989)
දේශීය සිනමාව ආරම්භයේ පටන් සිංහල සිනමා වංශකථාවේ රන් අකුරින් ලියවුන නළු නිළි පිරිස බොහෝය. එවැනි නළු නිළියන් එදා විශේෂයෙන් හඳුන්වාදුන්නේ “තරු” යන අනර්ථ නාමයෙනි. මෙවන් තරු නාමයෙන් හඳුන්වා නොදුන්නත් සිංහල සිනමාවේ අතීතය ගැන කථා කිරීමේදී අමතක කළ නොහැකි ප්‍රවීණ සම්මානනීය නළුවෙකි ඩී. ආර්. නානායක්කාර යන නාමය. මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළුවන් අතලොස්ස අතරින් ඩී. ආර්. කැපීපෙනෙන්නෙ ගැමි ආරයේ සංකේතයක් වශයෙනි.
කලක් දක්ෂ සහ ජනප්‍රිය වේදිකා නාට්‍ය නළුවෙක් වූ ඩී ආර් නානායක්කාර මහතා පසුව වේදිකා නාට්‍ය අභිභවා සිංහල චිත්‍රපටය කලඑළිබැස තිබූ නිසා විමලවීරයන් ද චිත්‍රපටයක් නිර්මාණය කිරීමට පෙලඹිණ. මෙහිදී ඔහු විසින් ප්‍රථමයෙන් තෝරාගත්තේ ඔහු විසින්ම වේදිකාගත කරන ලද “අම්මා” කථාපුවත රැගත් වේදිකා නාට්‍යයි. සිංහල සිනමාවේ අම්මා චිත්‍රපටය මුලින්ම තිරගතවන්නේ 1949.08.19 වන දිනය. ඩී. ආර්. නානායක්කාර නම් තරුණ නළුවා රිදී තිරයට පැමිණෙන්නේ එදිනය. ඒ සරණපාල ලෙස රඟපාමිනි. මුලදිම සංගීතය ගැන තිබූ අවබෝධය නිසා ඔහුට රඟපාමින් ගීත දෙකක් ගායනය කිරීමට ද අවස්ථාව උදාවිය. මුල්ම රඟපෑමෙන් ගායකුවීමේ වාසනාව ද ඔහුට ලැබිණි.

ඩී. ආර්. ගේ කථා විලාසය හා වචන උච්චාරණයෙදී බොහෝදුරට ගැමිහුරුව ඇති බැව් පෙනීයයි. ඔහුට ලැබෙන සෑම චරිතයකම එම ලක්ෂණ මතුවන අවස්ථා විරල නොවේ. සෑම භූමිකාවකම අව්‍යාජත්වයත් ගැමිකමත් ඩී. ආර්. ගේ රංගනවේදයෙන් වෙන්කළ නොහැකි වනසේ බද්ධ වී තිබිණි. ඩී. ආර්. නානායක්කාර වූ කලී තමාට ආවේනිකවූ රංගන ශෛලියකින් හෙබි ජාත්‍යන්තර මට්ටම දක්වා විහිදුන කුසලතාවයෙන් පිරි නළුවෙකු වූයේය. ඩී. ආර්.ගේ රංගන ශෛලිය පිළිබඳව විමසා බැලීමේදී ඔහුගේ අඩුව වෙනත් කෙනකුට පිරවිය හැකි අඩුවක් නොවේ.

ඩී. ආර්. හට බොහෝමයක් සිය රංගනයට අවස්ථාව ලැබුණේ ගමේ ආරච්චිල, ගමේ බේබදු පියා, අනුන්ට උගුල් අටවන සටකපට චරිත, එසේ නැත්නම් ගමේ දුෂ්ටයා, එසේ නැත්නම් මුළු චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා තරයේ ඇදබැඳ ගන්නා හාස්‍ය චරිත රංගනයන් ය. මේ සෑම චරිතයක්ම ඩී. ආර්. නානායක්කාර රඟපාන්නේ ඔහුට ආවේනික වූ යම් අනන්‍යතාවක් පවත්වාගෙනය.
ඩී. ආර්ගේ සිනමා දශක කිහිපය පුරාම සිංහල සිනමාවට ආලෝක ධාරාවක් වන බව ඔහුගේ හැකියාවන්ගෙන් උපරිම ලෙස ප්‍රයෝජනය ගත් අධ්‍යක්ෂවරුන් දෙස බැලීමේදී පෙනීයයි. විශේෂයෙන්ම ඔහුව චිත්‍රපට සඳහා දායකකරගත් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සිනමාවේදියා ගැන සඳහන් කළ හැක. ඔහු නිර්මාණය කළ චිත්‍රපට රාශියක රඟපෑමට ඩී. ආර්. හට අවස්ථාව ලැබීම ඔහුගේ රංගන දිවියට වරෙක සම්මානයට පවා පාත්‍රවීමට අවස්ථාව උදාකරගත්හ.
ඔහු රඟපෑ දිගු සිංහල සිනමා වංශකථාවේ චිත්‍රපට අතරින් ඩී. ආර්. ගේ දක්ෂතාවන් දුටු චිත්‍රපට අතරට, රේඛාව (කපටි සූටියා), චණ්ඩියා (බේබදු පියා), පරසතුමල් (අමාරිස්), බිනරමලී ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඔහුගේ දක්ෂ හැකියාව ගැන එම චිත්‍රපටවලට ලබාදුන් සාධාරණය ගැන පමණක් කථා කළ හැක. ඒ ඔහුගේ රංගන දිවියේ මං සලකුණු බැවිනි. ඩී. ආර්. ගේ රංගන දිවියේ ස්වර්ණමය අවස්ථාව වන්නේ 1963.09.27 තිරගතවූ එල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ ‘සිකුරු තරුව’ චිත්‍රපටයේ ගම්මුලාදෑනියාගේ චරිතය වෙනුවෙන් ප්‍රථම සරසවි සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස ප්‍රථම සරසවි සම්මානය ලබාගැනීමය. මීට අමතරව දීපශිකා සම්මානයෙන් ද, පිදුම් ලැබීය. සිය රංගන ජීවිතයේදී ශ්‍රී ලාංකික සිනමාව පමණක් නොව විදෙස් සිනමාවේද නිර්මාණකරුවන් අතට ඔහු පත්වීම ශ්‍රී ලාංකික කාගෙත් කථාබහට ලක්වූ කරුණක් විය. ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ගේ “ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ්ඩුම්” චිත්‍රපටයට දායකවීම ඔහු ලැබූ ජයග්‍රහණයකි. චිත්‍රපටයේ රංගනය දුටු අධ්‍යක්ෂ පසුව ප්‍රකාශ කර ඇත්තේ “හොලිවුඩ් නළුවන්ට සමානකර තම රටේ සිටියුතු රංගන වේදියෙකු ලෙසය” එය ඔහුට ලද ‍ලොකු ගෞරවයකි.ඩී. ආර්. නානායක්කාර යනු යුගයක් සතුටු කර රංගනය ගැන වර්තමානයේ කථිකාවක් කළ යුතු චරිතයක් බව කියාදීමය. ඔහුගේ රංගනය දෙස අදත් අප බලාසිටින්නේ ගැමිකම සිය රංගනය වෙනුවෙන් එක්කළ එකම චරිතය ඔහු නිසාය. ඩී. ආර්. ගේ නාමය සිංහල සිනමා වංශකථාවේ පරිච්ඡේද කිහිපයක් නියෝජනය වන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුය.
තොරතුරැ සම්පාදනය දිණමින පුවත්පතින්
(මෙසේ පලවී තිබුණි )
Wasantha udaya kumara'
A day in the life

