පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-07-08

වෘත්තීය සමිති සහ ව්‍යාපාර.


යුනිලිවර් සමාගම යටතේ තිබුණු walls කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති වල ක්‍රියාකාරකම් නිසා වැසී ගිය තවත් එක් සමාගමක් පමණයි..
අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී වෘත්තීය සමිති නිසා වැසී ගිය කර්මාන්ත ශාලා ගණන කොපමණදැයි ඔබ දන්නවාද???
WALLS කියන්නේ UNILEVER සමාගමට අයත් රටවල් 100 වැඩිය තියෙන අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක්. WALLS තමයි ලංකාවට ආපු පලමු සහ එකම ජාත්‍යන්තර අයිස්ක්‍රීම් ආයතනය. එතෙක් තිබුණේ Elephant House, Alerics , Woodlands පමණයි.
WALLS ලංකාවට අළුත් රස සහිත අයිස්ක්‍රීම් විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. ඒ වගේම වේපස් කෝන් එක වෙනුවට වේෆල් අයිස්ක්‍රීම් කෝන් එක හඳුන්වා දුන්නේ WALLS. යුනිලීවර් කියන්නේ ලෝකයේ රටවල් 100 අධික ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සහිත අති දැවැන්ත බහු ජාතික සමාගමක්.
ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත සබන්, මාගරින්, ෂැම්පු, ටුත් පේස්ට්, නෝර් ඇතුළු ආහාර රසකාරක, සුප් කැට වර්ග, අයිස්ක්‍රීම් වෙළඳපොළ මුලුමනින්ම අයිති කර ගෙන තියෙන්නේ UNILEVER සමාගම.
යුනිලීවර් සමාගම රත්නපුර දිස්ත්‍රික්කයේ WALLS ෆැක්ටරිය රුපියල් මිලියන ගණනක විදේශ ආයෝජන සහිතව ආරම්භ කරලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ව දහසකට ආසන්න පිරිසකට ඉතාමත් උසස් වැටුප් සහ දීමනා සහිතව සියලු ප්‍රමිතීන්ට ෆැක්ටරිය ආරම්භ කලා.
පළමු වරට බයිසිකලයේ ශීතකරණ සහිතව රටපුරා ස්වයං රැකියා ලක්ෂ ගණනක් තරුණයන් කලා. ඔය චුන් පාන් වෑන් වල සංගීත ඛණ්ඩය පටන් ගත්තේ WALLS බයිසිකල්. WALLS ආයතනය ආරම්භ කලේ 2000 වසර කිට්ටුව. රුපියල් මිලියන ගණනක් ආයෝජනය කල ඔවුන් ශුද්ධ ලාභ බලාපොරොත්තු (NET PROFIT) වුනේ වසර දහයකින් පමණ.
එතෙක් විදුලි බිල්, යන්ත්‍ර උපකරණ වලට යට කල කෝටි ගණනක මුදල්, මාස් පතා කෝටියක් ඉක්මවු සේවක වැටුප්, වැනි සියළු වියදම් සහිතව WALLS ආයතනයට තිබුණේ නිෂ්පාදන ලාභයක් (Operating Profit) පමණයි.
WALLS ආයතනය පටන් අරං අවුරුදු දෙකකට පසු ජවිපෙ වෘත්තීය සමිතිය WALLS ආයතනයේ සේවකයන් කීප දෙනෙක් අල්ලා ගෙන වෘත්තීය සමිතියක් ආරම්භ කලා. ටික දවසකින් ජවිපෙ වෘත්තීය සමිතිය ආයතනය ලාබ ලබන බව කියමින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගත්තා.
ආයතනයේ පාලන අධිකාරිය තේරුම් කර දුන්නා ඔවුන් ආයතනය පාලනය කරන්නේ නිෂ්පාදන ලාබය හෙවත් OPERATING PROFIT මත මිස ශුද්ධ ලාභයකින් NET PROFIT නොවන බවත්, ලාබ ලබන්න තවත් වසර ගණනාවක් යන බවත්, කෙසේ වෙතත් ලංකාවේ තිබෙන උසස්ම සහ රජයේ නියමිත වැටුප් තල ඉක්මවා වැටුප් හා දීමනා ලබා දෙන බව.
නමුත් ජවිපෙ වෘත්තීය සමිතිය උද්ඝෝෂණ නවත්වන්න කැමති වුණේ නැහැ. ඔවුන් ඊ ලඟට වර්ජන ක්‍රියා මාර්ගයට යොමු වුණා. ජවිපෙ ලණුව කාපු සේවකයන් කිසිම දවසක හිතුවේ නැහැ රුපියල් කෝටි ගණනක් ආයෝජනය කරපු සමාගමක් වහයි කියලා. ලොව පුරා රටවල් 100 වඩා තිබෙන WALLS ආයතනය කිසිම හේතුවකට එක් රටක තිබෙන ෆැක්ටරියකට වෙනත් රටවල තියෙන ෆැක්ටරිවලට වඩා වෙනස් විදියට වැටුප්, දීමනා සහ ආහාර දෙන්නේ නැහැ.
යුනි ලිවර් තීරණය කලා WALLS වහන්න. ඔවුන්ට තිබෙන ඩොලර් බිලියන ගණනක දැවැන්ත මූල්‍ය ශක්තිය හැටියට ලංකාවේ ෆැක්ටරිය වහන එක සුළු දෙයක් සහ එම පාඩුව රක්ෂණ වන්දි හැටියට ඇමරිකානු මව් සමාගමට ලබා ගන්න පුළුවන්. WALLS ආයතනය වහන කොට එහි සේවය කළ දහසකට ආසන්න තරුණයන්ගේ දෙමව්පියන් ආයතනයේ පාලකයන්ට වැඳ වැටී සමාව ඉල්ලුවා තමන්ගේ දරුවන් නොමග ගොස් කරපු දේට සමාවී ආයතනය වහන්න එපා කියලා.
නමුත් ආයතන ප්‍රධානීන් ෆැක්ටරිය වසා රටින් පිට වුණා. මේ නිසා ෆැක්ටරියේ සේවය කල දහසකට ආසන්න සේවකයන්ට සහ රටපුරා බයිසිකල් වලින් අයිස්ක්‍රීම් විකුණපු ලක්ෂ ගණනක් ස්වයං රැකියා කළ තරුණයන්ට රැකියා අවස්ථා නැති වුණා. දිගු කාලයක් වසා තිබු WALLS කර්මාන්ත ශාලාව වසර දහයකට පමණ පසුව Cargills සමාගම මිලදී ගෙන CARGILLS MAGIC නමින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය පටන් ගත්තා.




Nilan Wettasinghe විසින් සම්පාදිත ලිපියකි.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-07

අදත් ජුලි හතයි.





මේ දවස් වල කතා බහ මීගමුව බන්ධනාගාරයේ රැදවියන්ගේ කැරළි ගැසීම .

මරණ සංඛ්‍යාව විසි පහක්. රැදවියන් දහඅටක් සහ නිිලයන් හතක්.

හේතු භුත වුන කරුණු කාරනා දන්නේ නැතිව ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.

බණ්ධනාගාර තුල ඇති ඉඩ කඩත් , බණ්ධනාගාර තුල සිටින රැදවියන් ප්‍රාමනයත් ගැන හිතුවොත් 

රැදවියනුත් පාලක නිලයනුත් ඉන්නේ මහත් අසහනකින් කියලා මට හිිතෙනවා.

මේ අසහනකාරීත්වය දෙගොල්ලන්ගෙන්ම පිපිරිලා යන එක පුදුමයක් නෙමෙයි.

අපේ දේශපාලකයින්ට පැතුරුන විෂයය බුද්ධියක් නැහැ.

ඇමති කියලා වෙන් කරලා විෂයය බාරදුන්නත් දීර්ඝකාලීන දැක්මක් නැහැ.

හොදම උදාහරණය වර්තමාන ඇමති තුමා තොරතුරු අධ්‍යයනය කරන්නේ සමාජ මාධ්‍ය තුලින් යයි පැවසීම.

ඒක සීනී බොම්බයි මොටයි උත්තරයක් !.

ජූලි හත 

මට තියෙනවා අතීත සැමරුමක්.

1978 මීට අවුරුදු හතලිස් අටකට ඉස්සර ගිය චාරිකාවක්.

වැලිකඩ නේවාසිකාගාරයේ නවාතැන් ගත් රාත්‍රීන් සමග.

ගොඩාක් අවුරුදු වල ජුලි හත්වෙනිදාට “මීදුම ‘ට ලියන පුරාජේරුවක මේ චාරිකාව ගැන ලියනවා.

ඒවා නැති තොරතුරු ටිකක් මේ සටහනේ තියෙයි කියලා මම හිතනවා.

මේ සිද්ධිය වෙන කොට මට අවුරුදු තිහයි.

මගේ කේන්දරේ කියවපු ජොතීස වරයෙක් මට කියනවා.

මහත්තයා මේ වකවානුවේ බොහෝම අපලයි.

දින කිහිපයක් රොහල් ගතවෙලා ඉන්න සිද්ධ වෙනවා. නැත්නම් හිරේ යන්නවත් සිද්ධ වෙනවා කියලා.

ඉහෙන් බහින්න ලෙඩක් මට තිබුනේ නෑ..

හිරේ යන්න හේතු සාධක වෙන ජීවන රටාවක් මට තිබුනෙත් නෑ.

මට නිතර නිතර හිරිහැර කරපු එවකට තිබූ මිල පාලන නීතී වලින් මම හිරේ යන්න තරම් පීඩනයක් තිබුනේ නැහැ.

ජනතා කමිටු  එහෙම බලවත්ව තිබූ යුගයක නිතර නිතර දේශපාලන උවදුරු වලට අපේ පවුල ඉලක්කවුන යුගයක්.

අධිකරණයට දඩයක් ගෙවීමෙන් වගේ ඒ නඩු නිරාකරණය වන නිසා බයකුත් තිබුනේ නැහැ.

එතුමා කියපු අපල ජීවිතයට සිදුවෙමින් තිබුනත් ඒවාට මුහුණ දෙනවා හැරෙන්න වෙන විකල්පයක් එකල තිබුනේ නැහැ.

ජොතීෂවරයාගේ අදහස වුයේ මේ අවුරුද්දෙන් පසුව උදාවන ඉදිරි අවුරුදු දහය ජීවිතයට සහනදායි කාලයක් බවයි.

අතීතය වමාරන ගමන් මේ ටික මතක් වුනේ.

ඔන්න එතුමාගේ මතය.

මේ සටහන කියවන්නකෝ චාරිකාව ගැන තොරතුරු දැන ගන්න.

https://miduma.blogspot.com/2025/07/blog-post_7.html


චාරිකාව එසේ නිමවුනා.

රත්නපුර බන්ධනාගාර සිරමැදිරියේ මානසික වේදනා සහිතව ගෙවුනත් එදින ගත කරන්න සිදුවුනේ මහාධිකරණයෙන් මරණ දඩුවම නියමවු සිරකරුවෙක් සමග.

ඔහුගේ වේදනාව තේරුම් ගන්න එදා මම බොළද වැඩිවුනා.

නැත්නම් ඒකත් අත්දැකීම් ගොන්නට එකතු වෙන සිද්ධියක්.

හොදම හරිය බොරැල්ල හිරගෙදර 180ක් හිටපු හොල් එකක සාමාජිකයෙක්. ශාරීරික අවශ්‍යතා ඉටුකරගැනීමේ සිට ලැබුනේ දඩුවම්.

රාත්‍රීන් දෙකකින් නැවත රත්නපුරයටත් එතනින් අධිකරණයටත් ඇප ලැබීමෙන් ගෙදරටත් ආව මම රෝහල් / බණ්ධනාගාර අපලය නිමකලා.

පසු කාලයක මට තිබු අධිකරණ කටයුත්තෙන් “ නිදොස් කර “ නිදහස් වුනා











A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-06

අග මුල නැති වැල්



රෑ එළිවෙනකම් වැස්ස. අද නම් පොඩ්ඩක් පායල.
හුණ්ඩුවක් විතර රාමුවක කොටුවෙලා ඉන්නකොට
වැස්සකින් පස්සෙ එළියට බහින්නවත් හිතෙන්නෑ.
මිදුලෙ හැමතැනම වතුර තාම.

මහගෙදර ඉන්නකාලෙ නම් රෑට වහිනව
කියන්නෙ උදේට මගුල්. පහුවදා ඉස්කෝලෙ නිවාඩු
නම් රජ මගුල්.
උදේට අතුපතු ගාල ,මුණ කට
සෝදල,ටිකක් ජල ක්‍රීඩා කරන්න පුළුවන් එදාට තමයි.
අපේ ගෙදරට හැරෙනකොටම කෙනෙක්
දකින්නෙ ,කළුගල් වලින් හදපු පාලමක්.ගෙදර පඩිපෙළ
පාමුලින් පටන්ගන්න ක්‍රෝටන් වැටිය ,එක පැත්තකින්
පාලම ගාවින් නතරවෙලා ආයෙත් ,පාලම පටන්ගන්න
තැන ඉඳල දෙපැත්තට බෙදිල යනව .
හොරගොල්ලෙ මිසි නැන්ද ගෙ ඉඩම ගාවට යනකම්ම රතු, කහ ,කොළ
මෙරුන් පාට ක්‍රෝටන් පඳුරු ගාණට කප්පාදු කළාම ;
අද කාලෙ තාප්පවලට වැඩිය පෙනුමයි. වම්පැත්තෙ
ක්‍රෝටන් වැටිය ගලපල්ලෙහේන ගෙදරට යන ගුරුපාර
ළඟින් නවතිනව.

නිල්පාට වතුර කන්දරාවක් අරගෙන ,බොහොම
නැළවිල්ලෙ ගලාගෙන යන ඇළ , අපි හැමෝගෙම රජ
දහන වගේ.මහ වැස්සකින් පස්සෙ ,ඇලට බහින තැන දිගට
දිගේ සිනිඳු වැලි කන්දක් හැදිල . නිල්පාට හීන්වැල්ලක්
හැමතැනම විසිරිලා .හරි සිනිඳුයි.

“ වතුර වැඩි ඇති...හොඳද?
පරෙස්සමෙන් බහින්නෙ .
චූටි පුතේ ,ඇහුනද?”
අම්ම ගෙ කටහඬ මැන්ගුස් ගහ පැත්තෙන් . එයා ඒ පැත්ත
අතුගානව.කූඩැල්ලන්ට බයේ ,මං ඒ ටික අතුගාන්න යන්නෙ
නෑ . ලොකු මල්ලියි ,මායි ,චුටිමල්ලිත් එක්ක ඇලට ගිහිං
ඇලේ නටන බව අම්ම දන්නව. ජෑම් බෝතල් දෙකක් අරගෙන
ඒ දෙන්නගෙ ආසාව තමයි ඇලට බැහැල මාළු අල්ලන එක.
ගල්පාඬි තමා වැඩිපුරම ඉන්නෙ. සාරිගප්පි ,බුලත් හපයො
එහෙමත් ඉන්නව .
රෙදි හෝදන ගල ත් තරමක් යටවෙලා .ඒ
තරමටවතුර වැඩියි.ඒත් වතුරෙම ගල උඩ වාඩිවෙලා කකුල් දෙක
වතුරට දාපු ගමන් ඉවරයි.ගල්පාඩි රොත්තක් ඇවිත් යටිපතුල්
කනව.
“ අම්මෝ !! මුන් එක්ක නම් බෑ .”
“ බහින්න ,වතුරට .” ලොකූ , මාළුවෙක් බෝතලේට
දාගන්න දඟලන ගමන් කෑගහනව. ගප්පින්ගෙ රතු,නිල් වරල්
හරි ලස්සණයි.හරියට සරුංගල් අහසෙ පාවෙනකොට වගේ .
ඇලට බැහැල අත්දෙක ගොටුවක් වගේ එකතුකලාම පොඩි
මාළු පැටව් අහුරක් අතට එනවා.
ඇලට බහින තැන දිග පොල් කොටේ උඩින් කකුල
තියාගන , ඇලට බහින දෙපැත්තෙ වැස්සට එකතුවුණු
නිල්පාට මිනිරන් වැල්ලෙන් කකුලෙ නියපොතු මදිනව මං .
මාළු therapy එකෙන් පස්සෙ scrub කරන්නෙ එහෙමයි.
ඒ කාලෙ අද වගේ නෙවෙයි.foot care solutions ගම්බද දරුවන්ට
සොබාදහමෙන්ම ලැබුණ. දත් මැද්දෙ අඟුරු කෑල්ලක්
ගලේ අතුල්ලල .

කළුපාට උකු දියරයෙන් අපූරුවට දත් සුදු උණා. අද signal charcoal
හරි colgate charcoal toothpaste හරි ගන්න සල්ලි ඕනෙ කළාට
එදා ලිපේ අළු අස්කරනකොට අඟුරු වෙනම තියල තියෙන නිසා ;
ගියා...ගත්ත ...ආව. මොනතරම් සරලද? වෙනදට ඇළ ඉවුර දිගේත්
සිනිඳු ,නිල්පාට මිනිරන් වැලි තියෙනව. වතුර වැඩිනිසා ඒව යටවෙලා .

ගොඩපර ගෙඩි දෙකක් ඇලේ ඉහළ ඉඳල ගහගෙන එනව.
ගමේ කට්ටිය කොණ්ඩෙට සාත්තුකරන්න මේ ගෙඩි තම්බල ,දෙහි
උළුහාල් එක්ක ඔළුවෙ ගානව. ඒව අමුවෙන් හරි ලොකුයි. ඉවුර
දෙපැත්තෙ යායට වැවිල .ඇලේ හැංගිලා වගේ ඉන්න පුළුවන් ,
ගෙදරට නොපෙනි,ඇළ දිගේ උඩහට ගියාම.. . ගොඩපර පඳුරු නිසා.
හැම ගහකම ,සුදුපාට ලොකු මල් පිපෙනව, සුවඳේ බෑ.පෙති පහයි. මැ
ද බට්ටෙකුයි ,රේණුයි තියෙනව.ඉර එළියට දිස්නෙ දිදී ,හුළං තාලෙට
නැළවෙනව .ගිරව් ඇවිත් රන්ඩුවෙවී මද කන්නෙ.

මං පොඩ්ඩක් ඇළ දිගේ ඉහළට ගියා .වතුර පාර සැරයි.
යන්න ටිකක් අමාරුයි.බට පඳුරු දෙපැත්තෙන්ම ඇළට නැවිල .ආරුක්කු
වගේ .හොරගොල්ලෙ ගේ ගාව වෙරළු ගහේ ගෙඩි වකාරෙට.ඉදුණු ගෙඩි
ඔඩොක්කුවක් දිය රෙද්දෙ ඔතාගෙන දඟයො දෙන්නටත් දුන්න.

එයාල මාළු දාපු බෝතල් දෙක ගල් උඩින් තියල ,ලොකු කතාවක් .
“ නානවද දුවේ ...”
නෑකමක් නැති උණාට අපි කියන්නෙ එයාට මිසි නැන්ද කියල .
එයා පාලම උඩ අපි දිහා බලාගෙන .
“ ආ ! ඔව් නැන්දෙ .”
“ පුතාල මාළු අල්ලලද ඔය”
“ ඔව්.මේ සෙල්ලමට.
“ ඔව්.මේ සෙල්ලමට.ආපහු ඇලට දානව.”
“ ඒක මිසක්. පව් වැඩ ...”
“මාත් සමුපෙට යන ගමන් .ගිහිං එන්නං.”
“ එහෙමද ? හා ..හා . හොඳයි.”
අපේ දෙන්නට පොඩ්ඩක් තරහ ගිහිං .
“ උන්දැටත් ඕනෙනැති කෙහෙම්මලක් නෑ .”

අපි වෙරළු කකා ,තරඟෙට බෝල ගල් අහුලනව.වතුර වැඩි උණාට
පාළමෙන් පහළට වතුර ගලන්නෙ පොඩ්ඩක් හෙමිහිට .අඩුවෙන්. ඇලේ
පාලම යට ඉඳල එහාට යනකොට ,අල ගෙඩි වගේ රවුම් ,ගල් හරියට .
මට වඩා හොඳ ,රවුම් ගල් ලොකූ අහුලලා තිබුණ . අපි ඒව මිදුලෙ
ෆාර්ම්ස් ගස් වටේ තියනව.

“හරි ,බඩගිනියි .නාමු ! නාමු!!”
“ අපෝ ,පොඩ්ඩක් ඉන්නවකො ..”
පොඩි දෙන්න පාලම උඩට දිව්ව. මං දන්නව , ඒ සෙල්ලම . දැන් වරුවකට
ගෙදර යන්න වෙන්නෙ නෑ .අද ඇලේ වතුර හොඳටම පිරිල .ඝෝෂාවත්
වැඩියි. දෙන්න ලෑස්ති වෙන්නෙ පාලම උඩට ගිහිං වතුරට පනින්න.
හුඟ කාලෙකින් මේ තරම් පිරෙන්නෙ. ඒක බලන් ඉන්න ආසයි.
හැබැයි අම්ම දැක්ක නම් ,මටයි බැණුම්.ඔළුව වදින්න තරම් අනතුරු දායක
ලොකු ගල් ,ඇළ මැද්දෙ නෑ . තටාකෙ වගේ බැඳල නිසා ,පහළට වතුර
අඩුවෙන් ගලන්නෙ.යන්තම් ජල ක්‍රීඩා ඉවරකරල ,නාගත්ත.

පඩිපෙළ පටන්ගන්න තැන ලොකු පැණි වරක ගහේ
බිම ඉඳලම ගෙඩි හැදෙනව. අපි නාගෙන ගෙදර යනකොට සුවඳක්
දැනුන නිසා නිකමට ,මං ගහ ළඟට ගියා . කුරුල්ලෙක් හොට ගහපු
වරකයක් ! පාතම තියෙන්නෙ .
“ වැස්සට ඉදෙන්නැති .වතුර රස ඇති ද දන්නෙ නෑ.”
චූටි මල්ලි අදිමදි කළා . මං නටුව හෙමින් කැරකුවා .
එදා අතුරුපසට ,පැණි බේරෙන පැණි වරක .!

අපි අද කොහේද මේ .කොන්ක්‍රීට් වනාන්තරේ ,ගුහාවක හිරවෙලා .
අග මුල නැති වැල් වගේ. දුවනවා ,දුවනවා ,දුවනවා .
නවතින්නෙ කොහොමද?

රෝ.සී ට





A day in the life 
ජීවිතයෙන් දවසක් .




2026-07-04

සංවර්ධණයට කතාවක්


මහනුවර යුගයේ තමයි බෙලිහුල්ඔය ජනාවාස සංවර්ධණය පටන් අරන් තියෙන්නේ.

මුල්ම යුගයේ ගොවිතැන් කරන්න පුළුවන් බිම් ආශ්‍රිතව පොඩි පොඩි කණ්ඩායම් පදිංචි වෙලා ඉදලා තියෙනවා.

මේ කාලයේ වී ගොවිතැන් සංවර්ධණය සදහා ඇළ වේලි සකස් කරන්න මහනුවරින් ගම් නායකයින් අවා කියලා මතයක් තියෙනවා. මෙහේ ඉන්න ගම්වැසියන් බොහොමයක්. සෙනවිරත්න මුදියන්සේලාගේ ,හේරත් මුදියන්සේලාගේ , ඉපිටවෙල විදානෙලාගේ වගේ වාසගම් ඇත්තෝ.

ගොවිතැන හැර වෙනත් වෘත්තීන්වල යෙදුන අයත් ඉන්නවා. ඒ අය ජන සංඛ්‍යාෙවන් අඩුයි.

බෙලිහුල්ඔයෙන් වතුර අරගෙන සකස් කල ඇළක් තියෙනවා. 

මේ ඇළට කියන්නේ“ මහ ඇළ“ කියලා. මේ ඇලෙන් හෙල්මැලි ක්‍රමයට සකස්වුන වෙල්යායන් ගනනාවකට වතුර සපයනවා.

අක්කර හය හත්සීයයක් භුමි බාගයක් මේ වතුරෙන් පෝෂණය වෙනවා . අවසානයේ වතුර යලිත් බෙලිහුල්ඔයටම එකතු වෙනවා.

අපේ වාසනාවට අපේ ගෙවල් මායිමෙන් බෙලිහුල්ඔයට යන ගමන් මගේදී අපිව එකතු කරගන්නවා.

මීට අවුරුදු හැත්තෑවකට අසූවට පෙර මේ දියකද අපේ වික්‍රමාන්විතයන් සදහා යොදාගත්ත බිමක්. අපි මාළු අල්ලනවා. ඉබ්බෝ හොයනවා.දිය බල්ලෝ දකිනවා. නානවා අම්මලා තාත්තලාගෙන් බැණුම් අහනවා ගුටි කනවා.

කාලයත් එක්ක කොන්ක්‍රීට් සංවර්ධණය නිසා ඇලේ ස්වභාවික බව වෙනස් වුනා. මාළු ,ඉබ්බෝ නැතිවුනා. මාළු නැති නිසාද කොහෙද දිය බල්ලොත් නැහැ.

අඩි දෙකක විතර පලල ගැඹුර ඇලක් අන්තිමට ඉතිරි වුනා.

අළුත් පරපුර මේකට කියන්නේ කාණුව කියලා !.

අපේ වික්‍රමාන්විතයන් දැන් ඉන්න පරපුරට නැහැ. 

සංවර්ධණය කියන්නෙත් අමුතු දෙයක්.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-03

සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය








සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය
මගේ කථාව

සබරගමුවට වෛද්‍ය පීඨයක් ඉල්ලා සිටියේ 1996 වර්ෂයේ සිට ය.මා උපකුලපති ලෙස 2017.05.18 දින වැඩ බාර ගත් අවස්ථාවේදී පොරොන්දු වූ පරිදි වෛද්‍ය පීඨය ලබා දෙන ලෙස 2017.05.25 දිනැති ලිපියෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මගින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව වෛද්‍ය පීඨය සඳහා අනුමැතිය ලැබිණ.
වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පිරිස් ප්‍රතිපාදන හා මූල්‍ය ප්‍රතිපාදන 2018 අයවැය යෝජනා යටතේ ලැබිණ.2019.01.17 දින වන පලමු ශිෂ්‍ය කණ්ඩායමට 75 දෙනෙකු ඇතුලත් කරන ලද අතර පීඨයේ සමාරම්භය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.01.17 දිනම පැවැති අතර එදිනම රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහල ලෙස උසස් කරන ලදී.
සමාරම්භක උත්සවය සඳහා උසස් අධ්‍යාපන ‍ අමාත්‍ය රවුප් හකීම්,අමාත්‍ය තලතා අතුකෝරල,වෛද්‍ය රාජිත සේනාරත්න මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ, සරසවි අධ්‍යයන,පරිපාලන,අනධ්‍යයන,ශිෂ්‍ය හා දෙමාපියන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් කුරුවිට බටුහේන පිහිටි ගොඩනැගිලි පරිශ්‍රය පීඨය ස්ථාපනය සඳහා ලබා ගත් අතර එය මේ දක්වාම වසර 7ක් සිසුන්ට මහා සෙවණක් විය.
පීඨය විවෘත කල අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත උපදෙස් ලබා දෙමින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ඉදිපත් කිරීමට ව්‍යාපෘති යෝජනාවක් සති දෙකක් තුල ලබා දෙන ලෙසත්, ඒ අනුව සෞදි සංවර්ධන අරමුදල යටතේ ඩොලර් මිලියන 50ක් තුල සමස්ත පීඨය හා මහාචාර්ය පුහුණු ගොඩනැගිල්ල උපකරණ සමග ඉදිකිරීමට යෝජනා කෙරිණ. 
ඒ සඳහා සෞදි සංවර්ධන අරමුදල සමග මූලික එකඟතා ගිවිසුමකට 2019 වසරේ අප්‍රේල් මස මුදල් අමාත්‍යාංශය අත්සන් තබන ලද අතර පාස්කු ප්‍රහාරය නිසා අවසන් ගිවිසුම ප්‍රමාද විය.
නමුත් පැරා සායනික ගොඩනැගිල්ල රජයේ අයවැය මුදල් මගින් මිලියන 1096ක් වෙන් කරන ලද අතර ඉදිකිරීම් කටයුතු 2020 ආරම්භ කල අතර 2022 අගෝස්‌තුවේදී ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් අතහැර දැමීමට කොන්ත්‍රාත් සමාගම ගිය අවස්ථාවේදී මා ඊට මැදිහත්වී කරුණු අවබෝධ කරදුන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ අසීරුතා මැද ඊට අදාල මුදල් වෙන් කරනු ලැබීය 
ඒ අනුව දෙපාර්තමේන්තු 7කින් යුත් එම ගොඩනැගිල්ල 2024 දී සිසුන්ගේ අයිතියට පත්කිරීමට හැකි විය.ජනපති රනිල්ගේ මැදිහත්වීම මත කැබිනට් අනුමැතිය ලැබූ ඩොලර් මිලියන 50ක සෞදි ආධාර යටතේ වෛද්‍ය පීඨ ව්‍යාපෘතිය
2024 පෙබරවාරි මාසයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර ශිෂ්‍ය නේවාසිකාගාර,ආපන ශාලාව,කාර්ය මණ්ඩල නේවාසිකාගාර,පූර්ව සායනික ගොඩනැගිල්ල,පුස්තකාලය,හා ශ්‍රවණාගාරය වැඩ නිම කරමින් පවතින අතර මේ වනවිට සිසුන් 500කට නේවාසිකාගාර ලබා දී ඇත.
සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙම ගොඩනැගිලි දැනටමත් යොදාගෙන ඇත.මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් අවසන් වී නොමැත.

මා සබරගමුව සරසවියේ උපකුලපති ලෙස 2017.05.18 දින පත්වීමෙන් සතියකට පසුව රජයට කරන ලද ඉල්ලීමකට අනුව මෙම පීඨය ලැබුණු අතර,අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම,පාලක සභාව,සනාතන සභාව මා දිරිමත් කලේය.
2023.11.02 නැවත මා දෙවන වරට උපකුලපති ලෙස පත් වන විට මහාචාර්ය පුහුණුවට රත්නපුර ශික්ෂණ රෝහල අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා මා හට උපකුලපති ලෙස මහත් ගැටලුවකට මුහුණ දීමට සිදුවිය.වෛද්‍ය සභාවේ තීරණය පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එවකට උපකුලපතිට ලිඛිතව දැනුම් දී තිබුනේ මහාචාර්ය පුහුණුව සඳහා අනෙකුත් වෛද්‍ය පීඨ වලට සිසුන් බෙදාහැරීමට ය.

සබරගමුව සරසවියේ ආරම්භක ආචාර්ය වරයෙකු ලෙස වසර 35ක අධ්‍යයන, පරිපාලන පලපුරුද්ද හා අභියෝග ඉදිරියේ නොසැලෙන ශක්තිය ඇති මා රජයේ උපදෙස් අනුව වෛද්‍ය සභාව, වෛද්‍ය වරුන්ගේ සංගමය,අන්තර් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සංගමය,වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය,විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය,රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂ ඇතුලු විශේශඥ වෛද්‍යවරු සමග එකඟතාවකට පැමිණ අවබෝධතා ගිවිසුමකට අනුව අධ්‍යාපන ලේකම්,සෞඛ්‍ය ලේකම්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා උපකුලපති අත්සන් කරන ලද තුන් අවුරුදු අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකිවිය.
ඒ අනුව අ.පො.ස උ.පෙ 2017 පලමු කණ්ඩායම 2025 වර්ෂයේත්,දෙවන ශිෂ්‍ය කණ්ඩායම 2026 වර්ෂයේත් අදාල පරීක්ෂණ වලින් සමත්ව පිටවිය.තෙවන කණ්ඩායම අවසන් පරීක්ෂණ සඳහා මේ වන විට සූදානම්ව සිටී.මේ වන විට 750 කට ආසන්න සිසුන් පිරිසක් සිටින අතර,අභියෝග මැද නොසැලී මා හට ශක්තියක් වූ එවක ජනපති
මෛත්‍රිපාල සිරිසේන, ජනපති රනිල් වික්‍රමසිංහ,අමාත්‍යවරු වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල,ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,වෛද්‍ය රමේෂ් පතිරණ,ආචාර්ය සුරේන් රාඝවන්,ළමා රෝග විශේඥ මහාචාර්ය සනත් ලමාබදුසූරිය,මහාචාර්ය මොහාන්ද සිල්වා,මහාචාර්ය පී.එස්. එම් ගුණරත්න, මහාචාර්ය සම්පත් අමරතුංග,මහාචාර්ය චන්දන උඩවත්ත,මහාචාර්ය නිර්මලී යන අයට, සනාතන සභාවට,පාලක සභාවට මගේ ස්තූතිය පුද කරමි.අක්කර 20 ඉඩම 2013 දී ලබා දුන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂය.

උපකුලපති ධුරයේ
සේවා කාලය මාස 6ක් තිබියදී වෛද්‍ය පීඨයේ අවසානයක් දකින්නට ආසන්නව පවතින අවස්ථාවක පුනරුද ආණ්‌ඩුව ඊට ඉඩ නොදීම ගැන බලවත් සේ කණගාටු වෙමි. අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික ලියන්න ඕන තරම් කට්ටිය අද සිටියාට පීඨය මුහුණ දුන් අභියෝගයන් ඉදිරියේ සමහරු මග හැරියහ.සිසුන් අතරමං නොකොට ඔවුන්ගේ අනාගතයද,පීඨයේ ස්ථාවරත්වයද ජාතික අධ්‍යාපන අවස්ථාවක් වෙනුවෙන් කරන ලද කැප කිරීම මට ලබා දුන් නිදහස් අධ්‍යාපනයට ප්‍රතිඋපකාරයක් සේ දකිමි.වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ඉත සිතින් පතමි.


එම්.සුනිල් ශාන්ත

හිටපු උපකුලපති.
day in the life
ජීවිතයෙන් දවසක් .

2026-07-02

මැණික් කතා



සබරගමුව මැණික් කර්මාන්තයට ප්‍රසිද්ධයි.එයිනුත් රත්නපුර දිස්ත්‍රික්කය විශේෂිතයි.මැණික් කර්මාන්තයත් සමග බැදුණු භාෂා විලාසයක් තියෙනවා.

අඩි 8*4 ප්‍රමානයේ කැණීමක් - පතලක් ලෙසයි හදුන්වන්නේ. පතල් භුමිය තුල භාවිතා වන සහ යොදා ගන්නා උපකරන
දබරය ,
දබර කූඩය
දබර මඩුව
කටේ තට්ටුව
තට්ටු ගැසීම
කැකිල්ල
කැකිල්ල කොටුව
කතිර පට්ටලේ
කැට කූඩය
කට්ට කූඩය -
මැණික් වට්ටිය
මුළු කත්තුව - තට්ටුව මුළු හතරේ සහ මැද මුක්කුවේ මැදට ගසන උස් මුක්කුව
ඉල්ලම -
දෝණ
හබේස් - සංඥාවක්.
ඉල්ලම් කමත
ගැරීම
නාඹුව බැලීම
පතල් වාඩිය
වතුර පොම්පය

සුමාන කාසි - පතල් කම්කරුවන්ට සතිපතා දෙන යැපීම් දීමනාව
පතල් හවුල - ආයෝජකයින් කණ්ඩායමක් සිටින විට එක් එක් අයගේ කොටස
වෙන්දේසි කිරීම - අලෙවි කිරීමේදි විවෘත වෙලදපල
සන්නම - මද වටිනාකමින් යුතු ඉතිරි වන මැණික්
ගෙව්ඩ ඔට්ටුව ආරනුල පසිංගලය රබහ - මැණික් වර්ග කිහිපයක්.
පතල් ඉටිපන්දම්.

ඔය වගේ නම් වලින් හදුන්වනවා.

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-30

ඇඹිලිපිටිය - රජමහා විහාර - 05




පොසොන් පෝය දවසේ සංඛපාල රජ මහා විහාරයේ…….. සිට 

හැල්මේ ගියත් කාලය තවත් දික්කරන්නට සිද්ධවුනා

.බොහෝම වෙහෙර විහාර හතරවටේට…….

කාවන්තිස්ස රජ මහා විහාරය.

තෙරුන්කට්ටුව රජ මහා විහාරය. - තුංකම

වළල්ගොඩ පුරාන ටැම්පිට විහාරස්ථානය - පනාමුර

කාවන්තිස්ස පුරාන විහාරස්ථානය - පනාමුර

පුරාණ රජ මහා විහාරය - ඕමල්පෙ

හීන් දළුහින්න ටැම්පිට විහාරය - ලේල්වල

ශ්‍රී ගංගාතිලක රජමහා විහාරය - කළගෙඩිආර

වෙහෙරගොඩල්ල පුරාණ විහාරය - ජූලංගැටේ

ශ්‍රී ගොඨාභය රජ මහා විහාරය. - පදලංගල

සිරි නාග රජ මහා විහාරය. - තිඹොල්කැටිය.

මෙම බොහෝ විහාරස්ථාන ඓතිහාසික වැදගත් කමක් ඇති ස්ථාන.

දෙවන තුන්වන සියවස්වල තොරතුරු ,නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය පාලන සමය සහ

මාගම රාජධානි සමය පිලිබදව ගවේශණය කරන්නෙකුට මෙම ස්ථාන ඇසුරු කරනවානම් බොහෝ තොරතුරු වලින් සන්නද්ධ විය හැකියි

ඇඹිලිපිටිය සංචාරය කරනවුන්ගේ වැඩි අවධානය යොමුවන්නේ ඇත් අතුරු සෙවන, උඩවලව ජාතික වන උද්‍යානය , මඩුවන්වෙල වලව්ව, උණුදිය උල්පත් , වවුල්පනේ හුණුගල් වැනි ස්ථානයන.

එහෙත් ගවේශකයෙකුට අවධානය යොමුවිය කරුණු කාරනා බොහොමයක උල්පතක් තමයි. ඇඹිලිපිටිය.

ඇඹිලිපිටිය ශාසනාරක්ෂක මණ්ඩලය සහ උඩවලව ශාසනාරක්ෂක මණ්ඩලය සාමාජිකත්වය දරන විහාරස්ථාන හතලිස් අටක් තියෙනවා.

මේවා වර්තමාන සංවර්ධණයත් සමග ජනාාවාසවල ආගමික සේවවාන් ඉටු කරනවා.

මීදුම හිගුරආර පහුකරන විට බෝධිරාජ දහම් පාසල හමුවුනා දහම්පාසලේ ඉගනුම ලබන දූ දරුවන් ප්‍රමානය එක්දහස් පන්සියයකට වැඩියි.බෝධිරාජ ජාත්‍යන්තර පාසල දූ දරුවන් හාර දහසක් !.

ඇඹිලිපිටියේ පුනරුදය ගැන හිතන්න එක් සාධකයක්.








A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-29

ඇඹිලිපිටිය - සංඛපාල රජමහා විහාරය - 4


අද පොසොන් පෝය දවස.

සදුදා දවසක පෝය නිවාඩුව ලැබුන නිසා එක දිගට දවස් තුනක නිවාඩුවක්.

ආයතනික රාමුවලට කොටු වෙලා ඉන්න අයට එහෙම වුනාට අපිට එහෙම නෑ.

ඕන දවසක නිවාඩු ගන්න පුළුවන්.

පොසොන් පෝයට අනුරාධපුරේ මිහින්තලේ පැත්තට යන අය වැඩියි.

ඒ දවස්වලට ඒ පැත්ත ජනාකීර්ණ වෙනවා.

මම ඇඹිලිපිටිය ගැන කතා කර ර හිටිය නිසා පොසොන් එකට ඒ පැත්තට ගියා.

මග දිගට දන්සැල්…

ඒ නිසා කන බොන දේවල් වලින් අඩුවක් නැහැ.

මුලින්ම ගියේ සංඛපාල රජ මහා විහාරයට.

ඇසල පෝයට උත්සවශ්‍රීෙයන් ජනාකීර්න වන සංඛපාල රජ මහා විහාරය කතරගම පැත්තට යන වන්දනා නඩවලින් පිරිලා.

සංඛපාල රජ මහා විහාරයට අයත් නින්දගමේ භුමි ප්‍රමානය අක්කර 13000 ක් !.

උතුරෙන් පනහඩුව , රෙමෙනිපොත යන ගම්මාන දකුණට රක්වාන ගග ,බටහිරින් පල්ලේබැද්ද කුඹුක්කන් ආර, නැගණහිරෙන් බැලවානගල ද මේ වපසරිය සීමා කරනවා.

හතරමායිම් මොටද වැද පුදා ගත්ත ආවනම් කියලා අහන්න කවුරුත් නැති කොට මේ නින්දගම ලැබුනේ කොහොමද කියලා මම පත පොත පෙරලන්න හිතුවා .

ඒකටත් පෝය ගෙවෙන්න එපාය ?.


ක්‍රී.ව. 1782 දී මහනුවර යුගයේ රාජාධිරාජසිංහ රජ සමයේ කරතොට ධම්මාරාම හාමුදුරුවෝ “ බාරස “ කියලා කාව්‍ය නිර්මාණයක් කරනවා.

මේ කාව්‍ය නිර්මාණය රජතුමා ඔප්පු කරන කරතොට හාමුදුරුවන් කෙරෙහි පැහැදෙන එතුමා සිංහල සාහිත්‍යයට කරන ලද සුවිශාල මෙහෙවරක් කොට සලකා මේ නින්දගම පවරා දෙනවා.

දැන් කාලේ හැටියට නම් අල්ලස් හා දුෂණ කොමිසමට රාජකාරියක්. රජතුමා බලය අත්හැරලා තිබෙන්නත් එපාය ?.

තවත් අතීත කතාවක් තියෙනවා.

ඇඹිලිපිටිය ප්‍රෙද්ශය ගැන  කාවන්තිස්ස රජතුමා බැහැර කර කතා කරන්න බැහැ.

ඵුස්සදේව දසමහා යෝධයින්ගෙන් කෙනෙක්.

එළාර - දුටුගැමුණු යුද්ධයෙන් පස්සේ සේනාධිනායකයින්ට කරන ලද සේවය අගයීමක් වශයෙන් නොයෙක් වරප්‍රසාද ලබා දීලා තියෙනවා.

ඵුස්සදේව විශාල ශබ්දයක් නැගෙන, විශාල පරාසයකට ඇසෙන  පරිදි සක්ගෙඩි පිඹීමට දක්ෂයෙක්. 

ඔහුට කියනවා සක්හඩ පැතිරෙන ප්‍රෙද්ශය ඔබට නින්දගම් කොට පවරනවා කියලා .

ඵුස්සදේව සංඛපාල කදුවැටියේ උස්ම කදුමුදුනට නැග 

ශබ්දනගා සක්හඩ නංවනවා.

ඒ භුමි ප්‍රෙද්ශය ඵුස්සදේවට හිමිවෙනවා.

පසුකාලයක පැවදිව මේ නින්දගමේම වාසය කල බව සදහන්.

උන්වහන්සේ අපවත්ව භෂ්මාවශේෂ තැන්පත් කල ස්ථානය අපට දකින්නට හැකියි.

මේ සැරිසරත් සමග ඉරත් අවරට යන්න සූදානම්.

මම පල්ලේ බැද්ද - වැලිගෙපොල - බලන්ගොඩ හරහා බෙලිහුල්ඔයට පසු බැස්සා.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-28

ඇඹිලිපිටිය - ගමට නමක්… -3



ඇඹිලි - පිටිය ගැන කියන කොට නොයෙක් නොයෙක් ගම් මතක් වුනා..
බණ්ඩාර - වෙලට ගියේ උදැල්ලත් අරන් පුංචි එකාගේ මතය.
නිතර කතා කරන බෙලිහුල් ඔය ගැනත් කතා තියෙනවා.
බෙල්ල - වැටුන -ඔය බෙලි - හුල්- ඔය උනා කියලත් කියනවා.
හුණට ගන්න බෙල්ලෝ බහුලව හිටිය නිසා බෙලි - හුල් - ඔය වුනා කියලත් කියනවා.

ඇඹිලිපිටිය ගැන කතා කරමින් හිටපු නිසා ඒ පැත්තේ ගම් නියම් ගම් වල නම් ටිකක් කියන්නම්.
වැඩියත් හමුවුනේ පරිසරය ගස්වැල් දියපාරවල් ආශ්‍රිතව ගොඩ නැන්වුන නම් !.
බෝසිරි ගම , කෝංකටුව ,කිරලවැල් කටුව , මොරකැටිය , කරදකැටිය ,තෝරගල, ජූලංගැටේ,බුරුතකන්ද ,බුලත්වැල්කන්ද,කැකුණවත්ත,හීන්දළුක්කන්ද ,හිගුරආර, වීරගහ හන්දිය, නාවින්න,වදකහවෙල,තල්ගස්වත්ත,පුහුල්යාය ,කරවිලයාය,කරදමණ්ඩිය, තිත්තවැල් පොත,ලියංගස්තොට, ඉගිණිගොඩ,තලකෑල්ල,තිබොල්කැටිය ,කුඹුක්අතුර ,හල්මිල්ලආර,ජූල්කැටිය ,තෝරකොළයාය ,වරායාය, පනාමුර

ගම - නගර නොවු ගම්
කටුව - ගමකින් ගමක් වෙන් කරන කැලෑ බිම
කැටිය - ගොන්න - ( ගොනුවක් )
ගල - ගලක් ඇසුරෙන් නම් කල
ගැටේ - උස් කදු බිම
කන්ද - විශාල කදක් - පස් හෝ ගල්වලින් සැදුන
වින්න - වනයට හුරු බිම
වෙල - වෙල්යායක් ඇති
වත්ත - වගාකල ගොඩ බිම
යාය - එක දිගට එකම වගාව් ඇති පෙදෙස
මණ්ඩිය - ගම්මාන ඇසට පෙනෙන මානයට අයත්
පොත - පෙදෙස
තොට තරණය කරනුයේ ( දියපහරක් තරණය කර )
ගොඩ - සමුහය , ගොඩබිම
කෑල්ල - කැලෑ බිම් කොටස
අතුර - බිම්කඩ ( බෝගහ අතුර = රංචාමඩම , කුඹුක් අතුර = පනාමුරය )
ආර - තැණිබිම මත එකතුවෙන වැහි ජලය ගලායන දිය පාරක් ඇසුරෙ පිහිටි ගම.
මුර - මුර බිම ( පනාමුරේ )

වැඩි වැඩියෙන් තොරතුරු පලකරන්න ගියොත් කියවන ඔබ බෝරිං වෙනවා.
ඇඹිලිපිටිය ආශ්‍රිතව වෙනමම සංස්කෘතියක් තියෙනවා කියලා මට හිතෙනවා.
ගම්වල , ජනාවාසවල,දියපහරවල් වලට යොදා ගෙන තියෙන නම් කියවන විට වෙනත් ප්‍රෙද්ශ එක්ක සංසන්දනය කරන කොට දැක්කේ වෙනසක්.
තවත් වියමනක් මේ සදහා යොමු කරන්නම්
ටිකක් ඇවිද ගෙන යන්න ඕන කියලා මම හිතුවා තොරතුරු එකතු කරන්න.

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-26

ඇඹිලිපිටිය වුන හැටි - 2



බ‍ෙහොමයක් ගම් , නගරවල නම් හැදෙන කොට ඒ නමට ගැලපෙන වෘතාන්තයක් හේතුවක් තියෙනවා. පරිසරය ,ගංගා ඇළදොල කදු උදාහරණ විදියට ගන්න පුළුවන්.

ඇඹිලිපිටියට නම හැදුන හැටිත් එහෙම තමයි. 

නොයෙක් වෘත්තාන්ත අතර මේ ‍ඓතිහාසික පුවත තාර්කිකව සත්‍යයට සමීපයි කියලා මීදුම විශ්වාශ කරනවා.

කාවන්තිස්ස රාජ්‍යා පාලන සමයේ ඇඹිලිපිටිය විශේෂ අවධානයට ලක්වු බවත්  මේ ප්‍රෙද්ශය සංවර්ධණයට සහ පාලනයට  “ වීරබාහු “ නම් ඇමතිවරයෙකු පත්කර සිටි බවත් ඉතිහාසය කියනවා .

මෙතුමා වැවි අමුනු හදමින් පිළිසකර කරමින් ඇඹිලිපිටිය සශ්‍රීක කරමින් පාලනය කලා.  ඔහු වැව් දෙකක් ඉදිකර තියෙනවා. 

ජනප්‍රිය පාලකයෙක් වෙන කොට තරහ කාරයොත් වැඩියි නේ. මේ අවදිය වන විට රජතුමාට කේළම් කියලා රජතුමාත් වීරබාහු ඇමති තුමාත් අතර විරසකයක් ඇතිවෙලා තිබුනා.

මේ අතරට රජතුමා යෝජනා කලා ඉදිකරන ලද වැව් දෙක රජසතු කරන්න කියලා ඇමතිතුමා මේ යෝජනාවට එකගවුනේ නැහැ.

පාලන අර්බූදයක් !.

රජතුමා නියෝග කලා ඇමත්වරයාගේ හිස ගසා දැමීමෙන් මරණයට පත්කරන්න.

ඇමතිවරයා “ බිල්ලක් වු පිටිය “

බිලිපිටිය පසුව ව්‍යවහාරයේදී  - ඇ - බිලිපිටිය 

ඇඹිලිපිටිය වු බවයි පැවසෙන්නේ.

මේ කතාවට පොඩ්ඩක් වෙනස් කතාවක් තියෙනවා.

විරසකය ආරංචිවු වීරබාහු ඇමතිවරයා රජතුමා හමුවෙලා සාකච්චා කරලා තියෙනවා.

එතනදී රජතුමා වැව් දෙක තමන් වෙත පවරන්න නියෝග කරලා.

වීරබාහු ඇමතිවරයා පවසලා තියෙන්නේ තසන්ගේ ජීවිතය පවත්නා කල් එම නියෝගයට එකග නොවන බවයි.

මින් කෝපයට පත් රජතුමා වීරබාහු ඇමතිවරයාගේ හිස ගසා දමා මරණ්‍යඨ පත් කරන්න නියෝග දීලා.

මේ අසාධාරණ නියෝගයට සොබාදහම පවා කම්පා වෙලා.

කදුකරයට මහවැසි ඇතිවෙලා වළවේ ගග උතුරා ගලන්න පටන් අරලෙන

වැව් දෙක පිරිලා වැව් බැම් දෙදරා ගිහින්.

වැව් බැම්ම බිදලා ගියා.

