පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-06-24

මග වියදම් .


“ මග වියදමට තේකක් බොන්නවත් අතේ
කීයක් හරි තියෙනවද ..?”
ඇය දුක්මුසු ස්වරයෙන් විමසන්නිය .
“ හ්ම්!! තේකක් බොන්න බැරියැ .”
කලිසම් සාක්කුවට යැවූ අත එළියට ගනිමින් ඔහු
පවසන්නේ ඇගේ සිත නොරිදෙන අයුරිණි.
රැකියාවක් සොයා කොළඹ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකු
මුණගැසෙන්නට කතිකා කරගෙන ඇත.
ඒ කුඩා කළ මා කියැවූ පොතක සටහන්වූ කොටසකි .
ගමනක් යන ඕනෑම කෙනෙකුට මග වියදම් නැතුවම බැරිය.එය
මුදල්ම විය යුතු නොවේ. අතරමග වෙහෙස නිවාගන්නට වතුර
බෝතලයක් රස කැවිල්ලක් හෝ අඩුම වශයෙන් බුලත් විටක්
තිබුණොත් ; විඩාව සංසිඳවා ගත හැක.
ඉස්සර කාලයේ සිරිපාදය වඳින්නට සමනොළ කන්ද නගින
හැම කෙනෙක්ම වාගේ අග්ගලා පසුම්බියක් ගෙනයෑමට අමතක
කළේ නැත. අදත් බොහෝ අය අතර ඒ පුරුද්ද පවතී .
රොබට් නොක්ස් ගේ “එදා හෙළදිව” පොතේ පවා මේ
කැවිලි වර්ගය මග වියදම් ලෙස සිංහලයින් භාවිතා කළ බව පෙනී
යයි.
“...............අග්ගලා නමින් තවත් අළුමුසුවක් වෙයි.බැදිහාල් පිටි
පැණියෙන් අනා ගම්මිරිස් ,කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන්
මුසු කොට මෙම ගුලි සාදා ගනී.මේ ගුලි ,ගුලිකිරීමෙන් පසු තද වෙයි.
ගමන් බිමන් යාමේදී සන්ධ්‍යා භෝජනය සඳහා පසුම්බිවල දමා
ගෙනයන්නේ මේ අග්ගලාය .”
(පිටුව260 )
පෙර කළ මග වියදම් සඳහා අග්ගලා පැසක් රැගෙන ගිය දුගියෙකුගේ
පැසතුලට රිංගා ගත් නාගයෙකු නිසා සිදුවෙන්නට ගිය මහ විනාශයක්
දුටු දේවතාවියක් ....
“ මග සිටියොත් තෝ නසී
ගෙදර ගියොත් අඹු නසී ...”
යැයි පැවසූ ගැටපදය මහෞෂධ පඬිතුමා විසින් විසඳූ බවක් මතකයට
නැගේ.
මග වියදම් කාලයෙන් කාලයට මෙන්ම පරිසරයෙන් පරිසරයට
වෙනස් වේ. අද කාලයේ චීස් හා මස් පෙති දමා සකසා ගත් සැන්විච් හෝ
බිස්කට් වර්ග ..පළතුරු යුෂ ආදිය බෙහෙවින් ජනප්‍රිය වී ඇත.එමෙන්ම
දිය ඇල්ලක්, කඳු කරයේ සීත වන අරණක් හෝ නිල් පැහැ වෙරළ තීරයක්
ආශ්‍රිතව විනෝදය සඳහා ගමන්බිමන් යාමත් ,සංචාරක කර්මාන්තය දියුණු
වීමත් නිසා අපේ ජීවිත බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතී. මුදල් වෙනුවට
Electronic card සහ Rail warrants ආදිය භාවිතා වීමෙන් මගවියදම් අඩු වීමත්
පහසුවත් සැලසේ .
ගෙදර දොරේ හෝ රැකියාවේ ඒකාකාරී බවින් මිදී මොහොතක්
සැනසිල්ලේ අලසව ඔහේ වැතිරී ; සොබා සෞන්දර්යයෙන් මත්වීමට අප
කවුරුත් කැමතිය . ඒ නිසාම ගමන්බිමන් යෑමටද දැඩි ඇල්මක් ඇත. ඓතිහාසික
ස්ථාන නැරඹීමටත් ; ගඟක හෝ මුහුදක පැන යහළුවන් හා විනෝද වීමටත්
අපි කැමැත්තෙමු. ගමන් වියදම් දරා ගැනීමට හැකි නම් ; රටින් පිට වෙනත්
දේශයකට යෑමටද ඉතා කැමැත්තෙමු. අත මිට හිඟ වූවිට මග වියදම් ; පසුම්බියට
බරක් වේ . එවිට හිතේ සතුට නැතිවේ . බුම්මාගෙන සිටිමින් කල්පනා ලොව
සැරිසරයි. කේන්ති යයි.
අතීතයේ මෙහි විසූ වැදි ජනයා ද තමන් ගේ වැදි යුවතිය හා පෙමින්
බැඳුණු මුල් අවදියේ ; මේ අයුරින් වනවදුලේ දුව පැන නටමින් ; පොකුණු වලට බැස
දිය කෙළි කළ ආකාරය ; R.L Spitle ගේ Savage Sanctuary (වන සරණ ) පොතේ
ඉතා රසවත්ව සටහන් වි ඇත.
“...............පැය එකහමාරක් පමණ ඉහළට නැගීමෙන් ඔවුන්ට
කන්දට නැගගත හැකිවිය.තැන තැන වූ කඳු ගැටවලින් පුල්ලි ගැසී ගිය එකම නිල්
තලාවක් වැනිවූ සීමා රහිතව අවට පැතිරී සිටි මහවනය මනහර විය..........මොවුනට
හමුවූයේ ඉතා සිහිල් පෑදී දිය ඇති ගල් කෙමකි.( පොකුණකි )....
“දැන් අපි නාන්ට ඕනෑ” යයි ඉණකඩ ගලවා දමා දියට පනිමින් තිසාහාමි
කීවේය.....දියේ ගිලුණු තිසාහාමි දියබිඳු වගුරුවමින් දිය මතුපිටට ආවේය. මුහුණත්
කටත් ඇත් වසුරුවලින් පිරී තිබුණි....වල්ලී හූ කියා සිනාසුණාය .
“ වල් සතා දියබීල යනවා මදිවාට ඒකෙ බෙටි ලාල කැත කරලත් යනවා.”
යයි ඔහු අලියාට සාප කළේය.
“එන්ට එන්ට බැහැල නාගන්ට .”යයි ඔහු ඈට කතා කළේය.
“අනේ මට බයයි. මේක ජඹුරයි.”ඈ කීවාය.
“ජඹුර නෑ බහින්ට ;මේ හැමතැනම මා පොව්වනවා.”
ඔහු පොකුණ මැදට ගොස් කර වටක් දියේ සිට ගත්තේය.
“ බයවෙන්ට එපා.හොඳ සීතලයි , සනීපයි.කෝ මං අල්ලාගන්ට .” යයි ඔහු ඈට
ලංවුණේය .
ඉනකඩ ගලවා දමා ගල් කෙම කෙළවරේ වාඩිගත් දැරිය සෙමින් ,බියෙන්
බියෙන් දියට බැස තන මත්තක් දියේ ගිලුණාය .....” (පිටු අංක 60)
ඉතා අපූරු ,සිතුවම්පටක මෙන් ඒ දර්ශනය රස විඳින්නට පුළුවන් වන්නේ
පරිවර්තක , ඒ .පී. ගුණරත්න මහතාගේ රසවත් ශෛලිය නිසාය. වල්ලිටත් ,තිසාහාමිටත්
මග වියදම් තිබුණේම නැත. සොබාදහම ඔවුන්ට අවශ්‍ය සියල්ල මහ වනයෙන් ලබා
දුන්නාය.
අරමුණක් ඇති විට , යායුතු දිසාව පැහැදිළිව දන්නේ නම්..මගට අවශ්‍ය
බොහෝ කළමනා අප විසින් සුදානම් කරගනු ලැබේ.
විවාහවූ අළුත දහඅට වංගුව ඔස්සේ දෙණියාය දක්වා ගිය සුන්දර ගමනක්
සිහියට නැඟේ . Husband ගේ අම්මා බත් ගෙඩියක් බැඳ දුන්නේ දෙදෙනාටම සෑහෙන්න ය.
හොඳින් තවාගත් කෙසෙල් කොළය ඇතුලේ , ගෙදරම කොටා ගත් සුදු හාල් බතට , පරිප්පු
තෙම්පරාදුවත් ,කීරමින් බැදුමත් , කොට්ටපොල් සම්බෝලය හා ඉඳලෝළු හතු වැංජනයත් විය .
අතරමග පීල්ලකින් නා ,ඇටඹ ගස් හෙවනක සිට බත් මුල දිග අරිනවිට දැනුණු ඒ සුවඳ
දැනුදු සිහියට නැගේ. කුස පිරෙන්නට රසට කෑවේ ,අම්මාට පිං දෙමිනි.
අප විසින් මේ ජීවිත කාලය පුරාවට මග වියදම් සකසා ගෙන ගමන් බිමන් ගිය
නමුත් ,එසේ නොමැති වූ විටෙක ,කිසිවෙකුගෙන් මුදලක් ඉල්ලා ගෙන හෝ එම ගමන
ගොස් ආපසු පැමිණියෙමු. 

එහෙත් අපට යම් දිනෙක නොගොසින්ම ඉන්නට බැරි ගමනක්
ඇත. ඒ සඳහා මග වියදම් සපයා ගත යුත්තේම අප විසින්මය . මග වියදම් නැතැයි කල් දමන්නට නො හැක. ගියපසු ,නැවත නිවසට නො පැමිණෙනු ඇත.
“පන්ඩු පලා සෝවදානීසී - යම පුරිසාපි ච තං උපට්ටිතා
උය්යෝග මුඛේච තිට්ටසී -පාථෙය්යම්පි ච තේ නවිජ්ජති .”
(ධම්මපදය
- මල වග්ගය )
“ඔබ දැන් පඬු පැහැ ගත් ඉදුණු කොළයක් වගෙයි.
යම දූතයන් ඔබ කැඳවාගෙන යාමට ඇවිදින් සිටී.
නික්මීමේ දොරටුවට නුඹ ලංවී ඇත.එහෙත් නුඹට
පරලොව ගෙනයෑමට මග වියදම් නැත.”
එසේ නම් ,මගවියදම් සපයාගැනීමට ප්‍රමාදවන්නේ ඇයි?






රෝ.සි.

A day in the life
 ජීවිතයෙන් දවසක් .

2026-06-23

බේකර්ස් බෙන්ඩ් - නොන් පෙරියල්.




බෙලිහුල්ඔය සිට නොන්පෙරියල් මාර්ගයේ නාගරක් ඩිවිෂන් ( කොටස) යන ගමනත් සෞන්දර්ය චාරිකාවක්.
බෙලිහුල්ඔය 1700 මුහුදු මට්ටමේ සිට මුහුදු මට්ටමේ අඩි 4000 කට පමන පිහිටීමකට සැතපුම් 19ක් දුර ගෙවමින් දිවෙන මාර්ගය වාහනයක යන්නේ නම් ක්‍රියාන්විතයක්.
බේකර්”ස් බෙන්ඩ් නැරඹිමට පිරිස විශාලයි.මෙම මාර්ගයේ නොන්පෙරියල් තේ කර්මාන්ත ශාලවේ සිට නාගරක් කොටසට මාර්ගය කි.මි08 ක් පමණ වැඩි දියුණු කල වතු කළමනාකරවෙකු වන වින්සන්ට් සී බේකර් මහතා නමින් මෙම වංගුව නම් කර තිබෙනවා. ඊට පෙර මෙම කොටසේ තේ දළු ප්‍රවාහනය කර තිබුනේ කම්බියක් මගින්. ද්‍රවිඩ වතු වාසීන් තේ දළු ඇසුරුම් කම්බි මාර්ගයට පටවන ස්ථානයත් බාගන්නා ස්ථානයත් හදුන්වනු ලැබුවේ “ කම්බි අඩිය “ නමින්. මෙම ස්ථාන මේ වන විට නටබුන් බවට පත්ව තිබෙනවා.
බේකර්ස් බෙන්ඩ් පසු කර කි.මි 02ක් පමණ ගිය විට හෝර්ටන් තැන්න එක් මායිමකට පිවිසෙනවා. මේ මගින් හෝර්ටන් තැන්නට යා හැකිවුනත් වන ජීවි දෙපාර්තමේන්තුව විසින් මෙම පැරණි මාර්ගය වසා දමලා.
ඉංග්‍රීසින්ගේ සමයේ මෙම මාර්ගය බෙලිහුල්ඔය සිට නුවරඑලිය දක්වා අශ්වයින් පිට ගමන් ගත් ප්‍රසිද්ධ මාර්ගයක්.

A day in the life 
ජීවිතයෙන් දවසක් .