පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label නිම්නය. Show all posts
Showing posts with label නිම්නය. Show all posts

Saturday, April 06, 2024

සුන්දර කොත්මලය ..(සිවුවන ටීකාව )

















සුන්දර කොත්මලය ..(සිවුවන ටීකාව )
කොත්මලේ ගණිතයා ...
The predictions made by soothsayer
In the yore ,in his expertise.
*******************************
කොත්මලේ සිටි දින කීපය තුළ ,අපි
බොහෝ පුරා වෘත්ත හා ජනප්රවාද සඳහා
මුල් වූ ස්ථාන දැක බලා ගත්තෙමු. හීන්
මැණිකේ ගේ මතකයත් ,මග පෙන්වූ
සම්පත් සහ අනුෂ්ක ගේ නොමඳ
සහයෝගයත් ..වැඩිහිටි පුද්ගලයින් ගේ
කතාබහත් ..හැමවිටම මගේ සටහන්
පොතේ පිටු පුරවන්නට උපකාර විය .
අනිවාර්යයෙන් ඔබ විසින් දැනගතයුතු
දෙදෙනෙක් පිළිබඳව ,රසවත් කතා
කීපයක් අසා දැනගත්තෙමි .නිලූ ත්
මමත් ඒවා රස වින්දේ කටවල් ඇරගෙනය .
එපමණටම පුදුම සහගතය .නමුත් ජනප්රවාදයේ
අදටත් පවතී .

එක් අයෙක් , අද මා ඔබට ලියන්නට යන
කොත්මලේ ගණිතයා ය. අනෙක් පුද්ගලයා
පොන්න නැකැත්තාය . මේ දෙදෙනා
එකම පුද්ගලයෙකු බව ඇතැමුන් ගේ
විශ්වාසයයි.
සෙංකඩගල තම රාජධානිය කරගත් රාජාධිරාජසිංහ
(ක්රි.ව. 1782 -1798 ) කාලයේ රාජ සභාවේ සිටි
ප්රකට නක්ෂත්ර කරුවෙකු හා කවියෙකු ලෙස
කොත්මලේ ගණිතයා හැඳින්වේ .(මට සිහිපත්
වූයේ අන්දරේ පිළිබඳවයි.නමුත් මොහු විහිළු
කාරයෙක් නොව දක්ෂ ගණිතඥයෙකු විය.)
කොත්මලේ ;මාවෙල, බානවෙල ,කොටුවේ
ගෙදර ..උපත ලබා ඇත .ඔහු විසූ ඉඩම අද
ආඬියා කොටුව වත්ත ලෙස හඳුන්වයි.
රාජාධිරාජසිංහ රජු වරක් ,විශාල පුහුල්
ගෙඩියක් රාජසභාවට ගෙන්වාගෙන , තම
ජ්යෝතිෂ්ශාස්ත්රඥයින් ගේ හපන්කම් පිරික්සා
බැලීමට සිතුවේ ලු. ඒ අනුව ,පුහුල් ගෙඩියේ
ඇති ඇට ගණන ...නිවැරදිව කියන ලෙස
රාජ සභාවට පවසා ඇත.ඇතැම් ඇමතියෙක්
පුහූල් ඇට නැළියක් ඇතැයි ද ; තවෙකෙක්
දෙනැළියක් ඇතැයි ද ...ආදී වශයෙන් විවිධ
සංඛ්යා දක්වා ඇත.
කොත්මලේ ගණිතයා පුහුල් ගෙඩිය හොඳින්
පිරික්සා බලා ..
“මෙහි ඇත්තේ පුහුල් ඇට තුනකි.ඉන් දෙකක්
පුහු ඇටය .එකක් හොඳ ඇටයකි .” යයි ප්රකාශ
කළේ ලු.
රජු ,පුහුල කප්පවා බැලූ විට ..කොත්මලේ
ගණිතයා ගේ පිළිතුර නිවැරදි බව දැක ..
මවිතයට පත් වූ බව කියැවේ .
මොහු ඉතා ප්රසිද්ධියට පත්වූ යේ ඔහු ගේ
නිවැරදි කියමන් හා නිර්භීත ක්රියා කලාපය
නිසාලු.
වරක් ,මොහු ගේ බුද්ධිය පරීක්ෂා කිරීමට
සිකුරාට ( සිකුරු ට ) සිතුණි. මිනිස් වෙසක්
ගෙන ..ගණිතයා ඉදිරියේ පෙනී සිටියේ ලු.
දෙදෙනා අතර පිළිසඳර කතාවෙන් පසු ,
“මේ වෙලාවේ සිකුරා සිටින්නේ කොහිදැ”යි
විමසූ අමුත්තා ට ..
“මා ඉදිරියේ .” යැයි පිළිතුර ලැබී ඇත.
ඔහු ගේ දක්ෂතාවය ගැන සිකුරා විමතියට
පත් වී ..ගණිතයාගේ ඇස්වලට ඇඟිල්ලෙන්
ඇන ,දෙනෙත් අන්ධ කළ බව පැවසේ .එසේ
වුවද ,යමක් අතට ගත් කළ ,ඔහුට එය දර්ශනය
වූ බවත් ..කියැවීමට හැකි වූ බවත් ජන වහරේ
ඇත.
මෙසේ ,සිකුරා ද පරාජය කළ බැවින්
“සිකුරාජපති” යන පදවි නාමය රජු විසින්
පිරිනමා ඇත. තඹ සන්නසකින් එම පදවිය පිරි
නැමූ බව දැක්වේ .එම පරපුරෙන් පැවත එන්නවුන්
අදටත් ,මාවෙල ගමේ වෙසෙති. සිකුරාජපති
යන්න ,මෙහි භාවිතාවන වාසගමකි .මගේ
යෙහෙළිය ,හීන් මැණිකේ පවසන අන්දමට ඇගේ
පාසල් අවදියේ දී ,එම වාසගම සහිත දැරියක්
ඇය හා මිතුරු දමින් බැඳී සිටියාලු.
නැකත් තරුවක් ගැහෙනු දැකීමෙන් ගණිතයා
විසින් අපූරු ප්රකාශයක් කර ඇත. අනාගතයේදී
කොත්මලා ඔයා දෙපස පිහිටි තිස්පනේ කන්දත්
කඩදොර කන්දත් එකට එකතුවී උතුරට ගලා
යන බවයි.ඒ ප්රකාශයෙන් අවුරුදු දෙසියයකට පසු
ඒ කියමන සැබෑවූයේ කොත්මලා ඔය හරහා වේල්ල
බැඳ ,මහවැලි ව්යාපාරය යටතේ ,එම කඳු දෙක යා
කොට;.උමං මාර්ග ඔස්සේ ජලය ගලායාමට
සලස්වා එයින් ටර්බයින කරකැවීමට ශක්තිය
නිපදවා ගත් බැවිනි. ( ඇතැමෙක් මෙය පොන්න
නැකැත්තාගේ අනාවැකියක් බවටද පවසති .)

එකල ද පාලකයන්ට කේළම් කියා ,වාසි
ලබාගන්නවුන් ..සිටි බැවින් ; රජු හා ගණිතයා
අතර සම්බන්ධතාවය නො රුස්සන පිරිස ....
ගතු කියා ඔහු කෙරෙහි රජතුමා තුළ වූ විශ්වාසය
බිඳ දමන ලද බැව් කියැවේ .
අවසානයේ රජු විසින් වරදක් පටලවා ,ගණිතයාට
මරණ දණ්ඩනය පනවන ලදී . තමාගේ අවසන්
ඉල්ලීම ලෙස ..තමා පවසන කවිය අනුව කටයුතු
කරන ලෙස ..හේ රජුගෙන් ඉල්ලීමක් කර ඇත.

“හත් අවුරුද්දක් වසිනා වැස්සේ
බිංදු ගණන් කරලා දෙඤඤයි .
අබ තුන් පෑලක් මැනලා දුන්නොත්
පියළි ගණන් කරලා දෙඤඤයි.
හත් අවුරුද්දක් ගිය කන්කුන්ඩගෙ
කකුල් ගණන් කරලා දෙඤඤයි.
තව තුන් පැයකට නො මරා හිටියොත්
මෙතුන් පදේ තෝරා දෙඤඤයි.”

මේ කවියෙන් තමාගේ මරණය ..පැය තුනකට
කල් දමා ගැනීමට ඔහුට ඕනෑවිය.හේතුව තමා
ස්ථිර ලෙසින් ම ..තවත් හෝරා දෙකකින්
ස්වභාවිකවම මිය යන බවත් ; තම ආයුෂ අවසන්
වන බවත් ශාස්ත්රයට අනුව ,ඔහු දැනසිටිමයි.
ක්ෂණිකව මරණ දඬුවමට ලක් වුවහොත් ..
“වරදකරුවෙකු ලෙසින් හංවඩු ගැසෙන බැවින්”
කළ නො හැකි ඉල්ලීම් කවියෙන් පවසා ඇත.
රජුටද මේ කවියට අනුව මොහුගෙන් පිළිතුරු
ලබා ගැනීමේ ආසාවෙන්..ගණිතයාගේ දඬුවම ,
හෝරා තුනකින් කල් දමන ලෙස වදකයාට
නියෝග දී ඇත .
පුදුමයකි ! හෝරා දෙක ඉකුත් වනවිටම
ගණිතයා රජු ඉදිරියේ මැරී වැටිණි . රජු , මහත් සේ
කම්පාවට පත්වූ බව කියැවේ.

කම්පාවට පත්වූ බව කියැවේ.
මෙයින් අපටද කදිම පාඩමක් උගත හැකිය . එනම් ....

“උවමනාවට වඩා දක්ෂ වූ විට ,තමා වටා
සිටින්නවුන්ගේ ඉරිසියාවට බඳුන් වන බවයි.”
රෝ.සි.
2024.04.04
.
( සේයාරුවෙන් දැක්වෙන්නේ සුන්දර කොත්මලේ
ජලාශයයි. අපගේ කැමරා කාචය දුටු අයුරු යි...ඒ.) 
See
day in the life

Thursday, April 04, 2024

සුන්දර කොත්මලය ..(තුන්වන ටීකාව)




ගැමුණු කුමරුගේ ගැටවර අවදිය ...
Historical Legends of young Gamunu

කොත්මලා ඔය හඬ නඟමින් බැස යන
ශබ්දය ,ඇසුණු විට වර්ෂාවේ දෝංකාරය
යැයි මුලදී අප රැවටුණේ , නො දැනුවත්කමටය.
එය ,එතරම්ම විශාල ඝෝෂාවකි . ඇහැල
මලින් පිරුණු ගස යට වූ බංකුවේ වාඩිවූ විට
ඇස් මානයේ පෙනෙන වෙල් ඉපනැල්ල
චමත්කාර ජනක හැඟීම් මතුකරවයි.මෙවැනි
වෙල්යායක හරකුන් දක්කාගෙන යන
ජවසම්පන්න තරුණ ගැටවරයෙක් ..කාවන්තිස්ස
රජුට රහසේ ,සරල ගැමි ජීවිතයකට යොමු වූ
අයුරු , අතීතයට ඉගිළ ගිය සිතුවිළි නිසා
මනසේ සිත්තම් වන්නට විය.
දෙහදු කඩුල්ල හරහා කොත්මලයට පැමිණි
කුමරු කොටගෙපිටිය ගම්මානයේ ,ගමරාළ ගේ
ගෙදර නවාතැන් ලබාගත්තේ ගුත්තා ...ලෙස
පෙනී සිටිමිනි .
“මොණරාගල කන්ද පාමුළ සැදී ඇතී
නිල් දිය කඳුර හෝ හෝ ගා ගලා යතී
ගාමිණි කුමරු හොර රහසේ ලැගුම් ගතී
මේ ගම පියස කොටගේ පිටිය නම් වෙතී .”
(ජනකවියක්)
ගොවිතැන් කටයුතු සඳහා ඌරු
පැලැස්සේ ගමරාළ ට සහාය වීමට ඔහුට සිදුවිය .
නන්නාඳුනන තරුණයා ට ගම්මුන් ගේ සහාය
නො ලැබුණු බව ජනප්රවාද පවසයි.කොත්තුනුගොඩ
නවන්ගම ප්රදේශය යකඩ කර්මාන්තයට ප්රසිද්ධය .
උදැල්ලක් සාදා ගැනීමට නවංගම කම්මල්කරු
සොයා පැමිණි විට ,කුමරු ගේ ඉල්ලීම ප්රතික්ෂේප
කරමින් කල් මැරූ බව කියවේ. කම්මල අසල
කැලෑ රොදක සැඟවී ,කම්මල් කරු බැහැර යන
තෙක් බලා සිටි ඔහු ,අවසානයේ කම්මල්කරු
පිටවෙනවාත් සමග එහි ගොස් ඉවත ලා ඇති
යකඩ කැබලි තලා සුළු වේලාවකින් ,ඉතා කදිම
උදැල්ලක් සකස් කරගත් බවත් , කම්මල්කරු
පැමිණි විට එය දැක විශ්මයට පත්වී ,කුමරුට
වැඳ වැටී සමාව ඉල්ලූ බවත් කියැවේ.
කුමරු හරක් බලා ගැනීමට ගියේ ,මොණරාගල
කන්දටය . එම කන්ද මුදුන මොණරකු ගේ පිල්
කළඹ සේ උස්ව පැවති හෙයින් ඒ නම ලැබුණු
බව ගම්මු පවසති.ගොවිතැන් කිරීමට අවශ්
මීගොන් ලබාගැනීමේදී පවා ගම්මුන් ගේ
කෙණෙහිලි කම් නිසා අවශ්ය තරමට මී ගොන්
නො ලැබුණද ...ඔහු ගේ පින් මහිමයට පසුව
මීගවයින් ඔහු සතු ගවයා පසුපස පැමිණි බවක් ද
ජනප්රවාදයේ එයි.
මොණරාගල කන්දේ සිට ගලා බසිනා රජ ඇළ
පිළිබඳවද අපූරු ,ඇදහිය නො හැකි කතා පුවතක්
ඇත . සෙසු ගොවීන් ගුත්තා ට ජලය ලබාදීමට
අකමැති වූ බැවින් තම කෙවිට අතට ගත් ඔහු
කන්දේ සිට පහළ වෙල්යාය දක්වා කෙවිටෙන්
ඉරක් ඇඳගෙන ගිය විට ,ඔහුගේ පුණ්ය ශක්තියට
ඒ පාර ඔස්සේ ජලය ගලා ආ බවත් .එම ඇළ
මාර්ගය “ රජ ඇළ” නමින් පසුව භාවිතා වූ බවත් ය.
“උදහස් වූ බැවින් පිය රජු හට බියෙනී
පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමිණී
එහි හිස් ඉඩම්වල සරු කෙත් කරවමිනී
විසු වෙස්වළා ගාමිණි කුමරිඳු තුටිනී .”
(ජන කවියක්)
තමාගේ උදැල්ල හා මී ගවයින් උදව් කරගෙන
වෙල් යායක් සරුසාර ලෙස අස් වද්දා ..ගම්මැහේ
නොහොත් ගමරාළට තම ශක්තිය පෙන්වීමට
කෙවිට ඇදගෙන එනවිට ,ඒ පසුපසින් වී පිරවූ
මළු එකදිගට පැමිණි බවත් ...වී ඇසුරූ ගෙදර
“වීසුරු ගෙදර” නම් වී ,පසුව කටවහරේ භාවිතයට
අනුව ..අද “ වීරසූරිය ගෙදර”නමින් දක්නට ලැබේ .
“ ඌරු පැලැල්ලේ ගම මහගේ ගෙදර
මාරු වී එනම “ වී ඇසුරූ ගෙදර”
සීරුවට අළුත් පලකරන නිසියුර
වීරසූරිය ගෙදරයි දැනට බැවහර .”
(ජන කවියක්)
කුමරුට සේවකයෙකුට මෙන් සැලකු ගමරාළ
හා සිය පවුල ,කුමරු ගේ දස්කම් දැක බෙහෙවින්
පැහැදී ,කළු එතනා නම් සිය වැඩිමල් දියණිය
ඔහුට කාර බැඳ දෙන්ට වෑයම් කළද ,ඇය
අකමැති වී ඇත.එහෙයින් ගුත්තාට මල් කදට
(බත් පෙට්ටියට) ඇඹුල ගෙනගියේ බාල දුව
රන් මැණිකාය .දෙදෙනා අතර සෙනෙහසක්
ගොඩ නැගුණු බවත් පසුව ඇය හා කාර බැඳ
පැලැල්ල දෙණියේ මහ ගෙදර ම පදිංචියට ආ
බවත් කියැවේ .( එතෙක් ඔහු ගම ගෙදරටම
අයත් කුඩා මඩුවක් වැනි පැලක සිටි බවය්
කියැවෙන්නේ .)
“දුල ගාමිණී කරනට කරකාර සුබ
කළු මැණිකෝ පිං නොකළේ මන්ද නුඹ
හෙළ දිව කිරුළ මපියාගෙන් මෙදින ලැබ
රජ කරනට රන් මැණිකෝ නඟිනු නුඹ .”
(ජන කවියක්)
දහවල් ආහාරයෙන් පසු ,සුළු වේලාවක්
රන් මැණිකා ගේ උකුළෙහි හිස තබා නිදා
ගැනීම කුමරුගේ පුරුද්දකි. දිනක් විකාර
සිහිනයක් දැක තැතිගෙන අවදිවී ඇත .
“තමාගේ බඩවැල් මුවින් එළියට පැමිණ දික්වී
ගොස් ,නැවත කෙටි වී කුසතුලට ඇදී යාමයි.”
බියට පත් කුමරු ජ්යෝතිෂ්ශාස්ත්රය දත් “පොන්නා”
නම් නැකත්කරු හමුවී පලාපල විමසූ බවත් ,
සිහිනය විමසූ පොන්නා ,කුමරු ඉදිරියේ වැඳ වැටී
ඔහු රජ වන බව පවසා ඇති බවත් කියැවේ .
අවසානයේ ඔබ ,මා දන්නා පරිදි ..කාවන්තිස්ස
රජුගේ ඇවෑමෙන් ..සරසනලද මංගල හස්ති රාජයා
කුමරු දහවල සැතපී සිටි තැනට ම පැමිණ ...රජ
පෙරහරින් රජවාසලට කැඳවා ගියේලු ...
කොත්මලයේ සිට මාගමට ..මඟුල් රිය පෙරහැර
බලන්නට මාත් සිටියානම් ..කිනම් අරුමයක්ද??
මොනතරම් රසවත් ,ජනප්රවාද කොත්මලය විසින්
සඟවා ගෙන ඇත්දැයි ..ගලා යන කොත්මලා
ලාලනිය දෙස බලා සිටි ,මට සිතුණි.
(සේයාරුවෙන් දැක්වෙන්නේ ගැමුණු කුමරු කොත්මලේ
සිටියදී වගාකළ බව කියන වෙල්යාය අද ගොයම් කපන
පිරිසක් .අප ගේ කැමරාවෙන්.)

රෝ.සි. 2024 .04.02.
A day in the life

Wednesday, April 03, 2024

සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව)



 සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව)

දෙහදු කඩුල්ල
The historical monument called Dehadu Kadulla
at Kothmale
සුන්දර කොත්මලය ගැන තවත් ටීකාවක්
ලියන්නයි ,මේ හදන්නෙ .
අද වගේ සන්නිවේදන ක්රම නො තිබුණු
ඒ කාලයේ ,පුංචි සත්ය සිදුවීමක් මුල් කරගෙන
ආලවට්ටම් ගොඩක් දාල අදහගන්න බැරි
තරම් වගේ කතන්දර , පුරා වෘත්ත (legends)
ගොඩනගනවා .සමහරවිට කටින් කට ආරංචි
ගලාගෙන යනකොට ,මුලදී කියාපු අදහස
බොහෝ දුරට වෙනස් වෙලා යන්නෙ. ඒ ගැන
පුදුම වෙන්න දෙයක් නෑ .
පිය රජු සමග උරණ වූ ,ගැමුණු කුමරුට අවවාද
අනුශාසනා දී ..මලය රටේ , කොත්මලයට පලා
යන්නැයි පැවසුවේ විහාරමහා දේවිය බවයි
කියැවෙන්නේ ...
“ඉර දිගට පැල් විස්ස නම් පැවති ,කොත්මලේ
කන්ද උඩ කෝට්ටයට පලා යව...”යි කියූ බව ..
කියවා ඇත්තෙමි .කුමරු මාළිගයෙන් පලා එනවිට
හාල් මැස්සන් හා අලකොල බැදුමක් සමග බත්
ගෙඩියක් බැඳ දුන් බව ජනප්රවාදයේ එයි.කුමරු
ඔයක් අසල වාඩිවී බත් ගෙඩිය ලිහා , අනුභව
කිරීමට පෙර , “මට අනාගතයේ රජකම ලැබේ නම්
මේ හාල් මැස්සන් ට පණ ඒවි .” යැයි අදිටන් කර
හාල්මැස්සන් කීපයක් ඔයට දැමූ විට ..උන්ට පණ
ආ බවත් , හාල් මැහි කඳුර ලෙස අදටත් එම ඔය
කොත්මලේ දක්නට ඇති බවත් සොයා ගත්තෙමු .
පුරාවෘත්ත හා ජනප්රවාද සූදුරු ඇටයක් දැවටූ ,හූණු
බිත්තරයක් මෙනි .වටා ඇති පොත්ත විශාලය .පැණි
රසය .සූදුරු ඇටය ,ඉතා කුඩාය .
එකල ,රුහුණු ..පිහිටි ..මායා නමින් තුන්
හෙළය දැක්වූ අතර ,රුහුණේ අගනුවර මාගම විය.
මාගම සිට මායා රටට ප්රවිෂ්ටවීමට කොත්මලේ එක්
දොරටුවක් විය .එය ...දෙහදු කඩුල්ල ලෙස හැඳින්වූ
අතර ,එය නැරඹීමේ වාසනාව ලදුයෙමි . නිලූපා ත් ,
හීන් මැණිකේ හා මග පෙන්වූ සම්පත් ද සමග උලපනේ
පුස්සැල්ලාව පාරේ පිවිසුමින් ඇති අත්වැල නැග කඩදොර
හෙවත් දෙහදු කඩුල්ල නැරඹීමට ගියෙමු .මාගම සිට
කොත්මලේට ඇතුල්වීමට පිවිසුම් දොරටු හතරක් තිබී ඇත.
කඩදොර ,නියම් ගම් දොර ,වටදොර හා ගල් දොරයි.
එයින් අද දක්නට ලැබෙන්නේ දෙහදු කඩුල්ල නමින්
හැඳින්වෙන ,කඩ දොරයි. මහවැලි මහ සෑය පිවිසුම්
මාර්ගය භාවිතා කළහොත් ,ත්රී රෝද රියකින් එතැනට
ළඟා විය හැක.
ගල් කුට්ටි හා සක්ක ගල් විශාල ප්රමාණයක් භාවිතා කර
දෙපසින් තාප්පයක ස්වරුපයෙන් හා ,මුදුන උස් හැඩයක්
ගන්නා සේ නිමවා ඇති මෙය අපූර්ව නිර්මාණයකි .
මුල් කොටස ගුහාවක් හෝ බිම් ගෙයක ස්වරූපය ගනී.
ඇතැම්විට මෙහි දෙපස මුර සෙබළුන් පවා
සිටින්නට ඇතැයි මට සිතුණි. උස් වූ විශාල ගස් කොළන්
නිසා හිරු රැසින් වන පීඩා කිසිත් නො දැනේ .
ජනප්රවාදයේ දැක්වෙන අන්දමට ,මාගම සිට කොත්මලේට
සෙන්දුවූ ගැමුණු කුමරු ,සිය මඟුල් කඩුව සඟවා ඇත්තේ
මෙහි ය. පුරා විද්යා ඵලකයක් මගින් ද ඒ බව සඳහන් කර ඇත.
පියතුමා සමග අමනාපය කින්න
ගියේ කොත්මලා දෙස රහසින් කුමරු පැන
සිය කග සැඟවූ කල කඩදොර අයින
දෙහදු කඩුල්ලයි ,නම් පැනවූ සොඳින .
(ජන කවියක්)
තරුණ ජවය පිරී ඉතිරෙන වියේ වූ ගැමුණු කුමරු ගේ
පාද යාත්රා ව මොනතරම් කටකතා ජනප්රවාද හා පුරා
වෘත්තවලට වස්තු බීජයක් වේ දැයි ..එදා ඔහු සිතන්නට
නැත .
රෝ.සි.
2024 .03. 31

A day in the life

Tuesday, April 02, 2024

කොත්මලේ .


සුන්දර කොත්මලේ ......(පළමු ටීකාව.)
How I become oneness with the pastoral serenity of Koth male


















 





 

වසර කිහිපයක් තිස්සේ පැවති සිහිනයක් සැබෑ කරගනිමින් ,මලය රට සුන්දර කොත්මලේ ගම්මානය තුළ දින කිහිපයක් සංචාරය කිරීම ට අවස්ථාව උදාවූයේ ,මගේ යෙහෙළිය හීන් මැණිකේ කළ ඇරයුම නිසාවෙනි .
අපේ ඉතිහාසයේ ,ගැමුණු කුමරු ට සුවිශේෂී ස්ථානය ක් හිමිවේ. ඔහු කොත්මලේ සැඟවී සිටි කාලය තුළ ,තමා සම්බන්ධ ජනප්රවාද හා පුරාවෘත්ත රැසක් කොත්මලයට දායාද කර දීමට සමත් වී ඇත .
උදහස් වූ බැවින් පිය රජු හට බියෙනී
පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමිණී
එහි හිස් ඉඩම්වල සරුකෙත් කරවමිනී
විසු වෙස්වළා ගාමිණි කුමරිඳු තුටිනී.
.(........ජනකවියක්)
කොත්මලා අඩවිය පුරාම දිරාගිය හුණුගල් හා දිරාගිය උමං කුහර බහුල ය.
වටද්දර දෙසින් ගලන ජල ප්රමාණය ,කොත්මලා ඔය පහළ දක්නට නැත්තේද, ඔය මැද පිහිටි විශාල දිරාගිය හුණුගල් කුහර ඔස්සේ, ජලය පොළව තුළ ට ගලා යෑම යි .
කොත්මලා ඔය ,ප්රධාන ඔයවල් පහක් එක්වීමෙන් සෑදුන කි.එය සැතපුම් 43ක් දිග මහවැලි ගංගාවේ ප්රධාන අතු ගංගාවකි.
සොබාදහමේ අපූර්ව නිමැවුමක් වන කොත්මලේ .....වනාන්තර , කඳුපංති ,කපොලු,ගිරිදුර්ග හා ගංගා දියඇලි වලින් සුන්දර වී ඇත.
කොත්මලා ඔය ; නැගෙනහිරින් ....මහවැලි ගම, බෙරමාන,ව්ජයබාහුකන්ද,මෑතගම,මල්දෙණිය,කලපිටිය,හැදුණු වැව ,වෑ තලාව ,වටද්දර, නයින් කෙළිනා තොට,තිස්පනේ,හරංගල ගම්මාන පසු කරමින් ගලන්නීය. ඇයගේ බටහිර ඉවුර ; මඩ කුඹුර,හාල්පොල,වැවහේන,නියංගන්දොර (නියම්ගම්දොර),ගංකේවල,හෙල්බොඩ, මාවෙල, මාස්වෙල ,මොරපේ,රන්වන් තලාව ,කඩදොර,නුගවෙල සහ මාවතුර යන ගම්මාන වලින් පරිපූර්ණ වී ඇත . මේලෙසින් ගංදෑල වර්ණවත් කර ගනිමින් ,නැලවිල්ලේ ගලා ගිය නදී ලාලනිය අනතුරු ව කොත්මලේ වේල්ල ඇයට අභියෝග යක් වූ කල, දුක්මුසු ලීලා වෙන්..වැහැරුණු සිරුරෙන් ..සුසුම් ලමින්
ගමන් කර, උලපනේදී මහවැලි යේ උණුසුම ලබන්නීය.
තුරු ලතාවන්ගෙන් අලංකාර වූ නිල්වන් වන රේඛාව ,කොත්මලේ ජලාශය ට දිය උල්පත් සපයන තෝ තැන්න කි. සපු,වල්දෙල්, කීන ආදී
ශාක පත්ර බහුල ....අහසට හිස ඔසවා සිටින වනස්පතීන් , කොත්මලා මිටියාවත රැකගන්නා
හමුදාපතීහු වෙති .හීන් බෝවිටිය,දිය බෙරලිය,ගඳපාන පඳුරු ද...ඉලුක් ,මානා වැනි
තෘණ පඳුරු ද ...මග දෙපස වර්ණවත් කරවයි .
මගේ සිත ,වඩාත් පැහැරගැනීමට සමත්වූයේ සීතල දියකඳුරින් පිරි දර්ශනීය දියඇලි ය.
මේවා ගල්කුලු අතරින් ඇදහැලෙන විට ...නගන සිලි සිලිය වීණාවක මියුරු තත් හැඬවෙන්නාක් මෙන් යැයි ,මට හැඟේ.
ඇස්මානයේ හෙල්මළු රටාවට ගෙත්තම් කළ ,රන්වන් කරලින් ගැවසීගත් වෙල් යායවල් අතීත සෞභාග්යය පෙන්නුම් කරවන්නකි .
නෙතට රසඳුනකි...අභිමානනීය හැඟුම් දනවන්නකි .
කොත්මලේ සැඟවී සිටි කාලය තුළ ,දිය නෑමට සැකසූ මාවෙල පිහිල්ල සහ ඒ අසල වූ අම්බලම.....දුටු මතින් මට සිහිපත් වූයේ මේ ජනකවියයි.
නෑකල සිසිල හා සීතල සැප දෙවන
සීතල අනෝතත්විල ලෙස දිය ගලන
ඒ කළ ගැමුණු නරනිඳු හට පහළ වුණ
මාවෙල හොඳ පිහිල්ලක් මිතුර රණමුණ.
(ජනකවියකි).
මේ දිය පිහිල්ලේ සිසිලස දෝත පුරා විඳගැනීමට වාසනාව ලදුයෙමි.
රෝ.සි.
2024.03.28.

සේයාරුව ,ගැමුණු කුමරු සෑදූ පිහිල්ල හා අම්බලමයි. මෙය නැවත ප්‍රතිසංස්කරනය කර ඇති බවකි.
රෝ.සි කොත්්මලේ ඉදන් ලියපුු කතා පෙලක පලමු වන්න හෙට තවත් කතාවකින් ඉතිරි කොටස. 
නැවත පලකරන මීදුම වෙනුවෙන් උදහසට පත්නොවන ඇයට ස්තුතියි.






A day in the life