පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, September 28, 2009

ඌරු කොටුව සහ බූරුපිටිය.

පුවත් පත් සියල්ලම කියවන පාඨකයෝ නොමැති නිසාත් පලවන සියල්ල ඇස නොගැටෙන නිසාත් 27 දා දිවයින ඉරිදා සංග්‍රහයේ කරු පරනවිතානගේ සංහිතාව කොලමේ කොටස් කිහිපයක් එලෙසම පලකරමි.ඒ අතරට මීදුමද ඌණපූරණයක්ද කරයි. කාලීන අවශ්යනතාවයක්වු මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අද කතාවට පමනක් සීමාවු මාතෘකාවකි. මැතිවරණයක් මුව විට ඊලග මැතිවරණයෙදි වෙනස් කරඤ්ඤං කියන බාලගිරි දෝෂය ලග තබාගෙන මනාප ක්‍රමය ප්‍රධාන පක්ෂ සියල්ලම කැමැත්තෙන් වැළද ගෙන සිටිනු ලැබේ.මනාප ලබා ගැනිමට වියපැහැදම් කරන සල්ලි කන්දරාව පාර්ලිම්න්තු සහ පලාත් සභා ප්‍රදේශීය සභා ධුර කාලයකදී කිසිසේත් පියවාගන්න බැරි බව වටහා ගෙනත් වියදම් කරනුයේ වියදම පියවා ගත හැකි දූෂිත මාර්ග විවරව තිබෙනා බැවිනි.

පරනවිතානගේ ඌරු කොටුවට පිවිසෙමු . “ එක් ඌරෙක් තවත් ඌරෙකුට අල හාරා දෙන්නේ නැත.” යනුවෙන් ඉංග්රී සි කියමනක් තිබේ.මේ කියමන වර්තමාන මනාප පොර දේශපාලනයට කදිමට ගැලපේ. මනාප තරගයේදී කිසිවෙක් අනෙකාට උදව් කරන්නේ නැත. .....................මේ අර්ථයෙන් ගත් කල දේශපාලනය මුළුමනින්ම ඌරුපිටියක් බවට පත්ව ඇත.මනාප දේශපාලනයට බසින සියළු මිනිසුන්ට ඌරන් වීමට බල කෙරී ඇත.එසේ නැතහොත් බලය නැමති අලය හාරාගැණිමට හැකිවන්නේ නැත.මේ හෑරිල්ලට බැස්ස කල දරුණු දේශපාලන සූදුවක් කිරීමට සිදුවේ.එම සූදුවේදී ප්‍රතිපත්ති මනුෂ්‍යහත්වය අවංකත්වය,ගුණධර්ම, සාරධර්ම, සතය යන සියල්ලම විකිණීමට උකස් කිරීමට සහ සූදුපිටියේ උකස් තැබීමට සිදුවේ.................................ඒ අර්ථයෙන් ගත් කල වර්තමාන දේශපාලනය මුළුමනින්ම ඌරුපිටියක් හා බල දේශපාලන සූදුවක් කෙලිනා බුරුපිටියක් බවට පත්ව තිබේ.”

කරු පරනවිතාන හිතනා අයුරින්ම අපේ පරමාධිපත්‍ය අලවි කරන මැතිවරණ ඌරු කොටු සහ බූරුපිටි බවට පත්ව තිබේ. ජේ.ආර්ගේ ධාර්මිෂ්ඨ ව්‍යවස්ථාවෙන් නිර්මාණය කල මේ තත්වයට පක්ෂ විපක්ෂ ඌරෝද බුරුවා ගසන්නෝද බොහෝ කැමැත්තෝය. මේ නරා වලෙන් ජනතාව මුදන්නට කතා කරන්නෝ හැර ක්‍රියා කරන්නෝ නම් නැත. පරණවිතානයන්ද නායකකාරකාදීන්ට හුළු එලි අල්ලා රත්නපුරය නම් ඌරු කොටුවේ ‍ජරාව නාගෙන බුරුවා කෙලින්නට ස්වේච්ඡාවෙන් පැමිණ ඇති බව පවසයි. එසේ පැමිණියේ පුරවැසි දේශපාලන ගමනක් සබරගමුවේ රත්නපුරයෙන් අරඹනා ලෙස නායකයා උපදෙස් දුන් නිසා බවද පවසයි. දොහොත් මුදුන් දී සාධුකාර දිය යුතුව ඇතත් මේ ගමනටම පැමිණි රත්නපුර ඌරු කොටුවේ සහ බූරු පිටියේ සිටින අයියලා අක්කලා ,මල්ලිලා නංගිලා,දුවලා පුතාලාද , මචංලා ද කියා තමන්ම හදුන්වා ගත් පිරිසද පැමිණියේ ඔය කතාවම කියා ගෙන බැවින් එසේ නොකර අසා සිටිනු ලැබේ. අර මම කලින් කී කට්ටිය දැන් “සර්ලා සහ අප්පොලා,මැණිකේලා, මැඩම්ලා’වී ඇති බැවින් අළුතින් එන මානව හිතවාදීන්ට යම් ඉඩක් නිර්මාණය කර ගත හැකිවේයැයි පරණවිතාන සිතන බවකි . දැන් ඡන්දදායකයෝත් “පරණවිතාන ලා ” මෙන් කපටි සූත්තර කාරයෝ වී ඇති බැවින් කලබලවන්නට හේතුවවක් ඇතිනොවේ.

පරනවිතාන දිවයින සංහිතාවට කියනා අයුරින් පරාක්‍රම කොඩිතුවක්කු මෙසේ කියයි. “...................මුලින් ලොකු මිනිසුන් ලගට නොව නායකයින් වැඩිය හම්බ වෙන්නේ නැති සුළු මිනිසුන් ලගට යන්න. ඔවුන් සමග කතාකල හැකි , ඔවුන්ට තේරෙන භාෂාවක් හදා ගන්න. ඒ සංවාදය ඇතුලේ අලුත් දේශපාලන ස්වර මාලාවක් මතුවේවි.එය මහා ගීතයක්සේ පසුව රටටම ඇසේවී.” – (ධම්ම දිසානායක පරණවිතානට මෙසේ කියයි. ) “නුඔ නිර්ප්‍රභූ පොඩි මිනිසුන් ළගට පයින්ම පළයං ඊට පස්සේ ඒ මිනිස්සුත් එක්ක තවත් ඇවිදපං ” මේ මා මිත්‍ර ධම්ම දිසානායක මට දුන් උපදේශයයි. මෑතකදී ගුවන් අනතුරකින් මියගිය ජනප්‍රිය ඉන්දියාණු නායකයෙකුගේ උදාහරණයක් මට ගෙනහැර පෑවේය........................ඒ උපදේශය හරියට වැඩ කරන්නේ දැයි මම දෙතුන් පොළක පරීක්ෂා කර බැළුවෙමි.මා තෝරා ගත්තේ රත්නපුරයේ ඉතාම දුප්පත් මිනිසුන් වෙසෙන වතුකරයෙන් මැදිව දුප්පත් සිංහල දෙමළ මිනිසුන් වෙසෙනා ගම්මාන කිහිපයකි................... ”වැඩේ හරියන බව කරු පරණවිතානට තේරෙයි.

පරාක්‍රම කොඩිතුවක්කු පතින් පොතින් ලිපි ලේඛන දේශණ තුලින් සමාජවාදී චින්තනයෙන් අප හදුනති. ඔහු තම හිතවතාට මග පෙන්වන්නේ නිර්ධන ගම්බද සුළු තේ සහ වි, එලවළු ගොවියන් , තේ ඉඩම්වල කුළි වැඩ කරනා කම්කරුවන් වැනි පංතිකයන් මුලා කරගෙන වැඩේ පටන් ගත යුතු බවයි .පරණවිතානද අත්හදා බලයි .ඹහුගේ දිනපොතේ දිනයන් වෙන්වෙමින් පිටු පි‍රේ. උපදේශ සාර්ථක බව පවසයි. පරාක්‍රම කොඩිතුවක්කු , ධම්ම දිසානායකත් යා යුතු පාර පෙන්වන්නේ මේ අසරනයින් මුලා කරගන උඹටත් පොරක් විය හැකි බවට ඉගියක් දෙමිනි. එක අතකින් මේ දෙන්නා අසරන මිනිසුන් බිල්ලට යොමු කරන්නේ කවියෙකු කලාකාරයෙකුට ඇති සංවේදිතාවය අමතක කර මස්කඩ මුදලාලියෙකුට මසට ගවයෙකු පෙන්නන ගොරහැඩි බ්‍රොකරයෙකු පරිද්දෙනි.මේ අත්හදා බැලීමම කල අය රත්නපුරේ ඕනෑ තරම් සිටිති. ජනතාව ‘අපි නම් ඕවාට රැවටෙයි.’ යයි මූනට නොකියුවත් කියනා බව බලයෙන් හා දූෂණයෙන් අන්ධවුවෝ නොදනිති.

සංහිතාව පුද්ගල උදාහරණද කිහිපයක් දක්වයි. මෙතෙක් රත්නපුර දේශපාලනයේ රැදී සිටින අය මානව හිතවාදි තියරිය පැත්තක තියා ඌරු කොටුවේ මඩ නා ගෙන බුරුවා ගසිමින් සිටිති. එසේ නැතිව තියරිය පමනක් ක්‍රියාත්මක කරමින් සිටියෝ සද මෙන් බැස ගොස් මානව හිතවාදීව නිවෙස්වල වැජඹෙති. ඒ පුද්ගල උදාහරණ අතර සිටින සමහරු මානව හිතවාදීව පෙරමුනේ මානව හිතවාදී බව නොමැති නිසා දැන් දැන් අලියාගෙන් ඡන්දය ඉල්ලති.‍එසේ හෙයින් පරණවිතානද පරණ අරක්කු අළුත් බෝතලයක දමා රත්නපුර දිස්ත්‍රික්කයේ හුදී ජනයාට බොන්න දෙන්න සුදානම් වන්නේ මේ සියල්ල අධ්‍යයන කරමින් බව මිදුමට සිතේ.

සංහිතාව තුලින් කිසිදු දිනක ඌරු කොටුව සහ බූරුපිටිය විනාශ කර ජනතාහිතවාදී මැතිවරණ ක්‍රමයකට මග පෙන්වු අදහසක් පල නොකල පරණවිතාන, මේ නරාවලේ ජරාව කන්න කොතරම් කාලයක් කාලගෝල ,දික්තල ලබන්නට කැඹුරුවා මෙන් රජගෙදරට කඹුරන්න ඇත්ද යන්න මීදුම නිකමට හිතයි. කල යුත්තේ මනාප චන්ද ක්‍රමය නම් ජරාවේ තවතවත් ගිලෙමින් දග ලන්න නොව ඉන් ජනතාව මුදවා ගන්න කතිකාවක් ඇතිකර ක්‍රියාත්මක තලයට පත් කිරීමයි .මානවහිතවාදී වන්නේ එවිට මිස, මානව හිතවාදී ලේබලයක් අලවාගෙන පජරෝ මොන්ටේරෝ, සිහිනතුල ජරාව කන්නට ඌරෙකු වීමෙන් නම් නොවේ. ජරාව කා සන්තෘප්තියට පත්වුවන්ම බලයට පත් කිරීමෙන් එක් යහපතක් සිදුවේ. උන් බඩ ගින්නේ ඉන්නා එවුන් තරමටම කෑදර ලෙස කෑම නොකන බැවින් කන ප්‍රමාණය පොඩ්ඩක් හෝ අඩුවේ.

Wednesday, September 23, 2009

මුතුහෙට්ටිගම සහ අනර්කලී

දකුණු පලාත් සභා මැතිවරණයේදී අනර්කලී නම් වරිතයේ වැදගත් කමක් නැති බව මීදුම නාමයෝජනා දුන් දිනයේම උපකල්පනය කලේය. දකුනේ දේශපාලනයට එජනිස යෙන් කරළියට පිවීසීමට ඕනෑ තරම් සුදුසු තරුණ තරුණියෝ සිටියදී අනර්කලී වැනි පියර බබෙකු වේදිකාවට ගෙනාවේ මන්දැයි මීදුම සැකයෙන් සිතන්නට විය.

දකුණු පලාත් සභා මැතිවරණය අනෙක් පලාත් සභා මැතිවරණ වලට වඩා කල් ගනිමින් ඇගිලි ගනිමින් සිට පවත්වන පලාත් සභා මැතිවරණයක් ලෙස එකල අදහස් පලවීද තිබිණි. රජය පියවරක් පිටුපසින් සිටියාවත්ද? සැකයෙන් දකුණ ගැන යන සාංකාව මීදුමට පහලවී තිබිණි. ඒ නිසා එජාපය ගුරු කොට ගනිමින් දකුණට පැරිෂුට්ටන් පැරිෂුට්ටියන් පාත් කරනු ලැබුයේයැයි මීදුම සැක පහල කලේය.

දැන් දැන් බලන විට ප්‍රවෘත්ති මවන්නත් අවධාණය වෙනතකට යොමු කරගන්නත් මුතුහෙට්ටිගම සහ අනර්කලී යොදා ගෙන ඇත්දැයි සැකයක් මීදුමට ඇත. යුද්ධයේ ජනප්‍රියතාවය වසා ගෙන පොලිසිය කරන ලද අකටයුතු කම් රජයට බැරවෙද්දී භාණ්ඩාගාරය, මහ බැංකුව ආශ්‍රීතවූ මුල්‍යමය අර්බූද IMF අවතැන් කදචුරු වලින් මතු වන අදෝනා වැනි වැදගත් කරුණු දේශපාලන වේදිකාවෙන් බැහැර කර දකුනේ වේදිකාවේ දෙමළ චිත්‍රපටියක් පෙන්න බවක් දිනපතා ප්‍රවෘත්ති බවට පත්කරමින් සිටින්නේද?.අපි මුතුහෙට්ටිගම සහ අනර්කලී ගැන අවධාණය යොමු කර කතා කරමින් සිටිමු .සියළු දෝෂ භංගව එජනිසය දකුණේ ඉලක්කය සොයා යනු ඇත.

මැතිවරණවලට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම බිම් මට්ටමේ සාමාජිකයන්ට නැත. නායකකාරකාදීන් ඉදිරිපත් කරන මැට්ටන් අතරින් මහජනතාව තමාගේ නියෝජිතයා තෝරාගත යුතුය. මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවක් ගෙන තෝරා බේරා ගෙන බැළුවොත් ඡන්දය දෙන්න කෙනෙක් ඉතිරිවන්නේ නැත. අපි තිත්ත කෂායක් බොනවා මෙන් චන්දය පාවිච්චි කරමු.ජනතා පරමාධිපත්‍ය නම් එයයි.

Sunday, September 20, 2009

දෙණියාය රජ මැදුර සහ ලංකා ඉරිදා සංග්‍රහය.

දෙණීයාය රජ මැදුරේ කතාවට පිවිසෙමු . සැප්තැම්බර් 13 වෙනිදා ලංකා ඉරිදා සංග්‍රහයට අනුව කතාව සැකෙවින් මෙසේයි. දෙණියාය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුවු තුසිත රණවක මහතා දෙණියාය බෙවරළිය පාරේ නාතගල ‘ඒ’කොටස නම් වත්තේ නිවසක් ඉදිකරයි. එය මහා මන්දීරයකි. මීට අමතරව ඔහු රජ පවුලේ ඥාතිවරයෙකි. එම වත්ත මීට වසර දෙකකට පමණ පෙර විලී ගෲප් සමගමට අයත්ව තිබී තුසිත රණවක මහතා රුපි කෝටි දෙකකට මිළදී ගෙන තිබේ.එයින් එය ඔහුටම අයත් දේපලක් බව පැහැදිලි කරයි.මිළදී ගත් පසු ගස් තොගයක් කපා විකුණාගත් බවත් පල කරයි. තුසිත රණවක මහතාගේ නාතාගල වත්ත හරහා රාජ්‍ය වියදම් දරා ගෙන “මගනැගුම” ව්ය්‍යාපෘතිය මගින් මාර්ගයක් කොන්ක්‍රීට් කර සංවර්ධණය කරයි.
පසුවදන
පෞද්ගලික ඉඩම් ,පෞද්ගලික සමාගම් සහ රජයේ වැවිලි කළමනාකරණය කරන සමාගම් හරහා ඇති බොහෝ මාර්ග පද්ධති අර්ධ රාජය සංචිතයක් මගින් නඩත්තු කරනු ලබයි. මීට අමතරව ප්‍රාදේශීය සභා පලාත් සභා නඩත්තු කරනු ලබන මාර්ග පද්ධති මෙවැනි මහා පරිමාන වතු මැදින් ඉදිවී තිබේ. ගම් යාකිරීමේ අරමුන ඇතිව ඉදිකල මාර්ගද පෞද්ගලික ඉඩම් මැදින් ඉදිවී තිබේ.මේවා අදාල රාජ්්‍ය ආයතන මගින් රජයේ මුදල් යොදවමින් නඩත්තු කරයි. පෞද්ගලික දේපලක් සංවර්ධණය කරන අරමුනින් රජයේ මුදල් ආයෝජනය කරන්නේ නීති පොතේ අකුරකුදු නොදන්නා මෝඩයෙකු විය යුතුයි. රාජ්‍ය ප්‍රධානීන්ගේ ඉඩකඩම් ඇති ප්‍රදේශ ආසන්නයේ පදිංචිවී සිටීමට පින්කල යුතුය. එම ප්‍රදේශ වහා සංවර්ධණය වන අවස්ථා මීදුම දැක තිබේ. මාර්ග පද්ධති, විදුලිය වැනි යටිතල පහසුකම් අවට ගම්වාසීන්ට ඉල්ලීමකින් තොරව ලැබෙයි. මේ පහසුකම් හුදීජනයාට ලැබෙන්නේ ම වාසනාවටයි.

පෞද්ගලික ඉඩම් ,පෞද්ගලික සමාගම් සහ රජයේ වැවිලි කළමනාකරණය කරන සමාගම් වලට අයත්මාර්ග වල ගමනා ගමන පහසුකම් වැඩි දියුණු කර බස් රථ යොදා ඇති අවස්ථා මීදුම දැක තිබේ. මෙවැනි සංවර්ධණ ව්‍යාපෘතිවල අරමුණ වතු කම්කරුවන්ගේ ජීවන තත්වය ගොඩනැංවීමයි. රජයට අයත් මාර්ග ව්‍යාපෘතියක් බෙවර්ලි වතුයාය හරහා සංවර්ධණය කරනවානම් “මග නැගුම” රජයේ කොන්ත්‍රාත් කරුවන් මැදිහත් වීම අරුමයක් නොවේ. එසේ නොවී පෞද්ගලික ඉඩමකට අපේ බදු මුදල් සහ විදේශිය ණය මුදලින් රුපියල් කෝටි පහක් යොදවා තිබේ නම් එය හෙන ගහන අපරාධයකි. නීති විරෝධී ක්‍රියාවකි. අපට පුර්වාදර්ශ තිබේ. “වෝර්ටර් ඒජ්, රක්ෂණ සංස්ථාව’ හොදම උදාහරණ වෙති.

යාන වාහන බදු පදනමක් මත ගෙන සංවර්ධණ ව්‍යාපෘතියේ යොදවා ඇති බවත් මහත් මුදල් කන්දරාවක් බදු වශයෙන් ගෙවන බවත් , වාහන අංකත් සමග පුවත් පත වාර්තා කරයි. බොහෝ ව්‍යාපෘති වල බදු පදනමට ගත් වාහන යන්ත්‍රරෝපකරන යොදවා තිබේ. වාහන සංචිතයක් පවත්වා ගෙන යාම අධික පිරිවැයක් ලෙස සලකා මේ ක්‍රමය වසර කිහිපයක සිට රජයේ ප්‍රතිපත්තියක් බවට පත්වි තිබේ. මෙම ප්‍රතිපත්ති හිතවතුන්ට සැලකීම සදහාද යොදා ගනී.අනෙක් යානවාහන කෙසේ වෙතත් 30-8449 වැනි වාහන ගැන මීදුමට අත්දැකීමක් තිබේ. මීදුම රාජ්‍ය ආයතනයකට ටොයෝටා ලයිට් ඒස් වර්ගයේ වෑන් රියක් මාසික බදු පදනම යටතේ සේවයේ යොදා තිබිණි. ඒ අවස්ථාවේ මසකට කි.මි.1200ක් උපරිම ධාවන දුරක් සදහා රුපියල් 25000.00 ක් ගෙවනු ලැබු අතර ඉන් අතිරේක දුරක් ධාවනය කලවිට කිලෝමිටරයට රුපියල් 22.00 ක් බැගින් ගෙවනු ලැබුයේය.රියදුරු සහ ඉන්ධන මීදුමගේ වගකීම විය. මසකට දින හතරක් වාහනයේ නඩත්තුව සදහාද නිදහස් කෙරිණි. ඒ ගනුදෙනුව අනුව අබලන් බස්රථය ගරාජයක හෝ අතරමග නවතා තබාගෙන නැතිව සේවාවක යොදවා රුපියල් 40000.00ක් ගන්නවා නම් එය මෙකල වෙළදපොල මිලගනන් අනුව සාධාරණයකි. නැත්නම් මුලින් කීවා මෙන් එයත් හෙන ගහන අපරාධයකි.

කොළඹ -බදුල්ල මහා මාර්ගය සංවර්ධණය කරනු ලැබුයේ කොරියානු සමාගමක් විසිනි. මාර්ග සංවර්ධණ අවස්ථාවේ කිරිවැල්දොල,බටයාය රෝහල අසල ගම්මානය,වැනි ගම්මාන වල වැසියන්ට මෙන් අපටත් ජලනල මාර්ග තාවකාලිකව අබලන් වීම් නිවාස වලට ඇති පිවිසුම් මාර්ග අවහිර වීම් සිදුවී නොයෙක් ගැටළු ඇතිවිනි. ප්‍රාදේශීය ලේකම් .පොලිසිය වැනි ආයතන මැදිහත්වී ගැටළු නිරාකරනය ගැණිමට හැකිවු අවස්ථාද බොහොමයකි. දෙණියාය ප්‍ර දේශයේදී මෙවැනි අකටයුත්තකදී මැදිහත්වන්නට නිලධාරීන් නොමැතිවුවානම් එය කනගාටුවට කරුණකි. රජයේ පිලිගත් කොන්ත්‍රාත් කරුවන්ට එරෙහිව නිතිය ක්‍රිනයාත්මක කිරීම සිදුවිය යුත්තකි.

තුසිත රණවක මහතාගේ විවිධ බලපුළුවන්කාරකම් එක් පසකය. ප්‍රදේශවාසීන්ට සිදුවන අකටයුතු කම් අනෙක් පසය. ලංකා ඉරිදා සංග්‍රහයට සිදුවු හිරිහැරය සිදුනොවුනාම් මෙම මන්දීරයත් මාර්ග සංවර්ධණයත් ප්‍රවෘත්තියක් වන්නේ නැති ප්‍රවෘත්තියකි.