අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Friday, October 31, 2025

10/31/2025 10:00:00 pm
4

ගෝඨාභය සැබෑ නායකයෙක් ද?.....

නායකත්වය ගැන මම අහලා තියෙන හොඳම කියමන තමයි “You're not really a leader until you've lost.” “ඔබ පරදින තුරු ඔබ සැබෑ නායකයෙකු නොවේ.” මේක මම ඇහුවේ The Core නමැති විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ දෙබසක. මේ කියන්නේ කුමක්ද? මේ වැකියෙන් කියවෙන ගැඹුරු අර්ථය කුමක්ද?
අපි සාමාන්‍යයෙන් හිතන්නේ හැම වෙලාවෙම දිනන කෙනා තමයි නායකයා කියලයි. එහෙම තමයි අපව කුඩා කල ඉඳලා හදන්නේ. පන්තියේ පළමු වැනියා තමයි නායකයා. ක්‍රීඩා පිටියේ දුවලා දිනන කෙනා තමයි නායකයා. කථික තරගවලින් දිනන කෙනා තමයි නායකයා. ඒ නිසා සමාජයේ බොහෝ අය හදන්නේ කොහොම හරි දිනන්න. ආයතනයේ ලොක්කා වෙලා දිනන්න. ජනප්‍රියම නළුවා වෙලා දිනන්න. 
නමුත් ඒ දිනනවා කියන්නේ පුද්ගලික දෙයක්.

මේක තේරුම් ගන්න පුළුවන් සරත් ෆොන්සේකා කියන චරිතය දෙස බැලීමෙන්. ඔහුම නිතරම කියන හැටියට ඔහුට ඕනා හැම වෙලාවෙම දිනන්න. ඔහු කිසිසේත්ම පරදින්න කැමති කෙනෙකු නොවෙයි. අද වනවිට සම වැහැරුණු මහල්ලෙකු වුවත් ඔහු ඉතාම තරගකාරියි. ඔහුට වැදගත් වෙන්නේ එකම දෙයයි. ඒ තමයි ඔහුගේ පුද්ගලික දිනුම. ඔහු කතා කරන්නේ “මම”, “මම” සහ “මම” ගැනම විතරයි. සරත් ෆොන්සේකා වැරදිලා හරි ජනාධිපතිව සිටි අවස්ථාවක ඊනියා අරගලය වගේ දෙයක් වුනා නම් මේ රටට කුමක් වෙලා තියෙයිද කියා අපට හිතා ගන්න පුළුවන්. 
මට මතකයි ෆොන්සේකා කිසියම් අවස්ථාවක කියනවා යාපනයේ හිරවී සිටි හමුදා කණ්ඩායමක් මුදවා ගැනීමට ගෝඨාභය සහ ඔහු කළ මෙහෙයුම ගැන.
ඔහු එහිදී කියනවා ගෝඨාභය සහ ඔහු එකල සමාන නිලයේ හමුදා නිලධාරීන් හැටියට එකිනෙකා අතර තරගයක් තිබුණාය කියා. ගෝඨාභය ඉදිරියට යනකොට ඊට නොදෙවෙනිව ෆොන්සේකාත් ඉදිරියට ගිය හැටි ඔහු කියනවා. ඒ තමයි අර දිනන්න තියෙන දැඩි උවමනාව. තරගකාරී ස්වභාවය. 
ඒකත් අවශ්‍යයි. 
නමුත් අර හිරවෙලා ඉන්න මිනිස්සු බේරා ගන්නවාට වඩා ඒ බේරාගැනීම තමන් විසින් කිරීමෙන් ලබන දිනුම තමයි එතැනදී ඉස්මතු වෙන්නේ. අර චිත්‍රපටයේ සංවාදය පටන් ගන්නේ “Being a leader isn't about ability. It's about responsibility.” “නායකයෙක් වීම යනු හැකියාව පිලිබඳ දෙයක් නොවෙයි. එය වගවීම පිලිබඳ දෙයක්.” යුද්ධයේ අවසාන සටනට ඒ දෙන්නාම නැවත සම්බන්ධ වීම අහම්බයක් නොවන කර්ම විපාකයක්. ෆොන්සේකා යුද්ධය දිනනවා. ගෝඨාභය යුද්ධය අවසාන කරනවා.

ගෝඨාභයටත් දිනන්න ඕනෑකම තියෙනවා. ඔහුත් පරදින්න කැමති කෙනෙකු නොවෙයි. නමුත් වර්ෂ 2015 න් පසුව මා නිරීක්ෂණය කළ දෙයක් තමයි ඔහුගේ ඒ කෙසේ හෝ තමන් දිනන තරගකාරී ගතිය ක්‍රමයෙන් අඩුවෙලා පරිණත මිනිසෙකු බවට පත්වෙන ආකාරය. ජීවිත කාලයක් ලද මහා අත්දැකීම් සහ පතපොත කියවීමෙන් ලද දැනුම වගේම ඒ සියල්ල දෙස නිවී හැනහිල්ලේ අවලෝකනය කිරීම එයට හේතු වන්නට ඇතැයි මා සිතනවා. මිනිහෙක් වයසට යනකොට තමයි ඒ රිෆ්ලෙක්ෂන් එක කරන්න නිදහස ලැබෙන්නේ. 
ගෝඨාභය රාජපක්ෂ ජනරජයේ ජනපති වීමට වඩාත්ම සුදුස්සා කියා මා එදා කීවේත් අද කියන්නෙත් ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය මතයි. මොකද කෙසේ හෝ දිනන ස්වභාවය තියෙන කෙනෙකු රාජ්‍යයක නායකයා වීම ඉතාම භයානක දෙයක්. අවස්ථාව පැමිණි විට තමා පරදින තීරණය ගන්න බැරි නම් ඔහු සැබෑ නායකයෙකු නොවෙයි. 

මොකක්ද ඒ තීරණාත්මක අවස්ථාව?

ඊනියා අරගලය මුලදී හෝ මැදදී හෝ අගදී හෝ හමුදා බලය යොදා පාලනය කළා නම් එය නොනවතින භීෂණ රැල්ලක් බවට පත් වෙනවා. එහෙනම් මේ රට දැන් අමු සොහොනක්. ඒකම තමයි ජවිපෙ/පෙසප, කාඩිනල් සහ කොටි ඩයස්පෝරාව ඇතුළු වෛරයෙන් පිරුණු සතුරාටත් ඕන වුණේ. ඒ අවබෝධය තියෙන්නේ එවැනි ව්‍යසනයක් සැබැවින්ම අත්විඳපු අයට පමණයි. 87/89 අවිචාර සමය විකසනය වූ ආකාරය ගැන ගෝඨාභය මහතා මා සමග පැය ගණන් කතා කරලා තිබෙනවා. පොහොට්ටුවේ ආවේගශීලී අපරිණත ඇතැමුන් හරි ලේසියට කියනවා “ගහන්න තිබුණා” කියා. නමුත් පරිණත මනුස්සයාට පේනවා එහි විපාකය. සැබෑ නායකයාට එතැනදී ගන්න වෙනවා ඉතාම අපහසු තීරණයක්. 
අර චිත්‍රපටයේ අභ්‍යවකාශ යානාව පදවන කැප්ටන් කියන්නේ “You've got to be ready to make the shitty call.” කියලයි. “ඉතාම අපහසු තීරණය ගැනීමට ඔබ සූදානම්ව සිටිය යුතුයි.” කියලා ඔහු කියන්නේ ඔහුගේ තරගකාරී දෙවැනියට.

ධූරයෙන් නික්ම යෑම ඉතාම shitty call එකක්. අතිශය බරපතල තීරණයක්. ඒක ඔහුගේ හැකියාව ගැන ප්‍රශ්නයක් ඇති කරනවා කියා ඔහු දන්නවා. නමුත් නායකත්වය කියන්නේ හැකියාව නොව වගවීම පිලිබඳ දෙයක් කියාත් ඔහු දන්නවා. ඒක ගෝඨාභය රාජපක්ෂට පුද්ගලික පැරදුමක්. නමුත් ගෝඨාභය දන්නවා ඒකෙන් ඔහු ආදරය කරන ඔහුගේ රටට වෙන්න යන මහා විනාශයක් ඔහු වළක්වනවා කියා. 
ඒක තමයි ඔහුගේ අර තීරණාත්මක “අවස්ථාව”. ආත්මාර්ථය වෙනුවට පරාර්ථය අවශ්‍යම කරන අවස්ථාව. තමන්ගේ තීරණය විසින් ජීවිත බේරා දෙන මිනිසුන් ඒ බව නොදැන තමාට “දුර්වලයා” කියා බනින බව දැන දැනත් ඔවුන් වෙනුවෙන්ම අපහසුම තීරණය ගන්න වෙන අවස්ථාව.

ඒක තමයි ගෝඨාභය “සැබෑ නායකයා” වුණ අවස්ථාව...

රුක්මාල් සමරකෝන් මුණු පොතට.
- උපුටා ගැනීමකි


Next
This is the most recent post.
Older Post

4 ප්‍රතිචාර:

Ajith Dharma. said...

මොන පචයක් ද අනේ මේ . අපි නොදන්නා ගෝඨාභය . ඔහු ඇමෙරිකාවේ සිටි කාලයේ මටත් ඊමේල් ඒවා තිබෙනවා ඔස්ට්‍රේලිය ස්පර් හා ලංකාවේ හෙළ උරුමය කට්ටිය සමග සිටි කාලේ . ඔහු ජනධෝඅතිවී හොරු සහ හොරකම් සියල්ලේ සාක්ෂි විනාශ කර නඩු අවසන් කළා . ඒවා කලට පස්සේ ගියා . බැරිවෙලාවත් වෙඩි තිබ්බ නම් රාජපක්ෂලා තියා ලඟින් යන එකෙන්කුවත් ඉතිරි වන්නේ නැහැ . ඔහු ඉතා අසාර්ථක නායකයෙක් . ඉගෙනීමක් තිබ්බේ නැති කෙනෙක් . හමුදාවට ගියේ දේශපාලන සබඳකමක් මත . ෆොන්සේකා ගැන සමහර දේ හරි වුනත් හමුදාවට දුන් නායකත්වය නිවැරදි ලෙස කළා .

නිහඬපාල Nihandapala said...

ගොටාභය හොඳ කථිකයෙක් නෙමෙයි. එය ඔහුට අවාසියක්. ආකර්ශනීය නායකත්වයක් දෙන්න බැරිවුනේ ඒ නිසා. COVID අවාසනාව ඔහුට බලපෑවා. විපක්ෂය විසින් පින්තාරු කරපු මිනීමරු සායම ඔහු ගලවලා දැම්මා. දැන් කරන සරල වැඩ ගොටාභය ප්‍රචාරණයක් නැතිවම කරා. ඔහු සරල නායකයෙක්.හැබැයි ලාංකිකයෝ ඉල්ලන්නේ ප්‍රචාරනවාදී මතුපිටින් සරල බව පෙන්වන අය . සියල්ලන්ම කිසිවිටකත් 100% නිවැරිදි තීරණ ගන්නේ නැහැ. ඉතින් විවෙච්කයන්ටත් කියන්න පුළුවන් දුර්වල තීරණ ගොටාභය ගත්තා.

kadulla plus said...

අදහස් පලකරන්න අවස්ථාවක් ඇති කලා. බලමු ප්‍රතිිචාර .

kadulla plus said...

ස්තුතියි අදහස් පලකලාට.