Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Friday, August 02, 2024

විරුවාරදය හා පුනරුදාව





















උදන් ප්‍රනාන්දු

 ගිය සිකුරාදා, එනම් ජූලි 21 වැනිදා ලංකාවට විශේෂ දවසක් සිදු විය. ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශ කිරීම. වරක් ලේනෙක් ද තව වරක් දඬුලේනෙක් ද ඊටත් පසු විසි දෙකකින් ද ජනපතිවරණය පිළිබඳ ව යම් යම් බාධා පැමිණෙතැයි බොහෝ දෙනා සැක සංකා පළ කළ හ.

විරුද්ධ පාක්ෂික දනා, ලේනා ගසට ආවිට ඒ පිටුපස ද, දඬු ලේනා පැමිණි විට ඌ පිටුපස ද පන්න පන්නා සිටියහ. කෙටි දුර ධාවන පුහුණුකරුවෙකු සේ විරුද්ධ පාක්ෂික ධාවකයන්ට මඳකදු වෙහෙස නිවන්නට ඉඩ නොදී කපටි නරියා විසි දෙක මස් කට්ට ඈතට ඈතට විසි කළේ ය. හති හලමින් ඒ පිටුපසද විරුද්ධ පාක්ෂික ධාවක රෑන දිවී ය. මෙසේ ඒ අතට මේ අතට විරුද්ධ පාක්ෂිකයන් හතිලණ තුරු දුවන්නට සලස්වා, අවසානයේ ජනපතිවරණයේ දින වකවානු ඒ පිළිබඳව වගකීම දරන කොමිසමේ ලොක්කා ප්‍රකාශ කළේ ය.

එය දැනගෙන හෝ එසේ නොවී, ඊට අහවලා ඉදිරිපත් වන බවට හැඟවෙන පෝස්ටර කොළඹ පුරා ඇළ වී තිබිණ. මැතිවරණ ලොක්කා අදාළ ප්‍රකාශය කළ ගැටස් කොලේ මුද්‍රණය වී එහි තීන්ත වේලෙන්නත් කලින් අහවලා කුකුලත් අතේ අරන් ඇප මුදල් තැන්පත් කරන්නට ගියේ ය. මේ මුළු පරිච්ඡේදයේම තිබුණේ ක්‍රියාන්විතයක හැඩ රුව ය.

ඊට ටිකක් වෙනස් ක්‍රියාන්විතයකුත් සිකුරාදා දවල් වෙනකොට ම පටන් ගනු දක්නට ලැබිණ. ඒ බුකිය පුරා පුනරුදේ කියා පෝස්ටු ඇලවීම. ඇත්තටම මේ කෙරුවාව අදාළ පක්ෂයේ පරණ පුරුද්දකි. ඊට ඔවුන්ටලොකු දක්ෂතාවයක් තිබුණේ දන්න කියන කාලෙක සිටන් ය. මා කුඩාවෙකු කාලේ පාසැල් බසයේ ඉස්කෝලේට පානදුර ඉඳන් කොළඹට යන විට පාරේ දෙපැත්තෙ ගසා ඇති පෝස්ටර බැලීම මගේ විනෝදාංශයක්විය. අද බොහෝ දුරට කයිවාරුව තම පක්ෂයේ විශේෂ ප්‍රාගුණ්‍ය ලෙස සංවර්ධනය කරගෙන තිබුණත්, ඒ කාලේ ඔවුන්ගේ අද්විතීය කුසලතාවය තිබුණේ පෝස්ටර් ඇඳීම සහ ඇලවීම ලෙස ය.
හැත්තෑව දශකයේ අග හා අසූව දශකයේ මුල කාලයේ ජීවත් වූ අයට මතක ඇති, රත්මලානේ ගාලු පාරේ, වීදුරු ෆැක්ටරිය හා ජිල්-මයුරා හන්දිය ගාව තිබුණු ඉතාමත් උස හා දිග තාප්ප සම්පූර්ණයෙන්ම වැසෙන සේ ගැහෙන අතිවිශාල පෝස්ටරය. ඇත්තෙන්ම එය පූර්ව බිල්-බෝඩ් යුගය වූවත්, එම පෝස්ටර්වල දිග පළල හා ගුණරුව ගැන මතක් කිරීමේ දී සිහිවන්නේ අද කාලේ තිබෙන විශාල වියදමක් දරා හැදෙන බිල් බෝඩයකට වඩා එම යෝධ පෝස්ටර් ආකර්ෂණීය ඒවා වූ බව යි. අද කයියෙන් රට හදනවා වගේ එදා ඔවුන් උත්සාහ කළේ රට පුරා තාප්ප වැසෙන්නට පෝස්ටර අලවා රට වෙනස් කිරීම යි. සන්නිවේදන මාධ්‍යයක භාවිතාවක් ලෙස මෙම පෝස්ටර් කලාව දේශපාලන ව්‍යාපාරයක කේන්ද්‍රීය සංඝටකයක් ලෙස යොදා ගැනීම අප අගය කළ යුතු දෙයකි.

 පුනරුදේ පුනරුදේ යන්න පුනරුච්චාරණය කරමින් බුකිය පුරා ගැසුණු පෝස්ටු ද මා සළකන්නේ දශක කිහිපයකට පෙර තමන් විසින් භාවිතා වූ පෝස්ටර් කලාව තාක්ෂණයේ දියුණුවත් සමඟ යාවත්කාලීන කරගෙන ඩිජිටල් අවකාශයේ පාප්ප බාල්දි හා බුරුසු රැගෙන රාත්‍රී පමණක් නොව පැය විසි හතර පුරා ම එදා සිටි පෝස්ටර අඳින හා අළවන හමුදාව වෙනුවට පෝස්ටු උඩුගත කරන යතුරු පුවරු රණකාමීන් පිරිසක් ස්වේච්ඡා හෝ කුලී පදනම මත බඳවා ගැනීම යි.

මීට දශක කිහිපයකට පෙර, අඳින ලද පෝස්ටර් බන්ඩල, පාප්ප හා බුරුසු ඉතාමත් සැලසුම් සහගත ව සෑම පළාතක් ම ආවරණය වන පරිදි එක රැයින් බෙදා හැර, ඉන් අනතුරුව එළඹෙන උදයේ ඒවා තාප්පවල උණු උණු පාප්ප සමග අපගේ දෙනෙතට හසුවන පරිදි කරන සුවිසල් ක්‍රියාන්විතය මෙන් ම ය මේ කාලයේ ඩිජිටල් අවකාශයේ පෝස්ටු උඩුගත වන්නේ. උඩ සිට පහළට යන මිලිටරි අණ-දම හෙවත් චේන් ඔෆ් කමාන්ඩය මෙහි භාවිත වන කළමනාකරණ ක්‍රමය යි. මධ්‍යගත යාන්ත්‍රණයකින් පෝස්ටුවේ අන්තර්ගතය හා මෝස්තරය තීරණය වේ. ඩිජිටල් අවකාශයේ එය බෙදා හැරීම එදා මෙන් අපහසු දෙයක් නොවේ. කළ යුත්තේ යතුරු පුවරුවේ ඒක යතුරකට දබරැඟිල්ලේ කොනෙන් හෙමින් තට්ටුවක් දැමීම පමණි. ඉන්පසු යට කී යතුරු පුවරු සොල්දාදුවන් වගේ වගක් නොමැති ව උඩින් පාත් වූ පෝස්ටුව උඩුගත කරගෙන කරගෙන යන්නට පටන් ගනී.

මේ අනගි මෙහෙයුමට ඉරිසියා කරන පිරිසක් ද සිටින බව පේන්නට ගත්තේ යට කී පෝස්ටු උඩුගත වෙමින් පවතින අවස්ථාවේ ම ය. ඊරිසියාකාරයන් කියන්නේ පුනරුදේ ශත වර්ෂ ගණනාවකට ඉස්සර තිබුණු දෙයක් කියා ය. දා හතරේ සිට දා හත් වැනි සත වර්ෂය යන කාලවකවානුවේ ඉතාලිය සහ තවත් රටවල් කිහිපයක ඇති වූ යම් පරිවර්තන ක්‍රියාවලියකට පුනරුදය කියා යම් නිශ්චිත තේරුමක් ඇතිව කියන බවට අපට ඒ කතාබහෙන් ඇහෙන්නට ගත්තේ ය. ඒ ඉරිසියාකාරයන් කියන්නේ, අප ව දැන් ආයෙමත් සත වර්ෂ ගණනාවක් ආපස්සට ගෙන යන්නට හදන ක්‍රමයක් බවයි මාලිමීය පුනරුදේ.

ඇත්තෙන් ම එය වැරදි කතාවකි. මෙතැන දී අදාළ පක්ෂය පුනරුදේ වචනය කුලියට හෝ බද්දට ගත්තේ ඒ නිශ්චිත ඉතිහාසයීය තේරුමෙන් නොවේ. ඔවුන් ඉන් අදහස් කළේ මතුපිට හෙවත් සුපෆිශල මට්ටම පමණක් ස්පර්ශ වන වාච්‍ය අර්ථය යි.

අවුරුදු දහයක පහළොවක පමණ මතක ශක්තියක් ඇති අයෙකුට ලංකාවේ දේශපාලන ව්‍යාපාර තුළ පුනරුදේ අලුත් දෙයක් නොවන බව පසක් විය යුතු ය. පුනරුද ව්‍යාපාරය කියා රට පුරා දේශපාලන කතාවක් පටන් ගත්තේ එකල රාවය සතිපතා පුවත්පතේ කතෘ ව සිටි හෝ උපදේශ කර්තෘ ව සිටි වික්ටර් අයිවන් මහතා ය. මගේ මතකය විදියට, ඒ කාලයේ මේ තරම් සමාජ මාධ්‍ය ඇබ්බැහියක් තිබුණේ නැත. අයිවන් මහතා ඇතුළු කණ්ඩායම ලංකාවේ විවිධ ප්‍රදේශවලට යමින්, ඒ ප්‍රදේශවල සිටින දේශපාලන ක්‍රියාකාරිකයන් සමග රැස්වීම් හා සංවාද පැවැත් වූවා මතක ය. ඒ සාකච්ඡා පදනම් කරගෙන සමහර අවස්ථාවල රාවය පත්තරයේ දීර්ඝ ලිපිද පළ විය. වික්ටර් අයිවන් මහතා ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී සාමාජිකයෙක් වූ අතර ඔහු ඇතුළු එකල පිරිස සටන් කලේ යතුරු පූවරු තළමින් නොවේ.

 යම් යම් විවේචන තිබුනත්, තමාගේ ජීවිතයේ මුල් කාලය කැප කළ පක්ෂයේ අනුප්‍රාප්තික පරපුරට පුනරුද ව්‍යාපාර සංකල්පය හා සන්නාමය සමහර වෙලාවට අයිවන් මහතා පුංචි තෑග්ගක් ලෙස දුන්නා ද කියා මා දන්නේ නැත. එසේ නැත්නම් තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පුරෝගාමිකයෙකුගෙන් කොපි කිරීම වරදක් නොවේ කියා වත්මන් පරපුර සිතුවා ද විය හැක.

මීට වසර කිහිපයකට පෙර, නිශ්චිත ව කියතොත්, 2019 දී ද මෙවැනි පෝස්ටු රැල්ලක් නිර්මාණය වූයේ 'වැඩ කරන විරුවා' නමිනි. රටවැසියන් පමණක් නොව නොරටුන් ද හරි හරියට මේ රැල්ලේ පීනා යනු දක්නට ලැබිණ. කලක මෙරට සිටි පසු ව නොරටුන් වූ ඩයස්මීවරු ඔද තෙද වඩවා චාටර් පදනම මත ගුවන් යානා කුලියට ගෙන සාඩීන් සේ පැට වී මව්බිමට පෙරළා පැමිණියෝ ඡන්දය දමා විරුවා දිනවන්නට ය.

විරුවා උඩින් ම දිනූ අතර, වැඩි කලක් නොගොස් ඔහු වැඩ කරනවා වෙනුවට වැඩ අනා ගති. ලයිට්, වතුර පැට්‍රෝල්, පැට්‍රොල් නැතුව ජනතාව පෝලිම්වල දින ගණන් අව්වට වැස්සට තෙමින් සිටින විට 'විරුවාරදය' නමින් මෙතෙක් සොයා නොගත් රෝගයක් ජාතියටම වැළඳිණ. මේ වන විට,චාටර් ගුවන් යානාවලින් ආ අය ආ ගිය අතක් නැති වූ අතර රටේ ඉතුරු වූ අය නම් යහමින් චාටර් වූ හ.

විරුවාරාදයේ රෝග ලක්ෂණවලට බොහෝ සේ සමාන නව රෝගයක් අනාගතයේ යම් දිනෙක හට ගනී යයි සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ දිනවල දැඩි විමසල්ලෙන් සිටී.

තාවකාලිකව ඒ රෝගී තත්ත්වයට ඔවුන් දී ඇති නම 'පුනරුදාව' ය. විරුවාරදය සමාජ ඇනටොමියේ හිස්කබල ආශ්‍රිත කලාපයේ හටගන්නා අතර, අපේක්ෂිත පුනරුදාව රෝගී තත්ත්වය හිස්කබලෙන් කශේරුකාව හරහා පහළට ගමන් කොට පශ්චාත් භාගය හා ඊට තදාසන්න ප්‍රදේශයන් හී ස්ථානගත වීමට ඉඩකඩ ඇතැයි සමාජ වෛද්‍ය මතයක්මේ වන විට පුරෝකතනය වී ඇත.




A day in the life

Thursday, August 01, 2024

කිතුනුකමේ ගැඹුර



ඒ කාලයේ සෑම පල්ලියකම තිබූ ඉතා ගම්භීර හා පියතුමකු පමණක් අසුන් ගන්නා ආසනයකි කොමිසන් පුටුව. දැන් දැන් මේ ශුද්ධ වූ ආසනය බොහෝ දේවස්ථානවල පෙනෙන්නට නොමැති තරම්ය.

එහෙත් එය සමහර දේවස්ථානයන්හි විරාජමානව තිබෙනා අන්දම දුටුවිට අතීතය මෙනෙහිවීම නිතැතින්ම සිදුවේ. පියතුමා කොමිසන් පුටුවේ වාඩිගෙන කොමිසම අසනා විට, එළියේ සිට තමා කළ පාපක්‍රියා ප්‍රකාශ කරනා කිසිවකු හට වේවැල් දැල තුළින් පියතුමාව හරිහැටි නොපෙනේ. එහෙත් උන්වහන්සේගේ හඬ නිසල වුවද හොඳින් ශ්‍රවණයවේ.

මේ ක්‍රියාව අතිරහසිගත හා පෞද්ගලික වූ ක්‍රියාවකි. කොමිසන් පුටුව කොමිසන් ඇසීම සඳහා තැන්පත් කරන්නේ ද පල්ලියේ අයිනකය. ඒ හෙයින් පියතුමාගේ හා කොමිසම කරන්නාගේ හඬ කිසිවකු හට නෑසේ. එය ඒ තරමටම පෞද්ගලික දේව ක්‍රියාවකි.

කිතුනුකමේ ගැඹුර විදහා දැක්වීමට මේ වැනි ගාම්භීර භාණ්ඩ ද සභාව විසින් හඳුන්වා දී ඇත්තේ දේව තේජස ද විදහා දැක්වීමටය. මේ වන් පූජා භාණ්ඩ රැසක් ඕනෑම දෙව් මැඳුරක දේව සේවයට උපයෝගී කර ගනී. එය ආදියේ සිට පැවත එන සම්ප්‍රදායක් ද වේ.

කතෝලික සභාව තුළ මේ භාණ්ඩ ආශීර්වාදාත්මක භාණ්ඩය.

මේ පූජා භාණ්ඩ විශේෂයෙන්ම පරිහරණය කරනු ලබන්නේ පියතුමා ඇතුළු පූජා උදව් දරුවන් විසිනි.

ආසිරි පැන් ඉස බැතිමතුන් ආසිරි ගන්වන පැන් භාජනය, පියතුමා පමණක් පාවිච්චි කරනු ලබයි. ඒ අතර සීනුව, ආරක්ෂිත සත්ප්‍රසාද තැටිය, කුරුස සිරියස්, ඉටි පහන් කණු පූජා උදව් දරුවනගේ දෑතේ රැඳෙනා දේය.

දිව්‍ය පූජාව ඔප්පු කිරීම පිණිස පූජාසනය මත වැඩ රඳවන කාලිස් පාත්‍රය හා මිදි යුෂ කුසලානය පියතුමා විසින් දෙවිඳුනට ඔසවනා භාණ්ඩ අතර වේ.

දේව ස්තූතිය පිරිනමා දෙවිඳුන් හා ශුද්ධවරයන් නමදින ඉටි පහන ද දෙව්මැඳුරක ඕනෑම මොහොතක බැතිමතුනගේ පරිහරණයට තැබිය යුතුම තවත් පූජා භාණ්ඩයකි. ඕනෑම අයෙක් මෙම ඉටි පහන් තබා ඇති පෙට්ටියට මුදල් දමා ඉටි පහන් රැගෙන දෙව්මැඳුරේ යම් ආරක්ෂිත ස්ථානයක ඒවා දල්වා යැදීම පිණිස පහසුකම බැතිමතුනට සලසා දී ඇත. කතෝලික විශ්වාසයේ ගැඹුර දැල්වෙන ඉටි පහනේ දැල්ල තුළින් ද මනාව දැකිය හැකිය.

කතෝලික සභාව ගොඩනැඟෙන්නේ විශ්වාසය පෙරදැරිකොටගෙනය. එනම් ජේසු කල්වාරි ගමනින් පසුව තුන්වන දින උත්ථානවූ දිනයේ පටන්ය. කතෝලික සභාවේ ආරම්භය ජේසුගේ උත්ථානයය. කිතුනුවන්ගේ විශ්වාසය වසර දෙදහස් ගණනක් ගියද තවම නොනැසී පවතින්නේ මේ විශ්වාසය හේතුකොටගෙනය.

සීනු හඬ, ඉටිපහන් ආලෝකය, ගීතිකාව, යාඥාව, කතෝලික භාවයේ මහිමයය.

මේ අසිරිමත් කොටස් නොමැතිව කිතුනු කමක්ද නැත. එදා දෙව් මවුන් වන්දනාමාන සිදු කළේ හිස් පලඳනාවකින් හිස වසාගෙනය. එය ද කාන්තා පාර්ශ්වය විසින් පැලඳිය යුතු පූජා භාණ්ඩයක් බඳුය.

එහෙත් වත්මන් කාන්තා පරපුර මේ චාරිත්‍රයෙන් බැහැරව සිටිනා අන්දම දැකිය හැක. එහෙත් වැඩිහිටි කතුන් දෙව් මව් පිළිවෙත අනුගමනය කරනා අයුරු දෙව්මැඳුර තුළදී දකින්නට ලැබීම ද සතුටකි.

මේ වන් කුමක්හෝ පූජා භාණ්ඩයක් දිව්‍ය පූජාවට සහභාගි වන පිරිමි පාර්ශ්වයට ද යෝජනා කර පූජා වත්පිළිවෙතේ ගරු ගාම්භීර භාවය ඔප් නංවා ගැනීම සඳහා සභාව කටයුතු කළහොත් එයත් වටිනා පිළිවෙතක් වේ යැයි ලියුම්කරු සිතයි.

ලයනල් පී. පෙරේරා

දිවයින - ජුලි 31.


A day in the life

Wednesday, July 31, 2024

ඉතා හොඳ දේ දරුවන්ටයි





ඉතා හොඳ දේ දරුවන්ටයි
දරුවන්ට පොල්වතුර බොන්න දෙන්න.
ඔවුන්ගේ ආහාරයට දිනපතා කොස් ඇට දෙකතුනක් උයා එකතු කරන්න
උණුකර නිවාගත් වතුර පානයට දෙන්න.
දහඩිය දැමීමට තරම් ක්‍රීඩා කිරීමට දෙන්න
සමවයස් කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමට හැකිතරම් ඉඩ දෙන්න.
අන්‍යයන්ට උදව් කරන්න, අන්‍යයන් වෙනුවෙන් තමන්ට වැඩිපුර ඇති දේ පරිත්‍යාග කරන්න පුරුදු කරන්න.
සත්තුන්ට ආදරය කරන්න උගන්වන්න
දවසට එක ගහක නමක්, මලක්, ඵලයක් හඳුන්වා දෙන්න.
කතාන්තරයක් කියා දෙන්න
ගරුත්වය දීමට සහ ලැබීමට උගන්වන්න.
ආගමික හික්මීම කියා දෙන්න.
සංස්කෘතික ජීවියෙක් කරවන්න.
ඉතිහාසය, මව්බස සහ සාහිත්‍යයට ඇළුම් කරවන්න
.
සංගීතයට යොමු කරවන්න.
පිටි සහිත කෘතීම ආහාරයෙන් ඈත් කරවන්න.
සීමාසහිතව ඇඳුම් පැලඳුම්, පොතපත් උපකරන සෙල්ලම් බඩු ලබා දෙන්න.
ඇඳුම් පරණ වුවත් සෝදා පිරිසිදු කොට හිරවෙනතුරු හෝ ඉරෙන තුරු අන්දවන්න.
වැඩිමල් අය අයින් කරන ඇඳුම් සපත්තු බාලයන්ට අන්දවන්න.
සමගිය, බෙදාහදා ගැනීම උගන්වන්න.
රාත්‍රී අහස දරුවන් සමඟ දකිමින් සුන්දරත්වය විඳින්න.
පරිසරය විඳින චාරිකාවල යන්නපොදු ප්‍රවාහන ‍‍සේවයේ, නිදහස් සෞඛයේ සේවාවන් ඉඳහිට දරුවන් සමග ලැබගන්න.
වෙළඳ ‍‍පොළට,තැපැල් කන්තෝරුවට දරුවන් ගෙන යන්න.
මඟුල් වලට සේම මරණ ගෙවල්, බණ, දාන, ගෙවල් වලත් අසනීපව සිටින ඥාති හිතමිතුරු ගෙවල්වලත් ගෙනයන්න
රූපවාහිනී, පරිගණක හැකිතරම් ඈත් කරන්න.සාමාන්‍ය පෙළ වන තෙක් ජංගම දුරකථන නොදෙන්න.
තමන්ගේ ඇඳ හදාගන්න, සපත්තු සෝදාගන්න පවරන්න
බාල සහෝදරයන්ට උදව් කිරීම පවරන්න
මුදල් පරිහරණය සීමා කරන්න.
දකින දකින ඉල්ලන ඉල්ලන දේ ලබා නොදෙන්න.
ඉල්ලන දේ නොව, අවශ්‍ය දේ නොව, අත්‍යාවශ්‍ය දේ පමණක් ලබාදෙන්න.
අනාගත පරපුරට සම්පත් ඉතුරු කළයුතු බව කියා දෙන්න.
අපගේ උරුමයක් දෑසින් දකින්න රැගෙන යන්න. ඒ ගැන කියා දෙන්න.
හැකිතරම් ස්වාධීනව ඔහුගේ එදිනෙදා කටයුතු කරගැනීමට පුරුදු කරන්න
‍හොඳින් නරක් වෙන්කර ගැනීමට ඔහුට හැකිවන් තෙක් ඔහුට මග පෙන්වන්න
ඔබගේ වටිනාම සම්පතට වටිනාකමක් ලැබෙන සේ ජීවිතය කියා දෙන්න
උපුටා ගැනීමකි

A day in the life

Tuesday, July 30, 2024

කුසලතාවයන් ඉගෙන ගනිමු







වයස අවුරුදු 40 වීමට පෙර මෙම කුසලතාවයන් ඉගෙන ගැනීමට දිනකට මිනිත්තු පැය එකාමාරක් වෙන් කරන්න.
1) හැසිරවීම ඉගෙන ගන්න
ඔබ වටා සිටින අය ආත්ම කේන්ද්‍රිව වේ. ඔබ වටාිමු ඇති,හැසිරවීමේ අවස්ථා හඳුනාගෙන නිවැරදිව ක්‍රියාකිරිම ප්‍රගුණ කරන්න. මෙය ඔබේ ජීවිතය වෙනස් කිරීමට හේතුවනු ඇත.
2) සටන් කරන ආකාරය ඉගෙන ගන්න
ඔබ ඔබව ආරක්ෂා කර ගත යුතු කාලයක් පැමිණේ. ඔබව ආරක්ෂා කර ගැනීමට අසමත් වීම දුර්වලතාවයක් ලෙස සලකනු ඇත
මෙය කරන්න.
- දිනපතා පැය එකාමාරක් මේ සඳහා වෙන් කරන්න
- ⁠පුහුණුකරුවකුගේ උදව්වෙන් කුමන හෝ නව කුසලතාවක් ඉගෙනගන්න.
- අවම වශයෙන් දින 180 ක් වත් මේ සදහා කැපවන්න. මෙයින් එම කුසලතාවයට අදාල ඔබ සියලු මූලික කරුණු ඉගෙන ගනු ඇත.
3) විවිධ අවස්ථාවන් හසුරුවන ආකාරය ඉගෙන ගන්න.
මිනිසුන් ඔබේ ජීවිතයේ පිළිබඳව කුඩා ප්‍රමාණයක් දැන සිටින දේ ප්‍රමාණවත් වේ. ‍යම්කිසි අද්භූත ජීවිතයක් ගත කිරීම ආකර්ශනීය වේ. ඔබ බෙදා ගත යුතු දේ , ඔබ එය බෙදාගත යුතු වන්නේ කා සමඟද?, ඔබ එය සිදුකළ යුත්තේ කෙදිනකද? වැනි දේ පිළිබඳව අවබෝධයෙන් පසුවන්න.
4) ස්වයං විවේචනය ඉගෙන ගන්න
ඔබ වටා සිටින පුද්ගලයින් තේරුම් ගැනීමට ඇති එකම ක්‍රමය නම් පළමුව ඔබ ඔබ පිළිබඳව දැනගැනීමයි. ඔබ සමඟ අවංක වන්න සහ,
- ඔබේ නොගැලපීම් සඳහා ඔබම අමතන්න
- ඔබේ අරමුණට එරෙහිව ඇති පුරුදු අත්හරින්න.
- ඔබට විමට අවශ්‍ය පුද්ගලයා සකසාගන්න. මෙය කරන්න ඔබේ ජීවිතය දහ ගුණයකින් වඩා හොඳ වනු ඇත.
5) සෑම දෙයක්ම සැක කිරීමට සහ ප්‍රශ්න කිරීමට ඉගෙන ගන්න.
ප්‍රසිද්ධ අය කියන දේවල්,පොදුවේ පිලිගන්න දේවල්, විශේෂඥයින් සහ සාක්ෂි වැනි දේ විශ්වාස කිරීම නවත්වන්න.මිනිසුන් බලය ලබාගැනිම සඳහා ඔවුන්ගේ විශ්වාසයන් තහවුරු කිරීමට උත්සාහ කරයි. මේ විදිහට කරන්න උත්සාහ කරන්න.
- එහි ඇති දේ ඉගෙන ගන්න.
- විනිශ්චයකින් තොරව නිරීක්ෂණය කරන්න.
- දැන් ඔබට වැදගත්වන දේ පිළිබඳව අවබෝධයක් ලබාගන්න.
6) කථා කළ යුතු ආකාරය ඉගෙනගැනිම
ඔබ වටා සිටින බොහෝ අය කතා කරන්නේ හුදෙක් ඔවුන් වෙනුවෙන් පමණි. ඔබ සැමවිටම ඔබ පවසන දේ අනුව ඔවුන් ඔබ විනිශ්චය කරනු ඇත.කථා කළ යුතු අයුරු,කථා කළ යුත්තේ කාහටද,කථා කළ යුත්තේ කෙදිනකද? වැනි දේ සමඟ අවබෝධයෙන් කටයුතු කරන්න.මෙමගින් තර්ක විතර්කවලට භාවිත වන ඔබගේ ශක්තියෙන් 99% ක් ඉතුරු කර ගත හැකිවේ.
7) ජය සහ පරාජයන් හසු විය යුතු ආකාරය ඉගෙන ගන්න.
මීට පෙර ඔබට උගන්වා ඇත්තේ ජයග්‍රහණ භුක්ති විඳීමට සහ පරාජයන්ට බිය වීමටය. සමහර ජයග්‍රහණ තුළ වෙස් වළාගත් ඛේදවාචකයන් ඇතිබව,දිනුම සහ පරාජය යන ද්විත්වය තුළින්ම අත්දැකීම් ලබා ගත හැකි බව සහ සියලු පරාජයන් තුළ විශාල ජයග්‍රහණයන් ඇති බව අවබෝධ කරගන්න.
සමාව දෙන අයුරු ඉගෙන ගැනිම
ඔබ, ඔබවම මිනිසුන් සමඟ සංසන්දනය කරනු ඇත. අනෙකාව ඔබට සංසන්දනය කිරිමෙන් ඔබ ඔවුන්ට කැමති වනු ඇත, නැතිනම් ඔබ ඔවුන්ට වෛර කරනු ඇත නැතිනම් ඔබ ඔවුන් සමග සටන් කරනු ඇත. මිනිස්සුන්ට ඔවුන්ට ඔහුන්ට කැමැති දේ සිදු කිරීමට අවස්ථාව ඇති බැවිනි ඔබට සෑම අවස්ථාවකදීම යම් අයෙකුට වෛර කිරීම නැවැත්විය හැක.


 Thaaru Paranavithana





A day in the life

Monday, July 29, 2024

කල්ලඩි පාලම යට සින්දු කියන මාළු.







"කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාලුවෝ" මේ සින්දුව ඇහුන ගමන් මතක් වෙන දේවල් 02ක් තියෙනවා. එක්කෙනෙක් නැසී ගිය ගායක කපුගේ ශූරීන්, අනිත් දේ තමයි මේ සින්දුව නිසාම ලංකාවේ ගොඩක් ජනප්‍රිය උන කල්ලඩි පාලම අසල ඉන්නවායැයි විශ්වාස කරන "සින්දු කියන මාලුවෝ" නම් මේ අමුතු මාලු විශේෂය. කවුද මේ මාලුවෝ? ඇත්තටම කල්ලඩි පාලම ලඟ එහෙම සින්දු කියන මාලුන් ඉන්නවද? උන් කොහොමද සින්දු කියන්නෙ? සින්දුවෙ කියන විදියට දැන් ඒ මාලු නැද්ද? අද කතාව ඒ ගැන.
කල්ලඩි පාලම ඉදිවන්නේ 1924 වසරේදීයි. නමුත් කල්ලඩි පාලම අසල මේ සින්දු කියන මාලුන් පිළිබඳ කතාව ශතවර්ෂ ගානක සිට පැවතෙන්නක්. විශේෂයයෙන්ම පුරහඳ පායා ඇති නිසල රාත්‍රීන් වල මෙම මාලුන්ගේ ශබ්දය ඉතා හොඳින් ඇසිය හැකි බවයි ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ. මඩකලපුවේ ධීවරයින් මේ නාදය හොඳින් ඇසීමට ඔරුවේ හබල ජලය තුලට ගිල්වා, හබලේ මිට පිහිටි කෙළවරට කන තබා බලනවා නිරීක්ෂණය කරන්න පුලුවන්. සමහරුන්ට අනුව මේ ශබ්ධය කල්ලඩි පාලම අසලින් පමණක් මතුවන අතර සමහරුන් පවසන්නේ මේ හඬ කලපුවේ සෑම තැනකින්ම ඇසෙන බවයි. ඇත්තටම කල්ලඩි පාලම අසල කලපුවේ ජලය අතුලෙන් ශබ්දයක් එන බව බොහෝ අවස්තාවල නිරීක්ෂණයට ලක් කරපු කාරණාවක්. මේ ශබ්දය හොඳින් අහන්න පුලුවන් වන්නේ ශබ්දය ඉතා අඩුවෙන් ඇති රාත්‍රී කාල වල ජලය මතුපිටට කන තබා ශ්‍රවණය කිරීමෙනුයි. නමුත් ගත වුනු තිස් අවුරුදු යුධ කාලය තුල බොහෝදෙනාට මේ මාලුන් පිළිබඳ කාරණාව අමතකව ගොස් තිබුනා.
යටත් විජිත සමයේ ක‍තෝලික පූජකයින්, මිෂනාරීවරුන් මේ ශබ්දය ඇසීමට කල්ලඩි පාලම උඩට ආ බවට වාර්තා ඇති අතර ස්වාමි විපුලානන්ද වැනි මහාචාර්යවරු, බ්‍රිතාන්‍ය දේශපාලකයින් උන එමර්සන් ටෙනෙන්ට් (Emerson Tennent) වැන්නන් පවා මේ සින්දු කියන මාලුන්ගේ ගායනා ඇසීමට කල්ලඩි පාලම අසලට ආ බවට සඳහන් වෙනවා. වර්ෂ 1954 දී පමණ ඇමරිකානු පූජකතුමන් දෙදෙනෙකු උන ලෑන්ග් (Lang) සහ මෝරාන් (Moran) විසින් හයිඩ්‍රොපෝනයක් ආධාරයෙන් මෙම ශබ්දය පටිගත කරුනු අතර මේ ශබ්දයේ සංගීත ස්වර නාද රටාවද පිටපත් කෙරුණා. පසුව එය 1960 වසරේ දී රේඩියෝ සිලෝන් හරහා විකාශනය උනා. යුද්ධයෙන් පසු කලපුවේ ජලයෙන් නැගෙන මෙම අත්භූත ශබ්දය ගැන පරීක්ෂණ කටයුතු නැවත 2012 වසරේ දී ආරම්භ උනා.
පාලම අසලින් මතුවන මෙම නාදය පිළිබඳ සත්‍යය හෙළිදරවු කර ගැනීම සඳහා 1953 වසරේ දී පමණ එවකට ප්‍රකට කිමිදුම් කරුවෙකු වන රොඩ්නි ජෝන්ක්ලෝස් (Rodney jonklaas) මඩකලපුව කලපුවේ කිමිදෙනවා. නමුත් ඔහුට සාමාන්‍යය කලපුවකින් හමුවන සතුන් හැරුනකොට වෙනත් අසාමාන්‍යය සතෙකු කලපු පතුලෙන් හමුවන්නේ නෑ. වර්තමානයේ පවා කලපුවේ ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් එවැනි අත්භූත, විශේෂ මාලුවෙකු තම දැලට හසු වූවාකියා වාර්තා කර නැහැ. එහෙමනම් පාලම අසල ජලයෙන් මතුවන අමුතු ශබ්ධය නැගෙන්නේ කොහොමද? ඒ පි‍ටුපස ඇති අභිරහස මොකක්ද?
මඩකලපු කලපුවේ පතුලේ සිටින කවචයක් (ක‍ටුවක්) තුල සිටින ජීවී කොට්ඨාශයක් මේ ශබ්දය නිකුත් කරන බවට මුලින්ම මතයක් ගොඩ නැඟී තිබුනා. ඉන්පසු කලපුව ආශ්‍රිතව ජීවත් වන ගෙම්බන් විශේෂයක් මේ හඬ නිකුත් කරනවායැයි අදහසක්ද ගොඩනැගුනා. නමුත් ගෙම්බන්ට වතුර යට දී ශබ්දය නිකුත් කල නොහැකි නිසා ඒ අදහස යටපත් උනා. මුහුදේ ශබ්ද/ නාද මතු කල හැකි මාලුන් වාසය කරනවා. උදාහරණ විදියට ඉන්දියන් සාගරයේ ජීවත් වෙන ඩැම්සල් මාලුන් (Damsel fish), ක්ලවුන් මාලුන් (Clown fish), ගිරා මාලුන් (Parrot fish) වැනී සතුන්ට මේ විදියට ශබ්ධ නිකුත් කල හැකියි. රොඩ්නි ජෝන්ක්ලෝස් කලපු පතුලේ කිමිදුන අවස්තාවේ මේ ආකාරයේ ශබ්ධ මතු කල හැකි මාලුන් විශේෂ රාශියක් සොයා ගැනුණා. නමුත් ඔවුන් සාමාන්‍ය මුහුදේ, කලපු වල ජීවත් වන මාලු විශේෂ පමණයි. විශේෂ මාලුවෙකු ඒ අතර සිටියේ නෑ. එහිදී නිගමනයක් වන්නේ මේ ශබ්දය කිසියම් එක් මාලු විශේෂයකින් නිකුත්වන්නක් නොව මාලු විශේෂ කිහිපයකින් නිකුත් වන ශබ්ද වල එකතුවක් වශයෙන් ගත හැකි බවයි.
ඒත් ඒ නාදය මඩකලපුව කලපුවෙන් පමණක් මතු වන්නේ ඇයි? එවැනි අසිරිමත් මාලු විශේෂයක් සිටිනවා නම් වර්ග සැතපුම් 40ක් පමණ විශාල කලපුවේ ඔවුන්ව සොයා ගැනීමත් අභියෝගයක් වන බවට කිසිම සැකයක් නෑ. කෙසේ නමුත් මඩකලපුව නගරයට "සින්දු කියන මාලුන්ගේ නගරය" ලෙස අන්වර්ථ නාමය ලැබීමටත් කල්ලඩි පාලමට සාමාන්‍ය පාලමකට එහා ගිය ජනප්‍රියත්වයක් ලැබී ගීත සාහිත්‍ය තුල පවා සඳහන් වන්නට හේතු කාරණාවක් වූ "සින්දු කියන මාලුන්" නම් මේ අපූර්ව පුරාවෘත්තය, තවත් චිරාත් කාලයක් මිනිසුන්ගේ මනස තුල හොල්මන් කරනා සොඳුරු අභිරහසක් වන බව නම් සහතිකයි.

ඉසුරු වික්‍රමගේ - Green Roamer
උපුටා පළකිරීමකි......






A day in the life

Sunday, July 28, 2024

අනුගත වීම කියන්නෙ මනෝ විද්‍යාත්මක කාරාණාවක්





"මොන්ඩාල් "ව මතකද?

මේක ඕපදුපයක් උනාට අපේ ජීවිත වලට හොඳ පාඩමක් කියල දෙන ඕපයක් නිසා ලියන්න හිතුණා .
හිඟන්නියෙක් වෙලා ඉඳල දක්ෂකම සහ සමාජ මාධ්‍ය නිසා ලෝක ප්‍රසිද්ධවෙලා අනුගත වීමේ දුර්වලතාවය මහන්තත්වකමක් විදිහට එළියට දාපු නිසා ආයෙත් පාරටම වැටුණු මොන්ඩාල් ව මතකද ?
මොන්ඩාල් ඉපදෙන්නෙ 1960 දී ,
අඩු වයසෙන් කසාද දෙක තුනක්ම බැඳලා සැමියාගෙන් අනන්තවත් ගුටි කකා දරුවොත් හදලා තනිවෙලා පාරට වැටෙන රනූ මොන්ඩාල් කියන දුගී ගැහැණිය අන්තිමට බෙන්ගාල් වල රනාගට් දුම්රිය වේදිකාවේ හිඟන්නියක් වෙලා තමයි නැවතුනේ .
කුණු පිරුණු සාරි කබලක් ඇඳගෙන , ඇවිස්සුනු කෙස් වැටියක් සහිත මේ සිඟන්නිය උපන්දා සිට මේ දක්වාම ඇය ව අත් නොහැර ලඟින් හිටියේ ඇගේ සුමිහිරි කටහඬ විතරයි.
හේතුවක් ,ඇතුවත් , නැතුවත් දුකට සතුටට , බඩගින්නට මේ හැමදේකටම ඔහේ සිංදු මුමුණන රනූ ,අවුරුදූ දෙකකට විතර කලින් දවසක හවසක දුම්රිය මැදිරියේ රේඩියෝවක වාදනය උන මොහමඩ් රාෆි ගේ ගීතයක් රේඩියෝවේ සද්දෙටත් වඩා හයියෙන් ගායනා කරමින් මැදිරියේ බිමක ඉඳගෙන හිටියා .
නිතරම ඒ හරියේ ඉන්න අයට මේ ගායනය විශේෂ දෙයක් නොවුනට , එතනින් යමින් සිටි චක්‍රබෝර්ති කියන තරුණයට මේ සුමිහිරි කටහඬක් හිමි යාචිකාව ගැන මොකක්දෝ අමුතු දෙයක් දැනුනා .ඔහු ඇයගේ ගායනය වීඩියෝ කරලා එවලේම ෆේස් බූක් දැම්මා.
විනාඩි ගානකින් ඉන්දියාවේ විතරක් නෙමෙයි ආසියාවේ අස්සක් මුල්ලක් නෑර මිනිස්සු
රනූ මොන්ඩාල් ගේ මේ වීඩියෝව බැලුවා.
ඒකෙන් පස්සේ ,
පාරේ නිදාගෙන හිටපු මොන්ඩාල් අන්තිමට නැවතුනේ හිමේෂ් රෙශ්මියා කියන දැවැන්ත නිර්මාණකරුවා ළඟ .
එක රැයකින් රනූ මොන්ඩාල් නම් වූ හිඟන්නිය , රනූ මොන්ඩාල් නම් වූ තාරකාව බවට පත් වුනා ,
සල්මන් ඛාන් ගෙන් ලක්ෂ ගානක ගෙයක් හම්බුනා , ජනප්‍රිය වුනා , ධනවත් වුනා ,ප්‍රසිද්ධ උනා .කොහොම කොහොම හරි ඇගේ දෛවය උඩු යටිකුරු උනා .
ඔන්න දැන් ඉතින් රනූ මොන්ඩාල් සුප්‍රසිද්ධ ගායිකාවක් බවට පත් උනා .
ඔහොම වැජඹී ඉන්නකොට
මාස දෙක තුනකට පස්සේ දවසක මොන්ඩාල් එයාගේ ආරක්ෂකයෝ එක්ක "සුපර් මාකට්" එකකට යනවා ,
එතනදී අහම්බෙන් මොන්ඩාල් ව දැකපු කාන්තාවක් එයාගේ පුංචි දුවත් එක්ක හරිම ආසාවෙන් "සෙල්ෆියක්" ගහන්න මොන්ඩාල් ලඟට එනවා , පිටිපස්සෙන් ආපු ඇය ඉස්සරහ හැරිලා හිටපු මොන්ඩාල්ගේ අතට හිමීට තට්ටුවක් දාලා ෆෝන් එකත් අරන් "සෙල්ෆියක්" ගහන්න පුලුවන්ද අහනවා..
මොනවා වෙන්න ඇති කියලද හිතෙන්නේ,
( හැබැයි හීනෙකින් වත් හිතපු දෙයක් නම් නෙමෙයි වෙන්නේ .)
මොකද මේ මාව අල්ලන්නේ?? මේ.. මේ.. මාව අල්ලන්න එන්න එපා , මම දැන් celebrity කෙනෙක් ,
කියලා තරහෙන් පුපුර පුපුර මොන්ඩාල් කියන කොට අර කාන්තාවට කට උත්තරත් නැති වෙනවා ,ඒ විතරක් නෙමෙයි ඒ පොඩි ළමයත් බය වෙනවා .
මොන්ඩාල් ගෙ ජීවිතේ වෙනස් කරපු වීඩියෝව වගේම මේ වීඩියෝ වත් ලෝකෙම දකිනවා ,
හැමදේම උඩු යටිකුරු වෙනවා .
"ඔලුව ඉදිමිච්ච මෝඩ ගෑණියෙක් ,හිඟන්නන්ට රත්තරන් හම්බුනහම ඔහොම තමයි කිය කිය මුළු ඉන්දියාවම ඇයට බනින්න ගන්නවා "
මොන්ඩාල්ව තරුවක් කරපු මාධ්‍යට පවා මේ සිද්ධිය නිසා ඇය ගැන කළකිරෙනවා , ඒ වගේම බොහෝ තැන්වලින් මොන්ඩාල් ව ප්‍රතික්ෂේප වෙන්න පටන් ගන්නවා .
කතාව ඇහුවම මොන්ඩාල් ට මොංගල් ද කියල හිතුනට, මේක, " *අනුගත වීම* "කියන න්‍යාය මත පදනම් වෙච්ච, අපි කාටත් සිද්ධ වෙන්න පුළුවන් පොදුම පොදු තියරියක් .
.........................................
සිංහල වෙලා ඉපදිලා සිංහලෙන් ම ඉගෙනගෙන ඉංග්‍රීසි වචන දෙක තුනක් ඉගන ගත්තට පස්සේ , සිංහලෙන් කතා කරන අයට ඔරව ඔරවා'' බලෙන් පොෂ් '' වෙන්න හදන කට්ටිය ,
සතේ අතේ නැතුව ඉඳලා පනම් දෙකක් අතට ආවට පස්සේ අඟහරු ලෝකෙන් බැස්සා වගේ හැසිරෙන කට්ටිය ,
විනාඩි පහක ටීවී ඇඩ් එකක සෙනග අස්සෙන් යන්තම් මූණ පෙනුනහම නළු ඔස්තාර් ලා වගේ හැසිරෙන කට්ටිය ,
ජීවිතේට ඉස්කෝලෙක පන්ති නායකයෙක්වත් වෙලා නැති කෙනෙක්ට සමිතියක කාරක සභික තනතුරක් ලැබුනහම තියන පවර් එක දැක්කම,
අපිට හිතෙන්නේ ,
අම්මෝ මුගේ ඔලුව ඉදිමිච්ච හැටි , යකෝ මැස්සෙක් ගිය උඩ ,මූට ගිය කලක් , කියල නේද ?
හැබැයි ඔතන වෙන්නෙ වෙන දෙයක් ,
මුකුත්ම නැතුව ඉඳලා මොනවහරි ලැබිච්ච මිනිස්සු ඒ තත්වෙට අනුගත වෙන්න සහ ඒ ලැබිච්ච පවර් එක ලෝකෙට පෙන්නන්න
මාරම ලොකු උත්සාහයක් ගන්නවා
තමන් මෙච්චර කල් ජීවත් වෙච්ච ලෝකෙයි මේ සර්වපිත්තල ලෝකෙයි අතර තියන "ලයිෆ්ස්ටයිල් ගැප්'' එක එයාට තදින්ම දැනෙන්න පටන් ගන්නවා .
ඉතින් අමාරුවෙන් මහන්සියෙන් තමනුත් මේ සමාජෙට අනුව අනුගත වෙන්න ඕනේ නේද කියල හිතාගෙන එහෙම අනුගත වෙන්න හෙන ගේමක් දෙනවා .
ඉතින් ගැලපෙන දේ නොගැලපෙන දේ හරි දේ වැරදි දේ මොකක්ද කියල අවබෝධයක් නැහැ ,මේන්ටේන් වෙන්න ඕනේ කියල හිතාගෙන දකින දකින හැමදේම කරන්න පටන් ගන්නවා .
හිටපු තැනයි ඉන්න තැනයි අතර ගැප් එක වැඩිවෙන්න වැඩිවෙන්න තත්වය තව තවත් භයානක වෙනවා.
(උගත්කම සහ බුද්ධිමත් කමත් යම් තාක් දුරට බලපානවා)
උදාහරණයක් විදිහට ,
ජීවිතේට බ්‍රෑන්ඩඩ් බෑග් එකක් පාවිච්චි නොකරපු කෙනෙක් ලුවී විටෝන් බෑග් එකක් ගත්තම , එයා තේ බොන්නත් යන්නෙ හිල්ටන් එකට , මොකද බෑග් එකට අනුගත වෙන්න ඕනේ නිසා .
ඒකම තමයි මොන්ඩාල් ටත් උනේ ,
ජීවිතේට ප්‍රසිද්ධ පුද්ගලයෙක් නළුවෙක් ගායකයෙක් ඇහැට නොදැකපු , දන්නා කාලෙක මේසෙක ඉඳගෙන හොඳ කෑම වේලක් නොකාපු ,ග්‍රැනයිට් පොළවක පය නොගහපු මොන්ඩාල් ට එක පාරටම ලැබිච්ච සල්ලි වස්තුව ජනප්‍රියත්වය කියන දේවල් වලට මූණ දෙන්න ඕනේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා ,
ඉස්සර හිඟා කන කාලේ කාගෙහරි අතින් අල්ලලා සල්ලි ඉල්ලුවහම බැනුම් අහපු විදිහ විතරයි එයාට මතක ,
ඉතිං ජනප්‍රිය කෙනෙක්ගේ චරිතෙට ආරූඩ වෙලා ඒක හරියටම ප්ලේ කරන්න පුරුදු වෙන්න එයා ට්‍රයි කළා , ඉන්දියාවේ දේවත්වයෙන් සලකන අමිතාබ් භච්චන් උනත් ඕන තරම් මිනිස්සු එක්ක සෙල්ෆි ගන්න බව එයා දැකලා තිබ්බේ නැහැ ,
මොන්ඩාල් ට බැන්නට එයාගේ උත්සාහය සාදාරණයි . කූඩෑල්ලන්ට මෙට්ටේ සෙට් වෙන්න ටිකක් කල් යනවා , සල්ලි නැති අයට සල්ලි ලැබුනත් , බලය නැති අයට බලය ලැබුනත් වෙන්නේ එච්චරම තමයි .
හෙට උදේ වෙනකොට මට ලෝකෙ වටිනාම මැණික හම්බෙලා අම්බානිලගේ ලිස්ට් එකට වැටුනොත්, මේ ඉන්න තත්වෙන් පොඩ්ඩක් වෙනස් වෙලා මුකේෂ් අම්බානිලා වගේ හැසිරෙන්න ට්‍රයි කරන්න ඕනෙ කියලා මටත් හිතෙන්න පුළුවන්.
රනූ මොන්ඩාල් ගෙ ඔලුව ඉදිමිලා කියලා බැන්නට, ඔයාට මට අපි කාටත්, අද අපි ළඟ නැති හිතා ගන්නත් බැරි වටිනා දෙයක්, තනතුරක් හෙට ලැබුනොත් ඒකට අනුගත වෙන්න ටිකක් කල් යනවා .
ඒ සංක්‍රාන්ති කාලේ වටේ ඉන්න ඒ දේවල් දැකපු විඳපු මිනිස්සුන්ට අපිව විහිළුවක් විදිහට පේන්න පටන් ගන්නවා තමයි
ඉතින් , ඒකට කරන්න දෙයක් නැහැ .
අපි ඕකට ඔලුව ඉදිමිලා , ලොකු කම ඉහට ගහලා කියලා කිව්වට ඇත්තටම වෙන්නෙ තනතුරට අනුගත වීමට උත්සාහ කරන එක මිසක් වෙන දෙයක් නෙමයි .
බුකියේ උඩ පහල යනකොටත් එක පාරට ජනප්‍රිය වෙලා ප්‍රසිද්ධ වෙලා එක එක අලුත් දේවල් වලට අනුගත වෙන්න ලොකු ට්‍රයි එකක් දෙන ජීවියෝ ඕනතරම් ඔයාලට හම්බෙනවා ඇති ,
යකෝ මුගේ ලොකුකම , පිස්සුද මුට,මැස්සෙක් ගිය උඩ ,ඔලුව ඉදිමිලා , අරවා මෙව්වා කියලා ඒ අහිංසකයින්ට කෝචෝක් කරන්න යන්න එපා , ඒක හරි සාමාන්‍යයි ,
ටික කාලෙකින් ඔය තත්වය යථාතත්වෙට පත්වෙනවා,එහෙම නැත්තම් ඔවුන් විසින්ම ඔවුන්ව විනාස කරගන්නවා .
අනුගත වීම කියන්නෙ මනෝ විද්‍යාත්මක කාරාණාවක්

 

අනිශා ජයකොඩි
Anisha Jayakody




A day in the life

Saturday, July 27, 2024

රහස් (රහස්‍ය භාවය සුරකිනු ලැබේ )












 

(රහස්‍ය භාවය සුරකිනු ලැබේ )
_ බැංකුවේ නිල වැකිය .

 

සේප්පුවක දා රකින්ට හැකිනම්
රත්තරන් බඩු අපි හැමෝගෙම ...
රහස් ඔක්කොම ඒ විදියටම
බැංකුවෙ තියන්න බැරිවෙයිද අපිට...??
වෙස් මූණක් අලෝගෙන ඇවිත්
හිත ඇතුලෙ පැටවු ගහන දුක් දොම්නස්
එක එක සේප්පුවට දාල වැහුවොත්
පුළුවනිද ඒ රහස් රැක ගන්න .??
ඉරුණු යට ගවුමක
අණ්ඩ දාල එළලපු
මැකිල ගිය හීන ඔක්කොම
සුදු ඇඳුමකින් වහගෙන
පෝරුවෙ හිටගන්න වෑයම් දරාපු
ආදරවන්තයින්ගෙ රහස් පසුම්බි
බැංකුවෙ දාල රැකගන්න පුළුවන්ද ??

පඩි දිනේ දවසකින් පරක්කු උණොත්
කරාමෙට කට තියල බඩ පුරෝගෙන
හිල් වෙච්චි සාක්කුවට අත දාගෙන
උජාරුවට අඩිතියන් ඇවිදයන
කී දෙනෙක් ගෙ බඩ ඇතුලෙ
මහ බඩවැලේ මොනා තියෙනවද
කවුරු දන්නවද ,ඒ රහස් .??
රෝ.සි.

A day in the life

Friday, July 26, 2024

වැරදි රටක ඉපදුන වටින මනුස්සයෙක් - බාහුු






ඔහුගේ දේශපාලනික නොවන ජීවිතය පිළිබද කෙටි පිළිසඳරකටය.

 ‘මගෙ මවුපියො ගුරුවරු. මං උපදිනකොට මගෙ අම්මයි තාත්තයි උගන්වමින් හිටියෙ ඌව පළාතෙ දුෂ්කර ගමක. මම ඉපදුණේ ලුණුගල ඉස්පිරිතාලෙ. මට අවුරුදු හතරෙදි අම්මලා මාරුවක් අරන් මතුගමට ඇවිත් පදිංචි වුණා. මූලික අධ්‍යාපනය ලැබුවෙ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන්. ඒ කාලෙ හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්න කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තරග විභාගයක් තිබුණා. 1953 අවුරුද්දෙ මම මේ තරග විභාගයට ලියලා සමත් වුණා. ඒ වෙනකොට කොළඹ ආනන්දය රජයේ විදුහලක් නොවෙයි. පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත් ඉස්කෝලයක්.

ලංකාවෙ මුල්ම වරට සිංහල භාෂාවෙන් එස්.එස්.සී ලියපු කණ්ඩායම වුණේ අපේ කණ්ඩායම. සාමාන්‍ය පෙළ විදිහට තිබුණ එස්.එස්.සී වගේම උසස් පෙළ වෙනුවට තිබුණ එච්.එස්.සී විභාගත් පළමු පන්තියේ සම්මාන සහිතව මං සමත් වුණා. මම සරසවියට යන්නේ 1962දි. මාව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට තේරුණා.
අවසන් වසරෙදි අපි හිටියෙ පේරාදෙණිය සරසවියෙ. මා උපාධිය ඉහළින්ම සමත් වුණා. මගෙ ප්‍රතිඵල අනුව 1965දී මා කනිෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට පත්කර ගත්තා. මාත් සමඟ පළමු පන්තියේ සාමාර්ථ ගත්තු හයදෙනෙක් හිටියා. අපි හැමෝටම ආචාර්ය උපාධිය සඳහා විදේශ ශිෂ්‍යත්ව ලැබුණා. මම පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ලැබුණු ශිෂ්‍යත්වයකට මගෙ ආචාර්ය උපාධිය හදාරන්න කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ගියා. ඒ ශිෂ්‍යත්වය ලැබුණේ වර්ෂ 1967දී.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල ජීවිතය
කේම්බ්‍රිජ් එකට යන ඕනෑම කෙනෙක් යන්නෙ කොලේජ් එකකට. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කොලේජ් එකක් කියන්නෙ සරසවි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික නොවන ජීවිතය කළමනාකරණය කරන තැන. ඔවුන්ගෙ කෑම බීම ගැන, දුක්ගැනවිලි ගැන, සමාජ ජීවිතය ගැන, ක්‍රීඩා හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන, සොයා බලන ශිෂ්‍ය නිවාසය. කේම්බ්‍රිජ් සරසවියෙ කොලේජ් එකක් කියන්නෙ නේවාසිකාගාරයකට වඩා වැඩි තැනක්.
ශිෂ්‍යයෙක් අධ්‍යාපනය ලබන තැන ඩිපාර්ට්මන්ට් එක. මගේ ඩිපාට්මන්ට් එක තමයි ඇප්ලයිඩ් මැතමැටික්ස් ඔෆ් තියරිටිකල් ෆිසික්ස්. සිංහලෙන් කියනවා නම් න්‍යායාත්මක භෞතික විද්‍යාවේ ව්‍යවහාරික ගණිත අංශය. මගේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි ස්ටීවන් හෝකින් හිටියෙ. අපි ඔක්කොම 25කට වැඩිය හිටියෙ නෑ. මම යනකොට හෝකින් පර්යේෂණ ශිෂ්‍යයෙක්. මමත් පර්යේෂණ ශිෂ්‍යයෙක් විදිහට සම්බන්ධ වුණේ.
යුනිවර්සිටි එකේ තිබුණා කොලේජ් ඔෆ් ආර්ට් ඇන්ඩ් ටෙක්නොලොජි කියලා තැනක්. එතන හවස හා සෙනසුරාදා පන්ති තියනවා. ඒවට ගොඩක් අය යනවා. මට මූර්ති කලාව පුළුවන් නිසා මං එතන පොටරි ඇන්ඩ් මොඩලින් කියන ක්ලාස් එකට. අපි දහයක්වත් හිටියෙ නෑ.
චාල්ස් කුමාරය එන පොටරි ක්ලාස් එක
එතැනින් එහා තියන පොටරි ක්ලාස් එකට චාල්ස් කුමාරය එනවා. චාල්ස් කුමාරය එන පොටරි ක්ලාස් එකට ළමයි සිය ගණන් එන්න පොරකනවා. චාල්ස් කුමාරය එක්ක පොටරි කළා කියලා කියන්න කැමති හින්ද වෙන්න ඇති. යුනිවර්සිටි එකේදි මට ගොඩක් වෙලාවට චාල්ස් කුමාරය හම්බවුණා. ඔහු එන්නෙ ආරක්ෂකයොත් එක්ක. සුප්‍රකට තාරකා විද්‍යාඥ ශ්‍යාමන්, ලෝ ප්‍රකට මහාචාර්ය ඩවුටි ඒ කාලෙ කේම්බ්‍රිජ් එකේ හිටියා. ජාන විද්‍යාව සම්බන්ධ විශිෂ්ටම පර්යේෂණ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කෙරෙමින් තිබුණෙ මං අධ්‍යාපනය හදාරන වකවානුවෙ.
අපි විසිපහකට වඩා නොඅඩු කණ්ඩායමක් හිටියට අපි කළ පර්යේෂණ වෙනස්. හෝකින්ගේ කණ්ඩායම හිටියෙ වෙනත් කාමරයක. ඔවුන් විශ්වය සම්බන්ධ පුළුල් ක්ෂේත්‍රයක පර්යේෂණ කළා. ඔහුගෙ කණ්ඩායමේම පර්යේෂණ සගයෙක් තමයි ලාංකිකයෙක් වූ ආචාර්ය ශාන්ත ද අල්විස්. ශාන්ත මේ වනවිට ඉන්නෙ ඇමරිකාවෙ. ඔහු විශිෂ්ට විද්‍යාඥයෙක්. මට වඩා ගොඩක් හොඳට ශාන්ත හෝකින්ව දන්නවා.
මම හිටියෙ හෝකින්ගෙ පර්යේෂණ කණ්ඩායමේ නෙමෙයි. තරංගවලට බාධක ඇතිවන ආකාරය ගැන තමයි මා ඇතුළු මගේ කණ්ඩායම පර්යේෂණ කළේ. කණ්ඩායම භාරව හිටියෙ ආචාර්ය ක්ලෙමෝ. ආචාර්ය ක්ලෙමෝ කටයුතු කළේ ලෝකයේ සුප්‍රකට තාරකා විද්‍යාඥ ශ්‍යාමන් යටතේ.
සූර්යයාගෙන් පිටවන වලාකුළු වගේ දෙයක් තියනවා. ඒවා පාවෙලා යනවා. එහි ඇතිවන යම් යම් තරංගවලින් පිපිරීම් ප්‍රමාණයක් ඇති වෙනවා. අපි ඒ පිපිරීම් ගැන පරීක්ෂණ කළා. ඒක නිශ්චිත විෂයයක්. හෝකින්ස්ලාගෙ පර්යේෂණ ක්ෂේත්‍රය ඊට වඩා පැතිරිලා තිබුණා. ඔවුන් විශ්වයේ විවිධ පැතිවලට බලපාන කරුණු ගැන පර්යේෂණ කළා.
අපි හැමෝම හැමදාම එකට හම්බවෙනවා. කතාබහ කරනවා. ශාන්ත ද අල්විස් හෝකින්ගේ මිතුරෙක් වීම නිසාම අපි අතර හොඳ සබඳතාවක් ගොඩනැඟෙනවා. ඔහුගෙ මුල් බිරිය ජේන් වයිල්ඩ් හෝකින්ගෙ සමීපම මිතුරිය විදිහට තමයි ඒ කාලයෙ හිටියෙ. ඒත් මං දැනගෙන හිටියෙ නෑ ඒ වෙනකොට ඔවුන් විවාහ ගිවිසගෙන හිටියෙ කියලා.
මා දන්න කාලෙ හෝකින් හොඳට හිටියා. ඇවිද්දා. හොඳට කතාබහ කළා. ඔහු ගොඩක් කඩා වැටිලා රෝද පුටුවක යන තත්ත්වයට පත්වුණේ අවුරුදු දෙකක් ඇතුළතදී. එයා රෝද පුටුවකට වැටුණෙ මම බලාගෙන ඉද්දි. ඒ වෙනකොට ජේන් තමයි එයාව රෝද පුටුවෙ තියලා තල්ලු කරගෙන ආවෙ. ඇය සාමාන්‍ය උපාධියක් කළේ. ඇය ඔහු හා විවාහ ගිවිසගෙන තිබුණේ ඔහුගෙ බරපතළ රෝගී තත්ත්වය ගැන දැනගෙන. ඇයට හෝකින් වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න සිද්ධ වුණා.
හෝකින් ප්‍රියමනාප කෙනෙක්. ඔහු තුළ කිසිම කුහකකමක් තිබුණෙ නෑ. යමක් ඇහුවොත් වුවමනාවෙන් කියලා දෙන්න හදනවා. එයාගෙ අදහස පැහැදිලි කරනවා. හිනාවෙන්න පුළුවන් දේවල් කියනවා. ඔහුගෙ තිබුණ විශේෂම ලක්ෂණය තමයි ලේසියෙන් කෙනෙක්ව හිනස්සවන්න හැකි වීම. ඔහු විටෙක හාස්‍යයෙන් පිරුණු කෙනෙක්. ඒවගේම හෝකින් කැමැති වුණේ නෑ එයාට අමාරුකම් තියනවා කියලා පෙන්වන්න. ඔහු හැම වෙලාවෙම කිව්වෙ මට ප්‍රශ්නයක් නෑ කියලා. ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න ඔහුට හැකි වුණා. ඔහුගෙ දර්ශනයත් හැදෙන්නෙ එහෙමයි. “ඔබ මනුස්සයෙක් නම් ඔබ නොපසුබස්නා වීර්යයෙන් යමක් කළ යුතුයි. ඔබ ලෝකයට වටිනා කෙනෙක්. ලැබුණු ජීවිතේ පුළුවන් තරම් ප්‍රයෝජනයට ගන්න”. ඔහු හැම විටම කිව්වෙ ඒක.
ඒ කාලෙත් හෝකින් දෙවියන් ගැන සැක පහළ කළා. පර්යේෂණ තුළත් ඔහු එය ගොඩනැඟුවා. අවසාන කාලයෙදී ඔහු මුළුමනින්ම දෙවියන්ව ප්‍රතික්ෂේප කළා. ඔහු ගොඩනඟපු දර්ශනය බෞද්ධ දර්ශනයට අතිශයින් සමීප වුණා.
ජේන් සහ හෝකින්
විශ්වය කියන්නෙ ඉමක් කොනක් නැති එකක් නොවෙයි
මෑත කාලයේදී විශ්වය පිළිබඳ ඇති වූ මතය තමයි එහි සීමාවක් තියනවා කියන එක. ඒත් විශ්වය පුළුල් වෙනවා, පැතිරීගෙන යනවා, කියලා ඔවුන් කීවා. ඒ නිසා අපි අතරෙ දුරස් භාවය වැඩි වෙනවා කියලා ඔවුන් කීවා. ඒ මතවාදය අනුව විශ්වයට සීමාවක් තියනවා. එහෙම නම් විශ්වය කියන්නෙ ඉමක් කොනක් නැති එකක් නොවෙයි. විශ්වයේ විකාශනයෙන්මයි විශ්වය ඇතිවෙන්නෙ.
විශ්වය තුළම තිබෙනවා කළු කුහර. ඒ කළු කුහරය තුළට ද්‍රව්‍ය ගමන් ගන්නවා. ඒ ගමන් කරන ද්‍රව්‍ය නැවත එන්නෙ නෑ. හෝකින් මේ විෂය සම්බන්ධව විශේෂ පර්යේෂණ කළා. ඔහු කිව්වා කළු කුහරයත් මේ විශ්වයේම ද්විත්වතාවක් කියලා. ඒක තියෙන්නෙ කොහෙද කියලා ඔහු ගණිතමය සිද්ධාන්ත හරහා පෙන්නුවා. ඔහුට අනුව කළු කුහරයෙන් අර්ථවත් වෙන්නෙ අඳුරු විශ්වයක්. ඒකට ඇතුළු වන ද්‍රව්‍ය නැති වෙන්නෙ නෑ. ඒවා අඳුරු වෙනවා.
හෝකින් කිව්වෙ හැම දෙයකම ප්‍රතිවිරුද්ධ දෙයක් තියනවා කියලා. ආලෝකවත් විශ්වයේ ප්‍රතිවිරුද්ධත්වය තමයි අඳුරු විශ්වය. අඳුරු විශ්වය හා ආලෝකවත් විශ්වය එකට බැඳිලා තිබෙන්නෙ. මේ ද්විත්ව විශ්වය පැතිරෙනවා නම් ඒ පැතිරෙන්නෙ කොහෙද. අපේ විශ්වය වාගේ විශ්ව අනන්ත ප්‍රමාණයක් තියන මහා විශ්වයක් තුළ. එහි ඉමක් නෑ. බුදුන් වහන්සේ කිව්වා ලෝක විෂය අචින්ත්‍යයි කියලා. විශ්වයේ ස්වරූපය ගැන හෝකින් පෙන්නපු මේ සංකල්පය බෞද්ධ දර්ශනයට සපුරා එකඟයි.
මහාචාර්‍ය අල්විස් සුප්‍රසිද්ධ “ප්ලාස්මා ෆිසික්ස්” සඟරාව
මා ආචාර්ය උපාධිය නිම කර කේම්බ්‍රිජ් සරසවියෙන් පිට වුණා අවුරුදු තුනකින්. මගේ ආචාර්ය උපාධි නිබන්ධනය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් මුද්‍රණය කරන සුප්‍රසිද්ධ “ප්ලාස්මා ෆිසික්ස්” සඟරාවෙ පළ වුණා. පස්සෙ මම ලංකාවට ආවා. අවුරුදු 18ක් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. 1978 දී යූ.එන්.පී ආණ්ඩුව මාව සරසවියෙන් ඉවත් කළා. එතකොට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ. අවුරුදු 40කට පස්සෙ රනිල් වික්‍රමසිංහ අගමැතිගෙ ආණ්ඩුව යළිත් මාව සේවයේ පිහිටෙව්වා.
විශ්වවිද්‍යාලයෙන් නෙරපා සිටි වකවානුවේ විවෘත විශ්ව විද්‍යාලයේ උපදේශකවරයෙක් විදිහට වැඩ කළා. පර්යේෂණ කණ්ඩායමක් එක්ක බුදු දහමේ දර්ශනවාදය පිළිබඳ පර්යේෂණයක් කළා. මගෙ පර්යේෂණ ක්ෂේත්‍රය වුණේ බුදු දහම, විද්‍යාව හා මාක්ස්වාදී දර්ශනය. මේ දර්ශනවාද තුනෙන්ම ලෝක විෂය පිළිබඳ ඉදිරිපත් කරලා තිබෙන්නෙ එකම කරුණු. මා මේ සම්බන්ධව නිබන්ධනයක් ඉදිරිපත් කළා.
මේ අදහස පදනම් කරගෙන මහාචාර්ය වයි. කරුණාදාස හා මම මේ වනවිටත් ඒ පිළිබඳව තවදුරටත් හදාරමින් ඉන්නවා. ඒ හැදෑරීම පදනම් කරගෙන ෆිලෝසොෆි ඔෆ් බුඩිසම් ඇන්ඩ් සයන්ස් කියන පර්යේෂණ කෘතිය ගොඩනන්වනවා.
නැවත හෝකින් ජීවමානව සිටි කාලයේ මා වෙනුවෙන් එක් අවස්ථාවක පෙනී සිටියා. මට කැනඩාවෙ සරසවියකින් විශේෂ දේශනයකට ආරාධනා ලැබුණා. සියල්ල සැකසෙමින් තිබෙද්දි කැනඩාව මගෙ වීසා නැවැත්තුවා. ඒ මම කොටි සංවිධානය එක්ක සම්බන්ධකම් තියන පුද්ගලයෙක් කියලා. මට ආරාධනා කළ පාර්ශ්වය මේ සම්බන්ධව ලෝකය තුළ සංවාදයක් ඇති කළා. අනතුරුව ලෝක විද්වතුන්ගෙ අස්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සමට ස්ටීවන් හෝකින් අස්සන් කළා. නෝම් චොම්ස්කි අස්සන් කළා. කැනඩා රජයට විරුද්ධව ඒ සංවිධානය නඩු කියලා කැනඩා රජය පැරදුණා. පස්සෙ කැනඩා එම්බසියෙන් මාව හොයාගෙන ගෙදරට ආවා. ඇවිත් සොරි කියලා කැනඩාවට යන්න වීසා අනුමත කළා කියන පණිවුඩය කිව්වා. මං ඒ අයට කියලා යැව්වා – උඹලගෙ ජරා රටට මට ආයෙ කිසි දවසක එන්න ඕන නෑ කියලා.’

බාහු සහෝදරයා සදය සිනහවකින් මුව සරසා ගත්තේය. අප විශ්වාස කරන පරිදි ඔහු අපට ශ්‍රී ලාංකිකත්වයේ චමත්කාරය කියා දෙන දර්ශකයක්ය. ඔහු ස්ටීවන් හෝකින්ලා සමඟ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය කළේය. සූර්ය තරංග පිළිබඳ කළ ඔහුගේ පර්යේෂණයට අදාළ ආචාර්ය උපාධි නිබන්ධනය කේම්බ්‍රිජ් සරසවියෙන් ප්‍රකාශයට පත් කළේය. අනතුරුව ඔහු ලංකාවට ආවේය. කේම්බ්‍රිජ් සරසවිය ස්ටීවන් හෝකින්ව නිවුටන්ටත් ඉහළින් තබා සම්භාවනාවට ලක් කළේය. රෝදපුටුවට සීමා වුණු ඔහු වෙනුවෙන් ඉන්ටෙල් සමාගම විශේෂ පරිගණකයක් නිර්මාණය කර ඔහුගේ විශ්මයාම දැනුම අවසාන මොහොත වනතුරු ලෝකයට ලබා ගන්නට කටයුතු කළේය. බාහුගේ සමකාලීන ශ්‍රී ලාංකික සගයා ශාන්ත ද අල්විස් ඇමෙරිකාවට ගියේය. ඔහු මේ වනවිට ඇමෙරිකාවේ විශිෂ්ට විද්‍යාඥයෙක්ය.

ලෝකය පිළිගත් විද්‍යඥයෙක් ලෙස ලංකාවට පැමිණි ආචාර්ය වික්‍රමබාහු 1978 දී පේරාදෙණිය සරසවියෙන් පන්නා දැම්මේය. ඉන් අනතුරුව ඔහු අවුරුදු හතළිහක් පූර්ණකාලීනව වාමාංශික දේශපාලනය කළේය. ඉඩ ලැබෙන අතරේ පර්යේෂණ කටයුතුවල නිරත විය. දශක හතරකින් අනතුරුව එනම් බාහුට අවුරුදු හැත්තෑවත් ඉක්ම ගිය පසු ඔහුව යළි හිඟ වැටුප් සහිතව සේවයේ පිහිටෙව්වේය. දැන් ආචාර්ය වික්‍රමබාහු මහාචාර්ය වික්‍රමබාහුය. හැබැයි මහාචාර්ය වික්‍රමබාහු දැන් පෙන්ෂන්ය. අප ලෝකයේ වෙනස් ජාතියක් වන්නේ ඒ නිසාය.
සටහන
-ජානක ලියනආරච්චි

A day in the life

Thursday, July 25, 2024

ෆිදෙල් ක්‍රැස්තෝ


ලෝක ඉතිහාසෙ මට හිටපු අවසාන වීරයා.
"ෆිදෙල් ක්‍රැස්තෝ"
අවජාතක දරුවෙක් විදිහට ඉපදිලා
තමන්ගෙ රටේ විතරක් නෙවෙයි ලෝක ඉතිහාසෙත් වෙනස් කරපු
සද්දන්ත පුරුෂයා.
එතුමා අපිට වීරයෙක්,වෙනකොට
අමරිකාව ප්‍රධානකොටගත් ධනපති ලෝකෙට
"පරම සතුරෙක්" වුණා.
ක්‍රැස්තෝව ඉවරයක් කරගන්න එක අමෙරිකානු සී අයි ඒ එකේ
ප්‍රධානතම වුවමනාව වෙලා තිබුණා.
ඒ සඳහා ඔවුන් කුමන්ත්‍රණ හයසිය තිස් අටක්" ක්‍රියාත්මක කළා.
ක්‍රියාත්මක කළේ 638 ක් වෙනකොට
"තව කීයක් නම් සැළසුම් තනන්නට ඇත්ද? "කියා සිතා ගත හැකියි.
මේ කුමන්ත්‍රණ සියල්ල කෙසේ වෙතත්,
සමහර ඒවා පුදුමාකාරයි..
හාස්‍යජනකයි.
වරක් ඔවුන් ක්‍රස්තෝගේ හවානා සුරුට්ටුවක මැදට
හීනි බෝම්බයක් ඇටෙවුවා.
අඩුමගානෙ රැවුල හරි පිච්චෙන්නෙ නැතැයි,කියලා වෙන්නැති !
ක්‍රැස්තොගෙ විනෝදාංශයක් මුහුදෙ කිමිදෙන එක.
සහ සිප්පි කටු එකතු කරන එක.
එහෙම තැනක මුහුදු පතුලේ
වර්ණවත් සිප්පි කටු තැන්පත්,කළා
බොම්බ අටවපු.....!
කිමිදුම් කට්ටලේ ඇතලට දිලීරයක් දැම්මා
අසාදනය වෙන්ට.
පෙම්වතියක් ලවා වස පොවුවන්ට තැත් කළා වරක්.
ඇය එම වස පෙත්ත සඟවාගෙන හිටියෙ මේකප් බඳුනක.
ඒක දියවෙලා ගිහින් තිබුණා.
ඒක අහුවෙච්ච වෙලාවෙ ෆිදෙල්
"උඹට ඕන මාව මරාදාන්ටද?
වෙඩි තියපන්"කියලා පිස්තෝලෙ දුන්නලු ඇය අතට.
"මට ඒක කරන්ට බෑ ෆිදෙල්!"ඇය කීවලු.
ක්‍රස්තෝගෙ ලේන්සුවට බැක්ටීරියාවක් එකතු කරන්ට වරක් උත්සාහ ගත්තා.
තවත් විටෙක කෝපි කෝප්පෙට වහ දාන්ට ට්‍රයි කළා.
නාන තටාකෙට වස දැම්මා.
පේරු රටේදි කිලෝ පණහක බොම්බයක් ඇටෙවුවා.
මහ මඟදි වෙඩි තබා ඝාතනය කරන්ට සැළසුම් කළා.
කැසිනෝ ශලා වලදි,සුපිරි,හෝටලවලදි
විවිධාකාර ක්‍රම යෙදුවා.
ස්නයිපර් ප්‍රහාර......
තැගි භෝග වල බෝම්බ සවි කරලා හරහා උත්සාහ කළා.
විෂ ද්‍රව්‍යය ⁣යොද නිපදවූ සිගරට් හරහා උත්සාහ කළා.
මේ හැම ප්‍රයත්නයක්ම අසාර්ථක වුණා..
සී.අයි.ඒ.එක පච වුණා.
අන්තිමට සහෝදරයට රට බාර දීලා
ස්වභාවිකව මරණයට පත්,වෙනකල්
බම්බු ගහගන්ටවත්,බැරි වුණා
අමරිකාව ට.!
සී අයි ඒ එක ට.!
A day in the life


Wednesday, July 24, 2024

සැතපෙන කුටියේ පොකුණ.






ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සැතපෙන කුටියේ පොකුණ.

 

මේ තියෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් බලාවි.මෙය තියෙන්නෙත් දළදා මාලිගා භුමියේමයි. හැබැයි මෙය වන්දනාවේ යන කාගේවත් ඇස ගැටෙන්නේ නැහැ. මේ පොකුණක්. නිකම්ම පොකුණක් නොව රාජකීය පොකුණක්.
දැන් මෙය දළදා මාලිගා භුමියේ තිබෙනවා වගේ අපිට පෙනුනට රජසමයේ මේ භූමිය රජ මාලිගාවේ පරිශ්‍රය.
දළදා මාලිගාවට ගියාම රාජා ඇතා ගේ අනුරුව තියෙන කෞතුකාගාරයට ආසන්නව තියෙන රජ මාලිගාව ඔබ දන්නවා.ඒ අපිට දකින්න ලැබෙන්නේ අවසන් රජතුමා වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාලිගාව වුණාට මහනුවර සිටි බොහෝ අපි දන්නා නොදන්නා රජවරුන්ගේ මාලිගාව තිබිලා තියෙන්නේ ඒ ස්ථානයේම තමයි.
දළදා මාලිගාව කියන්නේ රජතුමාගේ බුදුමැදුර. එය ඉස්සර තිබු⁣ණේ දළදා වහන්සේ වැඩසිටින කුටිය පමණයි. පස්සේ තමයි එක එක කොටස් එකතු වෙන්නේ.
ඉතින් දළදා මාලිගාවත් රජ මාලිගාවේම කොටසක්.1815 මහනුවර නගර සැලැස්ම බලනවිට රජ මාලිගාව යනු ගොඩනැගිලි සංකීර්ණයක්. රජතුමාගේ මාලිගාව වෙනම, රජතුමා සැතපෙන කුටිය වෙනම, එතුමා බෙහෙත් ගන්න.කුටිය වෙනම, සළු පළඳින කුටිය වෙනම. එහෙම තමයි මේ සියල්ල තිබිලා තියෙන්නේ. ඒ දැන් දකින රජ මාලිගාව පිටිපස්සට වෙන්න තමයි සියල්ල තිබිලා තියෙන්නෙ.
ඒ වගේම රජතුමා හමුවෙන්න එන රටවැසියා බොහෝම දුර ඉඳලා ආවම මහන්සිනේ.. ඒ නිසා ඒ අයට ගිමන් හැරලා රජතුමා හමුවෙනතුරු රැඳී ඉන්න රජ මාලිගාව අසලම මඩුවක් තිබුණා ඒකට කියන්නේ වෛසෙලියේ මඩුව කියලා. ඒ වගේම ඒ අසලම ළිඳක් තිබුණා. ඒ ළිඳට කියන්නේ වෛසේලියේ ළිඳ කියලා. මේ ළිඳ තවමත් රජමාලිගාව අසලම තියෙනවා. හැබැයි ඒක උඩින් වහලා තියෙන්නේ.
ඉතින් මේ සමග ඇති පොකුණ තියෙන්නේ මගුල් මඩුව පිටිපස්සේ. ඒ කියන්නෙ වර්තමානයේ රන් ආයුධ මණ්ඩපය අසල ඒ ඉදිරියේ තමයි මේ පොකුණ තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශයට වැඩි දෙනෙක් නොයන නිසා මේ පොකුණ ඇස නොගැටෙන්න පුළුවන්. ඔබ මගුල් මඩුව පිටිපස්සෙන් ජාත්‍යන්තර කෞතුකාගාරයට පිවිසෙනවානම් ඉන් වම් පැත්තට ගියාම රන් ආයුධ මණ්ඩපය ඉදිරිපිට මේ පොකුණ දැකගන්න පුළුවන්.
ඉතින් මේ පොකුණ අසලම තමයි රජතුමාගේ සැතපෙන ගේ තිබුණේ. සැතපෙන ගේ එක්කම තමයි රජතුමාගෙ සළු කුටිය තිබු⁣ණේ. ඒ කියන්නේ රජතුමා ඇදුම් අඳින තැන. ඒ කිට්ටුවම තමයි රජතුමාට ශාන්ති කර්ම කරපු ශාන්ති මණඩපය තිබුණේ..
ඉතින් මේ පොකුණ අද මෙහෙම කිබුණාට මෙය රජතුමා පාවිච්චි කරපු පොකුණක්. රජ තුමාගේ සැතපෙන කුටිය ඇතුලේම සිහිල ගේන්න මේ පොකුණ තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැතපෙන කුටිය ඉදිරිපිට මෙය තියෙන්නත් ඇති.ඒ කොහොම වුණත් රජතුමා මෙය පාවිච්චි කරපු පොකුණක්.
ඒ මාලිගාවට ගියාම වැඳල පුදලා දුවල එන්නේ නැතිව ඔය වගේ පෞරාණික දේවල් ගැනත් අවධානය යොමුකරලා බලලා එන්න
උපුටා පළකිරීමකි..
ස්තූතිය. ලිපිය සහ ජායාරූප මුල් හිමිකරුට
මනුසත් හෙළ දෙරණේ පුනරාගමනය Manushath Hela Derane Punaragamanaya

A day in the life