ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග හුදෙක්ම ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත.ඒවාට තදින් ඇලී සිටීමෙන් පීඩා විදින්නේය.මින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2014-01-31

අපොයි! ඡණ්ද වියදම්.

 


උදය ගම්මන්පිල මහතාට “සුපර් ඩ්‍රෝ “සැලසුමක් හා චිණ්තනයක් පහලවී තිබේ. කවුරුත් රුපියල් සීය බැගින් පරිත්‍යාග කර ගම්මන්පිල මහතා වැනි අපේක්‍ෂයින් ජයග්‍රහණය කරවීමට සිත් පහල වේවා !!!!!
තමුන්නාන්සේල “උන්නත් දාහයි - මළත් දාහයි “ - අපිට උන්නත් මලත් බිංදුවයි. ගම්මන්පිල මහත්තයෝ !!.
ශ්‍රී ලංකාවේ හැමදාමත් මැතිවරණ තිබේ. පලාත් පාලන, පලාත් සභා ,පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ යනාදී කී නොකී මැතිවරන සෑම වසරේම රටේ කිනම් ප්‍රදේහයක හෝ පැවත්වීමට අවස්ථාව යෙදෙන ලෙස මැතිවරණ කාල සටහනක් ඇත. මේ සම්බනධව ජේ.ආර්.ජයවර්ධණ මහතාට ජනතාව පින්දිය යුතුය. මේ මැතිවරණ ගැනත් වියදම් ගැනත් අප බොහෝ වියමන් කර ඇත.
මැතිවරණ සදහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ විසින් නාමයෝජනා ලබා දෙන අය දෙස බැළුවිට ඡණ්දපොලට ගොස් ඡණ්දය භාවිතා කිරීමේ උවමනාව දවසින් දවස පිරිහී යන බව සටහන් කළ යුතුය. දේශපාලන පක්‍ෂ වල නායකත්‍වයට අවශ්‍ය පරිදි ඉදිරිපත් කරන නාමයෝජන ලබනවුන් ගැන ඡණ්දය දෙන අපිට කවදාවමත් අභියෝග කල නොහැක. අපිට කළ හැක්කේ හොදම හොල්මනට ජණ්දය දීම පමණකි .
රටට ඵලදායි මෙන්ම දේශපාලනය ගැන දැනුම්වත් පිරිසක් ඉදිරිපත් කිරීමට වඩා සබන් කැටයක් අළවි කරගන්නට යොදන වෙළද දැන්වීම් මෙන් මැතිවරණ සදහාද වෙළද දැන්වීම් ඉදිරිපත් කර ප්‍රධාන පක්‍ෂ තම ගොඩ ලොකු කර ගැණීමට උත්සහා කිරීම දේශපාලනයේ සොහොන් ලකූණු විද්‍යාමාන වීමක් ලෙස වියමන්කරු සලකයි. . අනාගතයේදී අපේක්‍ෂකයන් ලෙස අවතාරද ඉදිරිපත් කර කෙසේ හෝ මැතිවරණ ජයගැණිමට ප්‍රධාන පක්‍ෂ සැලසුම් කරනු ඇත..
මේ වැඩකට නැති ඡණ්ද සදහා මහජනතාවගේ බදු මුදලින් උපයා ගන්නා මුදල් කන්දරාව වියදම් කරන අන්දම පිලිබද උදාහරණයක් පහත දක්වමු.
බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා රුපියල් කෝටි 120 ක්‌ වැය වනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව ඇස්‌තමේන්තු කර ඇත.

Ø පොලිස්‌ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 200 ක්‌ද
Ø තැපැල් දෙපාර්තමේන්තුවට මිලියන 100 ක්‌ද
Ø ඉන්ධන සඳහා මිලියන 40 ක්‌ද
Ø මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන 300 ක්‌ ද
වැය වනු ඇතැයි දෙපාර්තමේන්තුව ගණන් බලා ඇත.

අවසන් වරට පැවැති උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයට රුපියල් මිලියන (කෝටි 87 ක්‌) 876 ක්‌ වැය වී ඇතැයි මැතිවරණ කොමසාරිස්‌වරයා මාධ්‍යයට පවසා තිබිනි.
Ø රුපියල් මිලියන 150ක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවටත්
Ø රුපියල් මිලියන 79 ක්‌
Ø තැපැල් දෙපාර්තමේන්තුවටත් රුපියල් මිලියන 24 ක්‌ ඉන්ධන සඳහාත්
Ø මිලියන 91 ක්‌ සැපයුම් හා සේවා
වැය වී තිබේ.

මේ දියවී යන්නේ ප්‍රජතන්ත්‍ර අයිතිවාසිකම්වල වටිනාකමයි.

notes of imaginary

2014-01-28

නස්රුදීන් - කථා දෙකක් .



ඉස්සර සම්ප්‍රදායක් විදියට අටට පටන් ගත්ත බණ දැන් හාමුදුරුවෝ පටන් ගන්නේ හතයි තිහට. ටෙලි නාට්‍ය වලටත් ඉඩ තියන්න ඔනිනේ. ඔරලොසුවත් ලග තියාගෙන බණ පටන් ගන්න හාමුදුරුවේ පැයක් ඉලක්ක කරගත්තත් හරියට අටයි විස්ස විතර වෙන කොට බණ වදාරලා ඉවර කරනවා.අටයි තිහේ ටෙලියට ඉඩදීලා.හාමුදුරුවේ ඒකට ඉඩදුන්නේ නැත්නම් උපාසික උපාසිකාවන් බණට අවධාණය ලබා ගන්න බැරි බව හාමුදුරුවෝ දන්නවා.

හැමුදුරුවෝ බණ කියනවා. ශ්‍රාවක සැදැහැතියන් අහ‍ගෙන ඉන්නවා. කිසිම සද්ද බද්දයක් නැහැ. සමහරු නිදිකිරා වැටෙනවා. තවත් සමහරු බන අහනවා විතරයි ප්‍රතිචාරයක් නැහැ. මළ ගෙවල් පේලියක් සමග හත් දවසේ බණ සහ දානේ ගෙවල් පේලියක් ආව පසුගිය සති දෙකේ. එක් බණ ‍ගෙදරකදී විතරයි මම දැක්කේ අසන්නෝ ප්‍රබෝධයකින් බණ අහණවා. ඒ බණ ගෙදර හාමුදුරුවෝ බණ කිව්වේ නෑ. බණ සාකච්චා කලා.

බොහෝම දෙනා බණ ගෙවල් වල යන්නේ බණ අහන්න නෙමෙයි. හාමුදුරුවෝ බණට වඩිනවත් එක්ක “ මට පුංචි වැඩක් තියෙනවා ගිහිල්ලා එන්නම් කියලා බණ අහන එක මග අරිනවා. මල ගෙදර ස්තුති කථාව අවසන් වෙන්නේ බණට ආරාධණා කරන ගමන් “ අහවල් දවසේ බණ පසුදා දානයට එන්න ඕනි “ කියලා. ඒ නිවේදනයට අනුගත වෙලා බොහෝම දෙනෙක් දානේ ගෙදර යනවා. ;

කොහොම උනත් බණ ගෙදර ගිහින් තේ එකක් බීලා මූණ පෙන්නලා ෂේප් වෙනවා.
මේ වගේ බණ ගෙදරක මිදුලේ වට වෙලා සතුටු සාමිචියේ යෙදුන පිරිසක් අතරින් එක් අයෙක් කියු නස්රූදීන්ගේ කතාවක් අහගෙන ඉන්න ලැබුනා.

නස්රුදීන් පන්සල් යන කෙනෙක් නෙමෙයිනේ. එයා යන්නේ මුස්ලිම් පල්ලියට.
දවසක්දා නස්‌රුදීන් පල්ලියට යනවා. පල්ලියෙ මිදුලේ රැස්‌වෙලා ඉන්න මිනිස්‌සුන්ට බරපතල ‍දේශනයක්‌ දෙනවා පුජක තුමා. දෙවියන් ගැන. මේ කාලෙ දෙවියන් අපේ ලෝකෙට එන්නේ නෑ. ඒකට හේතු කාරනා පහදනවා.

මේ කාලයේ මිනිසුන්ට ධාර්මික සිතිවිලි නැහැ. නිතරම මිනිස්සු ඉන්නේ යක්‌ෂයා වැහිලා. දරුණු සිතිවිලි වලිනි හිත් පුරවා ගෙන. සර්පයෝ වගේ විෂයි. ඩිංග බැරි වෙන කොට දෂ්ඨ කරනවා. මේ හින්දා දෙවියෝ වුනත් අපේ ලෝකෙට එන්න බයයි.

නස්‌රුදීන් මේ මතයට එකඟ නැහැ. ඔහු ඊට තම බලවත් විරෝධය පෑවා. නස්‌රුදීන්ගෙ විරෝධය ගණන් නොගත්ත පූජකතුමා දේශනාව දිගටම කරගෙන ගියා. නස්රුදීන්ටත් තම අදහසට මායිම් නැතිව දේශනාව පවත්වා ගෙන යනවාට මරු කේන්තියි.

නස්රුදීන් පිරිස මැදට පැනලා පූජකතුමාට කියනවා “ දෙවියන් නොඑන හේතුව හරියටම දැනගන්න ඕනෙ නම් ඔය බොරු දේශනාව ටිකකට නවත්වනවකෝ “ කියල.
මෙහෙම දාපු සද්දෙට මෙල්ල වුන පූජක තුමා අහනවා නස්රුදීන්ගෙන් “ ඇත්තටම දෙවියන් මේ ලෝකෙට නොඑන හේතුව මොකක්ද ? කියලා.

නස්රුදීන් උත්තර බදිනවා .” දැන් ඉස්‌සර වගෙ නොවෙයි දෙවියො නොඑන්නෙ මේ කාලේ මෝඩයො අඩුයි නේ. දෙවියන් දකින........ “ කියලා. පූජකතුමාට හිතන්න ටිකක් වෙලා යනවා. හරියට වැටහෙන කොට දකින්නේ නස්රුදීන් අඩියට දෙකට පහු බහිනවා. යකා නැග්ග පූජකතුමා නස්‌රුදීන්ට බැණ බැණ නස්‌රුදීන්ව ලුහු බදිනවා. එනපොට හොඳ නැති බව තේරුම් ගත්ත නස්‌රුදීන් පහු බහින ගමන්ම තම සොයා ගැනීමේ ඉතිරි කොටසත් සම්පූර්ණ කළා.
“හා බොරුද කියල බලනවා - ඔය මෝඩයා හොයාගෙන යන්නේ දෙවියෙක් නෙමෙයිද කියලා ?.”

මාත් ඥාති නොවන බණ ගෙවල්වල ගියාම මූණ පෙන්වලා මාරු වෙනවා. එහෙම නූන බණ ගෙදරක හාමුදුරුවේ දේශනා කරපු බණක මතක සටහන් ආයෙත් දවසක කියවමු.


notes of imaginary

2014-01-27

මහමෙව්නාවේ සමාධි බුදු ඇස



මහමෙව්නාවේ සමාධි බුදු ඇස
රෑ වට සීතල පින්නෙන් පිරුණිද ? .
නැත්නම් සැබැවින් කදුලින් වැසුනිද ?.

පිරිතේ තෙවලා බණ පදයේ
සාදුකාරයේ හඩ මඩිමින්
අවි ගැටෙනා හඩ රණ දෙරනේ
දෝංකාර දී එයි නැගෙමින්

ඒ ඇසු බුදු ඇස
කදුලින් වැසුනිද ?.
නැත්නම් රෑ වට පින්නේ පිරුණිද ?.

හදේ ගලා ගිය නෙත් ගගුලේ
සීතල දිය රැලි ගල් ගැසෙමින්
නොමිනිස් කම් දළු දමා වැඩේ
මිනිසත් භාවය ගිණි තබමින්

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.




notes of imaginary

2014-01-26

නිදිමරන්නාට - රාත්‍රීය දිගය 2.




නිදිමරන්නාට -  රාත්‍රීය දිගය
ගමන් ගොස් වෙහෙසුනට - යොදුන දිගය
සද්ධර්මය නොදන්නාවු  - මෝඩයිනට සසර දිගය

දීඝා ජාගරතො රත්තී - දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලනං සංසාරෙ - සද්ධම්ම අවිජානත

ධමම පදය - බාල වග්ගය.

මේ විකාර පිරි අව - මංගල්‍ය  පිළිබද සටහන් දැන් අවසන් කලයුතුය.

 අව - මංගල්‍ය ලෙස මෙ විකාරය හැදින්වුයේ  මංගල්‍යයක් ලෙස මළ ගෙයක කටයුතු පවත්වන නිසාවෙනි. අගහරුවාදා   , සිකුරාදා අවසන් කටයුතු සිදුකිරීම බෞද්ධයන් අකමැතිය. සතියේ ඕනෑ දවසක උපදින්නට වරම් ඇති අපිට අවසන් කටයුතු සදහා මේ දවස් දෙක සුබ නැත.  මෙලෙස සිතන්නේ හිණ්දු අභාසයෙන් විය යුතුය. 

සමහර උදවියට සිරුර දින දෙක තුනක් නිවසේ තබා ගත යුතුය. නැත්නම් එය මදි කමකි . මළ ගෙවල් වල සංග්‍රහ කටයුතුද  බෞද්ධ අභාසයක් නොවේ. එයත් වෙනත් ආභාසයක්ය.

අව - මංගල්‍ය උත්සව සදහා දැන් ඇඳුම් මෝස්තර ද තිබේ. බෞද්ධයන් ට නම් ඇදුම් සුදු පාට ය.  ඒ අනුව, සුදු සාරි, සාය - හැට්ට, කමිස කලිසම් ඇඳ, ඒවාට ගැලපෙන සුදු සපත්තු - සෙරෙප්පු, හෑන්ඩ් බෑග් හා මාල - වළලු - කරාබු ආදිය ද පැලද යායුතුය. අනෙක් ආගමිකයෝ තම ආගම් අනුගමනය කරන ඇදුම් සකස් කර ගනු ලැබේ.

එමෙන්ම තවත් අළුත් මෝස්තරයක් වී ඇත්තේ බැනර්ය . ඒ නිසා මරණ ගෙදරට සහභාගි වනවා සේ ම බැනර් ගැසීමත් සිදු විය යුතු ය.  "බැනර් එක ගෙනාවාද?" කියා  නිවසියන් වුණත් අසන්නට ඉඩ තිබෙන නිසා ඒය නම් අමතක නො කළ යුතුය.   දැන් දැන් සමහර පුද්ගලයේ තම සංවේගය පලකරන බැනර් දෙක තුනක් නිවසේ තබා ගෙන තිබෙනවා වියමන් කරු දැක ඇත.  ඔවුන් මළ ගෙදර ගියත් නොගියත්  බැනර් එක ප්‍රදර්ශණයට යවීම නම් අනිවාර්යෙන්ම සිදු කරන්නේය.  බැනර් එකක් ගසා ගන්නට ඉඩක් නැති තරමට මළනිවසේ පරිසරය බැනර් වලින් විචිත්‍රවත්ව ඇත්නම්  , එයින් ප්‍රකාශිත වන්නේ මැරුණු පුද්ගලයා හා ඔහුගේ දරුවන් සතුව සැලකිය යුතු මහජන සම්බන්ධකම් ප්‍රමාණයක් ඇති බවය.  

