මීරියබැද්දේ ශෝකාන්තය



මේ නොවැම්බර් මාසයයි. සැප්තැම්බර් සිට ජනවාරි මැද දක්වා මධ්‍යම කදුකරයට වැසි ලැබේ. මේ ප්‍රදේශවල පැරණි පාරම්පරික ගොවි ජනතාවට මේ වැස්ස අරුමයක් නොවේ. කාලගුණ දෙපාර්තමේන්තුවේ තියරි කෙසේ වෙතත් මේ ඇත්තෝ කියන අනාවැකි නම් අකුරටම නිවරදිවේ.
කොස්ලන්දේ මීරියබැද්ද වතුයායේ කොටසක් නායයාමෙන් පසුවත් තවමත් පටන් ගත් වැස්ස කාලසටහනකින් තොරව ඇද හැලේ. සති ගනනාවක් කදුකරයට ඇද හැළුන වැස්ස නිර්මාණය කල ජීවිත අවදානම දැන් වැස්සේ නැති සෙයකි. එහෙත් තවමත් වැසි ඇද වැටෙන්නේය.

ස්වභාව ධර්මයාට එරෙහිව අපට උඩුගම් බලා පිහිනා යා නොහැක. ඒ බවක් මායිම් නොකරන අපේ ඇත්තෝ වානිජ මෙන්ම සුළු පරිමානයේ වගා සදහා මහ පොලොව නිරුවත් කරති. ජලාශ ඉදිකරති. ගිණි තියති. මේ අකටයුතු කම්වලට එරෙහිවන ස්වභාව ධර්මය අපට අකාරුණිකව කටයුතු කරයි.
සුද්දන් මීරියබැද්ද තේ වගාව සදහා නිරුවත් කල නිසාදෝ මිහිකත ට ඉවසා දරා ගත නොහී ගිය කෝපය පුපුරා ගියේ පරම්පරා පහ හයකට පසු ජීවත්වු පරම්පරාවක් ඉලක්ක කර ගනිමින් එම පරම්පරාව විනාශකරමින් සහ අනාථයින් බවට පත් කරවමිනි.

මේ කැළඹීම හිතේ හොල්මන් කරමින් සිටියදී මතුවු අනාථයින්ට සනාථවීමේ අරගලය සහ උනන්දුව ඉන් මතුවන ගසා කෑම, මඩිතරකරගැණීමේ අපේක්‍ෂාව දකිමින් ඇසට කදුලක් මතු නොවුනා නම් ඔහු පෘතග්ජනයෙක් නොවේ.
දේශපාලකයාට කාගේ ව්‍යාසනය තුලද පෑදෙන්නේ රිදී ඉරකි. දැන් දැන් නොයෙක් මාධ්‍ය ජාලයන්ද තම ව්‍යාපාරික ප්‍රවර්ධණයන්ද ගජ රාමයට කරගන යාමට මේ ව්‍යාසනය මීරිය - බැද්ද ක් වී තිබේ. තවත් ඇත්තෝ මීරියබැද්ද විකුනා ආධාර රැස්කර යටි මඩි ගසා ගනිති.

තවත් සමහරුන්ට මීරියබැද්ද සංචාරක පරාදීසියකි. අවතැන්වුත් අසරනවූත් මේ ජනතාවට අවශ්‍ය වන්නේ නැවත විකුණා ලන්න තරම් හාල් මිරිස් තුනපහ රෙදි පිලි ටිකක් නොවේ. ඒවා තාවකාලික විසදුම්වේ. උන්හිටි තැන් අහිමිව හිසට වහලක් නොමැතිව සිටිනා මේ අසරනයින්ට පදිංචියට ඉඩම් අවශ්‍යවේ. ගේ දොරක් අවශ්‍යවේ. දෙමව්පියන් අහිමිවු දූ දරුවන්ට ඔවුන්ගේ අනාගතයම අවශ්‍ය වේ.
ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට මැදිහත් විය යුත්තේ දීර්ඝ කාලීනව විසදුම් දිය හැකි ආයතනයන්ට මිසක වැහි බිරම පහවී යන විට පාවී එන පාට පාට සරුංගල් කරුවන්ට නොවේ.

දීර්ඝ කාලීන විසදුම් දිය හැකි පලාත් සභාවකුත් මධ්‍යම රජයකුත් ඇතත් කතාවක් මිසක වැඩට බහින්න කාලය ගෙන ප්‍රදර්ශනය වෙන බව නම් දකින්නට තිබේ. එයයි මීරියබැද්දේ ශෝකාන්තය .





notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පිවිතුරු හෙටක් ?.


දේශපාලන අදහස් ගැන අපට උදහස්වීමට කාරනා ඇතිවේ.
උදහස් වීම හා ආතතිය හා බැදීමක් ඇති බැවින් ආතතිය නිසා ඇති වන ලෙඩ රෝග ඇතිවීමෙන් වැලකී සිටීමට නම්  උදහස් වීමට ඇතිවන කරුණු කාරනා වලින් ඈත්වීම සුබදායකවේ. ඒ නිසාවෙන් එදිනෙදා ඇසෙන දේශපාලන ප්‍රවෘත්ති පිලිබදව නෑසු කන්ව සිටීමේ ප්‍රතිපත්තියකට මාරුවීම මගේ ප්‍රතිපත්තියක් බවට පත්ව තිබිනි.

එහෙත් මේ දිනවල අසන්න ලැබෙන්නේ ආතතිය ඇතිවීමට හේතු සාධක වන ප්‍රවෘත්ති නොවේ. මේ ප්‍රවෘත්ති සිත සැහැල්ලු කරන වර්ගයේ කොමඩි කතා බැවින් ලේ ගමන යහපත් වී ඇගපතටද සැහැල්ලුවක් ඇති කරන බැවින් ඇග පත ද රන්වන් පාටවන රූප ලාවන්‍ය ප්‍රවෘත්තින්  වේ.  එබැවින්  දේශපාලන ප්‍රවෘත්ති කියවීමට  නැවත උනන්දුවක් ඇති කරගැණිමට අදහසක් ඇති කර ගතිමි.

මාදුළුවාවේ සෝභිත හිමියෝ , අතුරලියේ රතන හිමියෝ සහ  බොදු බල සහ රාවනා ආදී කී නොකී හිමිවරු අප සාශනයට කරන්නාවු සේවය පිලිබදව බෞද්ධයෙක් වශයෙන් මගේ සිත තුල ඇතිවන බුද්ධාලම්භන ප්‍රීතිය දක්වන්නට බුදුහාමුදුරුවෝ ජීවමානව නැති හෙයින් මම කම්පා වෙමි. එතුමන්ලාට පැවදි ජීවිතය පියමන් කර ගිහි ජීවිතය ආක්‍රමණය කිරීමට සිත් පහල නොවන්නේ මන්දැයි හිමිදිරි උදෑසනක මම පිණිබිදුවකින් විමසුවෙමි.  නිහඩතාවය නිසා   යලි විමසන්නට බලන විට පිණිබිදුව වාෂ්ප වී ගොසිනි.

විධායක ජනාධිපති ක්‍රමය නොතිබෙන්නට තිස්වසරක යුද්ධය දිනන්නට ස්ථාවර රජයක් ගොඩ නගා ගන්නට නොහැකිවේ යයි  මම සිතමි. වරදාන ලබමින් ජරාව කමින් හෝ පසුගිය පාර්ලිමේන්තුව ස්ථාවරව තිබුනේ ජාත්‍යාලයෙන් නම් නොවේ.. එලියට බැස්සොත් ඇගපත වියලී තෝරුන් සේ සිටින උත්තමයින් හාල්මැස්සන් වන බැවිනි. අදද පාර්ලිමේන්තුව ඇති ආකාරයෙන් ඇත්තේ බෝර්ඩ් ලෑල්ලේ ලියා ඇගේ එල්ලා ඇති පට්ටමේ ඇති වරදානයන් සහ ජරාවේ ඇති අනුහසිනි.

මෙසේ තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නො කර ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කළොත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැරැදවීම සඳහා කළ හැකි සෑම දෙයක්‌ ම කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙටක්‌ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ පවසයි. එහෙත් නියරය යට සිට වක්කඩය කඩන්නට උන්වහන්සේට අදහසක් පහල නොවේ. අපිට මන්ත්‍රියෙක් නැති සමානුපාත ඡණ්ද ක්‍රමය ගැන හාන්කවිස්සියක් වත් උන්වහන්සේට සිහිපත් නොවේ.

එතුමන්ට පවතින පාර්ලිමේන්තුවේ රැදී සිටිමින් නිර්වාණය අවබෝධ කර ගන්නට නොහැකිවී ඇති බව සිතන්නට අපට කරුණු කාරනා පහලවේ.  රතන හාමුදුරුවෝ 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන ලද  බව මට සිහිපත්වේ. අද වන විට උන්වහන්සේගේ 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීම වැරදි බව කියනා තැනට පත්වීමෙන් උන්වහන්සේට ලැබුන නොලැබුන මාර්ගඵලයන්හී වටිනාකමේ කිසියම් වෙනසක් ඇතිවී ඇති බව අවබෝධ වන්නට ඇතැයි එකත්පස්ව වැදගෙන සිටින උපාසක උපාසිකා අපගේ සිත්තුල කොමඩි සිතිවිල්ලක් ඇතිවේ.

පැවදිව සිටි කාලයේ උන්වහන්සේලා දේශනා කරනු ලැබු බණක බුදුරජානන් වහන්සේ ට පරිනිර්වාණය කරන ලෙස මාර දිව්‍ය පුත්‍රයා ආරාධනා කළ කල්හි ,  ආනන්ද හාමුදුරුවන් නිහඩව සිට ඇත්තේ  උන්වහන්සේට ආවේෂ වුණු මාරයා  එය වැළැක්‌වු බැවින්යැයි සදහන් වු බව සිහිපත් වේ.  18 වැනි සංශෝධනය සඳහා ඡන්දය දෙන අවස්‌ථාවේදී අපේ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේටත් මාරයා ආවේෂ වූවා විය හැකියයි  උපකල්පනයක් ඇති කර ගැණිමට මම උත්සහා දැරුවෙමි.  උන්වහන්සේට ආවේශවු මාරයා ගිය පසු කඩුල්ල වසන්නටත් විකල්පයන් සොයන්නටත් හදන හැටි අසමින් මම විස්සෝපයට පත්වෙමි.

පණ්ඩිත උන්නාන්සේලා අනුගමනය කිරීම හැර උන්වහන්සේලාට උපදෙස් දීමට පෙ‍ළඹවීම ගිහි අපට බ්‍රහ්ම දණ්ඩණය පැනවීමට හේතුවේ. එසේ වුව හොත් පාංශකූලයට පවා කහසිවුරු හයර් පර්චසින් කිරීමට උපාසික උපාසිකාවන්ට සිදුවීය හැකි බැවින්  එකත්පස්ව අසා සිටීම ගුණදායක බව අවවාදයක් ලෙස මේ කොමඩි වියමන යේ සටහන් කරම්හ.



notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS