mr. Fernando.




මොබයිලය මොර දෙන්න පටන් ගති. 

වෙලාව 20.25. ලංකාවේ වෙලාවෙන්නම් උදේ 8.00 වත් වෙන්න ඇත.

මුහුණතේ “mr. Fernando.” ලෙස සටහන්ව ඇත. මේ යෝධයා කවදාවත් කතා කරන වෙලාවක් නම් නොවේ. ඔහුගේ කාලසටහන අනුව නම් ලංකාවේ    හවස් යාමයේ හයට හතට ඔහු අමතන වෙලාවයි.

කොයිකටත් සවන්දීමට සිතා.

මම “හෙලෝ”   කීවෙමි.

පිළිතුර mr. Fernando ගේ නොවේ. කාන්තා කඩ හඩකි. 

……..අංකල් නේද ? මම “ඔව්” කියා,  අසා සිටියෙමි.

අංකල් මේ තාත්තගේ පෝන් එක. මම “සිල්වි දුව”........................

mr. Fernandoත් මමත් එකම  වැවිලි සමාගමක කාලයක් සේවය කලෙමු. අනෙක් සගයා වුයේ “ජෙරාඩ්” ය.

සිරිමා බණ්ඩාරනායක පාලන සමයේ වතු ජනතා සන්තක කලේය. අපි යන එනමන් නොමැතිව රාජ්‍ය වැවිලි සමාගමක්වු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ගාල් වුනෙමු.වතු ජනසතුව සදහා නිකුත්වු ගැසට්පත්‍රය ප්‍රකාශයට පත්කිරීමට පෙර  මැතිණියට අයත්ව තිබු අක්කර පනහක වත්තක්  පැවරීම අයුතු සහගතව සිදුකලැයි පවසා Jr රජය එතුමියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කලේය. දැන් නම් එතරම් සාධාරණවන්නේ නැත. අධිකරණ කටයුතු අවසන් වන තුරු හිරබත් කන්න සිදුවන්නේය.

දේශපාලනයේ හැටි ස්වරූප එසේය.

මැතිණිය එලෙස දඩුවම් විදි අතර අපි තුන්දෙනාට සිදුවුයේ  වන්දි රැගෙන නන්නත්තාර වීමටය.

ජෙරාඩ් සහ mr. Fernando කොරළවැල්ල ප්‍රදේශයේ යාබද නිවාස ඉදිකරගෙන පදිංචිව සිටියාය. මේ අලකළංචි නිසා මම උපන් බිමට ආචාර කර විදේශගතව පදිංචි විය.

mr. Fernandoගේ බිරිද  -  සිල්වි කුඩා කාලයේදීම මියගියාය. දරුවා හදා වඩා ගැනීමේ අපහසුතා මතුවු බැවින් ඈ කන්‍යාරාමයකට භාරකාරිත්වයට පත්කලාය.ඈ කන්‍යා සොහොයුරික ලෙස හැදී වැඩි ආගමික ජීවිතයකට හුරුවිය.

අධ්‍යාපන කටයුතු අවසන්ව ගුරුවෘත්තිය තෝරාගත් ඈත් පියාත් අතර එතරම් සමීප සම්බන්ධතාවයත් තිබුනේ නැත.එහෙත් තනිව වසන පියා බැලීමට යාම් ඊම් සිදුවිය.

ප්‍රමානවත් ආදායම් මාර්ග තිබු mr. Fernando ට දුව ගැන විශේෂ අවධානයක් තිබුනේ ද නැත.

මේ හමුවීම් පටන් ගන්නේ “ ඇයි කරදර විදගෙන මාව බලන්න ආවේ” යන පොදු පිලිගැනීමකින් සහ “ ආයේ එන්න එපා මම ඔයා බලන්න එන්නම්” වැනි පොදු වචන පෙලක සමුගැනීමකින් විය.


අපි දැන් එකම වයසේ දෙවියන් වහන්සේගේ  මග පෙන්වීම ඔස්සේ ආලෝකය දකිමින් සිටින පිරිසක්ය.

ඉද හිට දවසක ජෙරාඩ් මට කතා කරයි.

ලංකාවේ තොරතුරු අපේ සැප සනීප කතා බහේ මාතෘකාය. පොදුවේ අපි ශරීර කූඩුව අලුත්වැඩියා කරගෙන නඩත්තු කරන්නට ගරාජ හිමියන්ට මිකැනික් වරුන්ට මිළ ගෙවමින් බලවත් පරිශ්‍රමයක් දරන්නෝ වෙමු. ඒ ගැන කතාබහ සාමාන්‍ය දේවල්ය.

“මචං අරූ කතා කලේ නැද්ද බං.”

ඒ අසන්නේ mr. Fernando ගැනය.

“නෑ මචං සති දෙක තුනකින් කතා කලේ නෑ.”  යයි  මම කී විට “ඒක තමයි හතර වටේ අපිට කනක් ඇහිලා ඉන්න නෑ.”

පොඩ්ඩක් දාගෙන දේශනාව පටන් ගන්නවා.


mr. Fernando ගේ මාතෘකාව දේශපාලනයයි. 

ඔහුට දන්නා කාලයක සිට පැවති ආණ්ඩු පිළිබදව යහපත් චිත්‍රයක් නොමැත.

සිරිමාවෝ ගේ ජනහිතකාමි ප්‍රතිපත්ති mr. Fernando ට Jr ට වඩා  ඇලජික්ය. Jr ගේ විවෘත ආර්ථිකය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හිතුවක්කාර ප්‍රතිපත්ති බරපතල විවේචන සහිතය.

ප්‍රේමදාස සහ විජේවීර සංවරයක් නැති මීණිමරුවන්ය. චන්ද්‍රිකා චෞර රැජින ලෙස වික්ටර් අයිවන්ට යටත්ය. මහින්ද යුද්ධයේ මෙන්ම සුද්ධයේද වීරයාය. සිරිසේන පාවුන සරුංගලයක්ය තඹුත්තේගම පුතා අප්‍රසන්නය.කතාව විතරක්ය.

කාලෙන් කාලෙට විවේචනයට භාජනය වන මේ දේශපාලකයෝ mr. Fernando දෙකක් දාගෙන බයිට් එකට ගන්නා විට අසල්වාසීන්ට හිරිහැරය.

සමහර දවසක කෝල් එකක් ගන්නේ දෙකක් දාගෙන මේ දෝස්මුරයන් දිය කර හරින්නටය.

මම පෝන් එක ස්පීකර මෝඩ් එකට දමා මගේ වැඩක් කරගනිමින් ඇහුම් කන් දෙන්නේ mr. Fernando ගේ හිත  සුවපත් කිරීමටය.

ඉද හිට mr. Fernando පිළිතුරු දෙන්නේය.

පැයක් හමාරක මේ චිත්ත විරේචනයෙන් පසු “ උබට වැඩත් ඇතිනේ  - මම පස්සේ කතාකරන්නම් “ කියා ඔහුම නිහඩ වන්නේය.

ජෙරාඩ්ගේ අදහස අනුව මට කතා කලාට පසු සතියක් හමාරක් යන තුරු අසල්වාසීන්ට හොදින් නිදාගන්නට හැකිවෙන්නේය.

අංකල් …………………..සිල්වියාගේ හඩ මම යලිත් මහ පොලොවට ගෙනාවේය.

අංකල් තාත්තා සනීප නැතිවුනා.

මේ දවස්වල ලංකාවේ තියෙන වෛරස් උණ හැදිලා.

මම දැන ගන්න කොට නිව්මෝනියා තත්වයට ඇවිල්ලා.

හොස්පිටල් ඇඩ්මිට් කලත්…………..

තාත්තා බේරා ගන්න බැරිවුනා………. වයස අවුරුදු 78 ක් ආයුවළදා mr. Fernando මෝක්ෂයේ ආලෝකය වැළද ගත්තාය

අංකල් ,

තාත්තා කවුරුත් වැඩිපුර ආශ්‍රය කලේ නැහැ. මම තාත්තගේ පෝන් එක අරගෙන history එක බැලුවා. සති තුන හතරකට සැරයක් අංකල්ට කතා කරලා තිබුනා.

ඒකයි අංකල්ට ගත්තේ !.

ඔව් මට කතා කරලා කාලයක් වුනා. 

එදා කිව්වෙත් වායු දූෂණය නිසා වෛරස් රෝග වැඩියි.මේ ආණ්ඩු පරිසර දූෂණය මැඩපවත්වන්න නිසි වැඩපිලිවෙලක් නෑ කියලා.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මම ලොකු තාත්තා


මේ සටහන මම ගැන.

ඒත් ලියන්නේ මම නෙමෙයි. මම ලියුවොත් ඒක තාත්වික නැහැනේ.

මේ දරුවගෙත්  මේ සටහනට ප්‍රතිචාර දක්වලා තිබුන සණුහරේ දරුවන්ගෙත් හිත් කොයිතරම් අගේ කළ යුතු ලෙන්ගතු කමින් පිරිලා තියෙනවද කියලා ?.

මට හිතෙන්න පටන් ගත්තා

අපි මගේ අම්මායි තාත්තයි පැලකරපු පුංචි පැලයකින් හැදුන මහා ගහක් වගෙයි. අතු රිකිලි බෙදිලා දැන් හතරවෙනි පරම්පරාව..

මම ලොකු තාත්තාවුනේ තුන් වෙනි පරම්පරාවට.