ඒවායේ තිබෙන පාඨ ද කියවීම රසවත් ය. අවසන තඩි අකුරෙන් සංවේගය ප්‍රකාශණය කරන පුද්ගලයින් ගේ නම් සදහන්ය.
අවසන් කටයුතු  සිදුකරන අවස්ථාවේ  ස්තුති කතාව සමග හෝ ඊට පෙර .  මියගිය අය ජීවත්ව සිටියදී කරන ලද සමාජ සහ ආගමික සේවාවන්  සහ  උපන්දිනය  අධ්‍යාපනය ලැබු ආයාතන  රැකියාව , නිවේදනයක් ලෙස කියවන්නේ හමුදා භටයෙකු ගේ අවසන් කටයුතු වලදී කරන කියවන නිවේදනක් පරිද්දෙනි. මෙය අළුතින් එක්වු අංගයකි.  ඉන් පසු ආගමික කටයුතු පවත්වා පැවිදි අනුශාසනා ගිහි කතා අවසන් වන විට  මළහිරු බැස යන හැන්දෑයාම   ය එළඹි ඇත.

මේ හැම අනුශාසනා සහ ගිහි කතා ඉතාමත් කෙටියෙන්  පවත්වන බව පවසමින් ආරම්භ කරන අතර ඒවා පැය භාගයක් වත් දිගට ඇදී යන්නේය. 

සභාව ස්තුති කතාවට  යොමු වී එම  කතාවේ  අනිවාර්යෙන්ම  ආ ගිය දේශපාලන තක්කඩියන්ට  තැනක් හිමිය. සමහර විට සියළු කටයුතු වලට සහය දී මළ නිවසේ රැදී සිටි අසල්වාසීන් මේ කතාවෙන් නොදෑනිම හැලී ගොස් ඇත.

අපට මෙන්ම මේ කතා අසා සිටින විට මලවුනටද සිනහා පහල නොවන්නේ නම් පුදුම විය යුතුය.


notes of imaginary

2014-01-25

මළ ගෙදරක සිතිවිලි - 1


නාගරික සමාජය තුල වර්තමාණයේ අවමංගල අධ්‍යක්‍ෂවරු බිහිවී තිබේ. ඹවුන් ඉදිරිපත් කරන මිළගනන් හදුන්වන්නේ පැකේජයන් වශයෙනි. මේ පැකේජයන් මළසිරුර සැකසීම යොදන බහාලනය, අමුත්තනට ලබා දෙන සංග්‍රහ සුසානාගාරයේ සිදුවිය යුතු කටයුතු ආදී සියළු මළගෙදරක සිදුවිය යුතු සේවවාන් සදහා විවිධ මට්ටමේ මිළ නියමවේ. තෝරාගන්නා පැකේජය අනුව මළගෙදර කටයුතු සියල්ල ඔවුන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුවේ . මළවුන්ගේ සමීප ඥාතීන්ට සිදුකිරිමට ඇත්තේ පැමිනෙන්නන් පිළිගැණිම පමණි. මිහිදන්වන්නට හෝ අළුවි යන්නට යන ගමනේ සිරුරට කලින් ටයි කෝට් ඇදි අධ්‍යක්‍ෂවරයා ශොකාකූල මුණින් පිරිසට මග පෙන්වමින් යන බැවින් අවසන් ගමනට උදාරත්‍වයක්ද නොමිලේ ලැබේ.

තවමත් ගමට මේ සියළු අංග පැමිණ නැතත් මල්ශාලාකරුගේ භුමිකාව අවසන්ව නිවසේ ශාලයේ ප්‍රදර්ශණ භාණ්ඩයක්ව තැන්පත්වන සිරුර නැරඹිමට ( මට එසේ සිතේ) පැමිනෙන්නන්ට අහාර පානාදියෙන් සංග්‍රහ කිරිමේ ක්‍රමවේදයක් නිවසේ සිටින අව- මංගල්‍ය අධ්‍යක්‍ෂවරුන් ලහි ලහියේ සකස් කල යුතුවේ. පලතුරු බීම, තේ කෝෆි, බිස්කට් , දිවා රාත්‍රී අහාර-පාන ඇතුළු දෑ දින තුනහතරක් තිස්සේ සැපයීමේ ක්‍රමවේදයන් ගමින් ගමට වෙනස්වේ. බොහෝ ගම්වල මේ කටයුතු සදහා ස්වේච්චාවෙන් කටයුතු කරන පුද්ගලයෝ සිටිති. සමහර ගම්වල අවමංගල්‍ය සමිති සාමාජිකයන් මේ කටයුත්තට දායක වෙති. ඹවුන් මූලික ආයෝජනය කර ස්වේඡාවෙන් දායක වන පිරිස අතර වියදම සමසේ බෙදාගෙන මළගෙදර නිවසියන් එම බරපැනෙන් නිදහස් කර හරී.
ඒත් ඉහත කී සමාජ සම්බන්‍ධතා නැති ස්ථානවල තමන්ම ආහාර පිලිවෙල කර සංග්‍රහ කටයුතු කරයි, නැත්තම් සමීප ඥාතීන් එක් එක් ආහාරවේල සපයාදී දායක වෙති. සාමාන්‍ය සංග්‍රහ කටයුතු නිවසයෝම සංවිධාණය කර ගනී.. දැන් දැන් කොෆි බ්ලෙන්ඩරය, ජූස් එක්ස්ලේටරය වැනි උපකරණ සමග ආහාර පාන සැපයීමේ Out door Caterings service මේ කටයුත්ත සදහා දායකවන අයුරු ගම් වලද දක්නට ලැබේ. අවසන බිල්පත පමණක් ගෙවීමෙන් මේ අසීරු කටයුත්තෙන් සංවේගාප්‍රාප්ත නිවසියන්ට සැහැල්ලුවට පත්විය හැකිවේ.

දැන් ඒ කටයුත්ත සම්පූර්ණය. ප්‍රදර්ශණයේ ඊලග අංගය බැරැරෑම්ය.
අව - මංගල්‍ය උත්සවය අවසානයේ අසල්වාසීන්ගේ තක්සේරු වාර්තාවක් ඇතිවන බැවින් ඒ සදහා මුහුණ දීමට නිවසියන්ට සිදුවේ. මෙය මැරෙන්නට කලින්ම තමන් විසින්මත් නිවසියන් විසින්මත් කළ යුතු දෙයකි. තැනක් නොතැනක් බලා මළ ගෙවල ගොස් මුහුණ පෙන්වා ඇත්නම් මළ ගෙදර පැමිනෙන පිරිස වැඩිය. එ බැවින් එම කටයුත්ත ජීවත්ව සිටියදී පූරණය කල යුතුය. අහවල් දේශපාලනඥයා ජනාධිපති අගමැති සිරුරට මූහුණ දා අචාර කර ගියොත් එය ශ්‍රේෂ්ඨ ගනයට අයත් වී ලැබෙන ලකුණු වැඩිය. ප්‍රාදේශිය සභාවේ සභාපති හෝ මන්ත්‍රී කට්ටෙක් ආවොත් ආවොත් එයට ලැබෙන ලකුණු ප්‍රමාණය ඉතාමත් අඩුය .
අනෙක් අව - මංගල්‍ය උත්සව කටයුතු ගැන හෙටත් කතා කරමු.

 






notes of imaginary

2014-01-24

මා මළ පසු...................



වියමනක් පල  නොවු පසුගිය සති දෙක ගෙවුනේ මරණය පිලිබද අත්දැකීම් සමග එකතුව කාලය ගෙවා දැමීමටය. සීතල දේශගුණය වැඩිහිටි මරණ වැඩියක් අසන්නට ලැබුනේදැයි  මට සිතුනේ  දවසක් හැර එක් දවසකට දෙකක් අසල්වාසී මළගෙවල රැදී සිටිමට සිදුවීම නිසාය. වර්ෂයේ දෙසැම්බර් සහ ජනවාරිත් අප්රේල් මාසයත් වඩාත් මළ ගෙවල් ඇතිවෙන මාස බවට  පෞද්ගලික නිරීක්‍ෂණයක් මට ඇතිවී තිබිණි. මේ සති දෙකේ සහභාගිවු මළ ගෙවල් අතරින් සමීපතම ඥාතිවරයෙකු වියෝවීම වෙනුවෙන් සතියක්ම   කාලය වෙන්කිරීමට මට  සිදුවිය.
මැරෙන එකත් ජීවත්ව සිටින මරණකරුගේ කිට්ටුම ඥාතීන්ට පණයන වැඩක් ලෙස  මා එන යන අය අතර තනිවී සිටින විට මගේ සිතට දැනෙන්නට විය.  මරණයත් දැන් විවෘත වෙළද පලට විත් ඇතිවා සෙයකි. යාන්තම් හුස්ම පොද වා තලයට එක්ව සිරුරේ උනුසුම පහව යන්නත් මත්තෙන් හැඩවෙන්නෙ මල් ශාලාකරුගේ මොබයිල් දුරකතනයි. වහා පැමිනෙන මල්ශාලා කරු මළසිරුර සැරසිලි කටයුතු කිරීම කරා ඔහුගේ රූපලාවන්‍යාගාරයට ගෙන යයි.
එතැන් සිට ප්‍රභූත්‍වය  ඉහල නන්වන්නට පෙට්ටියේ මිල ගනන් තරග කරන්නට පටන් ගනී. මල්ශාලාකරු එකම බාල ලීයෙන් ( පන්තියක් මේ ලී වලට  නැත.) තැනු පෙට්ටියට ලන්සු තබයි.  පහලොස් දහයි විසිදාහයි මෙලෙස ගොස් මේක නම් හැට දාහයි................... ආදී වශයෙන් ඉහලට යන්නේ මරණකරුගේ ඥාතීන්ගේ තරා තිරම අදුනාගන්නට මල්ශාලාකරුවන්ගේ ඉව  පුරුදු පුහුණ වී ඇති නිසාය. ‍ඒත් පෙට්ටිය වෙනස් වන්නේ ස්ප්‍රෙ කර ඇති තීන්ත කෝර්ඩ් ගාන අනුව බව මිළදී ගන්නෝ නොදති. මල්ශාලාකරුගේ මල්වඩමත් උපකරණ කට්ටලයත් සමග නිවසේ විසිත්ත කාමරයේ ගරු සරුවට  තැන්පත්වන සිරුර දැන්  ප්‍රදර්ශණයට සුදානම්ය.
මට අදිකාරම් මහතා ලියු පොතක සටහනක්   අපැහැදිලි ලෙස සිහිපත්වේ.  එතුමාගේ අදහස නම්  අපි ට ඇති බලාපොරොත්තු කොටස් දෙකකි. එකක් මානසික සුවයවේ. අනෙක ගත පිනවන සැප පහසුකම් වලින් පිරුණ ජීවිතයක් ගත කිරීමයි. මිනිසුන් තුල මේ කාරනා දෙක සාර්ථක කරගැණිම සදහා තෘප්තිමත් සීමාවක් මේ ඇතියයි හැගීමක් නැති බැවින් සැමදා අතෘප්තිකරව ජීවත්වේ. මියගියවුන්ට හැගීමක් දැණිමක් ඇති නොවු වත් ජීවත්ව සිටින්නන්ට තමන්ගේ තත්වය විදහා පාන්නට මරණය මගුලක් වන්නේ මේ නිසායයි මම සිතිවිලි ගලපා ගත්තෙමි.
අපි මරණයට සූදානම්ව සිටී නම් අපේ මරණය විසිතුරු අව - මංගල්‍ය උත්සවයකට බදුන් නොවී නිවසේ විසිත්ත කාමරයේ  ප්‍රදර්ශණ භාණ්ඩයක්  නොවී නෑ හිතවතුන්ගේ සතුටු සාමීචී මැද අළුවි යන්නට හෝ  මිහිදන් නොවන්නට කටයුතු සම්පාදන කර ගත හැකිවේයයි මට සිතුනි.  සරල පෙට්ටියක අවම කාලයකින් අවම වියදමකින් මගේ ඥාතියාගේ  අවසන් කටයුතු අවසන් කරගන්නට සැලසුම් කිරීම මට නොහැකිවුවත් මා මලපසු මේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට ජීවත්ව සිටින මගේ අනුප්‍රාප්තික භාරකරුවන්ට  විධාණයක් දී තිබිය හැකිවේ. මම එසේ කරමි යයි තරයේ සිතා ගත්තේ මේ විකාරය කඩා බිද දැමීමට  මට හෝ  ආදර්ශයක්  විය හැකි බැවිනි.
මීලග වියමනෙන් මළ ගෙදරක සිරිත් විරිත් විකෘතිවී ඇති   අයුරු ගැන මට හිතෙන දේ පලකරමි.


notes of imaginary

2014-01-13

පත්තරේත් බ්ලොග් !.





දිණමින සිකුරාදාට බ්ලොග් උපුටා පලකරනව කියලා බ්ලොග් බ්ලොග් අස්සේ පුංචි සද්දයක් . පත්තරේ විකුණා ගන්න බැරිව ඉන්න ලේක්හවුසියේ නඩේ බ්ලොග්වල පල වෙන නිදහස් අදහස් වියමන් අරගෙන ප්‍රමෝෂන් එකකට සෙට් වෙන් හදනවා වෙන්න ඇති.
මොන පිස්සුද ? මේක දිගට යන වැඩක් වෙන්නේ නෑ පත්තරේ පලකරන්න බ්ලොග් තෝරා ගන්න බැරිව වැඩේ අතරමග නතරවේවි.

දේශපාලන කළමනාකාරිත්‍වයට යටවෙලා ඉන්න දිනමිණ වගේ පත්තර බ්ලොග්වල පල වෙන නිදහස් අදහස් පලකරයිද ?. දිනමිණ විතරක් නෙමෙයි හැම පත්තරේම නිදාගන්නේ ඔවුන්ගේ ස්වාමියන්ගේ මේසේ යට. හැම පත්තරයකටම අයිතිකාරයෙක් ඉන්නවා . නිදහස් අදහස්වලට වඩා අයිතිකාරයන්ගේ ඕනා එපාකම් තමයි පත්තරේ මනස තුල තියෙන්නේ .
දිනමිණේ පලකරගන්න වියමන් කරනවා නම් මේ කාලේ චින්තනයට කඩේ යන්න වෙයි. වෙනත් කාලයක් ආවොත් ඒ කාලේ බිහිවන බින්නයකට කඩේ යන්න සිද්ධ වෙයි.
පත්තරයක පලකරගන්න බැරි නිදහස් අදහස් අත්දැකීම්, විවිධාකාර වැදගත් අදහස් වගේම නොවැදගත් අදහස් ලේඛණ කිසිදු කැපිල්ලකින් කෙටිල්ලකින් තොරව උපන් හැටියේ බ්ලොග් අවකාශයේ පැතිරෙනවා.

සමහරු නම් එන්ජීඕ වලට කඩේ යනවළු. කොයි කයි කතන්දර වියමන් වුනත් කැමති කැමති අයුරින් මේවා තෝරාගෙන කියවන කණ්ඩායම් , කල්ලි ඇතිවෙලා තියෙනවා කියලා මට හිතෙනවා.

මමත් මගේ විවේකය ගෙවන්න 2009 තරම් කාලයේ ඉදන් වියමන් දෙකක් කරනවා. එකක් කඩුල්ල අනෙක මීදුම. මෑතක ඉදන් විවේකය සීමාවෙලා නිසා බ්ලොග් දෙකේම පල කරන්නනේ එකම ලිපිය. කියවන්නෝ වෙන වෙනම word press හරහා තවත් සමහරු bloggers ඇවිත් මාව කියවනවා. මගේ කල්පනා මේ වෙන කොට අන්කල් ටයිප් එකේ ඉදන් සීයා ටයිප් එකට මාරුවෙලා. අවුරුදු පහකට ඉස්සර තිබුන වේගය අද උපේක්‍ෂා සහිත මන්දගාමීත්වයකට පත්වෙලා.

මම කරන ලද වියමන් ආපහු හැරිලා කියවන කොට මටම හිතෙනවා වෙනස. දේශපාලනේ ගැන සමාජයෙන් ගලා එන ක්‍රියාකාරකම් ගැන මට දැනෙන විවේචනය අවුරුදු පහකට ඉස්සර දැනුන ආවේගයෙන් නෙමෙයි දැන් දැනෙන්නේ.
මම කාගේවත් උවමනාවට වියමන් නොකරන නිසා ආවේගයන් අවුරුදු පහකට කලින් හිටපු තැන පවත්වා ගෙන යන්න උත්සහායක් ගන්න ඕන කමක් නැහැ.
මේ හින්දා ඉතින් මම කියවපු ඇත්තෝ මාව අතහැර යනවා.

මම වගේම ජීවිතයේ හයි - ස්පීඩ් එකෙන් කොට කොටා යන ගමනට මාරුවෙන උදවිය මාත් එක්ක රැදෙනවා. ඒ අය සීමිතයි පරිගණකයත් එක්ක ඔට්ටු අල්ලන සීයලා බොහෝම අඩුයිනේ.
මට කියලා පාඨකයෝ මහ රොත්තක් නෑ දවසකට හැට හැත්තෑවක් විතර මාව කියවනවා. ඔය පත්තර මාව උපුටා දක්වනවාට වඩා ඔය කියවන උදවිය මට මදෑ කියලයි මම හිතන්නේ.

කොහොම උනත් ප්‍රවීනයයි කියා ගන්නා පත්‍තර පොරවල්වලටත් තමන්ගේ පැවත්මට බ්ලොග් ඕන උනා කියලා හිතෙන කොට වියමන් කරන්නනෙක් හැටියට මට සතුටුත් හිතෙනවා. 
මේ ලිපියට අදාල නැතිවුනත් රජරට ලේඛිකාවක වන ශාන්තිනී දිසානායක ඊයේ ඉරිදා දිවයින හා කල සාකච්ඡාවක් පලවෙනවා. 
ඒක මෙතනින් කියවන්න. කොළඹත් අපිත් අතර වෙනස හොදින් ඈ පැහැදිලි කරනවා. බ්ලොග් ලියන්නන් මේ අන්තර දෙකේ සිටින්නන්. ඔවුන්ගේ අදහස් පත්තර කාරයින්ට වඩා නිදහස්.
ඈ මෙහෙම කියනවා. “...............................මම ගොවි ජනපදයක ජීවත් වෙන ගැහැනියක්‌, මවක්‌, බිරිඳක්‌ ලෙස මා වෙත පැවැරී තිබෙන අති විශාල කාර්යභාරය තුළ අත්පිටපත ප්‍රකාශකයන් වෙත තැපැල් කර යෑවීමෙන් පසු සාහිත්‍යය සම්බන්ධයෙන් මගේ භූමිකාව තාවකාලිකව නිමා වෙනවා. සෝදුපත් බැලීමත්, මුද්‍රිත පොත් දහය තැපෑලෙන් ලද විට දරුවෙකු ප්‍රසූතියට පසු විලි නරඹන මවක්‌ මෙන් නරඹා සතුටු වීමත් පමණයි, මට කළ හැක්‌කේ. මා ලද කිසිදු සම්මානයක්‌ මා අපේක්‌ෂා කළ ඒවා නොවේ. 
අනෙක්‌ අතට කෘතිය නිමකිරීමෙන් පසු එය ජනගත වෙනවා. කර්තෘ සම්මාන කලකෝල හල ආදියට මැදිහත් විය යුතු නෑ. මම සැමවිටම වගබලා ගන්නෙ මගේ නිර්මාණයට උපරිම සාධාරණත්වය ඉටුකිරීමටයි. එහිදී මා අන් කිසිදු කරුණක්‌ හෝ කිසිදු පුද්ගලයෙක්‌ පිළිබඳව සැලකිලිමත් වන්නේම නෑ. එසේ කළහොත් එය මගේ කෘතියට මා කරන බලවත් අසාධාරණයක්‌.” 
ඉතින් බ්ලොග් ලියන අපිත් ඈත් අතර වෙනසක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද ?

notes of imaginary

2014-01-07

රටකට යන එන මං තිබිය හැකිද ?


ජනතා විමුක්ති පෙරමුන - දේශපාලන මණ්ඩලය පහේ ශිෂ්‍යත්‍ව විභාගය පිලිබදව දරන අදහස පිලිබදව නිකුත් කර ඇති නිවේදනයක මෙසේ සදහන් විය.
…………………………………………………………..අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පසුගිය 19වැනි දින මාධ්‍ය හමුවක් පවත්වා 2016 වසරේ සිට 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බව ප‍්‍රකාශයට පත්කිරීමත් සමග රට තුළ විශේෂයෙන් කුඩා දරුවන් සිටින දෙමව්පියන් තුළ බරපතළ ගැටලූකාරී තත්වයක් උද්ගත වී තිබේ.
අමාත්‍යවරයා විසින් මෙම ප‍්‍රකාශය සිදුකිරීමට පදනම් කරගනු ලැබ ඇත්තේ, පසුගිය කාලයේ පවත්වන ලද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් සහ අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගෙන් එල්ල වූ විවේචනයන්ය. කෙසේ වුවද මෙම කණ්ඩායම්වලින් විවේචන එල්ල වූයේ විභාගය අතිශය තරඟකාරී වීම, විභාගය පවත්වන ආකාරය සහ ප‍්‍රශ්න පත‍්‍රවල ආරක්ෂාව සහතික කිරීමට ආණ්ඩුව අසමත්වීම යන කරුණු පිළිබඳවය. නැතහොත් පහසුකම් සහිත පාසලකට සිසු සිසුවියන්ට ඇතුළත් වීමට අවස්ථාව ලබා නොදිය යුතුය යන්න හෝ විභාගය සමත් අඩු ආදායම්ලාභී සිසුන්ට ශිෂ්‍යාධාර පහසුකම් ලබා නොදිය යුතුය යන්න පිළිබඳව නොවේ.
ආණ්ඩුව කළ යුතු වන්නේ, දිළිඳු හා අඩු පහසුකම් සහිතව අධ්‍යාපනය ලබන දක්‍ෂ සිසුන්ට වැඩි පහසුකම් සහිත පාසැල්වලට ඇතුල්වීමට ඇති අවස්ථාව අහිමි කිරීම නොව දැන් පවතින ශිෂ්‍යත්ව ක‍්‍රමයේ වැරදි රටාවන් නිවැරදි කිරීමය. ඒ සඳහා දෙමව්පියන් ඇතුළු විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ගෙන ඒ අනුව කටයුතු කිරීමය.
පාසල්වල පහසුකම් අතර විෂමතා එලෙසම තිබියෙදී ජනප‍්‍රිය පාසල් යනුවෙන් පාසල් කොටසක් තවදුරටත් නොමැති බවට ආණ්ඩුව විසින් ප‍්‍රකාශ කිරීම වැල්ලේ හිස සඟවාගැනීමට වැඩි දෙයක් නොවන අතරම ජනප‍්‍රිය පහසුකම් සහිත පාසල් අතළොස්ස වරප‍්‍රසාද ලත් කොටසකගේ භුක්තියට සවිකර ගැනීමේ තක්කඩි පියවරක්ද වේ.
මේ තත්වය තුළ, මහජනතාවගේ අදහස් ලබාගන්නා වූ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නිර්දේශ කරනු ලබන විද්‍යාත්මක විසඳුමක් ලබාගත යුතු බවට අවධාරණය කරන අපි එය දිළිඳු හා අඩු පහසුකම් මැද ඉගෙන ගන්නා දක්‍ෂ දරුවන්ට පහසුකම් සහිත පාසලක ඉගෙනීමට ඇති අවස්ථාව අහිමි කරන්නක් නොවිය යුතු බවද අවධාරණය කරමු. එසේම සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිතවලට බලපාන මෙම හිතුවක්කාරී තීන්දුව වහා අහෝසි කරන ලෙස අපි ආණ්ඩුවට දැඩිව බලකර සිටිමු.
අමාත්‍යතුමා පවසන්නේ මෙවැනි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවයි
2014 වසරේ සහ 2015 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණය පැයක කාලයකට සීමාවූ එක් ප්‍රශ්න පත්‍රයක් පමණක් ලබාදිය යුතු බවට ජාතික අධ්‍යාපන කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.
ශිෂ්‍යත්ව සඳහා වූ නව නිර්දේශ එම කොමිසම මගින් ජනාධිපති ‍ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලිය තුළ මෙම නිර්දේශය ද ඇතුළත්ව තිබේ.
මෙම නිර්දේශවලට අනුව නව ශිෂ්‍යත්ව විභාගය පැවැත්විය යුත්තේ 2014 – 2015 වර්ෂවල පමණකි
2015 න් පසුව මෙම පරීක්ෂණය තවදුරටත් පැවැත්විය යුතුද යන්න පිළිබඳව එම වර්ෂයේදී පවත්වනු ලබන ශිෂ්‍යත්ව පරීක්ෂණය අවසන් වූ පසුව තවත් නිර්දේශයක් ඉදිරිපත් කරන බවටද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ජනාධිපති ‍ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් වෙයි.
* මෙම ශිෂ්‍යත්ව පරීක්ෂණය එක් පැයක කාලයකට සීමා වන එක් ප්‍රශ්න පත්‍රයක් විය යුතුය.
මේ වන විට සෑම වර්ෂයකම අගෝස්තු මාසයේ විශේෂ වශයෙන් පවත්වන ශිෂ්‍යත්ව පරීක්ෂණය වර්ෂයේ අවසන් වාර විභාගය සමග පවත්වන පරීක්ෂණයක් බවට පත්කළ යුතුය.
එය අ.‍පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ස්වරූපයේ පරීක්ෂණයක් නොවී ස්වභාවයෙන් හා අගයෙන් වර්ෂ අවසානයේ පවත්වනු ලබන සාමාන්‍ය පරීක්ෂණයකට වැඩියමක් නොවන බව දරුවන්ට හැඟී යන පරිදි සංවිධානය විය යුතුය.
දැනට පවත්නා ශිෂ්‍යත්ව පරීක්ෂණයේදී භාවිත කරන අන්තර්ගතය වෙනුවට පහත දැක්වෙන අන්තර්ගතයෙන් යුතු පරීක්ෂණ පත්‍රයක් නිර්දේශ කෙරේ.
ශිෂ්‍යයාගේ තදාසන්න පරිසරය ඇසුරු කොට ගත් සරල මාතෘකාවක් හෝ විස්තරයකට අදාළව කෙටි රචනාවක ප්‍රධාන කොටස් විය හැකි වගන්ති කිහිපයක් නිර්මාණය කරන්නට දරුවා යොමුකිරීම.
පරීක්ෂණ පත්‍රයෙහි මුද්‍රිතව ඉදිරිපත් කරන සරල සිද්ධියක් අධ්‍යයනය කරමින් පිළිතුර වශයෙන් නිවැරදි වූත්, සාධාරණ වූත්, තර්කානුකූල වූත් ප්‍රායෝගික ඵලදායිතාවයෙන් යුක්ත වූත් තීරණයක් ගන්නට දරුවා යොමුකිරීම.
මෙම සිද්ධිය අවුරුදු 9-11 වයස් සීමාවේ සිටින දරුවකු ශ්‍රී ලාංකීය සංස්කෘතික වපසරිය තුළ මුහුණ දෙන එම වයසේ දරුවකුට පහසුවෙන් වටහාගත හැකි සිද්ධියක් විය යුතුය. යම් කාර්යයක ක්‍රියා පිළිවෙළ පිළිබඳ අවුරුදු 9-11 වයසේ සිටින දරුවකුගෙන් තර්කානුකූලව අපේක්ෂා කළ හැකි මට්ටමේ තීරණයක් ලබාගත හැකි සිද්ධියක් වීම වඩා වැදගත්ය.
සරල ලිඛිත ජේදයක් පැහැදිලි කරමින් වාචිකව (තමාගේ වචනවලින්) පවසන ආකාරයට ලියා දැක්වීමට දරුවා යොමු කිරීම සහ (ආ) ජේදයක් පමණ වන වාචික ප්‍රකාශයක් ගද්‍ය ‍ලේඛන ෙශෙලියෙන් ඉදිරිපත් කරන්නට දරුවා යොමුකිරීම.
මෙහිදී පැවරෙන ලිඛිත ජේදය ද වාචික ප්‍රකාශනයද විෂයානුබද්ධ නොවන මෙන්ම එදිනෙදා ප්‍රායෝගික ජීවිතය සමග අත්‍යන්තයෙන් බැඳුනු අන්තර්ගතයකින් සමන්විත විය යුතුය.
අදාළ වයස් කාණ්ඩයේ දරුවකුට හුරු පුරුදු වචන මාලාවක් භාවිත කිරීම කෙරෙහිද අවධානය යොමු විය යුතුය.
1.3.4 තේරීම, කාණ්ඩ කිරීම, ගණිත රටා හා ප්‍රායෝගිග ජීවිතයේදී අදාළ වන මිනුම්ද දෘශ්‍ය රටාවන්ද හඳුනාගැනීම් පිළිබඳ නිපුණතාවන් මැන බැලෙන සරල දක්ෂතා පරීක්ෂණයක් මගින් සම්බන්ධතා වටහා ගන්නට දරුවා යොමුකිරීම.
2014-2015 වර්ෂවල පරීක්ෂණය පැවැත්වෙන ආකාරය හා අපේක්ෂිත සාධනය ළඟාකර ගැනීම පිළිබඳ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සුපරීක්ෂාකාරීව සිටීමට අපේක්ෂා කරයි.
1.5 මෙම පරීක්ෂණයේ අරමුණ විය යුත්තේ අනාගත ජීවිතයේදී ඉගෙනීම සඳහා දරුවා තුළ ඇති විභවතාව ඇගයීමයි.
වයස අවුරුදු 9-11 පරාසයේ සිටින දරුවකු තුළ පැවැතිය යුතු මට්ටමින් පහත දැක්වෙන නිපුණතාවන් ප්‍රධාන කොටගත් කාර්ය සාධනයක් ඇගයීමට ලක්කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.
නිවැරදි භාෂා භාවිත හැකියාව, සංදේශනය තුළින් අවබෝධයක් ලැබාගැනීමේ හැකියාව, අවකාශ චින්තනය ´විශ්‍ලේෂණ හා සංස්‍ලේෂණ හැකියාව, රටා හඳුනාගැනීමේ හැකියාව, අනුවර්තන හැකියාව, අනුයෝජන හැකියාව, පරිසර හඳුනා ගැනීම හා පරිසරයට සංවේදී වීම, පරිකල්පන හැකියාව.
මෙම පරීක්ෂණ ක්‍රමවේදය සිංහල හා ද්‍රවිඩ භාෂා මාධ්‍ය දෙකම සඳහා භාවිත කළ හැකිය.



