Monday, December 28, 2015

මාටිං අයියාගේ අවුරුද්ද.


පේ මාටිං අයියාට මේ තරම් තරහ ගිය දවසක් මම දැක  නැත. උන්නැහේ මහින්ද මහත්තයාගේ වැඩ ගැන තිබුන කලකිරීමට මෛත්‍රී මහත්තයාට ඡණ්දය දුන්නේය. මෛත්‍රි මහත්තයාට සහයට රණිල් මහත්තයා අගමැති කරවුයේය.
 කේන්ති මීටරය දවසින් දවස නැග්ග හැටි මෙනෙහි කරන විට මට යහපාලනයේ අතුරු අයවැය ගැන කරන ලද ප්‍රශංසාද අමතක කල නොහැක. ඒ මතින් පාර්ලිමේන්තු ඡණ්දයේදී හොදටම වයින් වී සිටි මාටිං අයියා කුඹුක් මුලක කොක්ක පැටලී ගමක් එක්කම තරහවු  මසුන් මරන්නා මෙන් දෙන්නං බැටේ අර්ථයෙන් කරන ලද පාරම් බෑම්ද මතක් විය. අන්තිමේදී හයිබ්‍රිඩ් ආණ්ඩුවක් හැදුන තැන මාටිං අයියා කූල් ඩවුන් විය.නැත්නම් ගමම සුන්නත්දූලි කරන තරම් පවර් එකක් මාටිං අයියාගේ හිතට කාණ්දුවී තිබුනේය.
මාටිං අයියා ගේ නිවසට අසල්වාසී නිවසේ සිටියේ මහින්ද මතවාදී  තද පොරකි. පොරක් වුවාට ඔහුගේ දෙනෙත අබාධිතව ප්‍රතිකාර ගනිමින් සිටියේය. නිහඩ  ජීවිතයක් ගත කල ඔහුගේ දරුවන් උසස් යයි සම්මත අධ්‍යාපනයක් ලද හෙයින් සහ දරුවන් ඔහු රැක බලා ගෙන සිටින බැවින් නිසංසල ජීවිතයක් ගත කලේය. මාටිං  අයියාට මේ අසල්වාසියා දේශපාලනය නිසා පෙන්නනම බැරිය.මාටිං අයියාගේ මතවාදයට හරවා ගැණිමට නොහැකිවු තැන අසල්වාසියා බත් කන පොට්ට හරකෙක් බවට නම් කලේය. මේ අතුරු කතාවට පැමිණියේ මාටි අයියා එදා හිටි මානසික අභිමානය දක්වන්නටය.
තොල කට තෙමා ගන්න ගොඩ වෙන බාර් එකේ කොල්ලා  දකින කොටත් මාටිං අයියාට දැන් දැන් ඌරු ජුවල් නගින්නේය. කොල්ලා නක්කලයට වගේ ලයිසමට වැඩි කරන ලද ලක්‍ෂ පහේ  මුදල සහ රජයෙන් වැඩිකරන ලද ලීටරයට එකසිය පනහත්  එකතු කර කාලට ගනන් කී විට  අම්මා මෝ මතක් නොකරන දවසක් නැත. බජට් එක බැලන්ස් කරගන්න බැරිම තැන සංස්ථා කාලෙන් 30.5% හේ අනම් මනම් බ්‍රැන්ඩ් වලට  මාටිං අයියා පල්ලම් බැස්සේය.
බාර් එකේ කොල්ලාගේ කට හොද නැත. මාටිං අයියාව අවුස්සන එක උගේ විනෝදාංශයක් වී ඇත. මායිමේ තිබුන විශ්ව විද්‍යාලයේ සිකුරිටියේ වැඩ කල කෙල්ල දැන් ගෙදරය.කලින් රත්නා ලංකා සමාගම මෙහෙයවන ලද ආරක්‍ෂක අංශය දැන් පෞද්ගලික ආයතනයක බූදලයක් වී ඇත. පඩි පාලක සභාවේ වැටුප් පටිපාටියට යටත්ව මාසිකව රුපියල් තිස්දහසක් පමණ වැටුපක්  ලද කෙල්ලට රුපියල් හයසියයක පැය දොළහක වැඩ මුරයකට යාමට වීමෙන් සිකුරිටි ජොබ් එක එපාවී ගෙදරට වීම නිසා මාටිං අයියාගේ බජට් එකේ බැලන්ස් නැත්තටම නැතිවී ඇත.පහුගිය ආණ්ඩුවෙන් දුන් බයිසිකලේ නැගී හෙල්මටයට උඩින් කොන්ඩය හුලගට පා කරමින් යන ආර්ථික සංවර්ධන නිලධාරිය දකින මාටිං අයියා ඒකිගේ සනුහරේටම හෙන    සිහිපත් කරන්නේය.
මාටිං අයියාගේ කොල්ලෝ දෙන්නටත් වී තිබෙන්නේ මේ සංගදියමය.ඒ දවස්වල පාරවල් කන්නද ? අහපු මාටිං අයියා කොන්ත්‍රාත් සමාගම් වල පාරවල් බෝක්කු පාළම් හදපු කොල්ලෝ දෙන්නා ගෙදරටවී මාටිං අයියාට බරක්වී ඇත.  අපි කාටත් කන්නත් පාරවල් හොදයි කියන්න තරම් හිත වෙනස්ව   ඇත. ඒත් පලාතේ ඇමතිතුමා ලාබ ගන්න පුළුවන් ප්ලැට් ලෑන්ඩ් වල විතරක් පාරවල් හදන එක නතරව ඇති නිසා මාටිං අයියාට ඒ පිලිබදව  පුංචි ‍ජොලියක් ඇතිවී ඇත.

ජනහිතකාමිවු බජට් එක පිලිබදව බලාපොරොත්තු ඇතිව සිටින මාටිං අයියා අණ්ඩ දමන ලද අතුරු බජට් එක පිළිබදව සුන්දර සුබ සිහින දකිමින් 2015 වසරට සාප කරමින්  කාර් එකක් මිළදී ගැණිමේ  බලාපොරොත්තුවෙන් පරණ යකඩ එකතු කරන පෙරුමාල්ට පුෂ් බයිසිකලය විකුණා දමන  ලද ආරංචිය ගොසිප් වලට හොද ආරංචියක් විය.

notes of imaginary

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon