පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, April 23, 2024

බක් පෝය .



බක් පුන් පොහෝ දිනයේ වැදගත්කම...
බක් මාසයේ සිදු වූ වඩාත් ම වැදගත් ශාසනික සංසිද්ධිය නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයයි.
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වර්ෂයේ බක් මස අව පසළොස්වක් පොහෝ දින ලක්දිව සිටි චූලෝදර හා මහෝදර යන නාග ගෝත්රික රජුන් දෙදෙනා අතර මිණිපළඟක් වෙනුවෙන් ඇතිවීමට ගිය ආරවුලක් සංසිඳුවීමට සෘද්ධියෙන් ලක්දිවට වැඩම කළ සේක.
මෙම නාරජවරුන් ලක්දිව සිටි නාග ගෝත්රික රජවරුන් වශයෙන් අනුමාන කෙරෙයි. මහෝදර නාග රාජයා මුහුදේ පන්සිය යොදුනක් විශාල වූ නාග භවනෙහි ආධිපත්යය දැරීය. මහෝදර නා රජුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයෙහි විසූ නා රජකුට විවාහ කර දී තිබුණි. මෙම පිරිස ගොඩ විසූ නාගයන් ලෙස හැඳීන්වෙයි. එම නැඟනියගේ පුත්රයා චූලෝදර නම් විය. මෙම ගොඩබිම සහ මුහුදේ විසූ නාග කොට්ඨාස දෙක ම අතිශය බලවත් දෙපිරිසක් වූ බව මූලාශ්රවල කියැවේ.
මහෝදරගේ පියා වූ නාග රාජයා කළුරිය කරද්දී තමා සතු වූ මැණික් පුටුව හෙවත් මිණිපළඟ දියණියට ලබා දී තිබූ අතර එහි අයිතිය තමා වෙත ලබා ගැනීමට මහෝදර නා රජු චූලෝදර නම් වූ තම බෑණනුවන් සමග යුද්ධයට එළඹියේ ය.
ඇතිවීමට යන උවදුර දුටු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දොරකඩ කිරිපලු රුකට අරක් ගෙන සිටි සමිද්ධි සුමන දිව්ය රාජයා සමඟ ලක්දිවට වැඩම කළ සේක.
පෙර භවයේ ලක්දිව නාගදීපයේ ඉපදී එකල කිරිපලු රුකක් මුල වැඩ හිඳ දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්ර පිරිසුදු කිරීමට කොළ කඩා දුන් පිනෙන් දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකෙහි දෙවියකු වී ඉපදුණු බව මහාවංසයේ කියැවේ. සමිද්ධි සුමන දෙවිඳුන් තම වාසභවනය වූ කිරිපලු රුක උදුරා ඡත්රයක් වශයෙන් බුදුහිමියන්ට සෙවණ පිණිස ඔසවාගෙන පැමිණියේ ය.
බුදුරජාණන් වහන්සේ බක් මස අවපසළොස්වක හෙවත් අමාවක පොහෝ දින උදෑසන ලක්දිවට වැඩම කරවා අහසෙහි හිඳ ඝන අන්ධකාරයක් සහ ඉන් පසු ආලෝකයක් මවා නාගයන් දමනය කළහ. දැමුණු නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. එම පිරිසට යුද්ධයේ ආදීනව පෙන්වා දී සසර ආදීනව, අන්යයන්ගේ දොස් දැකීමේ ආදීනව විස්තර කර සමඟිබවේ අනුසස් සහ වෛරයෙහි ආදීනව දැක්වෙන කාකෝලුක, ඵන්දන, ලටුකික, වට්ටක යන ජාතක කථාවන්ගෙන් දහම් දෙසූහ.
දම් අසා ප්රසාදයට පත් නාග රජවරු තමන් යුද්ධයට එළඹීමේ නිමිත්ත වූ මිණි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ.
අහසින් පොළොවට වැඩ මිණිපළඟෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත නාගයෝ දානය පූජා කළහ. මෙහිදී අසූ කෝටියක් නාග පිරිස් තෙරුවන් සරණ ගිය අතර, මහෝදර නාරජුගේ මාමා වූ කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු තම වාසභවනට වැඩමවන ලෙස බුදුරදුන්ට ආරාධනා කළේ ය.
සමිද්ධි සුමන දෙවි රජුගේ වාසභවනය වූ බුදුරදුන්ට සෙවණ සැලසූ කිරිපලු රුක සහ නා රජවරුන් පිදූ මිණිපළඟ පාරිභෝගික චෛත්යයක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කිරීමට නාගයන් වෙත ම පවරා බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරට වැඩම කළහ. මෙම මිණිපළඟ නිධන් කොට නාගදීප චෛත්යය බඳවා තිබේ.
බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය හැරුණු විට තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් බක් පොහෝ දිනය හා සබැඳෙයි. බුදුවීම සඳහා අභිනිෂ්ක්රමණය කිරීමට සිදුහත් කුමරුගේ සිත නැඹුරු වූයේ සතර පෙර නිමිති දැකීමෙනි. සතර පෙරනිමිති අතුරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලකු දුටුවේ බක් පොහෝ දිනයක ය. ඉන් පසු මසකට එක බැගින් අනෙක් පෙර නිමිති තුන දැකීමෙන් පසු ඇසළ පොහෝ දින අභිනිෂ්ක්රමණය සිදු වූ බව පිළිගැනීමයි. ඒ අනුව අභිනිෂ්ක්රමණය පිණිස සිදුහත් කුමරුගේ සිත මුලින් ම නැඹුරු වූයේ බක් පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.
අනෙක් සිදුවීම නම් බුද්ධත්වයෙන් පසු මැදින් පුර පසළොස්වක පොහෝ දිනය ආරම්භ කළ කිඹුල්වතට වැඩමවීමේ ගමන් මගෙහි අර්ධයක් සම්පූර්ණ කරන ලද්දේ බක් පොහෝ දිනයක දී ය. රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරය දක්වා යාමට මැදින් පෝ දා ආරම්භ කළ සැට යොදුන් මඟෙහි යොදුන් තිහක් සම්පූර්ණ කරන ලද්දේ බක් පුර පසළොස්වක දිනය දී වීම ද විශේෂ සිදුවීමකි.
මෙලෙසින් ඉතා වැදගත් ශාසනික කරුණු කිහිපයක් අනුස්මරණය කරනු ලබන බක් පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසී බොදු දනන්ගේ හිතසුව පිණිස ධර්මාවබෝධයට හේතුවන දිනයක් බවට පත් කර ගැනීමට සියල්ලෝ ම කටයුතු කරත්වා.



A day in the life

Monday, April 22, 2024

කැවුම් කන්න යෝධයා



සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව ~සත්යහි සටහන බුද්ධියේ විමසුමට~

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යැයි කීවේ සිංහල ප්රතිරෝධි බටහිර ආක්රමිණිකයන්ය. නමුත් කිසිදින සිංහලයා මෝඩකමට කැවුම් කෑවේ නැත ආක්රමණික යුධයක පවා අවි ආයුධවලට අමතරව කැවුම් මල්ලක් රැගෙන ගියේය.ඒ සිංහලයාගේ බුද්ධිමත්කමට මිස මෝඩකමට නොවේ. දරුණු සටනකදි ඇතිවන ආහාර හිගයට කැවුම් මල්ල බොහෝ ප්රයොජනවත් විය . දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය.
දින කිහිපයක් ගත වූ කැවුම් ගෙඩියකට ඕනෑම තුවාලයක් සුව කිරීමේ දිව්යමය හැකියාවක් ඇත. සිරිපා කරුණාවේදි පවා රිටක ගැට ගැසූ කැවුම් මල්ලක් රැගෙන යාම සිංහලයාගේ සිරිත විය . නමුදු එය මෝඩකමට නොවේ.කඳු තරණයේදී අද මෙන් මාර්ග පහසුකම් නොතිබු හෙයින් අධික දුෂ්කර මාර්ග වලින් කඳු තරණය කිරීමේදි අවශ්ය තරම් ආහාර රැගෙන යාම පහසු නොවේ . පිසූ ආහාර රැගෙන ගියද ඒවා ඉතා ඉක්මනින් නරක් වේ. කැවුම් මල්ලෙන් මේ ගැටලු සියල්ලම විසදෙනවා සේම තවත් ඉතාම ප්රයොජනවත් කරුනක් විය .එය නම් රිටෙහී ගැට ගැසූ කැවුම් මල්ල කරේ තබාගෙන යාමේදී කඳු තරණයේදී ඇතිවන සිරුරෙහි ඇතිවන අධික නම්යශීලීභාවය අඩු කර සිරුර කෙලින් කරගෙන යාම කඳු තරණට බොහෝ පහසු විය .
මේ කිසිවක සත්යතාවය නොදත් සුද්දා මෝඩකමට සිංහලයා කැවුම් කන බව කීවේය .අද මෙන් විද්ය්ව භෞතික උපකරණ වලින් කාළ ගුණ අනාවැකි නොකියු යුගයක අදට වඩා හොදින් ඔවුන් කාළ ගුණය ගැන දැනගත්තේ ඔවුන්ගේ හෙළ දැනුමෙන් ය. ඉදිරියේදී ඇතිවීමට හැකි නියන් තත්ව, ගං වතුර මනාව දැන ඒවාට ඔවුන් සූදානම්ව සිටියේ ය. අඩුම තරමේ අවුරුද්දකට දෙකකටවත් ඇති තරම් තල, මෙනේරී, කුරක්කන් ,බඩ ඉරිගු, වී වර්ග , ගබඩාකරගෙන සිටියේ .අද අපගේ එකම ප්රධාන ආහාරය බත් වූවද පෙර සිංහලයාට බොහෝ විකල්ප ආහාර විය . කොස්,කුරක්කන් ,කවුපි,මුං ඇට ඔවුන්ගේ දිනපතා ආහාර විය . පරිසරයේ දකින සලකුණු වලින් ඔවුන් කාළගුණය මනාව අවභෝධ කරගත්තේය .
වඩු කුරුල්ලන් ගසක ඉතාම පහලින් කූඩූ තැනීම එලබෙන වැසී වාරයේ වර්ෂාව ඉතා අඩුවෙන් ලැබෙන බවට ද , ගසේ මැද කොටසේ කූඩූ තැනීම සාමන්ය වර්ෂාක් ලැබෙන බවද ,ගසේ මුදුනේ නැත්නම් ඉහල කොටසේ කූඩු තැනීම අධික වර්ෂාක් ලැබීමටද ඉගියක් බව ඔවුන් දැන සිටියේ ය. එමෙන්ම කිරලකු වැව් තාවුල්ලේ ජලයට ආසන්නයෙහි බිත්තර දැමීම වර්ෂාව අඩු බවට ද , වැව් තාවුල්ලේ ඉහල කොටස හා කුඹුරු යාය අතර බිත්තර දැමීම සමාන්ය වර්ෂාවක් ලැබෙන බවට ද, කුඹුරු යාය තුල බිත්තර දැමීමද, වර්ෂාව අඩුවී නියං තත්වයක් ඇති වෙන බවට ඔවුන් නිගමනය කලහ.
දිවුල් ගසේ පලදාව වෙනදාට වඩා විශාල ලෙස වැඩිනම් ඉදිරියේදී නියං තත්වයක් ඇති වන බවද , අඹ ගසේ බොහෝසෙයින් වැඩිවීම අධික වර්ෂාක් ලැබෙන බවටත් එසේම අඹ ගසේ ගෙඩි ප්රමාණය අඩුවී ගෙඩියේ නැට්ට අඩියක් පමන දික්වී ගසත් ගෙඩියත් අතර දුර වැඩිනම් වර්ෂාව අඩුවන බව දැන සිටියේ ය, එමෙන්ම අඹ ගස සම්පූර්ණයෙන්ම රතුපැහැති දල්ලෙන් පිරුණෙහිනම් නියගය හමාර වී සති දෙක තුනක් ඇතුලත වර්ශාව ලැබෙන බවත් ඔවුන් දැන සිටියෙය.
කිරලෙකු රාත්රියෙදී පොලොවට ආසන්නයෙන් ගමන් කරමින් කෑ ගසයි නම් උරෙකු,ගෝනෙකු.බල්ලෙකු වැනි උස අඩු සතකු ගමන් කරන බවටත්,කිරලා ගස් මුදුන් දක්වා ඉහලින් කෑ ගසන්නෙ නම් මිනිසකු ගමන් කරන බවටත්, කිරලා ඉහල අහසට නැග කෑ ගසන්නේ නම් අලියෙක් ඇතෙක් ගමන් කරන බවටත් කිරලාගෙ නාද රටාවෙන් පැරනි හෙලයා දැන ගත්තේය.
කුඹුරේ ඇති කිවුල් දිය සහ ලවනයන් මී ගස් මගින් උරා ගන්නා නිසා ඔවුන් මී ගස් කපා දැමුවෙ නැත.එසේම මී ගසට එන් වවුලන්ගෙ වසුරු කදිම පොහොරක් විය.අසල ඇති මා දං ගසට එන කුරුල්ලන්ගෙන් කුඹුරේ කෘමි හානිය තුරන් විය.එහෙයින් ඔවුන් එවා රැක ගත්තෙය.එසේම වී වැපිරිය යුතු කාලයන්ද ඔවුන් මනාව දැන උන්නේය. එසේම ඉතා සාර්ථක ආහාර ගබඩා ක්රමද ඔවුන් සතු විය .මේසා විශාල දැනුම් සම්බභාරයක් වියකි ගිලිහි යාමට නොදී රැකගෙන මතු පරපුරට දයාද කිරීම ඔබ අප සැමගේ යුතුකම නොවන්නේද..?

- copied from සාර බුමි



A day in the life

Sunday, April 21, 2024

පුදුම නිදහසක්...................





පුදුම නිදහසක්...................
"පාපිස්ස ඇදයි, "
වැඩ ඇරිල ගෙට ගොඩවෙනකොටම මූන කළු කරගෙන එයා කිව්ව. ඊ ලඟ දවසෙ මං ගේ හොඳටම පිරිසිදු කරල පාපිස්සත් හරි කෙලින් තියල බලාගෙන හිටියා.
"මෙතන තිබුණු සෙරෙප්පු දෙක කොහෙද?"
පහුවදා වැඩ ඇරිල එනකොටම එහෙම කෑගහපු
එයාගෙ කෑ ගැහිල්ලට මගෙ අතේ තිබුණු කෝප්පෙ තේ ටිකත් විසිරුණා.
"ෂූ රැක් එකේ"
"මොන මගුලකට එතනින් තිබ්බද?"
ඊ ලඟ දවසෙ මං සෙරෙප්පු දෙක තියෙන තැනින් අඟලක් වත් හෙලෙව්වෙ නෑ.
"කවුද මේ මගෙ ටවල් එකේ ගෑවෙන්ඩම රෙදි වැනුවෙ, මේක මෙතන දාන්ඩ එපා"
ඒ ඊට පහුවදා....
"තේ එකට සීනි වැඩී අප්පා, මට එපා...
ඒ තව දවසක්...
"මේ හොද්ද කිසි රහක් නෑ..."
ඇත්තටම මං ගෙදර තියාගෙන ඉන්නෙ අපිලිවෙලටද?
මගෙ තේ රහ ඇත්තෙම නැද්ද?
කෑම කටේ තියන්ඩම බැරිද?????
මං දහ අතේ කල්පනා කළා.
මං ඇත්තටම ෆේල් ද?................
"ඔයා ගේ ලස්සනට තියාගෙන ඉන්නවා."
"හරිම Clean අනේ........
"කෑම හරි රහයි"
ඒත් ගෙදරට ආව ගිය අමුත්තො මට එහෙමයි කිව්වෙ.
කාලෙකට පස්සෙ මං tea Shop එකක් දැම්මා.
අපෙන් තේ බීල ගිය හැමෝම එතනින් යද්දි ආයෙ ආයෙ shop එකට ගොඩවෙලා තේ එකක් බීල යන්න පුරුදු වුනා.
සමහරු ගොඩක් tea shop පහු කරගෙන ඇවිත් මගේ tea shop එකෙන් තේ බිව්වා.
එයාල අවංකවම තේ එක රසයි කිව්වා.
කෑම හරි රසයි කියල ඇත්තටම කිව්වා.
පිරිසිදු හින්ද මෙතෙන්ටම එන්නෙ කියල තවත් අය කිව්වා.
හැමදාම ගේට්ටුව ලඟින්ම ගෝරනාඩු කරගෙන ගෙට ගොඩවෙන්න හේතුව එයාගෙ ප්රශ්නයක් මිසක් මගෙ අවුලක් නෙවෙයි කියල මං තේරුම් ගත්තා................
අඬා වැලපි වැලපි සම්බන්ධතා අමාරුවෙන් නඩත්තු කරන්න තවත් අවශ්ය නෑ කියල මගෙ හිත මට කිව්වා.
මං පුළුවන් උපරිමය සතුටින් කලා.
අනික් අය ඒකෙන් සතුටු වෙනවද දුක් වෙනවද කියන දේ හොයන්න මං මහන්සි වෙන එක නැවැත්තුවා......
සතුට තියෙන්නෙ අපි කරන හැම හොඳ දෙයක්ම හරියට අවංකව කරන එකේ මිසක්
අපි කරන දේවල් වලින් අනික් අය සතුටු වෙනවද නැද්ද කියන දේ ඇතුලෙ නෙවෙයි කියල මං තෙරුම් ගත්තට පස්සෙ
මට දැනුනෙ පුදුම නිදහසක්...................


A day in the life