Thursday, September 19, 2024

දුරමැන්න හැටි




පැරණි ගම්වල හිටිය මිනිස්සු දුර ගැන ඒතරම් හිතුවෙ නැතිවුණාට දුර මනින්න තමන්ගෙම කියල ක්‍ර්‍රමයක් හදාගෙන තිබ්බ. අද මේ කියන්නෙ ඒ වගේ කීපයක් !
1 දඬුබස්නාමානය- :
මෙතෙන්දි මානය කියන්නෙ දුරට කියන තවත් වචනයක් . දඬුබස්නා එහෙම නැත්නම් දුන්නෙන් ගිලිහුණු ඊතලයක් වැටෙන දුර දඬුබස්නාමානයයි!
2 බෙරහඬක්/ සක් හඬක් ඇසෙන මානය-:
මේ මැනීම කලින් එකට වඩා ටිකක් අමාරුයි . හුගාක් පන්සල්වලට ඉඩම් පූජාකරල තියෙන්නෙ මේ විදියට . ප්‍රසිද්ධම එකක් තමා උඩවලවට කිට්ටුව තියෙන සංඛපාල විහාරය . සක් හඬක් ඇහෙන දුරට තියෙන ඉඩම් ඒ පන්සලට පූජා කරල තියෙනවා.
හූවක දුර කියන්නෙත් මේ වගේ හූ හඬක් ඇහෙන දුරකට
3 පේන්තෙක් මානෙ/ ඇස් දිස්ටියක් මානෙ-:
' පේනතෙක් මානෙ එකයායට කුඹුරු ' අපේ ඇහැට පේන තරම් දුරටම කුඹුරු තියෙනවනම් මෙහෙම කියන්න පුලුවන් ! ඇස් දිස්ටියක් මානෙ කියලත් සමහර ගැමියන් කිව්වෙත් මේකටමයි.
4 ඇස් මානෙ/ පේනමානෙ -:
මේක කලින් කිව්ව එකට වඩා වෙනස්! මෙතෙන්දි අදහස් කරන්නෙ යමෙක් හෝ යමක් හොඳට පේන ආසන්නම දුරක්!
' මයේ ඇස් මානෙන් ඈතට යන්න එපා' අම්මෙක් කුඩා දරුවෙකුට කියන්නෙ හොඳට පේනදුරින් ආසන්නයේම ඉන්න කියල !
' කෝ අම්මෙ අප්පච්චි ? පේනමානෙක නෑනෙ !' කියන්නෙත් මේ වගේ ලඟපාත නැතිබවයි.
5 කතුස්ම-:
පැරැන්නො බඩුමුට්ටු ගෙනියන්න කද පාවිච්චි කලා. මේ කදක් එකදිගටම උස්සන් යන්න බෑ. ටිකක් දුර ගිහින් බිමතියල මහන්සි අරින්න වෙනව. ආන්න ඒ වගේ කදක් එක හුස්මට ගෙනියන්න පුලුවන් දුර කියන තේරුමෙන් තමයි කත්+ හුස්ම කතුස්ම වෙලා තියෙන්නෙ !
6 හැතැප්ම-:
තවමත් සැතපුම් / හැතැක්ම / හැතැම්ම වලින් දුර මනින දුර කියන අය ඉන්නව.
ඒ කාලෙ මිනිස්සු ගියේ පයින් . එකදිගටම පයින් එහෙම යනකොට මගදි විඩා නිවාගන්න ඕන . ආන්න ඒ වගේ විඩා නිවාගන්න තරම් දුරක් ආවම හැතැප්මක් ඇවිත් ( සැතපීම- සැතැප්ම)
අපේ ගමේ තියෙනව හැතැක්ම කියල තැනක්. එහෙම කියන හේතුව ගමේ හුඟදෙනෙක් දන්නෙ නෑ. තව හොයනකොට තමයි එක වැඩිහිටියෙක් කිව්වෙ
' ඒ කාලෙ ගාල්ලෙ ඉඳල පයින් උඩුගමට ගිය මිනිස්සු අතරමග ගමන්මහන්සිය නිවන්න නතරවුන නිසා තමයි හැතැම්ම කියන්නෙ . ඒකත් දුරමැන්න ක්‍ර්‍රමයක් '
වන්නි හැතැක්ම :
ඔය වන්නි පැතිවල ඇවිදින්න ගිහින් දුර ඇහුවොත් හැතැම්මක් විතර ඇති කියන්නෙ අනිවාර්යයෙන් සැතැපුම් දෙකතුනක් දුර!!. ඉතින් අපේ අය ඒවට කියන්නෙ වන්නි හැතැප්ම!
7 නුවර යුගයේ සැතපුම හා බණ්ඩාර බඹය -:
නුවර යුගයේ සැතපුමක් ගැන සඳහන් වෙන්නෙ බණ්ඩාර බඹය සමග. බණ්ඩාර බඹය කියන්නෙ කෙනෙක් අත උඩට ඉස්සුවම පාදයේ සිට අතේ කෙලවර දක්වා දුර . සාමාන්‍යයෙන් අඩි8-9 අතරෙ වගේ. ඒ වගේ බඹ 500 ක් සැතැපුමක් විදියට අරන් තියෙනවා.
8 අසනිපාතය-:
අසනිපාතය කියන්නෙ අකුණුගහනවට! මෙතන ඒකෙ තේරුම සඳහන් වෙන්නෙ යම් ශක්තිමත් පුරුෂයෙකුට ගලක් විසිකලහැකි උපරිම දුර විදියට !!
9 පියවර-:
මේක කෙටිදුරක් මනින්නයි යොදාගත්තෙ. අපි ඔයි කැලේ ඇවිදින්න යනකොට පියවරක් කියන්නෙ කකුලක් උස්සල ආයෙත් බිම තියන දුරට ( කැලේ සංචාරය කරණ අය ලේසියෙන් දුර මනින්නෙ එහෙමයි )
ඒක එහෙම උනාට මෙතෙන්දි කකුලෙ විලුඹේ අග ඉඳල මාපටඇඟිල්ල අගට තියෙන දුර තමා පියවරක් වෙන්නෙ. ඔය නිදන්වස්තු තියෙන බවට ලාංඡන තියෙන තැන්වල එතැන ඉඳල නිදානෙ තියෙන දුර කියන්නෙ පියවරවලින්! .
10 ගව්ව / යොදුන -:
ගව් 4= යොදුන් 1
මේක තමයි අතීතයේ මාර්ගවල දුර මැන්න නිල ක්‍ර්‍රමය . නිශ්ශංකමල්ල ‍රජතුමා රටේ ප්‍රධාන මාර්ග මැනල ගව්කණු පිහිටුවල තියෙනවා . ඒ ගව්වලට කිව්වෙ නිශ්ශංක ගව්ව කියල !! . ඒ ගව්ව කොපමණ දුරක්ද කියන්න විස්තර හොයාගන්න නෑ.
ගව්ව ගැන විස්තර ගොඩක් තියෙනවා
දුනු 500= ගව් 1( මෙතෙන්දි දුනු එක කියන්නෙ දුන්නක දිග ( මීටර් 2) නම් මේ විදියට ගව්වක ආසන්න දුර
2 x 500= 1000 යි. මීටර් 1000 ක් විතර
මේ තව විදියක්
අංගුලි 9= වියත් 1
වියත් 2 = රියන්. 1
රියන් 7 = යෂ්ටි 1
යෂ්ටි 20 = ඉස්බ. 1
ඉස්බ 80 = ගව් 1
මෙතන අංගුලි කියන්නෙ මැදඟිල්ලෙ පිටපැත්තෙන් මැද පුරුකෙ දිගට
රියන් 1= අඟල් 18 කියල ගත්තොත් ගව්වක් රියන් 11200 ක් වෙනව (7*20*80 ) . අඩිවලින් නම් 16800ක් . ආසන්න වශයෙන් මීටර් 5000 ක් විතර .
රියනක් කියන්නෙ අඟල් 32 වඩුරියනක් විදියට ගත්තොත් මේ දුර මීටර් 9100 කට ආසන්න වෙනව.
ගව්වක් සැතැපුම් 4ක් ( මීටර් 6500 ක් පමණ ) කියල බොහෝතැන්වල සඳහන් උනත් ඒක ආපු විදිය නම් හොයාගන්න බැරිවුණා .
( ගව්ව යොදුන ඇරුණම අනිත් ඒව ඔක්කොම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනව. දුර ගැන අදහසක් ඇතිකරගැනීමට විතරයි ඒ කාලෙ අයට අවශ්‍ය වුණේ )
24 Jul 2021
Channa Withana

 --Keerthi Deshappriya


A day in the life

Wednesday, September 18, 2024

ගමේ අමුතු කෑම


කැලෑ ගමේ අමුතු කෑම ...
මා 82 වර්ෂයේ මොණරාගල දුෂ්කර සේවයට එන බව කිව්වම ගමේ බොහෝ අය කිව්වෙ අම්මෝ ඇති පදම් දඩමස් කන්න ලැබෙයි කියලා. අපේ ගම් වල ඒ කලෙ දඩමස් තියා කඩමස්වත් නැහැ
ගාල්ලෙන් ආපු අම්පාර CTB බස් එකේ වහලෙ අට්ටි හහල තිබුනෙ තැඹිලි වලු. ඒ මදිවට රන්නෙදි රුහුණු මීකිරි හට්ටි වලින් පිරුනා ඩ්‍රයිවර් සීට් එක වටේට. මේවා අම්පාරට අරන් ගිහින් රියදුරු මහතා බිස්නස් එකක් කරනව ඇති කියල හිතුනා.
තණමල්විල කියන්නෙ ඒ කාලෙ දුර බස් නවතන කුඩා කඩමණ්ඩියක් . අද වගේ නගරයක් නෙමේ.
තණමල්විලදි බස් එක නැවැත්තුවම මොණරාගල ගැන පොඩි අදහසක් ආවා. කර්කශ වියලි සුළඟ වැලි කුණාටු නංවමින් වටේට තිබුනු කොහොඹ ගස් අඹරමින් හෝ හඬ නංවනවා. උණුසුම් දූවිල්ල වැදිල තොල් පුපුරු ගහනවා. කවදාවත් මොණරාගල ගැන නොදන්න මට කතරක අත්දැකීම තණමල්විලදිම ලැබුනා වගේ. මේ වගේ කටුක පාරසරික අත්දැකීමක් ලබල තිබුනෙ බැද්දෙගම පොතෙන් පමණයි.
ජනවාරි මෙහෙට වැසි කාලයක් වුනත් මා ඇවිත් තියෙන්නෙ දැඩි ඉඩෝරෙක. පේන තෙක් මානයක නිල්ලක් නැහැ පිදුරු බවට පත්වුන තණකොළ හැර.
තණමල්විල කෑම කඩේට ගියාම අර අපේ ගම් වල මිනිස්සු කිව්ව කතාව හරි කියල හිතුනා. එළවලු වලට වඩා තියෙන්නෙ එක එක ජාති වලට හදපු දඩමස්. දුර සේවා බස් වලින් ඇවිත් කෑමට බහින පිටස්තර මගීන් ඉලක්ක කර ගජරාමෙට මස් ව්‍යාංජන අළෙවි වෙනවා. මාත් හා හා පුරා කියා බඩ පැලෙන්න සප්පායම් වුනා. ගමේදි ජීවිතේට කාල නැහැ මේ තරම් රසට. අද කාලෙ මිළත් එක්ක බැලුවොත් ඒ කාලෙ කෑම බිල මාරු කාසි කීපයකින් ගෙවන්න පුලුවන්.

මගෙ පාසල පිහිටල තිබුනෙ මරගල කඳු වනාන්තරයේ නැගෙනහිර බෑවුමේ හුදකලා කැලෑ ගමක. දකුණෙන් දුෂ්කර සේවයට ආ සර්ල කීප දෙනෙකු සිටි චමරියෙ මාත් පදිංචි වුනා. අපි හැමෝම ගත කළේ හරිම සරල ජීවිත. බූමිතෙල් ලාම්පු, බූරු ඇඳන් හෝ ළමා ඩෙස් වලින් හදාගත්තු ඇඳන්, හැවන් පැදුරු, දැලිවලං, බෙලෙක් පිඟන් කෝප්ප වගේ දේවල් තමා තිබුනෙ. චමරියෙ කිසිම ලී බඩුවක් තිබුනෙ නැහැ. පාසලෙන් අයින් කරපු කැඩුන ලොකු ලී කබඩ් එකක අපි හැමෝම ඇඳුම් දැම්මේ.

දෙවෙනි දවසෙම සර් කෙනෙක් මාත් එක්ක ළඟ ගෙදරකට ගියා. ඒ ගෙදර පුංචිබණ්ඩෙ දඩයමේ ගිහින් ඇවිත් කියන ආරංචියටයි ගියේ. ඔහුට "මේ අලුත් සර්" කියලා මාව හඳුන්වා දුන්නා. අපිට තේ දුන්නා. බිස්කට් වෙනුවට මැටි කෝප්පෙකින් එකක් තිබුනෙ දොදොල් කෑලි වගයක්. අතට ගත්තමයි දන්නෙ ඒ දුම් ගසා වේලපු මස් කෑලි කියලා. මගෙ බඩ දඟලන්න පටන් ගත්තා. උයන් නැතුව ජීවිතේට මස් කාලා නැහැ.
අර සර් පුංචිබණ්ඩට කිව්ව " අලුත් සර්ට තාම මේ කෑම හුරු නැහැ" කියලා. මේ ටික ඔතල දෙන්න කිව්ව රෑට උයන්න. ඔහු ඒ ටිකත් ඔතල දුන්න. තව පරාල කෑලි වගේ ලොකු වේලපු ගෝන මස් වගේකුත් දුන්නා.
වේලපු ගෝන මස් බීලූනු එක්ක තෙල් දාල පරිප්පු හොදියි, තිස්ස රෝස කැකුළු බතුයි එදා රෑ බඩපුරා කෑවා. ගෙදර කෑම මොන කෑමක්ද කියල හිතුනෙ එදා තමයි. උදේට හැමදාම වගේ වේලපු මස් බැදුමයි, පොල්සම්බෝලයි, තිස්ස රෝස කැකුළු බතුයි. ඔය විදියට දඩ මස් සමඟ දිගටම මේ පැත්තෙ කෑම වලට හුරු වුනාම නිවාඩුවට ගෙදර ගියාම ප්‍රශ්න ගොඩයි. අම්ම පුදුමයෙන් බලනව බත් ඉතුරු කරන්නෙ ඇයි කියලා. බෙහෙත් ගන්න යෝජනා කළ වාර අනන්තයි.
මේ ප්‍රදේශ කටුසර ගොවිතැන හා දඩයම ජීව්කාව කරගත් මිනිසුන් හිටපු පැත්තක්. කිසිම කඩේක කරවල, සැමන්, බිත්තර , මස් විකුණන්න නැහැ. විකිණෙන්නෙත් නැහැ. ඇයි හැම ගෙදරම දඩ මස් තමයි කන්නෙ. මූදු මාළු නම් කොහොමවත් නැහැ.
ටික දවසක් මාත් තව සර් කෙනෙකුත් ළඟ ගෙදරකින් කෑම කෑවා. ඒක නම් අපූරු කෑමක්. හැම වෑංජනයක්ම වගේ උයන්නෙ අපිට නුහුරු විදියට. පරිප්පු, මුරුංග, මුං ඇට ආදී මොන හොද්දක් ඉව්වත් ඒකට වේලපු මස් කෑලි හරි හරියට දානවා. උම්බලකඩ වෙනුවට ඕනම දෙයකට දාන්නෙ ගෝන කරවල. පරිප්පු හොද්දෙ පොල්කිරි වෙනුවට තියෙන්නෙ තෙල්. පුදුම විදියට මේ මිනිස්සු තෙල් කන්නෙ. අපි දෙන්න මාස එකහමාරක් විතර ඒ ගෙදරින් කෑවා. අපි කරන්නෙ වෑංජන වල තියෙන මස් කෑලි විතරක් අහුලගෙන කන එක. වේලපු මස් දාල හදන අල බැදුම නම් සුපිරි.
කොහොම හරි ඒ කාපු ටිකට අපි දෙන්න මහත්වුනා ඌරො වගේ. පස්සෙ මේ වැඩේ හරි යන්නෙ නැහැ කියලා අපිත් චමරියෙන්ම කෑවා. ඇඟපත මහන්සි නොවන අපි මේ විදියට තෙල් කෑවොත් ඉක්මනට කූරිය ගහයි කියල අපිටම හිතුනා.
මේ ගෙවල් වල කඩවලින් ගේන එළවලු නැති තරම්. හේන් එළවලු තමයි තියෙන්නේ. උඩරට එළවලු දකින්නවත් නැහැ. පරිප්පු වෙනුවට පියලි කළ කව්පී, ලීමා, මුං ඇට, කොල්ලු, කඩල (රටකජු ) වගේ දේවල් උයන්නේ. මේ අය රටකජු වලට කිව්වෙ කඩල කියලා.
අපි චමරියට නම් මොනරාගල හෝ දොඹගහවෙල පොලෙන් සියලුම එළවලු වර්ග ගේනවා. තිස්ස රෝස කැකුළු හාල් හරි ජනප්‍රියයි. ඒක පොල් සම්බෝලයක් එක්ක වුනත් රසයි. ඒත් මේ ගමේ අය තමන්ගෙ වී හාල් තමා කෑවේ.
මෙහේ අයට බත් කියන්නෙ අපිට පාන් වගේ. ගමේ ප්‍රධාන ආහාරය කුරහන් තලප. තලප මේ අයට කෑමක් නෙමේ ආගමක්. පාසල ඇරිල එක පැයක් කොල්ලො ටික පන්තියක තියා ගන්න බැහැ. අනේ සෑර් තලප බෝල ගල් වෙනවා කිය කියා නාහෙන් අඬනවා තලප මතක් වෙලා. තලප උණුවෙන් මිසක් නිවුනම කන්න අමාරුයි ගල් වෙනවා.
කුරක්කන් තඹ පාට අබ ඇට වගේ ධාන්‍ය විශේෂයක්. මා පිටි දැකල තිබුනට අපේ ගමේදි ඇට දැකල තිබුනෙ නැහැ. ඒවා ගරල වේලල කුරහන් ගලේ අඹරල පිටි හදනවා. පිට්ටු, රොටි, හැලප වගේ කෑම රාශියක් කුරහන් පිටි වලින් හදනවා. දවසක කුරක්කන් තලප ගැන වෙනම කතාවක් ලියන්න ඕනා. ඒ තරම් සංකීර්ණයි ඒ වැඩේ.
ඉරිඟු තලප ලා කහ පාට ඉරිඟු පිටි වලින් හදන්නෙ. මොන තලපෙ උනත් කන්නෙ ආනමක් එක්ක. කොල්ලු, මුං, පරිප්පු, අල කොල, වට්ටක්කා ආදී බොහෝ දේවල් වලින් ඔය ආනම හදනවා. ඒකටම හැපෙන්න කොස්ඇට, වේලපු මස් වගේ දෙයකුත් දානවා. ආනම ලිපේ හැඳිගානවිට උකු වෙන්න කුරක්කන් පිටි හෝ ඉරිඟු පිටි ටිකක් දානවා. දැන් කාලෙ කෝන් ෆ්ලවර් දානව වගේ. හැබැයි වල් ඌරුමස් ආනම තමයි තලප වලට නියමෙටම යන්නෙ.
මේ හේන් ගම් වල සැප්තැම්බර් වැස්සට තමයි හේන් කරන්නෙ. ඒ කාලෙට කෑම බීම හිඟ නැහැ. හේන් වලට එන සතුන් දඩයම් කරන නිසා මස් වලින් හිගයකුත් නැහැ. මේ පැත්තෙ මස් විකුණන්නෙ නැහැ. දඩයමක් කළාම ළඟ කට්ටිය බෙදාගන්නවා. නොමිළේ ඉස්කෝලෙටත් පංගුව එවනවා. පස්සෙ කාලෙ නම් සොංච්චම් මුදලකට විකුණන්න පටන් ගත්තා. චමරියෙ අපි වල් ඌරු ගාතයක් රුපියල් හතලිහකට අරන් තියෙනවා.
දේසෙ හැටියට බාසේ කිව්ව වගේ අපිත් මෙහේදි දඩමස් වලට හුරු වුනා. ඒවා නැත්නම් සාංකාව හැදෙන තත්වෙට ආවා. ඒක දැනගත් ටොපි, චොකලට්, කේක්, බිස්කට් ගේන්න ඕන ටීචල අපිව බලන්න ආවෙ වල් ඌරුමස්, ගෝන මස් එහෙම රසට උයලා පාර්සල් අරගෙන. මොකද ඒ ටීචල වැඩ කළේ මෙහෙටත් වඩා දඩයම් බහුල ඇතිමලේට කිට්ටු පාසලක.
කැලෑ ගමේ ගෙවල් වල දුම් මැස්සෙ නැති දෙයක් නැහැ. ඒක ආහාර සංරක්ෂිත ගබඩාවක් වගේ. දුම්මැස්සෙ දුම් වැදී කරවූ මස් පවා තියෙනවා. ඒවට කියන්නෙ දරමස් කියලා. ඒවා කරුවල ලී කෑලි වගේ. මස් හිඟ දවසට දර මස් රැයක් පොඟවල, වනේ දාල කොටල, බී ලූණු එක්ක තෙල් දානවා. නැත්නම් කොටපු දරමස් පොල් සම්බෝල එක්ක මිශ්‍ර කරල තෙම්පරාදුකර ගන්නවා. ඒකත් එක්කම විතරක් බත් මරන්න පුලුවන්.
ඉරිඟු කන්න අපි හේන් වල යනවා. ඉරිඟු පුච්චන එක සාත්තරයක්. හැමෝටම කරන්න බැහැ. හේනෙන් එවෙලෙම කඩා ගත් බාගෙට පැහුන ඉරිඟු කරල සුද්ද කරල හේනෙ දැල්වෙන ලොකු දර අඟුරු උඩ තියල කොලපොතකින් පවන් ගහනවා. නැත්නම් බටේකින් පිඹිනවා. දුම වදින් නැතුව අධික රස්නෙන් ඉක්මනට පුලුස්ස ගත්තෙ නැත්නම් රස නැති වෙනවා. ගිනිදැල්ල හෝ දුම වැදුනොත් කාල හමාරයි. ඒක අපිට කරන්න අමාරුයි. ටක් ගාල ඉරිඟුඇට පිපිරෙන්න ඕන පදම ආවම. ලුනු ටිකක් ගෑවම අමෘතය වගේ තමයි. කරල් පහ හයකට එක් අයෙක් වග කියනවා.

කිරි ඉරිඟු තම්බල ලුනු දාල කන එක තමා වැඩිපුර කරන්නෙ. මෙහේ ගෙවල් වලින් නිතරම අපිට ඒවා දෙනවා. තම්බන්න ගන්නෙ පුච්චන්න ගන්න කරල් වලට වඩා ළපටි ඒවා.

ඉරිඟු බත්, ඉරිඟු රොටී, පිට්ටු, වගේ කෑම මේ ගමේ ජනප්‍රියයි. ඒවා හදන්නෙ බුඩු වෙච්ච ඉරිඟු වලින්. ඒ කියන්නෙ වේලපු ඉරිඟු. ඉරිඟු බත් හදන්නෙ ලීමා ඇටයි පොලුයි දාලා. එතකොට තමා නියම ගති. ඉදල් ඉරිඟු, සෝගම් වගේ දේත් මෙහේ තියෙනවා. බෝංචි වෙනුවට ගන්න මෑ වර්ග හත අටක්ම මේ ගම්වල තිබුනා.
ආසාවට පාන් ගෙඩියක් මේ ගම් තුලානෙ දකින්නවත් නැහැ. ඒ වගේ තමා මූදු මාළු, සිගරෙට්, අරක්කු වගේ ජාති තිබුනෙත් නැහැ. අරක්කු තැබෑරුමක් මොනරාගල නගරයේවත් ඒ කාලෙ නැහැ.
අපි හවසට ගමේ ගෙවල් වලට ගියොත් රටකජු වරදින්නෙ නැහැ. බැදපු කජු වගේම තම්බපු අමු කජු එක්ක තේ දීම බොහෝ අයගෙ සිරිත. ඒ අතරෙ දුම් ගසා වේලපු මස් කෑලිත් තේ වලට අතුරු පසට දෙනවා. ඒක මේ අයගෙ ජනප්‍රිය සංග්‍රහයක් වෙන්න ඇති. කිතුල් රා බොන විට හැපුවත් තේ බොන්න නම් අපි ඒව කටේවත් තියන්නෙ නැහැ.
ඒ වගේම හේන් වලදි අපට දඩමස් හොද්දක් එක්ක පුච්චපු හෝ තැම්බූ මයියොක්කා වලින් සංග්‍රහ කිරීම සුලබ දෙයක්. ඒක සුපිරි වෙන්නෙ ඒ අයගෙ හීන් කොච්චි සම්බෝලෙත් ආවම තමයි. හේනෙ සදාකාලිකව ඇවිලෙන ගිනිමැලයේ අඟුරු උඩට දාල යෝධ මයියොක්කා අල පුලුස්සනවා. ඒවා තැම්බූ අල වලට වඩා රසයි. මා මෙහේදි තමයි මයියොක්කා ඒ ක්‍රමයට කෑවේ.
ඇත්තට අපි දුෂ්කර සේවය කළ ඒ ගමේ කෑම බීම රටාව ඒ කාලෙ කොතරම් සරලද කියල දැන් තමා හිතෙන්නෙ. සරල වුනාට ඒ කෑම නැවුම් සහ ප්‍රනීතයි.
..
Jayakumara Ranchagoda ..
උපුටා පළකිරීමකි..

A day in the life