පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Tuesday, January 08, 2019

කෙටි කතාවක්.- අපට දික්කාසාද වන්නට දෛවය නියම කර තිබේ.

මල්කිත් මාත්දැන් දවස් ගානක්තිස්සේම හිත්වලින් ඔද්දල් වෙලාය. අපේ ආදරේ කතන්දරය පටන්්ගත්තේනම් උසස් පෙලවිභාග කාලයේදීය.ඒකත්ලෝකමහා සංග්‍රාමය වගේ එකකි.ප්‍රේමය හටගැණීම හෙවත්ඇති වීම , එය ප්‍රකාශ කිරීමට ඇතිඋවමනාව එය ප්‍රකාශ කිරීම අනිත්පරවශ විසින් එය ග්‍රහණය කිරීම හෝ ප්‍රතික්‍ෂෙප කිරීම පිලිබදවිචිකිච්චාව .........ඒවා ඇත්තටම මාර යුද්ධයක්වගේය.
සියල්ලටම වඩා ප්‍රේමය ප්‍රතික්‍ෂෙපවුවහොත් ..අවට සිටින සගයින්ගෙන් ලැබෙන  අනුකම්පා විරහිත පරවශ  උපහාස අපහාසයන්  පිලිබද භිතිය මාස ගණනාවක් තිස්සේ එක දිගටම පැවතිනි.
ඇත්තටම ඒ කාලසීමාව තුලමට කෑමක්බීමක් ගන්නට හිතුනේවත් නැත.


" මොකෝ මේ මළපෙරේතයෙක්  වගේ?.හැටි   . එන්න එන්නම දිරලා යනවා. නාකි මිනිහෙක්වගේ.අසනීපයක් තියේනම් පුතේ බෙහෙත් ගනින්කෝ ........"
මගේ අම්මා මට එසේ කීවේ ආදරයට වන්නට ඇත. අම්මා මගේ ජීවිතයේ ප්‍රථම ආදරයයි. දැන් මගේජීවිතයේ ඊලග ආදරය සැදී පැහැදී සිටින වෙලාවය.අවිඥ්ඥාණිකව හෝ එය ඉව වැටී ඇය මට වහසි බස් දොඩවනවා  ඇතැයි එවෙලේමට හිතුණි.
මේ අප මුණ  ගැහෙන ප්‍රථමදිනයයි.
මම පැය භාගයකට කලින් ගොස් නගරයේ මහ බස් නැවතුමේ කෙලවරක ගාල් වෙලාය.
අවට ලෝකය  හෝ අවට මිනිසුන් ගැන කිසිම හැගීමක් නැති පඹයෙකු සේ  මා සිට ගෙනය.
නගරයේ මහා කලිකලහය හෝ ඝෝෂාව මට  නෑසේ.
ඒ ඝෝෂාවල් සියල්ල මගේ සතුරන්  වගේය.මා  මල්කිව හමුවන බව දැන්නු විට අපේ කොළු කට්ටුව දැක්වු ප්‍රතිචාර මට ඒ තරම්  ඇල්ලුවේ නැත.
අපෝ .........ඇත්තද බන් ?...........උබ කේන්දරේ එහෙම බලව ගත්තේනැද්ද බං................?. චාමර එසේ කීවේ ඇහැක් පුංචි  කරමින්ය. ඔහුගේ දෑස්වල ඇතිවපරය මට මුල්වර පෙනුනේ එදාය.
''ආ..................උඹ මාර දියුණුයි නෙ...........................එහෙමතීරනේකට එන්න.........ඒත බං උඹ ඉල්ලන් කන්න යනවද කියලත්මට හිතෙනවා...................එසේකීවේ සූමල්.
ඔහුගේ  දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගේ බොල්ලෑ බව තේරුනේ එදාය.
හරි.......හරි.....උබ වැඩේ කර ගනින්කෝ.....ඕනම සපෝට් එකකට මේ අපි  ඉන්නවා හරිය.......!. එසේ කීවේ දමයන්තය.
මොනතරම් පැහැපත්පාටත් නොතිබුනත්  " කළු යකා " යයි මිතුරන්ගෙන් උසුළු විසුළු ලැබුවත් ඔහුගේ  හිත මොන තරම් සුදු දයයි කියා සිතුනේ එදාය.
දැන් නියමිත වෙලාව ඇවිල්ලාත්   තව පැය භාගයක්  ගිහිල්ලාය.
උදේ නවයට  හමුවීමට මා අදාලතැනට ගියේ අටහමාරටය.දැන් නවය හමාරටත් ආසන්නය.
මගේ සිත කුහුල්බර වෙයි.
මේ ගෑණුන්ගේ හැටිද ?........ලණුදීම.........පොලුතැබීම ...............චපල කම්...............මේක උන්ගේ ජානවල  පැල පදියම් වු දේවල් ද ?.
හිත කළකිරීමකට කලවම් වී ගෙනයද්දී ඉරේ රස්නය දැඩිව දැනෙමින් එද්දී .......... ලාරෝස පැහැතිවස්ත්‍රයක්  ඇදි යුවතියක්  මා අසලට එනවා පෙනුනේ ඇස්වල කදුළු අතරින්ය.
"ගුඩ් මෝර්නින්......ඔයා ඇවිල්ලා ගොඩක්  වෙලාද ?.......පොඩි ප්‍රස්නයක්නේ!.මම පරක්කු වුනා. සොරි......
මල්කි එසේ කියද්දී මට මගේ කන් අදහා ගත  නොහැකිවෙයි. සියල්ලටම වඩා ඇගේ රෑපයේ ලස්සන.
ලා හිරු රැස් වැදී බස් නැවතුම දිලිසෙමින් තිබුන බව මට තේරුනේ ඇගේ සුන්දර මූණ මත ලා සෙවනැල්ලක් පතිත වෙලා තිබෙනු දුටු විටය.
ඇයට ඇත්තේ ආකර්ෂණීය දෑස්ය.  දෙතොල් පොපියා ඈ කතා  කරන්නේ ලතා වකටය. මේ තරම් රෑමත්  කෙනෙක්. මට මගේ රූපය ගැන  කමකට නැතිසිතිවිලි එයි.නමුත් දැන් මම ඇගේ අදහසට උත්තර දිය යුතුය.
"ආනේ ..........කමක් නැහැ....මම ටිකක් කලින් ආවා..................අපි ඉතින්කොල්ලොනේ!................ඕන තරම් වෙලාවක්ඉන්න පුළුවන් නේ.ඔයා ඇවිත් රස්තියාදු කරන්න බෑනේ ..... . ඒකට කමක් නෑ......"
මා කියන කතාවට ඈ ලස්සන හිනාවක් පායි.ඇගේ හිනාව කොයිතරම් ආකර්ෂණියද ?
මගේ එකම යාළුවෙකුට මෙතරම් ගස්සන කෙල්ලක් නැත.උන්ට , මගේ මිතුරු කට්ටුවට මා ගැන ඉරිසියා හිතෙන එක අහන්න දෙයක්යෑ.......
මල්කි මා දෙස ඇස් දල්වා බලයි. ඒ මා කිවු කතාවට ඇගේ තුටු පහටුව පෙන්වීමට මා ආසන්නයට මදක් එමින්ය. මා සමීපයේ ඇයට යම් ආරක්‍ෂාවක් ඇති බව මගේ කතාවෙන් ඇයට වැටහුනා සේය.
ආරක්‍ෂාව පිලිබද හැගීමට ගැහැණු අය හුගක් ලොල් බව වරෙක මට කියා සිටියේ මගේ මිතුරෙකි.මම ඔහුට සිතින් සුතුතිවන්ත වෙමි. ඔවුන් මා මෙන් නොව ස්ත්‍රී විශේෂඥවරුන්ය.
මම අහිංසක විදියට සිනා සී ඈ දෙස බලමි.
මල්කි සාමාන්‍යයෙන් අහංකාර කෙල්ලෙකි.ඒ අහංකාර කමට මම බෙහෙවින් බයය.නමුත් අද ඇය මා හමුවට පැමිණ ඇත.දැන් මා ක්‍රියාත්මක විය යුතුය.
" අපි කැපේ එකකට යමුද මොනව හරි බොන්න ?."
මම එසේ කියන්නේ මර බයෙන්ය.බැරි වෙලාවත් ඇය එය ප්‍රතික්‍ෂෙප කලහොත්....... මා පත්වන තත්වය ......දෙවියනි මා ලෝකයට මුණ දෙන්නේ කොහොමද ?.මගේ ග්‍රහචාරයත් එතරම් හොද නැත.
"ඒ මොකටද කැපේ යන්නේ.... පිස්සුද ......අපි මෙතනම ඉදගෙන කතා කරමු ........" මම ගැස්සී ගියෙමි.
ඈ දෙස බලමි .ඈ මොකුත් කියා නැත .
"ඔව්........ඒක හොදයි නේද ?. හැබැයි මට බයයි අපේ අයියලා දෙන්නා......ඒ දෙන්නා ගේ යාලුවෝ.............හැමතැනම.
ඇගේ මුණට බියපත් පෙනුමක් ඇවිල්ලාය !
ඈතාතිගත් මුව පොව්වක  මෙන්ය ඈ අහංකාර එකියෙකැයි ඇයට හිතින් කිව්වාම මටම දොසු පවරා ගනිමි. අහිංසකත්වයේ උපත ඇයයි.
"ඔ්යාට කරදරයක් නැත්නම් විතරක් යමු ....මල්කි."
" හා ....කමක් නෑ ...යමු..සුරාජ්..."

ඈ මගේ නම ලස්සනට ගායන කරයි.
දැන් අපි දෙදෙනා බස් නැවතුමින් මෑත්වී නගරය කෙළවරේ ඇති කැපේ එකට යන්නට යමු.
ඈ වට පිට බලන්නේ නැත. මාද වට පිට බලන්නේ නැත. මේ තැති ගැන්ම හරිම පුදුමය. මට හදවතක් ඇති බව තේරෙන්නේ මේ තැතිගැන්ම ඔස්සේය.ඒකත් හරිම මිහිරි වින්දනයකි.
මම ඉයෙන් යමි. ඈ මට මදක් පසු පසින් හෙමිහිට පිය නගා එයි.ඇගේ අඩි පාවහන්වල සද්දය මට ඇසෙයි. එය මගේ හදවතේ හඩ හා සමපාත වෙයි.
ඩග් ඩග් ඩග්
ටක් ටක් ටක්.
සංසාරේ මා පසුපස  එන ගැහැණිය.....
සංසාරෙ කිසි භවයක් මා අත නොහරින පතිනිය........
මා හට කවි සංකල්පනා දොරේ ගලාගෙන එන හැටි.....
අපි දෙදෙනා යන මග දෙපසම තවත් අය මෙන්ම තවත් වාහන එහාට මෙහාට  යයි.ඒ කිසිවක් අප දෙස බලන්නේ නැත.අප දෙදෙනා හරියට ගෙයක් බිදින්න යන පල් හොරු වගේද .......? එකවර මමහිස ඔසවා අපේ ඉදිරිය දෙස බලමි.කී දෙනෙක් යන ගමන් මල්කී  දෙස බලයි.මම ඈ දෙස බලමි. ඈ බිම බලා ගෙනය.

" -සගවා ගනු මැන ඔබේ වත සොදුරියේ
අනෙකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි ......" මගේ සිත ගායනා කරයි.
අවන්හලට ඇතුළු වී පුටු දෙකකට බරවු පසු ඈ සුසුමක් හෙලයි. මටද සුසුමක් පිට වෙයි. ඒ සැනසුම් සුසුමන්ය.
අප දෙදෙනාගේ ප්‍රාශ්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් වායුවටට අමතරව තවත් වායුවක් ඇත. ඒ අපේ හදවත්වල කැකැරෙමින් කැටි ගැසෙමින් රත් වෙමින් වාෂ්ප වන ආදරයේ මිහිරි වායුවයි.
නිල ඇදුමක් ඇදගත් තරුන වේටර්වරයෙක් මද සිනා ඇතිව අප අභිමුවේ.
"යර්ස් සර් "
මොනවද මල්කි.....බොන්නේ ?.මොනවා හරි කමුද ?
"කන්න එපා ........බොමු......ඔයා කැමති දෙයක්"
මම ඈ දෙස බලන්නට නොලොස් වේටර් දිහා බලා මෙහෙම කියමි.
"අපිට ඔරේන්ජ් ජූස් දෙකක් "
මම බොන දෙයක් ඔයා බොන්නේ..මම වහ බිව්වොත් එයත් බොනවද ?
මට එහෙම හිතිනත් මම එය කියන්නේ නැත.මුල්ම දවසේ මොකටද අවකැපෙන කතා කියන්නේ.....වස් වදීවි.ඒවා භයානකය.
අපි ගොඩාක් වෙලා කතා කරමු.
නැත ඒ ඇස් වලින් විතරක් . වදන් වලින් කතා කලේ සීමිතවය.
එකිනෙකාගේ අදහස් ප්‍රකාශකරන හොදම මාධ්‍යය භාෂාව බව දැන සිටියෙමු.නමුත් ඒ භාෂාව වචන වලින් පුරුද්දන්නට බැරි කම අපේ දුර්වල කමක් බව අපටම ප්‍රත්‍යක්‍ෂ විය.
වට පිට බලා මම ඈ ලග අසුනට ලංව පුටුවේ වාඩිවි ඇගේ වමත මගේ දකුනත තබා එය මදක් එසවා සිප ගත්තෙමි.
ඈ මා වෙත හෙලන බැල්ම ඔස්සේ සදෙව් ලෝකවල ද්වාර විවර වනවා ඇසෙයි.මිණ බැදි සළඹ සල සලා දෙව්ලියෝ  මා වෙත එනවා ඇසෙයි.ඇසි පිය නොහෙලා තව තවත් ඒ දෑස්  දෙස බල සිටිමි.වෙව්ලන ඇගේ දෙතොල් මත මගේ අතැගිලි තැබෙයි..