වැව් බැම්ම බිදීගිය තැනින් දියට පැන වීරබාහු ඇමති තුමා සියදිවි නසාගෙන……….

ඒ අනුවත්  ඇමති + බිලිවු + පිටිය   “ඇඹිලිපිටිය“ වෙන්න ඇති.


මේ කතා අතරට තවත් කතා තියෙනවා. ඒවා ගැන හිතන්න ඕනි.

මේ පැත්ත තැනිතලා ලදු කැලෑ පවතින පැත්තක්. “ඇඹිල්ල “ කියලා පදුරු මේ ලදු කැලෑ වල  බහුලව තියෙනවා. කොල ඇඹුල් රසයි.

"ඇඹිල" ගස් වලින් පිරි පිටිය - “ඇඹිලිපිටිය“ වු බව පැවසුවත් එය නිවරදියි කියලා හිතන්න අමාරුයි.



තවත් කතාබහක සදහන් වෙන්නේ ඇඹුල් දොඩම් සංග්‍රහයක් රජතුමා ඇතුළු හේවාපන්නයකට සිදු කිරීම නිසා මෙතරම් ඇඹුල් දොඩම් කොහේ තියෙයිද විමසා තිබෙනවා.

මේ පැත්තේ ඇඹුල් දොඩම් බහුලව ඇති බවසදහන් වීමෙන් ඈඹුල් දොඩම් බහුලවු ප්‍රෙද්ශය “ ඇඹිලි පිටිය “ වු බව සදහන්.

එයත් බැහැර කල හැකි කතාවක් බවයි මීදුම හිතන්නේ.


දුටුගැමුණු රජතුමා විජිතපුර බලකොටුව අල්ලන්නට යුද හමුදාව සංවිධානය කරන විට, ඔහුගේ හමුදාවේ සිටි ඇතුන් (ඇතින්නියන්) මෙම තැනිතලා භූමියේ ගාල් කර තිබූ බව පැවසෙනවා. අතීතයේ ඇතුන් පාලනය කරන ස්ථානවලට "පිටිය" යන නම එක් වූ අතර, එම ඓතිහාසික සිදුවීම් ඇසුරෙන් ද මෙම නම නිර්මාණය වූ බවට විශ්වාසයක් පවතිනවා.

ඒත් පිටියට ඇඹුල් එකතුවුන තැනක් මේ කතාවේ නැහැ.

වීරබාහු අමත්‍යවරයාගේ කතාවට අපි එකග වෙමු නේ.











A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-25

ඇඹිලිපිටිය.




ඇඹිලිපිටිය බොහෝම ඉක්මනින් දියුණුවු නගරයක්.

ප්‍ර ‍ෙද්ශයක්.

1957 අවුරුද්දේ හුලංදාව ඔය හරස් කර “චන්ද්‍රිකා වැව“ ඉදිකිරීම වර්තමාන ඇඹිලිපිටිය සංවර්ධණය වීමේ ආරම්භයයි.

1963 දී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය විසින් උඩවලව සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කරනවා.

1981 වන විට ජනාවාසකරණය සිදුවෙලා අවසන්.

සබරගමුව ,දකුණ ඉඩම් නොමැති ජනතාව ඇඹිලිපිටිය ආශ්‍රීත ගම්මාන වල පදිංචිකරුවන් වෙනවා.

අවුරුදු හැත්තෑ හතක් කියවෙන අතීතයේ කොටසක්.

1982.01.01 දින සිට වලව කලාපයේ පරිපාලන කටයුතු මහවැලි සංවර්ධණ අධිකාරිය යටතට පත්වෙනවා.

කලාපයේ මුළු භුමි ප්‍රමානය හෙක්ටෙයාර් 62803 ක්.වාරිබිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 19030 ක්.  ඉතිරි බිම් ප්‍රමාණය තෘණ බිම් ,වැව් රක්ෂිත ,පුරා විද්‍යා ප්‍රෙද්ශ ගොඩ ඉඩම් වලින් පෝෂිතවනවා.

ජනගහණය  250000 කට ආසන්නයි.

ප්‍රධාන ජලාශය වන උඩවලව ජලාශය ධාරිතාව අක්කර අඩි 217798 යි.ජලාශයෙන් පෝශිත වන මුළුවාරි බිම් ප්‍රමානය හෙක්ටෙයාර් 19917 ක්.

ජනපදවැසියෝ චණ්ද්‍රිකා වැව, මුරවැසි හේන , අගුණ කොළ පෑලැස්ස,
කිරිඉබ්බන් වැව සූරියවැව සහ මයුරපුර ජනපද පුරා ව්‍යාප්තව සිටි.


ඇඹිලිපිටිය වර්තමාන සංවර්ධණය එසේවුවත් අවුරුදු පන්දහාකටත් එහා ගිය අතීතයක් ඇඹිලිපිටියට හිමිකම්පානවා. රංචාමඩම පුරා විද්‍යා කැණීම වලින් සොයාගත් 

ප්‍රභූ නිවාස නටබුන් , මිණී අළු බදුන් ඒ බව සාක්ෂි දරනවා.

දියුණු ජනාවාසයක් තිබූ බවට  රුහුණු මාගම් කාලය හෙළිකරනවා.

මහානාග ,කාවන්තිස්ස රජකල ඉදිකිරීම් අතර කාවන්තිස්ස, පනාමුර , සංඛපාල තිඹොල්කැටිය සිරිනාඝ, - ගල්කොටුව අමුණ කළගෙඩි ආර ගංගාරාම විහාරය,  රජමහා විහාර, සහ යාය 6 වෙහෙරගල,ජූලංගැටේ වෙහෙරගොඩැල්ල විහාරය වැනි විහාරස්ථාන වල ඇති ශේෂවු නටබුන් මේ බව තහවුරු කරනවා.


ඇඹිලිපිටිය සංචාරකයින්ට සම්පත් පිරි ප්‍රෙද්ශක්. 

ඇත් අතුරු සෙවන, සංඛපාල විහාරය.උඩවලව ජලාශය ,උඩවලව ජාතික වනොධ්‍යානය , බලංගොඩ මානවයා සහ බෙල්ලන්බැදි පෑලැස්ස, රම්බා විහාරය සහ මහානාගහුල ,උණුදිය උල්පත් ,මඩුවන්වෙල වලව්ව ,චන්ද්‍රිකා වැව, වවුල්පනේ හුණුගල් ගුහාව ,ආදිවාසීන්ගේ නටබුන් මේ අතර විශේෂිත වෙනවා.

විවිධ තරාතිරමේ සංචාරක නවාතැන් වලින් නගරය පොහොසත්.


අපි කතාබහ කරමු ඇඹිලිපිටිය ගැන තව තවත්.









A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-24

මග වියදම් .


“ මග වියදමට තේකක් බොන්නවත් අතේ
කීයක් හරි තියෙනවද ..?”
ඇය දුක්මුසු ස්වරයෙන් විමසන්නිය .
“ හ්ම්!! තේකක් බොන්න බැරියැ .”
කලිසම් සාක්කුවට යැවූ අත එළියට ගනිමින් ඔහු
පවසන්නේ ඇගේ සිත නොරිදෙන අයුරිණි.
රැකියාවක් සොයා කොළඹ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකු
මුණගැසෙන්නට කතිකා කරගෙන ඇත.
ඒ කුඩා කළ මා කියැවූ පොතක සටහන්වූ කොටසකි .
ගමනක් යන ඕනෑම කෙනෙකුට මග වියදම් නැතුවම බැරිය.එය
මුදල්ම විය යුතු නොවේ. අතරමග වෙහෙස නිවාගන්නට වතුර
බෝතලයක් රස කැවිල්ලක් හෝ අඩුම වශයෙන් බුලත් විටක්
තිබුණොත් ; විඩාව සංසිඳවා ගත හැක.
ඉස්සර කාලයේ සිරිපාදය වඳින්නට සමනොළ කන්ද නගින
හැම කෙනෙක්ම වාගේ අග්ගලා පසුම්බියක් ගෙනයෑමට අමතක
කළේ නැත. අදත් බොහෝ අය අතර ඒ පුරුද්ද පවතී .
රොබට් නොක්ස් ගේ “එදා හෙළදිව” පොතේ පවා මේ
කැවිලි වර්ගය මග වියදම් ලෙස සිංහලයින් භාවිතා කළ බව පෙනී
යයි.
“...............අග්ගලා නමින් තවත් අළුමුසුවක් වෙයි.බැදිහාල් පිටි
පැණියෙන් අනා ගම්මිරිස් ,කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන්
මුසු කොට මෙම ගුලි සාදා ගනී.මේ ගුලි ,ගුලිකිරීමෙන් පසු තද වෙයි.
ගමන් බිමන් යාමේදී සන්ධ්‍යා භෝජනය සඳහා පසුම්බිවල දමා
ගෙනයන්නේ මේ අග්ගලාය .”
(පිටුව260 )
පෙර කළ මග වියදම් සඳහා අග්ගලා පැසක් රැගෙන ගිය දුගියෙකුගේ
පැසතුලට රිංගා ගත් නාගයෙකු නිසා සිදුවෙන්නට ගිය මහ විනාශයක්
දුටු දේවතාවියක් ....
“ මග සිටියොත් තෝ නසී
ගෙදර ගියොත් අඹු නසී ...”
යැයි පැවසූ ගැටපදය මහෞෂධ පඬිතුමා විසින් විසඳූ බවක් මතකයට
නැගේ.
මග වියදම් කාලයෙන් කාලයට මෙන්ම පරිසරයෙන් පරිසරයට
වෙනස් වේ. අද කාලයේ චීස් හා මස් පෙති දමා සකසා ගත් සැන්විච් හෝ
බිස්කට් වර්ග ..පළතුරු යුෂ ආදිය බෙහෙවින් ජනප්‍රිය වී ඇත.එමෙන්ම
දිය ඇල්ලක්, කඳු කරයේ සීත වන අරණක් හෝ නිල් පැහැ වෙරළ තීරයක්
ආශ්‍රිතව විනෝදය සඳහා ගමන්බිමන් යාමත් ,සංචාරක කර්මාන්තය දියුණු
වීමත් නිසා අපේ ජීවිත බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතී. මුදල් වෙනුවට
Electronic card සහ Rail warrants ආදිය භාවිතා වීමෙන් මගවියදම් අඩු වීමත්
පහසුවත් සැලසේ .
ගෙදර දොරේ හෝ රැකියාවේ ඒකාකාරී බවින් මිදී මොහොතක්
සැනසිල්ලේ අලසව ඔහේ වැතිරී ; සොබා සෞන්දර්යයෙන් මත්වීමට අප
කවුරුත් කැමතිය . ඒ නිසාම ගමන්බිමන් යෑමටද දැඩි ඇල්මක් ඇත. ඓතිහාසික
ස්ථාන නැරඹීමටත් ; ගඟක හෝ මුහුදක පැන යහළුවන් හා විනෝද වීමටත්
අපි කැමැත්තෙමු. ගමන් වියදම් දරා ගැනීමට හැකි නම් ; රටින් පිට වෙනත්
දේශයකට යෑමටද ඉතා කැමැත්තෙමු. අත මිට හිඟ වූවිට මග වියදම් ; පසුම්බියට
බරක් වේ . එවිට හිතේ සතුට නැතිවේ . බුම්මාගෙන සිටිමින් කල්පනා ලොව
සැරිසරයි. කේන්ති යයි.
අතීතයේ මෙහි විසූ වැදි ජනයා ද තමන් ගේ වැදි යුවතිය හා පෙමින්
බැඳුණු මුල් අවදියේ ; මේ අයුරින් වනවදුලේ දුව පැන නටමින් ; පොකුණු වලට බැස
දිය කෙළි කළ ආකාරය ; R.L Spitle ගේ Savage Sanctuary (වන සරණ ) පොතේ
ඉතා රසවත්ව සටහන් වි ඇත.
“...............පැය එකහමාරක් පමණ ඉහළට නැගීමෙන් ඔවුන්ට
කන්දට නැගගත හැකිවිය.තැන තැන වූ කඳු ගැටවලින් පුල්ලි ගැසී ගිය එකම නිල්
තලාවක් වැනිවූ සීමා රහිතව අවට පැතිරී සිටි මහවනය මනහර විය..........මොවුනට
හමුවූයේ ඉතා සිහිල් පෑදී දිය ඇති ගල් කෙමකි.( පොකුණකි )....
“දැන් අපි නාන්ට ඕනෑ” යයි ඉණකඩ ගලවා දමා දියට පනිමින් තිසාහාමි
කීවේය.....දියේ ගිලුණු තිසාහාමි දියබිඳු වගුරුවමින් දිය මතුපිටට ආවේය. මුහුණත්
කටත් ඇත් වසුරුවලින් පිරී තිබුණි....වල්ලී හූ කියා සිනාසුණාය .
“ වල් සතා දියබීල යනවා මදිවාට ඒකෙ බෙටි ලාල කැත කරලත් යනවා.”
යයි ඔහු අලියාට සාප කළේය.
“එන්ට එන්ට බැහැල නාගන්ට .”යයි ඔහු ඈට කතා කළේය.
“අනේ මට බයයි. මේක ජඹුරයි.”ඈ කීවාය.
“ජඹුර නෑ බහින්ට ;මේ හැමතැනම මා පොව්වනවා.”
ඔහු පොකුණ මැදට ගොස් කර වටක් දියේ සිට ගත්තේය.
“ බයවෙන්ට එපා.හොඳ සීතලයි , සනීපයි.කෝ මං අල්ලාගන්ට .” යයි ඔහු ඈට
ලංවුණේය .
ඉනකඩ ගලවා දමා ගල් කෙම කෙළවරේ වාඩිගත් දැරිය සෙමින් ,බියෙන්
බියෙන් දියට බැස තන මත්තක් දියේ ගිලුණාය .....” (පිටු අංක 60)
ඉතා අපූරු ,සිතුවම්පටක මෙන් ඒ දර්ශනය රස විඳින්නට පුළුවන් වන්නේ
පරිවර්තක , ඒ .පී. ගුණරත්න මහතාගේ රසවත් ශෛලිය නිසාය. වල්ලිටත් ,තිසාහාමිටත්
මග වියදම් තිබුණේම නැත. සොබාදහම ඔවුන්ට අවශ්‍ය සියල්ල මහ වනයෙන් ලබා
දුන්නාය.
අරමුණක් ඇති විට , යායුතු දිසාව පැහැදිළිව දන්නේ නම්..මගට අවශ්‍ය
බොහෝ කළමනා අප විසින් සුදානම් කරගනු ලැබේ.
විවාහවූ අළුත දහඅට වංගුව ඔස්සේ දෙණියාය දක්වා ගිය සුන්දර ගමනක්
සිහියට නැඟේ . Husband ගේ අම්මා බත් ගෙඩියක් බැඳ දුන්නේ දෙදෙනාටම සෑහෙන්න ය.
හොඳින් තවාගත් කෙසෙල් කොළය ඇතුලේ , ගෙදරම කොටා ගත් සුදු හාල් බතට , පරිප්පු
තෙම්පරාදුවත් ,කීරමින් බැදුමත් , කොට්ටපොල් සම්බෝලය හා ඉඳලෝළු හතු වැංජනයත් විය .
අතරමග පීල්ලකින් නා ,ඇටඹ ගස් හෙවනක සිට බත් මුල දිග අරිනවිට දැනුණු ඒ සුවඳ
දැනුදු සිහියට නැගේ. කුස පිරෙන්නට රසට කෑවේ ,අම්මාට පිං දෙමිනි.
අප විසින් මේ ජීවිත කාලය පුරාවට මග වියදම් සකසා ගෙන ගමන් බිමන් ගිය
නමුත් ,එසේ නොමැති වූ විටෙක ,කිසිවෙකුගෙන් මුදලක් ඉල්ලා ගෙන හෝ එම ගමන
ගොස් ආපසු පැමිණියෙමු. 

එහෙත් අපට යම් දිනෙක නොගොසින්ම ඉන්නට බැරි ගමනක්
ඇත. ඒ සඳහා මග වියදම් සපයා ගත යුත්තේම අප විසින්මය . මග වියදම් නැතැයි කල් දමන්නට නො හැක. ගියපසු ,නැවත නිවසට නො පැමිණෙනු ඇත.
“පන්ඩු පලා සෝවදානීසී - යම පුරිසාපි ච තං උපට්ටිතා
උය්යෝග මුඛේච තිට්ටසී -පාථෙය්යම්පි ච තේ නවිජ්ජති .”
(ධම්මපදය
- මල වග්ගය )
“ඔබ දැන් පඬු පැහැ ගත් ඉදුණු කොළයක් වගෙයි.
යම දූතයන් ඔබ කැඳවාගෙන යාමට ඇවිදින් සිටී.
නික්මීමේ දොරටුවට නුඹ ලංවී ඇත.එහෙත් නුඹට
පරලොව ගෙනයෑමට මග වියදම් නැත.”
එසේ නම් ,මගවියදම් සපයාගැනීමට ප්‍රමාදවන්නේ ඇයි?






රෝ.සි.

A day in the life
 ජීවිතයෙන් දවසක් .