වර්තමානය වන විට අපි උදේ හවස දකින්නේ හමුවෙන්නේ කීප දෙනයි.

ලංකාවෙන් බැහැර රටවල …………….

ලංකාවෙත් හතර අතේ…… පැතිරිලා නිජබිම් වෙලා.

සන්නිවේදනය නැත්නම් දකින්නෙත් හඩ ඇහෙන්නෙත් කලාතුරකින්.

ඒත් අපේ බැදීම් ශක්තිමත්.

සංවේදීයි.

මට හැත්තෑ අටක්.

නංගිලා මල්ලිලා - දුවලා පුතාලා - මුණුපුරු මුණුපිරියන් එක්ක සංකීර්ණ ජනපදයක

තාමත්  අගයීමට ලක්වීමත් පිනක්.


මේ එක දියණියක් Familly Group එකේ පලකරලා තිබුන සටහනක්.

මගේ හිතට ගොඩ වැදුන සතුට පිටවුනේ ඇස් දෙකෙන්.



“………..සමහර මිනිස්සු අපේ ජීවිතේ කොච්චර වටිනවද කියලා තේරෙන්නේ, ඔවුන් එක්ක ගෙවපු මතක එකින් එක ආපහු මතක් කරද්දි… ❤️


අපේ ලොකු තාත්තා කියන්නේ අපේ පවුලේ ඒ වගේම කෙනෙක්.

අපේ ළමා කාලය පුරාම හිටපු, අපේ සතුටු මතක එකතු කරපු, අදටත් අපිව ඒ එදා වගේම ආදරෙන් මතක් කරන කෙනෙක්. 🥹❤️


උස, හැඩිදැඩි, මූණ පුරාම හිනාවක් තියෙන, අපි හැමදාම ආදරෙන් දකින අපේ කඩවසම් ලොකු තාත්තා. ❤️


මගේ පොඩි කාලේ ඉඳන් අද මම අම්මා කෙනෙක් වෙලා ඉන්න තැනට එනකම්, ලොකු තාත්තාගෙන් ලැබුණු ඒ ආදරේ නම් තාමත් එදා වගේමයි. කාලය ගෙවිලා ගියාට, අපි ලොකු වුණාට, ජීවිතේ කොච්චර වෙනස් වුණත්… ඒ ආදරේ නම් වෙනස් වෙලා නෑ. ❤️


අදටත් ඔයාව දැක්කාම දැනෙන්නේ ඒ පොඩි කාලේ දැනුණු ඒ උණුසුම

. ඒ හුරුපුරුදු හිනාව, ඒ ආදරණීය  පිළිගැනීම… ඒවාට වචනවලින් වටිනාකමක් දෙන්න බෑ. 🥹


FB එකේ චණ්ඩියා වුණාට, අපේ හිතේ ඉන්නේ අපේම ආදරණීය ලොකු තාත්තා. 😄❤️


 සතියක් දෙකක් ගියාම, “කොහොමද ඉතින්?” කියලා අහන්න එන ඒ call එක නම් කවදාවත් වරදින්නේ නෑ. ❤️


ඒක නිකම්ම call එකක් නෙමෙයි… “ඔයාලා මතක් වුණා” කියලා වචනවලින් නොකියා, ඒ call එකෙන්ම කියන ආදරයක්. 🥹❤️


අපේ පොඩි කාලේ ඉඳන් අද වෙනකම් අපේ හැම මතකයක්ම එකතු කරගෙන, අපේ ෆොටෝවලින් පිරුණු ලොකු මතක බණ්ඩාරයක් ඔයා ළඟ තියෙනවා.


අපි හැමෝගෙම උපන්දිනයන් මතකයි. අපි පොඩි කාලේ කරපු පුංචි පුංචි දේවල් මතකයි. අපිටත් අමතක වෙලා ගිය සමහර මතක පවා ඔයා ළඟ තාම තියෙනවා. ❤️


ඒ ෆොටෝ දිහා බලද්දි තේරෙන්නේ, අපේ ළමා කාලය ලස්සන වෙලා තිබුණේ ඒ දවස් නිසා විතරක් නෙමෙයි… ඒ දවස් ආදරෙන් පිරවූ මිනිස්සු නිසා කියලයි. ❤️


අපි කොච්චර ලොකු වුණත්, ජීවිතේ කොච්චර වෙනස් වුණත්, සමහර මිනිස්සුන්ගේ තැන අපේ හිතේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ.


ඔයාත් ඒ වගේ කෙනෙක්. ❤️


ආදරණීය ලොකු තාත්තේ,

ඔයාට හරිම ආදරෙයි. ❤️🥹


අපේ මතක රැකගෙන, අපිව මතක් කරගෙන, අදටත් ඒ එදා වගේම ආදරෙන් අපිව පිළිගන්න එකට… ගොඩක් ස්තූතියි.


අපේ ලොකු තාත්තා…

අපේ ළමා කාලයේ ලස්සනම මතකයක් විතරක් නෙමෙයි—

අපේ ජීවිතේ හැමදාමත් තියෙන ආදරණීය කොටසක්.


 ❤️


By Shenali M Liyanagamage “


හිතට සතුටක් කාන්දු කලාට ඔබට පින්.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අප්පච්චිගේ හොඳම සිසුවලු


අප්පච්චිගේ හොඳම සිසුවලු අනේ මන් දා
මට ඉතින්
කරන්නට වෙන කිසිත් නැතිවී මනමෙ කුමරුගෙ අත අරන්
අන්ත අසරණ යුවතියක ලෙස ආව මුත්
උගෙ පසුපසින්
බැලුවෙ නැහැ ඌ එක් වරක් වත් අනේ මා
දෙස ආදරෙන්
දන්නෙ නැහැ ඌ පෙම් කරන්නට උපන්නත් රජ පෙලපතින්
දෛවයට ඉඩදී මමත් ඔහෙ ගමන් ගත්තා වන මැදින්
පැන්න වැද්දෙක් කැලේ අතරින් කඩා බිඳගෙන මහ හඬින්
මගෙ හිතත් කලබල වෙන්න ඇති එක්වරම දුටු එදසුනින්
ගැහෙන අතැඟිලි අතර රැඳවුණු කඩුව ගිලිහෙන්නැති බියෙන්
මෝඩයා මේ කොපුව ගන්නැති කඩුව කියලා කලබලෙන්
කඩුව දුන්නා නෙවෙයි මහතුනි උදුර ගත්තා ඌ මගෙන්
මමයි පරසිදු මනමෙ කුමරිය එදා සිට ඉතිහාසයෙන්
ඇහිඳ ගත් දෑ එකතු කරමින් තවත් රස මසවුළු දමන්
ඔන්න ඔහොමයි කතා හැදුණේ එදා සිට කුටු කුටු සරින්
නාඩගමකුත් ඇරඹුණා නොවැ එදායින් පසු මගෙ නමින්
බඩුව කියලා පටබැන්දෙ මට ඊට පස්සෙයි ගැලරියෙන්
මුගේ මලගම පවත්වන්නේ කෙලෙසකද මේ මහ වනේ
මගේ කියලා කාත් කවුරුත් නැතිව අද මා තනි වුනේ
උගේ පැල වෙත යමුද කියලා ඇහුවා වැද්දා පා සෙනේ
ඉතින් එය හැර කුමක් කරමිද නිබඳ දොස් කිව් මිනිසුනේ

කාන්ති ඉපලවත්ත

A day in the life
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සැප්තැම්බරය.



සැප්තැම්බරය.

බෙලිහුල්ඔයට වැස්ස ලැබෙන කාලය.

කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි නැතත් අපිට මේ රටාව හුරු පුරුදුයි.

පෙබරවාරි වෙනකම් මේ වැස්ස ලැබෙනවා.

ආයෙත් මහ වැසි පුරන්නේ අප්රේල් මුල් සතියේ.

බක්මහට හෙන ගහ ගහා වහිනවා.

ලහ කොල දළු දාන්න “ N” , ලැබෙනවා.

අපි පුංචි කාලේ ගොවිතැන් බත් කරන උදවිය කාලගුණයට අවනතව වගා කටයුතු කලා

අපේ ගම බත බුලතින් සරුයි.

ජනාකීර්ණ නැහැ.

පිටතින් දියලුනු , කරවල , දුන්කල , සබන් වගේ දේවල් තමයි බෙලිහුල්ඔය පාලමෙන් මෙගොඩ තිබුන පුංචි කඩමණ්ඩියට ගෙනාවේ. ( ආනයන කලේ )

කන්නයක් එවර වෙලා මාසයක් දෙකක් වෙනකම් සතියකට වී ටොන් විස්සක් විතර පාලමෙන් එහාට යනවා ( අපනයන වෙනවා)

ගොඩ ගොවිතැන් කරපු උදවියත් හිටියා.

ඉරිගු , වියලි මිරිස් වෙළදපලට ලැබෙනවා.

මට මතකයි සිරිමා මැතිණිගේ ආණ්ඩුකාලේ මිරිස් පොළු ,හාල් පොළු තිබුන කාලේ ඒ කාලේ ලක්ෂපතියෝ වුන ගොවි මහත්තුරු බිහිවුනා.

ආර්ථිකේ විවෘත වුනා. අපි බංකොලොත් වුනා.

පාලමෙන් එහාට ශ්‍රමය ගලන්න පටන් ගත්තා. කෙත් වතු පාළු වුනා.

