Friday, March 15, 2024

මැරුණ මළකුණකට පාoශුකුලය දියයුතුමද ?




ස්කන්ධ, ධාතු, ආයතන ආදිය ගැන නොදන්නා සමහරුන් බුදුදහමත් පාංශුකූලයත් අතර සම්බන්ධයක් නැතැයි ද, එය බුදු දහමට අයත් නොවන දෙයක් යැයි ද කියති. සමහරු එය හිස් පුරුද්දක් සංස්කෘතික චාරිත්රයක් යැයි කියති. සමහරුන් එය පසු පසුකාලීනව එකතු වුණ සංස්කෘතික මිථ්යාවක් යැයි ද කියති. සමහරු බුද්ධකාලයේ මැරුණ උපාසකයින්ට පාංශුකූලය දුන්න කතාවක් ත්රිපිටකයේ සඳහන් වෙනවාදැ? යි අසති. එවැනි අයම මැරුණු මළකුණකට පාංශුකූලය දෙන්න ඕන යැයිද අසති. එසේ හිතන පතන සියලු දෙනා මෙම ලිපිය සම්පූර්ණයෙන්ම කියවන හැටියට මතක් කරමින් ලිපිය ආරම්භ කරමි.
පළමුව පාංශුකූලය සහ මතක වස්ත්රය යන දෙක පිළිබඳව වැටහීමක් ඇති කර ගත යුතු ය. ඉන් පසුව ඉතිරි කරුණු පැහැදිලි කරනු ලැබේ.
ශාසනය තුළ මතක වස්ත්ර පූජාව සහ පාංශුකූලය යනු එකක් නොව දෙකකි. නමුත් සම්මතය තුළ පාංශුකූලය සහ මතක වස්ත්රය යන දෙකම එකක් හා සමාන ලෙස ව්යවහාරයට පැමිණ තිබේ. මේ දෙක දෙකක් වන්නේ මේ ආකාරයටයි.
යම් කිසිවෙක් මිය ගිය පසු ඔහු හෝ ඇය වෙනුවෙන් ජීවත්ව සිටින අය පූජා කරන වස්ත්රය මතක වස්ත්රය වේ. මියගිය අය වෙනුවෙන් යමක් දෙන්නේ නම් ඒ දෙන සෑම දේකටම "මතක" යන විශේෂණ පදය යොදනු ලැබේ. "මතං උද්දිස්ස යං පවත්තේති තං මතකං"
මියගිය අය වෙනුවෙන් දෙන වස්ත්රය - මතක වස්ත්රය වේ.
බණ - මතක බණ වේ.
දානය - මතක දානය,
දැහැත් - මතක දැහැත් වේ.
ගිලන්පස - මතක ගිලන්පස වේ.
කුක්කුට මිත්ත වැද්දාගේ කථාවේ මෙසේ සඳහන් වේ. "ඇගේ මවුපියෝත් ඈ ගැන එහෙමෙහෙ සොයා බලා ඈ නොදැක මැරෙන්නට ඇතියි සිතා මතකවත් ආදිය දුන්හ."
"තස්ස මතකචීවරං අධිට්ඨාති." ලෙස චීවරක් ඛන්ධකයේ මෙසේ සඳහන් වේ. එක ස්වාමීන් වහන්සේ නමක් තව ස්වාමීන් වහන්සේ නමක් අත මේ සිවුර වෙනත් ස්වාමින් වහන්සේ නමකට දෙන්න යැයි යවයි. අතරමගදී ඒ දෙදෙනාම කලුරිය කරයි. එවිට යැවූ ස්වාමින් වහන්සේට ම එය මතක සිවුරක් ලෙස අධිෂ්ඨාන කරගත හැකියි.
මේ ආදී ලෙස මතක පූජාවන් වනේ මිය ගිය අය වෙනුවෙන් පූජා කරන පූජාවන් වේ. නමුත් පාංශුකූලය ඊට වඩා වෙනස් වේ.
ආසාවක් බලාපොරොත්තුවක් නැතිව ඉවත දමන ලද, අයිතිකරුවෙකු නැති, කෙනෙක් ගත්තේ නැත්නම් පොළවට දිරාපත්වන දෙය පාංශුකූලය ලෙස හඳුන්වනු ලැබේ.
"පංසුකූල චීවරං නිස්සාය තේ පබ්බජ්ජා." ලෙස 'පංසුකූල චීවරය නිසා, ඔබගේ පැවිද්ද වන්නේය.' ලෙස පැවිදි වන විට දී ම අවවාද කිරීමක් ද කරනු ලැබේ.
ධුතාංග දහතුනක් තිබේ. එයින් එක් ධුතාංගයක් වන්නේ පාංශුකූලිකාංගයයි. එය සියලුම ස්වාමීන් වහන්සේලා විසින් අනිවාර්යයෙන්ම රැකිය යුතු අංගයක් නොවේ. දේවදත්ත තෙරුන් වහන්සේ විසින් ඉල්ලූ වර පහෙන් එක් වරයක් වූයේ “භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම පාංශුකූල චීවරධාරීන් විය යුතුයි” යන්නයි. භාග්යවතුන් වහන්සේ විසින් කැමති භික්ෂූන් වහන්සේලාට පාංශුකූල චීවර දැරිය හැකි බව සඳහන් කරන ලදී. කැමතිනම් වයසට යන විට පාංශුකූලිකාංගය අත්හැර ගෘහස්ථ චීවරද පිළිගත හැකි ය.
භාග්යවතුන් වහන්සේ විසින් ද මුල් කාලයේ දරන ලද්දේ පාංශුකූලික චීවරයයි. පුණ්ණා නමැති දාසියකගේ මළ මිනිය රෙද්දකින් ඔතා අතිමුත්තක නමින් හඳුන්වන අමු සොහොනකට ගෙන ගොස් දමන ලදී. එම මළ මිනිය කුණු වී පණුවන් ගසා තිබියදී, බුදුරජාණන් වහන්සේ විසින් එම රෙද්ද ගෙන තිඹක් පමණ සිටි පණුවන් ඉවත් කර සෝදා පිරිසුදු කරගෙන සිවුරක් සාදා පරිහරණය කළ සේක. පසු කලෙක මහා කාශ්යප මහා රහතන් වහන්සේ සමඟ හුවමාරු කර ගත්තේ එම පාංශුකූලික චීවරය යි.
පාංසකූල චීවරය විසි තුන් ආකාරයක් වේ.
1. සොහොනෙහි දමන ලද වස්ත්රය සොසානික නම් වේ.
2. සල්පිල් දොර වැටුණා වූ වස්ත්රය පාපණික නම් වේ.
3. පින් තකා ජනෙල් කවුළුවෙන් වීථියට දැමු වස්ත්රය රථිය චෝලය නම් වේ.
4. කසල ගොඩට දැමූ වස්ත්රය සංකාර චෝල නම් වේ.
5. ස්ත්රීන්ගේ ගැබ්මළ පිසදැමූ වස්ත්රය සොත්ථිය නම් වේ.
6. භූතාචාර්යවරුන් රෝගීන් ස්නානය කරවා හැර දැමූ වස්ත්රය නහාන චෝල නම් වේ.
7. නාන තොටෙහි දැමූ වස්ත්රය තිත්ථිය චෝල නම් වේ.
8. සොහොනට ගොස් ආපසු එන්නවුන් විසින් හැරදමා යන වස්ත්රය ගතපච්චාගත නම් වේ.
9. ගින්නෙන් කොටසක් දැවුණු වස්ත්රය අග්ගිදඩ්ඩ නම් වේ.
10. ගවයන් විසින් ටිකක් කන ලද වස්ත්රය ගොඛායිත නම් වේ.
11. වේයන් විසින් ටිකක් කන ලද වස්ත්රය උපචිකාඛායිත නම් වේ.
12. මීයන් කෑ වස්තරය උන්දුරඛායිත නම් වේ.
13. අග කැඩීගිය වස්ත්රය අන්තච්ජින්න නම් වේ.
14. දාවලු කැඩීගිය වස්ත්රය දසාච්ජින්න නම් වේ.
15. නාවිකයන් හෝ යුද්ධ භූමියෙහි හෝ ධජයක් වශයෙන් බැද හැරදමා ගිය වස්ත්රය ධජාහට නම් වේ.
16. තුඹස වටකොට බලිකර්ම කරන ලද වස්ත්රය ථූපචීවර නම් වේ.
17. භික්ෂූන් වහන්සේ සතු වස්ත්රය සමණ චීවර නම් වේ.
18. අභිෂේක ස්ථානයෙහි දැමූ වස්ත්රය ආභිසේනික නම් වේ.
19. එහි භික්ඛු ප්රවෘජ්යාවේ දී පහළ වන වස්ත්රය ඉද්ධිමය නම් වේ.
20. මාර්ගයේ වැටුණ වස්ත්රය පථික නම් වේ.
21. සුළගින් ගසාගෙන විත් වැටුණු වස්ත්රය වාතාහට නම් වේ.
22. දෙවියන් විසින් දෙන ලද වස්ත්රය දේවදත්තිය නම් වේ.
23. මුහුදු රළින් ගොඩගැසූ වස්ත්රය සාමුද්දිස නම් වේ.
මේ ආකාර වලින් එක් විදිහකට ලැබෙන චීවරය පාංශුකූල චීවරය වේ. ඒ දූවිලි ආදියෙන් පිළිකුල් බවට පත්වූ, කිසිදු බලාපොරොත්තුවක්වත් නැතුව ඉවත දමන ලද, අයිතිකරුවෙකු නැති, පොළවට දිරාපත්වන වස්ත්රයකි.
අතීතයේදි කෙනෙක් මියගිය පසුව ඔහුගේ මිනිය සුදු රෙද්දකින් ඔතා අමු සොහොනට ගෙනගොස් දමයි. වර්තමානයේ දී එම මිනිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට පූජා කර, මිනීපෙට්ටියක තබා ආදාහනය හෝ භූමිදානය කරයි. එසේ කළ පසු එම වස්ත්රය ලබාගත නොහැක. වර්තමානයේදී අමු සොහොනට ගෙන ගොස් දැමූ පසුව පණුවන් ආදීන්ගෙන් පිරී පවතින අයිතිකරුවකු නැතිව පොළොවට දිරා පත්වන එම වස්ත්රය, එසේ වන්නට පෙරම කල් ඇතිවම සංඝරත්නයට පූජා කරනු ලැබේ.
එය දෙයාකාරයකින් කළ හැක. එයින් එක් ක්රමයක් වන්නේ, ජීවත්ව සිටින විට දීම තමන් මිය ගිය පසුව මිණිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට ජීව මතක වස්ත්රයක් ලෙස පූජා කළ හැකි ය.
අනෙක් ක්රමය වන්නේ මියගිය පසුව ඔහුගේ හෝ ඇයගේ මිණිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට සිවුරක් සකස් කරගන්නට පූජා කිරීමයි. වර්තමානයේ බහුලව කෙරෙන්නේ මෙය යි.
ජීව මතක වස්ත්ර පූජාවේදී තුන් සිවුරෙන් එක් සිවුරක් සකස් කර ගන්නට අවශ්ය කරන වස්ත්රය තමන් විසින් සිය කැමැත්තෙන්ම අයිතිය අත්හැර සංඝරත්නයට පූජා කිරීම නිසා එම පූජා කළ අයට බොහෝ පින් අත්වේ. එම පිංකම සුවිශේෂී වෙන්නේ එම තමන්ගේ මළකුණ ඔතන්නට තිබෙන වස්ත්රය පූජා කිරීම නිසයි. මරණානුස්සතිය වැඩීමත්, සක්කාය දිට්ඨිය ආදී කෙළෙස් ධර්ම තුනී වී යාමත්, ස්ඛන්ධ ධාතු ආයතනාදිය ගැන අවබෝධය වර්ධනය වන නිසාත්, පොදුවේ දස පාරමිතාදියේ සෑම පාරමිතාවක්ම යම් තරමකට හෝ හැසිරෙන්නට එය උපකාර වේ. එය වෙනත් අරමුණක් ඇතිව වෙනත් වස්ත්රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස වලට වඩා සුවිශේෂී ආනිසංස සමුදායකට උරුමකම් කියයි.
පාංශුකූල චීවර විසි තුන් ආකාරය අනුව බැලූ විට පෙනෙන්නේ හිමිකාරයෙක් නැතිව පසට එකතු වන වස්ත්රය සංඝ රත්නයට චීවර සඳහා ලැබෙන ආකාරයේ ඉතා බුද්ධිමත් වැඩපිළිවෙළක් අතීත උපාසක උපාසිකාවන් විසින් යොදාගෙන ඇති ආකාරය යි. අතීතයේ පටන්ම මිනිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට ලැබෙන්නට සලස්වා ඇත.
වස්ත්ර, චීවර පූජාවන්ගේ ආනිශංස අති විශාල ප්රමාණයක් තිබේ. ලිපිය දික් වෙන නිසා මෙහි සඳහන් නොකළත් ඒ සියල්ලම වෙනම කියවා තේරුම් ගත යුතුය.
කෙනෙක් මිය ගිය පසුව ජීවත්ව සිටින අය අනිවාර්ය්යයෙන්ම ඔහු හෝ ඇය වෙනුවෙන් පිංකම් සිදු කරනු ලැබේ. ජනුස්සෝණිය සූත්රය තුළ ඒ පිළිබඳ බොහෝ විස්තර සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට පරදත්තූපජීවී ඤාතීන්ට ජීවත්ව සිටින නෑදෑයින් විසින් පින් අනුමෝදන් කළ යුතුම වේ. මේ පරදත්තූපජීවී ඤාතීන් අතීත දීර්ඝ සසර සිටි මාපිය, අඹුසැමි, දූදරු ආදි ඥාතීන් විය හැකි ය.
පාංශුකූල වස්ත්රයට ගරහන අය පාංශුකූල චීවරය ලෙස හඳුන්වන ධුතාංග වලට අදාල සිිවුරක් සකස් කරගන්නට වස්ත්රයක් පූජා කිරීමේ පින්වල ආනිශංස වටහා ගත යුතුය. මියගිය අය එවැනි පින් අනුමෝදන් වුවහොත් ලැබෙන උසස් ප්රතිඵලය ගැන කල්පනා කළ යුතුය. කුමන හෝ හේතුවක් මත පරදත්ථූපජීවී තැනකට පත් වූ අතීත ඥාතීන්ට මෙවැනි මහත්ඵල මහානිසංස දායක පුණ්යානුමෝදනාවක් ලැබිය හැකි නම්, එය ඔහුට ඇඳුම් පැළඳුම් ආදිය උපදවාගන්නට අතිශයින්ම උපකාර වෙයි. ජීවත්ව සිටින අය කරන කරන පින්කම් අනුව මියගිය අයට පුණ්යානුමෝදනා ලැබිය හැකිය.
ජීවත්ව සිටින අයටද මතක වස්ත්ර පූජාව අතිශයින්ම ප්රයෝජනවත් පින්කමක් වේ. එහි පළමු ප්රයෝජනය වන්නේ තමන්ගේ ඥාතියා මිය යෑමත් සමගම ජීවත්ව සිටින අයට ඇතිවන සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ආදියෙන් ඒ අයව ගලවා ගත හැකි කල්යාණ මිත්ර පිරිස වන්නේ සංඝරත්නය වන නිසාය. සංඝරත්නයේ අනුශාසනා වන් නිසා ඔවුන්ගේ සුවක පරිදේව ආදිය තුනී වී යයි. එසේ නොවුණහොත් ඒ ඇතිවන සෑම ජවන චිත්තයකටම ඔවුන්ට මෙලොවට සහ මතු අනාගත සසරට අයහපත් ප්රතිඵල රාශියක් ලැබෙයි.
සෝක දුක වන්නේ ඥාතීන් මියයාම. භවභෝග සම්පත් පිරිහීම. රොගී වීම. සීලයෙන් පිරිහීම. සම්යක්දෘෂ්ටියෙන් පිරිහීම. යනාදියෙහි දී ඒ ඒ පුද්ගලයන්ගේ හෝ කරුණු වල ගුණ කියමින් සිතමින් තැවීම. පසුතැවීම. ශෝක කිරීමයි.
පරිදේවය වන්නේ ඥාතීන් මියයාම. භවභෝග සම්පත් පිරිහීම. වගේ ඉහත සඳහන් කරුණු නිසා ඇතිවන තෙපලීම. නැවත නැවත තෙපලීමයි.
දුක්ඛ (කායික දුක) වන්නේ කය හා ස්පර්ශ වීමෙන් හටගන්නා, කයෙහි හටගන්නා දුක් වේදනාවයි.
දෝමනස්ස වන්නේ සිත හා ස්පර්ශ වූ සිතෙහි හටගන්නා අමිහිරි දුක් වේදනාවයි.
උපායාසය වන්නේ ඥාතීන්ගේ විනාශය, භවභෝග සම්පත් වල පිරිහීම, රෝගි වීම, සීලයෙන් පිරිහීම, සම්යක්දෘෂ්ටියෙන් පිරිහීම, යනාදියෙහි දී පුද්ගලයාගේ සිතෙහි පහළවන බලවත් දුක් වේදනාවයි. (වෙහෙසීම, ක්ලාන්ත බව)
අප්රිය සම්පයෝග දුක:-
අප්රිය පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීමට සිදුවීම අප්රිය සම්පයෝග දුකයි.
ප්රිය විප්පයෝග දුක වන්නේ ප්රිය පුද්ගලයන් හා ප්රිය වස්තුන්ගෙන් වෙන් වීමට සිදුවීමයි.
ජීවත්ව සිටින අයට මෙවැනි ශෝක පරිදේවාදිය ඇතිවීම ඔහුගේ අනාගත නාම රූප වලට අයහපත් ප්රතිඵල ගෙන දේ.
සංඝ රත්නය මෙවැනි අවස්ථාවක වඩමවා ගැනීමත්, සංඝරත්නයට පාංශුකූල චීවරයක් සඳහා මතක වස්ත්රයක් පූජාකිරීමත් ජීවත්ව සිටින අයටද මහනීය පින්කමක් වේ. ඔවුන්ගේ කෙලෙස් යටපත් වී කුසල් වර්ධනය වේ. නිසි කල්යාණමිත්ර ඇසුර ලැබේ. දෙලොව යහපත් වන්නට එය අතිශයින්ම උප උපකාර වේ.
මේ මෙම මාතෘකාව පිළිබඳව ඉතා කෙටි කරුණු දැක්වීමකි
පූජණීය, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ.
ගේ,,දේශනාවක්,ඇසුරිනි.

A day in the life

Thursday, March 14, 2024

නුඹ ඉතිරි කර ගිය සුවඳ








සාමාන්
ය ගැහැණියකට වාතයක් ගිය විටදී ඇය, වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන...
බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට වාතයක් ගිය විටදී ඇය, වාතයක් ගියා මේ ගැන කවියක් ලියන්න ඕන...
මෙතෙක් කලක් මගේ තුල
නිදන් ව සිටි නුඹ...
මටත් නොකියාම දොරකඩට විත්
දෑල ඉවුරු දෙදරවමින්
නික්ම ගිය බව
ලොවට කියන්නේ කෙලෙසකද...
එබැවින් ලොවට සඟවමි
නුඹ නික්ම ගිය වග
පෑල දොරින්...
එහෙත් සබඳ නුඹ ගියද
නුඹ ඉතිරි කර ගිය සුවඳ
තවමත් මා අසලමයි...
පෝස්ට් එක දැමු පසු සෙවලයන්ගේ කමෙන්ට් ටික..
ෂා නංගියෝ, හැරගිය පෙමේවතා ගැන නේද ලියලා තියෙන්නේ...
ලස්සනයි සොයුරිය...
සුන්දරයි කිවිඳිය නූතන ගජමන් නෝනා නුඹමයැ...
ටිකකින් ඉන්බොක්ස් එකට...
නංගි කවිය පුද්ගලික අත්දැකීමක් ගැනද ලිවුවේ...
පුද්ගලික අත්දැකීම් දාන්න එපා මේ බුකිය විෂමයි, හිතේ දුකක් තියනවනං කියන්න...
දිගටම යන චැට් එක...
නංගියෝ ලස්සන කවිය...
ස්තුතියි අයියා...
දිගටම ලියන්න...
හ්ම්...
ඔය වගේ අත්දැකීම් ගොඩක් ඇති නේද විරහව ගැන...
ඔවු අයියා හැමදාම වගේ ...
ඒකනේ ඒ සේරම එකතු කරලා පොතක් ගහමු...
පොතකට නම් එකතු කරන්න බෑ අයියා බැලුමකට වගේ නම් එකතු කරන්න පුලුවන් වෙයි...
නංගි හරි විහිලුනේ... සැහැල්ලුවෙන් ඉන්නවා නේද...
හ්ම්...
(දනුෂ්ක කාංචන ජයවීර ✍️
මහතාගේ කතාවක් ස්තුතියි
A day in the life

Wednesday, March 13, 2024

කොඩිතුවක්කුව..

 








වසර 450 කට වඩා පැරණි සීතාවක රාජසිංහ රජුගේ කොඩිතුවක්කුව..
ශ්රී ලංකාව ලොව පැරණිතම තුවක්කු භාවිතා කර ඇති රටවලින් එකකි. තුවක්කු නිපදවීමට නම් යකඩ අවශ්යවේ. ලංකාවේ සමනළ වැව යකඩ නිස්සාරණය සිදුකර ඇත්තේ ක්රි .පු .3 වන සියවසේදීය. එනම් මීට වසර 2300කට පමණ පෙර සිටය. එසේ නිපදවූ යකඩ හා වානේ වලින් හෙළයන් විසින් ලොව හොඳම දමස්කස් කඩු නිපදවූයේය. වෙනත් කෘෂි උපකරණ නිපැදවූයේය.

 

ඔවුන් කඩු වලට අමතරව මේ යකඩ වලින් තුවක්කු නිපදවූයේය. මේ චායාරූප වලින් දැක්වෙන්නේ රාජසිංහ රජු භාවිතා කල ඒ අභිමානවත් කොඩිතුවක්කුවයි. මෙම කොඩි තුවක්කුව කාල තුවක්කුවකට වඩා තරමක් කුඩා බර අවියකි. එය කිසියම් තැනක රඳවා සතුරන්ට ප්රහාර එල්ල කර ඇත. මෙම තුවක්කුව රාජසිංහයන් විසින් යොදාගත්තේ පරංගින්ට එරෙහිව කල සටන් වලදීය. පසුගිය දාක මෙම ඓතිහාසික තුවක්කුවෙන් නිකුත්වූ වෙඩි හඬ ඇසීමට මටද අවස්තාවක් උදාවිය. ඒ සීතාවක මැදගොඩ පත්තිනි දේවාලයේදී පැවති රාජසිංහ අනුස්මරණ උත්සවයේදීය. එයින් නිකුත්වූ හඬ ප්රදේශය දෙදරවමින් වාතලයට නිකුත් විය. මෙම තුවක්කුව වසර 500ක් පමණ ඉක්මව තිබුනද එදා අප සතුව තිබූ ප්රෞඩ බව කියා පාමින් අදත් ක්රියාත්මක වේ.

 


මීට මාස 2කට පෙර මා මැදගොඩ හරහා යන අතරමගදී තේ බීමට අසල කඩයකට ගොඩ උනෙමි. එහි සිටි තරුණ මුදලාලි මහතා මා හට මේ තුවක්කුව ගැන පැවසුවේ එදා පත්තිනි දේවාලයේ සිට පෙරහැර ආරම්භවූ බව දැනුම් දීමට මෙම තුවක්කුවෙන් නිකුත් කල වෙඩිහඩ ඊට කි.මි. කිහිපයකට ඈතින් තිබූ සීතාවක මාලිගයේ සිටි රජතුමාට ඇසෙන බවය. ඉතින් ඒ කතාව සැබෑවක් බව මට ගිය සතියේ අත්දැකීමෙන්ම වැටහුනි. එපමනක් නොව මේ අභිමානවත් රණ හඬ එදා කොළඹ කොටුවේ සිටි මල්වානේ සිටි පරංගින්ටද ඇසෙන්නට ඇත. මෙවැනිම තවත් තුවක්කුවක් මහ සමන් දේවාලයේද බලංගොඩ බොල්තුඹේ සමන් දේවාලයේද බලංගොඩ උග්ගල් අළුත්නුවර දේවාලයේද පවතී. ඒ වා අදටත් ක්රියාත්මක වන තුවක්කුය. එවැනි ඓතිහාසික තුවක්කු කිහිපයක්ම සපරගමුවේ තිබීම කෙතරම් අභිමාඅයක්ද..
පසුගිය කාලයේ ලංකාවේ තුවක්කු පිලිබඳව කතාව අළුත් වූයේ කන්ද උඩරට රාජධානි සමයේ අපෙන් අරන් ගිය ලෙවුකේ තුවක්කුව ඇතුළු තුවක්කු කිහිපයක් නෙදර්ලන්ත රජය මගින් නැවත අපට ලබාදීමත් සමගය. එම තුවක්කු එක්දාහස් අටසිය ගනන් වල භාවිත කල ඒවාය. නමුත් මැදගොඩ දේවාලය සපරගමු දේවාලය වැනි තැන්වලදී අපට හමුවන්නේ කෝට්ටේ හා සීතාවක යුගවදී භාවිතා කල වසර 500ක් පමණ පැරණි තුවක්කුය. මෙහි අවසන් චායාරූපයේ දැක්වෙන්නේ එවකට සපරගමු සමන් දේවාලයේ ලිඳ අසල ස්තාන ගතකර තිබු සිංහල (ලාංකිය නොවේ!) කොඩිතුවක්කු කිහිපයක් විලියම් ස්කිනර් ගේ ඇඩ්ම්ස්පීක් නම් ග්රන්තයේ සිතුවම් කර තිබූ අයුරුයි



A day in the life

Tuesday, March 12, 2024

අඩු ලකුණු


මෙය ලෝකයේ ඇති අනර්ඝතම සිතුවම් අතරින් එකක් ලෙස සැලෙකේ... ඒත් ඒ ඇයි?
රුසියානු චිත්ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්නිකොව් විසින් 1952 දී ඔහු විසින් නිමවන ලද මෙම සිතුවම, "ආයෙමත් අඩු ලකුණු" ලෙස නම් කළේ ය.
එහි සිටින්නේ විභාගය අසමත්වී පාසලේ සිට ආපසු එන පිරිමි ළමයෙකි. පවුලේ අය ඔහු දෙස බලන්නේ අපහාසාත්මක ආකාරයෙනි. ඔහුගේ සහෝදරයා ඔහු දෙස බලා සිටින්නේ සරදම් සිනහවක්ද සමගය. නමුත්, විභාගයට ගත් ලකුණක් ගැන නොවිමසා සුපුරුදු ළෙංගතු කමෙන් ඔහුව නිවසට පිළිගන්නේ සුනඛයා පමණි.
මේ සිතුවම නිමැවූ කලාකරුවා ඒ ගැන කියන්නේ මෙසේ ය: “බල්ලෙක් ඔහුට සලකනවා වගේ ඔහුට සලකන්න, ඔහු සමත් වුවත්, අසමත් වුවත් ඔහු ළමයෙකු ලෙස පමණක් දැක බල්ලා ඔහුට ආදරය දක්වයි."
~ extracted and translated from "Petslover"


A day in the life

Sunday, March 10, 2024

බඳගිරිය




බදගිරිය ශ්රී ලංකාවේ දකුණු පළාතෙහි හම්බන්තොට පරිපාලන දිස්ත්රික්කයට අයත් ගම්මානයකි. වර්තමානයේදී යහංගල නැගෙනහිර, යහංගල බටහිර, බදගිරිය, ජූල්ගමුව සහ තම්මැන්නාව යන ග්රාම නිලධාරී කොට්ඨාස පහකින් සමන්විත ජනපදයකි.
පිවිසීම
කොළඹ-කතරගම ප්රධාන මාර්ගයෙහි හම්බන්තොට නගරයේ සිට තිස්සමහාරාම දෙසට සැතපුම් කිහිපයක් ගමන් කළ විට හමු වන පල්ලෙමලල මංසන්ධිය බදගිරිය ග්රාමයට ප්රවිෂ්ට වන ප්රධාන පිවිසුම් මාර්ගය වෙයි. පල්ලෙමලල සිට සැතපුම් 3-4ක් පමණ ගමන් කළ විට බදගිරිය හමුවේ.
ඉතිහාසය
බදගිරියෙහි ඉතිහාසය ක්රි:පූ: 2වන සියවස (මහානාග යුව රජුගේ යුගය) දක්වා දිවයයි. මෙය අතීතයේ ගෝත්රික ජනයාගේ වාස භූමියක්ව පැවති බව ජනප්රවාදයෙහි එන මතයකි. එම ඉතිහාසය රුහුණේ රජ කළ දසබෑ රජුන්ගේ යුගය දක්වා දිව යයි. සියවස් ගණනක් වනයට යටවී තිබූ මෙය 1956දී ගොවි පවුල් 100ක් පදිංචි කරවීමෙන් නව ජනපදයක් ලෙස ආරම්භ කරන ලදුව වර්තමානයේ දී ඉතා සශ්රීක ගොවි ජනපදයක් බවට පත්ව ඇත.

 

පුරාවස්තු
බදගිරිය ජනපදයෙහි ඓතිහාසික අගය රැඳී පවතිනුයේ 'බදගිරිය පුරාණ රජමහා විහාරය' කේන්ද්ර කොට ගෙනය. එම විහාරස්ථානය උපස්ථම්භකව ස්ථාපිත වූ ලෙන්, පොකුණු, ශිලා ලේඛන, සඳකඩ පහණ, පියගැට පෙළ, පුරාණ විහාර මන්දිරය, ඓතිහාසික දාගැබ් ද්වය සහ බදගිරිය මහ වැව යන සංස්කෘතිකාංග ගම්මානයෙහි ඓතිහාසික ප්රෞඪත්වයට සාක්ෂ්ය සපයයි.
අක්කර 102ක පමණ භූමි ප්රදේශයක ව්යාප්ත වී ඇති බදගිරිය පූජා භූමියෙහි අක්කර 20ක් පමණ වසා පැතිරී පවත්නේ කාල වර්ණ ශෛලමය පර්වතයයි. එය අඩි 300 ගණනකින් යුතු වූවකි. එකිනෙක බද්ධ වූ විහාර ගල සහ වෙහෙර ගල හැරුණු විට 'පිරිත් ගල' නම් වූ ගල් තලාවක් ද ඒ අසල වෙයි. විහාරස්ථානයට අයත් වූ අක්කර 10-15ක පමණ කෙත් යායක් යල මහ දෙකන්නයේ අස්වැද්දෙයි. ලෙන්, පොකුණු, සෙල් ලිපි, සඳකඩ පහණ, පියගැට පෙළ, පුරාණ විහාර මන්දිරය, දාගැබ් සහ වැව යන පුරාවිද්යාත්මක අගයෙන් අනූන ස්ථාන කිහිපයක් ගල් පර්වතය ආශ්රයෙන් හමු වේ.
බදගිරිය විහාර භූමියෙහි පිහිටි විශාල ගල් පර්වතය නිර්මාණය වී ඇත්තේ පර්වත යුගලයක බද්ධ වීමෙනි. එකී ගල් පර්වත ද්වය විහාර ගල සහ වෙහෙර ගල යනුවෙන් හැඳින්වේ. මෙම පර්වතයන්ගේ බද්ධ වීම හේතුවෙන් බද්ධ වූ ගිරි බදගිරි ලෙස පරිණාමය වී එයම ග්රාම නාමය ලෙස ද ව්යවහාරයට පැමිණ ඇතැයි මුඛ පරම්පරාවෙන් කියැවේ. ඓතිහාසික රුහුණු පුද බිම් අතුරෙන් අද්විතීය ස්ථානයක් ගන්නා බදගිරිය පිළිබඳ ලියැවුණු, 13 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කාලයට අයත් ශිලා ලේඛන, බදගිරි ගල් පර්වතයෙහි වෙයි. මහා වංශයෙහි දැක්වෙන රුහුණේ රාජ්යය කළ කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද බධගල් දොර විහාරය යනු බදගිරිය යැයි විවිධ මතවාද පවතී. එහෙත් මහානාග යුවරජු දවස ලියන ලද ශිලා ලේඛන සාක්ෂ්ය සපයන්නේ මෙම පුද බිම එකී රාජ්යය කාලයට අයත් බවටය. ශ්රී ලංකාවේ පෞරාණික ග්රාම නාම පිළිබඳ විස්තර වන "නම් පොත" නමැති ග්රන්ථයේ 'බුජස් ලෙන' ලෙස දැක්වෙන්නේ බදගිරිය පුරාණ රජමහා විහාරය යැයි අනුමාන කළ හැකිය. එමෙන්ම එහි 'යාන් ලෙන' පිළිබඳව සඳහන් වී තිබීමෙන් මේ මතය ස්ඵුට වේ. (යහංගල පුරාණ රජමහා විහාරය පිහිටා ඇත්තේ බදගිරිය පුරාණ රජමහා විහාරයට ආසන්නයේ බැවිනි.) සීගිරි කාශ්යප රජතුමා විසින් ඉදි කරවන ලද සීගිරි බලකොටුවෙහි පිහිටි සීගිරි කැටපත් පවුරෙහි 'බඳගිරි හා බඩගිරි' යන නම්වලින් හඳුන්වා ඇත්තේ බදගිරිය යැයි සිතිය හැකිය. සීගිරිය හැරුණු විට ගල් පර්වතයක් මත සියලු ඉදිකිරීම් කරන ලද එකම ස්ථානය ද බදගිරිය වෙයි. වසර දෙදහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බදගිරිය, ශතක ගණනාවක් පුරා මහ ගන වනයේ අණසකට නතුව තිබී යළි නිරාවරණය වන්නේ 1950 දශකයේදී බදගිරිය ජනපදය පිහිටුවීමත් සමඟය.
ලෙන්
පර්වතයෙහි ඇති ලෙනත්
ප්රාග් බෞද්ධ යුගයේ දී මානව වාසස්ථාන ලෙස යොදා ගන්නා ලද ස්වාභාවික ගල් ලෙන්, මහින්දාගමනයෙන් පසු භික්ෂු වාසස්ථාන සඳහා පූජා කරන ලදී. මෙවැනි ගල් ලෙන් 4ක් හා කුඩා ලෙන් 6ක් ද බදගිරිය ගල් පව්වෙන් හමුවේ. මෙම ලෙන් අතුරෙන් දැනට හඳුනාගෙන ඇත්තේ දීඝ නිකායේ අටුවාවේ එන රුහුණේ මිත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි සැලකෙන 'කස්සක ලෙන'යි. ගල් පව්වේ සෙල් ලිපියක එන 'මිත්ය ලෙන' , මෙම කස්සක ලෙන යැයි පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ මතයයි.
පොකුණු
භික්ෂූන් වහන්සේගේ ප්රයෝජනය පිණිස සෑම ආරාමයකම පොකුණු ඉදි කොට ඇති අතර එම පොකුණු සඳහා යොදා ගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවලින් හඳුනාගෙන ඇති අතර එම පොකුණු වර්ග පහම එකම ස්ථානයක දක්නට ලැබෙන්නේ බදගිරිය ගල් පර්වතයෙහි පමණි. එම පොකුණු වර්ග පහ නම්, මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ හා කුට්ටම් පොකුණ යි.
මල් පොකුණ
මල්වලින් ගැවසීගත් හෙයින් මෙය මල් පොකුණ ලෙස හඳුන්වා ඇත. පරිධියෙන් ඉතා විශාල වූ මෙහි දිග අඩි 33ක්ද පළල අඩි 14ක්ද ගැඹුර අඩි 4ක්ද වේ. වර්තමානයේදී ද මෙම පොකුණ ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් පිරී පවතී.
පා පොකුණ
පර්වත මස්තකයෙහි පිහිටි චෛත්යය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් පා දෝවනය පිණිස ජලය ලබා ගෙන ඇත්තේ මෙම පොකුණෙනි. මෙහි දිග අඩි 11ක්ද පළල අඩි 7ක්ද ගැඹුර අඩි 4ක්ද වේ.
පියන් පොකුණ
භික්ෂූන් වහන්සේගේ ප්රයෝජනය පිණිස නිර්මාණය කර ඇති මෙය විශාල ගල් පියනකින් වැසී ඇති අතර ජලය ලබා ගැනීමට පහසු ආකාරයෙන් එක් පසෙකින් විවෘත වී ඇත. ගල් පියනකින් ආවරණය වී ඇති නිසා මෙය පියන් පොකුණ ලෙස ව්යවහාරයට පැමිණ ඇත. වර්තමානයේදී ද පිරිසිදු ජලය ඇති මෙය අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට භාවිත කළේ යැයි සිතිය හැකිය. දිගින් අඩි 10ක් හා පළලින් අඩි 5ක් වන මෙහි ජලය නියඟ කාලවලදී පවා නොසිඳෙයි.
ඇස් පොකුණ
මිනිස් ඇසක ස්වභාවය ගන්නා බැවින් ඇස් පොකුණ ලෙස හඳුන්වා ඇත. පැන් කෙණ්ඩියක් දැමීමට තරම් කුඩා ප්රමාණයට අතීතයේදී පැවති මෙහි විවරය දැන් විශාලවී ඇත. මෙහි ගැඹුර අඩි 6කට වඩා වැඩි නොවුවද ගල් සහ මඩ රැඳී ඇති හෙයින් ගැඹුරක් නිශ්චය කළ නො හැකිය. ගල් සහ මඩ තෙක් ඇති ගැඹුර අඩි 5ක් පමණ වන අතර දිග අඩි 2ක්ද පළල අඩි 1/2ද වේ.
කුට්ටම් පොකුණ
එකම බැම්මෙන් වෙන් වී එකම ස්ථානයක පිහිටා ඇති පොකුණු යුගලක් කුට්ටම් පොකුණ ලෙස හැඳින්වේ. ලංකාවේ ඉතා ප්රසිද්ධ කුට්ටම් පොකුණ හමු වන්නේ අනුරාධ පුරයෙනි. නමුත් එය කෘතීම කුට්ටම් පොකුණකි. නමුත් විශ්මයාවහ ලෙස නිර්මාණය වී ඇති බදගිරිය කුට්ටම් පොකුණ ලංකාවේ ඇති එකම ස්වාභාවික කුට්ටම් පොකුණ වීම සුවිශේෂත්වයකි. ගැඹුරින් අඩි 15ක් ද දිගින් අඩි 10ක් ද පළලින් අඩි 8ක් ක වන මෙහි ජලය වර්තමානයේ ද භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනයට ගනු ලැබේ.
සෙල් ලිපි
ප්රධාන වශයෙන් සෙල් ලිපි 3ක් හා තවත් සෙල් ලිපිවල කොටස්ද මෙම පර්වතයෙහි දක්නට ලැබේ. බ්රාහ්මී අක්ෂරවලින් ලියන ලද සෙල් ලිපි හා මධ්යතන යුගයට අයත් අක්ෂරවලින් ලියන ලද ශිලා ලේඛන ද ඒ අතර වෙයි. ඒවායෙන් 3ක් ක්රි:ව: 3-4 සියවස්වලට ද 2ක් ක්රි:ව: 6-7 සියවස්වලට ද අයත් යැයි සැලකේ. ඒවා අතුරෙන් සෙල් ලිපි දෙකක් පුරාවිද්යා දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂිත වැටවල් යොදා සුරක්ෂිත කොට ඇත. ක්රි: ව: 3-4 සියවස්වලට අයත් ශිලා ලේඛනයක මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'මහගමිය වෙහෙර' ලෙසය. (මෙය මහා ගාම හෙවත් මාගම යැයි විශ්වාස කෙරේ.) එකල ලංකාවේ පැවති 'අරියවංස ධර්ම දේශනය ' පිළිබඳව ද, ධර්ම කථික භික්ෂූන්ට පූජා කරන ලද ඉඩ කඩම් පිළිබඳවද එහි සඳහන් වන අතර බදගිරිය ද එසේ පූජා කරන ලද ස්ථානයක් බව එහි එන 'අරියවස කොටු' යන පාඨයෙන් පැහැදිලි වේ.
සඳකඩ පහණ
කැටයම් රහිත සඳකඩ පහණක්.
සිංහල කැටයම් කලාවේ අග්රගණ්ය නිර්මාණයක් වන සඳකඩ පහණ, බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුළු වන පියගැට පෙළ පාමුල ඇති අර්ධ කවාකාර ගල් පඩියකි. මෙවන් සඳකඩ පහණක් පුරාවිද්යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි සිදු කරන ලද කැණීම්වලින් අනාවරණය කරගෙන ඇත. කැටයම් කිසිවක් නොමැති මෙය සමාන්තරව සකසන ලද ගලින් නිමවා ඇත. අනුරාධපුර පසු යුගයේ හා පොළොන්නරුව යුගයේ සඳකඩ පහණ සත්ත්ව රූප හා ලියවැල් ආදී කැටයමින් අලංකාර වුවද අනුරාධපුර මුල් යුගයෙහි සඳකඩ පහණෙහි කැටයම් නොවූ බව විචාරක මතයයි. එහෙයින් මෙම සඳකඩ පහණ අනුරාධපුර මුල් භාගයට අයත් යැයි සිතිය හැකිය. පියගැට පාමුල ඇති සඳකඩ පහණ හැර පර්වතය මත විහාර මළුවේ ද සඳකඩ පහණක සලකුණු හමුවේ.
පියගැට පෙළ
ගල් පව්ව මතට නැඟීමට හැකි වන පරිදි සකස් කොට ඇති මෙහි දර්ශනීය ලෙස ගල් පඩි මට්ටම් කොට ඇති ආකාරය හා ඒවා සමාන්තරව පිහිටුවා ඇති ආකාරය වැදගත්ය. පඩි 93කින් යුත් එහි දිග අඩි 100ක් පමණ වේ. මෙහි මුල් කොටසෙහි කරන ලද කැණීම්වලින් එකල තිබූ ආකාරයෙන්ම ඩොල් හා පඩි මතු වී ඇත.
පුරාණ විහාර මන්දිරය
නටබුන්.
බදගිරි විහාරයෙහි පිහිටි පර්වත යුගලයෙන් එකක් වන විහාර ගල මත විහාර මන්දිරයක් පිහිටා තිබූ බවට ශේෂ වී ඇති එකම සාධකය විහාර මන්දිර දොරටුව අසළ ඇති සඳකඩ පහණ හා විහාර මන්දිරයේ මායිම් ලෙස සැලකිය හැකි ඒ අවට තිබූ ගල් කණු කිහිපයක් ද පමණි.
ඓතිහාසික දාගැබ
එකම මලුව මත චෛත්ය දෙකක් ඉදි කර තිබීම මෙහි විශේෂත්වයයි. මෙයින් එක් වෙහෙරක් ඝටාකාර වර්ගයට අයත් වන අතර අනෙක් වෙහෙර කුමන වර්ගයේදැයි අවිනිශ්චිතය. දකුණු ආසියාවේ ඇති දුර්ලභම ඝටාකාර වෙහෙර මෙය වෙයි. මෙහි නටබුන් අතරින් ඡත්ර දෙකක් ද ගල් පුවරු හා ගල් කුළුණු දැනට සොයා ගෙන ඇත. පර්වතය මත ගඩොලින් තැනූ ආසනයක කළයක් මුනින් අතට නැවූ පරිද්දෙන් නිර්මාණය කොට ඇති ඝටාකාර වෙහෙරෙහි පරිධිය අඩි 78ක් ද අනෙක් වෙහෙරෙහි පරිධිය අඩි 96ක් ද වේ. ආසනය අඩි100ක් දිගින් ද, අඩි 65ක් පළලින් ද, අඩි 3 1/2ක් උසින් ද යුතුවේ.
බදගිරිය මහ වැව
සමනළ අඩවියේ සිට ගලා එන "මලල ආර" හරස් කොට තනන ලද බදගිරිය වැවෙහි ජල ප්රමාණය වර්ග සැතපුම් 12ක පමණ ප්රදේශයක පැතිරී ඇත. බදගිරි ගල් පව්ව ස්වාභාවික ඉවුරක් කොට ගෙන නිර්මාණය වී ඇති මෙහි කණ්ඩියේ දිග සැතපුමක් පමණ වේ. කෘෂි කර්මාන්තය ප්රධාන ජීවනෝපාය කොට ගත් ජනපදවාසීන් සිය වගා කටයුතු සඳහා ජලය ලබා ගන්නේ මෙම වැවෙනි. මෙහි ජල ධාරිතාව අක්කර අඩි 9050ක් වන අතර ඉන් පෝෂණය වන වගා ප්රදේශය අක්කර 2100ක් පමණ වේ. කුඹුරු ගොවිතැන් මෙන්ම හේන් ගොවිතැන් සඳහා ද මෙම වැවෙන් ජලය ලබා ගනී.
බදගිරිය හා ආශ්රිත ගම්වල ඓතිහාසික අගය
බදගිරිය විහාරස්ථානය කේන්ද්ර කොට ගත් පෞරාණික වටිනාකමකින් යුතු ගම්මාන කිහිපයක්වේ. ඒවා නම් බදගිරිය, යහංගල, කෑළියවැලෑන, මලලආර හා ගොන්නොරුව යි.
යහංගල
යහන් සඳහා භාවිත කරන ලද ගල් තලාවක් මෙහි වූ බැවින් මෙම නම යෙදී ඇති අතර මෙම ගල් තලාව ඇසුරේ නිර්මාණය වූ යහංගල පුරාණ රජමහා විහාරය, පල්ලෙමලල මංසන්ධියේ සිට බදගිරිය දක්වා වන මාර්ග‍‍යේ අතර මඟදී හමුවේ.මෙම විහාරසථානය කේන්ද්ර කොට ගෙන බිහි වූ යහංගල ගම්මානය, බදගිරිය ජනපදය යටතේ පවතින තවත් ගම් ඒකකයක් බවට පත්වී ඇත.
කෑළියවැලෑන
කෑළියවැල්+ආන යන පද එක් වීමෙන් මෙම නම සෑදී ඇත. කෑළිය වැල් යනු ගවයන්ගේ ප්රියතම තෘණ වර්ගයක් වන අතර ආන යන්න කැළයට ව්යවහාර වී ඇති නමකි. මෙහි ජනතාව වර්තමානයේදී මෙන්ම අතීතයේදී ද කෘෂි කර්මාන්තයෙන් හා ගව පාලනයෙන් ජීවනෝපාය සකසා ගත් බවට එම සාක්ෂය්ය ප්රමාණවත්ය.
මලලආර
අතීතයේදී බදගිරි විහාරය අසලින් ගලා ගිය ආර (දිය පහර), මල්වලින් ගැවසී ගත් නිසා එය මල් ආර හෙවත් මලල ආර ලෙස හඳුන්වා ඇත. මෙම ආර ආශ්රිතව නිවාස තනා ගත් ජානපදිකයන්විසින් ‍‍‍‍‍‍‍ගොඩනඟා ගන්නා ලද නව ජනපදය මල් ආර ලෙස හඳුන්වා ඇත.
ගොන්නොරුව
ගෝනුන් සැඟවී සිටි කැළයක් වූ බැවින් ද, ගොනෙකුගේ රුවක් ගලක කොටා තිබූ බැවින් ද මෙය මෙනමින් ව්යවහාර කොට ඇත. බදගිරි විහාරයෙන් ඔබ්බට විහිදී ගිය ගන කැළෑවක් ලෙස පැවති මෙය අතීතයේදී අලි ඇතුන්, ගෝනුන්, මුවන්, දිවියන්, වලසුන් වැනි සතුන්ගේ වාස භූමියක්ව පැවතී ඇත.


A day in the life