හහ්  .මේ ලෝකේ නෙමෙයි ජීවත් වෙන්නේ ....හරි අපූරුයි. මේ මිනහට වගේ වගක් නැති හැටි කිසිම දේක. !.. උන් හටි ගමන් උල්කාපාතයක් කඩා වැටිනි.මහා හඩින් අහස ගුගුරා එකවරම මුරුගසන් වරුෂාවක් වසී. මගේ සියොලග දහඩියෙන් පෙගී යයි.
"ඔය ඩිවෝස් පේපරස් ටික දෙනවා මෙහාට............."ඒක උඩ ලැගගෙන ඉන්නේ .
මම දෑස් පිසදා බලමි.
මේ කෑ ගසා මට රවා ගෙන සිටින්නී.... මල්කිය
මා දිව්‍ය ලෝකයට කැදවා ගෙන ගිය ඇගේ දෑස් දැන් විසල් වී මට ඔරවා ගෙන මට නරකාදියට යන්න පාර කියා දෙයි.අපේ ආදරයට වසර පහක් බවත් අපේ කසාද දිවියට වසර තුනක් බවත් මට මෙනෙහි වන්නේ දැන්ය.
තව මාසයකින් අපට දික්කාසාද වන්නට  දෛවය නියම කර තිබේ.


මේ කෙටි කතාව දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටා ගත්තකි.

යමුනා මාලණි පෙරෙරාගේ "සේයා පරන මායා" කෙටි කතා සංග්‍රහයේ පලවුවකි. 

notes of imaginary

Friday, December 21, 2018

ජීවිතය අරුමයක්.


මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා.
ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය  නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ උදවිය  ආගමික කටයුතු වලට පන්සලට පල්ලියට නිදහසේ යනවා . තවත් රසකාමීන් කොටසක් නිදහසේ නිදහස් තැන් වලට එක්වෙනවා. මෙසේ  සතුට බෙදා ගන්නා මිතුරන් කිහිප පොලක් මට මුන ගැහෙනවා හැම මාසෙම. මට මේ හමුවීම අමුත්තක් නෙමෙයි.
අති විශේෂ, සෝඩා ඇතිව නැතිව හත් අට දෙනෙක් වට වෙන්න පුළුවන් මේසයක අහගෙන ඉන්න තරම් වාද විවාද ඇති වෙනවා මම පුරුද්දෙන් දන්නවා. අනුන්ගේ කතා බහට කන්දීම හොද පුරුද්දක් නූනත් මේ වියත් සභාව පදම් වෙන කොට කියන කතා අහන එක මට පුරුද්දක්.විදුහල්පතිවරු ගුරුවරු, මාණ්ඩලිකයන් ලිපිකාර මහත්වරුන් අද එකම තලයක විශ්‍රාමිකයන් වෙලා.
මේ කණ්ඩායමේ ඇත්තන් ගෙන් කෙනෙක්  හිටපු හැටියේ සමුගන්නා අවස්ථාවන් ,රෝහල් ගතවෙන අවස්ථාවන් ඉද හිට සෞඛ්‍ය හේතුන් මත විවේක ගන්නා අවස්ථාවන් නිසා තාවකාලිකව හෝ සදාකාලිකව ගණපුරණය වෙනස් වෙන අවස්ථා මම පහුගිය අවුරුදු ගනනාව තුල අත් දැක්කා.
මේ හමුවීමත් සමාජිකයෙකුගේ සදාකාලික වෙන්වීමත් සමග එකට සනිටුහන් වු දවසක්.
අද මිත්‍රයින්ගේ මාතෘකාව බවට පත්වෙලා තිබුනේ ජීවිතය..........
...............
කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති බොලන්නේ...........,
විදුහල්පති වරයෙක්වු විශ්‍රාමිකයෙක්ගේ හඩ මට ඇසේ රැල් බුරුල් හැර කන්දේ ගෙදර නයිදේට කවියක් කියයි. පිරිස සාවධානව අසා සිටී. දේශපාලන කථා බහකින් හෙම්බත්වු මේ පිරිස යහමගට පිවිසි බවක් මට හැගේ. මම වඩාත් ඕනා කමකින් සංවාදයට දෙසවන් යොමු කලෙමි.
විදුහල්පතිවරයා පැහැදිලි කරයි.
කන්දේ ගෙදර -     රුප. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
නයිදේ        -     තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
ගන් ගිය දා - මියගියපසු
ගෙට ගිණි තියති - මළවුන්ගේ  සිරුර පුළුස්සති.
අපි  තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර තවත් ගෙයක් සදන්න කරුණු කාරනා එකතු       කරමින් සීටී.

පිරිස තවත් කතා බහක පැටලී සිටි. මගේ අවධානය බිදිමින් වෙනත් කාරියක් පැවරෙයි.

notes of imaginary

Thursday, August 30, 2018

පාට වරුන.



පාට වරුන ඇති කුකුලනි -  මම් තොපට
රණින් වලළු- තනවලා දෙමි පයට
මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට
ඉර දුටුවද  නාඩන් කුකුලනේ හෙට

සදට හොරෙන් සද මුදුනෙන් රාහු ගියා
ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනෙන් බමරු ගියා
අපට හොරෙන් නුබ දැසට නොපෙනී ගියා

ගිරවුන් හැර ගියත් ඉර තනිනොවේවා
සාවුන් හැර-------- ගියත් සද තනිනොවේවා
බමරුන් හැර ගියත් - මල තනිනොවේවා
මා හැර ගියද? - නැගණිය තනිනොවේවා

හිමි ඇති ලදක් - කරකාරෙට ලැබියන්
රුවැති ගුනැති - දු දරුවන් ලැබීයන්
මේ ජාතියේ  -  මා කල පව් ගෙවීයන්
මතු ජාතියේ  - හිමි සද ලෙස ලැබීයන්

සවි ඇති කලට - උක් දන්ඩේ පැණිසේමා
සවි නැති කලට ----------- වැට කෙයියා රොඩු සේමා
වෙර නැති දා කෙතකට බැදි වැට සේමා
අසරනදා ---මල්යායේ කටු සේමා

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්
දේපෝදාට පුන් සද වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්

ගායකයා හා ගායිකාවද පද රචකයාද මම නොදනිමි. මගේ ගීත එකතුවේ ඇති මේ ගීතය අසන්න.

notes of imaginary

පරණ සටහන් දිහා  බැළුවා. ගොඩක්  ලියවෙලා තිබුනේ මම මුල්තරගෙන. මම... මම.. මම..... ඒකත් නිසරු  මන්තරයක්වගෙයි.
අදත් වෙනසක් නැහැ . මගේ දවස ගෙවෙන්නේ  හිර කුටියක.
දොරක් තිබුනත් පිටවෙන්න බැරි .
කවුළු පියන්පත් විවර කරලා බලා ගෙන ඉන්න කොට වැඩියෙන්ම දකින්නේ විෂුක දශ්ශක.

ඊයේ අහුලා ගත්ත ගී පදවැල මතක ඇති.
“පාට වරුන ඇති කුකුලනි -  මම් තොපට
රණින් වලළු- තනවලා දෙමි පයට”
එහෙම වෙනවා නම්  ‘ රනින් වළළු තනවා දෙන්නට ” කී දෙනෙක් ඉදිරිපත් වෙයීද  ?.මම හිතුවා.

බොහෝමයක්  තරුන දූ දරුවන්  එලිමහනේ ආදරබස්  දෙඩීම  අද වන විට  දොරගුළු දා ගත් කාමර වලට සීමා වෙලා.පෞද්ගලිකත්‍වය රැක ගන්න හොද මගක් වෙන්න පුළුවන්
ඒත් බිදී ගිය රැවල් කදන් මත මංගලපෝරු ඉදි කරගන්නා විට ........
“මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට
ඉර දුටුවද  නාඩන් කුකුලනේ හෙට ”
යයි සිතින් කුකුලන්ට අල්ලස් දෙන කී දෙනෙක් ඇත්ද ?.
අද අපේ සමාජය බොහෝ විවෘත වෙලා.  ඉතින්  සමාජ බැදි බිද දමමින් ජීවිතයද  නිදහස්ව ඉගිලෙනවා විය හැකියි.
මම ඈත දවසක ලිවා මතකයි. අධිකරනය ඉදිරියේ  සිවිල් නඩු අතර ඉඩම් නඩු හැරුනාම වැඩියෙන්ම ඇත්තේ පවුල් ආරවුල් බව. මේ පවුල්  ආරවුල්  බොහොමයක් ඉදිරිපත්ව ඇත්තේ  වයස අවුරුදු  හතහලිටත් අඩු පවුල් වලින්.....
වවිමසා බලන විට දකින්නට ඇත්තේ දෙපලගේ අනවබෝධය . විසදා ලත හැකි ඉවසා සිටිය හැකි ඉතාමත් සුළු සිද්ධීන් අධිකරනය වෙත ගලා ගෙන ගොස් වෙන්වී යන තරුන තරුනියන් මේ වරද නිවරද කරගත යුත්තේ “කුකුලන්ට  අල්ලස් දීමට ඉදිරිපත් නොවීමෙන් යයි මට හිතෙනවා.


https://youtu.be/TUajMOMts

Wednesday, August 29, 2018

යලිත් අපි හමුවෙමු.

“බටහිර අහස රතු සිත්තම්
මැකුණාවේ
දෙනිපෙත හඬන හිරියාමල්
පිපුනාවේ
මා ආදරය දුටු බව නොම
හැඟුනාවේ
මා නැති කලෙක උන් සුවඳක්
දැනුනාවේ”

හෙම ලීවේ “ බොනී මහත්තයා” වෙනුවෙන් පරසතු මල් චිත්‍රපටියේ.
බොනී මහත්තයා විතරක් නෙමෙයි අපිත් නැති කල තමයි ගුණ සුවද ගැන කතා කරන්නේ !. 
නිහඩ බව නිසල බව තුල ඇති සිසිල අත්විදින්නට ලැබුන දවසක  සිතුවිලි අතීතයේ සිට වර්තමානයට එන්න වලිකනවා. මම බොහෝ දවසක සිට යමක් ලියන්න තතනවා. එත් ලියා ගන්න බැහැ. ලියවෙන්නේ නැහැ.

වර්තමාන දේශපාලනයේ නොගැලපෙන තැන් බොහෝයි. ඒත් මගේ සිතිවිලි ඒවා ගැන ලියන්න ඉඩ දෙන්නේ නැහැ. හිත අවුල් කරගන්නේ නැතිව සමාධි ගත වෙන්න නම් මොනවත් වුනේ නැති මොනවත් වෙන්නේ නැති ගානට ජීවත් වෙන්න ඕනී. මම විතරක් නෙමෙයි බොහෝම දෙනා අද දේශපාලනය හා දේශපාලකයෝ ගැන හිතන්නේ කතා කරන්නේ කළකිරීමකින්. විවේචනයට වඩා “ ඕන දෙයක් වෙද්දෙන් ” කියලා  ඇල් මැරුන සිතෙන් සිතිවිලි මුදාහරිනවා.

දවස අවට ලියවිය යුතු බොහෝ දේවල් මැවෙනවා. ඒත් එවා ගලපා ගන්න සිත සන්සුන්වන්නේ නෑ

මේ පුංචි වැව් තීරයේ මම දවසක තනිවුනා. සිත භාවනාවක වගේ පාවුනා. උත්සහාකරන්නම් නතරවුන මීදුම යලිත් පණ ගන්වන්න.මම හිතනවා මීදුම ඇසුරු කලෝ යලිත් මීදුමෙන් හමුවෙයි කියලා.





notes of imaginary

Wednesday, August 16, 2017

කාලය මැවු අරුමය

දිය උගුල.



කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක් පමණ කාලයක්  ආපසු ගමන් කල විට මා එදා අවුරුදු  පහලොවක පමණ ගැටයෙක්. එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.
අද පුංචි දරුවෙකුට ඇති අවබෝධය සහ  තාර්කික බුද්ධිය එදා අපිට තිබිලා නැහැ කියලා මට දැන් හිතෙනවා. අපි එදා  ගතානුගතිකව හිතලද ?.

එක් එක් අයගේ ජීවන රටා වෙනස් . එකල ගොවියාගේ පුතු ගොවිපලට රැගෙන යනවා හෝ මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා සාමාන්‍ය වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියාගේ අනුප්‍රාප්තිකයා බවට පත්කීරිම දක්වා පුහුණුවක් වුනා.

මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන වෙන්වෙන්නේ සරල සිදුවීමකින් තැතිගත් මනස මට කල හදියක් කීමට සහ අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් හදුන්වා දිමටයි. ඒ අතර තවත් අතුරු කතා තියෙනවා.මේ කතා -   මම පලවන වසරේ සිටිනා මගේ මුණුපුරා තරම්වත්  බුද්ධිය භාවිතා කරලා නැහැ කියන සිද්ධාන්ත තහවුරු කරගන්නා කතාන්දර.

කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින්නේ. අපි ජීවත්වු සහ තාත්තාගේ ගණුදෙණු කරුවන් වාසය කල වපසරිය විශාල ප්‍රදේශයක්.එකල අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක් මේ විශාල ප්‍රදේශයට අයත් වුනා. ( අද මෙ වතුයාය අක්කර සීයයකට පමන සීමා වෙලා අනෙක් නව සීයයම වල් බිහිවෙලා. අපට සමෘධිමත් ආර්ථිකයක් පැවතිය හැකිද ? )   සේවය කල වතු කම්කරුවන් හට ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු කරුවන්ගේ ණය මුදල් එකරැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි. දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම අපි දෙදෙනාට ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ  දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.

1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.

ඉතින් ..... එක් දවසක අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින්  ගෙදර එනවා. 
පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ  බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. අතුරු පාරවල් ( ෂෝර්ට් කට් ) හරහා අපි ගමන ඉක්මන් කරනවා. තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්. අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක්  “ ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.අපිට මතක් වෙනවා අපි ගමන් කරන බිම් කඩ පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇට’ඹ ගස.
අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . “ ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. 

“අයියේ ...මස්සිනා මට කියනවා. මොකද කරන්නේ ?  අපි ආපහු යමු ” මම කියනවා . අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන  සැතපුම් භාගයක් විතර ආපසු  ගොස් ප්‍රධාන මාර්ග ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා. මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ “කනක්කයාගේ සොහොන ”කියලා.මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.

පහුවදා දෙන්නටම සහලෝල උණ.තොවිලයක් නොකර බේරුනත් ... තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.

සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ  “ටකස් - ටොකස් ” ජංජාලේ සුලමුල හොයන්න ගියා කියමු. මහ දවලුත්  ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන්. හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු “දිය උගුල” තමන් ගේ රාජකාරිය ඉටු කරනවා.

( බලන්න  https://www.facebook.com/1871586953129950/videos/1884404061848239/ තවමත් රාජකාරියේ )

අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි - සැප්තැම්බර් කාල පරාසය මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. ‘කනක්කයගේ සෙහොන’  පිහිටුවා තියෙන්නේ මේ සුළං කලාපයේ . කනක්කයගේ සෙහොන අදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා  ‘කනක්කයගේ සෙහොනේ’ අභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා.

වියමන දික්වෙනවා. 

අපේ පුංචි එකා - මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා වතුර ටිකක් මතුර ගෙන එන්නද කියලා. “සීයේ එයාට පියාඹන්න පුළුන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.


එහෙමයි. කාලය මැවු අරුමය.






notes of imaginary

Thursday, February 02, 2017

කාලෙකට පස්සේ.


නැගණහිරෙන් එන වැස්ස බලා ගෙන හිටපු අපට   වැදගත් මහත්තුරු ක්‍රොටන් කොළ කන්න කියනවා. අඩු ජල භාවිතයෙන් ගොවිතැන් කරන ක්‍රමවේදයන් ගැන උපදෙස් දෙන්න ඕණි මේ රාළලා ඒ වැඩේ නොකර  අපිට කොස් කොළ ක්‍රොටන් කොළ  කන්න    උපදෙස් දෙනවා.
“මුන් නම් රටත් පාලකයොත් කාලා අපිත්  කන්නම උපන් මිනිස්සු  !.
සෙනසුරුත් බටකොළ කෑවළු.
ඒ මේ ඇත්තන්ගේ උපදෙස් අරන් වෙන්න ඇති.
මේ සෙනසුරුගේ මොකක්ද තියෙන කාලේ කියනවානේ. ”
මහත්වරු  පිරිසක් බරපතල සාකච්ඡාවක.
ගැටෙන වීදුරුත් හැඩෙන හඩත්පැතිරෙන උස් හඩත්  මගේ අවධානය ඔවුන්ගේ කතා බහට නිකම්ම යොමු වුනා. උන්නැහේලාට පදම ඉක්මවා යා ගෙන යන්න ඇවිල්ලා වගෙයි මම හිතුවා.හෙමින් මුමුනමින් පටන් ගන්නා පිළිසදර මිලි ලීටර් 100...150....200....250...300 පහුවෙන කොට ටිකින් ටික වේගවත් වෙනවා. අවට ඉන්නේ කවුද කියන්නේ මොනවද මායිම් නැතිව වා තලය ගිණියම් වෙනවා.
අනුන්ගේ කතාවලට කන්දීම හොද පුරුද්දක් නොවුනත් ඇහෙන එක වලක්වා ගන්න මා ස්ථාන ගත වී සිටි  තැනට පුළුවන් කමක් නැහැ. වරින් වර මා ගැන සොයා බලන සේවක මහතා හැර මගේ මේසේ පාළුයි. මගේ තනියට කවුරුත් නැහැ.තනියට ඇහෙන කතා මම අහගෙන හිටියා.
සෙනසුරුට වැඩි ප්‍රතිචාරයක් නැතිව කතා අතීතයත් වර්තමානයත් අතර ගැටුමක්වු මාතෘකාවකට මාරුවුනා. 
“ මචන් උඹට මතකද ?  අපේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු මුහන්දිරම් ?.
ඇයි බන් අමතක ?
ඌ  ලංකාවට ඇවිල්ලා ....
මම කතා කලා.... ඌ කියනවා මාව අදුරන්නේ නැහැ කියලා.
මචං වයස යනකොට කල්පනාව අඩුවෙනවා.
උබේ වයස කීයද ?
මට හැත්තෑ එකයිනේ බන්.
ඉතින් ඌටත් හැත්තෑ එකයි නේ බන් .
ඌ උබට හමුවුනේ අවුරුදු හතලිහකට විතර පස්සේනේ .ඉතින් ඌට උබව මතක නැතිවෙන්න ඇති.
වයසයි - මතකයයි අතර සම්බන්‍ධයක් තියෙනවානේ.
එනෙම් යකෝ මට මතක තියෙන්නේ ?”

මේසේ වටේ කතාව යනවා. එකට කා ගෙන බී ගෙන හිටපු යාළුව හදුනා නොගත් සිද්ධියට බරපතල විවේචනයක්.
හිතේ අමාරුවක් .

මේ කතා බහ අස්සේ මගේ මතකයට මින් වසර කිහිපයකට පෙර උන  ඔය වගේ නොවුනත් පුංචි අකරතැබ්බයක් මතක් වුනා. මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා පොලොන්නරුවේ. මම මාතලේ මළ ගෙදරක ගියා. අවසන් කටයුතුත් අවසන් වෙලා එන්න සැලසුම් වෙලා තිබුන නිසා ඒ අතර දවසක විවේක කාලයක් තියෙනවා. ඒ දවස ප්‍රයෝජනයට අරගෙන කාලයකින් හමු නොවුන සහෝදරයා සොයා ගෙන මම පොලොන්නරුවට යනවා. සහෝදරයා එවකට සේවාගම විද්‍යාලයේ විදුහල්පතිවරයා.
මම දිවා කාලය නිසාවෙන්  එකවරම  නිවසට නොගිහින් විදුහලට යන විට විදුහල්පතිවරයා කලාප කාර්යාලයට ගිහින්.
නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හමුවු මම මා හදුන්වා දී ආ ගිය කතා කීවිට
මාව කාර්යාලයේ අසුන් ගැන්වු නියෝජ්‍ය විදුහල්පතිවරයා
“ සර් නම් නැහැ  - සර්ගේ දුව උසස් පෙල පන්තියේ ඉන්නවා . ඉන්න මම එන්න කියන්නම්.
දුව එනවා ..
නියෝජ්‍ය විදුහල්පතිවරයාත් ඉන්නවා.
හ්ම්...  මම අදුනන්නේ නැහැ ..දැරිවි  කියනවා.
මම දරුවා හදුනා ගන්නවා. ඒත් මේ දැරිවි මාව  හදුනාගන්නේ නැහැ . මම මෙහොතකට අසරන වෙනවා.
මගේ ජාතික  හැදුනුම් පත දැරිවියගේ අතට දික් කරන මම
“ මෙයාව හදුනනවාද ?”
අප්පේ .... මේ .........බාප්පානේ.
යාන්තම් විදුහල්පතිවරයා එනකම් මාව බේරෙනවා.

මේ කතා දෙක අතර සහසම්බන්‍ධයක් නැතිව ඇති.

කාලෙකින් හමුනොවුනාම මතකය වියකෙනවා. අපේ අවධානය තිබෙන මතකයන් පමනක් රැදිලා තියෙනවා. අවධානයෙන් ගිලිහෙන මතක රැදී තියෙන්නේ නැහැ. ධන සම්පත් පංති ස්ථරයන් අතරත්  සම්බන්‍ධතා ගිලිහි යනවා. මගේ සේවා දායකයාට උසස් පෙල මිත්‍රයා දැක්වු ප්‍රතිචාරයත් අතර එවැනි සාධකයක් තියෙන්න ඇති.
මගේ ව්‍යාපාරක මිත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ දුරකතනයේ ඇති ග්‍රාහක අංක දහසකට ආසන්නයි. ඔහුට කතා කල සැනින් හඩින් හදුනා ගන්නවා. තිරයේ දිස්වෙන නමින් තහවුරු කරගන්නා හඩට අනෙක් කෙළවර ආමන්ත්‍රනය කරනවා. අවුරුදු හතලිහක පමණ අතීත පාසල්වියේ මිතුරන් රෑනක් ඔහු වටා තාමත් ඉන්නවා. මම හිතන්නේ ඔහු      ධනයත් සමගම පිරිසත් රැස්කරගන්නවා  කියලා. සමහර උදවියට මේ අවශ්‍යතාවය නැහැ . ධනය සම්පත් ගොඩනගා ගත්තම ඇති. පිරිසක් ඕනී නැහැ. පිරිස කරදරයක්.

මළ පසු දුක් ගී ගයන්න  ගෙදර හතර පස් දෙනා විතරක් ඉතිරි වන මළ ගෙවල් වලට අපිට  ගොඩ නගින අවස්ථා ඇතිවෙනවා. ඒ  මෙවැනි හුදකලා වෙන්න කැමති  අයගේ කියන සිතිවිල්ල සමග මා අතරමං  වෙනවා.


notes of imaginary