Monday, November 30, 2009

මුනි සිරිපා පියුමේ – රොන්සුනු සිත තැවරේ

අද උදුවප් පෝයයි. ශ්‍රීපාද වන්දනා සමය මෙම පෝයත් සමග ආරම්භ වේ.
චිරාගත සම්ප්‍රදායනට අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ සිට මැයි- දෙසැම්බර් දක්වා ශ්‍රීපාද වන්දනාවේ නොයන අවාරයේ තැන්පත්ව පවතින සුමන සමන් දේව ප්‍රතිමාව සහිත පුරා වස්තු ශ්‍රී පාදයට උත්සවශ්‍රීයෙන් වැඩමවාගෙන යාම උදුවප් පෝදා සිදුවේ.
එතැන් සිට වන්දනා සමය ඇරඹුනා යයි සලකනු ලැබේ.

අපි අද ශ්‍රී පාද වන්දනාවේ යමු.

ශ්‍රී පාද වන්දනාව පිලිබදව ශාස්ත්‍රීය කතිකාවකට යනවාට වඩා දශක දෙකකට තුනකට එහා වන්දනා නඩයකට එකතුව ශ්‍රී පාදය වන්දනා කරන්නට යාම සිත් සනසන බැතිබර අත්දැකීමකි.
දැන් දැන් නම් ශ්‍රී පාද වන්දනාව විනෝද චාරිකාවකි. අපි අතීත නඩයක් සමග ශ්‍රී පාදයට කරුනා කරමු.

“සුර රද සමන් සමගින් සුරගන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැර පුද වදින රැදිමුනි සිරිපා තඹර
සකිසද පෙනේ සමනල ගල නැගනහිර ”

සැළලිහිණියා ට සැළලිහිණි සන්දේශ කතුවරයා ශ්‍රී පාදයට මග දක්වන විට

හංස සන්දේශ කතුවරයා හංසයාට මග පෙන්වන්නේ මෙලෙසනි.

සමනොල මුහුල සිරිපද ඔබන මගුලට
නිකසල මහ සගන ගෙන වඩින මුනිදුට
පැහරදුල සුනිල් මැණිකෙන් කළ මග ලෙසට
මනදොල පිරෙයි ගග සිරි සර දුටු තොපට

………………මහින්ද හිමියෝ

මුනි සිරිපා සිඹිමින් නේ
සමනල ගල පෙදෙසින් නේ
මද සුළගයි මේ එන් නේ
මගේ පුතා නැළවෙන් නේ

යනුවෙන් සිහිපත් කරන විට “ අපට මේ වසර තැන තැන බෝම්බ පුපුරන්නේ නැති හෙයින් පුතාට නැලවෙන්න ඉඩක් ඇති බව නම් සිහිවෙයි.

දශක දෙකකට තුනකට එහා සිරිපා වන්දනාව මෙත් සිතින් ගරු සරුව අනෙක් වන්දනා කරුවන්ගේද සිත සුව සදමින් කල වන්දනාවක් විය. ගමනේ මහන්සියත් දුෂ්කරබවත් නිවි පහන් වුයේ සිත් සනසන මෙවැනි ගායනාවන් ගෙනි.

“බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන”
සිරිපා වැද පුදා ආපසු බහින නඩයක් අතරමගදී හමුවන නන්නාදුන වන්දනාව සදහා මලුව වෙත කරුණා කරන නඩයකට වුවද ආශිර්වාද කරණුයේ,
“වදින්න යන මේ නඩේට - සුමන සමන් දෙවි පිහිටයි”
යනුවෙන් ඉතා බැතියෙන් යුතුවය.
එවිට නිතැතින්ම “වැදලා බහින මේ නඩේට – බුද්ධං සරණේ සරණයි.” පිළිතුරු ආශිර්වාදයක් ලැබේ.මෙ අයුරන් වන සංවාදයන් කොයිතරම් අපූරුද.

“වදින්න යන කිරි කෝඩුට – සුමන සමන් දෙවි පිහිටයි
වැදලා බහින කිරි කෝඩුට – සමන් දෙවිදු කරුණාවයි” සිරිපා කරුණාකරන පුංචි එකෙකුට කරන ආශිර්වාදයකි.
වෙහෙස මහන්සිය නිමාගන්න තැනක් හමුවු විට
“මෙන්න මෙතන තැනිතලාව – කෝපි බොන්න හොද වෙලාව”
යනුවෙන් පැවසීමෙන් නඩේ අවධානය විරෝධයකින් තොරව ලබා ගැණීමට කරනු ලබන හොද යෝජනාවකි.

වේගයෙන් ගමන් යන තරුන පිරිස් ගාටන අන් අයගෙන් මග ඉඩ ඉල්ලන්නේ
“දෙන්න අපට සන්හිදේ – දුන්න අයට පින් පිරේ” යනුවෙනි.
අළුත විවාහවු යුවලකට හෝ තරුන යුවලකට කරන සුහද විහිළුවකට පිළිතුරු ලැබෙන්නේ
“අපේ බුදුන් – අපි වැදගෙන - ගමට යන්න යනෝ
- එන මත්තේදි කෝඩු සමග බුදු පුදයට එනෝ.” ………. යනුවෙනි.

පහසු ගමන් මගේදී මද රිද්මයකින්
“දිදි සාදු නාදේ – යමු අපි සිරිපාදේ ” යනුවෙන්ගායනය කලත්

හෙල ගමන් මග අපහසුවු විට මහන්සිය දුරුලන්නෙ වේග රිද්මයකට ගමන දිරිමත් කරන රිද්මයකිනි.

“අපේ බුදුන් – අපි වදින්න
පෙරලි පෙරලි - අපි වදින්න
සමන් දෙවිදු පිහිට වෙන්න
නළල තබා - අපි වදින්න
දොහෙතේ නගා - අපි වදින්න
දෙ‍දන නමා - අපි වදින්න
මලුත් පුදා - අපි වදින්න
තෙලුත් පුදා – අපි වදින්න
සුවද පුදා – අපි වදින්න
පහන් පුදා – අපි වදින්න…………….” .

පුංචි එවුන්ට ගමනේදී ගැම්මක් දෙන්නේ “අග්ගල කං ඩෝං පුතා - හෙලේ නගිං ඩෝං පුතා ” අයුරුන්ය.

ශ්‍රී පාද වන්දනාවේදි භාවිතාවන විශේෂිත පද කිහිපයක්ද වේ. වන්දනාවේ ගෙන යන අඩුම කුඩුම පොදිය කර තබාගෙන යන තරම් බරවුවත් හදුන්වන්නේ “සැහල්ලුව”යනුවෙනි. පලමුවරට වන්දනාවට එක්වන පිරිස “කෝඩු” වන අතර කිහිප වරක් වන්දනාවේ යෙදුන වැඩිහිටියෝ “දඩු කෝඩු ”වෙති.පුංචි එවුන් “කිරි කෝඩු” වෙති.

අමරදේවයන් ගේ හඩ
“මුනි සිරිපා පියුමේ – රොන්සුනු සිත තැවරේ
නිවි පහන් වී – සිත සැනසේ. ………………………”

නිසංසල මොහොතක ඇසෙනවිට අපිටත් මේවාරයේ සිරිපා කරුනා කිරිමට සිත් පහල වෙනු ඇත.

-කඩුල්ල පල කල සටහනකිනි

No comments: