පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, January 29, 2009

ස්තුතියි රනිල්.

කාලයට ප්‍රශ්නය තල්ලු නොකර ප්‍රශ්නය කරට ගෙන වි‍වේකයක් විරාමයක් නොදී මාවිල් ආරු වල සිට මුලතිව් දක්වා පැමිණි ගමන අද කාටවත් විස්තර කලයුතු පැහැදිලි කලයුතු ගමනක් නොවේ.එම ගමනේ නන්වැදැරුම් දුෂ්කරතා ජය ගනිමින් ආ මගට නායකත්වය ක්‍රියාශිලිත්වය දැරු විවිධ තරාතිරමේ උත්තමයින්ට මවුබිම වෙනුවෙන් ප්‍රනාමය පුදකිරීමට එක්වූවාට ....... ස්තුතියි රනිල්.

එතුමන් මෙතුවක් කල් මංමුලාව සිටියා විය හැකිය.කාගේත් අරමුණ එතුමන්ගේ දේශපාලන අරමුණු තුල නොතිබුන නිසා එතුමා අපේ විපක්ෂ නායකයා වීමට පින් පිරුනේ විය. එතුමා කිසි දවසක ජනතා අභිලාෂයන් තේරුම් ගත්තේ නැත.එතුමා මෙහෙවන කොටස පැහැදිලිවම අංක එකට තමන්ට බලය අවශ්‍ය බව ප්‍රකට කරන්නෝ පිරිසක් බව බහුතර ජනතාව අදහන්නෝය.ඔවුන් බලය ජනතා සේවයට නොව පෞද්ගලික සේවයට යොදා ගත් පිරිසක් ලෙස ජනතාව පිලිකුලෙන් සිතන්නේ අත්දැකීම් තුලින්ය.

ජනතාව ඒකීය රටක් අපේක්ෂාවෙන් සිටින විට එතුමා පාර්ලිමේන්තුවේ යතුර බාරගෙන හොර රහසේ නෝර්විජියානුවන් හා පිරිබාහරන් ලියා දුන් ගිවිසුමකට අපේ රට පාවාදුන්නේය. ජනාධිපතිවරනයේ ජයග්‍රහණය පිලිබද සියළු සාධක එතුමන්ට පෙල ගැසී තිබියදී මහින්ද ජනාධිපතිවරයා වූයේ මානුෂික මෙහෙයුම කරන හිසට වහලක් තනන්නට බිම් අගලක් නැති දුප්පත් කොල්ලන්ගේත් උන්ගේ දෙමව්පියන්ගේත් අභිලාෂය නිසා බව අමතක කලයුතු නැත.

මෙතුවක් එතුමන් මානුෂික මෙහෙයුම දුටුවේ මහා විනාශයක් ලෙසය. සියළු දේශපාලන ව්‍යාපෟති පෙල ගැස්සුවේ මානුෂික මෙහෙයුමට එරෙහිවය.එතුමන්ගේ කේවට්ට පුරෝහිතයෝ එතුමන් දක්කාගෙන ගිය මාවත විවර වන්නේ නෝර්විජියානුවන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන යමින් රට කන නඩයට සහ රට යකාට ගියත් බඩ පිරුනොත් ඒ ඇති හිතන නඩයේ අභිලාෂයට බව ජනතාව දකින බව එතුමා දුටුවේ නැත.

බලය පිලිබදව පමනක් දේශපාලන ව්‍යාපෘති පවත්වාගෙන යාම නතර කර දැන්වත් රට වෙනුවෙන් එකමුතුව ඊලග මෙහෙයුම වන සාමය සහ ආර්ථිකය ජය ගැණීම සදහා තම දේශපාලන දර්ශණය වෙනස් කරගෙන පාලනයට හවුල්ව කටයුතු කලොත් ඉතිහාසය විසින් රට වෙනුවෙන් කැපවු ජනනායකයෙක් ලෙස එතුමා හදුන්වා ගිවිසුමේ පාපයෙන් ආත්මය ගලවා ගැණීමට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනු ඇත.
නැත්නම් එතුමත් දේශපාලක ගොන්නට එකතුව අපා ගතවනු ඇත.

Monday, January 26, 2009

SB.

මේ දවස්වල අපූරු කතා කියවන උත්තමයෙක්. මම කවදා හරි ජනාධිපතිවෙනවා කියලා එක දවසක කියනවා. ආයෙත් දවසක මම ඒකාධිපතියෙක් වෙනවා කියලා සද්දයක් දානවා. මම සියක් කෑලෑ හමුදාවකින් සන්නද්ධයි කියලා තර්ජනය කරනවා. අනේ මන්දා අපිට මොනවා වෙයිද කියලා.
අපි චන්දේ දෙන්නේ අපිට රටට වැඩක් වෙනවා දකින්න මේ ගොල්ලෝ චන්දේ ඉල්ලන්නේ බලය ධනය තර කරගන්න. අපිටයි රටටයි වැඩක් කරලා අපිත් කීයක් හරි හොයා ගන්නම් කියන්නේ නැතිව අපිටයි රටටයි වැඩක් දීලා මගේම බඩ කට පුරවා ගන්නම් කියලානේ මේ කියන්නේ.
චන්ද කතා කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනි . නැත්නම් පරන රෙකෝර්ඩ් ම ගහලා වර්තමානේට හරියන්නේ නෑ. SB මහත්තයාගේ රෙකෝර්ඩ් එක චන්ද්රිකා කාලේ එකක් අනේ ඔය HIFI වලට අපි දැන් චන්දේ දෙන්නේ නෑ. ගහන්න ඕනි හේමකුමාර මහත්තයාගේ ,රාජිතමහත්තයාගේ, විමල් වීරවංශ මහත්තයාගේ අපේ මහින්ද මහත්තයාගේ වගේ බුදු ටෝක් එකක් ඒවනේ දැන් නැගලා යන්නේ .
හගුරන්කෙත පැත්තේ සහෘදයෙක් ඉන්නවනම් දෙමුකෝ පොඩි ඇඩ්වයිස් පාරක් පොරට මහ ඇමතිවත් වෙන්න.දැන් මාකට් එකේ තියෙන්නේ දේශානුරාගේ. මාරු කරන්න කියලා පරන කතා.

Saturday, January 24, 2009

මට චන්දේ දෙන්න.

අපේ පාර්ලිමේන්තුව ලෝකයේම ඇමතිවරුන් වැඩිම ගණණක් සිටින එකම පාර්ලිමේන්තුව විය හැකියි. ඒත් කමක් නෑ කියල හිතමු. මේ මැතිතුමන්ලා ට භාර විෂයය පථය ගැන එතුමන්ලා විශේෂඥයෝ නම්.අපිට නම් රැකියාවකට අයදුම් කලාම අධ්‍යාපන සුදුසුකම් , වෘත්තීය සුදුසුකම් , සේවා පලපුරුද්ද මේ සේරම බලලා තමයි අඩුම තරමේ සම්මුඛ පරීක්ෂණයකටවත් කැදවන්නේ. මෙතුමන්ලාට ඒ කිසිම වැට කඩුල්ලක් නෑ ඉහලම ඇබෑර්තුව ලබාගන්න.
ඉහලම ඉන්නේ හයක් හතරක් නොතේරෙන උත්තමයෙක් වුනාම පහලට ගලා එන්නේ අසාර්ථකත්වය මිසක් වෙන මොනවද ? .
අපි චන්දය දෙන්නේ කාටද ?. බලයට එන්න දගලන පක්ෂ දෙකයි නේ තියෙන්නේ.ඒ ගොල්ල ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවට එපාය චන්දේ දෙන්න.ඔය ලැයිස්තුවට රිංගන්න සල්ලි ඕනි,තාත්තා අප්පච්චි ඩඩා හරි අම්මා අයියා වගේ කෙනෙක් කලින් දේශපාලනේ ඉන්න ඕනි. ඔය මොනවත් නැත්නම් සල්ලිත් තිබිලා අඩුම තරමේ එක්කෙනෙක්වත් මරලා තියෙන්න ඕනි.එහෙම නැතිව ඔය ලැයිස්තු වල ඉන්නවනම් සියයට එක්කෙනෙක් තමයි.

පාර්ලිමේන්තුවේ දවසක් ගැන හිතමු. විරෝධය පාන්නේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමෙන් නෙමෙයි. අම්මා මෝ නැතිව රෙද්ද උස්සා ගෙන.ප්‍රතිඋත්තර ලැබෙන්නෙත් ඒවයින්මයි.කථානායක තුමාගේ කාරිය සන්සුන්වන්න .. සන්සුන්වන්න ..කියන එක.ඇයි මෙහෙම වෙන්න හේතුව.අපි පත්කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට යන්න ඕනි අය නෙමෙයිනේ. බන්ධනාගාරයට යන්න ඕනි අයනේ පාර්ලිමේන්තුවට පත් කරලා තියෙන්නේ.
අධ්‍යාපන වටපිටා වෙන් ,මානව හිතවාදී ගුණයෙන් පිරිපුන් , ජන විඥාණය හදුනාගත් දේශයේ සංස්කෘතිය , සංස්කෘතික උරුමයන් ගරු කරන,යහගුණ දත් යහපැවැත්ම ඇති අය තුලින් සැබෑ දේශපාලඥයකු නිර්මානය වෙන බවත් . එවිට යහපත් දේශයක් ‍ඉබේටම නිර්මානය වන බවටත් මතයක් මම අහලා තියෙනවා.
එවන් සමාජයක් අපට කවදා දක්නට ලැබෙත්ද ?.
මට මේ සියල්ල සිහිපත්වූයේ හිගන්නාගේ තුවාලයවු උතුරු නැගණහිර අර්බූදය ගැන හිතලා.මුලතිව් නගරයට කි.මි පහක් ආසන්නයට හමුදා ඇවිත්. මර බියේ කොටුවෙලා ඉන්න කොටි රැළට ඹක්සිජන් දෙන්නත් උන් ඉන්නවද නැද්ද ගානට ඉන්න පුළුවන් අපේ ඇත්තෝත් ඉන්නවනේ. මේ ඇත්තන්ට තුවාලේ සනීප කරලා සර්වාංගයට වෙදකම් කරන්න හිතන්නේ නෑ කියලා මතක් වුනහම.
කොටි සුද්ධය එවරවුනාම තමයි ආණ්ඩුවට නියම මානුෂික මෙහෙයුම පටන් ගන්න වෙන්නේ.ඒකට එකතුවෙලා මුහුණ දුන්නොත් රට ගොඩ කියලා හිතුවොත් කොයිතරම් අපූරුද ?.එහෙම හිතන්න ප්‍රඥාව පහල නොවන්නේ පාර්ලිමේන්තුවෙත් පාර්ලිමේන්තුවන් පිටතත් ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්න ඇත්තන්ගේ නූගත් කුහක පිලිවෙත නිසා කියලයි මම හිතන්නෙ.අනෙක් කොන්ත්‍රාත්කාරයින්ගේ නම් සද්දේ විතරයි.ටෙන්ඩර් දානවා වැඩ ලැබෙන්නේ නැහැනේ.
ආයෙත් චන්දයක් ආවමවත් අපිට චන්දේ දෙන්න පුළුවන් වෙන්න අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කරලා සුදුසුකම් තියෙන ඇමති මණ්ඩලයක් පත්කරගන්න පුළුවන් දිනන අයගෙන්.එහෙම සුදුසු අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත්කරන්න නොකෙරෙන යෝජනාවක් අපි ඉදිරිපත් කරමු.