පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, October 11, 2016

මරණය සැපයි - ජීවත් වනවාට වඩා.


සිරුර හමුවු  දෙගිනි වල. 

 1970 – 1977 සිරිමාවෝ මැතිණියගේ පාලන සමය   යහපාලන සමය මෙන් දුෂ්කර ආරථිකයකයකට රට මුහුණ පෑ යුගයක් විය. බහුතර බලය යොදා ගනිමින් පාර්ලිමේන්තු කාලයද දීර්ඝ කරගනිමින්  ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් සිටි ආණ්ඩුව ගෙදර යවමින් “ ධාර්මිෂ්ඨ පාලනය ” බිහි විය.
සිරිමාවො මැතිණියගේ යුගය මෙරටට හාල් පොලු මිරිස් පොලු  සතියේ දින දෙකක් බත් නොකෑ යුතුයයි නියමයක් පැනවු කාලයක් විය. මේ තත්වය රට පුරා පාලනය කිරීමට ගම් මට්ටමේ රජයට හිතවත් කණ්ඩායම් යොදවමින් ජනතා කමිටු පිහුටුවීය. වගා කටයුතු සංවර්ධනය කිරීමට පලදා වර්ධන කමිටු බිහි කලේය. මේ සියළු කමිටු මගින් අමතරව කල එක් කටයුත්තක් ලෙස විරුද්ධවාදීන්  ගෙන්  දේශපාලන පලි ගැණිම් කිරීමත් සිදුවිය.

මේ ජනතා කමිටු වෙත මිළ පාලන බලතල , ආහාර පාලන බලතල මෙන්ම සමාජයේ සිදුවන අනීතිමය කටයුතු පාලනය කරගැණිමට පොලිසීය ඇතුළු රාජ්‍ය ආයාතන දැනුම්වත් කිරීමේ සම්බන්‍ධතා ජාලයක්ද   තිබු බව මතකය. මේ නිසා ජනතාව මේ කමිටු වෙත “ කේළම් කමිටු “ යයි හැදීන්වීම කරන ලද්දේය.
මේ කේළම් කමිටු විසින් තම බල පරාක්‍රමයන් අසල්වාසී ගම්වාසීන් වෙත පලකරන විට ඔවුන් අතර ඇතිවු ප්‍රතිවිරොධතා හේතුවෙන් අසල්වාසීන් කේළම් කමිටු ගම්වාසීන් අතර අප්‍රසාදයටත් පිළිකුලටත් පත්විය.

“කඩවත කෝරළේ යටගියාව ” කියවන විට මට මේ කේළම් කමිටුවක සභාපතිවරයෙක්වු කුඩාමහත්මයා මහත්මයා මතකයට ආවේය. ඔහු මගේ වයසින් සමකාලිනයෙක් විය. පාසල් අධ්‍යාපනයේ එගොඩ වීමට නොහැකිවුවත් ඔහු කවියෙක් විය. සමිති සමාගම් වල කථා පැවත්වීමට රුසියෙක්විය. කථාවක් අවසානයේ කවියක් දෙකක් කීමෙන්  තව දුරටත් එකල ගැමි සමාජය තම වසගයට ගැණිමට සමත්වු අයෙකු විය.
කවියෙකු සංවේදී හදවතක් ඇත්තෙක් විය යුතු නමුත් මේ කේළම් කමිටුවක සභාපතිවරයෙක්වු පසු ඔහුගේ සංවේදී බව විකෘතියකට පත්ව අසල්වාසීන්ගේ සුළු සුළු අඩුපාඩු පවා මහත් සමාජ ව්‍යාසනයන් ලෙස දකින්නට මනස විවර විය. 

මෙයින් උපන් බලවේගය අසල්වැසි සමාජය පුංචි දේටත් රාජ්‍ය පීඩනයට යොමු කරන්නට මොහු කටයුතු කලේය. එකල ඊට උඩ ‍ගෙඩි දුන් පලාතේ මංත්‍රී තුමියකද අපට ලැබී තිබුනේය.

කාලය ගෙවී ගියේය. අසල්වැසි සමාජය පෙරලා  මේ කේළම් කමිටුවක සභාපතිවරයාව පිලිකෙව් කරන්නට පටන් ගත්තේය. සමාජය විසින් ඔහු බැහැර කර ගමේ තනිකරන ලද්දේය. අවසානයට මේ තනිකම දරා ගත නොහැකිවු කුඩාමහත්මයා නම් සභාපතිවරයා  එක් අදුරු රැයක “ බෙලිහුල්ඔය පහන්තුඩා ” වලට පැන  සිය දිවිනසා ගත්තේය.ඔහුගෙන් පුංචි තමට සිදුවු පීඩනය කාලයත් සමග අමතක   කරන්නට හැකිවුවත් ඔහුගේ කවිත්‍වය තවමත් අපට ඉතිරිව ඇත්තේ දියට පැන සිය දිවි නසා ගන්නට  පෙර ඔහු දියට පැන්න ගල් තලාව මත මේ කවි සටහන  කොටා තබන්නට තරම් කාලයක් මරණය ගැන මෙනෙහි කරමින්  හිත ගල් කර ගෙන බැස යන බෙලිහුල්ඔය දෙස බලා සිටින්නට ඔහුට හැකිවු නිසාය.

පහන්තුඩා වල.


“මිනිසුන් අතර  සිටියත් ලේ කදුළු කඩා
මරණය සැපයි ජීවත් වනවාට වඩා.”

පසු කාලයක තවත් කවියෙක් මේ පද දෙකට යටින් මේ පද දෙක යටින් ගලේ කොටමින්
“ජනතා කොමිටියේ ලේකම් -   පුංචි කුඩා
පැන්නා වලට බෙලිහුල්ඔයේ පහන්තුඩා.”


යයි සටහන් කරමින් පදපූරනය කර තිබුනේය.
notes of imaginary

Saturday, October 08, 2016

කඩවත කොරලේ කතා.



අද කෝරලේ භාවිතාවේ නැත. රත්නපුර දිසාවට අයත්ව  කුරුවිට,  නවදුන්, කුකුළු, අටකලං, කඩවත මැද  දෙකෝරලය සහ කොලොන්නකෝරලය යනු වෙන් මහනුවර යුගයේ  පරිපාලනය සමන්විත විය.  ආරච්චි වසම් කිහිපයක් එකතුවී පත්තුවත් පත්තු කිහිපයක් එකතුවී කෝරලේත් කෝරල කිහිපයක් එකතුව දිසාව හැදුන බවයි ප්‍රජා පාලන ඉතිහාසය සදහන් කරන්නේ. මා උපන් සහ ජීවත් වෙන කඩවත කෝරලේ ඉතිහාසකතාව ලියු මා සහෘදයෙකු ඒ ග්‍රන්ථයට “ කඩවත කෝරලේ යටගියාව” යයි නම් තැබුවේය. මේ පොත  දොරට වැඩු සාහිත්‍ය මාසයේ  දිනක සොදුරු  සහෘද එකමුතුවට මා හටද එක්වීමට පින් පිරී තිබිනි.

මේ හමුවේ කතා බහ අතර මගේ මතකයද අවදි විය.

වර්තමානය වන විට පැරණි ග්‍රාම නාමයන් වෙනස් වී ආරච්චි වසම දහයක් දොළහකට බෙදී අද ග්‍රාමසේවා වසම දක්වා ලඝු වී ඇත. අප නිවෙස් කර සිටින ග්‍රාම සේවා වසම” යක්දෙහිවෙල ”නම් වී ඇත්තේ යක් දෙස්සන්ට වෙන්වු වෙල් යායක් වු හෙයිනි. අදත් පැරණි පත්තිනි දේවාලයක් මේ ගමෙහි පිහිටා ඇත.අප තලාපිට ගම්පත්තුවේ වැසියන්වු අතර කඩවත කොරලේට උඩුවග්ගම් පත්තුව නමින් තවත් ගම්පත්තුවක් ඈදී තිබුනේය.

ආරච්චි මහත්තයා  ගම් තුලානට මහත් බලවන්තයෙකි. පනහේ දශකයේ අවසන් භාගයේ මේ ආරච්චි තනතුර අහෝසිවී ග්‍රාම සේවක බිහිවන විට තනතුරු දෙකේ බලවන්තකම අන්ත දෙකක පිහිටියේය. සැමියා ගෙට ගොඩ වදින විට ඇද යටට රිංගු ආරච්චි මහත්තයා ගෙන් “ මොකද රාළහාමි ඇද යට ?. ” යයි විමසු ගෙහිමියාට “ බොල මගේ වසමේ මට කොහෙත් එකයි ” යයි උත්තර බැන්ද ආරච්චි මහත්තයාගේ පෞරස්ථවය හා ග්‍රාම සේවක මහතාගේ චරිතයත් භුමිකාවත් හාත් පසින්ම වෙනස් විය.නොයෙක් නොයෙක් වෙනස් වීමි වලට භාජනය වු ග්‍රාම සේවක නිල නාමයද ග්‍රාම නිලධාරී දක්වා අදට වෙනස් ඇත.

ප්‍රාදේශිය සභා උපදින්නට පෙර ගම් සභා තිබුන අතර, කඩවත කෝරලේට තලාපිට ගම්පත්තුවේ ගම් සභාව සහ උඩුවග්ගම් පත්තුව නමින් ගම් සභා දෙකක් තිබුනේය ප්‍රාදේශිය සභාවේ උපතත් සමග මේ ගම් සභා දෙක එකතු වී ඉඹුල්පෙ  ප්‍රාදේශීය සභාව බිහිවිය.

අපේ අසල්වාසී ආරච්චි වසමවු  මුත්තෙට්ටුවේගම වසමේ ආරචිචිල මහා බලවන්තයෙක් විය. ඇස් දිෂ්ඨියක් මානේ ඉඩ කඩම් වලට හිමිකරුවෙක් විය.  ආරච්චි පයිංඩය අහිමුවු පනහ දශකයේ අවසන් භාගයේ “ස්කෝඩා”  වර්ගයේ බ්‍රැන්ඩ් නිව් කාරයක හිමිකරුවෙක්විය. එක් දවසක මේ ආරච්චිල  විලියම් අප්පුහාමි නම් ගැමියෙකුට “උබ හැමොටම කවි කියනවා කියාපන්කො බන් මටත් කවියක් ” යයි කල ආරධනයට  ලුණු ඇඹුල් සහිතව“ උස්තට්ටුවේ සිටියත් ජන සමාජයේ - මුත්තෙට්ටුවේ උබ මැරුනම අවීචියේ ” යයි  කිවු බව අදත්  ප්‍රචලිතය. එදා ආරච්චි උෂ්නය සහිතව සිටි ආරච්චිලගෙන් විලියම් අප්පුහාමිට ලැබු ප්‍රතිචාරය කුමක් වන්න ඇත්දැයි අප උපකල්පනය කර ගත යුතුය.

තනිකඩයෙක්වු විලියම් අප්පුහාමි ගේ ඥාති පරපුරේ අය අදත් අපේ අසල්වාසීන්ය. ඔහුගේ අතීත මතකයන් අහුලා ගතහොත් එය රසගුලාවක් වනු ඇත. එකල ජීවත්වූ එක් කාන්තාවක හා ඇසුරකට පත්ව සිටි මේ රසවතා හට ඇගේ එක් නරක පුරුද්දක්වු තැන තැන දකින දෑ සොරකම් කරන  පුරුද්ද මකා දමන්නට ඕනෑ විය. ඒ සදහා අපුරු උපක්‍රමයක් යෙදු ඔහු  ගෙම්බෙකු දවටනයක අසුරා ඇහැ ගැහෙන තැනක තබා සැගවී බලා සිටියේය. කාන්තාවද පැමිණ තම කාර්යයන් නිමවා යන අතර  ගෙම්බා සහිත දවටනය කම්බා පොට අස්සේ සගවා ගත්තේය. මෙය නිරීක්‍ෂණය කරමින් සිටි අප රසවතා රැල් බුරුල් හැර මෙසේ කීවා යයි ප්‍රවාදයට එක්ව ඇත.

“එම්බා සොදුර කල දෙයනම් බලු නොවටී - හම්බා කරන හැටි ඔහොමයි කාලේ හැටි
 කම්බා පොටට යට කරගෙන ගහපු හැටි -  ගෙම්බා ගෙදර ගෙන යන්නට හදපු හැටි”

මේවන් කටක් ඇතිව සිටි ඔහු  අයුක්තියට එරෙහිව නැගී සිටි චරිතයක්විය. ඔහුට  සතුරුවු පාර්ශවයක් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කරනු ලදුව මහ වනන්තරේ මල සිරුර දමා ගොස් තිබු ඇට සැකිල්ල පමනක් හමුවු බව එදා මගේ පුංචි මතකයට  එක්ව තිබුනේය.

මේදොරට වැඩීමේ උත්සවයට සහභාගී වෙමින් සිටින මට තවත් අතීත සිද්ධීන් මතකයට නැගුනත් මේ වියමනේ සම්බන්‍ධයට හානිවන හෙයින් ඊලග වියමන තවත් කතාවකට මුල පුරමින්  නතරවෙමි

notes of imaginary

Wednesday, October 05, 2016

කුණු කතාවක්.



කුණු කන්දක්.
දුම්රිය      මා ර්ගයේ , මහ පාරේ දෙපස  වාහනවලින් සහ පයින් යන එන අය විසි කරලා , තැන තැන දමා යන  ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, ඉඳුල්, මළ මුත්‍රා ආදිය කෙතරම් ප්‍රමාණයක් පාර දෙපස දකින්නට ලැබෙනව ඇත්ද ?  . අපේ ඇත්තෝ  වන්දනාවේ යනවා .විනෝද චාරිකා යනවා . වට පිට නොබලාම  සිද්ධස්ථාන, පොදු ස්ථාන කොයිතරම් අපිරිසිදු කරලා එනවද ?. මේ තැන්වලට විදේශිකයොත් යනවා. ඒ අය ලංකාව ලෝකෙන් උතුම් ම රට ලෙස දකින  ලංකාවේ ජනතාවගේ කුණු වැඩ දැක්කම අපි  ඉතා අපිරිසිදු මිනිසුන්  කොට්ඨාශයක් කියලා හිතනවා ඇති කියලා මට හිතෙනවා. ඉන්දියාවේ ( දඹදිව ) වන්දනාවේ ගිහින් එන ලාංකීකයෝ ඉන්දියාවේ කුණු සහ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන කතා කරන්නේ බොහොමත් පිළිකුලෙන් .  ඒ තරම් අපේ අපිරිසිදුකම නැති වුනත් අපේ කසල බැහැර කිරීමේ ක්‍රමවේදයත්  අක්‍රමවත් කියලා පිලිගන්න වෙනවා.

ලංකාවේ දේශපාලනයට මේ කුණු අදාල නැතිවුනත් ඊට වඩා කුණු ඕන තරම් දේශපාලනේ තියෙනවා. ඒත් බැහැර කරන කුණු ගැන ආකල්පමය වෙනසක් ඇති කරන්නවත් දේශපාලනේ   අදාළ කර ගත යුතු යි කියලා මට හිතෙනවා. සමාජ වෙනසක් ඇති කරන්න කයිවාරු හලන යහපාලන ඇත්තන්ට අපේ කුණු වලට වඩා පේන්නේ ප්‍රතිවාදීන්ගේ කුණු. ඒ හින්දනේ FCID වගේ ආයතන බිහිවෙලා තියෙන්නේ. ගොඩ ගැහෙන කදු ගැනත් , ඒ කුණු වලින් මුදල් හොයන්න පුළුවන් කියලවත් හිතන්න මේ ඇත්තන්ට ඉස්පාසුවක් නැහැ. එහෙම හිතෙනවා නම් පලාත් පාලන ආයතන, ප්‍රාදේශිය සභා මේ ආයෝජනයන් සදහා යහපත් ලෙස යොදවා ලන්න පුළුවන්.
  
අපි නාගරිකයෝ නෙමෙයි. අර්ධ නාගරිකයොත් නෙමෙයි. ප්‍රාදේශීය සබාවට අයත් ප්‍රදේශයේම   තියෙන  කුණු එකතු කරලා ගෙනත් අපේ නිවෙස් අසල බිමකට හලන්න අපේ ප්‍රාදේශීය සභාව පටන් ගත්ත. කුණු වත්තට ගවි ගානක් ඈතින් ඉන්න අපිට මැස්සොයි මදුරුවොයි ඕනවට වඩා ලැබුනා.කුණු කන්ද ගෙනත් හැළුවට කුණු කන්ද කළමනාකරණය කරන්න වත්කම නැති ප්‍රාදේශීය සභාව - පාරම්පරික විධියට කුණු බැහැර කරපු ජනතාවට නවීකරණය කරපු අපද්‍රව්‍ය බැහැර කරන්න ගිහින් නාගත්තා. කොහොම හරි නැති ලෙඩක් දා ගත්ත. අන්තිමට අයුතු ජනරාශියක් ඇති කරලා අපි කුණු කන්දදෙන් බේරුනත් ප්‍රදේශීය සභාව අදත් ජනශූන්‍ය ඉඩකඩ ඇති තැනක කුණු හලනවා. එකතු කරගෙන දගලනවා.මේ ගමක කුණු කතාවක්. නිසි කළමනාකරණයක් තියෙනවා නම් අපිට පොහොර කන්දක් දෙන්න පුළුවන් උනත් මේ ඇත්තෝ කුණු කන්දක් ගොඩ කරගෙන ලෙඩ රෝග කන්දක් රටට බෙදනවා.

කොළඹ කුණු  කියන්නේ මහම ගැටළුවක්.   කොළඹ නගර සීමාවේ  හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව කියවෙනවා  . මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ කොළඹ පරිසරයට මුදා හරිනවා. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද කොළම ගියාම මම දැකලා තියෙනවා. පුංචි ගමක අපිට හිරිහැර කරපු කුණු  ‍මේ  කුණු කඳු දැක්කම මොකක්ද කියලා හිතෙනවා. ටික කාලයක් අපිට වුන හිරිහැරය ගැන හිතෙන කොට ඒ අවට ජනයාට නිර්මානය කරලා දීලා තියෙන්නේ අපායක ජීවිතයක් කියලයි මට හිතුනේ.

මිනිස්සු හැම බිම් අගලෙම ජීවත් වෙනවා. තමන්ට තමන් නිපදවන කුනුම බැහැර කරන්න ඉඩ  කඩ නැහැ.බිමක් නැහැ.සුළු ප්‍රමානයෙන් කසල කළමනාකරනය කරගන්න ප්‍රතිචක්‍රීය කරගන්න දැනුම සහ උවමනාව නැහැ.   කිසිවෙකුත් තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට හින්නේ නැහැ.  තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ තැනකට ගෙන ගොස් දැමිය යුතු ය.  ඒ වෙන කොහේවත් තැන්වල ද වෙනත්  මිනිස්සු ජීවත් වෙනවා. ඔවුන්ට අනුන්ගේ කුණු සමග ජීවත් වීමට උවමනාවක් ඇතිවිය හැකිද ? .  එහෙම හිතන්නේ නැහැ.

කසල කළමනාකරණය මෙතරම් ගැටලුවක් වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු නො කිරීමයි. එසේම, ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමක්  නැහැ. ඒ වෙනුවෙන් රජය ආයෝජනය කරන්නේත් නැහැ. එහෙම ආයෝජනය කරන්න තියෙනවා නම් මේ තරම් බදු ගහලා අපි සූරන එකක් නැහැනේ.
කසල යනු මුදල් ප්‍රභවයක් කියලා සැලසුම් හදන විශේෂඥයෝ හිතලා නැහැ . එහි ඉන්ධන, පොහොර හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තවත් බොහෝ ද්‍රව්‍ය තියෙනවා.කෘතිම  කෘෂි පොහොර වෙනුවට හොද ආදේශකයක් මේ කුණු කදු වලින් නිර්මානය කරගන්න අපේ අයට බුද්ධිය නැහැ.   කසල මැනැවින් කළමනාකරණය කර ගන්නා ලෝකයේ දියුණු රටවල් සමග සන්සන්දනය කරලා බලපුවහම   ලංකාවේ ඒක පුද්ගල කසල ජනනය එතරම් විශාල නැහැ . 

 වගකිව යුතු පුරවැසියන්ගෙන් තොරව දියුණු සමාජයක් බිහි කළ නො හැකි යි.  පුරවැසි වගකීම මෙවැනි ප්‍රශ්නවල සිට ම ගොඩනැගිය යුතු යි.  කසල කළමනාකරණය යනු සෑම පුද්ගලයකු ම සම්බන්ධ විය යුතු පොදු කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප පෙර පාසල් අධ්‍යාපනයේ සිට ගොඩනැගිය යුතුයි.

 




notes of imaginary