පහ ශිෂ්‍යත්‍ව විභාගය දෙමවුපියන් සහ දරුවන් බලවත් පීඩනයකට පත්තරන විබාගයකි. විභාග ක්‍රමයන් නිසා යාන්ත්‍රික දරුවන් බිහිවන බව නිරූපනය කරන බව සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍යයේ තේමාව වන බැවින් “ විභාගේ අභාගේ “ ගීතය වියමනට පෙර පලකලෙමු.
සෑම දේශපාලන පක්‍ෂයක්ම විරෝධය පලකරනු විනා විකල්ප යෝජනා ඉදිරිපත් කරන බවක් දක්නට නොලැබේ. විරෝධයත් සමග විකල්ප යෝජනාත් ඇත්නම් විරෝධය අපට හදුනා ගත හැක.
පාසල් දහසක් සංවර්ධණය කරන බව පවසන රජය එම පාසල් දහස සංවර්ධණය කර පහ වසර විභාගයෙන් සමත්වන දරුවන් එම පාසල් වලට යොමු කරන තැනකට විත් විභාගය පිලිබද තීරණයකට එළබිය යුතුය. එසේ නැතිව දෙමව්පියන්ට අනාගතයේ ඇතිවන ජනප්‍රිය පාසල් පෙන්වා වර්තමානයේ කොකා පෙන්වීමට යාම සුබ නැත.
ඉදිකරනවායයි පවසන පාසල් තුල ජනප්‍රිය යයි කියා ගන්නා පාසල්වල පහසුකම් ඇතිවීමට තවත් ශත වර්ෂයක්ම යා හැකිය..
එය පසක්වීදෝ ආණ්ඩුව වෙන දෙයක් වෙද්දාවේ බාල්දියක් පෙරලා ගන්නේ මොනවටද යන ස්ථාවරයෙන් පහ වසර විභාගය හකුලා ගත්තේය. මෙවැනි මඩේ හිටවු ඉන්නක් මෙන් වැනෙන ප්‍රතිපත්ති තුලින් රටකට යන එන මං තිබිය හැකිද ?
notes of imaginary

2014-01-06

විභාගේ තමයි අපේ අභාගේ

විභාගේ විභාගේ
විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ//
විභාගෙ විභාගේ ..
[විහිලුවකට හිනාවකට
විනෝදෙකට වෙන වැඩකට]//
නෑ වෙලාව විභාගේ//
එකේ ඉඳන් දොලහ දක්ව
ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගේ//
ඉරක් හඳක් ගහක් කොළක්
මනිස්සයෙක් පේන්නෙ නෑ
ඔහු සැපදුක අහන්නෙ නෑ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ
විභාගේ…
අම්ම තාත්ත අයිය අක්ක
නංඟි මල්ලි විතරක්යැ
නැන්ද මාමා බාප්ප මහප්ප
යහළු යෙහෙළියො අහල පහල අය//
‘කොහොමද ලමයො විභාගේ?’
‘තව සුමානෙකින් ප්‍රතිපල එයි’
කොහොමද විභාගෙ ප්‍රතිපල
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
[බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල]//
විභාග ප්‍රතිපල වසංගතේ
ඒ විතරක්යැ
විද්‍යා‍ විෂයද කලාවද
කලාව කිව්වොත් මලා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න
කව්ද උඹ දිහා බලන්නෙ ?
වි‍ද්‍යා‍ව‍යි‍ ගනන් ගන්නෙ
අඩු ගනනේ වාණිජවත්
‘ඉතින් පුතේ නම්බුවක්නෙ
පේල් උනත් වි‍ද්‍යා‍වෙ‍න්‍ විභාගෙ කොරල’
විභාගෙ විභාගේ ..//
නා‍ට්‍ය‍ය‍ -සෝමලතා සුබසිංහගේ විකෘති
notes of imaginary

2014-01-04

මෙයට නමක් තියාපියෝ .




දැන් ලංකාවේ බන්ධනාගාරගත වීම හිරිහැරයකට කාරනාවක් නොවේ. අතමිටේ මුදල් ඇත්නම් හිර ගෙදර වුවත් තමන්ගේ ගෙදර වගේ සිටිය හැකිය. මේ අද ( ජනවාරි 4 ) වෙනිදා දිවයින පලකර තිබු ප්‍රවෘත්තියකි.
“......................"වැට්‌ සිරදඬුවම" අවසන් වූ පුද්ගලයා වෙනුවෙන් බන්ධනාගාරයේ උත්සවයක්‌.

රුපියල් කෝටි හාර සියයේ වැට්‌ බදු වංචාව සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටි පුද්ගලයකුට ඊයේ (03 දා) නිදහස හිමි වීමේ ප්‍රීතිය සමරමින් ඉහළම බන්ධනාගාර නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ කෝවිල් වාට්‌ටුවේ විශේෂ උත්සවයක්‌ පවත්වා තිබේ.

මාස 13 ක දඬුවම් කාලය නිමවීමෙන් පසු මෙසේ නිදහස හිමි වී ඇත්තේ එම මහා පරිමාණ වැට්‌ බදු වංචාවේ ප්‍රබලයකු වූ සෙල්ලයියා සුබ්‍රමනියම් නමැත්තකුටය.

ඔහු නිදහස්‌ වීම නිමිත්තෙන් ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ කෝවිල් වාට්‌ටුවේ පැවැති උත්සවය අතරතුර ඉහළ බන්ධනාගාර නිලධාරියා ඇතුළු පිරිස්‌ එක්‌ව සුබ්‍රමනියම්ට සෙත් පතා එහි ඇති කෝවිලේදී විශේෂ පූජාවක්‌ද පවත්වා ඇත.

එම පූජාවෙන් අනතුරුව ඊයේ 3 දා පෙරවරු 8.30 ට පමණ වන විට මොහු නිදහස්‌ කිරීම සඳහා අධිකරණය වෙත රැගෙන යැමට බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාර ගේට්‌ටුව වෙත රැගෙන ඒමට කටයුතු කළ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ පැවැසීය. .....”
කුඩුකාරයින් කප්පම් කරුවන් මිණිමරුවෝ සහ සල්ලි විසිකලහැකි ඕනෑම දඩුවමක් ලැබු වරදකරුවෙකුට මුදල් විසුරුවා ගත හැකිනම් හිරගෙදරත් නිවසට වඩා සුපිරි ස්ථානයක් කර ගත හැක.

අපි නම පමනක් වෙනස් කරමු . බන්ධනාගාර දෙපාර්තමේන්තුව - සංස්ථාවක් හෝ පෞද්ගලික සමාගමක් බවට පත්කර ජේලර්ලා නියාමකවරු වේටර්ලා රූම් බෝයිලා බවට පත්කරමු.

notes of imaginary

2014-01-02

sex



 

කිසියම් කාල නියදියක් තුල Sex යන අකුරු තුන පරිගණකයෙහි වැඩිම වාර ගණනක්‌ ටයිප් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ජනයා බව ‍ගිය සතියේ පලවිය.
පෘථග්ජන හැම මිනිසෙක් තුළම ගෝත්‍රික ලක්‍ෂණ යටපත්වී තිබේ. 
එම ලක්‍ෂණ සමූහය වනචරකම්, කෘරකම්, බඩජාරිකම් යනාදියෙන් සමන්විතය. මිනිහෙක්‌ උගතකු වූ තරමට මේ ප්‍රාථමික ගති ලක්‍ෂණ යටපත් කරගෙන ශිෂ්ට සමාජයේ ලකුණු තම තන්ගේ ජීවිතවලට ආදේශ කර ගැණිම ශිෂ්ඨත්වයේ එක් ලක්‍ෂනයක්ය.
එහෙත් සමහර විට, සමහර අයට යටපත්වූ එම ලක්‍ෂණයන් වැටවල් සහ තාප්ප කඩාගෙන ඉස්‌මතු වන්නේය
පසුගිය දාක අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයෙකු වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකරගෙන වැසිකිලියේ සිදුවන කාර්යන් නිරීක්‍ෂණය කරන්න යාමෙන් රිමාන්ඩ් ගතවන්න සිදුවු පුවතත් පලවිය. කලකට පෙර මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකු රෝගී තරුණියක දූෂණය කර ඉහළ මාලයකින් පහළට ඇද දමා මරාදැමීමේ සිද්ධියද සිහිපත් විය. මේ රෝගය වෛද්‍යවරුන්ට පමනක් නොව නීතිඥවරුනට ගුරුවරුනට අමන සමාජ සේවකයනට ( දේශපාළුවන්ට ) සහ වෙනත් වෟත්තිකයන්ටද බෝවී තිබු බව පසුගිය කාලයේ පලවු තිබු මාධ්‍ය වාර්තා පෙරලන විට යලි සිහිපත් කර ගත හැක.
පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගය ලිංගික කාර්යයන් හැදින්වීම සදහා සිංහල භාෂාවේ නොයෙක් සුමට වචන තිබේ. අසන , කියවන කාටත් පිළිකුල් සහගත නොවන අයුරින් මේ වචන භාවිතා කල හැකිය. එහෙත් සමහරුනට එක්වරම සිහිපත් වන්නේ අසන්න අප්‍රිය වචනයන් වුවත් සිහි බුද්ධියෙන් යුතු ඇත්තෝ මේ වචන එක්වරම වමාරන්නේ නැත. සමහරු මේ වචන භාවිතයේ යොදා ගන්නේ කිසිදු හිරිකිතයක් හෝ නැතිවමය.

මේ භාෂාවේ වචන හසුරුවන හැටි පිලිබවද සිහිපත්වු අන්දමය. වචන හසුරුවන අන්දමින් හසුරුවන පුද්ගලයා ගැන චිත්‍රයක් අසන බලන ඇත්තන්ට මවා ගත හැක.
පහ වසර, අ.පො.ස. සා.පෙළ, උසස්‌ පෙළ පමණක්‌ නොව විශ්ව විද්‍යාල උපාධියද සමත් වූ නමුත් පුද්ගලයින්ට විනීතභාවය සහ ආත්ම සංයමය යන විභාග දෙක සමත් වන්නට බැරි වීම වර්තමාන සමාඩය තුල දක්නට ඇති එක් ලක්‍ෂණයක්ය.
මොවුන් ජන සමාජය පිලිබදව අවබෝධයක් ලබා ගෙන නැතිවීමත් මේ අසම්මත ක්‍රියාවලින් පිලිබිමු වන කාරනවක්ය. එසේ අවබෝධයක් ලබා ගැණිමට අපේ අධ්‍යාපන තරගය තුල ඉඩක් ලබා නැත.

notes of imaginary

2014-01-01

කුමටද සොබනියෙ කදුළු සලන්නේ ?.


කුමටද සොබනියේ කදුළු සලන්නේ ................ විනෝද චාරිකාවක, සහෘද සාදයක  මේ ප්‍රශ්නය  මතු නොවන අවස්ථා නැති තරම්.
නරි බෑනා නාට්‍යයයේ එන ජනප්‍රිය ගීතයක්. එක්ක අළුත් අවුරුද්දට අළුත් සිතිවිල්ලක්.
අද ජනවාරි පලවෙනිදා.
අද උදේ පාන්දරම මට  president ,  ගෙන්   sms  එකක්  ?
මට හෙන ජොලි.

“.......................Oba samata
suba nawa wasarak weva !’
Ungal ellorukum
iniya puththadu vaalthukkl !
Wish you all a
very  Happy new year! ......................

උන්නැහේගේ ප්‍රර්ථනාව ලැබුනම reply එකක් අරින්න බැළුවා.
අළුත් අවුරුද්දේ මගේ නැවුම් ප්‍රාර්ථනාව උඩු හුළගට කැරකිලා ගියා. Message   එකට   Reply  කරන්න බැරිව.
ඔය වගේ හිතවත් අය තමයි අපිට ඉන්නේ .

අපිට වෙන සංගදි  මේ ගීතය වගේ නොවුනත් මේ වගේ පූච්චානම් බස් අහලාම  අපේ  ඹළු පිරිලා. නරක්වෙලා. ඔය දේශපාලක උන්නැහේලා වේදිකාවේ කියන කතා සිහිපත් කරමු. උන්නැහේලා කට ඇරියොත් කියන්නේ මේ සිංදුවනේ ?.

ආශ්චර්ය කරා යන ගමනත්  මේ සිදුවේ තේමාව නේ ...........මට හිතුනා

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම් ........................................

හේතුව  දැන් හිතාගන්න පුළුන්නේ.

හවස් වෙනකම් ඉන්නේ නැතිව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක සෙට් වුනා ගිණි දවල්ම. ගානට පදම් වුනා විතරයි මතක් වුනා සොබනිව...................................

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ

සද පායන කල ගලබඩ ඉදගෙන
ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
ඔබගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්

සොදුරියෙ ආදරබස් දෙන්නම්
සොදුරියෙ ආදරබස් දෙන්නම්

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ

තණ අග දිලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇග දෝවන්නම්
ඔබෙ ඇග දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබෙ හිස සරසන්නම්
ඔබෙ හිස සරසන්නම්

කොමලියෙ ආදරබස් දෙන්නම්
කොමලියෙ ආදරබස් දෙන්නම්













නරිබෑනා  -  දයානන්ද ගුණවර්ධන යන්ගේ

මුල් ගායනය: ජය ශ්‍රී චන්ද්‍රජිත්

https://www.youtube.com/watch?v=Jmj_JqxY1hA
කාලයක් යන කොට උතුරේ ඇත්තන්ට එපා කියන ජාතික ගීතයට මේ ගීතය ආදේශ  කරන්නත් දවසක් ඒවී. 

notes of imaginary