පාලමෙන් මෙහාට ලොරි පුරෝල කඩමණ්ඩියට බඩු භාණ්ඩ ආවා.

දැන් හාල් ටිකත් ඩඩ්ලිගේ මෝලෙන්.

මේ යුග දෙකක් හරහා ඇදපු රේඛාවක්.

අද මීටත් වඩා වෙනස්. .

ප්‍රෙද්ශයම ජනාකීර්න වෙලා.

එක පැත්තකින් සබරගමු විශ්ව විද්‍යාලය ශීෂ්‍ය ප්‍රජාව හාර පන්දහසක් ජනගහනයට එකතු වෙලා.

ඒ නිසා ඇතිවුන ආර්ථිකයක්.

බෙලිහුල්ඔයට එන සංචාරකයෝ දවසින් දවස වැඩිවෙනවා.

ඒ නිසාත් නව ආර්ථිකයක් ඇතිවෙලා.



  



A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මල්වර වෙලා - 01



පවුලේ මල්වර මංගල්‍ය උත්සව කිහිපයක්.

මල්වර මගුල් ගැන මීදුම කිහිපවතාවක් ලියලා තියෙනවා.ඒවා බර බර අදහස් නෙමෙයි. අම්මලා තාත්තලාගේ බහු භුත විකාර ගැන . මීදුුම ඒ අවස්ථා  කියවාපු හැටි ගැන

දැන් අම්මලා තාත්තලා මීට දශක හතරක් පහකට පෙර හිටපු තරුන අම්මලා තාත්තලට වඩා වෙනස් විදියට හිතනවා. ඒක පරිනාමයේ සහ අධ්‍යාපනයේ දියුණුවක්.

මල්වර වීම ආගමික හා සංස්කෘතික කියවීම මේ තරුන අම්මලා තාත්තලාගේ කියවීමට වඩා වෙනස්.

මීදුම අපේ අවට ජීවත් වෙන සහෝදර ජාතීන් කිහිපයක් ඔවුන්ගේ ආගමික සංස්කෘතිය ආරක්ෂා කරමින් කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන හොයා බලන්න පෙළඹුනා.

සමහර විට මීදුමගේ අදහසුත් මේවා අතර ලියවෙන්න පුලුවන්.

මිදුමගේ සිත් ගත් සිරිත් විරිත් අනුගමනය කරන්නේ මුස්ලිම් ආගමික ජනතාව.

ඔවුන් මේ අවස්ථාව සාමාන්‍ය ශාරීරික ජීව විද්‍යාත්මක එක් අවස්ථාවක් ලෙස තේරුම් ගන්නවා.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් (ඉස්ලාම්) සංස්කෘතිය තුළ දැරියක මල්වර වීම  සලකනු ලබන්නේ ඇය ළමා වියෙන් මිදී, තමාගේ ආගමික සහ සාමාජීය වගකීම් තනිවම දැරිය හැකි වැඩිහිටි පරිණත කාන්තාවක්  බවට පත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි. 

මෙය ඉස්ලාමයේ  "බලූග්" (Balugh) හෝ "රුෂ්ද්" අවධියට පත්වීම ලෙස හදුන්වනවා.

දැරියකගේ ඔසප් වීම අවසන් වූ පසු, ඇය නැවත ආගමික වත්පිළිවෙත් සඳහා සුදුසුකම් ලැබීමට ඉස්ලාමීය නීතියට අනුව සම්පූර්ණ ශරීරයම පවිත්‍ර කරගත යුතුය. මෙය "ගුස්ල්" (Ghusl) ලෙස හඳුන්වයි.

  • මෙහිදී නිශ්චිත ආගමික නියමයන්ට අනුව හිසේ සිට පාදාන්තය දක්වා ශරීරයේ සෑම තැනකටම ජලය යන පරිදි ස්නානය කළ යුතුය.

  • මේ සඳහා වෙන වෙනම නැකත් වේලාවන් නොමැති අතර, ශාරීරිකව ඔසප් චක්‍රය නතර වූ වහාම දැරිය මෙම ස්නානය සිදුකළ යුතුය.

ඉස්ලාමීය දහමට අනුව දැරියක් "බලූග්" (වැඩිවියට) පත් වූ දින සිට ඇය අල්ලාහ් දෙවියන් ඉදිරියේ ස්වයංව වගකිව යුතු තැනැත්තියක් බවට පත්වේ.

  • පස්වේල සලාතය සහ උපවාසය: එතැන් පටන් දිනපතා පස්වේල සලාතය (නමස්කාරය) ඉටුකිරීම සහ රාමලාන් මාසයේ උපවාස (සීනි/රෝදා) රැකීම ඇයට අනිවාර්ය (ෆර්ල් - Fardh) වේ.

  • පව් සහ පින් ගිණුම: ඉස්ලාමීය විශ්වාසයට අනුව ඇය කරන හොඳ සහ නරක ක්‍රියා ඇගේම ගිණුමට බැර වීම ආරම්භ වන්නේ මෙම වයසේ සිටයි.

වැඩිවියට පත්වීමත් සමඟ දැරියක් කාන්තාවක් ලෙස සමාජයට නිරාවරණය වන බැවින්, ඇගේ ආරක්ෂාව සහ ගෞරවය උදෙසා ඉස්ලාමීය ඇඳුම් ආකෘතිය වන "හිජාබ්" (Hijab) පැළඳීම (හිස සහ ශරීරය ආවරණය වන සේ ඇඳීම) මෙම කාලයේ සිට නිසි ලෙස ආරම්භ කරනු ලබයි. මින් පෙර ඇය නිදහස් ඇඳුමින් සැරිසැරුවද, මල්වර වීමෙන් පසු සමීපතම ලේ ඥාතීන් (මහ්රම්) හැර අන් අය ඉදිරියේ ශරීරය ආවරණය කර සිටීමට ඇයව හුරු කරවනු ලබයි.

මුස්ලිම්වරුන් අතර මල්වර වීම සඳහා ලොකු උත්සව හෝ ප්‍රසිද්ධ මංගල්‍යයන් පවත්වන්නේ නැත. එය ඉතා පෞද්ගලික සහ පවුලේ අභ්‍යන්තර කටයුත්තක් ලෙස සලකයි.

  • දැරිය වැඩිවියට පත් වූ පසු මව විසින් පවුලේ සමීපතම කාන්තා ඥාතීන්ට (ආච්චිලා, නැන්දලාට) ඒ බව පවසයි.

  • ඇතැම් පවුල්වල සතුට සැමරීමක් සහ දියණියට ආශිර්වාද කිරීමක් ලෙස නිවසේ සමීපතමයන් පමණක් එකතු කරගෙන වට්ටලප්පන්, කිරිබත් හෝ බිරිස් වැනි විශේෂ කෑමක් පිළියෙල කර සංග්‍රහයක් පවත්වයි.

  • එහිදී වැඩිහිටි කාන්තාවන් දැරියට නව ඇඳුම් තෑගි දීම සහ ඇගේ ඉදිරි ජීවිතයට ආශිර්වාද කිරීම සිදුකරයි.

මෙම අවස්ථාවේදී  මව හෝ පවුලේ වැඩිහිටි කාන්තාවන් විසින් දැරියට කාන්තාවක ලෙස ජීවත් විය යුතු ආකාරය, පිරිසිදුකම රැකගන්නා ආකාරය, සහ ඉස්ලාමීය සීමාවන් තුළ සමාජය ආශ්‍රය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ආදරණීයව උපදෙස් ලබා දීම සිදුකරයි.

මේ කටයුතු සරල මෙන්ම ජීවිතයේ සැමරිය යුතු විශේෂ අවස්ථාවක් ලෙස මුස්ලිම්වරු නොසලකන බවට ඔවුන්ගේ ආගමික චින්තනය සලකා තිබේ.

  • ලකුණු කිරීම ඉවත් කර ඇත

    හිණ්දු ආගමිකයෝ මේ අවස්ථාව තේරුම් ගන්නේ කෙසේද ?

  • ලකුණු කිරීම ඉවත් කර ඇත

    අපි ඊලග වියමනෙන් කියවමු.

A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නන්දා මාළණිය - මීදුුම සටහනක්.





නන්දා මාලණිය අපෙන් සමු අරන්.

මරණයක් වු විට නොගුණ අමතක කරමින් ගුණ පමනක් ගයන සමාජ චින්තණය වියකී යමින් මරණයේදී පවා පරිබව කරන්න තරම් අප සාමාජය පිරිහී ගිහින්.

කළගුණ අමතක කර වැරදි පමනක් සිහිපත් කරමින් ආක්‍රෝෂ පරිභව කරන සමාජ විකෘතියක් ඇති වෙලා !.

නන්දා මාළණිය අවසන් ගමන් ගිය කාලපරාශයේ ඈ ගැන සටහන් කරන්න මට හිත්දුන්නා.

ඒත් ඒ දිනවල විසිරගිය සංවාදයන් මගේ හිත ගත්තේ නෑ.

ඕනෑ කෙනෙකුට රට පාලනය කළ යුත්තේ කිනම් මතවාදයක් දරණ පිරිසක්ද ? යන්න පිළිබදව අදහසක් තියෙනවා.

එහෙම නෑ කියන්න කාටවත් බැහැ.

තව පැත්තකින් ඒක පෞද්ගලික අයිතියක්.

නන්දාවන්ගේ ගීත රචනය ඇගේ නෙවෙයි. ඈ ගායිකාව පමනයි. හඩ ඇගේ වුවත් ගීතයේ අදහස වෙනත් කෙනෙකුගේ.

ඇගේ මනෝභාවයන් හා කැළතී විසිර ගිය හඩට ජීවයක් තිබුනා.

පවන වැනි කෘතියක් ජවිපෙය දැක්කේ

“අමන යකුන් කිරුළු දරා රට ගිණි ගෙන දැවුනා

අපේ කදුළු පවන වෙලා විකුණාගෙන  කෑවා.“ කියලයි.

ඒ එක කාලවකවාණුවක්.

අරගල බිමට එනතුරු ඇගේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරිත්වයක් අප දුටුවේ නැහැ.

ඒ තවත් කාලවකවාණුවක්.

මේ කාලවකවාණු තුල දේශපාලනයේ සමාජ මතය පැවති පාලනයන්ට එරෙහිව කැළඹිලා තිබුනේ. පාලනය වෙනස් විය යුතුයැයි දැඩි සමාජ අදහසක් ඇතිවෙලා තිබුනා.

පළමු වතාවේ කොඩිය මහින්ද අරන් ගියා . දෙවෙනි වතාවේ කොඩිය අනුර අරගෙන යනවා.

මේ අවස්ථා දෙකේම වේදිකාවේ නොදැකපු කලාකාරිණියක් නෙමෙයි ඈ .

පීචං කලාකාරිණියක් නොවී ඈ වැදගත් කලාකාරිණියක ලෙස අපේ හිතේ රැදුනා.

නන්දාවන් ගැන සමන් අතාවුද හෙට්ටි මෙහෙම කියලා තිබුනා

“නන්දා අක්කා තමන්ගේ පිලට අයිති කරගන්න මේ වෙලාවේ ගොඩක් අය උත්සහා කරනවා. ඒත් නන්දාක්කා කිසි පාටකට අයත් කෙනෙක් නෙමෙයි.

ඇයගේ පාට සුදු පාට 

ඇය ඇන්දේ සුදුපාට සාරිය.“

එහෙම කියාපු සමන්ටත් පාටක් තිබුනා.

පවතින රජයට ඇගේ මරණය කරගහගෙන යන්න තිබුන ඉඩකඩ අහුරා දමා ඇගේ සුදුපාට අපට ඉතිරිකලා.

එය කළකිරීම ද ?.

මාළණී ෆොන්සේකාගේත් ලතා වල්පොල ගේත් අවමගුල් උත්සව වලදී කල කතා දෙකක් සිහිපත් වෙනවා.

එවැනි විද්වත් ශෛලීයේ සැමරුමක් ඇය බලාපොරොත්තු නොවන්න ඇති.

ඈ ජීවත්ව සිටියදී ලැබු ජනතා සැමරුමන් ඈ තෘප්තිමත්ව සිටින්න ඇති.



















A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හෑල්ලක්.



“රජෙකුට ඔටුන්න වගේ තමයි ගොනෙකුට අංතට්ටුව.

රජාගේ සැර මකලා වැඩ ගන්න නීති තියෙනවා. 

ගොනෙක්ගේ සැර පාලනය කරලා වැඩ ගන්න ලාඩං ගහලා අං දෙකට පිත්තල විල්ලු දානවා.

රජෙක් ආඩම්බර වුනොත් ඇත්තුත් අස්සයොත් නැති වෙනවා.

මිනිහෙක් ආඩම්බරය නිසා රජුන්ගෙන් දඩුවම් විදිනවා.

ගොනෙක් ආඩම්බර වුනොත් ගොනයි මිනිහයි දෙන්නම නැති වෙනවා. “ 

රජෛකුට අං තට්ටුවක් දැම්මම ගොනෙක් වෙනවා.

ගොනෙකුට ඔටුන්නක් දැම්මට රජෙක් වෙන්නේ නෑ.

ගොන්නු රජ වෙනවා.

රජවරු ගොන්නු වෙනවා.


“සෞම්‍යාලංකාරේ”සුනේත්‍රා රාජකරුණානායක 

කියවමින් හිටියේ.

පළමුවෙනි පිටුවෙම මෙහෙම තිබුනා.

සෞම්‍යාලංකාරේ පලමුවෙනි මුද්‍රණය කරලා තිබුනේ 2013 දී.

අවුරුදු 13ක් ගියත් මේ අදහස අදටත් ගැලපෙනවා.

හෙටටත් ගැලපේවි.

බලයට එන්න පෙර නොයෙක් මාදිලියේ බයිලා වාදනය කරනවා.

බලයට ආවට පස්සේ බයිලා වල පද මාරුකරනවා. කවුරුත් කරන්නේ ඕකමයි. හිටපු කාණ්ඩේ  

වගේමයි ඉන්න කාණ්ඩෙත්.

මේ පුංචි රටේ මහජනතාවට සුව පහසු ජීවිතයක් ගත කරන්න කාර්ය සංවිධානය කරදෙන්න මේ එක්කෙනෙකුටත් සැළසුම් නැහැ.

ඔලොක්කුවට කියාපු පරණ කතා මතක් කර කර රසවිදිනවා හැරෙන්න ඒ කතා යථාර්තයක් වෙන්න කටයුතු කරන බවක් නැහැ.

මම මුණුපොතේ විවිධ තරාතිරමේ සමාජයක් නඩත්තු කරමින් ඉන්නවා . එයාලාගේ අදහස් දැනගන්න. කියවන්න.

ඒත් පහුගිය කාලේ විශේෂයෙන් සමාජ දේශපාලනයේ , ආගමික මතවාද පලකරන්නේ ද්වේෂ සහගත සිතින්. ඒවාට ශිෂ්ඨ බවක් නැහැ. තාර්කික නැහැ. කියවන්න දෙයක් නැහැ. බලන්න දෙයක් විතරයි තියෙන්නෙ .

වෛරය පිළිකුල දරාගෙන ලියන අය ගැන හිතන එක දුකක්.

මේ නඩත්තු කිරීම දිගටම කරන්න බැරි නිසා මුණුපොතේ බිත්තිය සංවර කරගන්න හිතුවා.

දැන් එක එක්කෙනා අඩුකර ගනිමින් ඉන්නවා.

එයින් පාඩුත් තියෙනවා.ඒත් මිනිස්සු හදන්න බැරි වුනාම අපිත් හැදෙන්න එපාය.

අපිට කොයිතරම් දේවල් කතා කරන්න අදහස් හුවමාරු කරගන්න තියෙනව ද ?.

ඒ වෙනුවෙන් විවෘත වෙලා තියෙන හොදම තැන් සමාජ මාධ්‍යය තුල ඇති කර ගන්න පුළුවන්.

අපි ඒක ප්‍රෙයා්ජනයට ගන්නේ නැහැ.

සමාජ මාධ්‍යයට චොදනා කරනවා. යහපතට යොදා ගන්නේ නැහැ.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බෙල්ල ගහල යන වැඩ.





රාජසිංහ රජ සමයේ  අවුරුදු 19 මාස 6 දින 14 ක් සිරකරුවෙකු ලෙස ගත කිරීමට රොබර්ට් නොක්ස් ට සිදුවිය

නොක්ස් විසින් සිරගත ජීවිතය ගත කල කාලය අලලා ලියන ලද An historical relation of the island of Ceylon ( ක්‍රිව 1696 දී ලියන) පරිවර්ථනය “ ඒදා හෙළබිම “ නමින් පල කර ඇත.

මෙම පරිවර්ථණය “ ඩේව්ඩ් කරුණාරත්න “ මහතාගේය

නොක්ස් පවසන අන්දමට රාජසිංහ රජගේ යම් යම් කටයුතු ම්ලේච්ඡ ක්‍රියාවන්ය.

ඒක් දවසක ඔහු  තමාගේ සේවකයින්ගේ සිත් පරීක්ෂා කිරීම සදහාත් ඔවුන් ගන්නා ප්‍රතික්‍රියා පරීක්ෂා කිරීම සදහාත් උපායක් යෙදීය.

ජලස්නානය කිරීම සදහා තම පිරිවරත් සමග ගිය රජතුමා පිහිනමින් සිටියේය.

හදිසියේ තමා සැඩ පහරකට අසුව ගසා ගෙන යන බව දැනෙන පරිද්දෙන් උදව් ඉල්ලා කෑගැසුවේය.

පිරිස අතර සිටි කායශක්තියෙන් යුතු තරුණයෝ දෙදෙනෙක් වහා දියට පැන රජතුමා බේරා ඔසවා  ගෙන ගොඩට පීනාගෙන ආවෝය.

පසු දින රාජසභාවේදී මේ සම්බන්ධ ප්‍රවෘත්තිය සැලකර තමා බොහෝ සතුටු වු බව පවසා මේ තරුනයෝ දෙදෙනා කවුදෑයි විමසීය.

තරුනයේ දෙදෙනා රජ තමන් දෙදෙනා ඇගයීමට ලක් කරන්නට කැදවන්නේ යැයි සතුටින් රජතුමා වෙත ඉදිරිපත් විය.

ඒවිට රාජපුරුෂයන් කැදවු රජතුමා “ මගේ රාජකීය සිරුරට නොබියව අත තැබු මේ දෙදෙනාගේ හිස ගසා දමන ලෙස “ අණ කලේය.

ඒකලත් මෙකල මෙන් රාජකීයන්ගේ කටයුතු වලට අතතැබීම අනතුරු දායකය.


A day in the life
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS