පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, June 15, 2022

වියපත්වු මතකයක්.



සිරිමා ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ  පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී  සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා  බවට එම ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් කම්කරු වෘතියට   අමතරව යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙන්ය.
අද මගේ කතාවේ කතානායිකාව  නමින් මීනායි ය. මට වයස දහ අට  විස්ස වන අවදියේ  ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල ගැමි කාන්තාවක මෙන් පිලිවෙලකට ජීවත් වන්නියකි . පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න පුංචි ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස  මගේ පියා බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි. ඒ අරපිරිමැස්මෙන් හරි හම්බු කර ගත් වත්කමය.වතු  ද්‍රවිඩ ජාතිකයන් තම වත්කම් රැස් කරන්නේ රත්තරන් වලින්ය.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට විශාල මුදලකි. මගේ මතකය නිවරදි නම් එකල කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දෙකක් පමන විය.
මා සදහන් කරන මෙම කාලයේ   ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම  බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය. ඈ
වරින් වර මුදල් ඉල්ලුවත් කල් මරමින් ආපසු ගෙවීම පැහැර හැරියේය.

කාලය ගත විය. 
එක් උදෑසනක මෙම ව්‍යාපාරිකයා හමුවීමට ව්‍යාපාරික  ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට නී නාෂමා පෝ යයි ( උඹ නැති වෙලා පලයන් )  සාප කරමින් බිමින් ගත් වැලි අහුරක් අහසට විසිකර, වෙනත්  කර කියා ගත හැකි දෙයක් නොමැතිව සාප කරමින් ආපසු ගියේය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර ද දේශපාලන කීර්තියද  පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුට,  ඔහුගේ නමින් කිසිදු දේපලක් නැත.
මීනායි අම්මාගේ සාපය විසින් ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපලත් ඔවුනුත් විනාශකර දමන ලද්දැයි  මේ සිද්ධිය සිහිපත් වෙන විට මට සිතෙන්නේය.



notes of imaginary

Sunday, June 12, 2022

යාපනයේ මතක ඩෙල්ෆ් දූපත 3.



ලියලන ගල

ආදම්ගේ පාදය

පරවි කූඩු 

ලන්දේසි උසාවි සංකීර්නය

කැලෘ අශ්වයින්

කැලෑ අශ්වයින් 

බලකොටුව


 

පි දූපත ඇතුලතට ගමන් ඇරඹුවෙමු. අපේ නඩයේ අවශ්‍ය තාවය වුයේම වල්  අශ්වයින් නැරඹීමය. වර්ෂා සහිත කාලගුණය නිසා එලිමහනට අශ්වයින් පැමිණීම අඩු බව මාර්ගෝපදේශකයාගේ මතය විය. අපි අශ්වයින් ඉලක්ක කරගෙන උන්ගේ වාස භූමිය සොයා ගෙන ඉදිරියට ගමන් කලෙමු

අතර මගදී අප දුටු ඩෙල්ෆ වල සිහිවටන කිහිපයක් මෙසේය

 

ලියලන ගල

 මෙම පාෂාණය සතුව අද්භූත බලවේගයක් පවතින බව දූපත් වාසීන්ගේ විශ්වාස කරයි.  ඔවුහු මෙම පාෂාණය සඳහා මල් පහන් පුදා නොයෙකුත් පුද පූජා පවත්වති . අප එතනට යනවිටත් මල් පහන් පුදා සරසා තිබිනි. “ලියලන ගල”  ලෙස හඳුන්වන මෙම පාෂාණය පොළොවේ සිට අඩි පහක් පමණ උසින් යුක්තවේ. ඔවුන්ගේ  විශ්වාසය  මෙම ගල  වැඩෙන පාෂාණයකි.

මෙම කුලුන යටත් විජිත යුගයේ ප්‍රදීපාගාරයක් ලෙස යොදාගන්නට ඇතැයි උපකල්පනය කෙරේ. මෙහි මැද කොටස දුම් කවුළුවක් ලෙස ඉදිකර ඇති අතර සුළං ඉහලට රැගෙන යාමට හැකිවන අයුරින් සකස් කර ඇත. මෙය බොහෝ විට පහල කොටසේ ගිණි දල්වා නිකුත්වන දුම මගින් නාවික යාත්‍රා සඳහා සඥා ලබාදීමට යොදා ගත්තා විය හැක. නමුත් මෙම කුලුන පිළිබඳ තවත් මතයක් වන්නේ මෙය යටත් විජිත යුගයේ මෙරට තුල සිදුකල මිනුම් කටයුතු සඳහා ඉදිකර ඇති බවකි.
අපේ පිරිසේ අරමුණ වුයේම ඩෙල්ෆ්ට් දූපතේ දැකිය හැකි මෙම අශ්වයන් නැරඹීමය. වර්තමානයේ කැලෑ අශ්වයන් ලෙස හැඳින්වුවද අතීතයේ   මෙම දූපතට අශ්වයින් ගෙනවිත් ඇත්තේ ලන්දේසීන් වන අතර ඔවුහු මෙම දූපත තුලදී  දහස් ගණනින් අභිජනනය කර ඩෙල්ෆ්ට් හරහා වැටී ඇති මුහුදු මාර්ගය ඔස්සේ ගමන් ගන්නා නෞකාවලට අශ්වයින් අලෙවි කොට ඇත.
පැරණි අශ්ව ඉස්තාලය
ලන්දේසීන් විසින් අශ්වයින් අභිජනනය කර විකිණීමට   ගාල් කිරීම සඳහා මෙම පැරණි අශ්ව ඉස්තාලය ඉදිකර ඇති එකකි.
මෙවැනි බයෝබැබ් ගස් ඉතියෝපියාව නිජබිම කරගත් ශාක වර්ගයකි. වර්තමානයේ මෙරට පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක වල දක්නට ලැබෙන අතර මෙය අරාබි වෙළඳුන් විසින් දකුණු ආසියාවට රැගෙන ආවා යයි සලකනු ලබයි.  ඩෙල්ෆ් හි  ඇති මෙම  බයෝබැබ් ශාකය ඩෙල්ෆ්ට් දූපතේ අශ්වයින්ගේ අවශ්‍යතාවයන් මත ලන්දේසි යුගයේ  රෝපණය කරන්නට ඇති බව සිතාගත හැක. වර්තමානයේ ඩෙල්ෆ්ට් හි දක්නට ලැබෙන බයෝබැබ් ගස ඉතා විශාල වටප්‍රමාණයකින් යුක්තවේ.  විශාල  බෙනයකින්ද යුක්ත වේ.
යෝධ නුග ගස
 විශාල වපසරියක් වසාගෙන වැවී ඇති මෙම නුගගස   වියනක් ලෙස සකස් වී ඇත. මෙහි අතුවලින් පහලට එල්ලී ඇති මුල් වලින් ගසට ආධාරක සපයා ඇත. දූපත්  වාසීන් මෙම නුග ගසට පුද පුජා පවත්වනු ලැබේ.  ඒ අසල කෝවිලක්ද ඉදිකර ඇත.
ආදම්ගේ පාදය
හිරිගල් වලින් සෑදී ඇති යෝධ අඩි සලකුණක හැඩය ගත් මෙම නිර්මාණය ආදම්ගේ පාදය ලෙස හැදින්වේ.
ලන්දේසි බලකොටුව
යටත් විජිත සමයේ පෘතුගීසීන් දිකල බව පැවසේ.පසුව  ලන්දේසීන් විසින් ඩෙල්ෆ්ට් දූපත පෘතුගීන්ගෙන් යටත් කර ගන්නා ලදී.  පසුව ලන්දේසීන් විසින් මෙම බලකොටුව මහල් දෙකකින් ශක්තිමත්ව ඉදිකර ඇති අතර වර්තමානයේ ඩෙල්ෆ්ට් රෝහල ආසන්නයේ දක්නට ඇත්තේ එම ලන්දේසි බලකොටුවේ නටබුන් වේ. මෙහි පහල මහල වෙඩිබෙහෙත්, අවිආයුධ ගබඩාවක් සහ සිරමැදිරියක් ලෙස භාවිත වී ඇති. පහල මාලයේ   වා කවුළු කිසිවක් පිහිටා නැති බව  නටබුන් අනුව සිතා ගත හැක. ඉහල මහලේ වා කවුළු පිහිටා ඇති අතර ,   සෙබළුන් සඳහා මෙම මහල ඉදිකර ඇතැයි සිතිය හැක.
ලන්දේසි රෝහල,
ලන්දේසි බලකොටුවේ නටබුන් පසුකර ඩෙල්ෆ්ට් ජැටිය දෙසට ගමන් ගන්නා විට මෙම නටබුන් සහිත භූමිය හමුවේ. එම භූමියට ඇතුල්වනවාත් සමගම පැරණි ලන්දේසි රෝහල පිහිටි ගොඩනැගිල්ල දැකිය හැක.
ඉපැරණි ස්ථූපවල නටබුන්
සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ අංකුරය රැගෙන දඹකොළ පටුන දක්වා වැඩම කල ගමනේදී මෙම ස්ථානයේ මදක් නතරවී විවේක ගත් බවට කියවෙන නමුත් එය සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිවක් ලැබී නැත.

ක්වීන්ස් කුලුන

කැලෑ අශ්වයින්

ලන්දේසීන් මෙරට හැරයාමෙන් පසුව මෙම අශ්වයින්   වල්වැදී කැලෑ අශ්වයින් බවට පරිවර්තනය වී ඇත.

ඉන්පසු දූපත් වාසීන් විසින් මෙම අශ්වයින් අල්ලා හීලෑ කිරීම, හණ ගැසීම ආදී ක්‍රියාකාරකම් වල යෙදුණ නමුත් වර්තමානයේ මෙම අශ්වයින් වාසය කරන ප්‍රදේශය වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

වසරේ බොහෝ කාලවලදී මෙම ප්‍රදේශයට බලපාන අධික පෑවිල්ල හේතුකොටගෙන දූපතේ ජලය හිඟ වන  නමුත් වර්තමානයේ වනජීවී දෙපාර්තමේන්තුව නාවික හමුදාව සමග ඒකාබද්ධව නියං කාලවලදී අශ්වයින්ට ජලය සැපයීම සඳහා පහසුකම සලස්වා ඇත. අශ්වයින් නියගයෙන් සංරක්‍ෂණය වීමට මෙම ක්‍රියා පිලිවෙත පිටිවහලක් වී ඇත.

බයෝබැබ් ගස

උසාවි සංකීර්ණයේ නටබුන්

රෝහලට  පිටුපසින් උසාවි සංකීර්ණයේ නටබුන් දැකිය හැක. මෙම උසාවිය ලන්දේසීන් විසින් ආරම්භ කරනු ලැබූ අතර පසුව බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යාමෙන් අනතුරුව නටබුන් බවට පත්වී ඇත.

පරවි කූඩු

 මෙම පරිශ්‍රයේ  ඇති සුවිශේෂීම නිර්මාණය වන්නේ පරෙවියන් සඳහා ලන්දේසි යුගයේ නිර්මාණය කරනු ලැබූ පරෙවි කූඩු සහිත ස්ථම්භයයි. ඩෙල්ෆ්ට් දූපත සහ අවට වෙනත් ගොඩබිම් අතර පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා එකල පරෙවියන් පුහුණු කර තිබූ බව කියවේ.

 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙම ස්ථානයේ මුල් වරට සිදුකරනු ලැබූ කැණීම් වලින් මෙම ස්ථානයේ බෞද්ධ විහාරයක නටබුන් සොයා ගෙන ඇත. පසු කාලයේ  නිදහස ලැබීමෙන් පසුව මෙම ස්ථානයේ නැවත සිදුකල කැණීම් වලින් මෙම ස්ථූපය ඉදිකිරීමට යොදාගත් හුණුගල් සහ එහි කොතද හමුවී තිබේ. ප්‍රධාන ස්ථූපයට පසෙකින් එහි පරිවාර ස්ථූප යයි සිතිය හැකි තවත් කුඩා ස්ථූපයන්ගේද නටබුන් වර්තමානයේ දක්නට ලැබේ. එකල හුණුගලින් නිමවා තිබූ මෙම ස්ථූපවල වර්තමානයේ ඉතිරිව ඇත්තේ පාදම පමණකි . පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු නඩත්තුවක් කරන බවක් දක්නට නැති අතර වල් බිහි වෙමින් පවතින බව සදහන් කල යුතුය.

සුන්දරය වෙරළ තීරයක් සතු ඩෙල්ප්ට් දූපතෙන් පිටත්වීමට කාලය පැමින තිබිනි.  උදේ ජැටියට පැමිණි “ වඩ තාරකී “ යාත්‍රාව ආපසු පස්වරුවේ  කුරිකඩ්ඩුවාන් බලා පිටත් වීමට නියමිත වෙලාව ලංවන බැවින් දූපත තුල රැදී සිටීමේ අවස්ථාව කෙටි විය. අප ආපසු පිටත් වීමට ඩෙල්ෆ්ට් ජැටියට පැමිනෙන විට කාර්යාල සේවකයින්ද නිවෙස් බලා යාමට වඩතාරකී යාත්‍රාව බලාපොරොත්තුව රැදී සිටියාය.අපද ඩෙල්ෆ්ට් දූපතෙන් සමුගත්තාය.


notes of imaginary

Saturday, June 11, 2022

යාපනයේ මතක ඩෙල්ෆ් දූපත 2

වෙළද පල
මුහුද ලිහිනියා

සපාරි රථය සූදානම්ව තිබිනි. මැදි වියේ සිටි රියදුරු මහතා හොද මාර්ගෝපදේශකයෙකු විය. සිංහල භාෂාව හොදින් හසුරුවන ඔහු අපට මැනවින් තොරතුරු කියා දෙන්නෙක් විය. 

රථයට ගොඩ නැගෙන්න පෙර ජැටිය අවටට එක් කරගෙන ගිය ඔහු ඩෙල්ෆ්ට් ජැටියෙන් දකුණු පසින් පිහිටි ප්‍රධාන නාවික හමුදා කඳවුරත් එය පසුකර ඉදිරියට යනවිට ක්‍රිස්තියානි පියනමක්ව” ජැක්ලොප් වෑන් ජෝන්ස් පියනමගේ” ප්‍රතිමාවත් පෙන්වා දුන්නේය. 
 ජැක්ලොප් වෑන් ජෝන්ස් පියනම මෙම දූපත ඩෙල්ෆ්ට් යනුවෙන් නම් කිරීමට මුල් වූ බව සදහන් විනි. ඩෙල්ෆ්ට් යනු ඕලන්දයේ එවකට තිබු නගරයකි. 
මේ දූපත ඉලිප්සියාකාර හැඩයකින් යුක්තය. තැනිතලා බිමක්‌ සහිතවු වගුරු බිම් සහිත මනරම් වෙරළ තීරයක් දූපතට හිමිය. වැලි සහ හුණුගල් සහිත පසක්‌ ඇති මෙහි තිබෙන පාෂාණ මයෝසීන යුගයට අයත් බව පැවසෙයි.
   ප්‍රතිමාව අසලින් දකුණට ප්‍රධාන මාර්ගය දිවෙන අතර එය ඔස්සේ ගමන් කිරීමෙන් ඩෙල්ෆ්ට් දූපතේ පරිපාලනය සඳහා පිහිටුවා ඇති නොයෙකුත් රාජ්‍ය ආයතන සහ වෙළදපල කරා ප්‍රවේශ විය හැක. ඩෙල්ෆ්ට් හි පරිපාලනය සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතන අතර පොලීසිය, තැපැල් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාසල, වනජීවී කාර්යාලය සහ විවිධ බැංකු ආදිය ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටා ඇත. 
 ජනගහනයෙන් 60%ක් කතෝලික ආගමිකයන් වන අතර ඉතිරි 40% හින්දු ආගමිකයෝ වෙති.ඔවුන්ගේ ආගමික කටයුතු සඳහා කෝවිල් සහ ක්‍රිස්තියානි පල්ලි කිහිපයක්ද දූපතේ විවිධ ස්ථානයන්හි පිහිටුවා ඇත. 
දූපත් වාසීන්ගේ ප‍්‍රධාන ජීවන වෘත්තීය ධීවර කර්මාන්තය යි. තල් ආශ‍්‍රිත නිෂ්පාදන කටයුතු ද සිදුකෙරේ. 
ඩෙල්ෆ් දූපත වර්ග කි.මීටර් 50ක පමණ විශාලත්වයකින් යුතු ය. දූපත තුල සංචාරය කිරීමට පැය හතරක පහක පමන කාලයක් ගත විය. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සහ ග‍්‍රාමසේවා කොට්ඨාස හයකින් සමන්විත එම දූපතේ ජනගහනය හාරදහස් පන්සියයක් පමන වන බව මාර්ගෝපදේශක තේ අදහස විය. පොලිස් ස්ථානයක්, රෝහලක්, පාසල් අටක්, අධිකරණයක්, හින්දු කෝවිල් හා කතෝලික දේවස්ථාන කීපයක් ඇත. 
මෙහි මාර්ග පද්ධතිය නම් බොහෝ අබලන් තත්ත්වයේ තිබිනි. ඩෙල්ෆ්ට්‌ වැසියන් හුණුගල්වලින් උපරිමයෙන් ප්‍රයෝජන ගෙන තිබිනි. මත දෙපස තල් අතු යොදාගනිමින් සිය මායිම සලකුණු කර තිබුණ ද බොහෝදෙනා තම ඉඩම් වෙන් කරගෙන ඇත්තේ හුණුගල් එකපිට එක තබා අලංකාරව ඉදි කළ උසැති හුණුගල් තාප්පවලිනි. මෙය ද ඩෙල්ෆ්ට්‌ දූපතේ අනන්‍යතාව ප්‍රකට කරන්නකි. 
තල් අතු පැලක් හෝ හුණුගලින් බැඳි කුඩා නිවසක් හැරුණු කොට මනා ලෙස ඉදිවුණු නිවාස මෙහි නැති තරම්ය. මිශ්‍ර ශුෂ්ක වියළි ඝර්මකලාපීය වන වැස්මක් දූපත පුරා පැතිර තිබේ. දූපතේ බොහෝ පෙදෙස්‌ තල් ගසින් පිරී වනාන්තර ස්‌වභාවයක්‌ ගනී. තල් ආශ්‍රිත නිෂ්පාදන ද සිදු කෙරෙයි. තල් හැරුණු කොට සරු පොල් වගාවක්‌ ඩෙල්ෆ්ට්‌ දූපත සතු ය. තැනිතලා බිම්වල පඳුරු සහිත කැළෑ දක්‌නට ලැබේ. 
 සංචාරක පක්‍ෂීන් ගේ නවාතැනක් වන මේ දූපත සංචාරක සමයේදී විවිධ විශේෂවලට අයත් පක්‍ෂීන්ගෙන් නවාතැනක් බවට පත්වෙයි. මුහුදු උකුස්සන්, කපුටන් හා මයිනන් මේ දූපත පුරා සරන ආකාරය අපට දැකගත හැකි විය. මීට අමතරව මුහුදු බෙල්ලන් නිදැල්ලේ සරන ගව ,එළුවන් රංචු සුලබව දැකිය හැකිය. 
අපි තවමත් ඩෙල්ෆ්ට් ජැටිය අසල සිට මාර්ගෝපදේශකයාට ඇහුම් කමින් දෙමින් සිටින්නෙමු. කඩා හැලුන වැස්සත් සමග සපාරි රථය අපත් සමග දූපත ඇතුලට ගමන් කිරීමට සුදුසු අවස්ථාව පැමිණියේය. 

 ඊලග වියමනෙන් තවත් තොරතුරු සමග ...................... 


 notes of imaginary